Saturday, January 13, 2018

දද නම් වදමය.... 86


ජීවිතය ඊලඟ මොහොතේ කුමක් ගෙනෙන්නේදැයි මා දන්නේ නැත. සමහර බලාපොරොත්තු ජීවීතයේ අවසාන මොහොතේ ඵල දෙන්නට පුළුවන. සමහර විට කිසිදා සඵල නොවන්නටද පුළුවන.
එවන් මොහොතක් ගැන තනිවම කල්පනා කරමින්, හෙමෙන් හිස්වෙන වීදුරුවක් දෙස බලා සැනසෙමින් "හමාරා අදූරී කහානී " චිත්‍රපටය ඔහේ බලමින් ඉන්න වෙලාවක මගේ හිතවතෙක් මා ඇමතීය. ඔහු මට ජීවිතයේ "චරිත" හදුනාගැනීමට බොහෝ සෙයින් උපකාර කල මා ලඟින්ම නොසැලී සිටි කෙනෙකි. ඒ නිසා මට ඔහු ගැන සංවේදී හැඟීමක් මතුවිය. ඔහුගේ පස්චත්තාපය මට තෙරුම් ගත හැක.

"අපේ අම්මාට කකුලේ තුවාල වඟයක් ඇවිත්. ඒක කාලෙන් කාලෙට එන එකක්. ඒත් මේ පාර අමාරුයි වගේ.." කීවේය.

මා නොදන්නා ඳද...!

මා මුල්වරට දදයක් දැක්කේ අපේ ආච්චිගෙනි. ඒ දදය එසේ මෙසේ එකක් නොව රාජකීය එකකි. ඇගේ සුළගිල්ලේ සිට මහපටඟිල්ල දක්වාත් ඉන් උඩට විත් දනිහිසෙන් බාගයක් වනතුරු මේ දදය තිබ්බේය. ඇගේ වාසනාවට දද ආවේ කාලානුරූපීවය. ප්‍රශ්න වැඩිකලට දද ද වැඩි වුනේය. ඒ කාලයට අපේ ආච්චිද බිබිලි හැදී පුපුරා සැරව ගලන දද වලට වද දුන්නේය. නියපොතු ගෙවෙන තුරු කස කසා හම හිල්වෙන තුරු වද දුන්නේය. අපි ආච්චීට බැන වැදෙන විට "උඹලා දන්නේ නැහැනේ මේකේ වේදනාව "කීය.

දද හරියට ආදරය වගේ බවත් මට කල්පනා වෙන්නේ දැන්ය. එදා ආච්චි පුදුම ආසාවකින් දද කැසුවාය. එහෙත් ආසාවෙන් කැසූ දද නියපොත්තේ විසට රතු වී ලේගල පැසවන්නට වූ විට ඈ පමණක් නොව අපද එක පොරයේ දුක්වුනෙමු.

දුක්වුනේ අපේ ආච්චීට ඇගේ සියළු යහගුණයන් පරදා කේන්ති ඒම ගැනය. ඊළඟට ඇගේ පැදුරේ නිදියන්නට නොහැකි වීම ගැනය. එහෙත් එදා අද මෙන් අප ඒ ගැන කල්පනා කලේ නැති වාසනාවට අපි ඇගේ අර සැරව පුපුරා ගලන කකුල් බැද තිබූ රෙදි පටි උඩින් අතපය තබාගෙන සැපසේ නිදාගත්තෙමු.

දද බෝ වුනේ නැත.

ආදරය දිනාගැනීම ...අනුකම්පාව ලබාගැනීම  හෝ කම්පාව අමතක කිරීම මෙන් ජීවීතය අවුල් කරවන සංසිද්ධීන් බෝ වුණා මෙන්  ජීවිත අවුල් කලා මෙන් දද බෝ වුනේ නැත. අප පහුවෙනිදා නැගිට මූණ කට සෝදාගෙන ජීවීතයට ගොඩවැදුණත් දද අපට වද දුන්නේ නැත.

