Sunday, November 27, 2016

පොකුටු හිසට වැටුනු කළු ගල...


අසූ තුනේ ජුලි මාසයේ දවසක ජයසින්හයේ අපව, බිස්කට් බෙදන්නටත් පෙර උදළු සීනුව හඩවා රැස්වීමක් කැදවා ගෙදර යවන ලදි. මා මේ විදුහල්පතිතුමා මතක් කරගැනීමට ලොකු වෙහෙසක් දැරුවද මට තවම ඔහු මතකයට එන්නේ නැත. එහෙත් එකක් මතකය. ඔහු සතිස්චන්ද්‍ර එදිරිසින්හ රඟපෑ 'අධිෂ්ඨානය' චිත්‍රපටයේ හෝ වෙනත් චිත්‍රපටයක ගමේ කඩේ මුදලාලිගේ චරිතය රගපෑ බවය.   ඒ විදුහල්පතිතුමා පහේ පන්තිය තෙක් තිබූ අපේ ඉස්කෝලේ ලොකු වැඩක් කරන්නට හදන විටම ජුලි මාසේ ඔය කී දවස ආ අතර, ඒ රැස්වීමේදී 'මේ ඉස්කෝලේ දෙමල ලමයින් නැති වුනත්, දෙමල ගුරුවරු නැතිවුනත් ඒ සියල්ලන් අපේ සහෝදරයන් සහෝදරියන්, ගුරුවරුන්, දෙමාපියන් බවට අමතක නොකල යුතු බවත් නැවැත පාසල් පටන් ගන්නා දවසට ඒ මිනිසුන් උදෙසා ඔබ විසින් කල සුළු උපකාරයක් පිළිබදව හෝ දැනගන්නට තමන් ආසා බවත් කියා සිටියේය. එදා ඇත්තෙන්ම අපට මේ 'සුළු උපකාරය' පිළිබද හැගීමක් තිබුණේ නැත. අපට ඕනෑ වී තිබුණේ හනික දුවන්නටය. කළබල ඇතිවන්නට පුළුවන් බව කළින්ම අප වැඩිහිටියන්ගේ කතා වලින් දැන සිටියෙමු. මේ වනවිට අක්කා ශිෂ්‍යත්වය සමත්ව නුගේගොඩ බාලිකාවකට යමින් සිටියාය. මම කොල්ලන්ගෙන් මිදී ජයසිනහයේ සිට අතුරු පාර දිගේ වනාත පාරෙන් හයිලෙවල් පාරට දිව්වෙමි.

වනාත පාර වෙනදා වගේම නිසොල්මන්ය. වර්නන් තිලකරත්න මහත්තයාගේ ගෙදර පමණක් වාහන දෙක තුනක් නවතා ඇත්තේය.එතැනින් එහාට හයිලෙවල් පාර එකම කලබලයකි. එකල අද තරම් වාහන තිබුනේ නැත. ලොකු සීටීබී බස් වේගයෙන් එහා මෙහා දිව්වේය.ඒ අතරේ හමුදා වාහන වෙනදාට වඩා පාරේ ගමන් කලේය. ගෙදරින් ලැබුණු අවවාදය වුනේ 'එහේ මෙහේ රස්තියාදුවේ නොගොස් ගෙදර ඉන්නා' ලෙසය. සාමාන්‍ය ලෙස අවවාදය පැත්තක දමා මම හන්දිය පැත්තට දිව්වෙමි. හන්දිය පැත්තට ඇදෙන සෙනග මගේ කුතුහලය අවුස්සන්නේය. සමහරු රංචු ගැසී දත්මිටි කමින් පොලු මුගුරු ඇතිවය. සමහරුන් කෙළිදෙලෙන් හිනාවෙමිනි. මේ අරුම දසුන් මැද්දේ මමද තනිව දෙල්කද පැත්තට ඇදෙන්නට විමි. දෙල්කද රත්තනපිටිය ගම්සබා හන්දිය පැගිරිවත්ත මට ආගන්තුක නැත. මේ පරිසරයේ මා ඕනෑතරම් ඇවිද තිබේ. පටු මාවත් දිගේ තනිව කරක් ගසා තිබේ . එහෙත් අද අමුතුම පරිසරයකි. පාර දිගටම ගෙවල් වල ගෑනු මිනිසුන් රජයේ නිවාඩුවක් ලැබුණා මෙන් පාරවල් අයිනේ හිටගෙනද, ඉස්තෝප්පුවල පුටු තබාගෙනද, වැටවල් අයිනේද කතා බහේය. ඊයේ බොරැල්ල කනත්තේ ඇතිවූ සිද්ධිය ඉන්පස්සේ දෙමටගොඩ මරදාන පැත්තේ ඇතිවූ සිදුවීම් දෙමළ කඩසාප්පු කඩාබිද ගිනි තැබූ හැටි මේ කතාවල ප්‍රධාන මාතෘකාවය. ඒ අස්සේ වෙනදා කවමදාවත් අප දැක නැති පිරිමි කණ්ඩායම් හැදී පොලු මුගුරු රැගෙන දෙල්කද හන්දියේ සිට ඉදිරියට එන්නේය. මේ සරම් කාරයන් කුමක් හෝ සොයන්නේ මෙන් කේන්තියෙන්ද..කුතුහලයෙන්ද ..වාහන නවතා කෑ මොර දෙති.  එකවරම මේ මුළු සෙනගම කෑ ගසාගෙන දෙල්කද උඩහමුල්ල පාරට දිව්වේය. එය මහා කෑ ගැහිල්ලකි. කවුරුන් මොනවා කියන්නේද යන්න මට පැහැදිළි නැත. මම ඒ සෙනග දකින්නට දිවිමි.

 දෙල්කද පොඩි පාලමත් උඩහමුල්ල පාරත් අතරමග එකම හිස් පොදියකි. ඒ අස්සෙන් රින්ගීම මට ඉතා පහසුය. සෙනග අස්සෙන් මිරිකි මිරිකී මම සිදුවීමේ මුලටම ගියෙමි. කලුම කළු කොණ්ඩය බොකුටු මිනිහෙක් තාර පාර මැද අමු නිරුවස්තරව අත්දොහොත් මුදුන් තියා කාටදෝ වදින්නේය. 'කතා කරපිය බල්ලා..පන්සල කියපිය' පරාලයක් බදු ලී මුගුරක් රැගෙන සරමක් හැදි උඩ කය නිරුවත් මිනිහෙක් අර සමාව ඉල්ලා බයාදුවෙන් හඬන මිනිහාගේ කොදු නාරටිය මැද්දට පයින් ගහන්නේය. ඒ අසරණයාගේ කදුළු බේරෙන්නේ නැත. අවුරුදු හතලිහක් පනහක්වත් ඇති මේ මිනිහා දෙමළෙකු බව අදුනාගන්නට මේ මැරයා බොහෝ උත්සාහ ගන්නේය. මේ අහින්සකයා දෙමළෙකු නොව සින්හලයෙකු වුව මේ මැරයාගේ පා පහරවල් නිසා දැනටමත් බාගෙට මැරී හමාරය. එහෙත් එකවරම මගේ හද අදද කකියවන මහා පොලු පහරක් මේ මිනිහාගේ ඔලුව මුදුනටම වැදුණේය. මේ මිනිහා සිංහලෙන් 'අම්මේ..' කීය. ඒ ගමන්ම තවත් කෙනෙකු දෙසට හැරී           ' මහත්තයා මා මතක නැද්දැයි'  ඇසුවේ කාගෙන්දැයි මා දැක්කේ නැත. තමා කුඩා කාලේ සිටම මෙහි ජීවත් වුනා මතක නැද්දැයි මේ දෙමළාය කියන මිනිහා කිහිපදෙනෙකුගෙන්ම ඇසුවා මට මතකය. ඒ අසන අසන වාරයක් පාසා ඒ මින්හාගේ පොකුටු කොණ්ඩය මැදට අර මුගුර පාත්වූයේය. කළුම කළු මුහුණ තෙත් කරමින් රතුම රතු ලේ දහරා පනින්නට විය.  එහෙත් මේ මිනිහා කදුළු වගුරවමින් ඇඩුවා මිස, අම්මේ....  කියා කෑ ගැසුවා මිස කිසිත් කරන්නට ගියේ නැත. වටවී බලාසිටි ගැහැණියක ' දන් ඔය ඇති ඔය මිනිහා දෙමළ වුනත් අහින්සකයා..අපේ පොඩි පොඩි වැඩක් කරලා කුළියක් අරන් ජීවත් වෙච්ච එකා' කියද්දී අර මුගුර ඇති මිනිහා 'පල වේසී අපේ කොල්ලන් අරහේ මැරෙනවා ..තොගේ අනුකම්පාව' කියා එලවා දැමුයේය. මේ ගැහැණිය තරහකින් හෝ අමනාපයකින් තවත් මොනවාදෝ කියන්නට තැත් කරද්දී ඇගේ සැමියා විය හැකි කෙනෙකු ඇය බලෙන් මෙන් ඇදගෙන යද්දී. 'මේවා සහගහන අපරාද..තොපිලට බලන් ඉන්නට ලැජ්ජ නැද්ද යකෝ ..' කියා බැන වැදුනේ මහා හය්යෙනි. ඇගේ බැනුම උදේ හවා පන්සිල් ගන්නා කිහිපදෙනෙක්ගේ මුහුණු අදුරු කල නමුත් තව බොහෝ අය මේ  දෙමලාගේ ජීවත්වීමට අයදින කරුම ආයාචනය 'බලන්නට ' පොදි කෑහ. අන්තිමේ සිහිසුන්ව තාර පාරේ ඇද වැටුනු මේ අහින්සකයා ලගටම ආ ප්‍රේක්ෂකයෝ 'ඉවරයි වගේ..' කීහ. එකෙක් දෙන්නෙක් 'පවු අනේ ' කීහ. එහෙත් මුගුර අත ඇති මැරයා පිළිගන්නට කැමැති වූයේ නැත. මගේ ජීවිතයේ අදත් ඉදහිට මැවෙන අදුරු සිදුවීම එදා මගේ ඇස් පනාපිටම සිදුවින. මැරයා මුගුර අතහැර ලොකු කළු ගලක් උස්සාගෙන විත් මේ සිහිසුන් අහින්සකයාගේ ඔලුවට උඩින් අතහැරියේය. මේ අහින්සකයා කිසිත් නොකියා තම ඉරණම බාරගත්තේය. මම එතැනින් දිව්වෙමි. එකෙකු 'දැන් ඉවරයි' කියනු මට හීනීයට ඇසුණා මතකය.

මම කෙළින්ම දිව්වේ වනාත පාරටය. කවදාවත් කතා නොකල, කවදාවත් මා නොදන්නා, එහෙත් අඹ පේර ගස්වලට අපට නගින්නට ඉඩදී, බල්ලන් කූඩු කල දෙමළාට අත්ව ඇති ඉරණම කුමක් වීදැයි හොයන්නට මම වර්නන් තිලකරත්න මහත්තයාගේ ගෙදර දෙසට දිව්වෙමි. ඒ ගෙදර ලොකු කළබලයකි. වාහන හතර පහක් නවතා ඇත්තේය. ගේට්ටුව මුරට හමුදාවේ දෙදෙනෙකු තුවක්කු මානාගෙනය. ගේට්ටුව මෙපිට අප දන්නා හදුනන අයය.  'එකෙක් හරි ආවොත් වෙඩි තියන්න ඕර්ඩර්ස් දීලා තියෙන්නෙ. ඈතට වෙලා ඉන්න' හමුදා සෙබළා කීවේ අප හැමෝටම ඇහෙන්න‍ය. 'මෙහෙට දෙමළ පවුලක් එක්ක ඇවිත් එගොල්ලන්ගේ ආරක්ෂාවට තමයි මේ ආමි එකෙන් ඇවිත් ඉන්නේ. කොල්ලො දුවපන් ගෙදර..නැත්තං උඹටත් වෙඩි තියයි' කීවේ අපේ අසල්වැසියෙකි. ඒ දුවන අතරේ  මට අර මුගුර අත ගත් මැරයා මේ දොරකඩම  එක්කාගෙන එන්නට සිතිවිල්ලක් පහල විනි. , මගේ අවාසනාවට මට ජීවිතයේ කවදා හෝ සතුටු විය හැකි සිතිවිල්ල ක්‍රියාත්මක උනේ නැත.

Saturday, November 26, 2016

ෆිදෙලුත් ගිහිං....


 සමහර මිනිස්සු මේ ලෝකෙට බිහිවෙන්නේ ශ්‍රේෂ්ඨ වැඩ කරන්න. සමහර අය බිහිවෙන්නේ ශ්‍රේෂ්ඨ වැඩ කරන මිනිස්සුන්ව බිහිකරන්න. ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ සෙවණැල්ල පිටිපස්සේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිසුන් බවට පත්වෙන්න.                                   http://uduwaage.blogspot.com
තරිදුගෙ මේ සටහන කියෙව්වෙ ඊයෙ. අද ෆිදෙල් ගිහින් කිව්වම තව අය එක්ක මේක ලියවුනා.



  අපට දැන් 'චරිත' වල අඩුවක් තිබේ. හොදට හෝ නරකට දෙකටම මග පෙන්වන දැවැන්ත චරිත ඇත්තේම නැත. එක්කෝ මොකක් හෝ යාන්ත්‍රණයක් විසින් චරිත මතුවීම වළක්වා තිබේ. (මේ මා කියන්නේ 'මායා' හී ප්‍රධාන චරිතය වැනි අය ගැන නොවේ.)

ඒ අස්සේ ෆිදෙල්ද ගිහින් තිබේ...



                               ෆිදෙල් මත මුණ ගැසුණේ හීත්‍රෝවට යාබද හවුන්ස්ලො හී 'හදවත් පදනමේ' පොත් රාක්කයක් ලගදීය. මේ හදවත් පදනමේ එක් ස්වෙච්ඡා අංශයක් ලෙස පවත්වාගෙන යන, පාවිච්චි කරන ලද දහසක් දේ අඩු මිලට විකුණා ආදායම් උපදවාගන්නා සාප්පුවේ, පවුමට දෙකට පොත් විකිණෙන රාක්කය අසල මට ඉඩ ඇති හැම වෙලාවේම රැදෙන්නෙමි. එහිදී මට බොහෝ අය හමුවී තිබේ. එහෙම හමුවී ගෙදර ගෙන ආ තවත් හුග දෙනෙක් මගේ පොත් රාක්කයේ නිසොල්මනේ ඉදිද්දී මම ෆිදෙල් හා මිතුරු වූයෙමි. මීට කලින් ඒ සාප්පුවෙන්ම ගෙනා ජුන් චැන්ග් ගේ 'මාවෝ' කියවීමෙන් 'වීරයෝ'  වීරයෝම නොව අරමුණක් ජයගත් මිනිසුන් පමණක්ම බවත් ඊට යටින් ලෝකය නොදන්නා බොහෝ දේ ඇති බවත් මට මාවෝ කියාදුන්නේය. එදා සිට මට වීරයෝ පිළිබද කුතුහලයක් මිස ආශ්චර්යයක් ගෙනාවේ නැත.
                              කෙසේ හෝ ෆිදෙල් පිළිබද මේ පොත ලියා තිබුණේ  අමරිකානුවෙකි. ඒ නිසා තව කියවන්නට වෙන තරමේ උනන්දුවක් ඇති කරලීය. ඒ උනන්දුව නිසා ෆිදෙල් පිළිබද අන්තර්ජලය හැරුණුකොට ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද ලියැවී ඇති පොත් කිහිපයක් සොයා කියවන්නට විමි. අන්තිමේ මගේ අතින් සති තිස්දෙකක් පුරා පිටු භාගයක ලියවිල්ලක් ලියැවිණි.
                                  ඒ අතරේ මට හිඋබර් මතොස් හමුවුණේ අහම්බෙනි. මතොස් සිය අනාගතය විප්ලවය වෙනුවෙන් කැප කලේය. විප්ලවය ජයගෙන සන්තියාගෝවට එන පෙළහරේ ෆිදෙල් ළගම සිටියේ මතොස්ය. අන්තිමේ මතොස් ජීවිතයේ වැඩිකලක් 'ප්‍රතිවිප්ලවාදියෙකු' ලෙස හංවඩු ගැසී හිරගෙයි දසවද වින්දේය.
මතොස් එවන් ඉරණමකට ලක්වෙන්නට සුදුසු දැයි මම දස අතේ කල්පනා කළෙමි.
                              මතොස්ගේ ජීවින කියවුම මගේ සිත සසල කළේය. එහෙත් මම ෆිදෙල් ලියා ඉවර කළෙමි. බොහෝ දේ මගේ කටු සටහන් මැද ඉතිරිකොට මගේ පොත් රාක්කයේ වීරයන් අතර සැගවූයෙමි.

ෆිදෙල් මට බොහෝ දුරක් එනතුරු වීරයෙකි. නොපසුබසින නොපරදින බවේ සංකේතයකි.  ඉන්පස්සේ අතරමග අතහරින්නට සිදුවන සාමාන්‍ය මනුස්සයෙකි.

