Tuesday, May 9, 2017

කුරුළු තොරණ් වල මතක..


වෙසක් නිවාඩුවට පානදුරේ පුංචිලාගේ ගෙදර යන්නට එවර නියමිත විය. අපි නිවාඩු යන්නේ ඒ ගෙවල්වල අයට වෙන වැඩ තිබේදෝ හෝ වෙන ගමන් යෙදී තිබේදෝ සිතා නොවේ. ගමන් මල්ල ලහැස්ති කරන්නේ මමය. අම්මා ගමන යන්නට ඕනෑ කරන වියදම සපයාගෙන දෙල්කදින් කොටුවටත් එතැනින් පානදුරටත් පානදුරෙන් දිබ්බැද්දටත් ගමන් මල්ලත් කොට කලිසං කොල්ලාත් අල්ලාගෙන ගමන් කරනීය.

එදා සීටීබී බස් වල ජනෙල් කවුළුවලින් හඹා ආ සුලං වලින් අම්මාගේ හිසකේ අවුල් වන්නේය. සිගරට් දුම එක ජනේලයක අයිනේ සිට ගැහැණු පිරිමි ළමයි ආදී හුස්ම ගන්නා සියල්ලන් හඹා අප වෙතද එන්නේය. විටෙක ඉදිරිපස ජනේලයකින් ගැසූ බුලත් කෙල පිඩක් චිරිස් ගා බිදී විත් අපේ මුහුණවල් වල කුඩා රත්පැහැති හැඩ කරන්නේය. බස් රථවලට ආගන්තුක කුඩා දරුවෙක් වමනයට ආ සැනින් දෙමාපියන් වහාම ජනේලයෙන් පිටට හරවන්නේය. ඉන් පිටුපස්සේ ජනේල දඩි බිඩියේ වැහෙන්නේය. වැහෙන්නේ නැති ජනෙල ලග ඉන්නා වුන් දනිපනි ගා නැගිටුවන්නට සමත් හඩ නම් මට තවමත් මතකය. අදත් සමහර බස් රථ වල අර ලොකු වමනය පැල්ලම ඇද්දැයි මා බලමි. එහෙත් කාලය විසින් සියල්ල නිරාකරණය කොට ඇත්තේය. අද බස් වල ජනේල වලින් වමනය කරන වුන් නැත්තටම නැතිවී ඇත්තේ මෙනි.

කොටුවේදී කොට කලිසම් කොල්ලාට අම්මා අරන් දෙන්නේ ෆලූඩා එකකි. ඒ කොටුවෙන් බැස පානදුර බස් එකට යන අතරවාරයේය. කොට කලිසම් කොල්ලා අර සරුවත් වීදුරුවේ උඩ පාවේන අයිස්ක්‍රීම් ගුලිය කන්නේවත් දියකරන්නේවත් නැත. කසකසා ඇටත් රෝස පාට කිරි මුසු ෆලූඩාවත් ඉක්මණින්ම බී ඉවරකරන කොල්ලා අර අයිස්ක්‍රීම් ගුළිය කන්නේ අන්තිමටය. ඒ කොල්ලාගේ අයිස්ක්‍රීම් පිළිබද වූ බඩජහරිකම අදටත් නැතිවී නැත්තේය.  අම්මා ක්‍රීම් සෝඩාවක් බී ගුඩුස් අරින්නේය. එහෙම කොට යළිත් කොට කලිසම් කොල්ලා සමග පානදුර බසයට නැග නින්දක් නිදන්නේය. එය අපූරව නින්දකි. අප දෙන්නා දහදිය පෙරාගෙන ඔලු හැප්පී හැප්පී පානදුර ලගාවනතෙක් නිදන්නෙමු. අතරමග මා ඇහුරුණහොත් මා හැරී බලන මිනිත්තුවෙන් අම්මාද නැගිටින්නේය. අදද මට පුදුමය මා නැගිට බව, අම්මා දන්නේ කෙසේදැයි යන්නයි.