එය පරම්පරාවෙන් ආ බෝවීමක් විය.

මා අදද ආච්චීටද අම්මාටද ඊළඟ පරම්පරාවේ ලොකු අයියාටද අනෙක් අයියලාටද කැමති ඒකය. ඊළඟට අක්කලා දෙන්නාටද කැමති ඒකය. ආච්චි අපට ඉතුරු කොට වෙන්කොට අපේම කියා දී නික්ම ගිය ලොකුම දෑවැද්ද ඒකය.
අප හොරුන් නොවී, බොරුකාරයන් නොවී, වංචාකාරයන් නොවී දදකාරයන් වීම මට සතුටු ඒකය.

ඊළඟට දද ආවේ අම්මාටය.
අම්මා ඉන් නොවිදිනා දුක් වින්දාය. සමහර දාට මම දෙල්කද ගෙදර වැහි වතුරෙන් යට වී මේස උඩ මඤ්ඤොක්කා තම්බාගෙන කා නිදියාගන්නා විටත් අම්මාගේ කකුළට දදයක් දීම ගැන දෙවියන්ට සාප කලෙමි. දෙවියන් දද දිදී හෝ වද දෙන්නේ අපටමය කියා වද උනෙමි. අදද ඒ නිසා දෙවියන් කෙරෙහී මගේ ලොකු කැමත්තක් නැත.

එදා අම්මා දද හැදුණු විට රෙදි පාන්කඩ ඔතාගෙන ගෙවල් වලට යන එකට ඒ ගෙවල් වල සුපිරිසිදු අය කැමති වුණේ නැති බව මගේ ඇස් කන් වලින් අත්දැක තිබේ. එහෙම දවසට අප බඩ ගින්නේ "එහෙන් මෙහෙන් කා" හිටි බව මට අදද අමතක නැත. එහෙත් ජිවීතය අපට බොහෝ දේ අමතක කරන්නට, වැඩිහිටියන් වන්නට එහෙමත් නැත්නම් සින්හලෙන් "මැචුඅර්" වෙන්නට බලකරයි.
(ඒ වගේ අවස්ථා වල ලොකු අයියා බලකර කියන දේ පවා මා තඹ සතේකට ගනන් ගන්නේ නැති "ලොකුකම" ට මා ආදරය කරමි.  මන්ද මා ජීවීතයේ ළමා කාලයක්ම ගෙව්වේ අම්මා සමග වීම නිසාවෙනි.)
ඒ නිසාම මට නැදෑයන් බාගයට බාගයක් නැත. "පරණ අය" බාගයට බාගයක් නැත. ඉතුරුව ඉන්නා බාගයට අඩු පිරිස මට ඇතිය.
මේ පුද්ගලානුබද්ධ කාරණයකි. ඒ නිසා වරදවා නොසිතනු ඇති බවට මම සිතමි.

ඊළඟට දද ආවේ ලොකු අයියාටය. ඔහු ආච්චීටද අම්මාටද වඩා කාලයක් දුක් වින්දා බව  කියන්නට මට බය නැත. සමහර මේස් කුට්ටම් ඔහු ඇන්දේ එකවරක් පමණි. (දද හැදුණු අය ඒ ගැන දන්නවා ඇත.) මා ඔහුව දුටු තරුණ කාලයම ඔහු කෝපයෙන් මෙන් සිටියේ රට ගැනද , දේශපාලනය ගැනද , දේශපාලකයන් ගැනද මේ සියල්ල නරඹන ජනතාව නම් "ප්‍රේක්ෂකයන් " ගැනද බව ඔහුගේ කතා වලින් මට දැනුනද දද -ද ඊට හේතුවක් බව මට හිතේ.
එහෙත් මීට දශක දෙකකට විතර උඩ ලොකු අයියා රට ගියපසු දද මෙහේ නතර විය.