Thursday, November 24, 2016

මනුස්සකම සහ ආනන්දසිරිය 02 (දොර පලුව )

එදා රෑ මහා වැස්සක් වැස්සාද, ග්‍රීස්මේ හැදි ඉහ මුණින් දහදිය දමන්නට පෑයුවාදැයි, මා නොදනිමි. ඉරිදාපොළ ඉස්සරහාම ගෙදරත්, ඊට ගෙවල් හතරකට මෙහායින් අඹ ගහ තිබූ වලේ ගෙදරත් අය, කෑවා බිව්වාදැයි මා නොදනිමි. මේ ගෙවල් දෙක ඇරෙන්නට ඉන් අවට ගෙවල් හත අටක මෙපමණ පාන්දරින් වුව එක ලාම්පුවක්වත් පත්තු නොවන්නේ, එක බල්බයකවත් එළියක් නැත්තේ ඇයිදැයි මා නොදනිමි. වෙනදාට ඇහෙන කනට හුරු කුණුහරුපයක්වත් පමණක්ම නොව, කලාමැදිරියෙකුගේ කරච්චලයක්වත් ඇහෙන්නේ නැත්තේ ඇයිදැයි මා නොදනිමි.සමහරදාට ඩග්ලස් අය්යා උදේ පාන්දර නොවරදවා කාක්කන්ට කන්නට පරණ පාන් බාග විසිකරන්නේ මේ වෙලාවටය. ලී මඩුවේ යකඩ මැෂින් උඩ හදුන්කූරු පත්තු වී සිගරට් දුමක් මෙන් අපේ ජනෙල අස්සෙන් විත් හමා යන්නේද මේ වෙලාවටය. මේ මොකවත්ම නැතත් පාන්දර වැඩට යන කෙනෙක් සිය කර්තව්‍ය නිමවා වතුර බාල්දියක් හිස් කල සැනින් උඩ නගින, පිරී උතුරන කක්කුස්සි වලේ ගද නහැ පුඩු විනිවිද යන්නේද මේ වෙලාවටමය. ඒ මොකක්වත් අද නැත.

අපේ ගේ මූසලය. අම්මා, තාත්තා, ආච්චී තුන්දෙනාම ගෙයි නැත. දෙවැනි අය්යා තුන්වැනි අය්යා මේසය යට කුසු කුසුවකි. අක්කාද ඇහැරලාය ..කවදාවත්ම නැතුව මාද කූද්දා තිබේ. මම ඈණුමක් ඇරියේ මා මෙහි ඉන්නවා කීමට නොවේ. එහෙත් පටස් ගා කනට පාරක් වැදුනේය. 'කෑ නොගහ ඉන්නවා..ආනන්ද අය්යා අරං ගිහින්..' මම මේ වචන ස්වල්පය තේරුම් ගන්නට උත්සාහ කලෙමි. මීට සතියකට පමණ පෙර ආනන්ද අය්යා තවත් කෙනෙකු සමග ඇවිත් ලොකු කඩදාසි පාර්සලයක් ඉටිකවර වල බහා වල දැම්මේ අපේ ගෙයි පිළිකන්නේය. එවෙලාවේත් ඔහු සිටියේ අර වෙනදා මෙන් ප්‍රසන්න මුහුණෙනි. ඔහුට පඩි ලැබෙන්නට තිබුනේද අද හෙටය. එහෙත් වෙනදා මෙන් ආප්ප කෑමට ලොකු වෙලාවක් වෙන්කිරීමට ආනන්ද අය්යාට ඉඩක් තිබ්බේ නැත. මීට දවස් දෙක තුනකට පෙර උස මහත කිළුටු ඇදුම් ඇදි එහෙත් ලොකු අක්කා විසින් 'මූ නම් හිගන්නෙකු නොවන බව' කිළිටු බිදක් නැති කකුල් දෙකෙන් අදුරාගත් කෙනෙකු අපේ ගෙදර හිගාකන්නට ආවේත් ඇස් දෙකක් නැති එකෙකු ලෙසය. අපේ තත්වය ඒ මිනිහාටත් වඩා අවුලක තිබ්බා ඒ මිනිහා දකින්නට නැත. එක්කෝ ඒ මිනිහා ආවේ හිගන්නටම නොවෙන්නට ඇත. ඊටත් කලින් දවසක කනේ මලක් ගසා ගත් කොට මිනිහෙකු මේ ලෝකෙ නැති නමක් අසාගෙන ඇවිත් ගේ දිහාම බලන් හිටියෙත් අමුතු විදියටය.මේ සියල්ල හා ආනන්ද අය්යා අතර සම්බන්ධය කුමක්ද..? මට තේරුම් ගත නොහැක.

අන්තිමේ වෙනදාට වෙලාවක් කලාවක් නැතිව පාරේ ඇවිදින මට ආනන්ද අය්යලාගේ ගෙදර යාමට හැකිවුනේ ඉරෑළිය වැටී බොහෝ වෙලාවක් ගිය පසුවය. වෙනදාට අක්කා මගේ කරදරයෙන් බේරෙන්නට ම එලවා දැමුවත් අද මගේ අතින් අල්ලාගෙන නිසා මට පැනයන්නටත් බැරිවිය. ම එහි යනවිට ආනන්ද අය්යලාගේ වෙනදා වැහී තිබෙන යකඩ ගේට්ටුව සම්පූර්ණයෙන්ම ඇර තිබ්බේය. ගෙයි දොරපලුද ඇර තිබ්බේය. නැන්දා වටකරගෙන අපේ ගෙදර අයත්, වටපිටාවේ අයත් සනසවති. ඈ සනසන්නට තරම් ලොකු කරදරයක් වී ඇත්ද..වෙනදාට කෙනෙකු මල පසුවත් 'බුදුන් වදාල දේ නේ ලමයෝ...' කියා සැනසෙන නැන්දාව අද වටවී සනසන්නට වී ඇත්තේ ඇයි.. මගේ කුතුහලය නිව්වේ අපේ අක්කාය. 'ඊයේ රෑ දොරට තට්ටු කරල ..ආනන්දසිරි ඉන්නවද අහල ජීප් එකෙන් අරන් ගිහින්..නැන්දයි අය්යයි මිරිහානේ ගිහින් දන් ආවේ..ගෙනාවේ නෑ කියනවලු.. අරන් යන්න ආපු කට්ටියගෙන් කෙනෙක් නැන්දා දැකලා පුරුදු කෙනෙක්ලු..දැන් දන්න හැම තැනටම කිය කියා හොයනවා..'

 (ඉන් එහා කතාව කියන්නට මට උවමනා නැත. ඉන් එහා වූ බොහෝ දේ දශක කිහිපයක් තිස්සේ කියවා අප විද ඇත්තෙමු. එකම දේ අද වනතුරු ආනන්ද අය්යා නැවැත ආ නැති එකය.)

මගේ ජීවිතයේ බොහෝ තැන්හි දරුවන් අතුරුදහන් වූ දරුවන් මැරුනා කියා නොදන්නා දරුවන් අද එතැයි හෙට එතැයි කියා මග බලන අම්මලා හමුවී තිබේ. එහෙත් ඒ මේ සිද්ධියෙන් පසුවය. මේ සිද්ධිය මගේ හිත බොහෝ කලබල කරනා ලද්දේය. ඒ නැන්දාගේ තනි නොතනියට දහවල් වරුවේ මා නවත්වා යන ලදින් මා හා ඒ නැන්දා ඒ ගෙදර සාලයේ තනිවී ඇත්තෙමු. නැන්දාටම උරුම වූ හාන්සි පුටුවේ සිට බාගෙට අරින ලද දොරෙන් දැන් එතැයි දැන් එතැයි කියා, එක ක්ෂණයකින් මග හැරෙන්නට වෙතැයි බයට, ඇස්පිල්ලන් නොගහා බලන නැන්දාගේ ඇස් කෙවනි මත්තෙන් නැගෙන කදුලු නවතන්නට මට කිසිදා නොහැකි විය.  ඒවා කිසිදා සිදී නොගියේය. මට ඒ නැන්දා අදත් මතකයට නැගේ ..අදත් ඇගේ ඇස් අර දොර පලුව මෑත්වන මොහතක් මොහොතක් පාසා විසාල වී ආනන්ද අය්යා මතුවේ යැයි බලාපොරොත්තුවෙන් එකවර දීප්තිමත් වී, නැවැත හැකිලී යන හැටි මට මැවී පෙනේ.

ආනන්ද අය්යා එක්කාගෙන යන්නට ආවේ මහ පාන්දරක 'දන්නා කියන' කෙනෙකි. දෙල්කද හන්දියේ ලොකු බිල්ඩිමක අපිත් දන්නා අක්කා කෙනෙකු හා විවාවී සිටි කෙනෙකු වූ මේ අමුනුස්සයා ඊට පසු කලෙක රත්තනපිටියේදී මහමග මරා දැමුයේ පෞද්ගලික වෛරයකට බව මතකය. ඔහු කෙරූ අපරාදය 'රාජකාරිය' ලෙස හදුන්වා දුන් බව මම දනිමි. එහෙත් ආනන්ද අය්යා වැනි කෙනෙකු පමණක් නොව තව සිය දහස් ගනනක් රාජකාරිය නිසා අතුරුදහන් කිරීමට හිත දීම  ඔවුන්ගේ හිත් ඇතුලේ සිය දහස් වාරයක් පෑරි පෑරී තුවාල වී ඕජස් ගලන්නට ඕනෑය. අඩුම ගනනේ අපේ නැන්දා මෙන් බාගෙට ඇරුණු දොර පලුවක් සමග මුලු ජීවිතයම පීඩා විදින්නට නොසලස්වා ' අම්මේ නුඹේ පුතා අපේ අතින් මැරුණා..'කියන්නට තිබිනි. අඩුම තරමේ ' මේ දැන් උඹේ පුතා හන්දියේ මැද දැවෙන්නේ යැයි ..'කියන්නට තිබිනි. ඒ වෙනුවට ඔවුන් කලේ ආනන්ද අය්යා අල්ලාගෙන ගොස් මැරෙනතුරු පොලුවලින් පහරදී දසවධ බන්ධනයට යටත් කොට මරා දමා කොහේ හෝ පුච්චා දැමීමය. අපේ නැන්දාගේ ගේ ඉදිරිපිට ඕනෑ තරම් ඉඩ තිබිණි. ආනන්ද අය්යාගේ නිසල සිරුර එහි ගෙනවිත් දමන්නට තරම්වත් සිහියක් තිබුනානම්..ඒ අම්මාගේ ඇස් මැරෙනතුරු අර දොර පලුව දෙස බලා ඉන්නේ නැත.

මට කියන්නට අමතක වූ දෙයක් තිබේ. ඒ ආනන්ද අය්යා ගැන ඉන් සතියකට පසු ආරංචියක් ලැබීමය.

 ඒ දිනපතා ඉන්ග්‍රීසි පුවත්පතක කෙටි ප්‍රවෘත්තියකිනි. '......නම් සදහන් කල පස් දෙනෙකු මිරිහාන පොලිස් අත්ඩංගුවෙන් පැනගොස් ඇති අතර ඒ අය සොයා මෙහෙයුම් දියත් කර ඇති බවට නිලධාරියා කියයි' යන කුඩා ප්‍රවෘත්තියේ ආනන්ද අය්යාගේ නමද තිබිනි. නැන්දලා මේ තොරතුර පස්සේ පුවත්පත් කාර්යාලයටද එය ලියුවා යැයි කියන පොලිස් වාර්තාකරුගේ ගෙදර ගියද හරි හැටි තොරතුරක් ලැබුනේ නැත. ලැබුනු එකම උත්තරය වූයේ ' දැන් ඉතින් අමතක කරලා දාන්න..' යනු පමනකි.
අම්මා කෙනෙකුට දරුවෙකු අමතක කරන්නට පුලුවන්ද...ඒ අම්මා මැරෙනතුරු දුක්වින්දාය. මැරෙනතුරු ආනන්ද අය්යා යලි එතැයි සිතා ඒ එන මග ඉක්මන් වන්නට පිංකම් කලාය. අදද දෙල්කද   මහා හතරමං හන්දියේ අතරමං වී ඇති, ඒ අම්මා ආනන්ද අය්යාට ඉක්මනින් ගෙදර එන්නට පිං තකා තැනූ චෛත්‍ය රාජයාද  ඔහේ බලා හිදී. ඒ තරම් වූ බලාපොරොත්තුවක් ඇයට ඈ මිය යන තුරුම තිබින.
එක්තරා දවසක නාදුනන කෙනෙකු විත්, 'අම්මේ ඒ මනුස්සයා අපව පාවා නොදී අප දන්නවා යැයි නොකියා..මැරෙන තුරු ගුටිකා, අන්තිමේ යකඩ කූරක් කන පසාරු කරගෙන යන තෙක් නිහඩව සිට අප බේරා අප ඉදිරිපිටම නිසොල්මන් වී යැයි' කියද්දිත් ඈ නිහඩව ආනන්ද අය්යා එනමග පහසු කරවන්නට පින්කම් කලාය.
මගේ 'නිවන් ලිස්ට් එක' ඉතා කෙටිය එහි නිවන් නොලැබෙන කොටසේ ආනන්ද අය්යා ඉන්නේය.

ප.ලි
ආනන්ද අය්යාට සමගාමීව මගේ දෙවැනි අය්යාද, තුන්වැනි අය්යාද ''දැකීම'' සදහා මම අම්මා සමග අගලවත්තේ සිට පයින්ම පැලවත්ත තෙක්ද..රාගම හන්දියේ සිට වැලිසර තෙක්ද ගොස් ඇත්තෙමි. එහිදි අම්මා 'මෙවන් දරුවන්' සදාගැනීම පිළිබද නිල ඇදුම් ලා සිටි සත්ව කොට්ඨාසයකින් බැනුම් ඇහුවාද අද වාගේ මතකය. මේ නිසා අපේ ගෙදර බොහෝ වියවුල් විය. බොහෝ අය බැනුම් ඇහුවා මට මතකය. එහෙත් අද වෙනතෙක් ආනන්ද අය්යා ගැන මතක් කරන කෙනෙකු ඇසින් කදුලක් වැටෙන්නේය. ඒ තරම් ඔහු ආදරය ලැබීය. ඔහුගේ මනුස්සකමට එයම මදිද...
ප.ලි 2
ආනන්ද අය්යා අපේ අය්යලා ජීවිත ඇගිලි අතපය හා තරුණකම පූජා කල මෙහෙවර පිළිබද මගේ තරහක් නැත. එහෙත් එක දවසක මේ ව්‍යාපාරයේ ලොක්කෙකු හමුවී මා මේ සියල්ල කියූ පසු ' අපි තාම ඒ ගැන සොයා බැලුවේ නෑ..ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක් ..මට කොල කැබැල්ලක ලියා දෙන්න ඉඩ තියන වෙලාවක බලමු..' යැයි කියූ පුද්ගලයා මට කොල කැබැල්ලක් තරම්වත් වටින්නේ නැත.

Tuesday, November 22, 2016

රචනාව



මේ ලග දවසක මගේ ගුරුවරයෙක් සිංහල පිළිබද දේශනයකට ඇවිත් 'පලු' යන්නට දුන්නා. හේතුව අපේ බාෂාව පිළිබද නොසැලකිලිමත්කම. ඉතින් ඒ වෙලාවේ අවුරුදු තිස් හතලිස් ගනන් වල අපට රචනාවක් ලියන ලෙස තර්ජනය කෙරුනා. දුන්නේ විනාඩි විස්සක්. වචන දෙසීයයක්.මාතෘකාව 'ලෝකයේ මා දුටු සුන්දරම ස්ථානය.
මේං මගේ රචනාව.





ලෝකයේ මා දුටු සුන්දරම ස්ථානය

මා ලෝකයේ බොහෝ තැන්හී ඇවිද ඇත්තෙමි. බොහෝ තැන්හී වශී වී, මෝහනය වී, එහෙත් මන්දස්මිතියෙන් බලා සිට ඇත්තෙමි. විටෙක එවා ලෝකයේ වඩාත් ජනාකීර්ණ, කොන්ක‍්‍රීට් වනාන්තරය..වරෙක ඒවා මිනිස් පූළුටක් පය ගසා නැති හරිත වන බිම්ය, වරෙක ස්වභාවික ලෙස පෙනෙන්නට තැනූ, කෘතිම උද්‍යානයන්ය, මහා ඩිජිටල් තිර මත මැවෙන සුරන්ගනා ලෝකයන්ය. වරෙක මහා කදු මුදුන්, වන පියස් හඹා යන ගුවන් සවාරිය. මේ හැම තැන්හීම මම මගේ නිසල කැමරාව රැගෙන යමි. එහි කාචය හඹා එන නිමැයුම් මගේ පරිගණකයේ රැස්කර තබා ගමි. ඒ නිමැයුම් අසිරිය දෙස බලා සැනසෙන්නට බැරිව ළතැවෙන්නෙමි. ඒ ළතැවීමට හේතුව ඒ එකදු දර්ශනයක්වත් මාගේ මනැස, ඇස පුරවන්නේ මුදු සිත සැනසීමට සමත් නොවන නිසාවෙනි.
එහෙත්,
මට තවම කිසිම අයුරකින් , කිසිම තාක්ෂණයකින් මගේ කැමරාවටත් මගේ කැමරාවෙන් පරිගණක තිරයටත් එකතු කරගන්නට බැරිවූ, කිසිදා එකතු කරගන්නට බැරිවෙන තැනක් තිබේ..


