Monday, September 17, 2018

ඌරෙක් ඕයි... 97


සැප්තැම්බරයේ මහා රස්නයක් සමග අමදූව වැල්ල ගිනි ගන්නට පටන් ගනී. වැල්ලේ ගිනි රස්නය එක්ක මුහුදේ ලා නිල් පාට එකතුවූ පසු ඇස් අන්ධකාර වන දීප්තිමත් එළිය දෙස බලන්නට බැරිය. එහෙත් හෝටලයේ අනෙක් පැත්තම වැහෙන්න‍ට   තරම් විසාල කොට්ටඹ ගස් වලින් සදාතනික සිහිලසක් ගෙන එන්නේය. ඒ ගස් වල අතු, ගහේ උසටත් වඩා හරස් අතට දිගු වී, විශාල කොල වලින් වැහී සෙවන දෙයි.  ඊට අමතරව නොයේක විධ ගස්කොලන් වලින් අපේ සේවක කාමර වලට සෙවනක් ලැබී ඇත්තේය.

සැප්තැම්බරය මහා පාළු ගතියක් ගෙන එන්නේය. ඒ කාලයේ සුද්දෙක් ඇහකට දකින්නට නැත. පද්දෝ එනවාට අපි කැමතිත් නැත. පද්දන් සුද්දන් මෙන් සමසේ අපට සලකන්නේ නැතිවීම ඊට හේතුවයි. (එහෙත් හොද හිත ඇති පද්දෝද අපට ඉදහිට මුනගැසී තිබේ.) කෙසේ වුව මේ අධික රස්නය කාලසීමාව නිසා සැප්තැම්බරයේ මැද සිට ඔක්තෝබරය අවසන දක්වා යාල වනෝද්‍යානය වසා තැබෙයි. එය මේ අධික ගිනියමට පිළියමක් වශයෙනි.
සතුන් සර්පයන් පවා වතුර සොයාගෙන දියමං කඩිති වලට එන්නේ ඒ නිසාවෙනි. සමහර දිය කඩිති සිදි ගොස් ඇත්තේය. සමහර ඒවායේ පැලපදියම් වෙවී හිටි කිඹුල් රජවරුන් හෝ උන්ගේ අහාර වූ මාළුන්ට කුමක් වූවාදැයි අබිරහසක් මෙන් මේ කලට අතුරුදන් වන්නේය. ඔවුන් යලි දකින්නට වෙන්නේ වැස්ස සමගය.  මේ මාළු ආපහු එන්නේ කොහොමදැයි මම අදටත් දන්නේ නැත.සමහර විට වටේ ඉන්නා කොක්කුන් උන් කොහේ හරි ගිහින් පරෙස්සම් කොට එවනවා ඇතිය.

වෙනදා ධූලි අවුස්සමින් එහා මෙහා යන කොට සෆාරිය හෝ දිග සෆාරිය ජීප් රථද දකින්නට ඇත්තේම නැත. මේ ජීප් රථ තිස්ස, කිරින්ද, යාල ජීවන සංකේත බඳුය. මේ දිෆෙන්ඩර් රථවලට සීමිත අයිතිකරුවන් පිරිසක් සිටියේය. තිස්ස කතරගම පැත්තේ ඔවුන් කිහිප දෙනෙකුට අයිති මේ ඩිෆෙන්ඩර් රථ වල වැඩ කලේ පළපුරුදු රියදුරන් සමූහයකි. ඔවුනට අපේ හෝටලය පිළිබද ආදරයක් තිබුනා යැයි සිතන්නට පුළුවන් අපි ඔවුනට අපේ මෙන් සැලකූ නිසාත්, යාල සෆාරි හෝටලයේ ඔවුනට ලැබුනේ ඩ්‍රයිවර් සැලකිල්ලක් නිසාත් වෙන්නට ඇත. හෝටලයේ අපි නිවාඩුවට ගෙදර ගොස් එනවිට තිස්ස සිට එන්නට මොකක් හෝ වාහනයක් ලැබෙන්නේ ඒක නිසාය. ඔවුන් එක්කෝ අඩුම තරමේ අපව සිතුල්පව්වට හැරෙන තැනින් හෝ බස්සා යන්නට තරම් කාරුණික වෙයි. සමහර දාට යාල හන්දිය දක්වා එන්නට ලැබෙන්නේය. මම නම් කිහිප වාරයක්ම මේ පාර දිගේ පයින්ම හෝටලයට ඇවිත් ඇත්තෙමි. යාල හන්දියේ පොඩි කඩයක් තිබ්බේය. එතැනින් බහින අපි බොහෝවිට එතැන තිබූ පොඩි කඩයෙන් සිගරට් කිහිපයක් ගෙන ඉතිරි ගමන නිමකරන්නෙමු.

