Thursday, February 8, 2018

අබ්දුල් අමීන්..88



නාවල සෝලීස් ශාලාවේ සිට ගාලු මුවදොර දක්වා ඇදෙන වෑන් රථය පැදවුයේ අජිත් අයියා වන්නට ඕනෑය. ඒ වහල පාත "රෝසාවේ" නැගුන අය අතර අපේ අම්මා, තාත්තා, අක්කලා තුන්දෙනාම සහ එකල ලංකාවේ හිටි දෙවැනි අයියාද හිටියා මට හොදටම මතකයි වගේය. ඊළඟට ලොකු අයියාගේ අක්කා සමග ඉස්ටැන්ලි අංකල්, සෝමා ඇන්ටී සහ අජිත් අයියාගේ බිරිඳද හිටියාය.
හිටියා කීවාට කට්ටියම හිටියේ මහා ඝෝසාවක් ඇතිකරමිනි. මම පමණක් වෙන්නට ඕනෑ දවස් ගණනක චිත්‍ර ප්‍රදර්ශණ  මහන්සිය හා මඟුල් ගෙදරක කෑම පිහිටෙන් පොඩි කුකුළ් නින්දක වැටී හිටියෙමි. එහෙත් නිදන්නට ඉඩක් නැත. අජිත් අයියා සුපුරුදු ලෙස අපේ ලොකු අක්කාවත් පටළවාගෙන මහා විහිළු තහළු සාගරයකය.

(අජිත් අයියාගේ හැටි ලියන්නට වෙනමම දවසක් ඕනෑය. අජිත් අයියා ඔහුගේ තරමවත් කුමක්දැයි නොදන්නා කෙනෙකු විනා තමන්ගේ "තරමෙන් " කිසිදා ප්‍රයෝජන ගත්තෙක් නොවන වගත් ඔහුගේ තරමෙන් ප්‍රයෝජන ගත් "මගෙන්" පටන් ගෙන ලොකු ව්‍යාපාර දක්වා දිවෙන අතීතයක් වර්තමානයක් ඇතැයි දැනට ලියා තැබීම ඇතිය.)

මේ වෑන් රථය අර නාවල සෝලිස් එකට වඩා සතුටු සාගරයක කිමිදෙමින් දිවෙයි. ඒ අතරේ "ඉස්ටැන්ලි" අංකල්  "අබ්දුල් අමින්" සින්දුව පටන්ගෙන තිබේ. අබ්දුල් අමින් සින්දුව මා අසා ඇත්තේ ස්ටැන්ලි අංකල්ගෙන් පමණි. ඔහු හැමදාම සෙනඟ ගොඩක් සහ වීදුරු දෙක තුනක් හිස්වූ තැන මේ සින්දුව පටන් ගනී. මේ අපූරු සින්දුවේ මහ ලොකු වාක්‍ය මාලාවක් හෝ අර්ථයක් තිබුනේ නැත. එහෙත් පලමු වචන පේලියෙන් පසු ඊට අත්වැල් ගායනා කරන පිරිස නවත්තනට බැරිය.
අබ්දුල් අමින් පටන් ගැනෙන්නේ ස්ටැන්ලි අංකල් තාලයකටත් මෙන්ම හඬත් අඩුකොට "අබ්දුල් අමී......න්න්"  කියා නැවතීමෙනි. ඉන්පස්සේ අත්වැලට කවුරුන් හෝ "ඩුම් ඩුම් ඩුං.. " කියා තාලයට කියති. මේ සින්දුවට වචන කිහිපයක් තිබුණා මට මතකය. එහෙත් දැන් මතක් නොවෙයි. එහෙත් අත්වැල් ගායකයන් වැඩිපුර එකතු වූ පසු අර හෙමෙන් සෙමෙන් කියන සින්දුව වේගයෙන් කියවෙයි. අත්පුඩි වැටෙයි.  නැවත නැවතත් ගායනා කෙරෙයි.