ඒ මගේ අම්මාගේ ඇකයයි..
මගේ අම්මාගේ ඇකයේ නිදාගෙන, ඇරෙන-වැහෙන නිදිමත දෙනෙත් අරිණා සැමවිටම, මට ඇගේ කෘශ වී ගිය, වේලී පරඩැල් වුණු දෙතන පෙනේ. ම එහි ඇබ්බැහියෙකු ලෙස එල්ලී කිරි උරා බොමි. මා නොදැන සිටියාට ඇගේ කුස හිස්ය, ඈ විඩාබරය, එහෙත් මා එහිම එල්ලී ඒ සුව විදිමි. ඒ දියැවී ගිය චීත්තයේ කොනක් අල්ලාගෙන, කුණු ලි දැළිකුණු රැුදුණු මිහිර විදිමි. මට නිදන්නට, මට සිහින දකින්නට, ඉඩදී ඇගේ අවුල් වූ රිදීවන් කෙස් කළඹ මා සනසා නිදැල්ලේ සුළගේ දුවන්නීය. ඇගේ වත හඹා ගලා එන වත්සුණු නොව, දහදිය පුසුඹ මා නැහැ පුඩු අස්සේ ගොස්, මණසැට කා වැදී, සුන්දර හෙටක් තනන්නට මග පාදා දෙයි.
මට අම්මාගේ උකුල ඇරෙන්නට ලොව වෙනත් තැනක් ඉදින් සුන්දර වන්නේ කෙසේද...?

ප.ළි.
******** මහතාණෙනි, මට මේ මාතෘකාවෙන් ලියන්නට වචන දෙසියයක් මදිය. එහෙත් ඔබේ ඉල්ලීම අහක දමන්නටද බැරිය. ඒ  නිසා මෙතැන නවතිමි.
තුති.

Saturday, November 19, 2016

මනුස්සකම සහ ආනන්දසිරිය..- 01


දෙල්කද ඉරිදාපොල ඉස්සරහින්ම කොට තාප්පේ පුංචි මිනිහෙක් වාඩිවී හිටියා මට මතකය. හීන් දිගැටි පැහැපත් මුහුණ වසාගෙන හිටි හැටියේකඩා වැටෙන අවුල් වුණු අකීකරු කෙස් කළඹ මේ පුංචි මිනිහාට නිරතුරු වද දුන්නේය. ඒ කෙස් රොදක් අතින් එහා මෙහා කොට කෙනෙක් වෙත මහා හිනාවක් පැවේද මේ මිනිහාමය. ගෙදර ඉන්නා බොහෝමයක් වෙලාවල්වල මේ මිනිහා සිය උඩුකය නිරාවරණව සරමක් ඇද උන්නේය. මේ මිනිහා 'මනුස්සයෙක්' බව මා දැනගෙන ලගින් ආශ්‍රය කරන්නට හමුවුනේ නැත. ඒ අවාසනාවට හේතුව, මා පොඩි එකෙකු වීමය. එහෙත් මා ඔහු දන්නා විදිය ලියා තබමි. මට වෙන කරන්නට දෙයක් නැත.

ආනන්ද අය්යා මා හොර ගස්ගෙඩි හන්ගන තැන දැන සිටියේය. එහෙත් කවමදාවත් ඒ බව මට දැනගන්නට තිබ්බේ නැත. සමහර දවස්වල අකාරුණික වැහි වහින වෙලාවල මගේ දැල් පෙට්ටිය වැස්සට නොතෙමෙන්නට වහලයත් කොන්ක්‍රීට් ලෑල්ලත් අතර එල්ලා තිබ්බේ කවුදැයි මම දැන් දනිමි. මේ දැල් කූඩුවේ හොද අඹ ගෙඩියක් පුස්ඹ දෙමින් ඉදෙන විට මම ආනන්ද අය්යාට දෙන්නට අහන්නෙමි. 'තමුසෙට කොහෙන්ද..කාගේ ගහේද..' වෙනුවට ආනන්ද අය්යා, 'තව ටිකක් තියල කනවා... ඔය ගහේ අඹ ඔයිට වැඩිය ඉදෙන්න ඕනේ..' කීමම මේ මනුස්ස‍යාට හදවතක් ඇති බව දැනෙන කාරණාවකි. ඒ හදවතට පෙම්බැදි අක්කා කෙනෙකුද වූවාය. ඈ තලෙළු බව මට මතකය. යන්තම් ඡායාවක් මෙන් ඈ මට මතකය. ආනන්ද අය්යා මේ අක්කාට හදවතින්ම ආදරය කරන්නට ඇත. එහෙත් ආනන්ද අය්යා ආදරය අපටත් එකසේ බෙදා දුන්නේය. එක දිනක මාද ආනන්ද අය්යා සමග ඒ අක්කා බලන්නට රත්තනපිටිය පැත්තේ කියා මට මතක, ගෙදරකට ගියෙමි. ඒ අක්කා මාද ලග හිදුවාගෙන නොයේකුත් ප්‍රශ්න ඇසුවාය. ඒ අතරේ 'ඔයාගේ අර අඹ කූඩෙන් මටත් එකක් එවන්නකෝ 'යැයි කීවාය. ආනන්ද අය්යා වෙනුවෙන් මට ඈට සලකන්නට ලැබීම සතුටකි. මම 'හා.. මම දැන් යන්නද' ඇසුවෙමි. අක්කා 'හා' කීවාය. මම අඩියක් ඉදිරියට තිබ්බා පමණි. අක්කා මා අල්ලා ගත්තාය. ''මේ මේ ඉන්න..යන්න එපා..මට අඹත් එපා..ඕං ඕගොල්ලන්ගේ අය්යට ඩෝං ගිහින් මම අඹ ඉල්ලුවා කියල..' කියා ඈ මා අල්ලාගෙන ගෙට ගියාය. ඒ මේ මනුස්සයාගේ හැටිය. ඉන්පස්සේ ඒ ගිය ගමන සතුටුදායක එකක් නොවන තැනකට පත්වී ආනන්ද අය්යා මා කැටුව යලි ආවේය. ඒ එන අතරේ 'ඔයාට වැඩිපුර තියනවානම් පස්සේ එකක් දෙන්න අක්කට..' කීවේය. ඔහුට දුක හිතෙන්නට ඇත. අප දෙදෙනා ගැනම දුක හිතෙන්නට ඇත.

ආනන්ද අය්යා වැඩ කලේ රත්මලානේ බව මට මතකය. හැම පඩි දවසකටම ආනන්ද අය්යා, මගේ තුන්වැනි අය්යා සහ ඒ වෙලාවේ ඉන්නා කෙනෙකු දෙල්කද ආප්ප කඩේට යන්නෙමු. ඔහුගේ පලමුවෙනි රාජකාරිය ඒ බව මට සිතේ. බිත්තර ආප්ප, නිකං ආප්ප සහ ලුණුමිරිස් සම්බෝලය සමග අපට හොදට බඩ පිරෙන්නට කන්නට දී ප්ලේන්ටියක් සමග පැණි ආප්පයක් අරන් දීම ඔහුගේ පුරුද්දය.ඔවුන් වරු ගනන් කතා කර කර උණු උණු ආප්ප බුදිති. මම ඒ දෙතුන් දෙනා අතර බට්ටෙකු මෙන් වාඩි වී ඔවුන්ගේ කතා වලට සවන් නොදී ආප්පම බුදිමි. එක්කෝ මා රැගෙන යන්නේ මා ඒ වෙලාවට කොට තාප්පේ ලග රැදෙන නිසා බව මා සිතා සමහර දවස්වල ගෙදරට වී ඉදිමි. එහෙත් අපේ අය්යා කෙනෙකු ' වරෙන් ඉක්මනට ආනන්ද අය්යා බලන් ඉන්නවා' කියා බෙරිහන් දෙන විට මා වැරදි බව වටහා ගනිමි.

මේ මට මතක, මතකයෙන් ඈත් නොවන්නට දෙන ඡායාරූපයක කතාවකි. ඒ ගෙදර අය ගැන වෙන වෙනම ලිවිය හැකිය. ඒ හැමෝම හොද මිනිසුන් වෙයි. එහත් ඒ ගැන නොලියා මේ ඡායාරූපයේ කතාව ලියමි.
එදා උත්සවයක් හෝ දානයක් හෝ ගෙදර අය එකට එකතු වූ මොහොතකි. සියලු දෙනා අහාර ගෙන නිමවී ඡායාරූපයකට පෙනී සිටින්නට එන්නැයි තවත් 'අලංකාර' මනුස්සයෙක් වූ මේ ලගදී මියගිය ඒ පවුලේ ලොකු අක්කාගේ මහත්තයා කීවේය. මම ඒ වෙලාවේ කෑම කමින් සිටියෙමි. මේ ගෙදර කෑම මේසය වටා සියල්ලන් එකතු විය. නැන්දා, ලොකු අක්කා මහත්තයා, දෙවැනි අය්යා, ලොකු අක්කාගේ ළමයින්, පොඩි අක්කා ඇත්ලු සියලු දෙනම මේ ඡායාරූපයට එකතු වූ අතර ඡායාරූපය ගන්නට ලැහැස්ති වී සිටියේ ආනන්ද අය්යාය. මම මා පවුලේ ලගම එකෙකු නොවන නිසා වෙනත් ඡායාරූපයකට පෙනී සිටින්නට කතා කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් කෑම පිගානද අතැර ලකලෑස්ති වුනෙමි. අන්තිමේ ඇරයුම ලැබිණ. මා වම්පැත්තේ කොනට එකතු වුනෙමි. 'මෙහාට වෙන්න...' මට එකොන සිටි කෙනාගෙන් තල්ලුවකි. මම මැදට ආවෙමි. මැදින්ද තල්ලු කෙරුනෙන් දකුනේ කොනට ආමි. එහිද කෙනෙකු හරියට නොපෙනෙන නිසා මා තල්ලු විනි. මා නැතුව ඡායාරූපය ගන්නට සියලුම දෙනා ලහැස්තිය. එහෙත් කැමරාකරු රතු වී දත්මිටි කන්නේය. 'ඔය ලමයවත් ඇතුලට ගන්න..' විධානයකි. එහෙත් ගන්නා පාටක් නැත. එහි වරදක් නැත. එකල ෆොටෝ ගත්තේ දන් වගේ ආවාට ගියාට නොව කලාතුරකිනි. අනික ඒ පවුලේ අයට මා නැතුව ඡායාරූපයක් ගන්නට තිබෙන ඕනෑකම අසාධාරණ නොවේ. එහෙත් කැමරාකරු ඊට අනුමැතිය දෙන පාටක් නැත. අන්තිමේ කවුදෝ ගැටළුව නිරාකරණය කලේය.

ඒ ඡායාරූපයේ හිනාවීගෙන කරට අත දමාගෙන සතුටෙන් ඉන්නා පවුලකි. ඒ අය වටවී ඇති මේසය යට බිම ඉදගෙන  සතුටෙන් හිනාවී දත්පෙන්නන පොඩිකොල්ලෙකි. ජීවිතයක අරුම ..ආනන්ද අය්යා මා අතැර ඒ ඡායාරූපය ගන්නට අකමැති වූවේය. ඔහුට ඕනෑ වුනේ මටත් එකලෙස සලකන ගෙදරක ඒ ඡායාරූපය ගන්නටය .ඒ වාගේම ඔහු එවන් සාධාරණ සමාජයක්ද පැතුවේය. ඒ සමාජය බිහිකරගන්නට සමාජ ව්‍යාපාරයකට අතදුන්නේය. මා ඡායාරූපයේ ඉදිද්දී ආනන්ද අය්යා අතුරුදහන් වී තිබේ. අතුරුදහන් කොට තිබේ.

මා මිනිහෙකි. ආනන්ද අය්යා මනුස්සයෙකි.

Tuesday, November 15, 2016

මිහිර සිත්තර සහ ලන්කට්



මිහිර බැද තිබුනේ පිළිවෙලටය. සති පනස්දෙකක් කොටස් හතරකට බැද ඒවා කඩදාසි බෑග්වල දමා අපූරුවට තිබුනා මට දනුත් සිතින් මවා ගන්නට පුළුවන. හංවැල්ලේ සිට ආ විගස මා කරකවා අතහැරියා මෙන් නිසා ලොකු අම්මා ඇයගේ දියණියට 'ඕං ඕකෙන් පත්තරයක්වත් දීපං කොල්ලට බලන්නට' යැයි කීවාය.

 මම ලොකු අම්මා ලග කිහිපවතාවක්ම නැවැතී ඉද තිබේ. ඒ ගෙදරදී මට හොද සැලකිලි ලැබුනේ ඇයට සිටියේ එක දුවෙක් නිසාය. පුතා තාත්තා සමග වෙන්ව ගොස් තිබුනේය. ඒ පුතාගේ අඩුව පිරෙන්නට අපේ ගෙදර හතරදෙනෙක්ම සිටි එක හොද වුනත් ඈ මවා ගත් සතුටු කේන්තියකින් අප 'පර' වැඩක් කල සැම විටම එලවාගත්තාය. එක වරෙක මගේ 'එල්ලෙන එකට' හොරි හැදී කස කසා ඉන්නා හැටි බලා ඉන්නට බැරිව ඈ මා එක්කාගෙන නුගේගොඩ ආ හැටිත් මට ඡායාවක් වාගේ මතකයේ තිබේ.

කෙසේ හෝ මාත් කරන්නට කිසිත් නැති තැන 'මිහිර' කියවන්නට පටන් ගත්තෙමි. අවසානයේ උදේ කුණුකෙල පිටින්ද, දවල් ජයසින්හේ සිට ආ ගමන්ද, කක්කුස්සියේ කර්තව්‍ය කරන ගමන්ද මම මිහිරට ඇබ්බැහි වුනෙමි. කොටින්ම කියනවානම් සීනීයාස් මල් ඇටයක් නහයේ කොනක තබාගෙන ' මල් මාමාගේ ' නහයේ මල මෙන්  පැලවෙනකම් බලාසිටියෙමි. ඒ තරම් මිහිරට මා ඇබ්බැහි විය. අන්තිමේ පත්තර බණ්ඩල එකින් එක ඉවර විය. ඉන් පස්සේ සතිපතා මිහිර එනතෙක් රස්තියාදුවේ ගියෙමි. පත්තරේ ආවේ බදාදාද  සදුදාද කියා මට මතක නැත. එහෙත් පත්තරේ ලොකු අම්මා හෝ බාප්පා ගෙනා සැනින් මැදින් පිටුවක් උස්සාගෙන  අපේ ගෙදර මේසේ උඩ හෝ යට ඉද එක හුස්මට ඉවර කරමි. ඉන්පසේ තව පිටුවක් සදහා ලොකු අම්මාගේ දියණිය හා රණ්ඩු වෙන්නෙමි. බැරිම තැන. 'මාත් ගන්නවා යකෝ..අම්මට කියල ..උඹ තියාගනින් ' කියා පරාජිත රණ්ඩුවක් ඇදගනිමි. අන්තිමේ ඈ මුලු පත්තරේම මවෙත විසිකරන්නීය. ඇය කදුළු පෙරාගෙන අඩන්නීය. ලොකු අම්මා ඇයටද මටද දෙන්නාටම බැන බැන වැඩෙහිය. මම මිහිරේ නිසා මට මේ මුකුත් පේන්නේ නැත.මම මගේ පාඩුවේ මිහිර රසවිද ඇයට යලි දෙනවිට ඈ බත් කා ඇදුම් මාරුකරගෙන 'සෙල්ලං ගෙයක්' කරන්නට ඇවිත්ය.

