Tuesday, April 11, 2017

මමත් ජනපති කෙනෙකි...74


අපි ඉරිදාපොලේ සෙල්ලම් කරන විටත් ගස් නගින විටත් පොලේ වැට අයිනේම ගෙදර ගෑණු ළමයින් දෙන්නා බලා සිටියේය. අක්කා නගෝ දෙන්නා අප කරන කියන හැම වැඩක් දෙසම බලා හිනාවී හෝ තරහා වී හෝ බලා සිටියා මිස වචනයකදු දෙඩුවේ නැත. එහෙත් ඒ දෙන්නා අප එකිනෙකා පෙන්වමින් මොන මොනවදෝ කුටු කුටු ගෑවේය. එහෙත් ඒ එකක්වත් අපට තෙරුණේ නැත..

හේතුව සරලය...

ඒදෙන්නා කතා කලේඉංග්‍රීසියෙනි.

ඉතින් අපි නොතේරෙන මංගල්ලෙට ගොස් වරිගේ නහගන්නා ජාතියේ වැඩ  කොට ඒගොල්ලන්ගේ හිනා වී කියන කතා වලට පෙරළා හිනා වුනෙමු. එවිට ඔවුන් දෙන්නා අත් අල්ලාගෙන බක බක ගා හිනාවුනු තැන් ඕනෑ තරම් විය. මම පහුකලෙක මගේ හොදම මිතුරිය බවට පත්වුණු ඒ දෙන්නාගෙන් බාලයාගෙන් උත්තරය ලදිමි.
''අක්කා හිනාවෙන්ඩ තමයි ඔයාලට එක එක ඒවා කියන්නේ...ඒත් ඔයලත් ඒකට ඔව් කියනවා වගේ හිනාවෙනකොට අපිට ඉතින් හිනාකාලා මැරෙනෙවා.''.

 ඒ ගෙදර ගෑනු ලමයින් දෙන්නා ඉස්කෝලේ ගියේ කොළඹ කන්‍යාරමයකටය. ඒ ගෙදර අය නුවර පැත්තේ බවත්, තාත්තා හදිසියේ මියගිය පසු කොළඹ ආ බවත් අප වැඩිහිටියන්ගේ කතා වළින් දැන සිටියෙමු.  මා පසුකලෙක  ඒ ගෙදර යාවජීව සාමාජිකයෙකු වූ කල, ඒ තාත්තාගේ කළුසුදු ඡායාරූපයක් දිටිමි. මැද සාලයේ රූපවාහිනිය තිබූ තැනට ඉහලින් එල්ලා තිබූ රාමු කල පින්තූරයට උඩින් සුදු ප්ලාස්ටික් මල් මාලයක් දමා තිබ්බාද මට මතකය. කුඩා කාලයේ නොවුනත් පියෙකු අහිමිවීම දරුවන් කෙරෙහි බලපා තිබූ අසරණකම කෙතරම්දැයි මට අද දැනේ.
එදා මම අපේ තාත්තාගේ බීමත්කම ගැන වචනයක් හෝ පිට කල සැනින් ඒ ළමයින් දෙන්නාම කීවේ . ''ඔයාට අඩුම තරමේ කෑගහන්න හරි, බයින්න හරි  තාත්තා කෙනෙකු ඉන්නවානේ..'' කියාය. ඒ ස්වරයේ දුක සහිත හැගීම මට එදා තේරුණේ නැතත් අද දැනෙයි. විශේෂයෙන් ගැහැණු දරුවෙකුට පියෙකුගේ අඩුපාඩුව දැනීමේ ලොකු වේදනාත්මක පැත්තක් ඇතැයි මම අත්දැකීමෙන් දන්නා අය සිටිති. ඔවුන් වේදනාව පිටකරගන්නට විදින දහසකුත් දුක්බර හැගීම් මම අද දනිමි. එහෙත් එදා කාලය ඒ මාතෘකාව පිටමං කරමින් අමතක කරමින් ඇදී ගියේ මා ඒ ගෙදර පිරිමි දරුවෙකුගේ අඩුවවත් පුරවමිනි.