පිටකොටුවෙන් පටන්ගත් විට ''තව සෑහෙන දුරයි'' කියන අම්මා පානදුර ලංවන විට ''තව ටිකයි..'' කියන්නීය. අන්තිමේ අපි දෙන්නා පානදුරෙන් බැස දිබ්බැද්ද බලා යන කොට පාන් බාග බස් එකක නැගගන්නෙමු. මට නම මතක නැති දිබ්බැද්ද පන්සල ලගින් බැස ඉතුරු ටික පයින් යන්නෙමු.

ඒ ගෙදර තිබුනේ ලොකු වත්තක් මැදය. වත්තක් කීවාට පලලින් අඩු, දිගින් වැඩි ඉඩමක හරි මැද ලොකු ගෙයක් සදා තිබුනේ ඉතා නිස්කලංක ලෙසය. එකල පුංචීගේ අය්යා වැඩ කලේ ඕමානයේ රජ්ජුරුවන්ගේ සත්තු වත්තේ බව මට මතකය. අපි නැදෑකම් පසෙකලා  'පෙරේරා අය්යා' කී බාප්පා ඉතා හොද කෙනෙකු මෙන්ම සරල මනුස්සයෙකුද විය. පුංචී අතිශය විනෝදකාමී සැහැල්ලු ජීවීතයක් ගතකලාය. කෑමට බීමට ලෝබ නොවුවාය. ඇගේ කුඩා දරුවන් දෙදෙනා එකල අවුරුදු අට දහය තරම් විය. මට ඔවුන් මට අය්යේ කීවේන් මම ලොක්කෙකු ලෙස හැසිරුනෙමි. ඒ ගෙට එක වැටක් වමට වන්නට ලොකු ළමයින් සිටි 'ටියුෂන් ඇන්ටි' ලෙස මට මතක නැන්දා කෙනෙකු පුංචීගේ ලගම හිතවතිය විය. ඒ ගෙදර අය්යලා අක්කලා සියළුදෙනාම විශ්වවිද්‍යාල වලට ගිය බව මට මතකය. එ අය්යලා විසින් ගමේ ළමයිනට අමතර පන්ති පැවැත්වීම නිසා ටියුෂන් ගෙදර ලෙසත්, නැන්දා ටියුෂන් ඇන්ටී ලෙසත් හැදින්වූවා  කියා මට යන්තමට මතකය.

කෙසේ හෝ අම්මා එදා රෑ එහි නතර වී පහුවෙනිදා ගෙදර යන විට ඇරලවන්නට අපි සියල්ලෝ පයින් යනු මට හොදට මතකය. අම්මාත් පුංචිත් නතර නොවන කතාවෙන් ඉදිරියෙන් යද්දී අපි කානුවලට බහිමින් ගස්ගෙඩි කඩමින් ගස්වල අතු කඩමින් පස්සෙන්ම යන්නෙමු. අම්මා බස් එකක නැගී නොපෙනී යනතුරු සිට යලි අර ගස් ගානේ කානු ගානේ බැස එන්නෙමු. අප ඒ තරම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ ඉන් පස්සේ එලඹෙන මාසයකින් පසු අම්මා මා එක්කා යන්නට එනතුරු අර ඉඩමේ වැටෙන් එලියට අඩිය තැබීම අපට තහනම් වන නිසාවෙනි.

අම්මා ගිය පසු දින දෙක තුනක් පාළුවක් දැනුනද මල්ලිලාගේ අලුත් අලුත් වර්ගයේ සෙල්ලම් බඩුත්, පුංචීගේ අළුත් අළුත් කෑමත්, බිස්කට් කේක් සහ පලතුරුත් නිසා මට ගෙදරට වඩා පානදුරය ලං වන්නේය. අන්තිමේ මම ඒ ගෙදර එකෙක් වන්නේය.

