Saturday, March 11, 2017

සපත්තුවෙන් බෝවෙන පපුවෙ අමාරුව.....69


'දුවන්ඩ නං සපත්තු දෙන්ඩ බෑනේ දයා...මේ ළමයි කැමැති නෑනේ..' කීවේ මගේ හදවත පසාරු කරයන ලෙසටම විදිමිනි. අම්මා එහෙත් පින්සෙන්ඩු වූවාය. පරෙස්සම් කර ආපසු දෙන වගත පොරොන්දු වූවාය. එහෙත් අපි දෙන්නා සපත්තු ඉල්ලන්නට ගිය ගමන අන්තිම අසාර්ථක විය.

ඉන් හැරී මග එන ගමනේද අම්මා කිසිත් නොකීවාය. එහෙත් මම ඇගේ වේදනාව හැදින්නෙමි. මා කොතෙකුත් මෙවන් අසරණ අවස්ථාවලට පත්ව ඇත්තෙමි. ඒ හැම අවස්ථාවකම අම්මා කුමක් හෝ කර මා ඒ අවස්ථාවෙන් ගොඩ ගත්තාය. අඩුම තරමේ ගමනක්, පාසල් චාරිකාවක් හෝ කුමක් හෝ තැනක මට යාගන්නට බැරි තැනකදී මා නොයවා සිටීමට, මා නින්දෙන් නැගිටවන්නේ නැතිව මට නිදන්නට හැරියාය. මා අවදි වූ පසු 'දැන් ඉතින් පරක්කුය..' කියා මගේ ගමන වැලකුවාය. මා ඒ මොහොතේ දුක්වෙන මුත් පසුව අම්මාගේ තීරණය නිවැරදි බව තේරුම් ගත්තෙමි. එක දුකකින් පීඩාවට පත්ව ඇති මට තවත් දුකක් ඇතිවන්නට නොදෙන්නට අම්මා තීරනය කරන්නට ඇත.

 එය නිවැරදි තිරණයක් නොවේ යැයි කෙනෙකුට කියන්නටපුලුවන . දරුවෙකු  ඉදිරිගාමී ලෙස උනන්දු නොකරන සම්මතයක් නොවනවා යැයි කියන්නට පුළුවන. එහෙත් ඒ කිසිවෙකු මගේ සපත්තුවට බැස තිබුනේ නම්..? අම්මාගේ අර දිරාපත් පපු කුහරයට බැස ඒ අවස්ථාවේ තම කුසෙන් උපන් දරුවාට පිහිට වන්නට බැරිකම දැක තිබුනේ නම් ඒ කිසිත් නොකියනු ඇත.

 ඒ කෙසේ වෙතදු අම්මා මා මෙන් ජීවීතයේ ''විදවන'' තැන්වලින් පලා නොගියාය. ඇය අදත් ඒ විදවිල්ලේ සතුටෙන් ඉදී. විදවන අනෙක් අය සමග එකට එකතු වී විදවන්නීය. ඒ ඇය මට වඩා දහස් ගුණයක් ශක්තිමත් නිසාය. සමහර තැන්වලදී මා සමග තරහා වී දුකේම ගැලෙන්නේද ඒ ශක්තිය නිසාවෙනි. මට නැත්තේද ඒ අම්මාගේ ශක්තියයි. අදද මා ඉදහිට මා දවන දෑ වලින් පලායන්නෙමි. මට මගේ නිදහස ඕනෑය. ඉතින් ඉතා අමාරුවෙන් වුව පලායමි. මම මගේ නිදහසට අසීමිත ලෙස ආදරය කරන්නෙමි. මගේ පලායමේ ''නිහින කම '' ඇගේ හිතේ කොතනකවත් ගෑවීවත් නැත. එහෙත් ඈ මා මෙන් ජීවීතයේ පලායන්නියක වූවා නම් මා මෙන්ම අන් සියලු දෙනාද අද මෙතැන ඉන්නේ නැත. අද ගතෙන් දුබල වූවාද ඇය තවමත් සිතෙන් සටන් කරන්නීය. අදටත් අපේ වාරුවට වඩා,  ඇගෙන් දරුවෙකුට දෙන්නට වාරුවක් ඇත්නම් නොපැකිලෙන්නේය.

