Tuesday, December 11, 2018

කුමන කතා ද...!

ඉස්කෝල නිවාඩුව නිසා ගෙදර කළබල වැඩි වී තිබේ. අපිත් එහෙම ඉස්සර ගෙදර කළබල කරන්නට ඇත. සමහර විට අපි ගෙදරට වඩා කැලේ හිටි නිසා අම්මලාට කරදරයක් නැතුව තියෙන්නට ඇත. ඒ කෙසේ වෙතත් පසුකාලයක අපටත් මෙහෙම නිවාඩු කාලයක් ආවේ යාල හෝටලයේ ඉදිද්දීය. ඒ සැප්තැම්බරයේ යාල උද්‍යානය වසා දැමීමෙන් ආරම්බ වන ``ඕෆ් පීක්'' නිවාඩුවයි.

ඒ ගැන කලින් ලියා ඇති නිසා වැඩිය ලියන්නට උත්සාහ නොගනිමි.

එක දවසක මෙහෙම කාලේ කකා ඉන්නට බැරි නිසාත් කරන්නටත් දෙයක් නැති නිසාත් හැමදාම බොන්නට සල්ලිත් නැති නිසාත් මොකක් හෝ කරන්නට කල්පනා කර කර ඉන්නා වෙලාවක කවුදෝ මැණික් ඟග ගලා බහින්නේ කුමනෙන් කීවේය.

අපි කුමන බලා පයින්ම යන්නට තීරණය කලෙමු.


අමදූවෙන් පටන් ගන්නා වෙරළ තීරය දිගේ කුමන යන්නට පටන් ගත්තාට අපට එහෙම කිසිදු පෙර සූදානමක් තිබ්බේ නැත. අඩුම තරමේ කොච්චර දුරක් ඇත්දැයිවත් අප දැනගෙන හිටියේ නැත. (දැන් ගූගල් කර බලන්නට පුළුවන් නිසා බැලුවොත් අමදූව සිට කුමන දක්වා සෑහෙන දුරක් තියෙන බව දැකගත හැකිය. තාක්ෂණය මේ තරම් දියුණුව එදා තිබුණේ නම් අපි ගූගල් කර කර ඉන්නවා මිස මේ ගමන යන්නට අඩියක් උස්සනවා බොරුය. ඒ නිසා මම මේ කියන 1991 වගේ කාලයේ ගූගල් නැතිවීමම හොදය.)

අපි දැනගෙන හිටියේ අමදූව වෙරළ දිගේ යනවිට එකතැනකදී එංගලන්තයේ ඩෝවර් හී White Cliff මෙන් මෙන් විසාල නැතත් ඊට වඩා සුන්දර ලොකු ගල්තලාවකින් මුහුදට වඩා උසින් පිහිටන නිසා අළුත් බුතව බංගලාව පැත්තෙන් ගොස් ආපහු වෙරළට බහින්නට සිදුවෙන බවයි. එතැනදි අපට එතැනින් එහාට යන්නට එපා කිවොත් හැරිලා එන්නට සිදුවෙන නිසා දන්නා අදුරන කෙනෙක් හිටියොත් හොදය යන්න පමණක් දැනගෙන අපි උදේ පාන්දර පිටත් වුණෙමු. හැමෝගේම අත වතුර බෝතලයක් තිබුනාට බිස්කට් පැකට් එකක් තිබ්බේ ස්ටෝරුවේ පාලක සරා අත බව මට අදත් මතකය. මේ ගමනට එකතු වූ එදා හෝටලයේ රැදී සිටි සියළු දෙනාගෙන් යම් තරමකට හෝ වයසින් මුහුකුරා ගොස් තිබුණේද සරා පමණකිය. ඊට අමතරව මගේ කරේ එල්ලීගෙන Yashica FX3 කැමරා රාජයාද ආවේ තිස්ස ස්ටුඩියෝවෙන් ගත් Fuji iso200 ෆිල්ම් රෝලෙන් බාගයක්ද ඉතුරුව තිබූ නිසාවෙනි. අදටත් ඉන් ඉතිරිව ඇති පින්තූර දෙක තුනක් මගේ මතකය එක පිම්මේ යාලටත් අමදූව මුහුදු තීරයටත් ගෙන යන්නේ වචන වලින් ලියාගන්නට බැරි සුන්දර චිත්‍ර පොත දිගහරිමිනි.

