Sunday, July 22, 2018

Hotel- මොටෙල් සහ මම...94

මුහුදට මුහුණලා තිබූ කාමර අටේ ``අපේ හෝටලය'' හෝටලයක් නොව මොටෙල් එකක් බව දැනගත්විට මට හිතුණේම ඒක ප්‍රින්ටිං මිස්ටේක් එකක් වෙන්නට ඇති කියාය. එහෙත් ඒ කාලයේ තිබුණේ ඩික්ෂනරි කියා ජාතියක්ය. ඒවා කඩදාසි වල මුද්‍රණය කල සාමාන්‍ය කෙනෙකුට දරන්නට බැරි ජාතියක් නිසා මොටෙල් තේරුම තනිවම තේරුම් හොයන්නට බැරි කාරණාවක් වූයෙන් මම තේරුම හොයන අදහස අත හැරියෙමි. අද වාගේ ස්මාට් ෆෝන් ක්‍රමයක් හෝ හිතුනු වෙලාවට ඇමතුමක් ගන්නට තරම් දුරකතන සුලබ නොවූ නිසා තේරුම සෙවීම කල් ගියේය. මට නම් ජංගම දුරකතන අල්ලලා බලන්නටවත් දන්න කියන කෙනෙක් හිටියේ නැති නිසා ලිපියක් ලියා තේරුම දැනගන්නටද හිතුනත් ඒ අදහස කොහොම හෝ අර මුහුදු හුළගේම පාවී ගියේය. තේරුම අජිත් අයියාගෙන් වුනත් අහන්නට මට තේරුමක් නැතිවුණේ පණ්ඩිතකම නිසා නොවේය. ඔහුට කෙළින් කතා කිරිමේ  පුරුද්දක් මට තිබුණේ නැති නිසාය.

මේ ලියපු ටිකෙන්ම අද සටහනම පුරවන්නට පුළුවන. එහෙත් ගිය පාර වූ පොරොන්දුවක් තිබේ. ඒ අර කුකුළ් බාගේ කා හැටි ලියන එකය.
 මේ අනුන්ගේ වුනත් මගේ වුනු Yashica FX3 කැමරාවට හසුවූ අපේ හෝටලයයි. වම්පැත්තේ ගල්තලාවට මෙහායින් මාළුවාඩියේ බෝට්ටු පෙලද ඊට මෙහායින් අපේ හෝටලයද තිබ්බේය.

ඉතින් අර මිස් වූ දවල් කෑම එකත් හිතේ තියාගෙනම මම ඊලඟ දැන්වීම වූ ''ලියනගේ ඔයාට ඔයාගේ ක්වාටර්ස් පෙන්නයි..!'' කියූ අජිත් අයියා මඟ යමින් මම විජය කුමාරතුංගගේ මෙන් රැළි කොණ්ඩය ඇති මා දුටු අවුරුදු තුනහාමාරේ එකම ලා නිල් පාට කමිසය ඇදි, (එකම කීවේ එකම පාට එකම විදිය.) කළු කලිසමත් රබර් සෙරෙප්පු දෙකත් පැලද සාන්ත ගමනින් පමණක් නොව සාන්ත හිනාවකින්ද යුතු ලියනගේ අයියා පසුපස ඇදුනෙමි.  ලියනගේ අයියා හෝටලයේ කුමන තනතුරේ හිටියාදැයි මම අදටත් දන්නේ නැත. එහෙත් ඔහු අපට අයියා විය. ඇත්තෙන්ම ඔහු කලේ ලියන මහත්තයකුගේ වැඩ වාගේ දෙයක්ය. ඔහු කළින් හෝටලයක වැඩකර තිබුණු බව මම අසා තිබේ. ඔහු මා පෙරටු කර යනවිටත් පසුපස හැරී මා කළින් හෝටලයක වැඩකර තිබේදැයි අසා සිටි විට මම එක පිම්මෙන් නෑ කීමී. ඔහු යලිත් අර සාන්ත හිනාවම දා මා පිටට තට්ටුවක් දා ''අපිට ඉගෙන ගන්න පුළුවන් '' කීවේය. අපි දෙන්නා මා කෑම කෑ මේසය පසුකර එනවිට හමුවෙන හැම තැනක්ම ගැන විස්තර කලේය.