අම්මා සමග සංසන්දනය කලහොත් මා අගුටුමිට්ටෙකි. ආත්මාර්ථයෙකි. එහෙත් කුමක් හෝ නිසා මා මගේ ලෝකය නම් මා විසින්ම සදාගත් අර කලින් දවසකත් කී ඉබිකට්ටට ප්‍රේම කරමි.

අපි සපත්තු සොයන්නට ගියේ බාලදක්ෂ කදවුරකට සහබාගී වන්නට අවශ්‍ය කලමනා අතර උදෑසන ව්‍යායම් කට්ටලයේ සපත්තු සදහන් කොට තිබුණ නිසාය. මට තිබුණු කළු සපත්තු කුට්ටම ඒ සදහා කිසිත් සුදුසු නොවීය.  මේ කළු සපත්තු කුට්ටම දුවන්නට පනින්නට හපනෙකි. තාප්පවලින් පනින්නට හපනෙකි. එහෙත් ලිස්ට් එකේ මේ කළු සපත්තුවට තැනක් නැත.

අම්මා කිවූ පරිදි ඇගේ මිතුරියගෙන් අපට ලැබෙන උදව්වක්ද නැත. මම පසුදා ඉස්කෝලේ ගොස් ඇවිත් අම්මාට මගේ බොරු මල්ලෙන් එකක් අතහැරියෙමි.
'ජයසේකර සර් කිව්වා හැමෝටම කළු සපත්තු විතරක් අරන් එන්න, වැස්ස නිසා දුවන්න වෙන්නේ නෑ කියලා..''
අම්මා මගේ බොරුවෙන් සතුටුවන්නට ඇත. මගේ බොරුවෙන් මමද සතුටු වුනෙමි.

පසු දවසක අප මහ පාන්දරක ඉස්කෝලේ සිට ගම්පහ මීගහතැන්නේ බාලදක්ෂ කදවුර සදහා පිටත් වුනෙමු. ඒ උදෑසන ජයසේකර සර් අවශ්‍ය කළමනා ලැයිස්තුව නැවැත පරීක්ෂාකිරීම සදහා මහ හයියෙන් කියෙවුවේය. ඒ සමග ඒ ලැයිස්තුවේ අදාල දේ නැති අය, අත උස්සන ලෙසද අණ කෙරුණේය. එහෙත් ඉදහිට සුළු දෙයක් වෙනුවෙන් අත ඉස්සුනද 'රනින් ෂූස්' වලට අත උස්සන කෙනෙක් මා දැක්කේ නැත. මම 'ඒක වෙන්නේ පස්සෙනේ..'  කියා අත්දෙකම තදින් පස්සට බැද සිටියෙමි.

අන්තිමේ අපේ ගමන උදෑසන අටට කළින් මීගහතැන්න පන්සල භූමියෙන් අවසන් විය. එහි පසුපස කැලෑ භූමිය අපේ කදවුරු භූමියට අගේට ගැලපුනේය. ලොකු ගස් සහිත පිට්ටනියේ කණ්ඩායම් දෙකකට බෙදා අපව වෙන්කලේ අපටම නිදන්නට, උයන්නට, ඇදුම් වේලාගන්නට, හා වැසිකිලි සාදාගන්නට ඉඩ වෙන්කරමිනි. එහි පළමු කටයුත්තේ අපේ ජේෂ්ඨ බාලදක්ෂයෝ වැසිකිලි වලවල් නොහොත් ''කයිබොව'' කපා ඒ මැදින් ලී දඩු දෙකක් දමා සැදූ අතර, අපට අවශ්‍ය ප්‍රමාණයට ලීදඩු කපා හමුදා ටෙන්ට් රෙදි ආවරණය කොට නවාතැන සදාගැනීමට අපටම සිදුවිය. මේ සියල්ල කෙරුනේ කපාගත් ලීදඩු සහ කොහුලණු අධාරයෙනි. අන්තිමේ විසාල ගල්තලාවක් පාමුළ අපේ කදවුරු භූමිය ඉතා අගනේව දකින්නට ලැබුනේය. අපි ''පළමුවෙනි නුගේගොඩ''   ''පනස්වන කොළඹ''  ලෙස අපේ බාලදක්ෂ ව්‍යපාරයේ අපට හිමි තැන ලියූ ලොකු ලෑලි කැබැල්ල සවිකරන විට ඊට පිටුපසින් අපටම නිදාගන්නට ලී මැස්සක් වැනි ඇදන් සමූහයක්ද, කුස්සියට අවශ්‍ය කළමණා තබන තැනක්ද, ඇදුම් වේලන මකුළුදැලක් වැනි යමක්ද. හවස්වරුව සදහා ගිණිමැලැයක්ද යන කරණා සදහා ලකලැහැස්ති වී සිටියෙමු.