මට බඩගිනි එන්නේ එතකොටය. 'පොඩ්ඩක් ඉන්න මම ටකස් ගා එනවා' කියා අපේ කුස්සිය පෙරළුවද බඩට දාගන්නට දෙයක් නැත. තුන්වෙනි අක්කාද කිසිත් නොකියා 'පුස්මේන්තු' මූණක් දාගෙන සුදු ගවුම පිටින් පොතක් කියවයි. ඈ කවමදාවත් ඒ ගැන කෑ ගැසුවේ නැත. ඒත් මට පරල වී 'බඩගිනි ..මේ ගෙදර කන්න දෙයක් නැත' කියා ලතෝනි දෙන්නෙමි. අක්කා ඊට පසු පරල වෙයි. 'කට වහං හිටු බූරුවෝ' කියා මට ආදරෙන් කතා කරන්නීය. ඒත් මගේ ව්‍යායාමය සාර්ථකය. ලොකු අම්මා ලොකු තහඩු රෝසමල් පිගාන පිරෙන්නට බත් එකක් බෙදාගෙන එන්නීය. 'මේ මනුස්සයා කොහේ ගියාදැයි' හිමීට අම්මා සොයා මුමුණන්නීය.අම්මාට මුණු මුණු ගගා මොනවා කීවත්..ලොකු අම්මා තාත්තාට කිසිත් කියනු මා දැක නැත.
 මට තාමත් හිතාගන්නට බැරි දෙයක් තිබේ. ඒ ලොකු අම්මා අපේ තාත්තාට දැක්වූ ගෞරවය හා ආදරයයි. තාත්තා අසනීප වන හැම වෙලාවකම වාගේ ඇවිදගන්නට අමාරු ලොකු අම්මා ත්‍රීවිලරයක් අරන් දැනුත් අපේ ගෙදර එන්නේය. ඒ බැදීම් හරිම හර්ද්‍යාංගමය.

ඉතින් අර බත් එක අප දෙන්නා හෝ මම තනිව හිස් කරන්නෙමි. මට 'මේවා මතකදැයි' අක්කාගෙන් අහන්නට වුවමනාය. ඇයට මෙයට වඩා දේවල් මතක තියනවා ඇත. අපට මේ බත් පිගානත් නැති දවස් තිබේ . එහෙම දවස්වලට ගස්ගෙඩි තිබුනාට එහෙම නැති දවස් තිබීම ස්වබාවධර්මයේ වැරැද්ද නොවේ.  එහෙම දවසක පෙරදා අම්මා මිරිස් ඇඹරූ ගලේ සුදු බත් දා අනාගෙන කෑ දවස් මට අමතක නැත. මේ ලගදී ලොකු අම්මා මා ඇය දකින්නට ගිය විටද මේ කතාව මතක් කලාය. 'එහෙම කෑ නිසා අද මෙහෙම ලැබෙනවා' කියා ඈ කීවාය. එහෙම වෙන්නට ඇතිය.

මේ සෙල්ලම් ගෙදර මට කෂණිකයෙන් එපා වෙන්නේය. 'අපෝ තමුසෙගේ ගෑණු සෙල්ලං කියා ' මම මාරු වෙන්නෙමි. ඉන්පස්සේ මම මගේ 'ගැං' එකත් එක්ක ඉරිදාපොල, දෙල්කද ඇල, රත්තනපිටිය, පැගිරිවත්ත, උඩහමුල්ල, රේල්පාර, වනාත පාර, ගෙවල් පේලිය, අනෝජා වීරසින්හගේ අක්කාගේ ගෙදර ඉස්සරහා පිංලිද ආදී නෙක විධ පාරවල්වල ඇවිද යන්නෙමු. ටයර් පදින්නෙමු.

මිහිරට අමතරව අපට චිත්‍රකතා බැලීමටද ප්‍රෝග්‍රෑම් එකක් තිබිණි. එකල 'සිත්තර ,මධුර' ජනප්‍රියතම චිත්‍රකතා පත්තර විය. පත්තර අප මිලදී ගන්නේ නැත. ජයසින්හේ ලග පොඩි කඩේ මේ පත්තර කුළියට දෙනු ලැබේ. කඩේ බංකුවේ ඉද කියවීමට සත දහයක් හෝ විසිපහකි. ගෙදර ගෙන ඒමට සත විසිපහක් හෝ රුපියලකි. මේ ගනන් මට හරියටම මතක නැත. මේ පත්තර සදහා අනුග්‍රහය සීනී අක්කාගෙන් හෝ පද්මා අක්කාගෙනි. මා එක්කාගෙන ගොස් පොඩිකඩේ මුදලාලිට අදුන්වාදී මේ රාජකාරිය මට නිත්‍ය ලෙස සිනී අක්කා පවරාදුන්නාය. ඇගෙන් රුපියලක් රැගෙන හැල්මේ දුවන මම සීත්තර හෝ මධුරත් රැගෙන කෙලින්ම 'සිගිති'ලාගේ ගෙදරය. ඔබ හිතන්නේ මට වැරදුනා කියලාද..? නැත. සීනී අක්කා සහ සිගිතිලාගේ අම්මා නෑනලාය. ඒ නිසා වලිය. වලි නිසා කතා නොකරති. එහෙත් ඒ දෙන්නාටම පත්තරය ඕනෑය. සල්ලි සීනී අක්කාගේ වුව මම පත්තරය දෙන්නේ ඇයගේ හතුරාටය. (මේ අපේ කාලයේ ලමා රන්ඩු වැනි ඒවාය. පොඩ්ඩ බැරිවෙන්නට රණ්ඩු වූවාට එක මොහොතෙන් දෙ නෑනලා බදාගෙන අඩන වෙලාවල් ඕන තරන්ය.)ඈ මට සත පනහක් දෙයි. ඒක ඩිලිවරි ගාස්තුය. ඉන්පස්සේ ඈ එක හුස්මට සිත්තර කියවයි. ඈ කියවූ පසු මම ආයෙත් බොරු හැල්මේ සීනී අක්කා ලගය. ' පත්තරේ ගෙනිච්ච කෙනෙක් ගෙනල්ලා නැතුව පරක්කු වුනා..' මම මගේ අහිංසක මූණ දමන්නෙමි. 'පවු කොල්ලා රස්තියාදුවේ..' ඈ දුක්වන්නීය. මගේ සතපනහ සාක්කුවේ දගලන්නේය.

අන්තිමේ අපි සියලුදෙනා පත්තරේ කඩාගෙන මීක් නැතුව යුනිකෝ..දේදුණු කැළුම් අතරේ තනිවෙන්නෙමු. ස්පාටකස් හා යුනිකෝ මගේ වීරයෝ වෙති. ඔවුන් ඇස් කලුපාටෙන් වසාගෙන අලි සයිස් කඩු කස්තාන වලින් කරන හරඹය මට මැජික් මෙනි. මාද යුනිකෝගේ ඇස්වල හැඩයට කපාගත් කලුකඩදාසි කැබල්ලක් පැලද මගේ මිතුරන් සමග කඩු ෆයිට් කෙරුවෙමි. ඇස් වැසුණු කල යුනිකො හෙන 'ගේමක්' දුන්නද මම ඇස් වසාගෙන ගෙමක් දෙන්නට ගොස් කොල්ලන්ගේ සැර හූවකට බදුන් වුනෙමි. අහෝ ඉරිදාපොලේ යුනිකෝගේ ලන්කට් එකක්වත් නැති 'අවශේෂ' හිරිවැටී යන්නට මගේ හාල් කඩේ යාලුවා කඩුපාරක් දී තිබිණි.

Sunday, November 13, 2016

සඳ රවුම සහ උස ළමයා.









මම ඇබ්බැහියෙකි. ඒ ඇබ්බැහියට කාලයක් දෙයක් කියා සීමාවක් නැත. මම කලකට සිංදු වලට ඇබ්බැහි වන අතර කලකට චිත්‍රපට බලමි. කලකට ක්‍රිකට් ගහන්නට යන අතර කලකට උදේ හවා අවේලාවේ යාලුවන් සමග 'මචං' එකේ බියර් බොන්නෙමි. කලෙක පත්තර වලට ලියන අතරේ කලක පත්තර කියවීම පමණක් කරමි. කලෙකට චිත්‍ර අදින අතරේ කලක කැමරාව මානාගෙන පාර පුරා ඇවිදිමි. මගේ ඇබ්බැහියේ ස්වරූපය එයය. එහෙත් මගේ ආදරයේ ස්වරූපයද එසේම නොවේ. මම ආදරය කරන්නේ ඉතාම කලාතුරකිනි එහෙත් එහි මා ගැලී සිටිමි. එහි ගැලී ඉන්නා ඇබ්බැහියෙකු වෙමි. එවිට මගේ ඇග ඇතුලේ ඉන්නා මෝඩ-සංවේදී-උමතු චරිතය එලියට එයි. එහෙත් මා ඒ බව දැනගන්නේ 'පාවිච්චියට පෙර සොලවා ගනු' යන ප්‍රත්‍යයේ නොසිට නිසා අන්තිමේ දුක්වෙමි.

කෙසෙ හෝ මගේ ආදර කතා පටන් ගන්නේ ජයසින්හයෙනි. ජයසින්හයේ මට ආදරේ 'සඳ වාගේ රවුම්' මුහුණැති කෙල්ල සිටියාට මම ඇයට ආදරේ කලේ නැත. මම ආදරේ කලේ ඉස්කෝලේ අයින දිගේ කෙටි පාරේ සිටි උසම උස කෙල්ලටය. ඇය සඳ රවුම තරම් ලස්සනද නැත. සඳරවුම මෙන් මා කෙරෙහි අනුකම්පාවක්ද නැත. සඳරවුම මෙන් පෝසත්ද නැත. එහෙත් මගේ හිත ඈ ගැනය. වර්නන් තිලකරත්නගේ ගෙදර හොරට කඩන පේර ඈ ගන්නේ නැත. ආනන්ද අය්යලාගේ ජම්බු ගන්නේද නැත. ඇදිහැස විස්කෝතු ගන්නේද නැත. ඈ හැමවිටම 'මට එපා මම කෑවා..මම ආසා නෑ' කියන්නීය. එහෙත් දුරින් සිට යාලුවන් සමග මගේ හොර ගස්ගෙඩි කන හැටි මම දකිමි. 'ඇයි මම දෙනකොට කන්නට බැරි' මම අසන හැමවිටම ඈ මට සිනාවක් පෑවා මිස කිසිත් කීවේ නැත. එහෙත් මගේ පොත් නම් අනිවාරයෙන් ඉල්ලා ගත්තීය. ඒවාට 'මැලිබන්' බිස්කට් පැකට් වල දවටන වලින් කවර දැමුවාය. එතකොට පොත් ජරාවෙන්නේ නැති බව මට කීවාය.ඉස්කෝලේ නෑවිත් ලියා නොගත් අඩුපාඩු හැදුවාය. එකල මම පොත් බෑගයක් ගෙනිච්චේ නැත. අගලක් විතර මහත රබර් පටියක් මට දුන්නේ 'මගේ නිමල්' බව මට යන්තමට මතකය. ඒ රබර් පටිය එකතු කොට පොත් මිටියම රදවාගත්තෙමි. ඈ ඒ රබර් පටියේ ප්ලැටිග්නම් පෑනකින් මගේ නම ලියා දුන්නාය. එක කාලයක ජයසින්හේ සීනුව නම් උදැලු තලේට යකඩ ඇණයකින් ගසා 'බෙල්' කිරිල්ල බාරව හිටියේ ඇයය. 'ඔයා කවමදාවත් මා බෙල් එක ගහනවා බලන්නට ඉස්කෝලේ නැත' කියා නම් ඈ දුක්වූවාය. 'කොහේ ඉන්නද ඒ වෙලාවට මම ගහක නොවැ' කියන්නට හිතුනත් මම මගේ හිනාවෙන් 'ඊලගපාර ෂුවර්' කියා බේරුනෙමි. එහෙත් අපි දෙන්නා කවමදාවත් 'මම ඔයාට කැමැති හෝ ඔයාට මම කැමැති' ජාතියේ ආදරය නොකෙලෙමු. ආදරය අදටත් මට මහා විහිලුවක් වී ඇති කල එකල මොන පිස්සුවක්ද..

එහෙත් අප දෙන්නා හැමතිස්සෙම ලග සිටියෙමු. සඳරවුම මට ඈ ගැන දොස් කීවාය. 'ඔය ඔයාගෙන් පාඩම අහගෙන එක වෙන්න හදන්නේ' යැයි කීවාය. මම සඳරවුමටත් හිනාවකින් පමණක් පිළිතුරු දුන්නෙමි.එකල ජයසින්හේ හිටපු සර් කෙනෙකු පාසල් වේදිකා නාට්‍යයක් සදහා ලමයින්ට එන්නැයි කීවා මට මතකය. මෙහි ප්‍රධාන චරිතය කලේ මගේ අක්කාය. මාවද යම් කොටසකට තෝරාගන්නා ලදි. එහෙත් උස ලමයාව තෝරාගත්තේ නැත. සදරවුම තෝරාගත්තත් ඇයගේ අම්මා අකමැති විය. මම සර්ට උස ලමයා ගැන කීමි. එයා ඒ චරිතෙට ගැලපෙන්නේ නෑ. උසත් වැඩියි. කියා සර් මගහැරියේය. අන්තිමේ උස ලමයා සනසන්නට මමද නතරවුනෙමි. ඊටත් වඩා මගේ රස්තියාදුව මට මිස් වෙයි. නාට්‍ය වගේද ගස් ගෙඩි..! කෙසේ වෙතත් අම්මා අක්කාව තනියම 'ප්‍රැක්ටිස් ' යවන්නට අකමැති වූ නිසා මා බලෙන් යවන ලද්දේය. මම උස ලමයාට මම හවස නතර වෙන බව කී විට ඇයද පුහුණුවීම් දවස්වල හවස රැදුනාය. ඈ ගෙදරට කියන්නට ඇත්තේ ඈවද නාට්‍යයට තෝරාගත්තා කියා වෙන්නට ඇත. මට තිබුනේ ඉතා කුඩා චරිතයකි. එහෙත් අක්කා බලාගැනීම 'ලොකු චරිතයක්' නිසා උස ලමයා සහ මම පුහුණු කාමරයේ නිදිකිරා වැටුනෙමු. එහෙත් ඈ වරි වර මගේ ඉලපතට ඇන මා නැගිට්ටුවාය.මම එපා කීමී. එහෙත් ඊලග පාර අනින්නේ කොයි වෙලාවේදැයි ඇස් පියාගෙන බොරු නින්දක වැටුනෙමි. ඈ ඊලගපාර අනින විටම ඇගේ ඇගිලි අල්ලාගත්තෙමි. අපෙ ආදරයේ 'ෆිසිකල්' තරම එච්චරය. නාට්‍ය නිසා බොහෝ දේ සිදුවිය. ඒ සර්ට විරුද්ධව අම්මලා හා අනෙක් ටීචර්ලා එක එක කතා කීය. ඔහු එකල තරුණයෙකි. ඔහු වෙනසක් කරන්නට හොද යමක් කරන්නට හදන්නට ඇත. එහෙත් ඔහුව විවේචනයට ලක්විනි. පසුව නාට්‍ය පමණක් නොව පසලද හැරදමා ඔහු යන්නට ගියේය. අපටද 'ඇගිල්ලෙන් ඇනගන්නට' තිබූ චාන්ස් එක නැතිවිය.

 ඒ අතරේ වාර විභාගයක් අවසානයේ මගේ එහාපැත්තේ මේසයේ විභාගය ලියමින් සිටි කොල්ලෙකු කුඩා කොල කැබැල්ලක් මවෙත විසීකිරීම ගුරුවරියක දැක්කාය. ඇය සිතුවේ එය විබාග හොරයක් කියාය. ඒත් තිබුනේ මගේ නමත් උස ලමයාගේ නමත් යා කොට ලියා හදවත් දෙකක් ඇදි රූපයකි. මේ ගුරිවරිය මේ කොල කැබල්ල පුත්තලං මිස් නම් මගේ 'ආදරණීය පන්තිබාර' ගුරුතුමියට දුන්නාය. ඇය පරල වී ආරූඩ වී දහ අට සන්නියම නැටුවාය. අම්මා තාත්තා දෙන්නාම එක්කා එන ලෙස කීවාය. මම ඇයට වැන්දෙමි. මෙය උස ලමයාගේ වැඩක් නොව මගේ සහ එය විසික් කල එකාගේ වැඩක් බව කියා දිවුරා කීමී. යන්තම් උස ලමයා බේරිණි. විසික් කල එකාට සහ මට දෙමාපියන් එක්කා එන ලෙස පුත්තලං මිස් අන කෙරිණි. දැන් මා කුමක් කරන්නද. අම්මාට කීවොත් අම්මා ලැජ්ජාවට පත්වනු ඇත. පුත්තලන් මිස් අත අරින ජාතියේ කෙනෙකුද නොවේ. මම ගෙදර ගොස් අම්මාට ටීචර් එන ලෙස කිව් බව කීමී. එහෙත් හේතුව නොදන්නා බව කීමී. මම එදා ඇත්තටම ලැජ්ජා වීමී. අම්මා අපගේ බඩවල් පිරවීමට කොයිතරම් දුක්විදින්නේද, කොයිතරම් ලැජ්ජාවලට පත්වන්නේද..මා කුමක් නම් කරන්නද..මම මගේ දුක ලැජ්ජාව හා කෝපය අර කොල කැබැල්ල විසික් කල එකාගේ නහයෙන් ලේ එනතුරු පිරිමසා ගත්තෙමි. එහෙත් හදිසි කෝපය නිසා මට පාඩු විය. මේ කෙහෙල්මල් අස්සේ කරවල සර් හා පුත්තලං මිස් අතර හුටපටය දුරදිග ගොස් ලොකු සිද්ධියක් නිර්මාණය වී තිබීම නිසා අපේ 'කේස්' එක අමතකව ගියේය. එහෙත් මම ගුටි දුන් නිසා එක යාලුවෙක් නැති විය. මේ 'චිට්' එක නිසා උස ලමයා මා පහේ පන්තියෙන් නුගේගොඩ පිරිමි පාසලට යන තෙක් යලි මට අත්‍යාවශය්‍යම කාරණයකදී ඇරෙන්නට කතා නොකලාය.