මට දැන් නම් හිතෙන්නේ ඇස් පියාගෙන එදවසට යන්නටය. එදවස අද මෙන් මහා වාහන තොගයකුත් නැති. ආලෝකමත් වීදී ලාම්පුත් නැති අදුරු වීදී දිගේ ඇදෙන මේ කුඩා වෑන් රථයේ මෙහා පිටින් ඉදිමින්  අර වීදුරු අස්සෙන් "යථාර්ථය දකින්නටය".
ඒ රථයේ යන අයට කොයිතරම් ප්‍රශ්න තිබුනාද...කොයිතරම් හෙට ගැන අවිනිශ්චිතකම් තිබුණාද...මඟුල් ගෙදර ආවේ කොයි තරම් දුෂ්කර ලෙසද...යළිත් හෙට අමනාපකම් අඩදබර අඩුපාඩුකම්, තනිකම් තරහාවීම හිත් රිදීම් මෙන්ම සතුටුදායක ලෙසද ජීවිතයට මුහුණ දෙන්නට ඕනෑද..? එහෙත් මේ වෑන් රථයේ ඉන්නා එකදු ගැහැණියකටත් මිනිසෙකුටවත් එසේ  හැඟිමක් නැති සැටි මෙන් හිනාවෙමින් අත්පුඩි ගසමින් මේ මොහොත විදින්නේය. අජිත් අයියා හෝ ස්ටැන්ලි අංකල් බැනුම් මැද්දේ සිගරට් දල්වන්නේය. අපේ අම්මලා අක්කලා පටලාවගත් සාරි තවත් අවුළ් කරගනිමින් අත්පුඩි ගසමින් සිනාසෙන හැටි, සෝමා ඇන්ටී ඒ කලබල අස්සේත් කාට හෝ කුටු කුටු ගගා අවවාදයක් දෙන හැටිත් සිතෙන් මවා ගන්නට ඔබට බැරි බව මම දනිමි. ඒ "කුහක සතුට" ගැන මම සතුටු වන්නේ එය මා පමණක් ලබන සතුටක් නිසාය.
ඒ සතුට කාට කාටවත් බෙදන්නට  බැරි එකකි.