මෙතන තමයි අපේ බාර් එක, කවුන්ටරේම තමයි කැෂියර් එකත්. ඔක්කොම ඔය ෂෝකෙස් එකේ දාල තියන විස්කි බෝතල් වල ඇත්ත ඒවාම නෙමෙයි තියෙන්නේ. අපේ කැෂියර් බන්දු. එයා ඒවත් කියල දෙයි. 

ඊට එහාපැත්තේ වූයේ කුඩා ජනේලයක් සහ දොරක් සහිත කාමරයකි. අඟුටුමිටි දොර සහිත කාමරය ගබඩා කාමරය විය. එහි තිබුණේ බීම බෝතල් සෝඩා සහ වතුර පෙට්ටිය. ඒ කෙළින් පොඩි කොරිඩෝව රවුම් කණු වලින් හා කොල පාට තීන්ත ගාන ලද ඇස්බැස්ටස් වහලයකින් සමන්විත විය. එය වැටී තිබුණේ මුළුතැන්ගේ දොරකඩටය. ඒ දොර පළු දෙකේ දොරකි. ඒ එක පළුවක් හැම තිස්සේම වසා තිබ්බේය. එහෙත් අපේ සූපවේදින් දෙදෙනාගෙන් කෙනෙකු වූ ප්‍රේමචන්ද්‍ර වැඩකරන දවසට ඒ දෙකම ඇරී තිබුණේය. පළු දෙක ඇරුණු පසු ඒ මැදින් ආ විට දකුණු පැත්තේ අනෙක් කෑම බීම ගබඩාවද, උයන කෙරන මේස හා ලිප්ද අතරේ වම් පැත්තට වෙන්නට ආදී කාලීන ශීතකරණයක්ද, ඊට මෙහායින් අධිශීතකරණයක්ද තව තට්ටු සහිත කබඩ් රැසක්ද තිබ්බේය. ඒවායේ පිඟන් කෝප්ප හා වීදුරු අසුරා තිබුණා මට මතකය.  ඒ මැදට වන්නට තිබ්බේ සේවකයන්ගේ කෑම  මේසයයි.
එහෙත් ඊට අතුරු කතාවක් තිබේ. සේවකයන් ලෙස ගතහොත් අපි සියල්ලෝම දස දෙනෙකි. මා හැරුණුකොට බන්දු, සමන්ත, ජගත් හා තව කෙනෙක්ද. ජෙනරේටරය හා වවුල් ලිදෙන් වතුර පොම්පකිරීමට අජන්තගේ තාත්තාද, අතුගෑමට සහ පොඩි පොඩි වැඩවලට අවුරුදු දහහතරක් විතර ඇති අජන්තද, ලොන්ඩරියේ මව්ලිස් අන්කල්ද විය. ඊලඟට සුසන්ත පුන්චිනිලමේගේ ගෙදර රියදුරෙකු වූ පසුව සුසන්තගේ තාත්තා ඩික්සන් අප්පෝගේ අනුදනුම මත හෝටලයේ සේව‍යට ආ සේවකයෙක් ද විය. ඒත් අර කී මේසයේ කන්නට ඉඩ තිබුණේ අර මුළින් කී තුන්දෙනාට පමණි. අනෙක් අය තම තමන්ගේ තැන්වලට වී කෑම ගන්නට කුස්සියෙන් බෙදාදෙන ලද්දේය. එහෙත් අජිත් අයියා දිනෙක මහා ඝෝරනාඩුවක් කොට අර ගස් යට ජෙනරේටර් කාමරයේ සහ ඊට මෙහා පරණ කැබින් එකක බත් කකා සිටි සියල්ලෝම කුස්සියේම කන්නට අන කලේය. මට තවමත් හිතට දැනෙන එක දෙයක් ඒ අතරේ වෙයි. ඒ අනෙක් අය සැරෙන් සැරේ අදි මදි කොට හෝ ඔස්ටින් අයියාගේ (කුස්සියේ ප්‍රධානියා) බෑ කියන්නට බැරි මූණ දැක හෝ කුස්සියට ආවාට ලොණ්ඩරියේ මව්ලිස් අන්කල් අර ගහ යට කන්නට කැමැති විය. ඒකට බලපෑවේ කුල ප්‍රශ්නයකුත් වෙන්නට ඇති බව පෙනෙන්නට විය. එහෙත් මා අජිත් අයියාගේ ඒ නීතීය මගේ තරුණ හිතට තදින් කා වැදුණු බවක් නම් මටම දැනෙන්නට විය. අපි මව්ලිස් අන්කල්ව කුස්සියට ගෙනෙන්නට ගෙනා යෝජනා කිසිවක් සාර්ථක වුණේ නැත. ඔහු හැමදාම අර පරණ කැබින් එකේම කෑවේය.  අජිත් අයියාටද අපට වෙනමම කෑම කාමරයක් වෙන්කරන්නට ඉඩක් නැති විය. අපි කලේ අජිත් අයියා නැති දවසට අර ලොන්ඩ්‍රි කැබින් එකේ බිම ඉදගෙන කෑමයි. එය ඔස්ටින් අයියාට ඉවසුම් නොදුන්නද ඔහු මට කිසිත් නොකීය. අන්තිමේ මම අජිත් අයියා ඉන්න විටත් අර කැබින් එකේ හෝ එලියේ ගහක් යට කෑවෙමි. ඔස්ටින් අයියා සියල්ල දිනුවේය. මා මව්ලිස් අයියා දිනුවෙමි. ඒ දිනුම මා එහෙන් අස් වී එනදා ලියුම් කවරයක දා දුන් රුපියල් තුන්සියයක්ද, කදුළු පෙරෙනතුරු මා බදාගෙන ඇඩූ මව්ලිස් නම් මගේ තාත්තාගේ වයස මනුස්සයාගෙන්ද දිටිමි.