අමදූව අඩකවයක් වන් දූවකින් හැදුණු නිසා අපි පිටත් වී පැයක් වත් ගතවෙනතුරු අපට හෝටලය දකින්නට පුළුවන් විය. අපි වරෙක මුහුදු වෙරලේ රැළ පාගමින්ද වරෙක වෙරළෙන් ඔබ්බේ තණ බිමේද ගමන් කලෙමු. එහෙත් අපට පසෙකින් මහ ඝන කැලෑව ගුප්ත අදුරකින් අපව තණ බිමෙන් ඈත් කොට ගමන් කිරීමට මග සාදන ලද්දේ අලීන් හා වලසුන් හිටි හැටියේ කඩා වදින්නට පුළුවන් වීම නිසා බව කවුරුත් නොකීවාට අපේ හිත් ඇතුළේ තිබෙන්නට ඇත. එහෙත් වෙරලේ ඇවිදීම ලෙහෙසි නැත. කකුළ් වැල්ලේ එරෙනවාට අමතරව හිසට උඩින් වැටෙන ගිණියම් අව්ව වෙහෙස වැඩිකරවයි. එහෙත් කැලෑව පැත්තෙන් යන්නටත් හිත දෙන්නේ නැත. ඒ පැත්තෙන් අලි වලස් කරදරයට අමතරව පොලොං බියද තිබේ. අනෙක අපේ කණ්ඩායමට හදිසියේ ගන්නට ප්ලාස්ටරයක්වත් නැත. කරදරයක් වුනොත් කරේ තියගෙන ආපහු එන්නට සිදුවෙන්නේ අමදූවටමය. එහෙම වුනොත් බයානකය. එහෙත් එකල අපට ඒවාට උත්තර තිබුණේ නැතිවා වාගේම එහෙම වෙයි කියා බලාපොරොත්තුවක් තිබුණේද නැත.

 පැයක් දෙකක් ඇතුළත අපි වෙරළෙන් මෑත්ව ගල් කන්දක් තරණය කොට මහසීලව බංගලාවට සම්ප්‍රාප්ත වුනෙමු. මම යාලට එනවිට මහසීලව බංගලාව ප්‍රේමදාස ජනපතිවරයා විසින් සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කර තිබුණේය.  මහසීලව පමණක් නොව පටනංගල, බුතව, නව බුතව  වැනි සියළුම අමුත්තන්ගේ බංගලා ඔහුත් එකල උදේ හවා යාලදී දකින්නට පුළුවන් වූ ප්‍රේමදාස පුත්‍රයා සජිත්  එකතුව සම්පූර්‍ණ කොට තිබුණේය. මට මතක හැටියට කොටි ත්‍රස්තවාදීන් විසින් ඔහු සම්පූර්‍ණ කල එක් බංගලාවක් සම්පූර්ණයෙන්ම ගිනිබත් කොට විනාස කලේය. (දේශපාලන වේදිකාවේදී ඔහු කොටින්ට උදව් කලා යැයි කීවාට ඔවුන් එහෙම ප්‍රේමදාස ජනපතිවරයා ආදරය කල දේවල් වලට ගිනි තබන්නට ඇත්තේ කුමන හේතුවකටදැයි මම දන්නේ නැත. ඒක අපි පෙලපාලියේ ගොස් උඩහමුල්ල ඩිපෝවේ බස් ගිනිබත් කල දවසේත් මට තේරුණේ නැත. එහෙත් ඒවා එහෙම විය. )