වෙසක් එන්නේත් ඒ එක නිවාඩුවක මා ඒ ගෙදර එකෙකු වී සිටි කාලයකය. මල්ලිලා සමග එකතුවී කූඩු සැදීම ඇලවීම ආදී සියල්ල පිරිමැස්මෙන් හා අපූරුවට කරන මා දකින වාරයක් පාසා පුංචී ගේ කටින් පිටවන වචන කිහිපයක් තිබේ. ඒ '' උඹට නං තාත්තගේ අත් හම්බවෙලා තියෙන්නේ කොල්ලෝ..'' යනුවෙනි. ඈ උඹ කීවේත් කොල්ලෝ කීවේත් ආදරයටය. මම ලැජ්ජාව මිශ්‍ර කුමක්දෝ හැගීමකින් සිනාවෙන් පමනක් ඇයට උත්තර දෙමි. මන්ද තාත්තා කූඩු හැදූ හැටි මට මතක නැති නිසාවෙනි.

ඒ කෙසේ වුව එවර ඈ අලුත් යෝජනාවක් කලාය. ඒ  ගෙයි මිදුලේ තොරණක් සැදීමයි. මම එක පයින් කැමැති වුනෙමි. ඇය කොහේදෝ කාමරයක සිට වයර් බල්බ් හෝල්ඩර් ආදී නොයේක විධ කළමණා තොගයක් කාඩ්බෝඩ් පෙට්ටියක තිබී සාලයේ හැලුවාය. ඒවා ඕමානයේ සිට පෙරේරා අය්යා ගෙනවිත් තිබූ දෑ වන්නට ඕනෑය. තොරණට සැකිල්ල සදා දුන්නේ ටියුෂන් ගෙදර ලොකු අය්යා හෝ අනෙක් වත්තේ කෙනෙකු බව මට අපැහැදිලි මතකයක් තිබේ. තොරණට ''සත්සතිය'' ඇන්දේ මමය. සත් සතිය පැන්සලෙන් ඇද පාට කරන්නට පාට හදා දුන් විට මල්ලිලා පාට කලේය. මම අර තොරන් සැකිල්ලේ ප්‍රමාණයට සත්සතිය තැන් තැන් වල අලවා පිළිවෙලක් කලෙමු.  එහෙත් ලයිට් එල්ලන්නට මට පුළුවන් වෙතැයි මා සිතා සිටියෙන් අර බල්බ සහ වයර් එකෙන් එක අමුණා අන්තිම කොන් දෙක දිග වයරයකට ඇමුණුවෙමි. වෙසක් දිනට පෙරදින රෑ වනතෙක් තොරණේ වැඩ කටයුතු සිදුවෙමින් පැවතිනි. ඒ අතරේ අපේ තොරණ අඩි දොලහක්වත් උස නිසා කෙලින් සිටුවන්නට වැඩිහිටි සහය අවශ්‍ය විය. තොරන උස්සා කෙලින් කලපසු එය දැවැන්ත විය. අඩි තුනක් හතරක් උස අපට පමණක් නොව වැඩිහිටි අයටත් තොරණ දැවැන්ත විය. ඒ අනුව පුංචීගේ වියදමෙන් බීම දන්සැලක්ද...ටියුෂන් අය්යා කෙනෙකුගේ මැදිහත්වීමෙන් සත් සතිය විස්තර කෙරෙන කැසට් පටයක් පුංචිලාගේ ලොකු කැසට් යන්ත්‍රයේ උදව්වෙන් විකාශය කිරීමටත් තොරන් රාජයා විවෘත කිරීමට උත්සවයකුත් සංවිධානය කරගැනීමට හැකිවිය. එහෙත් අවසාන මොහොත දක්වා මගේ අවාසනාවට කවුරුවත් තොරණේ ලයිට් දමා බැලීමට උත්සුක වුනේ නැත. මමද නොදන්නාකම පෙන්වීමට ''බැරි බැරියාව '' නමැති රෝගයෙන් පෙලී අවසාන මොහොත දක්වා සියල්ල හොදින් කෙරී ඇතැයි සිතා කල් හැරියෙමි.

