Thursday, November 1, 2018

මිල්ටන් මල්ලවආරච්චි මේසන් බාස් කෙනෙකි.


සංචාරකයන් සදහා සැප්තැම්බර් මාසය පුරාම වසා දැමෙන යාල යළි ඇරෙන්නේ නොවැම්බරය මුල සතියේ බව මට මතකය. මේ කාලය පුරාම ඇත්තේ දැඩි වියළි බවකි. ඊටත් වඩා මහා පාළු, කම්මැලි, මූසල ගතියකි. අමදූවෙන් ඇහෙන හෝ හෝ හඩේ පවා ඇත්තේ මහා උදාසීන බවකි. වෙනසකට ඇත්තේ වාඩියේ පොල් අතු මැසි උඩින් ඇදෙන දුමේ සුවද පමණකි.
අපේ හෝටලයේ නිවාඩු යන අය සියල්ලෝම යන්නට කැමැති මේ මාසයේය. අනෙක් මාස වල 'සර්විස් චාච්-ටිප්' සහ වෙන වෙන වාසි නිසා කවුරුවත් යන්නට කැමැති නැත. කොහොම නමුත් හෝටලයේ ආරක්ෂාව නිසා එක්කෙනෙක් දෙන්නෙක් නතර වී ඉන්නට කැමැත්ත පළකරන ලද්දෙන් ඒ කෙනාට සමීප තවත් අය නතර වීමට කැමැත්ත පලකිරීම සාමාන්‍ය දෙයකි. ඒ මේ මූසල පාළු ගතියේ ඉන්නට විහිලුවක් තහළුවක් වගේම අරක්කු බෝතලයක් හිස්කරන්නට, හිස්කරන අතරේ සින්දු කියන්නට එකග කෙනෙකු සමග විසීම කාලය ඉක්මන් කරන නිසාවෙනි.
කොහොම නමුත් මේ නිවාඩු කාලයේ වැඩිපුර මෙහි ඉන්නට කැමැති වූයේ ජගත්, මම, ප්‍රේමචන්ද්‍ර, මවුලිස් සහ අජන්ත වැනි අර කී බෝතල් පාටියේ අයය. (අජන්ත පොඩි එකෙකු නිසා බීවේ හොරෙනි. ඒකත් එක අඩියක් විතරය.) ප්‍රේමචන්ද්‍ර නැවතුනේ අපට කන්න උයන්නටය. අනෙක ඔස්ටින් අයියා සිය බලපරාක්‍රමය පතුරවමින් ප්‍රේමචන්ද්‍රයාට නිවාඩු දුන්නේ තමන්ට ඕනෑ විදියටය. ප්‍රේමචන්ද්‍ර ඒ කිසිත් නොතකා හිනාවකින්ම බාරගත්තේ ප්‍රේමේ ඔස්ටින් අයියාට තිබූ ණය කන්ද නිසා බව අපත් දැනගෙන හිටියෙමු.
එහෙත් ප්‍රේමේ අපි මෙන් කවුරුත් නැතිව උනත් ඉන්නට ආසා කලේය. ඒ අපි ඒ නිදහස උපරිමයෙන් බුක්ති විදි නිසාවෙනි.
දවසක අපි වතුර ටැන්කිය පැත්තෙන් කැලෑ වැද මොරගහක් උඩට නැගී වරුවක් ගතකරන්නෙමු. වරෙක වාඩියේ ගල්තලාවට නැග මාලු අල්ලන්නට වරුවක් ගන්නෙමු. ප්‍රේමචන්ද්‍රට උයන්නට දෙන ඒ මාළු ගැහි ගැහී බාල්දියේ ගෙනෙන එක ඒ දවස්වල කිසි සංවේදීකමක් ගෙනාවේ නැත. ආයේමත් සමහර දාට සුදුවැල්ලේ වාඩියෙන් ලැබෙන පොකිරිස්සෝ දෙන්නෙක් තුන්දෙනෙක් උණු වතුරට දා හැටියේම තැඹිලි පාට වෙනහැටි බැලුවෙමු. කවුරුන් හෝ ආවොත් වතුර බෝතලයක් බීම එකක් බයිට් පාර්සලයක් හදා දී හවස බඩු ගෙනෙන්ට තිස්සට තැපැල් නයින්ටිය පදින්නෙමු. සමහර දාට වනජීවියේ අය හෝ පොලීසියේ අය තව දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක හෝටලයට එන්නේ 'සෙට්' වෙන්නටය. අපි ඔවුනට අවශ්‍ය කළමනා සදා දුන්නෙමු.  මෙ ඔක්කොම කොට හවස නාගෙන, බතික් සරම් ඇදගෙන මවුලිස් අයියාගේ කැබින් එක ඉදිරිපිට හෝ වැල්ලේ බිම හෝ ගල් බෝතලයත් අළුත්ම මාළු බයිට් පිගානත් වීදුරුත් එකතු කරගෙන හිමින් හිමින් කතා කරන්නට පටන්ගෙන  අන්තිමේ මුහුදට වඩා හයියෙන් හූත් කියා වැනි වැනි ඇවිත් බතුත් කා නිදන්නෙමු.
ඒ කොහොම උනත් අපේ දිනපතා 'සෙට්විල්ලට' අනුග්‍රාහකයෙක් හිටියේ නැත. අපිට අපේම ක්‍රම වලින් සියල්ල සොයාගන්නට සිදුවිය. ඒ වෙලාවට බොහෝ විට පිහිටට ආවේ අතරමං වුනු දේශීය සංචාරකයෝය. ඉතාම අඩුවෙන් විදේශිකයෝය