අපි බංගලාවට යන විට කිසිම අමුත්තෙකු එහි නොවීය. එහෙත් බංගලාව මේ දැන් අමුත්තන් එනවා යැයි යන කල්පනාවෙන් සම්පුර්ණයෙන්ම පිළියෙල කොට තිබුණේය. තනි ඇදන් වලට එල්ලූ මදුරු දැල් ලා කොල පාට බව මට තාම මතකය. බංගලාවේ දහ පහලොස් දෙනෙකුට පහසුකම් තිබුණු අතර හෙලිකොප්ටර ගොඩබාන ``හෙලිපෑඩ්'' එකක් තිබ්බේ මෙහිද කියා මට මතක නැතත් එහෙම එකක් කොහේ හෝ තිබ්බා නම් මට මතකය. කෑම කන්නට හදා තිබූ මැටි බිත්ති හා පොල් අතු සෙවිලි කල මඩුවේ තැනින් තැන ප්‍රේමදාස ජනපතිවරයා විසින් ගන්නා ලද අලින්ගෙ ඇතුන්ගේ හා දිවියන්ගේ ඡායාරූප එල්ලා තිබුණේ නම්ගම් එක්කය. මට, දෙහිවලදී අලින්ට නම් තිබ්බේ උන්ව හසුරවාගන්නට වෙන්නට ඇති කියා හිතුණාට මේ කැලේ වල් අලින්ට මොන නම්දැයි එදාත් තේරුණේ නැත. එහෙත් යාල පිවිසුම් දොරටුවේ කාර්යාල භූමියේ ප්‍රේමදාස ජනපතිවරයාගේ කැමරාවක් කරේ එල්ලාගත් ඡායාරූපය මේ මනුස්සයා අඩුම තරමේ සතෙකුටවත් ආදරේ කිරීම කොයිතරම් හොදදැයි එදා මට මතක් වුනේ පත්තර වල තිබුණු ඒවා එක්ක සැසදීමෙන් වෙන්නට ඇත.
 බංගලාවේ මුරට පොලීසියෙන් දෙන්නෙක් තුන්දෙනෙක්ද සිටි අතරේ වනජීවියේ සේවකයන්ද සිටියා මට මතකය. ඔවුන් අප යන වෙලාව වෙන විට කිරිබත් හදමින් තිබුණේ උදේ කෑමට නිසා වෙන්නට ඇත. වනජීවියේ සේවකයන් කිහිපදෙනෙකු අපව අදුරන්නේ සෆාරී ජීප් වළින් හෝටලයට නිතර යන එන නිසාය. සමහරුන් ``පොඩි ඩ්‍රින්ක්'' එකක් දැමීමටත් හෝටලයට එන්නට පුරුදු අය නිසා අපව අදුරගත් නමුත් උදේ කෑමට අපට අරාධනා කලේ නැත. අපි හෝටලයෙන් පිටත් වෙන විට ප්‍රේමචන්ද්‍රගේ සුදු බත් පොල් සම්බෝල සහ පරිප්පු හොද්ද කා ආ මුත් ගමනේ වෙහෙස නිසා අපට යළි බඩගින්නක් ආවත් කරන්නට දෙයක් තිබුනේද නැත. බංගලාවෙන් අපේ බෝතල් වලට වතුර පුරවාගත් පසු අපි යළි ඊළග පල්ලම බැස වෙරල තීරය දිගේ යන්නට පටන් ගත්තෙමු. 