එය කොතරම් ආශ්වාදජනක දර්ශණයක්ද කිවහොත් පන්සලේ හාමුදුරුවනද, ගමේ අයද පැමිණ කදවුරු බූමියෙන් පිටට වී බලාසිටීම අමුතු ගතියක් ගෙන ආයේය. ඊටත් අමතරව ජයසේකර සර් සහ බණ්ඩාර අය්යලා එකතු වී ලොකු කඹයක් ගස් දෙකක් අතර බැන්දේ අපේ ශාරිරික අභ්‍යාස වලට බව දැනීමෙන් මගේ කොන්ද දිගේ හීන් විදුලියක් කෙටීය. මේ තරම් සුන්දර අත්දැකීමක් විදගන්නට මගේ හිතේ තිබුන ආසාවන් හෙට උදෑසණ වන විට පහව යන බව මා දනිමි. එහෙත් එතෙක් මම ඒ සියළුදේ විදගනිමි යැයි සිතුවෙමි. ඒ අනුව කැලේ අතමං වූ විට මග සොයාගැනීමට කෙරෙන පුහුණුවීම්, ගෙනයන සීමීත අහාර ප්‍රවේශමෙන් පරිහරණය කරණ හැටි, කළමනා නැතිවිට අහාර සපයාගන්නා හැටි, උයන බාජන නැතිවූ විට පොල්ගෙඩියයක ''පිරිමි පැත්තේ''  ඇහැක් හාරා  හාල් දමා මැටියෙන් වසා ගිණිමැලයකින් පිසගන්නා හැටි, වතුර සොයාගන්නා හැටි, ගිණි අව්වෙන් බේරෙන්නට ගස්කොලන් නැති තැන අපේ කමිස එකෙන් එක බොත්තම් වලින් අමුණා කූඩාරමක් තනන හැටි. අතපයක් කැඩුණු විට අපේ කරපලදන ත්‍රිකෝණාකාර රෙදිකඩ පාවිච්චිකරනා විදිහ  ආදී සියල්ල ඉගෙනගත්තෙමි.

එය ළමයෙකුට ලැබෙන්නට ඕනෑ සුන්දරම දැනීමක් බව මම අදද සිතමි. අද මට පවා මගේ රැකියාවේ ස්වභාවය නිසා ඉගෙනගන්නට සිදුව වායුසමීකරණය කරන ලද කාමරයක් ඇතුලේ, ප්‍රොජෙක්ටර් ඔස්සේ ඉන්ග්‍රීසියෙන් ඉගෙනගන්නේ මේ එදා ලද අත්දැකීමමය. මම අදද මේ පන්තිකාමර අත්දැකීම විදින විට අර මීගහතැන්නේ සැරිසරමි. ඒ ගහකොළ ඒ කදවුරු බූමිය පමණක්ම නොව අර මහා ගල්කන්ද හඹා එන දහවලේ ගිණිසුලගද රාත්‍රියේ සීත මදපවනද විදිමි. හිටිවනම ඉංග්‍රීසියෙන් විදින ඊතලයකට ගොදුරුවන්නට පෙර සීතකල කාමරයට යලි එමි.