ඉන් බොහෝ කාලයකට පසු ඈ මට මුණ ගැහුනේ  නුගේගොඩ 'නන්දලාල්' සර්ගේ පන්තියකදීය. ඈ මා සමගම අස්වී බාලිකාවකට ගොස් තිබිණි. (ජයසින්හේ තිබුනේ පහ පන්තිය දක්වා පමණි.) මා දුටු සැණින් ඈ මා හදුනාගත්තාය. දිව විත්ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී කතා කලාය. 'කෝ තාම නම් ලියලා චිට් යවනවාදැයි' ඇසුවාය. මම හිනාවී 'තාම ඇගිල්ලෙන් අයින්නට කෙනෙක් හම්බවුනේ නෑ' කියන විටම ඈ සියල්ල අමතක වී මහ හඩින් සිනා සුනාය. ඒ සිනාවට ඈ දෙස ඇස ගසාගෙන සිටි ජැණ්ඩි පහේ කොල්ලෙක් 'පුක්' මූනක් දම්මේය. ඈ යලි සෝමාරි මූනක් මවාගෙන 'මා යන්නම් කියා අර කොල්ලා ලගට යනවා මම හැගීමක් නැතිව බලා සිටියෙමි.

Thursday, November 10, 2016

දෙමලා සමග ලයිව් ෂෝ


 



ඉරිදා පොල පැත්තේ සිට අටේ කනුවට යන පාරේ වම් පැත්තේ '8' ලකුණු කල ලොකු සිමෙන්ති කණුවක් තිබේ. මේ කණුව ඉන්ග්‍රීසි වී හැඩයේ නිසා කනුව පිටුපස්සේ විවරයක් තිබේ. ඒ විවරයේ සත පහේ දහයේ කාසි හංගන පිස්සු හැදුණු මනුස්සයෙක් සිටියේය. ඒ සල්ලි හැංගීම දැනන් සිටි තව පොඩි කොල්ලෙක්ද සිටියේය. පිස්සා කාසි දහයක් හංගන විට කොල්ලා කාසි දෙක තුනක් සොරකම් කලේය. අදද ඒ හැන්ගිල්ලත් හොරකමත් දන්නේ ඒ පිස්සා හැරුණු කොට ඒ කොල්ලා පමණි. ඒ කොල්ලා රස්තියාදුවේ යන්නේ ඔය කනුව පසු කරමිනි.

මා දැන් යන්නේ විජෙරාමේ 'බටර් කෑ ගෙදර' පිටුපස්සේ අපේ අම්මාගේ ඥාතියාගේ ගෙදරය. ඒ ගෙදරට යන මග,  උඩ බිම බලන, ගස් වැල්වල මොනවාහරි දෙයක් හොයන මට සෙරෙප්පු දෙකක් නැත. ඒ නිසා මහපොලොව හොදට දැනෙයි. මේ ගෙදර අපේ ඥාතියා වූ මහා ආඩම්බරකාර අධ්‍යාපන දෙපාර්තමේතුවේ ලොකු පුටුවක් දැරූ නැන්දා කෙනෙක්ද, ඒ නැන්දා ලගින්වත් තියන්නට බැරි ඉතා හොද ගති තිබූ අහින්සක මාමා කෙනෙක්ද මට මතකය. අප ඒ නැන්දාට බය බවක් 'පෙන්වූයෙමු'. නැති තැන ඇගේ පලු- දෙපලු කලේ අප පමණක්ම නොවේ. ඇය අපේ නෑදෑයා නොව මාමා අපේ නෑදෑයා විය. මේ නැන්දා මාමා දෙදෙනාම රාජකාරි නිසා වෙන පලාත්වල රාජකාරී කල කාලයේ මගේ රස්තියාදුවේ එක නවාතැනක් වූයේ එහිය. මේ ගෙදර එකල වැඩට ගත් පොඩි කොල්ලෙකු සිටියේය. ඒ කොල්ලා ඇත්තටම පොඩිය. ඔහුව 'ගෙනාවේ' බදුල්ල බණ්ඩාරවෙල පැත්තෙන් වගේය කියා මට මතකය. කෙසේ හෝ ගෙදර පොඩි පොඩි වැඩ කල මේ කොල්ලා මගේ ගජයෙක් බවට ලෙහෙසියෙන් පත්වූයේය. අප දෙන්නා ඒ වත්තේ හා අවට ගස්ගල් වල නැග සෙල්ලම් කලෙමු. ඔහු වචන උච්චාරණය කල දෙමල හුරුව මට ආස්වාදජනක විය. කෙන්ති ගිය විට හෝ මම අමන වැඩක් කල විට ' උම්ම්බ උකාපිය උත්තා' හෝ 'තෙමුසෙ කෙත්ත කෙරි වෙඩ' කරන්නේ යැයි මට කෑ ගසා කීම මා තවත් එවැනිම ''කෙත්ත' වැඩකට උනන්දු කරලිය. ඔහුගේ මිත්‍රකම මට ප්‍රියජනක වීමට මේ දෙමලාගේ මනුස්ස ගතිද බලපෑවේය. ඔහු හැමදාම මා එනවෙලාවට ඔහුට ලැබුනු කුමක් හෝ රස කෑමක් මා හට ඉතුරු කරගෙන තබාගත්තේය. මා ආ විටම 'යෙං යෙං' කියා මාත් එක්කාගෙන ඒ ගෙදර කුස්සිය පැත්තේ උසට හදා තිබූ වතුර ටැංකිය උඩට නැංගේය. ටැංකිය උඩ සිට කකුල් පහලට දා පද්ද පද්දා අප දෙන්නා මේ ඔහුගේ කොටස බෙදාගෙන කෑවෙමු. එතැන සිට අනුන්ගේ ඕපාදූප සෙවූවෙමු. මේ ඉඩමට අල්ලපු වත්තේ මසුරුසිටානාගේ රන්තැඹිළි ගහේ ගෙඩි කැඩුවෙමු.  නැන්දාත් මාමාත් ඒ පවුලේ අක්කාත් මල්ලීත් බන්ඩාරවෙල පැත්තේම සිටි නිසා මේ ගෙදර අයිතිකාරයා වූ නැන්දාගේ පුතෙක් අපට වඩා වැඩිමහල් අය්යලා 'සෙට්' එකක්ම මෙහි නවත්තාගෙන සිටියා මට මතකය. ඒ නිසා මේ ගෙදර නැන්දා මාමා නැතිවන වෙලාවට කොල්ලන්ගේ රජදහනක් විය. අපේ ලොකු අය්යා එහි නිත්‍ය සාමාජිකයෙකු විය. කුමන කාරණයක් නිසාදැයි මා නොදන්නා මුත් ගෙදරට වඩා වැඩි කාලයක් එහෙමත් නැත්නම් තනිකරම වාගේ අය්යාගේ නවාතැන වූයේ මෙහිය.මේ ගෙදර නිදහස මටත් ලොකු ධෛර්යයක් විය. බයිසිකල් රිම් පැදීම, ටයර් පැදීම මාගේ උපන් ගෙයි දක්ෂකමක් විය. ලොකු කාර් ටයරය අස්සට දෙපැත්තෙන් දැමූ ඇල්බීසීයා පොලු දෙකෙන් ගල් බොර්ළු අඩිපාරවල් වතුර පාරවල් අස්සෙන් මා පැදයනවිට 'මගේ දෙමලාද' මා පස්සෙන් දිව ආවේ උඩ පනිමින් සන්තෝසයෙනි. ඒ කොල්ලා අපේ අය්යලාගේ නිරන්තර වද බන්ධනයට ලක්විය. එහෙත් ඒ වධබන්දන ඔහු ප්‍රීතියෙන් බුක්ති වින්දේය. මට මතක ඇති ඡායාරූපයක මේ කොල්ලා කකුල් දෙකෙන් අල්ලා ඔලුවෙන් හිටවා ගත් කෙනෙකු වෙයි. ඒ ජායාරූපය කොහේදැයි හොයන්නට ඕනෑය. එක කලෙක මේ කොල්ලා අතුරුදහන් විය. එදා දෙමලා නොව අපේ එකා යැයි අඩමින් අය්යලා හැමෝම වාගේ මේ කොල්ලාව රට පුරා සෙවූ බව මට මතකය. පසුව කොහේදෝ සිට ඔහු හම්බ වී යලි මෙහි ගෙනායේය.  දැන් කොහේ ඉන්නවාදැයි මම නොදනිමි. එහෙත් මේ දෙමලා මගේ හිතේ කොනක තවමත් ජීවත් වෙයි. ඔහුට මාමා විසින් බැංකු ගිණුමක ආරම්බ කොට මුදල් දැම්මාද මට මතකය. කවදාහරි ලොකු වී ගෙයක් හදා ගත් විට මාද රැගෙන ගොස් සතුටෙන් ඉන්නා බව ඔහු මට පොරොන්දු වී තිබුනේය. ගෙයක් හදාගැනීම ඔහුගේ එකම පැතුම විය. ඔහු පරෙස්සම් කල කුඩා දේපල අතර මේ බැංකු පොතද විය. එය දැනුදු මට චිත්‍රයක් මෙන් මැවී පෙනෙයි. තැපැල් කාරයාලයේ එකතු කරන ලද මුදල් සටහන් කල පොතක්ද තිබුනා මට මතකය. එහි පිටු ඔහුගේ ඇගිලි වලට දියවී ගොස් තිබුනේ උදේ හවස ඒ පොතේ පිටු අතගෑමෙන් වෙන්නට ඇත. ඔහු දැන් ලොකු ගෙයක් හදා ආදරණීය බිරිදකදු ලැබ ලමයින් දෙතුන්දෙනෙකුගේ පියෙක් වී ඇති බවට මට ස්තිරය. එහෙම වෙන්නට ඕනෑය. නැත්නම් දෙවියන් හැටහුටාමාරක් ඉන්නා එකෙන් වැඩක් නැත.


මේ ගෙදර තවත් මතක තිබේ ඒ මතක ඒ කාලේ ගුටි කන ජාතියේ ඒවා වුනද අද මතක් වන විට හිනා යයි. එවන් මතකයක් නිසා දෙමලාද මාද කන් රතුවෙන්නට කනේ පාර කෑවෙමු. ඊට හේතු වූයේ මේ ගෙදර අය්යා උදේ එක්කාගෙන එන අක්කා කෙනෙකි. මේ අක්කා කලුය. එකල අවුරුදු විස්සක් විතර වෙන්නට ඇත. අය්යා උදෙන්ම ජැණ්ඩියට ඇදගෙන එලියට ගොස් ගොස් ආවේ තනිවමය. ඉන්පස්සේ කලබලයෙන් ඔහුගේ කාමරයේ දොර ජනෙල් වැසුවේය. ඒ එන ගමන් බනිස් කෙහෙල්ගෙඩි පාරසලයක්ද ගෙනවිත් ඒකත් අර කාමරේ තිබ්බේය. ලොකු වතුර ජෝග්ගුවක් මගේ මිත්‍රයාට කියා ගෙන්නා ගත්තේය. ඊට ටික වෙලවකට පසු අර අක්කා එන්නේය. අක්කා එන්නේ කෙලින්ම මේ කාමරේ දොර කලින් දන්නා වගේය. ඉන්පස්සේ දොර වැහෙයි. කලු වුනත් මේ අක්කා ලස්සනය. ඉතින් දොර වැහුනාට පසු දෙමලා මහත්තයා දුන්නා කියා කීයක් හෝ අරන් එන්නේය. එය ඉතා කුඩා මුදලකි. ඒ ගානට බුල්ටොවක් වැනි යමක් මිස වෙන දෙයක් ගන්නට බැරිය. කෙසේ හෝ මට නං මේ දොර වැහිල්ල ඇල්ලුවේ නැත. මගේ උත්සාහය අර වසාගත් කාමරේ වෙන්නේ මොනවාදැයි බලන්නටය.. මගේ අදහස කොල්ලාට කීමී. ඔහු ඔලුවේ අත ගසා ගත්තේය. ' මාත්තියා මා මරයි' කීවේය. එහෙත් මට   ඉවසිල්ලක් නැත. අන්තිමේ ' යෙං ඒනං' කියා කොල්ලා ඉස්සර විය. වතුර ටැංකියෙන් වහලෙටද, වහල දිගේ ඒ කාමරේ අන්තිම අයිනටද ගිය කොල්ලා බිම දිගා වී මටද ඒසේ කරන ලෙස කීයේය. මමද වහලයේ මුනින් දිගා වී එකල ගෙවල් වල තිබූ වා කවුලු පෙලෙන් අය්යා අක්කාට කෙසෙල් කවන හැටි නැරඹුවෙමි. ටික වෙලාවකින් මේ 'ෂෝ' එක ටිකක් දරුණු වේගෙන එන විට මට බයක් ඇතිවිය. මම කොල්ලාට යං යං කීමී. කොල්ලාට කිසි ගානක් නැත. මේ යකා මීට කලිනුත් මේ ෂෝ එක බලා ඇති බව ෂුවර්ය.  අපි පල්ලං බැස්සෙමු. වලෙන් බැස ටැංකියෙන් බහින්න ඉස්පාසුවක් ලැබුනේ නැත. 'පටාස්' ගා කන හරහා ලොකු අතක් ඇදී ගියේය. අපි බලන එක ඒ ගෙදර නවාතැන් ගෙන සිටි තව අය්යා කෙනෙකුද බලන් ඉදලාය. මම පසු නොබලා ගෙදර දීවෙමි. කොල්ලාද හොදට ගුටි කෑ බව මට පසුව දැනගන්නට ලැබිණි.      

මේ සිද්ධිය මට කෙමෙන් අමතක විය. එහෙත් ඉන් අවුරුදු දෙකකට විතර පසු ඒ අක්කා අපේ ගෙදර ආවාය. ඒ එක්ක අවුරුද්දක් විතර පොඩි ලස්සන කොලු පැටියෙක්ද එක්කාගෙන ආවාය. මේ කොලු පැටියාගේ තාත්තා ඔවුන් නොසලකා හැර ඇති බවත් හැකිනම් ඒ සදහා සාධාරනය ඉටුකරදෙන ලෙසත් ඈ අපේ අම්මාගෙන් ඉල්ලා සිටියාය.. අපේ අම්මා මේ අයියාගේ අම්මාට වඩා ඔහුට ලෙන්ගතු බව ඈ දැන සිටින්නට ඇත. කෙසේ හෝ බොහෝ වෙලාවක් අපේ ගෙදර කාලය ගත කල ඒ අක්කා යන්නට ගියාය. ඒ යනගමන් ඒ අය්යාගේම මුහුණ ඇති අවුරුද්දක් විතර වයස නොදරුවා සිය මවගේ උරහිසේ නිදා සිටි අපූරුව අදද මට මතකය.











Monday, November 7, 2016

ඉරිදා පොල






කාලය ගලා යන්නේ හෙමිනි. සතිය පුරාම නිසොල්මනේ ගලා යන අපේ ගෙවල් හා අවට සෙනසුරාදාට කලබල වෙන්නට පටන් ගනී. සෙනසුරාදා හවස වන විට පරන ලොරිබාග වලින් එළවලු පළතුරු පටවාගෙන ගමේ සිට එන ගෑණු පිරිමි කඩි මුඩියේ වැඩය. තමන්ටය කියා ස්ථීර කඩ කෑල්ලක් හිමිව තිබූ වෙළෙන්දෝ ඒ අඩි හතරේ දිග පලලේ, විකුනන බඩු ටිකත්, තමන්ගේ කළමනා ටිකත් අස්පස් කරගන නිදන්නටද තැනක් හදාගෙන ඉවරය.ඒ අතරේ තාවකාලික වෙළන්දන් ඒ අවට ගෙවල් වල අනුග්‍රහයෙන් බඩු මුට්ටු ටික පරෙස්සමට තබා කතාබහේය. මේ වෙලන්දන් බඩු මුට්ටු පරෙස්සම් කරන තැන්වලින් මට හොදටම මතක තැන සිසිර අය්යාගේ ගෙදරය. හැමෝම සිසිර අය්යාට 'මල්ලී' කීවේය. ඒ අය්යා හිත හොද මනුස්සයෙකි. ඉතා ප්‍රියමනාප මුහුණක් තිබූ සිසිර අය්යා හරිහමන් ඉගෙනගත්තේ නැති නිසා නෝබට් අය්යා ලග 'වෑල්ඩිං ' වැඩ ඉගෙනගත්තේය. පසු කාලෙක සිසිර අය්යා තමන්ගේම ගෙදර කොටහක් වෙන් කරවාගෙන පොඩියට වෑල්ඩිං වැඩ පටන් ගත්තේය.