මුළුතැන්ගෙයින් එළියට බහින විට ඒ සමාන්තරව එක පැත්තකින් කාර්යාල කාමරයද, අනෙක් පැත්තෙන් කළමණාකාර නිවස්නයද තිබූ ගොඩනැගිල්ල දික් අතට වෙන්කොට කාමර දෙකකට වෙන්කල අපේ සේවක නිවාසය විය. එහි මෙහා කොණේම නාන කරාමයක් සහිත කාමරයක්ද ඊළඟට වැසිකිලියද ඊළඟට ඇදන් තුන තුන දමා තිබූ අපේ කාමර දෙකද විය. ඒ කාමර මුහුණ දා තිබුණේ කැලෑව පැත්තට වන අතර එහි ඉදිරිපිට ලොකු ගහක් යට ලොණ්ඩරි කැබින් එකද විය. මව්ලිස් අයියා රෙදි මැද්දේද, ගබඩා කලේද නිදාගත්තේද එහිමය. එහි තිබුණේම අළුත් සුවදකි. අළුත් රෙදිවලින් හමන සුවදකි. මව්ලිස් අයියාගේ රෙදි අපුල්ලන ගල තිබ්බෙද ඊට දකුණෙනි.
 ඊට මෙහායින් හෝටලයේ නීත්‍යානුක්කුල නොවන කුණු වල තිබ්බේය. එය නිසාම වැඩුණු ගස් නිසා සෙවණ ලැබී අනෙක් අයට නොපෙනෙන්නට වැසී තිබ්බේ ස්වභාවධර්මයේ පිහිටෙනි. ඒ කුණුගොඩේ ප්ලාස්ටික් තිබුණේ නැත. අජන්ත හැමදාම එකල සුළුවෙන් එකතුවෙන ප්ලාස්ටික් පුච්චන වෙනම තැනක් තිබ්බේය. අර කුනු වලේ ඉදුල් කුණු කන්නට වල් ඌරන් උදේ හවා ආවේය.සමහර ඌරන්ගේ දල කැරකී බයන්කාර පෙනුමක්ද ඌරු කැත ඇති මහතක්ද විය.
ඊටත් මෙහායින් තිබ්බේ ජෙනරේටර් කාමරයයි. එය තනිකරම කළුම කළු තෙල් ගංගාවකින් වැසී තිබ්බේය. ඊට අමතරව මුළු වහලයම නොපෙනෙන සේ කළු දුමෙන් වැසී ගොස් තිබිණි. ජෙනරේටරය ක්‍රියාත්මක කලේ අජන්තගේ තාත්තාය. ඔහු හොද හිත ඇති මිනිහෙක් විය. තමන්ගේ පුතුන් පාසල් නොයන නිසා එක්කාගෙන විත් හෝටලයේ රැකියාව ලබාදුන්නද ඉගෙන නොගැනීම ගැන හැමදා ඇනුම්පද කීවේය. රන්න ප්‍රදේශයේ තිබූ මේ ගෙදරට මම කීප වතාවක්ම ගොස් ඇත්තෙමි. ඒ කීප වතාවම අජන්ත නිවාඩුවෙන් පසු යළි වැඩට නො එන හේතුව බලන්නටය. රන්න හෝ තිස්ස බැන්කුවක අජිත් අයියා විසින්ම තැන්පත් කල මාසික වැටුපේ එකතුව සහිත පොත දෙන්නට අන්තිම වතාවේ එහි ගියේ අජන්ත යලි එන්නට බැරි බව දැන්වීමෙනි. ඔවුන් දෙවියන් දුන් දුප්පත්කමේ (පොහොසත්කමත් දෙන්නේ දෙවියන් නම්) කර පතුලේ යළි ගොඩ නො එන තැනකට වැටී සිටියේය. කුඩා ඉඩමේ පොල් අතු ගෙදර හැරෙන්නට අන් සියළු ඉඩේ අජනතගේ අම්මා බඬ ඉරිඟු වගා කොට තිබ්බේය. එක වරෙක අජිත් අයියාත් සමග එහි ගිය වෙලාවක අජන්ත වීරයෙකු සේ අර බඩ ඉරිඟු කඩාගෙන කඩාගෙන ගොස් අපේ වාහනයට දාද්දී අර අම්මාගේ ඇස්වල දිලිසෙන ගතිය අඩුවිය. ඒ ලෝබකමකට නොවන වග මට සියයට දෙසීයක් විස්වාසය. ඇය බඬ ඉරිඟු කඩන කාලෙට ඒවා අජන්ත අත හෝ අජන්තගේ තාත්තා අත හැමදාම එව්වේය.
 පසුකලෙක අජන්තගේ තාත්තා ඉවත්ව ගියේය. ඒ හේතුව මට මතක නැත. එහෙත් අජන්ත අර කුණාටු ජෙනරේටරය ක්‍රියාත්මක කරන හැටි උගත් නිසා අපට කරදරයක් නැති විය.එහෙත් සියළු කරදර තෝරා බේරා එකම වෙලාවට එකෙකුටම දෙන්නා සේ ජෙනරේටරය මහා ගෝසාවක් දිදි වැඩ කලා වාගේම මහා සාන්ත දාන්ත ලෙස එකවනම නතර විය. අප මේ මහ ඝන කැලෑවෙන් වටවූ මුහුද අයිනේ මහ කළුවරේ ටෝච් එළියෙන් වැඩ කලෙමු. අදත් එදත් කවදත් මා අත්දැකීමෙන් දන්නා විදේශිකයෝ වචනයක්වත් නොකියා ඒ අත්දැකීම සොදුරු ලෙස වින්දාට සමහර දාට අපේ අය කොළඹ ගිය ගමන් සුපුරුදු ලෙස අපගේ මව් ආයතනය වූ එයිට්කන් ස්පෙන්ස් සමාගමට වැඩකරන අපේ වැරැද්දක් ලෙස පැමිණිළි කලේය.. ඒ ''අපේ හැටි'' බව මම දැන ගත්තේ ඊටත් පසුකාලයක දැන් කරන රස්සාව කරද්දීය. ඒ කෙසේ වෙතත් අජිත් අයියාගේ එකපිට එක කරදර දුරකතන ඇමතුම් හෝ අර පෙම්පත් නිසා හෝ මා පැමිණ අවුරුද්දක් ඇතුළත අළුත්ම අළුත් ''මෙලෝ සද්දයක්'' නැති ජෙනරේටරයක් ලැබිණ. පරණ ජේනරේටරය ගැටගසා තිබූ ගෝනි ලණු සිහිවටන සේ තබාගන්නැයි එය සවිකරන්නට ආ අයද අපට කීවේ ජෙනරේටරයේ තරම දැනය. ඒ එක්කම පසුකලෙක අජන්ත වෙනුවට ලසන්ත නම් වූ ''ඇලා'' නමින් අප බෞථීස්ම කල කොල්ලෙකු ඒ වැඩවලට ආවේය.
