Wednesday, March 22, 2017

හොරකම් කොට තැනූ ශිෂ්ටාචාරය71



මා සොරකම් කර ඇති සමහර දේ බලන විට මට ලොකු දුකක් දැනෙන්නේය. ඒ දුක ඒ සමහර සොරකම් කිසිවෙකු ''අල්ලාගත්තේ '' නැති එකය. මා අල්ලාගත්තේ නෑ කීවේ මගේ සොරකම් දැක මා අල්ලා ගස්බැද ගුටිදී මා හොරෙකු කිරීම ගැන නොවේ. මගේ සොරකම් වලින් මගේ මග සොයාදෙන්නට කිසිවෙකු සමත් නොවූ නිසාවෙනි. එක අතකට එහෙම හිතීම අභව්‍ය කාරනයක් වන්නටත් පුලුවන. කෙසේ වුව මගේ සොරකම් මගේ ළමා කාලයේ මගේ සිහින ලෝකයේ එසේත් නැත්නම් මගේ  මනෝමන්දිරවලම ඉපද බිහිවෙමින් යලි සදාතනිකව නැතිවී ගියේය. එහෙම මනෝමන්දිර සැබෑවටම තැනූ තැනක් වූයේ අපේ ලොකු අම්මාගේ ගෙයි මිදුලය.

මෝටර් රංජි නොහොත් රංජි අය්යාගේ මල්ලී වූ විල්සන් කරුගේ මල්ලිගේ පෙනුම කෙනෙක් මෙන් පෙනුම තිබූ රත්නසිරි අය්යාට අයිතිවූ නිවස ලොකු අම්මාගේ  ගෙට අල්ලා තනි බිත්තියකින් වෙන්කර තිබූ අතර ඉදිරිපස මිදුල වෙන්ව තිබුනේ ජම්ඹු ගහකින් හා ලොකු බෝගන්විලා පදුරු කිහිපයකිනි. අපේ වත්තේ එක පැත්තක තිබූ දැවැන්ත යාපනේ බට් අඹ ගස මුළු මිදුලම වසා සෙවන දුන්නේ අපේ හිතවත් නෑ කෙනෙකු මෙනි.
රැයද දවාලද පායන කාලේද මහ ධාරානිපාත වැස්සේද මේ ''නෑ අඹගහ''  මල් පිපි එක පොකුරක ගෙඩි විස්සක් තිහක් හැදී ගැට අඹ වල නැට්ට පැත්ත රෝස පාට වී දිලෙන විට ඉදුණු අඹ වලින් ආ සුවද මා පමණක් නොව බාප්පාවද ගහේ කරටියටම නැග්ගුවේය. මා නැග්ගේ ගහේ ඉහල අත්තක සිට රස අඹයක් කා අතද ලෙවකා බහින්නට වුව බාප්පා නැන්ගේ අඹ වලු අල්ලා පෝරමළු බදින්නටය. එවිට ලේනුන්, වවුලන්ගෙන් බේරාගතහැකි මෙන්ම ඇස්වහ කටවහ වලින්ද බේරෙන්නේ යැයි මාත් සමගම උනන්දු වී ගස් නැග පෝර මළු එල්ලන බාප්පා කීවේය. එහෙත් බාප්පා දැන නොසිටි කාරනය නම් බාප්පා නැතිවෙලාවට අවේලාවේ ගස් නගින කොල්ලෙකු අර පෝර මළු ලෙහා හොදම ගෙඩි කඩාගන්නා බවයි.  එහෙත් කොල්ලා දැන සිටි කාරනය නම් ගෙඩි කඩන දවසට පැත්ත පලාතක නොසිටින්නට වග බලාගත යුතු බවයි. කෙසේ වුව ගහ බාල වී,  හැදෙන ගෙඩි පොඩිවීමටත්, ගෙඩි දහයක් පහොලවක් එකතුකොට බැද දමන පෝර බෑගයේ ගෙඩි අටක් දහයක් ඉතිරිවන්නේත්, වෙනදාට දහයක් හැදෙන පොකුරේ පහ හයක් තියෙන්නේ ඇයිදැයිවත් බාප්පා කොල්ලාටගෙන් ඇහුවේවත්, කොල්ලා බාප්පාට කීවේවත් නැත. කොල්ලා නොකීමට හේතුව බාප්පා කට අරින්නේ කුණුහරුපයක් සමග නිසාවෙනි.

