Monday, February 20, 2017

මා ගල් ඉබ්බෙකි 65



දැරණියගල සර් සින්හල උගන්නන්නට ඇවිත් ඉස්සෙල්ලාම කලේ ගණං පාඩමකි. අපි  වෙනත් පාසල් කීපයකින්ම ඇවිත් සිටි නිසා විවිධ ආකාරයේ අය සිටීමත්, ඒ ඒ ඉස්කෝලවලට ආවේනික ගති ලක්ෂණ පෙන්නුම් කිරීමට යාමත් දැරණියගල සර්ට ඇල්ලුවේ නැත. ඒ නොඇල්ලීම අන්තිමට ගියේ කෝකිලගේ පිටිනි. කෝකිල දදුවම් ලැබිය යුතු වරදක් නොකලත් දැරනියගල සර් හුණු කොට්ටෙන් කෝකිලට දමා ගැසුවේය. ඒ සැනින් කෝකිලගේ කලිසමෙන් අතදමා ඇදගෙන විත් කම්මුල හරහා දෙකක් දුන්නේය..ඒ මදිවාට කලුලෑල්ලේ හේත්තු කරගෙන හොදවායින් දෙකක් කියා කදුළු පෙර පෙර අඩන කෝකිලයාව පන්තියෙන් පිට දනගැස්සුවේය. ඒ ගැහිල්ල වැදුනේ කෝකිලට පමනක් නොවේ. අපි තිස් ගනනම මීක් නැතිව හිටියෙමු. අන්තිමේ දැරැණියගල සර් සිංහල උගන්නන්නට පටන් ගත්තේය. දැරණියගල සර්ගේ සිංහල කසාය මෙන් තිත්ත වුව අපි බයටම පාඩම් කලෙමු, ගෙදර වැඩ කලෙමු. එහෙත් මේ මුල් දවසේ 'ගණන් පාඩම' සර් අනුගමනය කල උපක්‍රමයක් බව අප දැන සිටියේ නැත.

එහෙත් සිංහල ඇතුළු සියලුම විෂයයන් මට එපා වී තිබුණද ටික දවසකින් මගේ කලදවස හොද විය. ඒ අපේ සිංහල පොතේ පාඩමක් වූ 'ඔව් නෑ බෑ කියන්න බෑ' නිසාය. එකල මගේ මතකයේ හැටියට ගුවන්විදුලියේ ජනප්‍රිය වූ මෙය සීලරත්න සෙනරත්ගේ වැඩසටහනක් විය. දැරණියගල සර්ද අපට මේ වැඩසටහන ගැන කියාදී එය ප්‍රායෝගිකව අත් හදා බලන්නට නියම කලේ එකිනෙකා ඉදිරියට ගෙනවිත් 'සීලරත්න සෙනරත් ' කිරීමෙනි. පලමු වාරයේදීම මෙහෙයවන්නාට කිසිවෙකුත් පරාද කිරීමට හැකිවූයේ නැත. සැවොම වාගේ ජයගත්තේය. දැන් දැන් එකම සීරුවට ඇදෙන වැඩසටහන දියාරු වී යන්නේය. අහන ප්‍රශ්නද ලැබෙන උත්තරද එකම නිසා කොල්ලන් කියන්නං වාලේ කියා දැමුවේය. අන්තිමේ මම ඉදිරිපත් වන විට පන්තියම නිදියාගන්නට ඔන්න මෙන්න සිටියේය.

මා එකලද නිහඩ චරිතයකි. ඒ නිහඩ කම මගේ උවමනාවක් මිස උප්පත්තියෙන් ආ එකක් නොවේ. මා නිහඩව ඉන්නට ආසා මගේ සිතිවිලි ලෝකයේ සැරිසරන්නටය. ඒ වෙනුවෙන්ම මා ඉදිකරගත් ඉබි කටුවක් මා සන්තකව තිබේ. එහෙත් එදා මම 'නිහඩ මිතුරා' මග දමා පන්තියේ ඉදිරිපිටට ආවෙමි. ආ සැණින් වෙන අය මෙන් අවසර ගැනීම් ස්තූතී කිරීම් නොකර සින්හල ලියන පොත රෝලක් මෙන් අඹරා මයික්‍රෆෝනයක් කරගත්තෙමි. මගේ ලැජ්ජා බය කොහෙන් පාවී ගියාදැයි මා දන්නේ නැත. සුදු අත්කොට කමිසය සුදු කලිසම හැදි දැරැණියගල සර් ඔලුවේ අත තබාගෙන දැන් මේ මංගල්ලේ ඉවරයි කියන ලීලාවෙන් අඩ නින්දක උන්නේය.