 වෙසක් සද උදා විය.

සත්සතිය විරාජමානව බැබැලෙන්නේය. කැසට් යන්ත්‍රය මෙන්ම  විසාල ප්ලාස්ටික් බදුනකට පිරවූ  අන්නාසි බීම සහ කෝප්පද ලැහැස්තිය. එදා ආරාධිත අමුත්තා වූයේ  ටියුෂන් ගෙදර මාමාය. ඔහු කොළඹ නැවැතී රස්සාවක් කල කෙනෙකු නිසා මට පමණක් නොව හැමෝටම අමුත්තෙකු විය. ඒ මාමා මා දැක ඇත්තේද දෙතුන්වාරයකි.  අන්තිමේ පුංචි විසින් ගෙදර සියලුම ලාම්පු නිවාදමා අප කළුවරේ තබමින්  ආරාධිත අමුත්තාට තොරණ විවෘත කරන්නට ආරධනා කලේය. අමුත්තා  විදිලි ස්විචය එබුවා පමණි තොරණ පිටුපස්සෙන් මල් වෙඩිල්ලක් පත්තුවී ගියේය. අපේ තොරණේ එකම එක විදුලි බුබුලක් පත්තු  වී නිවී යන සැනින් ''පට පටස් '' ගා ගෙයි ඇතුලෙන් සද්දයක් ආවේය.

යලි සියල්ල ඝනදුරේය.

මගේ විදුලි කාර්මික පට්ටම ගැලවෙන්නට ප්‍රධාන පූවරුව පිච්චී ගොසිනි. පුංචි විනාඩි කිහිපයක් යන්නට පෙර ඉටිපන්දම් කිහිපයක් රැගෙන ආවාය. තොරණ පාමුළ අරාධිත අමුත්තා විසින් ඒවා පත්තුකොට විවෘත කරන ලද්දේය. සියල්ලෝඅ අත්පුඩි ගැසූහ. දන්සැලද විවෘත කෙරුණේය. සියල්ල ඝන අදුරේ නිසොල්මනේ සිදුවිය. මා කලකිරිමෙන් සහ ලැජ්ජාවෙන් අදුරේම සැගවී මල්ලිලා සමග කදුළු පෙරමින් ඇඩුවෙමි. ඒ අතරේ අන්නාසි දැමූ සරුවත් කෝප්ප දහයක් දොලහක් හිස් කලෙමි. මට අන්නාසි විස වීමේ ලෙඩක් තිබෙන බව දැන දැනත් කුඩාවට කැපූ අන්නාසි සහිත සරුවත් කෝප්ප හිස් කලෙමි. පැයක් යන්නට මත්තෙන්  ඉදිමී කසමින් පළු දමමින් හුස්ම ගන්නට බැරිවෙමින් දගලන මා,  කෙනෙකු විසින් සොයාගන්නා ලදුව කාගේදෝ බයිසිකලයකින් දොස්තර කෙනෙකු ලගට එක්කාගෙන යනු මට මතකය.
 (ඒ අතරේ පසු කලෙක තවත් කෙනෙකුගේ හිත හදන්නට, අන්නාසි බීමක් බෑ නොකියා බැරිකමට බී අලි පළු දෙකතුනක් මූනේ හදාගෙන හිනාවෙවී සිටි හැටි මට අදත් මතකය. ඒ අයට මතක නැති බව මට විශ්වාසය.)