නිවාඩු කාලය එළබෙන්නා එක්කම අපේ පොකට්ටුද සිදී යන නිසා එකම සහනය 'අනාත ගෙස්ට්ලා' ය.   සමහරුන් නැදෑ ගෙවල්, මඟුල් ගෙවල් පමණක් නොව මල ගෙවල් වල ගිහින් එන අතරේ මේ කලාපයට පෙම්බැද යාල, කිරින්ද පැත්තේ කරක් ගහමින් ඉන්නා අතරේ අපේ හෝටලයටද එන අයය. ඔවුන් එන්නේ අර මහ හෝටලයටද ගොස් ආරක්ෂක නිලධාරීන් විසින් 'අමදූව ෂෝක් මුහුද, මෙහෙ සැර වැඩී'  කියා ඇගට නොදැනෙන්නට එලවා ගත් පසුය. සමහර අය සිතුල්පව්වේ යන ගමන කාගේ හෝ ඔත්තුවකට මේ පැත්තට හරවන්නේය. අපි ඒ එන අයට වතුර බෝතල් විකුනන්නෙමු. ඒ හෝටලයට ආදායම් උපදවන්නට නොවේ. ඊළගට හිටපු ගමන් බත් පාර්සල් දහයක් දොළහක් බැද දෙන්නෙමු. ඒකත් හෝටලයේ ආදායමට නොවේ. ඩ්‍රින්ක් දාන අයට බයිට් එකට අමතරව පුටු මේස දෙක තුනක් ගහක් යටට එකලාසයක් කර දෙන්නෙමු. ඒකත් හෝටලයේ ආදයමට නොවේ. අපේ අහිංසක ගල් අරක්කු බෝතලයට සහ සෝඩා බෝතල දෙකට ආධාර පිණිසය.
(මේ මොනවා කරන්නත් ලියනගේ අය්යා හෝ අජිත් අයියා නැති වෙන්නටත් ඕනෑය. ඒ දෙන්නාම ගෙවල් වල ගිය පසු බන්දුට හෝ පසුකලෙක මට හෝටලය බාර විය.  එහෙම කාලයක මේ අමතර ආදායම් වලට අප තල්ලු වී ගියද කිසිදා හෝටලය ගොඩනැගිලි ඇතුලට කිසිවෙකු වද්දා ගත්තේ නැත. මේ අපේ හෝටලය කියන ගෞරවයක් අපට තිබ්බේය. )

