Saturday, February 25, 2017

මගේ අමතක වීම මට මතකය...66



අමතක වීම මගේ ජන්ම ගතියකි. එහෙත් මා ලෙහෙසියෙන්   අමතක කරන්නෙකු නොවේ. මගේ ජීවීතයේ ඉතා කුඩා සිදුවීමක් පවා මගේ මතකයේ රැදී ඇත්තේය. එහෙත් ඒ බව බොහෝ දෙනා දන්නේ නැත. ඒ මා ඒ ගැන කතා නොකරන නිසාවෙනි. දැනටමත් මගේ ජීවිතයේ බොහෝ දේවල් මගේ බිරිද පවා දැනගන්නේ මේ ලියැවිල්ලෙනි. මට අමතක වීමේ රෝගය හැදෙන්නටත් මෙන්ම මතකයේ සදාතනිකව රදවා ගන්නටත් හේතුව මගේ සිතිවිළි ලෝකයයි. මා සමහර විටෙක කිහිපදෙනෙකු අතරේ ආගිය තොරතුරු කතා කරන විටත් මේ නිමක් නැති සිතිවිළි අතර සරිසරන්නෙමි. ඒ ඒ තැන්වල දුක සතුට විදින්නෙමි. එහෙත් තවමත් අර සංවාදයේද නිරතව ඉන්නෙමි. ඒ තරමට මට මගේ සිතිවිලි ලෝකය වටින්නේය.

එහෙම ඉන්නා තැන්වල මට වැරදුන තැන්ද අප්‍රමාණය. සමහර තැන්වල මා කට අරින විට පෙරහර ගොස් අවසානය. සමහර තැන්හී මගේ අදහස මතුවන්නේම නැතිව අන් අය තීරණ ගෙන හමාරය. බොහෝ දෙනා සිතන්නේ මට ඒ පිළිබද අදහසක් නැති ලෙසය.

එහෙම දේ බොහෝ සිදුවී ඇතත් ඉස්කෝලේ ඉංග්‍රීසී දිනයේ ඇතිවූ සිද්ධිය මට තාම මතකය.

ඇන්ටන් සර් ඉංග්‍රීසි ඉගැන්වූයේ අමුතුම ආකාරයකටය. ඒ ඉන්ග්‍රීසිය මගේ ආසාවට හේතු විය. ඒ නිසා ඒ කාලයේ අපේ නෑදෑයන් අතරේ ඉංග්‍රීසි පත්තරයක් මිලදි ගෙන කියවූ විජේරාමේ මහප්පා අයින් කරන ඩේලි නිව්ස් මිටි පිටින් ගෙනවිත් කියවූයේ මමය. පත්තර ඉල්ලාගන්නට ගියවිට මහප්පා එක බණ්ඩලයක් දී ' ඕකේ කිලෝ පහ හයක් තියනවා..' කීවේය. ඒ කීවේ මම කෙලින්ම ඒකත් අරන් දෙල්කද බෝතල් කඩේට දී කීයක් හරි ගතැයි ඔහුගේ තිබූ අදහස නිසා වෙන්නට ඇතිය. එහෙත් මම පත්තර කියවූවෙමි. ඩේලි නිව්ස් බාසාව සැරවැඩි නිසා පින්තූර කියවන්නට පටන් ගත්තෙමි. එහෙම එකතු කරගත් පත්තර වලින් පින්තූර කපා වෙනමම අඩුක් කලෙමි. අනෙක්වා ගොඩ ගසා වේයන්ට දුන්නෙමි. එහෙත් පත්තර කොල කෑලි වලට ආසා වුනේ අපේ ගෙදර වේයන් පමණක්ම නොවේ. අපේ ගෙදර නවාතැන් ගෙන සිටි රණසින්හ අංකල්ද මේ පත්තර උදේ සිට හවස් වනතුරු කියෙව්වේය.
(එක අතකින් මහප්පා කී කතාවත් අර්ධයක් නිවැරදිය. මගේ කොටස් කපාගැනීමෙන් පසු කවුරුත් කියවා අවසන් වූ වහාම මම මේ පත්තර අනිවාරයෙන් දෙල්කද බෝතල් කඩේ තැන්පත් කලෙමි. එහෙත් බෝතල් කඩේ දෙමළා මට හැමදාම නෝක්කාඩු කීය. මගේ පත්තරේ තැනින් තැන හිල් හැදී තිබෙන නිසා හැමදාම 'බඩු' ගන්නා අය දොස් කියනා බව කියමින් ඔහු මැසිවිලි නැගුවේය. එහෙත් මම අර අහින්සක මූන හදාගෙන ඉන්නා විට ඔහු 'ශරි ශරි..ඊලග පේර බලමු..' කියා මා අත අර කාසි දෙක තුන තැබීය. මේ මිනිහා තාමත් මට මතකය. ඔහු පරණ පත්තර අතරේ තිබී හමුවන මැදපු කොලයේ පින්තූර එකතු කොට මට දෙන්නේය. එකල මැදපු කොලයේ මුද්‍රණය කල පින්තූර සුලඹ නොවීය. ඒ අතරේ වරෙක 'පිටරට අක්කා කෙනෙකු නූල්පටක්වත් නැතිව නාන' මැදපු කොලයේ මුද්‍රිත පින්තූරයක් හමුවී මම ඉස්කෝලේ ගෙනවිත් ක්ෂණකින් 'වීරයෙකු ' වීමී.