එහෙත් ජීවිතය හැමදාම පරාද වෙමින් පවතින්නේ නැත. අප එනවිට පුංචිලාගේ ගේට්ටුව ලග සිට මහා එලියකි. ඒ එළියේ දිගු පෝලිමක් මෙන් ගැහැණු මිනිසුන් සහ ළමෝ සරුවත් බොන්නේය. ගේට්ටුව ලගට යන විට මහ හඩින් අර කැසට් යන්ත්‍රයෙන් සත්සතිය පිළිබද වර්ණනා කොට විරුදු පෙලකි. මා බයිසිකලයෙන් බැස හිස උස්සා බලන විට මගේ තොරණ් රාජයා නිමෙන පත්තුවෙන බල්බ වලින් එලිය වැටී විරාජමානය. ඒ ඉදිරිපිට පුටු තබාගෙන අරාධිත අමුත්තා ඇතුළු පිරිස කතා බහකය. මා දුටු සැනින් ඔවුන් නැගිට විත් මගේ අමාරුව අඩුවී ඇති බව දැන මගේ ඔළුව අතගා මා පැසසුමට ලක්කලේය. අරාධිත අමුත්තා මා අත මට දැන් මතක නැති යම් මුදලක් තැබුවේය. ලොකු ලොකු තොරණ් හදන්නට හැකියාව ලැබේවා කියා සුබ පැතුවේය. මගේ සිත පිරී ඇත්තේය. ඊලග වතාවේ කැරකෙන කූඩුවක් හදමි යැයි සිතා ගත්තා පමණි පුංචි පැමිණ අර මුදල් ඉල්ලාගන්නා ගමන් '' උඹලගේ අම්මා අච්චර මැරෙන්නේ උඹ ලොකුවෙලා තොරං ගහනවා බලන්ඩ නෙමෙයි..''  කියා මගේ හිත බින්දාය.  ඈ මා දොස්තර ලගට ගිය වෙලේ කවුරුන් හෝ ගෙන්වාගෙන විදුලි දෝෂය හදවාගෙන තිබේ.

සමහර රිදවීම් කෙරෙහි මා බලන්නේ ඉතා හැගීම්බරවය. සමහරුන් කෙරෙහී රිදවාගන්නා හා ඔවුන් ජීවීතයෙන් ඈත්කර තබන නොමනා කමක් මා ලග ඇත්තේය. එහෙත් එදා පුංචී මා රිදවූ රිදවිල්ල මා වෙනස්ම කෙනෙකු කලේය. අදටත් පවතින පුංචී පිළිබද ආදරණිය හැගීමක් ඇතිකර  දුන්නේය. නිවාඩුව ඉවර වී අම්මා ආ කල ඇය අර මුදල් වලට අමතරව තවත් මුදල් ප්‍රමාණයක් අම්මා අත තබා ඒ මගේ මුදල් බවත් ''කොල්ලා තොරනක් සදා ගමම හෙල්ලු..''  බව කියා කීවාය. මා හෙල්ලූ ගමක් නැතත් ඇය එදා පටන් ''අපේ එවුං වැඩ්ඩෝ..''කියා ආඩම්බරයෙන් කියනු මා හොරෙන් කිහිප වතාවක්ම අසා තිබුණෙමි.

එදාත් අප බස් එකට නගින්නට යන ගමනේ අර කානු වල බැස්සෙමු. ගස් කොල වැල් කඩා පාර පුරා දැමුවෙමු. කොළඹ කොටුවෙන් බැස ගෙදර අයට මිදි කිලෝවක් ගෙන නිදන්නේ නැතිව ගෙදර ආවෙමු. නොනිදා එන්නට මගේ නහරයක් නහරයක් පාසා දුවන ආඩම්බරකම හේතුවන්නට ඇති බව සිතමි.

ප.ලි.
තව ලියන්නට බොහෝ දේ ඇතත් මගේ කොල්ලන් හට ගෙදර එල්ලීම සදහා වෙසක් කූඩු මිලදී ගන්නට ටවුමට යන්නට ඇති හෙයින් නවතිමි.

(මේ ලියමනේ, හදිසිය නිසා ඇතිවූ ජරමරයක් නිසා පානදුරේට යන ගමන කොටුවෙන් ගියා කියා ලියවුණි. එය ඇනෝ කෙනෙකු ඇන පෙන්නා දෙන තුරු මමද දැක්කෙ නැත. එය නුගේගොඩ ලෙස නිවැරදි විය යුතුය...)