ජෙනරේටර් කාමරය එහා පැත්තේ ලොකු සිමෙන්ති කණු හතරක් උඩ උසට උසේ වතුර ටැන්කිය තිබ්බේය. ඊට වතුර ගෙනාවේ මීටර් හයසියයක් විතර කැලෑව ඇතුළේ වූ ලොකු ලිදකින් පොම්ප කිරීමෙනි. මේකට කීවේ වවුල් ලිද කියාය. මීටර දෙකකට වඩා පලල මේ ලිද  වසා තිබූ මුත් එක විවරයකින් ඇතුළට ගිය වවුල් පරම්පරාවක් එහි පදින්චිව උන්නේය. පසුකලෙක නහයෙන් පල්ලෙහාට වතුර වක්කරගන්නට බැරි නිසා  ලිද පිරිසුදු කොට අර විවරය වසා දමන ලද්දේය.  යලි ආපස්සට එන විට තවත් විවෘත ගබඩා කාමරයක් තිබ්බේය. එහි නොයෙක විද ආම්පන්න අතරේ මා මෝටර් බයිසිකල් පදින්නට ඉගෙනගත් රතුපාට තැපැල් නයින්ටියද ගබඩා කර තිබ්බේය. ගබඩා කර තිබ්බා කීවේ යතුර තිබුණේ ලියනගේ අයියා අත නිසාය. එහිම වඩු මේසයක ජගත්ගේ ආම්පන්න පරෙස්සමට තිබ්බේය. ඔහු කලාකාමියෙකි. කලාකාරයෙකි. කැලේ ගිය වෙලාවට ඇදගෙන එන කළුවර ලී කැබැලි වලින් කුරුස හැදුවේද ඔහුය. පොල්කටු වලින් ධර්මචක්‍ර හැදුවේද ඔහුය. පිහියා වලට මිට ගැහුවේද වෙන යම් සුකුරුත්තම් වැඩ කලේද ඔහුමය. මම යන එන තැන හා පහසුකම්   සියල්ල බලාගනිමින් තවමත් ඉන්නේ ලියනගේ අයියාගේ පසුපසය. ඔහුට මට තේරුම් කරදෙන්නට බැරි තරම් කාරණා කන්දරාවක් ඇති නිසා කාමරය දක්වා ගෙනගොස් ''ඉතුරු ටික ජගත් කියල දෙයි'' කියා ජගත්ට මා පැවරුවේය. ජගත් එතරම් උස නැති තිස්ස පහුකරන් රන්න පැත්තට යනවිට හමුවෙන මට මතකය අඩු ගමක කොල්ලෙකි. ජගත්ගේ ගෙදර අය රටකජු වැව්වෝය. රටකජු පාත්ති කොයිතරම් ලස්සනදැයි මම දැක්කේ ජගත්ගේ ගෙදර ගිය විටය.
ජගත් මා එක්කාගෙන ''ඔහේ මොකද කියන්නේ යන්ද රූම්ස් බලන්න ..?'' කියා ඇහු විට මට බනින්නට හදන්නේදැයි කල්පනා වුනු අතර ඔහේ කියන්නේ මෙහේ හැටි බව ඔලුවට එන්නට කලක්ම ගතවිය. අපි හෝටලයේ කාමර බලන්නට ගියෙමු.
කාමර වලට ඇතුල්වෙන දොරඇරිය පසු ඇත්තේ වීදුරු වැඩිපුර වීදුරු කවුළු දැමූ එක එල්ලේම මුහුද පෙනෙන දර්ශනයකි. එය පින්තූරයක් වැන්න. දොර ඇරගෙන ඊට වම් පැත්තේම තියෙන නාන කාමරය පහුකරන් ආ විට ඔප දැමූ ලෑලි බිම අර මුහුදේ අව්ව වැටුණු එළියත් එක්කම දිලිසෙන්නට පටන් ගනී. එතැනින් පහලට බහින්නට පඩි තුනක පමණ ලී පෙලකි. ඉන් පසු යලිත් මුළු කොරිඩෝවම කාමර අටම ඒකතු කොට තනි ඒකක් වෙයි. එතැන් පටන් වෙරල තීරය මීටර විස්සක් පමණය.  එය කෙලවර වන්නේ වක් වූ අමදූව දූවෙනි. ඒ දෙපැත්තේම ඝන කැලෑවය.   කළින් දෙපයම ගෙදර තැබූ මට එක පයක් ගෙදර යන්නද අනෙක් පය මෙහි තියන්නටද හිතේ. අන්තිමේ මේ සියල්ල නිමකොට එන ගමනේ අපි ආවේද අර හිස් කාමරයක් මැද්දෙනි. ඒ කාමර දෙකක් අලලා මැද බිත්තියේ තවත් දොරක් තිබේ. එය ''ෆැමිලි එකක් ආවාම ඇර ෆැමිලි රූම් කරදෙන්ට'' යැයි  මට කියා ජගත් එය මැදින් ඇරද පෙන්නුවේය. එහෙත් ඒ දොරේ පෙනෙන නොපෙනෙන තැනක තිබෙන කුඩා සිදුර ගැන ජගත් කීවේ ඊටත් අවුරුද්දකට පමණ පස්සේය. ඒ ''මලත් අජිත් මහත්තයාට නන් කියනවා නෙවී'' කියා පොරොන්දු කරගැනීමෙනි. එහෙත් අවුරුදු දෙකක් විතර පසුවීත් පොරොන්දුව කඩ නොකලත් අජිත් අයියාගේ කනෙන් රින්ගන්නට බැරිවිය.
එහෙත් මම තවමත් ගමත්, ගෙදරත් මේ පරිසරයත් අතර දෝලනය වෙමින් කොහේවත් නැති ලෝකයක සැරිසරමින් ජගත්ගේ වචන වල තේරුම් අහුලා ගන්නට උත්සාහ කරමින් ඔහු පසුපස ඉබේම ඇදෙමින් සිටිමි.
අන්තිමේ ජගත් මගේ දෝමනස්ස හිත ඇදුරගත්තේය.
''ඔහොම තමා....අපිත් මුළින්ම අවුලේ තමා...'' කියා ඒ පළාතේ හුරුවට වචන හා වාක්‍ය දිගට අදිමින් කබඩ් එක ඇර බ්‍රිස්ටල් එකක් දිගු කලේය. ''ගහමු බාගේ බාගේ'' කියා මට එන්නට සන් කොට අර මවුලිස් අයියාගේ කැබින් එක පිටුපස්සට ගොස් පත්තු කලේය. මට ඒ ටික මොහොත හෝ හිත සන්සුන් කරගත හැකි විය.
වමේ සිට පිළිවෙලින් ප්‍රේමචන්ද්‍ර, මවුලිස්, ජගත්, සමන්ත, මම, ඇලා ,පසුව ගබඩාපාලක වූ සරත් සහ බන්දුද ඊළඟට කළු අක්කාගේ ගල් අරක්කු බෝතලයද...(ඡයාරූපය ගත්තේ වසන්ත නිසා ඔහු නැත.)