මහා ඝන කැලේ මැද පාරවල්  තුනක් එකතුවන තැනක විසාල වයසක කොහොඹ ගහක් යට මේ කඩය කලේ තනි කෙනෙකි. මට දැන් ඔහුගේ නම මතක නැතත් ඉදහිට ඒ කඩයේ ගෑනු කෙනෙකුද හිටියා මතකය. ඔහුගේ තැපැල් නයින්ටිය හෙවනට තිබ්බේ අර කොහොඹ ගහටය. ඒ කඩය කලේ ලේවායේ හා සිතුල්පව්වේ යනෙන අයගේත් සෆාරී ජීප් රියදුරන්ගේත් වුවමනා එපාකම් වලටය. සබන්, දත් බෙහෙත්, බුරුසු, ප්ලාස්ටික් බඩු වලින් හා බිස්කට්, හාල් පරිප්පු වලින් ඒ කඩය පිරී තිබ්බේය. ඊට අමතරව විල්කින්සන් රේසර් සහ ඊට දමන බ්ලේඩ්තලද තිබ්බා බව නම් හොදටම මතකය. ඒ මේ ලියන්නට යන කතාවට අදාල නිසාය.

 ඒ කෙසේ වෙතත්  නිවාඩු ගොස් එන්නට නියමිත විට හිත රිදෙයි. ඒ වාගේම ආපහු ඇවිත් සති කිහිපයක් එක දිගට ඉන්නා විට නිවාඩු යන්නටත් කම්මැලි හිතෙයි. ලියනගේ අයියා නම් අපිව නිවාඩු අරින්නේ කැමැත්තෙනි. ''මුන්ගේ දැන් කුප්පි  පිරිලා, මුන්ව යැව්වේ නැත්තං රස්නෙට පිස්සු හැදෙයි'' කියන්නේය. ඒත් මටනං ඒ දවස්වල කුප්පි වුවමනාවක් තිබ්බේ නැත.
මම කලේ ආ දවසේ හවස ඉදන් හෝමාගම හිල්ටොප් එකේ බොන එකය. තනිවම නොවේ තව දහයක් විතර එක්කය. මේ ලගදිත් මට හමුවූ ඒ කල්ලියේ එකෙකු කීවේ 'උඹ නං මෙහෙන් ගිය එක හොදය' කියාය. ඒ මගේ වාසනාවටද උන්ගේ වාසනාවටදැයි මම ඇහුවේ නැත. සමහරුන් විස්වාස නොකරන තරමට මම බේබදු චරිතයට ඇබ්බැහි වී සිටියෙමි. කොටින්ම මම තාත්තාගේ අච්චුවක් වෙමින් තිබිනි. එහෙත් දෛවය විවිධාකාර මාර්ග ඔස්සේ මා යවා තිබුණේ බව මට දැන් දකින්නට පුළුවන. ලොකු අයියා නිසා මා ඕමානයේ රස්සාවකට ගියේ කටේ තියන්නේ නැති පිරුවටයක් ලෙස රගපාමිනි. පසුකලෙක ඒක වෙනස් වුවත් මා එහෙම කලේ අයියාට බයෙන් වෙන්නට ඇතිය.

