Thursday, April 27, 2017

මාත් නළුවෙක් තමයි ....75



''ජයලත් ලොන්ඩරි'' බෝඩ් එක ලා නිල් පාට අකුරෙන් කලු පසුබිමක සුදු පාටද මිශ්‍රව ඇදතිබුනා මට මතකය. එය එල්ලා තිබූ උලුවස්ස යට වීදුරු අල්මාරි වල නෙක වර්ණයෙන් යුතු කමිස කලිසම් සාරි මෙන්ම මහත්වරුන්ගේ කබායනද එල්ලා තිබුණේය. ඒ අල්මාරි පාස්කර යනවිට එක පිට එක සුදු රෙදි තොගයක්ම දැමූ මේසයක, අඩියක් විතර දිග පලල පිගන් ගඩොලක් මත, බෙලෙක් පියනක් තබා ඒ මත පොල්කටු අගුරු ඉස්ත්‍රික්ක රාජයෙක් වැඩ උන්නේය. අපේ ගෙදරත් පොල්කටු ඉස්ත්‍රික්කයක් තිබ්බාට මේ රාජ ඉස්ත්‍රික්කේත් එක්ක බලන විට එය හුංජං බිජ්ජෙකි. අනෙක අපේ ඉස්ත්‍රික්කෙන් කමිසයක අතක් මදින්නට වරුවක් ගතවන විට දුමින්දගේ තාත්තා කිසිම කලබලයක් නැතිව අර ඉස්ත්‍රික්ක රාජයා එක පාරක් කමිස පලුවක් මැද්දේය. ඒ මදින කලාව මමද ඉගෙන ගත්තෙමි. කළු අගුරු රතු පාටෙන් දිලිසි දිලිසි අර ඉස්ත්‍රික්කයාගේ පස්ස පැත්තේ ඇරෙන වැහෙන රවුම අස්සෙන් හිනාවෙන විට යන්තම් තෙත්කල ඇදුම් උඩින් තැබූ විගස ''චිරිස්.. සොස්...සාස්..''  ගාගෙන සුදු මීදුමක් මෙන් ජල වාෂ්ප නගින්නේය. ඉස්තිරික්කයේ රස්නය අඩුකරගන්නට නම් අර වතුර බේසමට අත දමා වතුර බේරෙන ඇගිල්ලෙන් ගෑවෙන නොගෑවෙන තරමට තට්ටුවක් දමා අර රවුම පහලට දමා කුහරය වසන්නට ඕනාය.  රස්නය වැඩිකරගන්නට අර රවුම අරින්නේ නම්  ඉස්ත්‍රික්කේ නහය ටිකක් මේසයෙන් එලියට තියන්නට ඕනෑය. නැතිනම් හීන් දැලි කුඩු අර නහයෙන් උඩට පාවී එන්නේය.  මොන ඇදුම මැද්දත් කමිසයක් නම් කොලරය පිටුපසද, කලිසමක් නම් ඉනපටිය පිටුපසද එකවරක් මැද බලන්නට ඕනෑය. සමහර වර්ණ මෙන්ම බාල රෙදි නැත්නම් පිච්චෙන්නේය. දුමින්දගේ තාත්තා ප්ලීට්ස් තබා නැති කලිසම් වල නීට් එකට ඉර තබා මැද්දේ නැත. දැන් අවුරුදු තිහකටත් පසුව මගේ කලිසම් වල මම ප්ලීට්ස් නැති නිසා ඉර තියන්නේ නැත. එහෙත් ලංකාවේ පමනක් නොව කොයි ලෝකයේත් මගේ කලිසම් ලොන්ඩරියෙන් එන විට අර ඉර ''තිතට'' මැද එවන්නේය.
ඒ කලාවට මං ආසා කලේ ඒ නිසාවෙනි. එහෙත් දුමින්දගේ තාත්තා අර ඉස්ත්‍රික්ක රාජයා නිවුනු පසු ඇදුම් මදින කලාව කියා දුන්නේ හිනාවෙමිනි. ඒ මට අර ඉස්ත්‍රික්කේ උස්සා එහා මෙහා කරන්නට බැරි නිසාවෙනි. හාල්මැස්සෙකු මෙන් පරඩැල් මා පරදවා අර ඉස්ත්‍රික්කේ ජයගත්තේය.