ඊළඟට කට පුරා දත් ඇති, නිතර හිනාවෙන සමන්ත මා එක්කගෙන ගොස් නාගන්නට තැන් පෙන්වා ''බොන්ඩ එපා..අඩුම ගානේ දත් මදින්නත් එපා ඔය වවුල් ගූ..'' කියා ලොකු බූලි හත අටක් තිබූ ගබඩා කාමරය පෙන්වා ඉන් පුරවා පෞද්ගලිකව තබාගන්නට හිස් වීදුරු බෝතලයක්ද දුන්නේය. ඒ වතුර ගෙනෙන්නේ තිස්ස මහාරාමයේ අපි තොගබඩු ගන්න කඩේ ලිදෙනි. ඒ වතුර ඉවීම් වලට සහ අපට බීමට ගෙනෙන ලද්දේය. විකිණීම සදහා ලොකු වතුර බෝතල් තොග පිටින් තිබිණි. මගේ මතකය නිවැරදි නම් ''ෆර්න්'' නම් සමාගමක වතුර අපේ හෝටලයට ගෙනවිත්ම දෙන ලද්දේය. සමන්ත ඉතා ක්‍රමාණුකූල ජීවිතයක් ගතකලේය.  ඔහුගේ ඇදුම් පැලදුම් පමනක් නොව හෝටලයේ සියළු වැඩ ඉතාම ක්‍රමවත් විය. ඔහු දෙපැයක් පමණ නෑවේය. සිගරට් අරක්කු කටේ තිබ්බේ නැත. අවන්ක ලෙසත් සේවය කලේය. පසුකලෙක ඔහු පොලීසියේ සේවයට බැදුණේය. ඉන්පස්සේද අර ක්‍රමවත් බව තිබෙන්නට ඇත. අනික්වා වෙනස් වෙන්නට ඇත.