නතර වී අනෙක් අයියලාගේ කකුළ්වල ටික ටික වද වෙවී ඉද මගේ කකුල්වලට පැනගත්තේය.

දද වදයකි.
මානසික වදයකි.

ඒ නිසා දද කාලයට මම පන්ති යෑම නොකලෙමි. දද වලට මහරගම සිල්වා මහත්තයා දෙන කහපාට බටර් මෙන් ක්‍රීම් ගුළිය ගාන්නට ඕනෑ උණුවතුරෙන් පුච්චාගත් කකුළ් වලටය. කොණ්ඩිස් කැට දෙක තුනක් දමා දම් පාට වන උණුවතුරෙන් තුවාල, බේබී තුවල නොහොත් සැරව බිබිලි, එන්ඩ නියමිත තුවාල නොහොත් රතුපාට ලප තවන විට දැනෙන සනීපයට සමාන කල හැක්කේ මෙහි ලියන්නට බැරි සනීපයක් පමණි. අපට දෙල්කද ගෙදරත් හෝමාගම ගෙදරත් ඒ වෙනුවෙන් වෙන්කල සුදුපාට එනමල් බේසකම් තිබිණ. එයට කොණ්දිස් දැමූ පසු නැගෙන රූප අදත් මගේ චිත්‍රපට මතක වල තිබේ. ඒ බේසමටම කකුළ් එබූ පසු දැනෙන සුවඳත් මගේ චිත්‍රපට සුවඳ වල තිබේ.
ඉන්පස්සේ සුදු පාන්කඩ රෙදි වළින් කඩා දමන අර පෙගුණු බිබිළි වලින් සැර ගදක් එන ඒකත් මට මතකය.
ඉනුත් පස්සේ අර කහපාට බේත්ගුළිය තුනීයට ගාන්නට ඕනෑය. එහි කුඩා සුදුපාට කැට තිබේ. මේ ඇමොක්සිලින් කරලේ කුඩුය. සමහර දාට ඇමොක්සිලින් කරල ගලවා කෙලින්ම කුඩු දැම්මේ ඉක්මණට හොද වෙන්නටය. එහෙම වෙන්නේ නැත කියා මොකා කීවත් අපට නම් එහෙම වුනා මට මතකය.

අන්තිමේ බැරිම තැන අපි තාත්තාගේ යාළුවා වූ දොස්තර සොයිසා ලගට යන්නෙමු. ඔහු බොන්නට බේත් දී පිරිසිදුව ඉන්න ලෙස පමණක් උපදෙස් දෙන එක තාම මට මතකය. ඒ දුන්නේද ඇමොක්සිලින් ලොකු වඩියක් බව ටක්කෙටම කිව හැක්කේ තුවාල ඉක්මණින් සුව වෙන නිසාය. නැත්නම් ඔහු ඊට වඩා සැර බේතක් දුන්න වෙන්නට පුළුවන.

එහෙත් තුවාල විළුඹේ සිට දනිස්සෙන් බාගයක් තරම් තියෙන එක මානසිකව බලපෑම නතර කරන්නට බැරිවිය. මම ඒ කාල සීමාවම පන්ති නොගියෙමි. හැකි තරම් ඉස්කෝලේද නොගියෙමි. එහෙත් කාලය නැතිනම් දෛවය අපට ලොකු "චාන්ස්" එකක් දෙන්නට අකමැති විය. අවසානයේ දෛවය තිස්සමහාරමයේ පොලීසියට මෙහා පැත්තේ මගේ අජූතකමට නම මතක නැති දොස්තර මහතෙක්ට පරාජය විය. 