මෙහෙම යාල වැහෙන කාලයට අපේ හෝටලයට අළුත්වැඩියා කටයුතු වලටද අවස්ථාවක් ලැබෙයි. ඒ එක්කෝ තීන්ත ගාන්නටය. කැඩුනු නානකාමරයක අළුත්වැඩියාවකටය. නැත්නම් ලී අල්ලා තිබූ කාමර වල පොලොව මදින්නටය. ඊට අමතරව අපේ හෝටලයට නිශ්චිත අළුත්වැඩියා වැඩසටහනක් තිබ්බේ නැත. එහෙම අපේ හෝටලයට අත්‍යාවශ්‍යම අළුත්වැඩියාවක් කෙරුනේ අජිත් අයියාගේ මැදිහත්වීමෙනි. ඒ මීගමුවේ බ්‍රවුන්ස් හෝටලයේ අළුත්වැඩියාවකින් පසු ඉතුරු වූ ඇදන්, මෙට්ට කොට්ට උර සහ අනේක විධ ගෘහබාණ්ඩ අපේ හෝටලයට ගෙනා නිසාවෙනි.

(මේ බඩු පටවාගත් ලොරිය පටන් ගත්තේ අජිත් අයියාගේ ගෙදර සිටය. ඒ ඊට කළින් දවසේ  මීගමුවෙන් පටවාගත් බඩු තොගය සහ කොළඹ ඇවිත් තිබූ මාද සමග යාලට එවන්නට කටයුතු සූදානම් කොට තිබූ නිසාවෙනි. රියදුරා සහ සහායකයාට අමතරව මා සිටි නිසා ඔවුන් අර බඩු භාණ්ඩ අතරේ පුටුවක් තබා මා එහි නන්වාගන්නට කටයුතු කර තිබුනත් ලොරියේ පිටුපස නැගී අච්චර දුරක් ධූවිල්ලේ හෝ හදිසියේවත් වැස්සක් කඩා පාත්වුනොත් යන එන මං නැතිවෙන බව කල්පනා එන්නට වූ විට මගේ කළු වූ මූන දැක සෝමා ඇන්ටි ඉදිරිපත් විය. ඒ මා ඇතුලේ එක්කාගෙන යන්නටය. ඒ ලොරියේ අපි කොහොම හෝ සිරවී ආවෙමු.  එහෙත් වැඩිදුරක් යන්නට පෙරම සහායකයා ලොරිය නවත්වා අර සැප මෙට්ට අතරේ පසුපසට නැග ගත්තේය. ඔහු අර පුටුවට නැග සැපට වටපිට බලමින් නින්දකටත් වැටෙන්නට ඇත. මම ඩීසල් ගදේ අර රියදුරාගේ කතා අසමින් වරෙන් වර නින්දකටත් වැටෙමින් බ්‍රේක් වදින වෙලාවල්වලට බෙල්ල රිදෙන්නට කොහේ හෝ වද්දාගනිමින් අනන්ත දුකක් වින්දෙමි. )

මේ බඩුබාහිරාදිය ගෙනා කාලේම අපට මෙතෙක් කලක් තිබුණු නානකාමර පද්ධතිය අළුත්වැඩියාවට කොළඹ එයිට්කන් ස්පෙන්ස් ආයතනයෙන් මුදළ් ලබාගැනීමටද අජිත් අයියා සමත්විය. උදාහරණයක් විදියට මෙතෙක් නානකාමරය ඇතුලේ මූණ සෝදන භාජන  (Sink) යටින් ගලා ආ වතුර නානකාමරය ඇතුළේම සිහින් කානුවක් දිගේ යනවා පෙනෙන්නටම තිබ්බේය. අපේ අමුත්තන් හැම තිස්සේම මේ ජරාජීර්ණ කානුව අයින් කරන්නට කියා කියා ගියත්, ලියා ගියත්, ගිහින් ලියලා එව්වත් කොළඹින් ඊට මුදළ් එව්වේ නැත. අවසානයේ මේ ලැජ්ජාව නිසා අජිත් අයියා කොළඹ ගිහින්ම මේ ගැන කතාකර විසදුමක් ගත්තේය. ඒ අනුව යාල වසා තැබෙන කාලයේ අපේ ශ්‍රමයෙන් හා මේසන් බාස් කෙනෙකුට වියදමෙන් අර කානුව වෙනුවට බටයක් දමන්නට සමත්වීමු.