නාවල සිට අපවත්  ගෙදර බස්සාගෙන යන්නට කළින්ම සූදානම් කොට තිබූ මේ වෑන් ගමන ගාළුමුවදොරට හැරවූයේ අජිත් අයියාය.  අපේ මේ පවුල් දෙක තුනක් පටවාගත් වෑන් රථයට පිටුපසින් මනාලයා පදවාගෙන ආ මෝටර් රථයේ නැගී මනාලියද ආවාය. ගාළුමුවදොර අයිනේ නතරකෙරුණ වෑන් රථයෙන් බැසගත් අප  කිහිපදෙනෙක් තද කළුවරේ හෝ ගානා රැල්ල බලන්නටද, අජිත් අයියා ඇතුළු දෙතුන් දෙනෙක් "නානා" ගෙන් ගත් කූකුළ් මස් කැබැල්ලක් සමග පොඩි මීවීතකද, තවත් කිහිපදෙනෙක් දොර වීදුරු හකුළුවාගත් වෑන් රථයේ ඇතුළට වී කතා බහකද යෙදෙනා අතරේ අජිත් අයියා කොහෙන්දෝ ගෙනා අහස්කූරු කිහිපයක් උඩ යවන්නටද විය.  උඩ යැවුවාට කම් නැත  මේ මහරෑ හරස් අතටද යවන්නට විය. පළමු එක හරස් අතට වේගයෙන් ගොස් කිහිපදෙනෙකු මගහැර බිම පතිත වෙනවාත් සමග වෑන් රථයෙන් බැසගත් ගැහැණු රොත්තක් "එපා" කියන්නට පෙර අජිත් අයියා අනෙක් අහස්කූරද හරහා යැවෙන ලෙස පත්තු කලේය. ඒ අහස් කූර විදුලු වේගයෙන් හරස් අතට ගොස් නැවතුනේ අපේ අළුත් මනාලියගේ ඇඟේ වදිමිනි. ඇය වේදනාවෙන් බිම පෙරළුනා පමනි අපි සියල්ලෝ එදෙසට දිව ගියෙමු. ඇයට ඒ තරම් හානියක් නැතත් කුඩා පිළිස්සුම් තුවාලයක් ව වේදනාවෙන් පෙළුණාය.
එහෙත් මේ දර්ශණය බලා සිටියේ අප පමණක් නොවන බව තේරුම් යන්නට වැඩි වෙලාවක් ගත නොවීය. එකවරම අප වෙතට කඩා පැන "කවුද යකෝ" කීවේ අතපය හැඩි දැඩි තරුණ කොල්ලන් වැලකි.  ඔවුනට අනුව අපේ ක්‍රියාකාරකම් මේ මහරෑ "ගෝල්ෆේස්  සාමකාමී කමට"  බාධාවකි. එකල සාෆ් ක්‍රීඩා උළෙල පැවෙත්වෙන කාලය නිසා සිවිල් ඇදුමෙන් සැරසුණු බොහෝ ආරක්ෂක නිලධාරීන් එහි ගැවෙසෙන අයුරු පුදුමයක් නොවිය.
ඔවුන් කඩා වදිද්දී ස්ටැන්ලි අංකල් විශිෂ්ට විශ්‍රාමික තානාපති සේවා නිලධාරියෙකු වුව තැනට සුදුසු ලෙස  'ඩිප්ලොමැටික්" නොවෙමින් "ඇයි ඇයි" කියා අර කොල්ලන්ට තගරිය දැම්මේය. අර කොල්ලෝ තරුණ කමටද කොහෙදෝ අතේ තිබුණු බීම බෝතල් එකිනෙක කඩා ආයුධ කලේය. අප අතරේ මේ තරම් ගහමරා ගන්නට දේවල් ඇතිවුණේ නැත. එහෙත් දැන් මේ තත්වය උග්‍ර වෙමින් නරක අතට හැරෙන බවක් පෙනේ. ගැහැණු අය අපේ පිරිමි අයව පසුපසට අදිමින් පවුරක් මෙන් ඉදිරියේය. අර කොල්ලෝ අපට බනිමින් අජිත් අයියාව සොයති. අජිත් අයියා ගෑණු පවුරෙන් කඩා පනින්නට ඉංග්‍රීසියෙන් ඉඩ ඉල්ලති. සෝමා ඇන්ටී 'පුතේ මේක පවුලේ ප්‍රශ්නයක් අපි විසදගන්නම්..දැන් ඔයගොල්ලෝ යන්න" කියති.
(සෝමා ඇන්ටී තරම් "ඩිප්ලොමැටික් " ගැහැනියක මට අදත් හමුවී නැත. ඇය සියලු දේ දැක්කේය. ඒවාට සරල උත්තර දුන්නේය. කිසිවෙකුගේ කුණු කන්දල් තවත් කෙනෙකුට "පාස්" කලේ නැත.)
එහෙත් ඇයවද පසුබා අර කොල්ලන් බෝතල් උළුක් කරමින් අජිත් අයියාව සොයති. අන්තිමේ අජිත් අයියා අර පවුර කඩාගෙන විත්

 "ධම්මික තොපි දවල්ට රිලේ දුවනකොට අපි විසිල් ගහන්ඩයි..චියර් කරන්ඩයි..තොපි රෑට ඇවිත් බෝතල් වලින් අපිටම අයින්ඩයි...ලැජ්ජ නැද්ද යකෝ.." කීය.

කීවා නොව මහ හඩින් කෑ ගැසුවේය.

අප කිසිවෙකු දන්නා ධම්මික කෙනෙකු නැත. (අපේ අයියාගේ නමත් ධම්මික වුණාට දුවපු රිලේ එකක් නැත.) එහෙත් අර කොල්ලන් රැල රිලේ එකක් දුවන්නා මෙන් අන්ත්‍රස්දහන් විය.