මුළින් වැටෙන් බලා සිටියාට අප හා කතාබහට නොආ ඔවුන් දෙදෙනා අම්මාගේ එක කෑගැසීමකින් ගෙදර දිව්වේ ඉතා හදිසියෙනි. පොලේ සෙල්ලම් කරන අපට නම් අම්මලා දහ දොලොස් වතාවක් කතා කරන තුරු ගෙදර යාමක් නොවුණු ඒ කාලයේ මේ ලමයින් දෙදෙනා එක වචනයෙන් ගෙදර දුවන හැටි අපට පුදුමයක් විය.
කෙසේ හෝ ටිකෙන් ටික මුලින් ගොළු බාෂාවෙන්ද පසුව හිනාවෙන් හා අත වැනීමෙන්ද අවසානයේ හත් අට වතාවක් ට්‍රයිකොට බෝලය ඒළමයින්ගේ වත්තට යැවීමෙන්ද ඒ ලමයින් දෙන්න අපේ බෝලයට අහුවී යාළු විය. එහෙත් යාළු කම හොද මිත්‍රකමක් වී අපි දෙල්කදින් එනතුරු පැවැතුනේ මගේ පමණි. හේතුව මගේ ඉවසීම මෙන්ම රස්තියාදුවද, දන්නා නොදන්නා හොද නරකසැම සමග ආශ්‍රයද මෙන්ම තොරතෝංචියක් නැතිව අහුවෙන හැම කඩදාසි කැබල්ලක්ම කියවීමද විය. ඒ අනුව මගේ ජීවීතයේ කොහේ හෝ තැනක වැදගත් වන යමක් තිබිණි. කියවීමෙන් ලද දැනුම තිබිණි. චිත්‍ර අදින්නට කවි ලියන්නට පුලුවන් පොඩි පහේ හැකියාවක් තිබිණි. මම ඒ දැනීම ඔවුනට බෙදා දුන්නෙමි. ඔවුන් මට ඉතා ඕනෑකමින් මට අඩුව තිබූ ඉන්ග්‍රීසිය බෙදා දුන්නෝය. මම ඒ ඉන්ග්‍රීසිය පුදුම ලෝබ කමකින් බෙදා ගත්තෙමි. විටෙක ඔවුනට මගේ 'මොට කඩුව' එපා වී හිනාවෙන්නටත් බැරිව කටවල් අතින් වසාගෙන සිනාසෙන විටත් මම කඩුව අත නොහැරියෙමි. ඒ බෙදිල්ල මට පසු කලෙක බොහෝ ප්‍රයෝජනවත් විය. ටික දවසක් ගතවන විට ඒ දෙන්නාට මාවද මට ඒ දෙන්නාවද නැතිව බැරිවිය. එහෙත් එකම පන්තිවල උගෙනමින් සිටි බාලයා හා මා අතර මිතුදම සමීප එකක් විය.
මම දවසෙන් වැඩි කාලයක් මේ ගෙදර ගත කලෙමි. ඔවුන්ගේ අම්මා නුවර කෙනෙකු නිසා පෙනුමෙන් ආඩම්බර ගතියක් තිබුණත් මගේ යාලුවන් නපුරු කුඩම්මා ලෙස නම් පට බැද තිබුණත් ඉතා ඉක්මනින් තෙත්වන හදවතක් තිබුනේය. වරෙක වාර විභාගයකදී මගේ මිතුරිය අඩුවෙන් ලකුණු ගත් විට මා ගේට්ටුව ලගදීම එලවා දැමූ ඒ අම්මා නැවැත එහි නො එන ලෙස කීවාය. තදින් බිදුණු හිතක් ඇතිව  හයිලෙවල් පාරත් පැන අපේ ගෙට ඇතුල්වන කොන්ක්‍රීට් ලෑලි පාලම පනිද්දී කවුදෝ මගේ අතින් අල්ලාගත්තේය. මම කදුළු වැටෙන මූණ හරවා බලද්දී ඒ ඇගේ අම්මාය. ඈ කිසිත් නොකියා මා අල්ලාගෙන ආපසු එක්කාගෙන ගියාය. ඒ ගමනේදී කිසිත් නොකී ඇය ඒ ගෙදරදී ''මට කෙන්ති ගියා පුතේ ..''කීවේය. ඒ කේන්තිය සාධාරණය. විභාග වල ලකුණු අඩු වෙද්දී දෙමාපියනට කේන්ති යාම මා ඕනැතරම් දැක ඇත්තෙමි. එය අම්මලා මහන්සිවෙන තරම දන්නා මට නම් ලොකු දෙයක් නොවේ.