එ බට දැමීමේ මේසන් කමට ආවේ තිස්ස හෝ කතරගම හෝ ඒ ළගපාත මනුස්සයෙකි. මට මේ මනුස්සයාගේ නම මතක නැතත් මූණ නම් අදටත් යන්තමට මතකය. ඔහු අපි හැමෝගෙම මෙන්  හකු පෑදුනු මුහුණක්ද, අවුල් කොණ්ඩා වැවුනු ඔළුවක්ද, දෙවේලක් කා නැති මෙන් දෙකට නැවුනු සිරුරක් තිබූ කෙසගයෙකි. බුළත්විට කෑවේය. වැඩ කරන්නට විත් දවස් දෙක තුනක් අප සමග නතර වී උන්නේය. නතර වී ඉන්නා ගමන හවසට අපේ ගල් බෝතලයට සම්මාදම් විය. ටිකක් සම්මාදම් වූ පසු මේසන් බාස් සින්දු කියන්නට පටන් ගත්තේය.

ඒ මිල්ටන් මල්ලවආරච්චි මිස වෙන කවුරුවත් නොවේ.

අපි කටවල් ඇරෙගෙන බලා සිටියෙමු. එකෙන් එක සින්දු කියන්නට බල කෙලෙමු. ඔහු ජගත්ගේ එක්ස් රේ කඩදාසිය ඇලවූ තේ පෙට්ටියට සෙමින් තට්ටු කරමින් මිල්ටන්ගේ තනිවී සිටින්නයි අදහස් කලේ..කියන්නට පටන්ගත්තේය. අත් පුඩි ගහමින් 'ජොලියක්' ගන්නට හිටි අපි කටවල් ඇරෙගෙන සමාධිගත වුනෙමු. ඊලගට සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්..  පටන් ගන්නට පෙර ගල් අඩියක් නීට් එකට දාගත්තේය. වෙනදාට වැඩියෙන් බොන එකා ගැන අවධානයෙන් ඉන්නා අප මිල්ටාට ඊළග වීදුරුව පුරවන්නට පෝලීමේ හිටියෙමු. වෙනදාට අපි සින්දු කිවේ (ඇහුවේ) කවුරුත් නැති, පාළු දූවක් අයිනේ හෝ හඩ ඇහෙන රළවල සද්ද වලටත්රැහැයියන්ගේ කරදර කිරි කිරියටත්, අපේ ජෙනරේටරයේ ගුඩු ගුඩු සද්ද වලටත් සාප කරමිනි. එහෙත් එදා මිල්ටා සින්දු කියන විට අපට එහෙම ඇහුනේ නැත. අපි අර ටෙරාකොටා ඇල්ලූ අවන්හලේ  බිම ඉදගෙන තදින් අල්ලාගත් ගල් අරක්කු වීදුරු බීගන්නට බැරිව මිල්ටාගේ සොදුරු කටහඩට සවන් දුන්නෙමු. සින්දුව ඉවර වෙනවිටම බොන්නට අමතක වූ ගල් අරක්කු වීදුරුව කටේ හලාගත්තෙමු. මිල්ටාට සිගරට්ටුවක් පත්තු කොට දුන්නෙමු.
මිල්ටා එදා ඉවුරු තලා.. අවසර නැත මට..මා නිසා ඔබ, පියාපත් සලා..කෙසේ කියන්නද...සීත අරණේ වැනි සින්දු තොගයක් කීවේය. ඒ හැම එකකටවත් අපට වෙනදා මෙන් අත්පුඩි ගහන්නට නොහැකි විය.
අපට දකුණු පැත්තෙන් තිබ්බේ මහා ඝන කැලෑවය. කෙළින්ම මහා මුහුදය. අනෙක් පැත්තෙන් වැලි කන්දෙන් වැහුණු ලේවාය පැත්තය. ඒ මැදි කරගත් ඇස්බැස්ටෝස් වහල යට ටෙරාකොටා පොලොවේ මිල්ටන් මල්ලවාරච්චිව වටකරගත් ප්‍රේමචන්ද්‍ර, ජගත්, බන්දු, සමන්ත, මවුලිස් අයියා, සහ අජන්ත එක්ක ආයේමත් ගල් අරක්කු වීදුරුවක් බොන්නට ආසා හිතෙන්නේ නැත්තේ කාටද...?