ඔහුගේ ඥාති සොහොයුරා වන වසන්ත පසුව ඔස්ටින් අයියා නිසා මුළුතැන්ගෙයි වැඩට ආවේය. ඔහු මගේ අතිජාත මිත්‍රයා විය. මේ සියල්ලෝ එක පවුලේ නානායක්කාරලා විය. ක්‍රමවත් හා නිවුණු ගති ඇති සමන්ත හැරුණු කොට අනෙක් දෙන්නා නහයට අහන්නේ නැති හොස්ස ලඟින් මැස්සෙක් යන්නට බැරි නියම ''කුක්'' ලා විය. බෙන්තර පාලම පැන්න පසු අයිඩා ජෙම්ස් එක ලඟින් ගග පැත්තේ පාර කොනෙම ඔවුන්ගේ ගෙවල් තිබ්බේය. මම එහිද ගොස් තිබේ.

සමන්ත මට නාගන්නට කියා වැඩට ගියේය. උදේ වරුවක් හා දවල් වරුවක්ද ආයේමත් හවස් වරුවක්ද හෝටලයේ වැඩ තිබේ. උදේ සෆාරී යන්නට ආ රථ යළි එන්නේ හවස නිසා දවල් වරුවේ වැඩ සීමිතය. පසුව කළුවර වැටුණු පසු කෑමට එක්කගෙන යන්නට ආවේය. අප රෑ කෑම කෑවේ ඔවුන් සියළු දෙනා වැඩ නිමාකොට ආ පසුය. සමන්ත නාගෙන එන්නට ගොස් පරක්කු විය. අනෙක් අය කන්නට පටන් ගත්තේය. එදා නානායක්කාර අයියා හිටියේ නැත. හිටියේ ප්‍රේමචන්ද්‍ර පමණකි.