කෙසේ හෝ අලි ගිය වෙලාවට දැනෙන ගද ඉව කරමින් කළුවර වැටෙන්නට පෙර හෝටලයට එන විට මග දෙපස අමුතු සිරියාවක් අත් විදින්නට හැකිය.  යාල සෆාරියට හැරෙන තැන තෙක් ධූලි නැගෙන දුඹුරු පාට පස් තට්ටුවකින් වැසුණු පාරය. එනමුත්  යාල සෆාරිය පසුකල ගමන් අපේ හෝටලයට යන පාර වැසී ඇත්තේ වැල්ලෙනි. ඒ මුහුද හා සමාන්තරව පාර ගමන් කරන නිසාවෙනි. එහෙත් අමදූව වාඩිය තෙක් ලොකු වැලි කන්දකින් මුහුද වැසී ගොසිනි. ආයේමත් මුහුද පෙනෙන්නේ වාඩියට හැරෙන තැන සිටය. එතෙක් ඇති කොට පදුරු, මහා ගස් අස්සෙන් ඈත කැලය පෙනෙයි. කැලය ගුප්තය. පුදුමාකාරය. මම සමහර දාට උක්කුටියෙන් ඉද අර කැලෑව අස්සෙන් අලි හොඩවැලක් ඇත්දැයි බලමි. එහෙත් කවරදාමකවත් මට පාර පනින අලියෙක් මුනගැහී නැත. තලගොයින් නම් හිටි අඩියේ කැලෑ බිදගෙන දුවන්නේය. ඒ අපේ හිත කලබල කරන්නටය. අන්තිමේ කලබල හිත සන්සුන් වන්නේ අපේ හෝටලයේ නාමපුවරුව දුටු විටය.

එහෙම නිවාඩු ගොස් ආපහු ආ කාලෙක සැප්තැම්බරය උදා විය. ලියනගේ අයියා, අජිත් අයියා සහ ඔස්ටින් අයියාත් බන්දුත් නිවාඩු ගෙන ගෙවල්වල ගිහින් තිබ්බේය. අපට ඒ කාලේට හැමදාම හිටියේ ප්‍රේමචන්ද්‍රය. එදා හිටියේත් ප්‍රේමචන්ද්‍ර, වසන්ත. ජගත් සහ මවුලිස් අයියාත් අජන්තත් මමත් විතරය. තව කලින් මට කියන්නට අමතක වූ කුරුණෑගල කොල්ලෙකුද හිටියේය. ඔහු අපට වඩා වැඩිමහල්ය. අලි හොරෙක් ලෙස සම්මත අහින්සකයෙකුය. මට දැන් නම මතක නැත.

 අන්තිමේ අපි කුණු වල ලග සිගරට් උරමින් ඉද්දී මේ කුණු යෝජනාව සම්මත විය. ඒ අපේ කුණු කකා හිටි ඌරෙකු මේ දවස්වල මාළුම කමින් වේලෙන අපේ ශීතකරණයට දමා ගැනීමයි. ඌරන් ජනගහනය අන්තිම උග්‍ර එකක් බවටත්, උන්ගෙන් අපට කරදර බවටත්, දල ඇති එකෙකු ඇන්නොත් මලමිනිය ගෙදර ගෙනියන්නට වෙන බවත් අර මහා රැලෙන් එකෙක් අඩු වුනාට කමක්නැති බවටත් තරම් බොරු කියන්නට මට බැරිය. මේ වුනේම අපේ බඩජහරිකමත්, පඩත්තර කමත් නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ.