අප යළිත් වෑන් රථයට නැග්ගෙමු. නැග්ගෙමු නොව බලෙන් පොරයෙන් නංවාගත්තෙමු. මනාල යුවල රත්නම්ස් රෝහලට ගොස් බෙහෙත් දාගෙන තිබිණි. එදා ජීවිතය කිසිදා නොදකිනා නොහදුනනා නිහඩ කමකින් පිරී ගත් වෑන් රථය හෙමෙන් හෙමෙන් පාළු පාරවල් තවත් පාළු කරමින් ඇදුනේය.
අජිත් අයියා හුරේ කී චියර් කල ධම්මික ගැන පසුව මට කොලොන්නාවේදී කීවේය. ඒ නම් එකල අපට සාෆ් තරඟාවලියේ පදක්කමක් බලාපොරොත්තු වූ ධම්මික  දිසානායක ගැනය. ධම්මික අර බෝතල් කඩාගත් කල්ලියේ කෙට්ටුම එකා විය. ඔහු මීටර් 100 හා 200 ඉසව්වලට සහබාගි වුවත් රිලේ තරඟවලට සහබාගී වුවා බව මට මතක නැත. එහෙත් අජිත් අයියා ක්‍රීඩාවට දැක්වූ උනන්දුව නිසා අපට යහතින් ගෙදර එන්නට පුළුවන් උනේය.
සමහර විට ධම්මිකට ලැජ්ජාවක් ඇතිවෙන්නට ඇත. අපේ මේ සිදුවීමත් ඔවුන්ගේ කඩාපැනිමත් අතරේ තිබුණේ "තරුණ උනක්" වෙන්නට ඇතිය කියා මට සිතේ. එහෙම නැත්නම් ඔහුට තරඟාවලිය අතරේ මහරෑ මෙලෙස අනාරක්ෂිත ලෙස හැසිරෙන්නට තිබූ "අයිතිය" ගැන කුකුසක් තිබෙන්නට ඇත. කෙසේ හෝ ඊළග තරග අතරේ "මේන්න මේ"" කියා අජිත් අයියා මට ධම්මිකව රූපවාහිනි තිරය මත පෙන්වන ලද්දෙන් අර මහ රෑ දකින ලද ධම්මිකව මට අදුරාගන්නට පුළුවන් විය. ඔහු ඇත්තෙන්ම සැබෑ ක්‍රීඩක ලක්ෂණ පෙන්නුම් කලේය. යන්තම් බොකුටු කොණ්ඩයක් තිබුණේය.  දුවන්නට උපන් උසක් තිබුණේය. ඒ වාගේම කඟවේනා මෙන් දිව්වේය.
මට ධම්මික දිසානායක ඒ සාෆ් ක්‍රීඩා උළෙලේ පදක්කම් ගත්තාදැයි මතක නැත. එහෙත් වරෙන් වර ඔහු ගැන පුවත්පත් වල ක්‍රීඩා පිටුවේ ප්‍රවෘත්තීන් පලවී තිබුණේය.

කාලය අපට හැමදාම එකම තැන රැදෙන්නට දෙන්නේ නැත. කාලය අපව විවිධාකාර චිත්‍රපට පෙන්වා ඒ චිත්‍ර -දර්ශණ -සිතුවම්- හඬ- දැනීම් -හැඟීම් අපට ලංකොට අපේ කරදී, විටෙක අපෙන් ඈත්කර අපට එරෙහි කොටදී අපව ජිවීත ගමන්මග ඔස්සේ තල්ලු කර දමන්නේය. එලෙස තල්ලු වී යන අතරේ අර දකින ලද මතකචිත්‍ර විටෙන් විට මතක් වෙයි. වරෙක ඒ ගැන සතුටු කදුළු ගලයි, වරෙක පශ්චාත්තාප වෙයි, වරෙක අමතක කරන්නට බොළද උත්සාහයන් වල නිරත වෙයි. වරෙක පලිගන්නට තරම් සසල වන මතක බවට පත්කරයි. ඒ සියල්ල කුමක් වේවා ජීවීතය අපට නතරවෙන්නට නතර වී නරඹන්නෙකු වීමට කාලය නම් ලබානොදෙයි.