ඇන්ටන් සර් නිසා මම ලස්සනට අකුරු ලියන්නට පුරුදු වුනෙමි. ඉන්ග්‍රීසියේ i සහ j අකුරු උඩින් ලොකු බෝල ඇද ලස්සන කලෙමි. g j q අකුරු වල අග,  නැට්ටක් මෙන් දිගු කලෙමි. මාතෘකාව නිල් කලු පාට දෙකෙන්ම ලීවෙමි. ඇන්ටන් සර්ගේ ප්‍රතිචාරය මගේ අනාගතයට බලපෑවේය. ඔහුගේ අතින් උඩින් විසික් වී ආ මගේ පොත මගේ මූනේ වැදුනේය. ' මේ මොන කෙහෙල්මලක්ද...යකෝ මල් පාත්තියක් වගේ..' කියා අර හැමදාම කලවා පැත්තට ගහන අඩිරූලෙන් දෙකක් ගහුවේය. 'අකුරු ලස්සන කරන්ඩ කලින් වචන ඉගෙන ගෙන හිටපිය..' කීවේය. මම පොත දිහා බැලුවෙමි. අර මල් පාත්තියේ එක වචනයක්වත් නිවැරදි නැත. මගේ මල් පැල සියල්ල රතු පෑනෙන් දිගට හරහට කැපී ඇත්තේය. එදා සිට මම අර මල් හිටවිල්ල අමතක කොට හරියට ලියන්නට ඉගෙනගත්තෙමි. ඒ ඉගෙනගැනිල්ලේ ප්‍රතිපලය ලෙස මට සාමාන්‍යපෙල විභාගයේ ඉංග්‍රීසි වලට පමණක් විශිෂ්ඨ සමාර්ථයක් හිමිවිය.  (ඊලග අවුරුද්දේ මගේ හෝමාගම අතිජාතයා  මෙන්ම මගේ 'කනබොන පාට්නරයාද' වූ මිත්‍රයා වෙනුවෙන් සහයට දෙවනි වරටත් විභාගයට පෙනී සිට තව විශිෂ්ඨ සමාර්ථයක් ගත්තෙමි. )

ඒ තරමට ඇන්ටන් සර් හරියට බාසාව ඉගැන්වූයේය. ඉනුත් වසර කිහිපයකට පසු නාවික හමුදාවට ඇතුල්වීම සදහා පාසල් සහතිකයක් ගන්නට ගියවෙලේ ඇන්ටන් සර් උගන්වමින් සිටි පන්තියේ පොඩි කොල්ලන්ට මා පෙන්වා  'මේං බලාපල්ලා හරියට ඉගෙනගත්ත එවුන්..මගේ ගෝලයෙක්...තොපි වගේ හරක් නෙවෙයි කියා' සතුටු විය.

එහෙත් ඇන්ටන් සර් මා නිසා අපහසුතාවයට පත්වූ අවස්තාද නැත්තේ නොවේ.

 එක්තරා අවස්ථාවක මා පාසලේ ඉංග්‍රීසි සාහිත්‍ය දින උත්සවයේ එක්තරා අංගයක් සදහා ඇන්ටන් සර්ගේ මෙහෙයවීමෙන් ඉදිරිපත් වුනෙමි. ඒ  Where are my glasses? පැදි පෙලයි.