අනෙක මිල්ටන් මල්ලවආරච්චි එක්ක?

මා ජීවිතයේ ආදරය කල තැන්වලින් මට පෙරලා ආදරය දුන් සීමීත තැන්වලින්  යාල අමදූව මගේ පුන්චි හෝටලය එකක් විය. ඒ මෙවන් මතකද සමගය. ඊට වඩා මොනවාද.

10 comments:

  1. මතක් කරන්න පුළුවන් අතීත ඉදිරි පරම්පරාවට තියෙයිද දන්නේ නෑ. උන් ඔක්කොම ඉන්නේ ෆෝන් වල උඩ පල්ලෙහා යමින්. තවත් මතක ඉදිරියට දෙන්න. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අපිත් බාගෙට එහෙම වෙලානේ

      Delete
  2. maru , මේ හෝටලයේ දැන් නම මොකද්ද?

    ReplyDelete
  3. ඒ වගේ නිදහසේ ඉන්න තියෙනවනම්...

    ReplyDelete
  4. මා දන්නා තරමින් මිල්ටන් මල්ලවාරචුචිගේ ප්‍රථම ප්‍රේමය දළුලන්නේ මේ කාලයේය ඔහු පෙමින් වෙළෙන්නේ සිටු කුමාරියක් සමඟය . එහෙත් දුප්පත්කම එයට හරස් කැපීය. එයින් බිඳණු සිත ඔහු ගීයට හැරවීය.

    අවසර නැත මට .................
    රන්මසු නෑ කියා ...................
    තනිවී සිටින්නයි මා අදහස් කළේ ................
    මදුමල ලෙස මුදු මගේ දයාබර මිහිරාවිය වෙතටයි .............
    පියාපත් සලා මම එබ සොයා එමි රැයේ .................
    එදා රෑ ගුවන් තොටුපලේ දී මා .........
    වැනි ගී සමූහයක් ඔහුගේ ගණදුර දුරලීය. වත්මන් පරපුුුර මේ සොඳුරු මිනිසුන් ගැන නොදන්නේ අපේ අභාග්‍යයටය
    විචාරක දියණිය

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. මිල්ටන් මල්ලවාරච්චි වගේ මේසන් බාස් කෙනෙක් හම්බවෙච්ච එක හොඳයි. මට මයිකල් ජැක්සන් වගේම හොඳ පොරක් ඒ කාලේ හම්බවුනා. පසුව ලෝකල් ජැක්සන් කියලා ප්‍රසිද්ධ වුනා. හොඳ කොල්ලෙක්, හොඳ පපුවක්. අපි දෙන්නා නරකම පිස්සු නැටුවා. මෑතකදි ඌ අපිට නැතිවුනා. ඊටත් වගේම හිට් එකක් වෙච්ච එයාගේ තාත්තා , තාමත් හිට්.
    මේසන් බාස් මල්ලි, අද වගේ කාලෙක නම් ටැලන්ට් ශෝ එකකට දාලා පොඩි සප් එකක් දෙන්න තිබුනා.

    ReplyDelete