එහෙම කාලය නතර නොකර සෑහෙන කාලයක් ගිය පසු ධම්මික දිසානායක මට නැවත හමුවිය. අර කළින් කී දෛවය මට පමණක් නොව ඒ අවස්ථාව අජිත් අයියාටද දුන්නේය. මේ කියන කාලසීමාවේ මම යාල අමදූව වෙරල තීරයේ හෝටලයේ සේවය කරමින් සිටියෙමි. මා එහි එක්කාගෙන ආ මගේ කළමණාකාරවරයා වූයේ අජිත් අයියාය.

ඒ අනුව සාෆ් උළෙලින් පසු ශිෂ්‍යත්වයක් ලැබ වැඩිදුරපුහුණු කාලයකට ජර්මනියට ගිය ධම්මික දිසානායක මේ සිදුවීමෙන් අවුරුදු ගනනාවකට පසු මේ සිදුවීම සිදුවූ ගාළු මුවදොර මුහුදට වඩා ලස්සන තිස්සමහාරාමයේ අමදූව වෙරළ තීරයේ අපේ සුන්දර හෝටලයට ආවේ තනිවම නොවේ. ලස්සන ජර්මන් කෙල්ලෙකුද සමගය.
ධම්මිකගේ ජර්මානු මිතුරිය සුන්දර වූවා වගේම ධම්මිකද සහමුළින්ම වෙනස් කෙනෙකු බවට පෙනුමෙන් වෙනස් වී තිබිණ. අර කෙට්ටු ගතිය සහමුළින් නැතිවී කළු අමරිකානුවෙකු මෙන් උස මහත හැඩිදැඩි වචනාර්ථයෙන්ම මළල ක්‍රීඩකයෙකුගේ පෙනුම ලබාගෙන තිබිණි.
ඔවුන් අපේ හෝටලයට එන බව යාල වෙරල තීරයේ ඇන්ටෙනාවක සවිකල දුරකතන කුළුනේ සිට කරකවන අංක සහිත රිසීවර් දුරකතනයෙන් අපට දන්වා තිබුණේ නැත. (එකල හෝටලයේ නවාතැන් ගන්නා අයගේ ලැයිස්තුව කොළඹ එයිට්කන් ස්පෙන්ස් සමාගමේ සිට  කීවේන් අප "රෙසර්වේෂන් පොතේ " ලියාගත්තෙමු.)
ඔවුන් ආ පසුව අජිත් අයියාද දුවගෙන විත් උඹට මතකද කියා මගෙන් ඇහුවත් මට මතක තිබුණේ නැත. අපි ඒ මතකය අවධි කලෙමු. එහෙත් ඒ මතකය අජිත් අයියා විසින් ධම්මිකට මතක් කරනා ලදැයි  කියා මට හිතෙන්නේ නැත. අජිත් අයියා ඔවුනට විශේෂ කොට සැලකූ බව නම් මතකය. ඒ අතරේ ඔහුගේ ශිෂ්‍යත්වයද අවසාන වෙන බවත් නැවත ලංකාවට පැමිණ 100 හා 200 ඉසව් වලින් තරඟ කිරීමට කැමැත්ත බවද ධම්මික හා අජිත් අයියා අතර ඇතිවුණු කතාබහට අනුව දැනගන්නට ලැබුණේය. නමුත් කිසිදු විටෙක අර ගාළුමුවදොර සිදුවීම ගැන කතා වුණා මට ඇහුණේ නැත.

එහෙත් මෙහෙම මතක එලෙස දියවීමට දෙන්නේ ඇයි..?