කෙසේ වුව එදත් කවදත් මට ඒ ගෙදරින් සැලකිලි තිබ්බේ මගේ අසරණ කමට නම් නොවේ. මගේ දැනීමේ තරමට බව මම සිතමි. ඒ දැනීම ආවේ රස්තියාදුවෙනි, පාරවල් ගානේ ඇවිදිමෙනි, පොඩි එවුන් හට අකැප දේ දැකීමෙනි, කුණු බරට විසී කරන පොත් පත්තර කියවීමෙනි. ලොකු අම්මාගේ දියණියගේ මිහිර කියවීමෙනි. අටේ කණුවේ මහප්පාගේ ඉංග්‍රීසී පත්තරය කියවීමෙනි. ඒ නිසා මා කටපුරා ලොකු අක්කේ කී මගේ මිතුරියගේ අක්කාගේත් මගේ මිතුරියගේත් දහසක් ප්‍රශ්ණ හා විචිකිච්චා වලට උත්තර ලැබුණේ මගෙනි. ඒ නිසා මා ආශ්‍රයකල යුතු හොද ලමයෙකු සේ ඔවුන් මට සැලකුවේය.

 වරෙක ඇගේ පාසලේ යම්කිසි උවමනාවක් සදහා එක ප්‍රමාණයට කපන ලද කඩදාසි තොගයක් වුවමනා වී ඇගේ අම්මාත් පුන්චි අම්මාත් එකතු වී දහ අතේ කල්පනා කල බව මට ඈ කීවාය. ඒ වෙලාවේ මට කීවානම් මොකක් හෝ පිළිතුරක් ලැබෙයි කියා ඈ ඇගේ අම්මාට කිවූ විට මා පොඩි කොල්ලෙකු නිසා මොනවා දන්නවාදැයි අම්මා කිවූ බව ඈ මට දුකෙන් කීවාය. මම ඒ කොල කැබැල්ලත් තිබේ නම් අම්මාගෙන් යම් මුදලකුත් රැගෙන එන ලෙස කියා යැව්වෙමි. අම්මා ඈ විස්වාස නොකලත්..මා කෙරෙහි වූ ඇගේ දඩබ්බර විස්වාසය නිසා එවා තිබුනාය. මම ඇයත් සමග හනි හනික පොල පිටුපස්සේ පරන පාරෙන් දෙල්කදට විත් හරස් පාරෙන් පැන ඇල උඩ පාලම පසුකොට ''වික්‍රමාරච්චි ඇස් කණ්නාඩිය'' පසු කොට මුද්‍රණාල වලින් ඉවත දමන කොල එකතුකරන දෙමළ මනුස්සයාගේ කඩයට ගියෙමි.

ඒ යනවිටත් එකල දැන තරම් ජනාකීර්ණ නැති වාහනත් අඩු තැන්වල පවා පාර පනිද්දී ඇගේ අත අල්ලාගෙන සිටියෙමි. මා අත අල්ලාගන්නට ලැජ්ජාවුනු තැන්හී ඈ මගේ අත අල්ලාගත්තාය.  අපි මේ අත් ඇල්ලීමේ ප්‍රීතියෙන් කොල කඩේට වැද ඕනෑකරන ප්‍රමාණයෙන් කොල තොගයක්ම මිලදී ගත්තෙමු. ඒ සදහා ගිය වියදම ඇගේ අම්මා පසුව 'අදහාගන්නටත් බැරි' තරම් බව කීවාය. ඒ තොගයම ඒ කොල කඩේ කොල්ලා අර ගිලටිනයේ තබා 'සයිස්' කර දුන්නේ හිනාවෙමිනි. අපේ හිනාව ඔහුගේ ගාස්තුව විය. ඒ අතරේත් මා වීරයා සේ අර කොල ලොකු හතරැස් යකඩ පෙට්ටියකට බහා යකඩ මෝලකින් කොටන අයුරු ඇයට පෙන්වා විස්තර කලෙමි. කොල හොණ්ඩරයක්වත් පමණ  ඒ අඩි දෙකයි දෙකේ කොටුවේ නොපෙනී යන හැටි,  ඈ කෙසේ වෙතත් මම නම් සියවන වතාවටත් බලා සිටියෙමි. අප දෙන්නා එන අතරේ ඉතුරු මුදල් වලින් ටොෆි වර්ගයක් කෑවා මට මතකය. ඒ සමග කුඩා එකතු කරන   වීරයන්, ක්‍රීඩකයන් හා විවිධ ස්ථාන වල කාඩ්බෝඩ් පින්තූර ලැබුණාද මට මතකය. එදා කොල තොගයම මටත් නොදී දෑතින්ම බදාගෙන ආ ඇයව මට තාම මතකය. ඊටත් වඩා ඇගේ අම්මා ඉදිරිපිට මා වීරයෙකු කිරීම සදහා ' අම්මලා කොල ගෙනල්ල කප කප හිටියනම් මට ලබන අවුරුද්දේ තමා...' කියූ හැටි මතකය.

