Thursday, March 2, 2017

හැකිනම් මකන්නෙමි...67


නුගේගොඩ ඉස්කෝලේ ගේට්ටුකණු දෙක දෙපැත්තේ ''සල්ලිකාරයෝ '' දෙන්නෙක් සිටියහ. අයිස්ක්‍රීම් විකුණන මනුස්සයාත් අච්චාරු විකුණන අම්මාත් සිටියේ දෙපැත්තේ වුව දකින ඕනම වෙලාවක මේ දෙන්නා අර කණු දෙක දෙපැත්තේ සිට මොන මොනවාදෝ කියවූයේය. ඒ අතරේ දේශපාලනය ආර්ථිකය හා සමාජය පිළිබද කතාබහක් ඇතිවන්නට ඇත. එහෙත් ඒ සියල්ලටම වඩා මගේ සිත ඇදී ගිය කාරනය නම් අර සත විසිපහ පනහ වැටෙන කාසි මල්ලයි. අයිස්ක්‍රීම් කාරයාගේ සාක්කුව කලු පැහැ ගැනෙන තුරු අත ගෑවී, කාසි බරට  එල්ලා හැලෙන සාක්කුව පුරවමින් කාසි වැටෙන හැටිත්, අච්චාරු අම්මා බිම දිගාකෙරූ පන් මල්ලකට අත දමා කාසි මාරු කරනා හැටිත් මගේ විශ්ම ලෝකයේ තදින් ඇදුනු චිත්‍ර විය. ඒ වන විට මා සිතා සිටියේ ඔවුන් දෙදෙනාම මේ කාසි නිසා ලොකු සල්ලිකාරයන් වන්නට ඇති බවයි.

එහෙත් අද ඒ චිත්‍රය මකා දමන්නට බැරිව මම ලතැවෙමි. ජීවිතයේ ඇදෙන සමහර චිත්‍ර බලෙන් වුව මකා දමන්නට බැරිය.

අයිස්ක්‍රීම් කාරයාද, අච්චාරු අම්මාද ඒ සොච්චමෙන් පවුලක්ම නඩත්තු කරන්නට ඇත. නැතිනම් පවුලේ තවත් පරම්පරාවක් නඩත්තු කරන්නට ඇත. ඔවුන් ආවේ කොහි සිටදැයි මා නොදන්නා මුත් අච්චාරු අම්මා වෙළදාමෙන් පසුව අවිස්සාවේල්ල බස් එකක නැග යන හැටි මා දැක තිබේ. අයිස්ක්‍රීම්කාරයා අර දිරාපත් බයිසිකලය පැදගෙන කොහුවල පැත්තට හති දමන හැටි මම දැක ඇත්තෙමි.

අච්චාරු අම්මා  කළබල කරන අච්චාරු ගොඩේ වැටී දගලන්නට හදන අමන කොල්ලන්ට ''පුතේ'' කියා කතාකරන විට අයිස්ක්‍රීම් කාරයා කිසිත් නොකියා දුෂ්ට බැල්මක් හෙලාගෙන අයිස්ක්‍රීම් වික්කේ ''කොහොමත් විකිනෙන'' නිසා වෙන්නට ඇත. අච්චාරු අම්මා කුඩා කැන්ද කොලවලට තම්බන ලද වෙරළු, තම්බා අච්චාරු දමන ලද වෙරළු අඹ නෙල්ලි මෙන්ම අඹරැල්ලා අච්චාරුද එකම හැන්දෙන් බෙදා දෙන විට අර කැන්ද කොලය දිගේ බේරෙන මිරිස් ලුනු මිශ්‍ර අතිසැර දියරය අපේ අත්ල දිගේ වැලමිට දක්වා බේරෙන්නේය. අච්චාරුවේ රස ඇත්තේ එතැනය. උදේ සිට දූවිල්ලෙන්ද දහදියෙන්ද පැන්සල් කුඩු පෑන් ඉරි හා ගුටි කෙලගත් දාහක් විෂබීජ සමග අපි අර අච්චාරු හොද්ද අල්ලේ සිට වැලමිට දක්වා ලෙවකන්නෙමු. නුගේගොඩ හන්දියේ දාහක් සෙනග මැද අර ලෙවකෑම පිළිබද මට අද සිතාගන්නටත් බැරිය.