මම මේ මැදිල්ල යන්තම් ඉගෙනගෙන එදා අතහැරියාට   පසු කලෙක ලොකු ප්‍රයෝජනයක් ගත්තෙමි. අදද   මගේ ඇදුම් මදින්නේ  මම පමණකි. අනෙක් සියලුම මැදිලි මගේ බිරිද කලත්, ගමනක් යන්නට ඕනෑ වූ විට ඇයත් කොල්ලන් තුන් දෙනාත් මගේ පස්සෙන් එන්නේ ඇදුම මැදගන්නටය. ඒ ඉරි.. ඒ වතුර ඉහිලි... ඒ නැවිලි... අදත් මම ප්‍රයෝජනයට ගනිමි. ඒ නිසාම වරෙක මා එංගලන්තයට රැගෙන යන්නට ලොකු වෙහෙසක් දැරූ සුදු යුවලගේ නම මතක නැතත් චාල්ස් කුමාරයාගේ ඇදුම් මැද්දා මතකය.

(චාල්ස් කුමාරයා මට මතක තිබෙන තැන් තුනක් තිබේ.  එකක් ඔහුගේ ඇද අයිනේ පැති මේසය උඩ ඔහුගේ අම්මා වූ මහ රැජිනගේත් තාත්තා වූ පිලිප් කුමාරයාගේත් පින්තූර රාමුවයි. අප බලාපොරොත්තු වූ පරිදි ඩයනාගේ හෝ කැමිලා පාකර්ගේ පින්තූර වෙනුවට ඔහු ඇදෙන් නැගිට්ටේ මහරැජිනගේ රූපය දකිමිනි. අපේ සිරිපාලටත් එංගලන්තේ චාල්ස් කුමාරයාටත් අම්මා මහාරැජිනක් බව මම එදා දැනගතිමි.  දෙවනුව 'කුමාරයා මඩ නෑ' ආකාරයයි. එය වෙනමම ලියන්නට තරම් ලොකු කතාවක් වුවත් ලංකාවේ නම් දෙකයි පනහේ දේසපාලකයන්ගේ පවා ඔලුව පීරන පනාවත් දෝතට ගන්නට තරම් නීච ඇම්බැට්ටයන් දැක ඇති මම එදා වෘත්තීය ගරුත්වය රැකෙන්නටත්, අනිකාගේ අපහසුතාව දකින්නට තරම් සමබර මනසක් ඇතිවත් රාජකාරි කල නිලධාරී මහත්වරුන් ගැන සිතා නොලියමි. තෙවැනුව, පරිවාර රථ දාසයක් පිරිවරා ගුවන්තොටුපලට යන්නට පිටත්වූ චාල්ස් කුමාරයා අපට ස්තූති කරන්නට බැරිවූ  බව මතක් වී රථපෙල යලි හරවාගෙන, මැදපෙරදිග රටක අගමැති කෙනෙකු ඇතුළු කුමාර කුමාරිකාවන් විස්සකට පමණ කන්නට දී පාන් කියාගන්නට බැරිව මේසයක් උඩ කකුල්වන වනා උන් ලංකාවේ උන් හතරදෙනෙකුටත්, විනෝද සාගරයක් බදු කේරලකාරයෙකුටත් අතට අත දී කුඩා සිහිවටනයක්ද දී ලොකු අය්යාට ''උඹ නං ඔමාර් ශෙරීෆ්' වාගේමැයි කියා විහිලුවක්ද කර පිටට තට්ටුවක්ද දමා යාමයි. )