නවවන ශ්‍රේණියට එන්නට කලින් එකල මම උදේ වරුව ඉස්කෝලේද, හවස්වරුව පොල පිට්ටනියේද, රෑ වනතුරු ඒ ගෙදරද  කාලය කෑවෙමි. ඒ රෑ ගතවුනේ ටී වී බලන්නටය. ඇගේ අම්මා අපට රූපවාහිනිය බලන්නට කාලයක් වෙන්කර තිබුණාය. ඒ වෙලාවේ 'නයිට් රයිඩර්' ටෙලි මාලාවද, පොලිස් යතුරුපැදි තිබුණු Supercop හෝ එවැනි නමක් තිබුණු ටෙලි මාලාවක් නැරඹුවෙමි. විබාග දාට අක්කාට සහ ඇයට හිමි නොවුණු නයිට් රයිඩර් බලන්නට මට අවස්ථාව හිමිව තිබිණි. ඒ මම ඉස්කෝලේ ඇරී අවුත් පාඩම් කලෙමි.. කියන පතාක නාගරාජයා ඒ අම්මා ලග අතහැරීමෙනි. මා නයිට් රයිඩර් ඔය තරම් ආසාවෙන් බැලුවේ මට ඕනෑ නිසා නොවේ. ඒ පහුවෙනිදා  ඈ මගෙන් ඒ සතියේ කතාව සම්පූර්‍ණයෙන් අහන නිසාවෙනි. මගේ කතාවට සංගීතය තිබේ..ඇක්ෂන් තිබේ...ඒ අස්සේ තේරුම් ගැනීමට බැරිවූ තැන්වලට මගේම කොටස් බද්ද කර තිබේ. ඒ ගෙදර ලොකු පෝටිකෝවේ වේවැල් පුටු මත ඉදගෙන පොඩි මල්ගවුමේ වාටිය අල්ලාගෙන මගේ ඇක්ෂන් සහ සංගීතය පිරුණු කතා ඈ අසා සිටියා මට තාම මතකය. නයිට් ර‍යිඩර් එනවිට ඇහෙන සංගීතය මගේ කටෙන් පිටවන්නේ ඒ හුරුවෙනි. මයිකල් දුෂ්ටයාගේ මූණ පුරා ගහන පාරක් ගානේ ඩිම්..ඩිෂුම් ටෑංං ගාන්නේ කතාව සජීවී වෙන්නටය. අවසානයේ කතාව ඉවරයක් වීගෙන එන විට මගේ රසිකයා නැගිටින්නට සූදානම් වන විට මට දුක හිතෙයි. ඊලග සතියේත් ඇගේ අම්මාට කේන්ති ගොස් ටී වී බලන්නට නොදෙන්නේ නම් කියා කුපාඩි පහේ කල්පනාවක් එයි. එහෙත් ඒ සැමදා සැබෑවන හීන නොවේ.

 ඒ හීන වුව.. ඒ මතකයන් නැවැත එන්නේ නැත. මා ඈට පමණක් ලියා දුන් කෙටිකතාවක් සම්පූර්ණයෙන්ම දුප්පත් දරුවෙකු ලොකු වී රටේ ජනපතිවරයා වී කුඩා කල මේ ජනපතිවරයාට උදව් කල අයට ඇමැතිකම් දෙන හැටි පිළිබද විය. ඒ කතාව කියවූ ඇය ඇයට අගමැතිකම ඉල්ලුවාය. ''එතකොට මට ඔයාගේ ලගම ඉදන් වැඩ ඔක්කොම කරලා දෙන්නට පුළුවන් '' කීවාය. මේ කතාපොත ඇගේ අක්කාද දැක තව ලියන්නට කියා ඇයට අධ්‍යාපන ඇමතිකම දෙන ලෙස ඉල්ලුවාය. ඇගේ ඉස්කෝලේ ගුරුවරු දෙදෙනෙක් ලංකාවෙන්ම පිට ඉස්කෝලෙකට පලවාහරින්නට ඕනෑ බව කීවාය. ඉන්පසු ඒ කතාව කවුරුන් හෝ දැක්කේ නැත.