මට තව එක වරක්වත් එහෙම වෙන්නට පුළුවන් නම් කියා හිතෙන්නේ එවිටය.


සල්ලි දී ගන්නා අච්චාරුවට අමතරව අච්චාරු අම්මා,  මූණ දිහා බලන් ඉන්නා විට දුක හිතී තව කුමක් හෝ අච්චාරුවකින් හන්දේ ගෑවෙන නොගෑවෙන තරම් ප්‍රමාණයක් දමන්නේය. සල්ලි දී ගත් එකට වඩා අර වැඩිපුර දේ අපට කට 'ඇදෙන්නට' සතුට වැඩෙන වැඩකි. අර කැන්ද කොලය අතට ගත් වහාම කටට කෙල උනන්නේ මොලයේ සිටය.මා වැඩිපුරවෙලාවට පයින්ම ගෙදර යන නිසා මගේත් අච්චාරුවත් කැන්ද කොලයේත් පෙම වැඩෙන මුත්, බස් එකේ යන කොල්ලන් බස් එකට පොරකන්නට ඇති ආසාව නිසාත් පාසල් බස් එකට නැගුනොත් කන්නට නොව දන් දෙන්නට වන නිසාත් දඩිබිඩියේ කා දමන්නේය. ඒ කැන්ද කොල ගේට්ටුව ලග සිට බස්නැවතුමේ හතර අත වැටී තිබුනද ඊලග දවසේ එනවිට අතුරුදහන් වී ඇත්තේය. ඒ කුමන හේතුවක් නිසාදැයි මම නොදන්නෙමි.

 මේ සියල්ල නරඹමින් විඳිමින් දෙල්කද බලා පිටත් වන්නෙමි. ඒ  ගමනේදී වෙරළු ගෙඩියක් නම් ගෙදර යනකම් කටේ එහා මෙහා වන්නේය. මම අඹ අච්චාරු ගන්නේ නැත. මන්ද මගේ අයිතියට සින්න වූ අඹ ගහක් ගෙදර මිදුලේ පතාකයෙකු සේ සෙවන දෙමින් තිබුන බැවිනි.
මම වරෙක මේ යාපනේ බට් අඹ දෙකක් පොත් බෑගයේ හංගාගෙන ගොස් අර අම්මාට දුනෙමි. මා සිතා සිටියේ ඇය මා  අත කාසි කිහිපයක් තබනු ඇත කියා වුව, ඒ මනුස්සයා ' අනේ පිං පුතේ..' කියා අච්චාරු හැන්දක්ම වැඩිපුර බෙදුවේය. එදා බිස්නස් ප්ලෑන් එක හරිගියේ නැත්තේ මම කතා නොකල නිසාය. මගේ හිතේ තියෙනා දේ ඒ මනුස්සයා නොදන්නා නිසාය. නැතිනම් මම තවමත් අර අච්චාරු අම්මාට අඹ කඩමින් ගහ උඩය.

එහෙත් අයිස්ක්‍රීම් කාරයා හා කතාබහට නොගියද මම ඔහු දෙස බලා ඉන්නට ආසා කලෙමි. ඔහු මුදල් ගන්නා විටද ඉතුරු දෙන විටද අයිස් ක්‍රීම් එක දෙන විටද හිනාවෙන්නේ නැති මුඩුමයෙකි. එහෙත් අත ඇති ගාන අසා අර දැන් වේෆර්ස් ජාතියට හුරු බිස්කට් එක දෙකට හෝ තුනට කඩා හතරැස් පෙට්ටියේ පියන අරිමින් මේස හැන්දකින් අර බිස්කට් කැබැල්ල මත පිරමිඩයක් මෙන් අයිස්ක්‍රීම් අතුරන එක නොව බලන් ඉන්නට ලස්සන ඒ වාරයක් වාරයක් පාසා ඔහුගේ දිව කටේ ඒ කොනේ සිට මේ කොනට තොල තෙමාගෙන යන අපුරුවය. මෙය කුමක් නිසා වන්නේදැයි මා නොදනිමි. එහෙත් අපේ කොල්ලන්ට අනුව 'ඌ අපේ සල්ලි වලින් ගන්න අයිස්ක්‍රීම් වලි බාගයක් හිතෙන් කන්නේය...අපි ඉස්කෝලෙන් අවුට් වෙනකොට ඕකාගේ දිවෙන් බාගයක්ම ගෙවෙනු ඒකාන්තය..' මේ බිස්කට් එන්නට පෙර හෝ පසුව කුඩා දිදාලයක් වන් කෝප්පයක් තිබුනා මට මතකය. එය ඕනෑනම් අගලක් උස වන්නට ඇත. ඒ අගල පිරෙන්නට අයිස්ක්‍රීම්  පුරවන අතර එය කන්නට වන්නේ දිවෙන් පමණකි. එහෙත් අපුල වන්නේ අර කාඩ්බෝඩ් දිදාලය අන්තිම ටික පෙගී කඩදාසි රස එන විටය. එවිට කාපු අයිස්ක්‍රීම් වල රස වෙනුවට වේන ඒවා මතක් වෙයි.