 කෙනෙකු වයර් කේබලයකින් උගුල ඇටෙව්වේය. සතෙකු වුව රැවටිම හොද නැති වුවත් අර කුරුනෑගල හාදයා කුනු බාල්දිය උගුලට මෙහායින් තිබ්බේය. තියා ලයිට් නිව්වේය. පැය බාගයක් යන්නට පෙර මුළු ඌරු රැලම පන කඩාගෙන කෑගසාගෙන දුවන හඩ අතරේ එකෙකු කීර්..කීර් ගාමින් මහා හයියෙන් අඩා වැලපෙන සද්දයට අපි උගුලට දීවෙමු. ඌරු තඩියා එක කකුලක්  අර උගුලට පටලවාගෙන අනෙක් කකුල් තුනෙන් දුවන්නට හදයි. එහෙත් ඌට දුවන්නට හැකි අර උගුල බැදි ගහ වටේ පමණකි. (කෑ ගැසීම බුතව වනජීවී බංගලාවටද ඇහුණු බව අප දන්නේ පසුදිනය. මැරෙන සතෙක් කොයි තරම් දුක් විදිනවාද?) අවසානයේ කිසිම ප්ලෑනක් නැති  වැඩසටහන නවත්තන්නට ක්‍රමයක් නොවීය. කම්බිය කපන්නටද විදියක් නැත. ඌරා ලගට යන්නටද බැරිය. කෑගැසීම නවත්තාගත නොහැකි වුවොත් වනජීවියේ දඩුවම් විදින්නට වෙන්නේ අපටය. එදා අප අපේ තරුණ කමෙන් හෝටලයට සිදුවෙන්නාට ගිය විනාසය හා පඩත්තල කම නිසා හිරේ ලගින්නට වීම බේරාගත්තේ වන සතෙක් සිය පන කෙන්ද නැති කරගැනීමෙනි. පසෙක හේත්තු කර තිබූ උදළු මිටක් අපේ වාසනාවද ඌරාගේ අවාසනාවද ගෙන ආවේය.

 මැරුණු ඌරා කොටස්කර ලොකු ගාත දෙක ඇත්තටම කුස්සියේ ශීතකරණයට ඇතුල්විය. එහෙත් ඊට පෙර අර කපාගත් මස් ගාතයේ මවිල් කපන්නට ඕනෑ යැයි මස් වැඩ දන්නා කෙනෙකු කීවේය. අපි ලග තිබූ රේසර කිහිපයක්ම පාවිච්චි කලත් පලක් වුනේ නැත. තව තවත් අර මවිල් වැවෙන්නා වාගේය. අපි තීරණයක් ගත්තෙමු. හෝටලයේ තැපැල් නයින්ටිය පන ගන්වාගෙන යාල හන්දියට යන්නට තීරණය කලෙමු. යාල හන්දිය තෙක් කට්ට කරුවලය. ඊලගට අපේ බයිසිකලයේ ලයිට් නැත. වසන්ත මගේ අතට ටෝච් එක දී 'යමං' කීය. අපි මහ කළුවරේ අර ටෝච් එලියේ පිහිටෙන් යාල හන්දියට ගියෙමු.
ආපහු රේසර් බ්ලේඩ් තලත් රැගෙන පිම්මේ ආවෙමු. විනාඩි දහයක් ගියේ නැත. මේ පාරේ මට කවරදාකවමත් මුහුණට හමුවුනේ නැති දැවැන්ත අලියෙකු පාර මැදය. අපි දෙන්නාත් වැලි කාගෙන පාර මැද පෙරළුනෙමු. ඉදිරියට යන්නට බැරිය. පස්සට ගිහින් ආපහු වුනු දේ කියන්නටත් බැරිය. වසන්තත් මාත් බයිසිකලය පාර මැද්දේ දමා ඊටම මුවා වුනෙමු. කැලෑව පැත්තට යන්නටත් බැරිය. සර්පයන් හෝ වෙන සතුන් පිළිබද බයකුත් තිබේ. අපි දෙන්නා එහෙමම කුටු කුටු ගගා අලියා පාර හරහා යන හිමින් ගමන ගැන සාප කලෙමු. අලියා තව ඩිංගෙන් අපේ බයිසිකලයේ හැපී අපි දෙන්නා අල්ලා පොලොවේ ගහන්නට නියමිතව තිබූ එක නතර කරගත්තේ වසන්තගේ ක්ෂණික නුවන නිසා බිම පෙරළීමෙනි. එහෙත් ක්ෂණික නුවන මගේ දනිස්ස හිල් කරගෙන හම ඇතුලට තිරිවානා ගලක් අල්ලා තිබුණි. වසන්තගේ වම් අත දිගටම සිරී තිබේ. වාසනාවකට අපට බරපතල නැත. අලියා හෙමින් හෙමින් ඉද කැලයට ඇදුනේය.