(මගේ ජීවිතයේ පසු කලෙක 'හැම ලබ්බක්ම ටික ටික දන්නා- එක ලබ්බක්වත් හරියට නොදන්නා' ජාතියේ කෙනෙකු වීමට මේ අයද බලපෑවේය. ඒවායේ රැදී සිටිමින් සිසිර අය්යාට අත් උදව් දීමෙන් ලී මෝලෙන් ඉගෙනගත් ලී වැඩ වලට අමතරව (මම නුගේගොඩ ඉස්කෝලේ ටික දවසක් ලී වැඩ විෂයක් ලෙස ඉගෙනගත්තෙමි.)පට්ටං නවන දිග අරින, බොර කඩන සුළු සුළු දේවල සිසිර අය්යාගෙන් ඉගෙනගත්තෙමි. මේවා මට මැත කාලයේ බාස්ලා සමග ගේ හදද්දී මහා ප්‍රයෝජන විය. වඩු බාස් මා තම්බන්නට බැරි බව දැනගෙන මා සමග හොද මිතුරු විය. 'මහත්තයා සද්ද නැතුව හිටියට වැඩේ දන්නවනේ' කියා මේ අහිංසකයා සැමවිටම මා මගේ ගෙදර වැඩ කටයුතු වල වඩු කුසලතාව පෙනවද්දී කියා හිටියේය. )

එහෙත් මේ සිසිර අය්යා මා වෑල්ඩිං වැඩපලේ 'කාල්' ගානා එක ගැන ඒ තරං සතුටු බවක් දැක්වුවේ නැත. අන්තිමේ ඔහු ඔහුගේ නිදන කාමරය දෙකට බෙදා වෙන්කොට මට මේසයක් හා පුටුවක් හදා දී ඉස්කෝලේ ඇරී ගෙදර විත් එහි පැමිණ පාඩම් කරන මෙන් 'තර්ජනය' කලේය. ඒත් මගේ හිත රස්තියාදුවටමය. අන්තිමේ බැරිම තැන සිසිර අය්යා මගේ කනෙන් අල්ලා වෑල්ඩිං වැඩපලට එන එක නතර කෙරුවේය. මම ලැජ්ජාවට අර මේසේ වාඩිවී පැයක් දෙකක් බලිකුරුටු ඇන්දෙමි. අවසානයේ බලිකුරුටු එපා වී පුංචි පහේ රචනා ලීවෙමි. මේ රචනා ඉනුත් කලකට පසු 'මිහිර 'පත්තරේ පලවිය.

 (මිහිර මට ලන්ක්ලේ මගේ ලොකු අම්මාගේ දුවය. ඈ මිහිර සතිපතා ගත්තාය. මට ගමේ සිට ආ පසු ඇගේ මිහිර පත්තර එකතුවෙන් බන්ඩලය ගානේ කියවන්නට දුන්නාය. එයින් මා මිහිරේ ඇබ්බැහියෙකු විමී. )

කෙසේ හෝ මේ වෙලන්දන් මෙවන් තැන්  'අල්ලාගෙන ' සෙනසුරාදා බඩු ටික ගෙනවිත් තබා ගන්නා අතරේ තව කණ්ඩායමක් ඉරිදා පාන්දරම ලොකු ලොරිවලින් අවෝය. මේ අය අර කලින් කී පොඩි පොඩි 'ගමේ බඩු' ගෙනා අය නොව එකපාර 'කෑලි' ගෙනා අය විය. සෙනසුරාදා ආ අය ලග, පලතුරු වෙලන්දන් නම් වත්තේ ගස්ලබු, කෙසෙල් ඇවරි හත අටක්, අඹ ,ලොවි ගැට, වෙරළු ආදී නානාප්‍රකාර දේ තිබුනද උදේ ආ අය 'කෙසේල් කෑල්ලක්, අඹ කෑල්ලක්  අන්නාසි කෑල්ලක්, ගස්ලඹු කෑල්ලක්' ආදී වශයෙන් 'තොග' බඩු ගෙනා අය වූහ. අර පොඩි වෙලෙන්දෝ එකල කඩපේලී අස්සේ යන අපටද තැළුණු ගෙඩියක් කපා ගස්ලබු කෑල්ලක් පැත්තක් තැලුණු අඹ ගෙඩියක්, ඉදී වැඩිවී හැළුණු කෝලිකුට්ටු ගෙඩියක් දුන්නේ හිතේ කැමැන්තෙනි. මේ තාවකාලික වෙලන්දන් ආරක්ෂාවට බඩු තිබ්බේ සිසිර අය්යාගේ ගෙදර ඉස්තෝප්පුවේ හා දර මඩුවේය. සෙනසුරාදා හවස වන විට මට මේ වෙලන්දන්ගෙන් රාජකාරී පැවරෙයි. 'ලමයෝ ප්ලේන්ටියක් ගෙනත් දීපන්කෝ..ලමයෝ බල්ලො ටික එලවපන්කො..(රස්තියාදු බල්ලන් ඉටිකොල වලින් වසා තිබූ පලතුරු ගෝනි වලට 'ඒරියා මාක්' දදා යාම මීට හේතුව විය.) ලමයෝ බේකරියට ගිහින් වරෙන්කො'  ආදී වශයෙන් අනේක විධ රාජකාරී මගෙන් පිරිමහා ගත්තේය. එහෙත් ඒ සියල්ලම කරදුන්නත් බල්ලන් එලවීම මම කලේ නැත. මේ බල්ලන් සිසිර අය්යාගේ හිතවතුන් විය. උන්ට කන්නට බොන්නට දුන්නේ සිසිර අය්යාය.

(අනෙක මාද සත්තුන්ට ආදරේය. හෝමාගම ගෙදරදී මේ සත්ව කරුනාව වැඩි වී පරෙවියන්, කුකුලන්, බල්ලන් ,පූසන් ඇතිකලෙමි. මට මතක හැටිඅයට එදා ලෝකයේ 'මිල අධිකම බිත්තරය' ගත්තේ මගේ කිකිළියකගෙනි. ඒ අපේ ලොකු අය්යාය. ඒ දවස්වල ඔහු හිටියේ පිටරටය. නිවාඩුවට ගෙදර ආ විට මගේ කුකුල් කොටුවට ලොකු අය්යා විසින් ටවුමෙන් ගෙනා පලා මිටි, පරිප්පු ඇට, කඩල ඇට, විටමින් පෙති දමා  කෑමවේලක් හදන්නේය. එ වෙනුවට බිත්තර දහයක් ලෙහෙසියෙන්ම කඩෙන් ගන්නට තිබිණි.)

 කෙසේ වෙතත් මේ උදව් නම් නිකං වෙන්නේ නැත. බඩු පරෙස්සමට තබාගන්නවාට සිසිර අය්යාලාට කොටහක් ගමෙන්ම ගේන මේ වෙලෙන්දෝ මට ගෙදර ගෙනයාමට කෙසෙල් ඇවරියක්, ගස්ලබු ගෙඩියක් දෙන්නේ හිතේ සතුටෙනි. අන්තිමේ බඩු සියල්ල විකිණී නොගියොත් තවත් වැඩිපුර ලැබේ. මා දුටු මේ මිනිසුන් බඩුගන්නට එන අය සමග එක සීරුවට 'හෙට්ටිකං' කරත් කුණු කොල්ලෙට ඉල්ලන අය සමග මරාගන්නට ගියත්, අන්තිමේ ඉතුරු දේවල් කිසි ලොබකමක් නැතුව බෙදන හැටි අපූරුය. මේ මිනිසුන් මතුපිටින් හැඩි දැඩි, කලබල, නපුරු ,කපටි මිනිසුන් බවට ඉරිදා උදේ සිට හවස වෙනතුරුත්, ඉන්පස්සේ  සරල, විනෝදකාමී, අහිංසක ගෑනු මිනිසුන් බවට පත්වන හැටිත් මා විශ්මයෙන් බලා සිටියෙමි. මූන බලා  මහත්තයා, සර්, මල්ලී ,නෝනා, අක්කේ,  පුතේ ආදී වශයෙන් මිල නියම කරන මේ මිනිසුන්ගේ 'හැකියාව'  අද මා මගේ රැකියාව උදෙසා පාවිච්චියට ගන්නේ  නොවේදැයි මට වෙලාවකට හිතෙයි.

මේ අතරේ එක දවසක් කලු මිටි තරබාරු ගැහැනියක් අපේ ගෙදරට ආවාය. ඇය කුඩා සව්කැද තම්බා විකිණීමේ ව්‍යාපාරයක් ආරම්බ කිරිමට අදහස් කර සිටින අතර, ලිපක් හදාගෙන සව් තැම්බීමට, පොල්කිරි හදාගැනීමට, අනෙක් කළමනා එකලාසයක් කරගැනීමට අම්මාගෙන් හා ලොකු අම්මාගෙන් අව්සර පැතුවේ 'නෝනා ලමයි දෙන්නෙක් හදාගෙන අමාරුවෙන් ජීවත්වෙන්නේ'  කියමිනි. මේ ගැහැණිය මතක් කරගන්නට මා සිහියට ගන්නේ කෝපි කඩේ රගපෑ සුසිලා කූරගමය. අන්තිමේ 'නෝනලා' ඇයට ඉඩක් දුන්නාය.ඇය 'පුන්චි මහත්තයා' කියා මා ඇමතුවාය. ගමේ ආච්චී ඇරෙන්නට කවුරුවත් එහෙම කියා නැති නිසා මට හෙන ගැම්මක් ආ එක පුදුමයක් නැත. හැම ඉරිදාම ඈ පළමු කැද කෝප්පය අම්මාටත් ආච්චීටත් මටත් දුන්නාය. 'අනේ පුන්චි මහත්තයා මං රවුමක් ගිහින් එනකං මේක බලාගන්ටැයි' කියා සව්කැද මුට්ටිය ලග මා හිදවා වීදුරු හයහතක පිරවූ කැදත් ගෙන පොලේ නොපෙනී ගියාය. එන්න එන්නම ඇගේ වෙලදාම සරුවිය. එක කැද මුට්ටිය දෙක විය. දර ලිප ලී කුඩු ලිපට මාරු විය. වැඩි කතා බහ නොතිබූ ඇගේ කට ටික ටික ඇරෙන්නට විය. නෝනා 'ඒයි -මේයි'  විය ඒයි මේයි 'බං -බොලං' විය. පුන්චි මහත්තයා 'කොල්ලෝ' විය. 'වාසනාවයි' කියා අම්මාට දුන් කැද වීදුරුව 'මිස්' විය. වෙලාවක් අවේලාවක් නැතිව අපේ ගේ මැදින් කුස්සියට එහා මෙහා ගියාය. අන්තිමේ ලොකු අම්මා වහං හිටි කට ඇරියේය. බාප්පා අපේ වත්තට ගොඩවන්නට තිබූ කොන්ක්‍රීට් ලෑල්ල හරස් කොට උන බම්බු ගේට්ටුවක් දා සරම කැහැපට ගහගෙන එක ඉරිදාවක සුද්ද සින්හලෙන් ලොකු 'සංදර්ෂනයක්' දැම්මේය. ඈ පිටව ගියේ ඊටත් වඩා ලොකු කුණුහරුප කියමිනි. එතැනින් සියල්ල නිමවිය. එහෙත් මේ සියල්ලටම වඩා ඈ මා නවතා පොලට ගිය පසු ලොකු අසෝක වීදුරු දෙකක් විතර එක හුස්මට හිස්කරන මගේ උදේ 'හොර කැද' පංගුව අහිමි විය.

ජීවිතය හා මිනිස් ගති එහෙමය. හොද නරක බෙදීමක් නොව කාලය අනුව බෙදාගන්නකි.

එකල ඉරිදා පොල එකම හිස් ගොඩක් වූ පසු මා එහි තෙරපී තෙරපී ඇවිද යන්නෙමි. අදද සිතෙන් එහි ඇවිදිමි. රතු ලූණු රටලූණූ විකුණන තැන්වල රතුපාට ඉටිකොලද, කෙසෙල් ගස්ලඹු අල සුදූ ලූණූ විකුනන් තැන්වල කහපාට ඉටිරෙදිද, හාල් කඩල ඇට ජාති විකුනන තැන්වල සුදු ඉටිරෙදිද හෙවනට දමන්නේ හේතුවක් ඇතිව බව කියාදුන්, සරං කැහැපට ගසාගෙන උඩුකය දාඩිය පෙරාගෙන එක සීරුවට කෑ ගහන මිනිසුන් අතර මම අදද  පියමං කරමි. ඉරිදා පොල මගේ මතක ලෝකයේ ස්ථීර නවාතැනය. එහි මිනිසුන්ට ගහැණුන්ට මගේ මතකයේ මෙන්ම හිතේද ලොකු ඉඩක් තිබේ. සව්කැද හදා විකුණු තරබාරු මිටි ගැහැණියද ඇතුලුව මගේ මතකය නැතිවී යනතෙක් ඔවුන් සියලු දෙනාම මගේ මතක ලෝකයේ සැරිසරණු ඇත.

Saturday, November 5, 2016

පානදුර පටන් ගන්නේ දෙහිවලිනි.











 පානදුර පටන් ගන්නේ දෙහිවලිනි.

දෙහිවල කීවාට හරියටම සත්තුවත්තේ පිටුපසය. මේ පාරවල් ගැන මට ඒ තරම් මතකයක් නැත. එහෙත් දෙහිවලින් පානදුරට යන කාලේ මට මතකය. දෙහිවල ගෙදර, සත්තුවත්තේ ලැබ් එකේ වැඩ කල අය්යා කෙනෙකු බැදගත් අපේ අම්මාගේ ඥාති දුවක් උන්නාය. ඈ අපේ අම්මාට 'පුංචි' යැයි කීවාය. එහෙත් 'ලොකුවට' අපේ අම්මාට හා අපට ආදරය පෙන්වූවාය. පෙන්වූවා නොව දැනෙන්නටම ආදරය කලාය. මගේ ඉස්කෝලේ නිවාඩුව එහිද ගතවී ඇති බව මම කලින් කියා ඇත. වෙනදා මෙන්ම අම්මා එක්ක ඇවිත් හොටු හූරාගෙන ආපහු යන්නට ඕනෑ කීවාට නිවාඩුව අන්තිමේ තව දවසක් ඉන්නං යයි අඩන්නේද මමමය. මේ ඥාතී දුවට අපි අක්කා කීවෙමු. ඇයට 'බරපතල' කටක් තිබ්බාය.මොනවා හරි කියන්නට ඕනෑ වූ විට ඈ ඉනටත් අත්දෙක බැදගෙන ලොකු පොඩි බේදයක් නැතුව 'දුවන්නට ' දුන්නාය. ඈ වැඩිපුරම ආදරේ අපේ තුන්වැනි අය්යාටය. ඒ අය්යාගේ නිත්‍ය නවාතැන ඒ ගෙදර විය. පස්සේ කාලෙක අයියා වෙනුවට පානදුරේදී මා එහි 'රෙජිස්ටර් මෙම්බර්' කෙනෙක් වුනෙමි.