මා අයිස්ක්‍රීම් පෙරේතයෙකි. අදද කුකුළ් මස් පළුවක් හා අයිස්ක්‍රීම් ලීටරයක් ඇතොත් මගේ කටේ එහ කොනේ සිට මෙහා කොනට හිනාවක් යයි. මගේ බිරිද අදද මට අයිස්ක්‍රීම් වෙනම බෙදන්නේ නැත. සියල්ලන්ට බෙදූ පසු  අර ලීටරේ ප්ලාස්ටික් බදුන පිටින් මට දෙන්නේ..'බඩට අයිස්ක්‍රීම් - හිතට අයිස්ක්‍රීම් පෙට්ටිය.' කියාය.
(ඉස්කෝලේ ලග අයිස්ක්‍රීම් කතාව මතක් කලේ දුක සැප මෙන්ම මගේ බංකොලොත් වැඩ වලදීත් බෙල්ල දෙන මිත්‍රයෙකි. ඒ මතකයෙන් පසු මට තව බොහෝ දේ මතක් විය. )

තවත් වරෙක ඉතාලියේ හිමවැටෙද්දී, කබායට උඩින් - යටින් ඇදුම් දෙක තුනක් ඇදගෙන සර්වාංගේම ගැහි ගැහී මට කලක් ඉතා සමීපව සිටි කෙනෙකු සමග අර ගිරි සීතලේ අයිස්ක්‍රීම් කෑවෙමි. ලගදීත් මගේ ඉතාලි යාලුවා කතා කොට ''උඹලා අයිස්ක්‍රීම් කාපු පින්තූරේ තියනවා ..'' කීවේය. ඒ කෙනා මෙන්ම පින්තූරයද බලන්නට මට ඕනෑ නැත.
ජීවිතයේ සමහර චිත්‍ර මකන්නට උත්සාහ ගනිමින් සිටින මොහොතක  මකන්නට ක්‍රමයක් ඇත්නම් කොයිතරම් වටින්නේද කියා හිතෙන්නේය.

(මා ලියාගෙන එන විට ''අච්චාරු අම්මා'' සහ ''අයිස්ක්‍රීම් කාරයා'' කීවේ ඒවා එකල පුරුදු හැටියටය. නැතිව වෙනසක් පෙන්නන්නට නොවේ. එහෙත් දවසක් අයිස්ක්‍රීම් එකක් ගෙන රස බලන්නට එතැනින් මෑත්වන විට අච්චාරු අම්මා ' මුං මහා මදාවි කොල්ලෝ..' කියා බැන්නාය. එහෙත් අයිස්ක්‍රීම් කාරයා ' පිස්සුද අක්කේ කොල්ලන්ගේ හැටි ඔහොම තමා අපිත් ඔය කාලේ ඔහොම්ම තමයි..'' කීය.

එහෙත් එදත් අදත් මූනේ හිනාවටත්,  කතාවේ ලතාවටත් මම රැවටෙන්නෙමි. හදාගන්නට බැරි ස්නායුව ඒකය.

එක්කෝ ඔහේ තිබිච්චාවේ...