 වෙරළත්, මුහුදු රැලත්, ගොඩබිමේ තණ පදුරුත් අතර එහා මෙහා වෙමින් යන මහ අව්වේ පිච්චි පිච්චී යන අතරේ ඉදහිට වෙරළ සමීපයට පෙනෙන ගහක ගෙඩියක් දැක්කොත් කවරදාකවත් නෑ බෑ නොකියන ජගත් ගහට නැග අතු පිටින් කඩාගෙන ආ නිසා යන්තමට බඩවල් වලටත් යමක් වැටුනේය. එහෙත් අපේ මේ විනෝද ගමන හෝ මහා ඝන කැලෑවේ ගුප්ත නිසංසල බව බිදෙන කෑකෝ ගැසීම් නිසා අවදිවෙන්නට ඇති කැලෑවේ අයිතිකාරයෝ කලබල වෙන්නට පටන් ගත්තේය. පල් වී ගද ගසන වතුර වලවල් මුර කරන කිඹුලන් හනි හනික අර මඩ වලේ නොපෙනී ගියේය. කවරදාකවමත් අඩුවක් නැති මුව රංචු ඝන කැලය පසාරු කරගනිමින් දුවන්නට පටන් ගත්තේය. ඉදහිට වලස් ගදක් ආවාට ඒ ඇත්තටම වලස් ගදදැයි මා නම් දන්නේ නැත. එහෙත් මේ දුෂ්කර පළාතේ ජිවීතය ගෙවා ඇති අජන්ත හෝ ජගත්ට ඒ ගද හුරු වෙන්නට ඇත.  එහෙත් අලි ගද නම් අපේ නහයවල් කිදා බැස අනියත බියක් ඇතිකලේය. කැලෑව ඇතුළට වෙන්නට එහිම සෙවන යටින් ඉදිරියටම ඇදෙන අපි, අළුත් අලි බෙටි තියෙන තැන්වල ``අලි වැල්ලට බහින්නේ නැත'' කියන අත්දකීමෙන්  වෙරළට බැස වැල්ල දිගේ ගමන් කලෙමු. ඒ නිසා අපේ ගමනේ අලියෙකු නම් දකින්නට වෙන්නේ නැතැයි අපි කළින්ම තීරක කොට සිටියෙමු. 

එහෙත් එදා එකපාරටම අලියෙක් පිඹින හඩ ඇහෙන්නට විය. මෙතෙක් කිසි ගැම්මක් නැතිව ආ අපි ඔලු උස්සා බලන විට අලියා වෙරල සීමාවේ වැලි කන්ද උඩය. මම කැමරාව අටවා ගත්තෙමි. අනෙක් අය වැල්ලේ බිම ඉදගෙන ආරක්ෂා සහිත බවෙන් අලියා නරඹන්නට විය.  අලියා තඹ සතේකට ගනන් ගන්නේ නැතිව වැලි කදු තීරය දිගේ ගමන් කරමින් සිටියේය. අපි අලි සිරි නරඹමින් කොපමණ වෙලාවක් ගත කලාදැයි මට මතක නැත. එහෙත් කවුරුන් හෝ කීවේ ඉක්මණින් ආපහු යා යුතු නිසා අලියා එලවා දමා අප ඉදිරියට යා යුතු බවකි. ඒ යටි ගිරියෙන් කෑ ගසමින් හූ කියමින් අපි අලියා එලවීමු. ඒ හඩට අලියා නගුටත් උස්සාගෙන හොඩවැල උඩට උස්සා කෑ ගසමින් අපට සාප කරන්නට ඇත. මම ඒ වෙලාවේ මගේ යෂිකා කැමරාව තුන් හතර පාරක් එහා මෙහා කොට ඒ අලියා  මේ පින්තූරයට හසුකරගතිමි. 





කුමන කතාව ටිකෙන් ටික කියන්නට සිතාගෙන දැනට නවතිමි.

7 comments:

  1. මේ ගැන මගෙ විශේෂිත ongoing interest එකක් තියන නිසා ඉක්මනින් ඉතුරු ටික බලාපොරොත්තුවෙන් ඉන්නව

    ReplyDelete
  2. ස්තූතියි, කුමන කථා වලින් පසුව “කුමන නැටුම් කෙළි කවට සිනා " බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. කෝ කාලෙකින් මොකුත් නැනේ

    ReplyDelete
  5. අයියටයි මල්ලිටයි දෙන්නටම එකම ලෙඩේ

    ReplyDelete