මේ වන් විකාර කතා සැබෑ වී ඇති බව දැන් ලංකාවේ හෝ වෙන කොහේ හෝ හොද ජීවිත ගත කරන ඔවුන් දකිනවා ඇත. ඔවුනට මා මතක් වෙනවා ඇතැයි මම නිතර සිතමි. ඔවුන් මට දෙල්කදින් ගොස් වැඩිකාලයක් යන්නට පෙර අහිමි විය. ඒ ගෙදර ඔවුන්ගේ කුලී ගෙයක් වීමෙනි. ඔවුන් අප දෙල්කදින් ගිය පසු වෙන කොහේ හෝ කුලී ගෙයකට පදිංචියට යන්නට ගොස් ඇත. 
ඈ මට බෙහෙවින් හිතෛශී වූවාය. මගේ පොත්වල අඩුපාඩු පිරවූවාය. මා සාමාන්‍යපෙල විභාගයට කලින් දෙල්කදින් යන්නට පෙර ඇගේ පිහිටෙන් හොද ලකුණු ගනිමින් සිටියෙමි. මට බැරිම විෂයයන් වූ ගණිතය හා විද්‍යාව ඈ මට කියාදුන්නාය. ඇගේ අම්මා අප තුන්දෙනාටම කුඩා මේස තුනක් සාදවා ඒ ගෙයි වටේටම තිබුණු කොරිඩොවේ පහසුකම් සැලසුවාය. පාඩම් කරන වෙලාවට තේ සදා බිස්කට් සමග ගෙනවිත් දුන්නාය. මගේ මිතුරිය අක්කාට හොරෙන් මගේ කවකටු පෙට්ටියේ අර බිස්කට් සැගවූවාය.  මගේ ජීවීතයේ මට එසේ ආදරය කල අය හමුව ඇත්තේ අල්පයක් පමණය. එහෙත් කිසිදිනෙක මට ඒ ආදරයන් මට සමීප ලෙස හමුවුනේ නැත. කොහේදෝ සිට ආ සුලං රොදක් සේ ඒවා මා සිහිල් කොට හමා ගොස් අතුරුදන් වූයේය. මා දෙලකදින්යන බව පැවසූ දා ඈ මා තදින් බදාගෙන කදුළු පෙරමින් ඇඩුවාය.වැඩි වෙලාවක් එසේ ඉන්නට බැරි බව දැන මගේ කනට කොට 'ඉක්මනින් ජනාධිපති වෙනවා නේදැයි...' ඇසුවාය. මම ඔලුව වැනුවෙමි.
ඈ හිනාවී ' නැත්නම් මට වෙන ජනාධිපති කෙනෙක් හම්බවෙයි ..'කීවාය.

ඒ ඉන් දශක කිහිපයකට පසු මා අත්විදි ආදරය හෝ ප්‍රේමය නම් සරුව පිත්තල බොරුව නොවේ.. එය අපගේ මිතුරුදමේ බැදීමයි. අවංකව ලෙන්ගතු වීමේ හැගීමයි.

මගේ ජීවීතයට සමීප කිසිවෙකු.. කිසිදෙයක්...සිදුවීමක් අමතකව යන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒවා මගේ හිතේ පුදුමාකාර බැදිමකින් තැන්පත්ව ඇත්තේය. සමහර දේ ඉතාම නොවටිනා ඉතාම කෙටි සරල සිදුවීමක් වන්නට පුළුවන එහෙත් ඒවා මගේ මතක ගබඩාවේ තැන්පත්ව තිබේ. එහෙත් ඒ සමහර සිදුවීම් අසාමාන්‍ය ලෙස වේදනාකාරීය. මතකයට නැගෙන නැගෙන වාරයක් පාසා මා ඒ මොහොත ගත නොකලානම් කියා සිතෙන්නේය.

මගේ ජීවීතයේ මා තේරුම් ගත් එක දෙයක් නම් මේ කිසිවක් මට බලෙන් අමතක කරන්නට බැරි බවයි. ඒ නිසා මා දැන් අමතක කරන්නට උත්සාහ කරන බොහෝ දේ ..අමිහිරි මතක..අමිහිරි මිනිසුන් හා ගැහැනු පිළිබද මතක් කරමින් සිටිමි. ඔවුනට මා මතක් වේ යැයි සිතමින් සිටිමි. අය අපූර්ව අභ්‍යාසයකි. මා මතක් කරමින් එකේන් එක පැටලුම් සහිත මිනිසුන් ගැහැණුන් ලෙහා දමමි. එවිට මට ඉතිරිවන මගේ මතකයේ තබාගත යුතු දේ තවත් ගුලිකොට හදවත සමීපයේ තබමි. (එසේ ගුලිකොට තබාගන්නා චරිතයක් බවට  කන්‍යාරාමයේ යෙහෙළිය පත්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. )

එය අමතක කරන්නට උත්සාහ කරමින් දුක්විදිනවාට වඩා ලෙහෙසිය...සරලය...
ජනපති කෙනෙක් වනවාට වඩානම් අමාරුය...