එහෙත් බාප්පා දිනක මගෙන් එක ප්‍රශ්නයක් ඇසුවේය. ඒ ''ගෙයි මිදුලේ සොහොන් වලවල් හාරන්න උඹට මොලේ අමාරුවක්දැයි..'' කියාය. එයට හේතුව එකල අපට ඉගැන්වූ   පැරණි ජනාවාස හා ශිෂ්ටාචාර පිළිබද පාඩමයි. ඉතිහාසය කියවීමට මගේ තිබූ තදබල ආසාව මතින් නැගුනු නව ශිෂ්ටාචාරයක නටඹුන් සහිත 'මොඩල් ශිෂ්ටාචාරයක්' මමත් අපේ මිදුලේ හදා තිබීමයි. අපේ ඉඩම ලොකු බෑවුමක් මෙන් පිහිටා තිබීම නිසා සෝදාගෙන ආ වැල්ලෙන් මිදුලම පිරී තිබුනෙන් පස් හා වැලි මිශ්‍ර බිමේ හැරීම, කැනීම, තැනීම ඉතා පහසු විය. ඊටත් අමතරව බෝගන්විලා පදුරු මගේ ශිෂ්ටාචාරය අනුන්ගේ ඇස්වලින් හංගාගත්තේය. මම ඒ අස්සේ බිම දිගාවී මට හැරෙන්නට පෙරෙලෙන්නට ඉඩ හදාගෙන මේස හැදි,මේසන් හැදි කියත්පටි ලී පටි යොදාගෙන නව ශිෂ්ටාචාරය ගොඩනැංගුවෙමි.

(ඒ අතරේ ''පෝතක බාලදක්ෂ ගෙවතු වගා පදක්කම'' සදහා අපට තම තමන්ගේ ගෙවතුවල කුඩා පැල තවානක් සාදා පෙන්වන්නට තිබිණ. මම ශිෂ්ටාචාරයට තබන ලද උනන්දුවෙන් දශමයක්වත් නොතියා පස් කන්දක් ගසා මිරිස් ඇට අහුරක් විසි කලෙමි. එහෙත් ඒ ඇට , පැල වී දළු ලන විට වතුර දමා රැකගතිමි.)

මගේ ශිෂ්ටාචාරය කොයිතරම් සූක්ෂමද කිවහොත් උඩින් බලන්නෙකුට හොදින් පෙනෙන පරිද වීදුරු කැබැලි යොදා තිබුණු අතර ජම්ඹු ගසට මුලට වතුර බල්දියක් හැලූ විට ගලා ආ ගංගාව මගේ ශිෂ්ටාචාරයේ කානු අස්සෙන් ගලා ගොස් දියපිරුණු පොකුණු පිරවූයේය.  ගලා එන ජලය අඩුම තරමේ පැයක්වත් රැදෙන්නට කැඩුණු පිගන් කබැලි ඇලවීම ඉතා පහසු වුවත්, ජෝරිස් අයියලාගේ ජනෙල් හදන්නට ගෙනා වීදුරු 'අතුරුදහන්' කරවීමට නම් පහසු නොවීය.
එක වරෙක ජනේලයට ගෙනා වීදුරු අඩුවී විජේරාමේ වීදුරු කඩයකට මාවත් නංගාගෙන බයිසිකල් පැද්ද ජෝරිස් ආනන්ද මට අදත් මතක් කල හැක. එදා ඒ වීදුරු කැබල්ල මට මගේ ශිෂ්ටාචාරයට ලොකු උදව්වක් වූවත් ජෝරිස් ආනන්ද අය්යාට මා කලේ 'මහ කැත වැඩක්' බව මට දැන් හිතේ. එහෙත් එකල මං දැන් තරම් හිත අමාරුකරගන්නේ නැති කෙනෙකු නිසා මට ඒ වගක් දැනුනේ නැත.

(අද නම් මම මගේ ගෙදර හදන කාලේ ඇවිත් ''ඕං මාත් උදව් වුනා ජනේලයක් හදන්න..'' කියා වීදුරු කෑල්ලක් අර හදන ජනෙල් පට්ටමට තියා හිනාවුනු මගේ යාලුවෙකුගේ වියෝවෙන් මම අදද තැවෙමි. අදත් මගේ ගෙදර ජනේලයක ඇති ඒ වීදුරුවේ මතක සටහනක් ලෙස එදා තැබූ අකුරු බොදවී නැතත් මගේ යාලුවා මගෙන් සදහටම බොදවී ගොස් ඇත්තේය. ඉතිරිව ඇත්තේ මේ වන් මතක පමණි.)