'සුබ උදෑසනක් මගේ ප්‍රිය මිතුරනි..මේ ලැබී තිබෙන සීමීත කාල සීමාවේ මා කැමැතියි මිලග තරගකරුවා මේ වේදිකාවට ගෙන්වාගැන්මට...නිකාඩෝ පපඩම් සමාගමේ අනුග්‍රහයෙන් ඔබ සැමගේ රසවින්දනය වාගේම නුවනැස පුළුල් කිරීම සදහා අදත් ඔබ වෙත මේ ගෙන එන්නේ 'ඔව්ද ..නෑද..බෑද..' නොව ඔබටත් හැකි නිකාඩෝ ඔව් නෑ බෑ තරගයයි...!!
අද අප මෙහි පැමිණ සිටින නිකාඩෝ පපඩම් සමාගමේ ගරු සබාපති දැරැණියගල මහත්මා සාදරයෙන් පිළිගන්නා ගමන් මාලුපාන් සහ බනිස් විශේසඤයෙකු වන අත්තිඩියේ ඉනෝක පෙරෙරා මහතා මෙහි කැදවීමට මා සූදානම්..!!

කියනා විට දැරැණියගල සර්ගේ අත බිම වැටී කට ඇරුණේය. අත්තිඩියේ බේකරියක් හිමි තාත්තා කෙනෙකුගේ පුතෙකු වූ ඉනෝක මට රවමින් ඉදිරියට ආවේය. (මේ ඉනෝක ගෙදර බේකරියක් තිබ්බාට අපේ කැන්ටිමේ කුඩා කවුළුවෙන් පොරකකා මාලුපාන් බනිස් ගැනීමට එකතු වුනේය. සමහර දාට අර පුන්චි කවුලුවෙන් දිග ඇරෙන අත් සීයකගේ කෑගැසීම ඉවසා ඉන්නට බැරිම තැන කැන්ටිමේ අංකල් මිට මොලවා අර අත්වලට ගැහුවේය. ඒ අස්සේ වෙන එකෙක් ගෙවූ සල්ලි වලට දෙන මාලුපාන් ඩැහැගෙන දුවන කොල්ලෝද විය.) ඉනෝකගෙන් පසුව පන්තියේ හැම එකාම වාගේ ඉදිරියට නෑවිත් බැරිකමට පැමිණ, එක පාරෙන් ඔව් හෝ නෑ කියා විසික්වෙන්නට විය. එකෙකුටවත් දිගින් දිගටම රැදීමේ වුවමනාවක් තිබ්බේ නැත. දැන් වැඩසටහන නැගලා යන අතරේ සිනුව නාද විය. කොල්ලන් කැන්ටිම පැත්ත බලාගෙන දුවන්නට ලැහැස්ති වන විට දැරැණියගල සර් මා නැවැත්වීය..

කොහෙද බං මෙච්චර කල් හිටියේ...

කියා ලොකු දේසනාවක් දුන්නේය. එහෙත් ලොකුම ජයග්‍රහණය පැරැද්වීම නොව ටික වෙලාවක් රදවාගැනීම බව කීවේය. ඊලග වාරයේදී එ ගැන සලකා බලන ලෙස උපදේසයක්ද දුන්නේය. එහෙත් දරැණියගල සර්ගෙන් මිදී කැන්ටිම පැත්තට යන විට කුණුහරුප පෝලිමකි.

'තොට පිස්සුද යකෝ අපි මේ සින්හල පීරියඩ් එක ඉවරවෙනකන් ඉන්නවා උඹ ප@#යා වෙන්න හදනවා.හෙට ආයෙත් ඕකම තමා ....'

කියා දන්න නොදන්න හැම සින්හලකින්ම බැනුම් අහන්නට සිද්ද විය. දැන් මා වැටුනේ අමුතු වලකටය. ඒ වලේ උඩ දැරැණියගල සර්ය. යට මගේ අතිජාතයෝය. කොහෙන් ගොඩ එම්දැයි නොදැන මං අතරමං වුනෙමි.
පසුදා කුමක් කරන්නදැයි මා නිදිවරා කල්පනා කලෙමි. එහෙත් උත්තරය ලැබෙන පාටක් නැත. සර්ගේ කැමැත්තට ලක්වී මිත්‍රයන්ගේ උදහසට ලක්වන්නටද බැරිය. සර්ගේ වුවමනාව අහක දමන්නටත් බැරිය. මං ඕනෑම @#$% වෙන්ඩ කියා පහුදා ගියෙමි. ගොස් සින්හල පාඩමට කලින් පන්තියේ වුන් නතු කරගත්තෙමි. ඒ මම මේ 'නෑ බෑ කතන්දරේ ' කරගෙන යන විට සර්ට තව සුමානයක් දෙකක් සින්හල පාඩම අමතක වන බවට කරුණු කියාදීමෙනි. ඒ අනුව ලියන්නට කියවන්නට දෙයක් නැතිව අඩුම තරමේ සුමානයක්වත් ගොඩදාගත හැකිය.