ප්‍රෙමචන්ද්‍ර කෑගල්ල හෝ කුරුණෑගල පැත්තේ බව මට මතකය. එක්කෝ මාවනැල්ලේ වෙන්නට ඕනෑය. ඔහු පතෝල චරිත ස්වභාවයක් තිබූ අහින්සක මනුස්සයෙක් විය. එහෙත් රැකියාවට සුදුසු කිසිම සුදුසුකමක් නැති තරම් විය. කෑම වල රසක් තිබුණා නම් ඒ ජගත්ගේ සම්බෝලයක් හෝ ලුණු මිරිසේ පිහිටෙනි. බටහිර කෑම වුව මෙලෝ රහක් නැතිවුනත් සුද්දන් ආපසු යනවිට අර කොරොඩොවේ කණු යට සූපවේදින්ගේ ඇදුමද ඇදගෙන කැරකුණේය. අපි කොයිතරම් නම් විහිළු කොට ඇත්ද..ඒත් ඔහු ඒවා ඉවසා වදාලේය. ''ඔය දුන්නේ බොට නාගන්න සබන් ගන්ඩ'' කියා ඈත සිට විහිළු කලෙමු. ඔහු නිකට කස කසා ''පල හු..පුතාලා '' කියා අජිත් අය්යා ඇතිදැයි බල බලා අපට බැන්නේය.  පසුව ඇඟ පුරා කසන රෝගයක් ඇතිවී ගද ගසන කැලමයින් ලෝෂන් ගගා ඉන්නා විට අප ඔහුට විහිලු නතරකලෙමු. එහෙත් අපි සුදුවැල්ලේ මාළු වාඩියේ කළු අක්කාගෙන් ගල් බෝතලය ගන්නට සල්ලි එකතු කරන විට ඔහු අනිවාරයෙන්ම සම්මාදම් විය. අන්තිමේ රෝගය උත්සන්න වී ඔහු යන්නට ගියේය. එකම එක වරක් ඔහුගේ බිරිඳ හෝටලයට ආවා මට මතකය.
අපට බෙදාගන්නට බත් හා හැමදාම හැදෙන අළුත්ම අළුත් මාලු ව්‍යංජනය සමග එක එළවලුවක් සහ පදුරක් පදුරක් ගානේ වැවෙන තුඹකරවිල ඕනෑම වෙලාවක තිබ්බේය. අපි පිඟන් වලට බෙදාගෙන
(මගේ මුල්ම දවස නිසා මට අළුත්සෙරමික් පිඟානක් ලැබිණි.) කුස්සියේම ඇලුමිනියම් මේසය උඩ කන්නට පටන් ගත්තෙමු.ප්‍රෙමචන්ද්‍ර  මා දුටු පළමු දිනයේම මගේ බත්පිඟානට ලොකු චිකන් පළුවක් දැම්මේය. මම හදපත්ලෙන්ම ස්තූති කොට අනෙක් අයට කන්නට කෑලි කැඩුවත් හැමෝම එපා කීය.  මම දවල් ගෑරුප්පුවෙන් කන්නට බැරි කුකුලා අතින් කඩාගෙන තළුමරමින් කෑවෙමි.