 මගේ ශිෂ්ටාචාරය ඉතා පැහැදිලි එකක් විය. එය නැරැඹූ එකම ප්‍රෙක්ෂකයා වූ ලොකු අම්මාගේ දුව මගේ පැහැදිළි කිරීම් පුදුමයෙන් බලා සිටියා මට අදද මතකය. ඇතුල් ගේට්ටු.. පිට ගේට්ටු.. වහලවල් නැති නිවෙස්වල කාමර.. කුස්සි පමණක් නොව කක්කුස්සි පවා මැටි හා වැලි බිත්ති වලින් වෙන්කොට පාරවල් දිගේ ලයිට් කනු පවා ඇද තිබුනෙය. ආනන්දසිරි අය්යාගේ අය්යා වූ ඉස්කෝල මහත්තයාගේ නොයෙකුත් වැඩ සදහා ගෙනවිත් තිබූ සර්කිට් බෝඩ් වල LED බල්බ කඩා සොරාගත් මම ඒ ලයිට් කණුවල සවිකර කුඩා බැටරි මගින් එළිය කලෙමි.
එහෙත් ඒ අතරමග දවසක  ඒ අය්යා පැමිණ මගේ සුළු සොරකම් ලොකු වන්නට පෙර හදාගන්නැයි අම්මාට කියා ගියේය. (පහුවෙනිදා ආනන්දසිරි අය්යා මට පාට තුන හතරකින් ...බල්බ්ද පෑස්සීමට ගන්නා ඊයම්ද..වයර් අඩි දෙක තුනක්ද ගෙනවිත් දුන්නේ මේ කතාව කොහෙන් ආරංචි වීදැයි මා නොදනිමි. එහෙත් ඒ ''මනුස්සයා..'' මගෙන් කිසිත් ඇසුවේ නැත. අඩුම තරමේ සොරකම් කල බල්බ තබා ඒවායින් කුමක් කලේදැයිවත් ඇසුවේ නැත.)
 කොටින්ම එදා සුලබ නොවූ බීම බට වලින් කක්කුස්සියේ වතුර පිරවූ පසු ඒ බට දිගේ ගලා ගොස් එකතුවන වලක්ද මගේ නිර්මාණයට අයිතිවිය. වැල්ලෙන් සැදූ චෛත්‍යයයේ අසල බෝගස වෙනුවට සිටවූ මල්පැලය ලොකු වී වීදුරුවේ වදින විට ගලවා ඉවත්කිරීම ලෙහෙසිපහසු නොවේ. අනෙක ඒ පරිමාණ වලින් ගස් වෙනස්වූ විට සංකීර්ණය ඉතා කැතට පෙනේ. වීදුරුවලට අතපය කපාගෙන ඒවාකලේ මගේ තනි මහන්සියෙනි. ඒ මහන්සියේ ප්‍රතිපල ලැබුනේ කළුවර වැටුණ පසු ඇවිත් බැටරියට සම්බන්ධ කොට ලයිට් දැමූ පසුය.
 එදා බිම දිගා වී මේ ''මිනි සිටි කම්ප්ලෙක්ස් '' නතහොත් නගර සංකීර්නය වෙන කෙනෙකු බලා සිටියානම් මා අද මෙතැන ඉන්නේ නැත.  එහි වැරද්ද එදත් අදත් මාගේය. (මගේත් නොව මගේ ගල්බ්බාගේය.)

  ඒ වැරැද්දෙන් මා පාසල් ගිය දිනක ඉඩම බෙදාවෙන්කරන්නට ආ පිරිස අර බෝගන්විලා ගාල කපාදමා මිරිස් පාත්තියද පාගාදමා මගේ ශිෂ්ටාචාරය වනසා දමා ඒ හරහා කණු සිටවා කම්බි ගසා ගොස් තිබුනේය. මා ගෙදර ගොස් දෙවනත් වන තුරු කෑගසා ඇඩුවෙමි. එහෙත් සියල්ලන් සිතා තිබුනේ මගේ ගෙවතු වගා පදක්කම සදහා මා සිටවා තිබූ මිරිස් පාත්තිය විනාස වූ නිසා කියාවෙනි. ලොකු අම්මාද සිටියේ ඇඩූ කඳුලෙනි. ඇගේ නිදන කාමරයේ අඩක්ම කම්බි වැටේ මායිමට අසුව තිබුනේය.
මේ සියල්ල වූ පසු වැඩ ඇරී පැමිණි බාප්පා  මිදුලට බැස අල්ලපු ගෙදර දිහා බලා කුණුහරුප වැලක් කියා මා හමුවට පැමිණ ''මම හිටියනන් උඹේ සොහොන් ගෙවල්  ටික කඩන්න දෙන්නේ නෑ බං..'' කීය.

පසුදාම මම මගේ පාත්තිය යලි 'අටවා' ගත්තෙමි. පෝතක බාලදක්ෂයන් බාරව සිටි ගුරුවරිය පැමිණ පිරික්සද්දී අම්මා සිදුවීම විස්තර කලාය. මගේ පදක්කම අලුපාට බාලදක්ෂ කමිසයේ පසුවෙනිදාම විරාජමාන විය.

ශිෂ්ටාචාරය වදවී බොදවී ගියේය.