එකල මම යාල හෝටලයේ වැඩය. ඒ අතරේ අර දෛවයා මට දද දී වද දුන්නේය.
මම වැඩ කරන්නේ හෝටලයකය. අනෙක අපි නිල ඇදුමට අදින්නේ සපත්තු කලිසම් නොව සරම් සෙරෙප්පු නිසා  දද තවත් වද දුන්නේය.
එහෙත් ඒ දොස්තර මහත්තයා මා දෙස බලා "බෙහෙතක් දෙන්නං හොද වුනොත් අන්නාසි, තක්කාලි., ඉස්සන්. කුම්බලාවන් ආදී සැර කෑමෙන් වලකින්නට වෙනවා " කීය.

අපි නම් බෑ කියයිද..?

මම හා කීවෙන් ඔහු බේත් දුන්නේ නොකඩවා මාසයක් ගන්නටය.

අදට ඒ මාසය ගතවී අවුරුදු විසිපහකට ආසන්නය.
අදත් අන්නාසි කෑ විට පළු දමා යටි පතුල් රතුවී කසන්නට පටන් ගනී. ඉස්සන් කෑ විට නහයෙන් ගෙඩි දමා ඉකිල්ලෙන් ඉවර වෙයි. කුම්බලාවන් කෑ විට ඔලුව පුරා ඉස් හොරි මතුවී මානසිකව වැටෙයි.
මේ කතාව මා මගේ යාළු දොස්තර කෙනෙකුට කී විට "අනේ මන්දා ..එහෙම වෙන්ඩ පුළුවන්ද බං.." කියා සැන්ඩි නැතිවම වීදුරුවක් හිස් කලා මට මතකය.

ජීවීතය එහෙම දේවල් කරන්නේය. 
මට ඒ ගැන උගේ උපාධියට වඩා ෂුවර්ය.
ඒ නිසා මගේ මිත්‍රයාගේ අම්මා ඉක්මණින් සුව වෙන බව ෂුවර්ය.

10 comments:

  1. දද නම් වද තමා....
    ඒත් දදේ කතාව නම් රසයි

    ReplyDelete
  2. මොකද්ද ඒ බෙහෙත ...??

    ReplyDelete
  3. මින් දද හී සර.....

    ReplyDelete
    Replies
    1. //මා ඔහුව දුටු තරුණ කාලයම ඔහු කෝපයෙන් මෙන් සිටියේ//
      දැන් තරුණ නෑ?

      Delete
    2. දැන් වයසට ගිය තරුණයෙක් බං...

      Delete
  4. ජීවිතේ සුන්දරද මෙතරම් !

    ReplyDelete
  5. අරූ ගේ පාට බ්ලොග් අස්සෙ තියෙනවා දැකලා ඊයෙ රෑ පුරා කරක් ගැහුවා. අරූගේ නම් පාටක්වත් නෑ කොමන්ට් එකකට දෙජකට වඩා.
    ඒ මොනා වුනත් දද කියන්නේ ෆූඩ් ඇලජි එකක්ද? ඔහේට ඔය කන්න බෑ කියපු ලිස්ට් එක නොකෑවොත් මට ජීවිතයක් තියෙයිද මන්දා. ඒකෙත් හැටි නේ?
    නිතර නො ආවාට ආවාම ලියපු ඔක්කෝම කියෝනවා ඉතින් අපි වගේ පාඨකයෝ.

    ReplyDelete
  6. තක්කාලි, අඹ , අන්නාසි, වලට දද එන කෙනෙක් මමත් දැන හිටියා.
    වෙජිටේරියන් නිසා ඉස්සො කෑවම එනවද නම් දන්නෑ

    ReplyDelete
  7. මේක කියවද්දිත් දදේ කසනවා වගේ සනීපයක් දැනෙන්නේ .......මරු

    ReplyDelete
    Replies
    1. ඔව් ඕයි මේක කියෙව්වම හොඳ වෙච්ච දදත් කසන්න පටන් ගන්නවා. දද නම් කද ගහගෙන යන වදයක් තමයි. දද වද-කද බැඳ......හද මැද- රස විඳ.. ගමනේ අපි යනවා.

      Delete