Where are my glasses? where, oh where?
On the table, or under the chair?
Near the window, or near the door?
In my pocket, or on the floor?
I´m looking here!
I´m looking there!
Where are my glasses? where, oh where?

Oh, here they are! on my head!

 
එහි මට තම කන්නාඩි දෙක ඔලුවේ රදවාගෙන සොයන අමතක කෙනෙකුගේ චරිතයක් තිබිණි. එය එකල පාඩම් පොතේ තිබුනාද මට මතකය. කෙසේ හෝ මම ඒ අංගය සදහා අර දෙතුන් සීයක් සෙනග මැදට බටු විටම මට වෙන මොනවාදෝ මැවී පෙනෙන්නට විය. මගේ සිතිවිලි යෝධයා මා පෙරලාගෙන අර වේදිකාවෙන් පහල බලා උන්නේය. කවදාක හෝ මේ වන් සෙනගක මැද අර ආරාධිත අමුත්තා මෙන් වාඩිවී ඉන්නෙමියැයි සිතුවෙමි. ඉන්පස්සෙ ආරාධනා කල විට පවත්වන දේසනය ගැන කල්පනා කලෙමි. වේදිකාවේ පහල සිටියේ අපේ ආදී ශිෂ්‍යයෙකු වූ සිරිල් හේරත් පොලිස්පතිතුමා බව මට මතකය. එදා ඔහු වටකරගත් අපේ විදුහල්පතිතුමා ඇතුළු පිරිස ඔහුට දැක්වූ ගෞරවය මා සිත්ගත්තේය. අපේ සර්, පොලිස්පතිතුමාට සර් කීවේද නැත්නම් පොලිස්පතිතුමා අපේ සර්ට සර් කීවේදැයි දැනගැනීමේ ආසාවක් තිබුනෙන් එය දැනගන්නා හැටි කල්පනා කලෙමි.  ඒ අව් අස්සේ හීන් කසු කුසුවක් මතුවී හූවකට ඔන්න මෙන්න කියා තිබියදී මම පියවි ලොවට ආවෙමි. මා මගේ චරිතාංගය පටන් ගත යුතුය. එහෙත් මට මතක නැත. where, oh where? කියමින් දෙතුන් පාරක් තටමෙවුවත් සිහියට එන්නේ නැත. ඇන්ටන් සර් අර වේදිකාවේ සිට හනි හනික පැමිඇන අර තිර රෙද්දට මුවා වී මට ඉතිරි පෙල මතක් කර දුන්නේය.

 උත්සවයෙන් පසුව ඇන්ටන් සර්  මට පුරුදු ලෙස බැනවැදුනද, පොලිස්පතිතුමා මගේ රංගනය හිතාමතා කල එකක් ලෙස සිතා ප්‍රේක්ෂකයන් උද්වීපනය කල බව කියා ම පැසසූ බව කියමින් මහා හයියෙන් හිනා විය.
  (2003 හෝ හතර අවුරුද්දේ මගේ ලොකුපුතාගේ පුරවැසි සහතිකය සදහා වූ ගැටළුවක් සමතයකට පත්කරගන්නට ගිය වෙලේ මගේ අයදුම්පත උඩින් කෙටි සටහනක් දැමූ මේ ප්‍රතාපවත් මිනිසා දෙස එදත් මගේ සිතිවිළි යෝධයා මා පෙරලාගෙන බලා සිටියත් මා 'බොහොම ස්තූතියි..!'  කියා හැරුණෙමි. ඔහු එකල ආරක්ෂක අමාත්‍යංශයේ ස්ථීර ලේකම් කෙනෙකු විය.)

එහෙත් මට එදායින් පසු කැන්ටිමේද..පිට්ටනියෙද  වෙන පන්තිවල උන් කෙසේ වෙතත්,  අපේම අතිජාත මිත්‍රයෝද අර පෙල මතක් කරන්නට විය. උන් කීවේ ''where, oh where?  where are you අනේ ඔයා..'' කියා ය.  මගේ මාරයා ආවේශ වී කුණුහරුපෙන්ද බැරිම තැන අතින් පයින්ද උත්තර දෙන විට මටත් නොදැනීම මා ඒ නමින් රෙජිස්තර විය.

කලක් යනතෙක්ම උන් හට මේ පෙල අමතක වූයේ නැත.

ජීවිතයේ බොහෝ දේ මෙන්ම, ''අමතක වෙලා'' වාගේ හිටියාට මට අදද අමතක නැත.