ප.ලි
කෑමෙන් පසු දෙවැනි බ්‍රිස්ටල් එක බොන අතරේ ජගත් මහ හයියෙන් ''ඔහේගෙ කුකුලා ඔහේටම කැව්වනේ මූ..ඔස්ටින් අයියා එනකං ඕකා දෙන කිසිම වැඩිපුර කෑමක් කන්ඩ එපා....'' කියා මූණත් කේන්ති කරගෙන කීවේය. ප්‍රෙමචන්ද්‍ර එහෙන් මෙහෙන් කඩා තිබුණු කුකුල් පළුවේ අඩුපාඩු වැහෙන්නට ඝනට සෝස් දමා මටම කවා තිබේ. මූ කැම්මැලියා ඕක සුද්දෙක් ඉල්ලුවත් දෙනවා කීවේ සමන්තය. මම අදටත් එය විස්වාස නොකල ලෙස හිතන්නට කැමැත්තෙමි.

අනෙක Motel වචනයට ශබ්දකෝෂයේ තිබෙන තේරුම් අපේ හෝටලයට ගැලපෙන්නේම නැති බව ඉදුරා කියමි. ඊට පස්සේ FM ඇන්ටෙනා එකක් නිසා වෙච්ච ජන්ජාල ගැන

3 comments:

  1. තුඹ කරවිල ඒතරම් තිබුනද?

    ReplyDelete
  2. අගේ ඇති කතාවක්නෙ.

    ReplyDelete