එහෙත් එදා ජයලත් ලොන්ඩරි රගහලේ කුමාරයා වූයේ මමය. මන්ද ඒ ලොන්ඩරි කාමරය පසුකර ඊලගට තිබෙන නිදන කාමරය සෑම ඉරිදාම අපේ රගහල වන නිසාවෙනි. එහි එක ඇදක් පරණ වියන් ඇදක් විය. මේ වියන් ඇද වටා දුමින්දගේ අම්මාගේ සාරි එල්ලා රගහල තනන්නට එදාට දුමින්දගේ අක්කලා දෙන්නාද එකතු වෙති. එදාට අපට නිදහස වැඩිය. ඒ කාමරය පසුකර කුස්සියද පසුකර ගිය විට ඉරිදාපොලට මුහුණලාගෙන වැටෙන තහඩු වහලය සහිත කුඩා මඩුවේ දුමින්දලාගේ අම්මා තාත්තා හාල් විකිණීමේ අමතර ව්‍යාපාරයක් ඉරිදාට පමණක් කලේය. ඒ නිසා අම්මා තාත්තා හවස්වනතුරු ගෙට එන්නේ නැත. දුමින්දගේ අම්මා දවල් බත් කා කකුල් කෙඩෙත්තුව නිසා අපේ රගහල ඉදිරිපිට බිම වාඩිවී 'එහෙනන් පෙන්නපල්ලකො මටත් උඹලගේ නාට්ටිය '' කියන සැනින් ගොරවමින් නින්දකට වැටෙයි. ගෙරවිල්ලට හිනාවෙමින් නාට්‍ය රගපාන්නෙමු. ඒ විනාඩි දහයකටය. ඉන්පස්සේ හදිසියේ අවදිවන ඇය. ''අර මනුස්සයා තනියෙන් ..බොලා මාව නැගිට්ටුවේ නැත්තේ ඇයි'' කියා දුවන්නේය. පිටපතක් නැතත් නාට්‍ය එකදිගට ගලා යයි. ඒ ඇද උඩ රගහලේ වෙන ඕනෑම දෙයක් අපේ නාට්‍යයයේ කොටසක් වන්නේ නිතැතිනි. දුමින්දගේ නහය හෑරිල්ලද..මගේ සදාතනික බඩගින්නද..දුමින්දගේ ලොකු අක්කාගේ ඉක්මන් කේන්තියද අපේ නාට්‍යයයේ කොටස් වෙති. කුමාරයා ලී කඩු වනමින් කොට කලිසමේ කිනිසි හිරකරගනිමින් රගති.  දුෂ්ටයා දුමින්දගේ අය්යාය. ඒ දුෂ්ටයා 'තොපේ මලකරදරේ මට නිදාගන්ඩත් නෑ..' කියමින් හාල් කන්ද සමග හැප්පෙන අම්මාට කේලම් කියති. දුමින්දගේ අම්මා හාල් සේරුවක් මැන ගණුදෙනුකාරයාගේ මල්ලට  හලන ගමන් එහා කොනේ අපට කෑ ගසති. ''ඔන්න ඔය කොල්ලට ගෙදර යන්ද කියපන් ..දැන් ඇති ඔය මගුල..''

මට හිත රිදෙන බව දන්නා නිසා ලොකු අක්කා සහ දෙවැනියා නාට්‍ය පිටපත වෙනස් කරති.  ඒ අනුව එය ගොළු රගහලකි. කටින් කියන්නට ඕනෑ දේ අතින් පයින් කියන්නට වීම එක අතකට ලොකු අභ්‍යාසයකි.  සමහර දාට දුමින්දගේ අම්මා පැමිණ මා එලවා දමන්නේය. මම අඩ අඩා දුවන්නේ හිතේ අමාරුවටය. එහෙත් දවල් වන විට දුමින්ද මා සොයා එන්නේය. ' අම්මා උඹව බත් කන්න එක්ක එන්න කිව්වා..'

කෑමත් ලැජ්ජාවත් අතර මගේ සම්බන්ධයක් නැත.

ඉතින් මම දුමින්දයාගේ පස්සේ වැටී රතු හාල් සමග අලි බත් පිගානක් ගිල හාල් වෙලදාම ඉවර වන තුරු සිට ගෙදර එන්නෙමි. ඒ මතකයන් කොයිතරම් සුන්දරද..අදත් මට ඒ ගේදොර සිතෙන් මවාගත හැක. ඒ වටපිටාවේ ජීවත්විය හැකිය. ඒ බැනුම් ඇසිය හැකිය. අර බෙලෙක් බත්පිගානේ රතුහාල් බත්ගෙඩිය ගිලින්නට හැකිය. එහෙත් ඒ සියල්ල පසුකොට මා සෑහෙන දුරක් පැමිණ ඇත. එදා මට හමුවූ  මේ අහිංසක මිනිසුන් සමග සසදන විට අද හමුවෙන කපටින් දුෂ්ටයන් සහ මුල අමතක වුන් අහසට පොලොව මෙනි.

එහෙත් ජීවීතය එයමය. නතර නොවී ගලා යන්නට දිය යුතුය. මමද නතර නොවෙන්නෙක්මි. ඉදහිට අපූර්ව වෙස්මුහුණු පළදාගත් කපටින් සමග නතරවුවද නතර නොවෙන්නෙක්මි.