මේ කාලසීමාවේ හෝටල් බිල් ලියවුණේ අතිනි. ධම්මික දිසානායකගේද හෝටල් බිල කෑම බිල හා අතිරේක වියදම් වලින් බාගයක් වත් අජිත් අයියාගේ කතුරට අසුවී මගේ අතින් ලියැවී ගනන් හැදී තිබුණේය. ඔහු බිල ගෙවන්නට ආ විට "සර්ට මාව මතක නෑ නේදැයි..' " මම ඇසුවෙන් ඔහු ඇස් ලොකු කරගත්තේය.
ඒ ලොකු කරගත් ඇස් පොඩිවෙන්නට පොඩිවෙන්නට ඔහුට ඒ සිද්ධිය මතක ඇති බව තේරුණත් "දැන් අවුරුදු ගානක්නෙ මල්ලි..යන්තං වගේ මතකයි" කීවා මිස කිසිත් කීවේ නැත.

ඔහු යන්නට පෙර අප සමග ඡායාරූපයක්ද ගත්තේය. ඒ ඡායාරූපය අපට තැපෑලෙන්ද එවන්නට තරම් ඔහු නිහතමානීද විය. ඒ ඡයාරූපය තවම මා ලඟ තිබේ. මගේ පින්තූර ඇල්බමයේ අලවා තිබේ.

ඊට අමතරව අර ගාළුමුවදොර දක්වා ඇදෙන සතුටු සාගරයක පිරුණු වෑන් රථයද, ස්ටැන්ලි අංකල්ගේ අබ්දුල් අමීන්ද, දාඩිය දමමින් රත්නම්ස් රෝහල අසල නවතා තැබුණු සෙනඟ පිරි ඒ රෝසා වෑන් රථයද, ඊටත් අවුරුදු ගනනකට පසු අමදූව කුඩාවැල්ලේ වාඩිය අසලින් හැරවූ සුදුපාට මෝටර් රථයෙන් බැස ගත් ධම්මික දිසානායකද මගේ මතක පොතේ තදින් ඇලවි ඇත්තේය.

7 comments:

  1. කථාවත් ලියා ඇති ආකාරයත් මරු.

    ReplyDelete
  2. නියමයි හැමදාම වගේ.

    ReplyDelete
  3. <<<<>>

    මේකට කමෙන්ට් කරන්න වචන නැත........

    ReplyDelete
  4. අර සින්දුව අයියට මතකද දන්නෙ නැ නේද

    ReplyDelete
    Replies
    1. අටමෝ.......මේ සින්දුවේ කිසිම අර්තයක් නැහැ. ඒ වුනාට මේක කියනකොට ගීත රිද්මය එහා මෙහා කරනවා මහා අපූරු විදිහට. ටික වෙලාවක් යනකොට පාටියේ මුලු ක්‍රවුඩ් එකම ස්ටැන්ලි අන්කල්ව වටකරගෙන එකම රස ගුලාවක් වෙනවා. ඒක එයාට විතරයි කියන්නත් පුලුවන්. අපිට කවදාවත් අමතක නොවන චරිතයක් සහ සින්දුවක්.

      අබ්දුල් අමීන්....ඩුම් ඩුම් ඩුම්....
      අබ්දුල්... අමීන්..... ඩුම්...ඩුම්...ඩුම්
      අබ්දුල්.........අමීන්.......ඩුම්....ඩුම්.......ඩුම්......

      හැට්න් ගොයින්....හැටන් කමින්....
      අඩිස බබා...පයිස දෙකය්....
      කොලින් මැකොල්....ජාති කකුල්...


      ඔන්න ඔය විදිහට මේක දිගට යනවා. ඒක මෙහෙම ලියලා වැඩක් නැහැ. අපේ දුව ගාව අන්කල්ගේ අකුරෙන්ම ලියලා දුන්න මේ සින්දුව තාම තියෙනවා. මේක පවුලේ ගීතයක්.

      Delete