අපි දෙන්නා ආවාට වඩා වේගයෙන් හෝටලයට ආවෙමු. ප්‍රෙමචන්ද්‍ර කීවේ අපි වනයට අධිපති දෙවියන් තරහා කල නිසා එහෙම වුනු බවය. ඒත් දෙවියන් කරුණාවන්ත නිසා බේරුණු බවය.  අපට දෙවියන් සිහිවුනේ එවිටය. ඌරු මස් කිසිවෙකු කෑවේ නැත. කොටින්ම ශීතකරණය පවා සෝදා පිරිසිදු කලෙමු. අප කල මේ අමන වැඩෙන් වූ  සාපයෙන් ගැලවීමට අපට හැකිවනු ඇතැයි අප එදා කල්පනා කලේ නැත. තරුණකම අපව එදා ශක්තිමත් මිනිසුන් කොට තිබුණේය. අනෙක යාලත් ඊට අමතර ප්‍රදේශවලත් දඩමස් ඒ තරම් පවක් කොට නොසැලකීම අපේ හිත්වලටද දැන්නෙනට ඇත.

ඒ මොකක් වුවත් අද නම් මා මෙහෙම දෙයක් කරන්නට එකතු වෙයි කියා හිතන්නට අමාරුය. එහෙම වුනේ වයසත් එක්ක මොකක්දෝ බයක් වැනි දෙයක් ආ නිසා කියන්නට මම කැමති නැත. එහෙත් එහෙම දෙයක් තිබේ. ඒ බයමත් නොවේ.

එහෙත් එදා අපේ සිදුවීම ගැන අදත් මට සියුම් ආශ්වාදයක් එයි.

ඒ ඌරා නැමති සතා පවුකාරයෙකු වීමය. අලියා දෙවියෙකු වීමය. අලියාගේ දේව බලය නිසා අපේ අතින් ඌරාට වූ සාපයෙන් ගලවා ගැනීමට සිත් පහලවීමට අර පාර මැදට වැඩම කරවීමය. ඒ නිසා අප ඌරා නොකා වල දැමීමය.

පවු පිං වලත් හැටි.!

5 comments:

  1. අපරාදේ අලියෙක් හින්දා වල පල්ලට ගිය වල් ඌරුමස් ටික.....

    ReplyDelete
  2. අපරාදෙ උට ඉන්නත් නෑ කෑවෙත් නෑ

    ReplyDelete
  3. ඇත්තටම ඌරැ මස් කන්න ඕනවට වඩා ඕන උනේ අලුත් අත්දැකීමක් ගන්න මං හිතන්නෙ

    ReplyDelete
  4. මටත් මේ ඊයේ පෙරේදා වල් ඌරු මස් ලැබුනා. උයන්නත් වුනා. දෙවිදියකට.
    කවදා කාපු ටකරන්ද වුනාට ගෙදර ට කෝල් එකක් දාලා ගමේ විදිහටම ඒක හැදුවා. ඔව් මිරිස් තුනපහ ඔක්කොම රෝස්ට් කරලා බ්ලෙන්ඩ් කරලා.
    කාපු මනුස්සයා නම් ඒක බොහොම රහයි කිය කිය කෑවා.
    අනික ඉතින් ප්‍රෙසර් කුකර් යුරෝපියන්ක්‍රමේට.

    කොටින්ම උයලා සෑහෙන දවසක් යනකම් මගේ හිතේ අවුලක් තිබුනා. කන්න තියා කාපු මනුස්සයාවත් ළඟට ගත්තේ නෑ. සමහරවිට අහිංසක සතෙක් කියන හිතිවිල්ල වෙන්න ඇති.
    සමහරවිට වයසට යනකොට වෙන දෙයක් වෙන්න ඇති..
    කොහොමත් මම කැලේ මස් කාලා නෑ. එක පාරක් හාවෙක් කියලා වඳුරෙක් දීඑලා මෝඩය වගේ කෑවම හිතට දැනුන මොකක්දෝ එකකුත් වෙන්න පුළුවන්.

    ReplyDelete