සත්තුවත්තේ පිටුපස්සේ මේ තිබුනේ ක්වාටර්ස් යැයි මම සිතමි. කෙසේ හෝ සත්තුවත්තේ නිදහස් කලාපේ මායිමේ ලොකු කන්ද කැපූ තැන මේ ගෙදර තිබුනා මට මතකය. මම බොහොම පොඩි කාලේ නිසා මට දෙහිවල මතක අඩුය. එහෙත් ඒ ගෙදර කුස්සියට මෙහායින් ලොකු වතුර පුරවන ටැංකියක් තිබුනා මතකය. ඒ දවස්වල මගේ ඉනේ ගානට උසට තිබූ මේ ටැංකියේ වතුර නොකඩවා ගලා එන කරාමයක්ද තිබුනා මතකය. මේ ටැංකියෙන් නෑමට, මූන කට අධෝබාග හේදීමට සහ ගස්වැල් වලට වතුර ගත්තා මතක ඇතත් ඉවුම් පිහුම් වලට ගත්තා නම් මට මතක නැත. කෙසේ හෝ මේ ගෙදර හොදට කන්නට බොන්නට තිබුනා නං ඉරහද වගේ මතකය. ඒ අතරේ හැම නිවාඩුවකම මේ ටැංකිය සුද්ද කරන ' රජ මගුලක් ' එයි. එකල මේ අක්කාට හිටියේ එක ලමයෙක් වෙන්නට ඕනෑය. ඔහුද මට වඩා බාලය. අපි දෙන්නා එදාට 'ලමයින් ' වාගේ හැසිරෙන්නෙමු. කොට කලිසං ඇදගෙන අක්කාගේ සුපරීක්ෂාව මැද අපි මේ අඩි දහයක් විතර දිග හතරක් විතර පලල ටැංකියේ දියබුං ගහන්නෙමු. එහා මෙහා පිහිනන්නෙමු. වැඩි වෙලාවක් දිය යට ඉන්නේ කවුදැයි නහයවල් වසාගෙන පෙනහලු රිදෙනකං ඉල්ලං කන්නෙමු. ගමේ බන්ට් එකේ හා ඇලවල් වල දගලපු දැගලිලි වලින් හැමදාම මෙහිදී ජයගත්තාට පහුවෙනිදා දනිස් අතපය සිමෙන්තියට හීරී 'දන්නට' ගන්න එක ඉවසන්න බැරිය. එහෙත් ඉවසීම ඕනෑමය. නැත්නම් ඊලග නිවාඩුවේ මේ සෙල්ලම නතර වෙන්නට පුලුවන. අන්තිමේ අපි දෙන්නාට පාන් කියාගන්නට බැරි වෙලාවට අක්කා ලස්සනට එක කොනක් කපා කෙදි බුරුල් කල පොල් ලෙලි බ්‍රෂ් එකක් දෙන්නේය. මාස දෙක තුනක් තිස්සේ බැදි දියසෙවල අතුල්ලන්නට ලේසි නැත. කොහොම හරි මේ සෙල්ලම ඉවරවී නාගෙන කලිසමක් කමිසයක් දාගෙන බත් පිගාන අතට ගන්නවා පමණය. සවල් ගැහුවා සේ අපේ බඩවලට තත්පර තුනකට අඩුවෙන් හිස්වෙයි

මේ ගෙදර අපට කවදාවත් වෙනසක් උනේ නැත. ඒ අක්කා වෙලාවකට කෝටුවෙන් අරුන් දෙන්නා මරන්නේ මටද දැනෙන ලෙසය. එහෙත් ඒ උන්ගේ වැරදි වලට මිස මගේ ඒවාට නොවේ. බොහෝ වෙලාවල්වල ඈ 'මෙලෝ පාඩමක් නොකර පන්තියේ පලමුවැනියා වන මා ආදර්ශයට ගන්නා ලෙස උන්ට තරවටු කලාය. අක්කා හිතා හිටියේ මම ගෙදර ප්‍රශ්නත් කෑම බීම හා අනෙක් කළමණා අහේනියත් පාඩමකට ගෙන හොදට පාඩං කර පලමුවැනියා වෙනවා කියාය. එහෙම කෙහෙල්මලක් මට එදා තිබුනේ නැත. එහෙම තිබුණානං කටවල් ගද කොණ්ඩෙ බැදපු එවුන්ට කන්න දෙන්නට වෙන්නේ නැත. එකම දේ ජයසින්හේ මගේ පන්තියේ හිටියේ 'ජාතික මැට්ටන් විශේෂයක්' වීම‍ය. ඒ අතරේ මට හීනීයට පොඩි මොල කෑල්ලක් තියෙන්නට ඇත. හැබැයි අද තව වෙනකං පපුව හොද එවුන් දැක්කේ ජයසින්හේ විතරය. මං ජයසින්හෙට ආදරේය ඒත් ජයසින්හේ ඉගෙනගන්නට පුලුවන්කෙනෙකුට හිටියේ මගේ අක්කා විතරය. ඈ ශිෂ්‍යත්වේ සමත්ව නුගේගොඩ අම්මා ඉගෙනගත් බාලිකාවට ගිය දා ලමයි පමනක් නොව ටීචර්ලාද ඇඩුවා මට මතකය.


කෙසේ හෝ මම මගේ ජානවල තියෙන ගති අත නොහැරියෙමි. අක්කා සත්තුවත්ත පැත්තේ යන්නට එපා කියද්දී මම ඔහේ ඇවිද ගියෙමි. ටිකට් ගන්නට වුවමනාවක් තිබුනේ නැත. ඒ අය්යාගේ නුගේගොඩ ඥාතී බව සේවකයෝ දැන උන්නේය්. ඒ නිසා අලි කොටි වලස්සු නයි පොලොං ඇතුලු උඩින් බිමින් හා වතුරේ යන හැම සතාම වරු ගනන් බලං ඉද ගෙදර ආවෙමි. සමහර දාට වැඩකරන අයට පොඩි අත් උදව් දුන්නෙමි. සත්තු වත්තේ කැන්ටින් හතරක් තිබ්බා වගේ මට මතකය. ඒ හැම කැන්ටිමකම එල්ලා තිබූ පොඩි පොඩි කෑම ජාති රසවත් ඒවා බව මම දැන සිටියෙමි. එහෙත් කොණ්ඩේ පොඩ්ඩක් හා ලොකු තට්ටයක් තිබූ ඒ අය්යාට සත්තුවත්තේ සේවකයන්ගේ නම්බුව රැකෙන පරිදි 'සෙල්ලං ' නොදා ඇසෙන් හිතෙන් පමණක් රසවින්දෙමි.සුද්දෝ කන බොන, මම පැත්ත පලාතේ නොයන 'මේං සයිස්' තැනක්ද තිබ්බ මතකය.

දැල්වල එල්ලී වෛවාරණ කුරුල්ලෝ බැලුවෙමි. ගුහා වලට එබී වලසුන් සිංහයන් එහා මෙහා යන මහා කම්මැලි ගමන නැරඹුවෙමි. අතරමං වෙයිදො බයෙන් අතෙන් බඩෙන් විතරක් නොව ලැජ්ජ හිතෙන තැන්වලින්ද අල්ලන් පරිස්සමට යන ලොකු ජෝඩු අතරේ මමද ඇවිද ගියෙමි. ගෙදරදී හොයාගන්නට බැරිවද කොහෙදෝ මල්ගස්, තාප්ප කොට,රිලා කූඩු  අස්සේ මුවාවී කොලපාට කොට කලිසං අදින සත්තුවත්තේ අයගෙන් බැනුන් අහ හා අක්කලාගේ ගවුන් අස්සේ මොනවාදෝ හොයන අය්යලා දුටුවෙමි.  හිත පිරෙන්නට බලා ඇවිදින් බඩ පිරෙන්නට අක්කාගෙන් බැනුම් ඇහුවෙමි. එයා ගැහුවනන්ං හොදය කියා ඒ දවස්වල මම හිතුවෙමි. එහෙත් අක්කා අනුන්ගේ ලමයෙක් ගැන  නිසා මං ගැන අවදානයෙන් හිටියාය. අනෙක අය්යාගේ රස්සාවට කැලලක් උනොත් යන බය තියෙන්නට ඇත. ඒ මල්ලිලා නං මං තරං සත්තුවත්ත 'වින්දේ' නැති බව සහතිකය.

මේ අක්කා අය්යාට කියා අපේ දෙවැනි අය්යාව සත්තුවත්තේ අස්සයන් බලාගන්නට රස්සාවක් කතාකරගෙන අම්මා මුනගැහෙන්නට අපේ ගෙදර ආවත්, ' අනේ ඌ ඔය සත්තු බලන්නේ කොහොමද කියා' අම්මා බෑම කීවාය. පැන්ෂන් එකකුත් තිබුණු මේ රස්සාව අතහැරීම ගැන අක්කා ඇගේ පුංචි අම්මාට දොස් කීවා මට මතකය. ජීවිතයේ වැරදි වෙයි. සමහර වැරදි හදාගන්නට බැරි ජාතියේ වැරදි වී ජීවිත විනාස වෙයි. එදා දෙවැනි අය්යා සතෙක් බලාගත්තානම් සමහරවිට මීට අවුරුදු ගනනකට පෙර 'සතෙක්' මෙන් ජීවිතය නොගෙවන්නට තිබිණි. එහෙත් මා දන්නා දෙය නම් අම්මාගේ ආදරයයි. ඈ අප හත්දෙනාට හා තාත්තාට මුලු ජීවිතයම කැප කොට ආදරය කලාය. තවමත් එහෙමය. අබ මල් රේණුවක හිතේ අමාරුවක් නැතිව තාමත් ඈට අප පුංචි එවුන්ය. මම මෙවර උපන් දිනය දා මගේ වයස කී විට..ඇස් දෙක ලොකු කරන් ඈ මට ලියා දුන්නේ මෙච්චරය.
 ' අනේ මේ බොරු නොකර ඉන්න..ඔයාට තාම 30ක් නැතුව ඇති.''

අදට මේ ඇති.. දෙහිවලින් පානදුරට යන්නට ටික වෙලාවක් දෙන්න...





Wednesday, November 2, 2016

ජම්ඹු ගහෙන් වැටී



මාත් කිහිපවාරයක්ම ජම්ඹු ගහෙන් වැටී තිබේ. ජම්ඹු ගහට අමතරව ඉරිදාපොලේ හරි මැද තිබූ කොස් ගහෙන්ද, මගේ කන්‍යාරාමයේ ගෑනු ලමයා හිටි ගෙවල් පැත්තේ සියඹලා ගහෙන්ද, මට නම් මතක නැති මෙන්ඩිස් ලේන් එකේ ඉරිදාපොල මායිමේ ගෙදර තිබූ කටුලොවි ගහෙන්ද බිම පතබෑ වී තිබේ. ඒ මොන 'කෙහෙල්මල් ' ගහකින් වැටුනත් ආනන්ද අය්යලාගේ ජම්ඹු ගහෙන් වැටෙන්නට ඇත්තේ මං විතරය. ඒ ගහ මට අයිතිව තිබ්බේය. ඒ ගහේ සිට අද ඉන්නා තැනක් ඇත්නම් එතැන දක්වා මගේම 'ලෝකයක් ' තිබ්බේය. අදටත් මගේ ඒ ලෝකය ඉඩ විවර කර ඇත්තේ ඉතාමත් අල්පයකට පමණි.

 (මේ ආනන්දසිරි අය්යා ගැන නොවේ. ඔහු ගැන වෙනමම ලිවිය යුතු නිසා දැනට අතහරිමි. එහෙත් ඔහු මගේ ජීවිතය හා බැදී ඇත්තේය. ඔහු 'මනුස්සයෙකි'. පසු කාලීනව ඔහු දැරූ දේශපාලන මතවාදය මට තිත්ත වීමට මේ ආනන්දසිරි අය්යාගේ මට කියා දුන් මනුස්සකම බලපෑවේය. ඇත්තටම ඔහු එදා මිරිහානෙන් පැන ගිය එක හෝ 'පන්නලා' දාපු එක හොදය. ඒ මනුස්සයා වැනි අය නැවැත අප සමග ඉපදිය යුතු කාලය දැන් ඇවිත් වගේ කියා හිතෙන්නේ ඒ නිසාය.)

කෙසේ හෝ මටත් පවුලේ අනෙක් අයටත් මේ හයිලෙවල් පාර අයිනේම ගෙදර අමුත්තන්ට මෙන් සැලැකුණේ නැත. ඒ ගෙදර ඉරිදාපොල 'කටේ' ම කඩපේලිය ඉස්සරහා පිහිටා තිබුණේය. ඒ ගෙට ආරක්ෂාවට නොව මායිම පෙන්වීමට මෙන් කොට තාප්පයයක් තිබුනේය. මේ කොට තාප්පය මත වාඩි වී කතා කෙරූ අයද, කල්පනා කෙරූ අයද, ප්ලෑන් කෙරූ අයද, ඒවා සියල්ල දමා ගිය අයද කප්පරකි. ලොකු අය්යා මට හිතෙන හැටියට මේ කොට තාප්පේ ලොකු සාමාජිකයෙකි. කොට තාප්පේ අලලා අපේ අම්මාට 'අක්කා' කෙනෙකු වූ මේ ඥාතියාගේ ගේ පිහිටා තිබුනේය. මා දන්නා කාලය වනවිට මේ මහප්පා මියගොස් තිබුණු අතර ඒ නැන්දා අති සාම්ප්‍රදායික, කිමෝනාවක් වැනි දිගු ගවුම් ඇදි 'හොද' කෙනෙකු වූවාය. ඒ නැන්දාට අපි නැන්දා කීවාට අපේ නෑදෑකම වෙන එකක් බව මා අසා තිබේ. මේ ඔක්කොම අය අපේ අම්මාගේ ඥාතීන් විය.

මේ ගෙට අල්ලා තිබුනේ ලූවර් ජනෙලය. මේ ලූවර් ජනේල එකල හැම මධ්‍යම පන්තික ගෙයකටම අයිති වූ කලාවක් දැයි මම නොදනිමි. මේ නැන්දාගේ අක්කා පදිංචිව සිටි ජම්බුගස්මුල්ලේ ගෙදරද, සුසිල් ප්‍රෙමජයන්ත නම් අපි එකල 'අය්යා' කියූ කෙනාගේ ගෙදරද, ඉස්කෝල හාමිනේගේ ගෙදරද, ඇග පුරාම ලොකු තෙල් ගෙඩි හැදෙන රෝගයක් තිබූ  ඉරිදාපොලේ බාගයක් අයිතිව තිබූ මට නම මතක නැති අයගේ ගෙදරද, වර්නන් තිලකරත්න මහත්තයාලාගේ' ගෙදරද, හැරෙන්නට වෙන කොහේවත් මා ඒ දවස්වල මේ ලූවර් ජනේල දැක්කේ නැත. එහෙත් මෙන්ඩිස් ලේන් එකේ මුලම හිටි කලා ඔස්තාර් කෙනෙකු වූ හෙන්රි අය්යාගේ ගෙදර ඉස්සරහා ජනේල දෙකක් මට මතකය. එහෙත් ඒවා කරගහගෙන ආවේ රත්තනපිටිය පැත්තේ ගෙදරකින් ගලවාගෙන බව මට මතක, මම කාලයක් හෙන්රි අය්යාගේ කඩදාසි කැටයං හා සරුන්ගල් කලාවට වහ වැටී එහිම වැටීගෙන හිටි නිසාය. (පහු කාලයක මම තනියම කැටයම් කපා දෙල්කද කූඩුවට සමාන කොපියක් හෝමාගම ගෙදර ලග හැදූ විට, මේ උඹේ වැඩක් වෙන්නට නම් බෑ, කවුද කැටයං කැපුවේ කියා ' ගොඩ දෙනෙක් දාන ලද කැටැයම මම හිනාවෙන් බාරගත්තේ මේ කී හෙන් රි අය්යාවද සිහිපත් කරමිනි.) ඒ කාලයේ ආනන්ද අය්යාගේ   ලොකු අය්යා මේ ලූවර් රෙපෙයාර් කරන හැටි මට කියාදුන්නේය. සමහර වීදුරු ඉරිතැලුනු විට ඒවා වීදුරු කපා ගෙනවිත් සීරුවට සවි කලේ මමය. 