අවසානයේ එදා රෑ මා නිදාගත්තේ නැත. ඒ... අප විසින්ම දරලිපේ උයාගත් බත් සහ පරිප්පු සමග සම්බෝලයක් කා, ගිණි මැලය වටේ වාඩිවී ගීත ගයමින් නාට්‍ය රඟදක්වමින් ලැබූ ආශ්වාදය නිසා නොවේ. විමල් කුමාරද කොස්තා දැක්කානම් ලැජ්ජාවට  හිනායන්නට ඕනා මගේ අභිරූපණ රංගනය සැමගේ සිත් ගත් නිසා නොවේ. පසුදා උදෑසන හතරට අවධි වී ''රනින් කිට් එකට බහින්නට'' ජයසෙකර සර්ගෙන් ලැබුණු අන නිසාය.

පහුවෙනිදා හතරට කලින් කොල්ලෝ අවධි විය. උන් දත් මදින්නට, ඇදුම් ඇදගන්නට, සපත්තු දාන්නට පටන් ගන්නා විට මට මගේ ''පපුවේ කැක්කුම පිළිබද පණිවිඩය''  ජයසේකර සර්ට යවන්නට පුළුවන් විය. ජයසේකර සර් ඇතුළු ජේෂ්ඨයෝ මගේ ලණුඇද වටා රොක්වූයේ මට රගපාන්නට නොව හුස්ම ගන්නටවත් ඉඩක් නොතබාමය. අන්තිමේ සර් රැවුල කරකවා ' මේ ළමයාව මම බලාගන්නං බණ්ඩාර එහෙනන් අනික් කට්ටිය පී.ටී  එක්ක යන්නැයි''  කීය.

මගේ පපුවේ අමාරුව හොද විය.

ජයසේකර සර් මට අමාරුවක් නැති බව දැනගෙන එළිය වැටෙනතුරු සිට ලග ගෙදරක කෙනෙකු එක්කාගෙන ආවා මට මතකය. ඒ ඉස්පිරිතාලෙක නර්ස් කෙනෙකි. ඔහු මා පරීක්ෂාකොට බඩදැවිල්ලත්, පපුවේ අමාරුව ලෙස දැනෙන්නට පුළුවන් බව කියා මා එක්කාගෙන ගම්පහ ඉස්පිරිතාලෙට ගොස් ආපසු එක්කා ආවේය. එහෙත් ශාරීරික ව්‍යායාම සදහා මා සහබාගී නොකරගන්නා ලෙස උපදෙස් දී තිබුණේය.  මම උදෑසණ අවධි වී තේ හැදීමේ වැඩට උදව් දුන්නද අනෙක් කොල්ලන් පැයක්දෙකක් මීගහතැන්න ගම වටා දුවන අභ්‍යාසයෙන් බේරුනෙමි.

ජයසේකර සර්ද, අනෙක් කොල්ලන්ද මා හොදින් බලාගත්තේය. මගේ පපුවේ අමාරුව ගැන කතා කලේ නැත. මට ව්‍යායාම වලට සහබාගී වන්නට නොවීම ගැන සතුටෙන් කතාකලේය. කොල්ලන්ට උදෑසන නැගිට මේ දුවන දිවිල්ල එපා වී තිබුණේය. ඊටත් වඩා මා සමග ගිය තිහ හතළික් පමණ වූ එකෙකුවත් අද වන තුරුත් මගේ පපුවේ අමාරුවට හේතුව දන්නේ නැත.

හෙට මේ කියවන එදා මීගහතැන්නේ ගිය එකෙක් කතා කර ' යකෝ තෝ එදා අපිටත් කියලදුන්නනං අපිත් අර මගුල් දිවිල්ලෙන් බේරෙනවානේ..' කිව්වාට මට පපුවේ අමාරුව හැදුනේ ඇයි කියා කියාදෙන්නට බැරිය.