එදා මම පන්තිය ඉදිරිපිට ඔව් නෑ බෑ මෙහෙයවන විට එක සැනෙන් ඔව් කියා යන්නට හදන කොල්ලන් දමනය කලෙමි. ඒ ඔව් කියන්නටත් බෑ කියන්නටත් බැරිවෙන විදියට විනාඩි බාගයක් විතර කතා කිරීමට අල්ලා ගැනීමෙනි. අන්තිමේ ඒ අතරමග විහිලුවක් දෙකක්ද කලෙන් සර්ගේ මුහුණේ ලොකු එළියක් දකින්නට පුලුවන් විය. කොල්ලන්ද වෙනදා නැති සැහැල්ලුවෙන් කාලය ගතකලේය.  එහෙත් අබාග්‍ය වූයේ මටය. එකල දැරැණියගල සර් හයේ පන්තියේ A අකුරේ සිට F දක්වා වූ පන්ති හයටම සින්හල උගැන්වූ පීරියඩ් වල අර ඔව් නෑ බෑ මෙහෙයවන්නට මට සිදුවිය. ඒ පන්තිවල කොල්ලන්ද මේ වැඩසටහනට කැමැති විය. අන්තිමේ මම ඔව් නෑ බෑ පකීර් කෙනෙකු වීමී.

දැරැණියගල සර් මේ හැම තැනකදීම  මා දිනක රටේ ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙකු බවට පත්කරන බව කීය. සමන් අතාවුදහෙට්ටිගේ සින්හල ගුරුවරයාද තමන් බව කී සර්, මා සමන් අතාවුදහෙට්ටි වෙත එක්කාගෙන යන බවට පොරොන්දු විය. එකල සමන් ගුවන්විදුලියේ ජනප්‍රිය නිවේදකයෙකු විය. දැරනියගල සර් මා ඔහු වෙත එක්කාගෙන යාමට වෙලාවක් වෙන්කරවාගෙන මට දැන්වූ පසු මම පුරුදු ලෙස අර ඉබිකටුවේ හැංගුනෙමි.

ඒ මගෙ හැටිය.

 අදටත් මට යමක් ලබාගත හැකි අය සමග මා සම්බන්දකම් පවත්වන්නේ නැත. ඒ හීනමාන ගතිය මගෙන් ඇරෙන එකක් නැත. මේ බ්ලොගය කියවූ මට මගේ ආයතනයේ ඉහලම නිලධාරියෙකු එවූ ඊමේල් පණිවිඩ‍යට පවා මා තවම උත්තර යවා නැත. එහෙත් මා වෙනත් අයගේ වුව්මනා සදහා ආයතනයේ ලොක්කන් හමුවී උපකාර ලබාගෙන තිබේ. ඒ අයට ඒවා මතක නැතැයි මම දනිමි. ඒ වුනත් මා මගේ ඉබිකටුවට මේ තරම් ආදරේ ඇයිදැයි මා දන්නේ නැත.

එහෙත් පසුගිය අවුරුද්දේ නේපාලයේ සිදුවූ භූමිකම්පා සිද්ධියේදී සහන සෙවා සදහා එහි ගිය මට ගුවන් යානයේදී සමන් අතාවුදහෙට්ටි හමුවිය. සමන්, දයා ගමගේ,  අනෝමා ගමගේ සහ තව පිරිසක් අග්‍රමාත්‍යතුමා නියෝජනය කරමින් පැමිණ සිටියේය. අප රටතොට හා මේ සිදුවී ඇති විනාසය ගැන කතා කලෙමු. පොතක් එලිදැක්වීමකදී ඔහු කල කතාවක් මා සිත්ගත් බව කියා ඒ ගැන කතා කලෙමු. ඔහු සමග ටික වෙලාවක් කතාකලමුත්, ඔහු මට සිය දුරකතන අංකය දුන් නමුදු ඔව් නෑ බෑ සිදුවීම මම ඔහුට නොකීවෙමි. අර ඉබ්බා ගල් ඉබ්බෙකු වී මා සගවා ගත්තේය.

ඒ ඉබ්බා මා හැර නොයනු ඇත. මා මියෙනදා පවා මා සමග ''සතුටෙන්'' ඒ ඉබ්බා ඉන්නවා නිසැකය.