ඉතින් මේ ලූවර් ජනේල වලට උඩින් ලොකු කොන්ක්‍රීට් වහලයක් තිබිනි. මේ වහල කෑල්ල ආනන්දසිරි අය්යාගේ කාමරයද, ඉස්තෝප්පුවේ කාලක් විතරද වසා පැතිරුනේය. ඒ වහලෙට උඩින් ඇස්බැස්ටොස් වහල මේ ලොකු ගෙය පුරාම පැතිර දිවුනේය. කොට තාප්පයෙන් මේ කොන්ක්‍රීට් වහලටද ඒ වහලයෙන් ලොකු වහලටද නැග ගත් පසු මෙලෝ යකෙකුට මා හොයන්නට බැරිය. මෙහි අනෙක් පැත්ත පාතාලය වාගේ පල්ලමට පිහිටා තිබුනේය. ඒ නිසා ඒ දවස්වල ඒ ගෙයි කුස්සිය පැත්තෙන් කක්කුස්සිය පැත්තට යන්නට පඩිපේලී හත අටක්ම බහින්නට තිබුනේය. ඒ පඩිපේලි අද්දරම මා මේ කියන ලොකු ජම්ඹු ගහ සහ 'පොල් අඹ' ගහ තිබුනේය. ඒ දෙවියන් විසින් මටත් මගේ බඩජහරි බඩටත් මවා තිබූ 'බත්ගස්' දෙකය. මේ ජම්ඹු ගහට නැගීම එසේ මෙසේ සෙල්ලමක් නොවේ. ඒ ගෙදර අය්යා අපේ අය්යා මෙන් ඇගපත හොල්ලන්නට කම්මැලි එකෙකි. (මා මේ කියන්නේ ගෙදරදීය..අය්යා සමග වැඩ කිරීම ලේසි නැත. මා ඔහු සමග එකතැන අවුරුදු පහක් පමණ වැඩ කිරීම මා ඊලගට තෝරාගත් රස්සාවට මහා පිටිවහලක් විය.) මේ ගෙදර අය්යා කලේ කෙක්කක් හදාගෙන අතුපිටින් ජම්ඹු කැඩීමය. ඒ ගෙදර පොඩි අක්කා තොදොල් බබෙකි. එයාට හොදම රතු පොල් ජම්ඹු කඩාදෙන්නට මා ඉදිරිපත් විය. ඒ නිසා අර අය්යා පසු බැස්සේය. අන්තිමේ තුන්පාරක් ඒ අක්කා ඉදිරිපිට දෙරිගසා බිම ඇද වැටුණු මම අක්කාට හොරෙන් දහ දොලොස් සැරයක් ඇදවැටී මගේ උත්සාහය ජයගතිමි.
 (මා පොල්ගස් නගින්නට උගත්තේ හෝමාගමදීය. ඒ කතා දැන් මතක් වුනත් පසුව කියමි. දැනට මෙහෙම චිත්‍රයක් මවා තබාගන්න. එක කෙසග තලෙලු කොල්ලකු ගැඹුරු ලිදක් අයිනේ පොල් ගහක මැද හරියේ අමු හෙලුවෙන් පොල්ගහ බදාගෙන සිටී. ඔහුගේ සරම හා ගස් වලල්ල කකුලේ විළුඹ ලග රැදී ඇත. ඊට අල්ලපු ගෙදර සුදු අක්කා කෙනෙකු මේ කොල්ලාගේ අම්මාට මූ බේරාගන්නා ලෙස බෙරිහන් දෙයි. ' එ ඇතිය. ඒ කොල්ලා ලොකු මහත් වී දැන් අඩි තිස් හතලිස් දාහක් උඩින් යන්නේය. ජීවිතයක හැටි.)
 අන්තිමේ මම දැන් ජම්ඹු ගහේය. ඉදුණු ලොකු ජම්බු පොකුරු මගේ අතේ, කටේ හා කලන්තය එනතෙක් ගිල බඩ ඇතුලේය. මෙහම කාලය ගතවනවිට කාටත් හොරා මම ජම්බු ගහට නැග්ගෙමි. ඒ ගහ මගේ ගෙදර මෙනි. පැය ගනන් ගහේ අතුවල කල් ගතකලෙමි. ඒ කාලේ අපව    හොයන්නේ වැඩක් ගන්නට නැතහොත් රෑ බතට ආවේ නැත්නම් නිසා කිසි කරදරයක් නැත. අනෙක මම ඉස්කෝලේ පාඩමක් කලා යැයි මටත් මතක නැත. දැන් මම ජම්ඹු ගහේ අධිපතිය. එහෙම ඉන්න වෙලාවක අර කී අඹ ගහේ ගෙඩි හැදෙන්නට පටන් ගත්තේය. ඒ ගෙඩි පොල්ගෙඩි මෙන් ලොකුය. අඹ කාලෙට පල්ලෙහා සිට්න නැන්දාට හා අක්කාට 'පෙනෙන' අඹ ටික කඩා පෝර මලු වල දමා 'බාන්නෙමි'. නොපෙනෙන ටික හොදට පැහැනු පසු අඹ ගහ දිගේ මහ වහලෙට පැන අර කී කොන්ක්‍රීට් වහලයේ අගුව යට හංගන්නෙමි. මට මා ගැන දැනුත් හිනාය. ඒවා මීයන්ගෙන් හා ලේනුන්ගෙන් ආරක්ෂා කිරීමට මමම දැල් කැබැල්ලක් නවා හදාගත් හතරැස් පෙට්ටියක් තිබුනේය.

මම ජයසින්හෙන් රස්තියාදුව පටන් ගෙන ගෙදර විත් පොත් විසීකර ඇදුම් ගලවා කොට කලිසමට බැස කෙලින්ම දුවන්නේ මේ ජම්බු ගහටය. එතැනින් කොන්ක්‍රීට් එක උඩටය. එතැන ඉදගත් විට හයිලෙවල් පාර හා වටපිටාව හොදින් පෙනෙයි. එහෙත් උඩ ඉදින මා කිසිවෙකුට හොදින් බැලුවෝත් මිස පෙනෙන්නේ නැත. ජම්ඹු කා ඉදිමුණු බඩට අර පොල් අඹයක් පැනි බේරී කනවිට මොන සැපක්ද. එහෙම ඉන්නා විට අර කොට තාප්පේ ඉන්න සමහර අයගේ කතා අහගන්නටද පුලුවන. සමහර ඒවා මට තේරෙන්නේ නැත. සමහර ඒවා 'ඇඩංස් ඔන්ලි' ඒවාය. සමහර ඒවා ඒ වටේ හිටපු අක්කලාගේ කකුල් සහ කුක්කු ගැනය. ලොකු අය්යාට නං මෙවා මතක ඇත කියා හිතමි. ඉතින් මගේ පැකේජ් එක හොදය. බඩත් පිරේ..හිතත් පිරේ. එහෙත් හැම කොට්ටොරුවාම ඇන ගන්නා දවසක් එයි. මගේ ෂර්ලොක් හෝම්ස් ක්‍රියාන්විතය ඒ ගෙදර ලොකු ඇම්බුං කැනක ලොකුම ඇවරියට විදීමෙන් හබක් විය. නැන්දා වදුරන්ටත් රිලවුන්ටත් දෙස් තැබුවාය. අන්තිමේ වහලේ  වැස්ස දවසට වතුර බේරීමක් නිසා ආනන්ද අය්යාට වහලයට නගින ලෙස අන කලාය. ආනන්ද අය්යා ඉණිමං තියාගෙන ලොකු ගේමක් දී  වහලයට නැග ආපසු බහින විට නැගි කම්මැලි මූණ වෙනුවට මහා හිනාවක් තිබුනේය. නැන්දා ' හරිදැයි' අහනවිට, ' මහ ලොකු දෙයක් නැතැයි ' කියා මගඇරියේය. මගේ අත අල්ලාගෙන 'යං ගෙදර ' කියා අපේ ගෙවල් පැත්තට ඇවිද්දේය. අනිවාරයෙම් අම්මා මට ගහන්නේ නම් නැත. එහෙත් ලැජ්ජාවක් නොවැ. ඒත් ආනන්ද අය්යා අපේ ගේ ලගදී ' මීට පස්සේ අහුවෙන හොරකං නොකර ඉදිං..වහලේ ඇවිදින කොට පරිස්සමෙන් පලයං..තනියම නොකා අම්මටයි අක්කලටයි දීපං..' කියා මා ගේ ලග තනිකොට විජේරාම පැත්තට ගියේය. මේ යාම දැනුත් මට මතක් කල හැකිය. ඒ මනුස්සයාගේ සුදෝසුදු ඇගපතට, හිනාවට, සාන්ත කමට වඩා ලොකු ලේ මස් නහර වලින් හැදුනු හදවතක් තිබිණි. ඔහු ඒ හදවතත් රැගෙන යන්නට ගියේය.

ඒ කාලයේ රට පාලනය කල අයටත් මේ අහිංසකයාව 'පැන ' ගිය ලිස්ට් එකට දමන්නට එක්කාසු වූ හැමටත්  නිවන් සුව අත්වේවා.!!!




Tuesday, November 1, 2016

බේකරි රස්සාව


ඩග්ලස් අය්යාගේ කඩේට පාන් බනිස් ගෙනා බේකරිය අටේ කනුවත් ජයසින්හෙත් හයිලෙවල් පාරට යා කරන පටු මගේ පිහිටා තිබිණි. මේ බේකරිය දරපෝරණු බේකරියක් වූ අතර සමහරදාට වැඩිපුර බනිස් හා පාන් ඕනෑ වූ විට ඩග්ලස් අය්යා මා අත එහි පණිවිඩයක් යවන්නේය. මේ බේකරියට අල්ලපු ඉඩමේ ලොකු ගෙයක් තිබූ බව මතකය. ඒ ගෙදර අය සමග මගේ හිතවත්කමක්ද තිබූ බව මතක වූවත්, ඒ අය කවුදැයි මට දැන් මතක නැත.

කෙසේ හෝ මම පෝරණුවේ පිච්චී තාර කලුවුණු පාන් තැටි , බනිස් තැටි, මාජරින් කදු මැන්දෙන් බාස් අය්යා සොයා ගියෙමි.  බාස් අය්යා කිසි දවසක උඩ ඇදුමක් ඇන්දේ නැත. කම්මුල දිගේ පෙරෙන දාදිය පපුව දිගේ විත් සරමේ බදපටියද තෙමාගෙන දෙපරැන්ද අස්සෙන් ගලා යන්නට ඇත. ඒ නිසාම එක අතකින් 'මෝලිය අල්ලනා' අතරේ ඉනෙන් පල්ලෙහා තව මොකක්දෝ අල්ලා සැරෙන් සැරේ එහා මෙහා එකලාසයක් කලේය. මේ ඇල්ලිල්ල ඔහුටම වදයක් වන්නට ඇත. ඒ නිසා හැම තිස්සේම ඔහු කතා කලේ නොරිස්සන සුළු ලෙසය. '
ඇයි මොකෝ..' ' මල මගුලක්නෙ ..එක පාර කියන්ඩ කියපන්කො..' මේක ලේසි කෙළියක් කියලද හිතන් ඉන්නේ ..' කියා මහා ඝර්ජනාවකින් පසු' හ්ම් හ්ම්..එහෙනං ගිහින් කියපන් වැඩේ හරි කියලා..'
කියා බාස් අය්යා ටිකක් සීතල වෙන්නේය. ඒ සීතල අස්සේ මම උණු උණු බනිස් වලට සීනී 'අල්ලන' හැටිද, කිඹුලා බනිස් දුං දාන හැටිද, මාලුපාන් වලට පාට එන්නට බුරුසුවෙන් මාජරින් 'අල්ලන' හැටිද බල බලා හතර වටේ කැරකෙන්නෙමි. මේ බනිස් එන්නේ පාන් පුච්චා ඉවරවූ හැටියේ නිසා බේකරියේ සුවද මගේ ඉහමොල අස්සෙන් ගොස් බඩට පණිවිඩයක් දෙයි. එදාද මා හිතුවේ බඩගිනි එන්නේ බඩෙන් කියාය.එහෙත් මෙතැන කිසිවෙකු නිකං නං පාන් වාටියක්වත් දෙන්නේ නැත. එහෙත් කොයි මොන ලෝකේ හිටියත් මට මොකෙක් හෝ 'සෙට්' වෙන ජාතියේ එකෙක් හම්බවෙයි. එහෙම එකා ඩග්ලස් අය්යාගේ කඩේට පාන් ගෙනා එකාය. ලෑලි පෙට්ටිය බයිසිකලේ 'ලගේජේ' බැද, පෙට්ටිය වැහෙන්නට ඉටි කොලයක් තබා පරන බයිසිකල් ටියුබ් එකක් දමා හිරකරගන්නා මේ මනුස්සයා වැඩි කතා බහක් නැතිවම උදේ හවස බයිසිකල් පැද කඩ දහයකට දොලහකට පාන් බෙදුවේය.  මා පණිවිඩ අරන් යන හැමදාම මේ මනුස්සයා මට අර කලින් රවුමක් ගොස් විත් බේකරියේ බිත්තියට හේත්තු කර තිබූ පෙට්ටියෙන් සීනී බනිසක් හෝ කිඹුලෙක් අරන් දෙන්නේය. ආපසු මග දිගට මම අර බනිසේ වහ වැටිලාය. එහෙමත් දවසක මැදට ජෑම් දැමූ පාන් එකක් ලැබුනේය. එවා වැඩිය හදන්නේ නැත. කෙසේ හෝ ටික දවසක් යනවිට මම උවමනාවට වඩා නුවුමනාවේම බේකරියේ කරක් ගැහැවෙමි. අන්තිමේ මා එන්නේ ලාබයක් නොව අලාබයක් කරන්නට බව මේ මනුස්සයාටම තේරුණෙන් එක දවසක ''අදින් පස්සෙ බනිස් කන්ඩ සල්ලි අරන් වරෙන් ..' කීවෙන් මගෙ නිකං බනිස් කෑම එහෙම් පිටින්ම හබක් විය. අන්තිමේ ඒවාට සල්ලි ලැබුනේ අසරන අම්මාගෙන්ද, ලී මෝලේ 'ඇගිලි හපන' ප්‍රේමසිරි අය්යාගෙන්ද, මා කිසිදා නිවන නොපතන 89 මිරිහානෙන් 'පැන' යන්නට සැලැස්වූ ආනන්දසිරි අය්යාගෙන් වැනි 'හිත ලොකු' ගෑණු මිනුස්සුන්ගෙනි. එහෙත් මේ බනිස් ජාති ඩග්ලස් අය්යාගේ කඩේ රුපියලක් හෝ දෙකක් වන විට මට ලැබුණේ සත විසිපහ ගනනේය. මේ ලාබය මා තේරුම් ගන්නා විට මා මේ බනිස්වලට ඇබ්බැහි වී සිටියෙමි. මා පමනක් නොව අක්කලාද ඇබ්බැහි වී සිටියා මට හොදට මතකය.

මේ කාලයේමදො කොහෙදෝ 'ෂොපින් බෑග්' ආ යුගය විය. එකල අපේ ගෙදර 'ෂොපින් බෑග්' දෙක තුනක් තිබුනා මත මතකය. අපේ ගේ ලග සිට බේකරිය දක්වා ෂොපින් බෑගය දබරගිල්ලේ රුවාගෙන මම ඊට හුලන් පිරෙන සේ දුවන්නේ එක හැල්මේය. සමහරදාට බනිස් සමග ඩග්ලස් අය්යාගේ සත පනහක කහට අපේ වේලක් සරි කරන ලද්දේය. එහෙත් මේ බනිස් පාන් කඩවල විකුනගන්නට බැරිව ඉතිරිවී ආපසු බේකරියට ගෙනෙන ඒවා බව පසුව දැනගත්තද මම ඒවා හෙලි නොකෙලෙමි. එක්කෝ අක්කලා ඒ බව දැන ඉන්නට ඇත. අද මම සමහර තැන්වලදී ' ඇගටත් හොදයිනේ..' කියා දුඹුරු පාන් කනවිට මට අර පරණ බනිස් රස දැනේ. ඒ රහට මම තාම ආසාය.

පාන් කතාව මෙහෙම නතර වෙන්නේ නැත. එක වකවානුවක මේ කී බේකරිය වසා දැමුණේය. ඉන් පස්සේ පාන් ගෙනාවේ කට්ටිය හන්දියේ දැනුත් තිබෙන බේකරියෙනි. මේ බේකරියෙන්ද අර පරණ බනිස් කෑමේ සෙල්ලම පටන් ගත්තෙමි. එහෙත් ටික දවසකින් මේ බාස් උන්නැහේ මට රස්සාවක් දුන්නේ ඒ හිලව්වට පරණ බනිස්ද, දවසකට රුපියලක්ද වසයෙනි.  බාස් උන්නැහේ පරන පාන් කෑලි කඩා පෝරණුවේ දමා කෑලි කරන්නේය. ඉන් පස්සේ දුඹුරු පාට පාන් කුඩු වලට සව් ඇට හා සීනී කලවන් කර තඩි ගුලියක් හදන්නේය. මේ ගුලිය මේසය මත රවුම් 'පිං' එකෙන් තුනී කරන්නේය. (පිං එක කීවේ රෝලින් පින් එකට වන්නට ඕනෑය.) තුනී කල මේ ගුලිය ජෑම් බෝතල් මූඩියකින් රවුම් රවුම් කපා බනිස් තැටියක දමා එකක් හරහට තව එකක් තබා තැටි කන්දක් හැදීම මගේ රස්සාවය. මේ  'සව්බොර' හැදිල්ල මා ඉතාම ආසාවෙන් කලෙමි. රස්සාව ඉතා හොදය. අනෙක මට අම්මා විසින් නොකඩා හදා දුන් 'සියුම් දෑතක් ' තිබේ. ඒ දෑතෙන් මම ඕනෑම වල්පල් දෙයක් නිර්මාණයක් බවට පත් කලෙමි. ඒ දැකද කොහෙදො බාස් උන්නැහේ අනික් එවුන්ට මා පෙන්වා..' උගේ අත හොදයි ..බලපන් ''පිං'' එක අල්ලන ලස්සන' යැයි කීවේය. රස්සාව පැය දෙක තුනක් වූවත් මගේ හිත දවසම මේ උද්යොගයෙන් පිරී තිබේ.එහෙත් හදිසියේ දවසක බාස් උන්නැහේ මට සව්බොර රස්සාවට අමතරව ' වෙන සෙල්ලමක් ' කරන්නට ලොකු ට්‍රයි එකක් දුන්නේය. කීවාක් මෙන් මම පෙනෙන හුරුබුහුටි එකා නොවන වග 'ගෙදර ගිහින් උබෙ අම්මට..' කියා සව්බොර අතපයේ ගාගෙන පස්ස හැරි හැරී ගෙදරම දුවා මගේ පස්ස බේරා ගත්තෙමි .ඒ මගේ අවසාන බේකරි රස්සාවත් පරණ බනිස් සෙල්ලමත් විය. මම මේ ලියන්නේ සතුටෙනි. මට යලි පැගිරිවත්ත පාරේ සිට මේ කොල්ලා දුවන හැටි බලන්නට ආසාය. ගෙදර ගොස් ' තෝ කුණුහරුප කියන්නත් පුරුදුවුනාදැයි' කන මිරිකා කවුරුන් හෝ අහයි යන බයෙන් පුටු නැති මේසේ යටට වී හති ලෑ කොල්ලා බලන්නට ආසාය.

ඉටු නොවන ආසාවන් බලාපොරොත්තු කොයිතරම් තිබේද...