ඒ නතර නොවීමෙන් මට රගපෑමේ උණක් හැදුනේය. ඒ උණ හොදකරගන්නට ඉස්කෝලේ යන ගමන් සෙනසුරාදා දවස්වල බෞද්ධාලෝක මාවතේ සරණ පාරේ ෆිලීක්ස් ප්‍රෙමවර්ධනගේ ජාතික කතෝලික මණ්ඩලයේ නාට්‍ය හා රංගකලා පාඨමාලාවක් හැදෑරුවෙමි. එය නොමිලයේමය. එකල ෆිලීක්ස්ට කොහෙන් හෝ මුදල් ලැබෙමින් තිබුණේය. අපට එකල මාධ්‍ය ලෝකයේ රංග කලාවේ පතාකයෝ පැමිණ ඉගැන්වූයේය. නිහාල් සිල්වා සමග පාලිත ආවේ පොඩි ගැට කොල්ලෙකු ලෙසය. සුනිල් අය්යා  (සුනිල් මාධව ) කල දේශන වලට අපි කුඩු ගැහුවා සේ ආශක්තව සිටියෙමු. සුනිල් අය්යා සම්ප්‍රදායක ලෙස මේසය පිටුපස පුටුවේ ඉදගන්නේ නැතිව මේසය උඩ ඉදගෙන අපට වරෙක හිමින් මුමුණමින්ද වරෙක කේන්තියෙන් කාටදෝ බනිමින්ද ලෝකය ගෙන අප පාමුළ දිග හැරියේය. සෑම පත්තරයකම වගේ කතෘවරුන් පැමිණ දේශන කලේය. මගේ මතකය නිවැරදි නම් සිංහ රත්නතුංග සමග වූ දේශනය විවාදයකට ගොස් කාලගෝට්ටියක් විය. පසුකලෙක සිංහ මට තැන් දෙක තුනකදීම හමුවිය. ඔහුව හිරේ දැමූ දවසේ මගේ ලොකු පුතා උපන්නේය. මතක අලුත් වන්නට ඒ ඉපදීම අඩිතාලමක් විය.
එක දවසක අප වැඩමුළුවට යන විට විදුලිය තිබ්බේ නැත. ජෙනරේටරයක් ගෙන්වාගත් ෆිලීක්ස් සර් ''අද හොදම දවස'' කියා වීඩියෝ කැසට් යන්ත්‍රයක් හා ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් 'කළුවරේ ජරමරේ ' පෙන්නුවේය. පහුවෙනිදා අපි යනවිට කොල්ලන් රහස එලිකරගෙන සිටියෝය. ෆිලීක්ස් සර් පහුගිය අවුරුදු කීපයේම ලයිට් යවා ඇත්තේ හරියටම 'කළුවරේ ජරමරේ ' පෙන්නන්නටය. ඒ අපි නාට්‍ය පටන් ගන්නට පෙර ලයිට් නැතිවීමේ ජරමරය ගැන හිත හදාගන්නා නිසාය.

ඒ කාලයේ මාත් සමග ගිය එවුන් පවා මට මතක නැතත්, ගියා කියා මතක එකෙකුගෙන් ඇසූ විට '' ඇයි බං අපි ගියේ බිස්කට් කාලා තේ බීලා එන්ඩනේ..'' කීය. දේශකයනට සිගරට් සමග තේ ලැබෙන විට අපට ඕනෑතරම් බිස්කට් සමග තේ දුන්නා මට මතක් වුනේ එවිටය.

කෙසේ වෙතත් මේ රගපෑමේ හැකියාව නිසා මම මා ලගින්ම ඇසුරු කරන අයටත්, මට ආදරය කරන අයටත්, මා ආදරය කරන අයටත් මගේ බැනුම්- කේන්තිය සහ වුවමනාවෙන් කරන මගහැරීම් ''මගේ සැබෑ හැටි'' කියා සිතාගන්නා ලෙස කියා ඇත්තෙමි. මම රගන්නට දක්ෂයෙකු නිසා ''සුකුමාර- සීතල- ඉතා හොද..'' මගේ සැබෑ සැටි ලෙස නොගන්නා ලෙස අවවාද කර ඇත්තෙමි. ''උඹලාට ඕනෑ නම් මට උඹලාට ඕනෑ විදියටම රගන්නට ලොකු හැකියාවක් ඇති බව''  මම කියා ඇත්තෙමි.

ඒ නිසා මට ආදරේ නම් මට ''රඟන්නට ඉඩ නොදෙන ලෙස'' මා අදද කියමි.