Thursday, February 16, 2017

විජේ ශාරුක්ට වඩා ලස්සනය....64




සමණලයාට වෙඩි තබා අවුරුදු 29ක් ඉවර වුනේ ඊයේය. ඒ සමණලයා පිළිබද මතකයත් අද ඊයේ වගේ මගේ මතක පොතේ තිබේ. ඒ මතකය සමනලයා පිළිබද කිසිදු කතිකාවකට විවේචනයකට නොවේ. අතුරුගිරියේ ජගත් සිනමා ශාලාවේ (කලින් කළ්‍යාණී ) ගණං පන්තිය කට් කර හතර වතාවක් බැලූ සංගීතා චිත්‍රපටයේ 'ඇඩෙන සයිස් එකේ ' චරිතයක් රගපෑ, ශාරුක් කාන් ඇරෙන්නට සමණල චරිත වල මම වඩාත්ම කැමැති,  විජය කුමාරතුංග ගැන මගේ මතකය කොනිත්තාගන්නටය.

1982 දී මම හතරෙ පන්තියේ ජයසින්හයේ බව ගනං හදන්නට ඕනෑ නැත. එදා ගෙදර යනවිට ගෙයි මිදුලේ පොල්කොටන් විසිපහක් තිහක් ගොඩගසා තිබ්බේ කුමකටදැයි මා ඇසූ විට අම්මා ලොකු රහසක් කියන්නා මෙන් 'අපේ වත්තේ විජේගේ මීටිම තියෙන දවසෙම මීටීමක්..' කීය. (අපේ ගෙදර වත්තේ තිබුනේ  කොමිනියුස්ට් පක්ෂ රැස්වීමක් බව මට මතක් කරදුන්නේ ලොකු අම්මාය.) මීටීම 'සිංහල' වචනයක් නිසා මට තේරුනද විජේ කියන්නේ කවුදැයි මට තේරුනේ නැත. එහෙත් මං අහන්නට ගියෙත් නැත. එහෙම පෙරල පෙරලා අහන 'පෙරේරා' කෙනෙකු නොවන මං හැමදාම මෙන් හොයන්නට වීමී. හොයන විට හම්බවුනේය. හම්බවුනේ මදුරාවතී නැන්දලාගේ ගෙදර අක්කලාගෙනි. ඒ අක්කලා එකලත් කසාද බැද හිටියත් ඒ අය්යලාට වඩා අර විජේට හෙන ලෙන්ගතුකමක් තිබ්බේය. ඒ අනුව ලංකාවේ ගෑණු ආසාම- පිරිමි කැමැතිම නළුවා ගැන මම දැන සිට නැත. අනෙක මං ඒ වෙනකොට ඔය ෆිල්ම් බලලා නැත. අන්තිමේ මගේ කුතුහලය මදුරාවතී නැන්දලාගේ අක්කලාට පින්තූර පත්තර කෑලිවල උන් කඩවසම් නළුවාගෙන් මකන්නට නොහැකි විය. මට කවදත් ආදරේ ලොකු අම්මා වහා ඉදිරිපත් විය. 'එහෙනං යන් මෙට්‍රෝ එකේ විජේගේ ෆිල්ම් එකක් තියනවා බලන්න...' කීයේය.

(මේ කතාව මට මතක එහෙමය, එහෙත් චන්ද කාලසීමාවේ විජේගේ චිත්‍රපටයක් තිරගත කලේ කෙසේදැයි මම දන්නේ නැත.)

මම ජීවිතයේ දෙවැනි වතාවට ෆිල්ම් හෝල් එකක චිත්‍රපටයක් බැලුවේ එහිය. (පළමු වතාව අපේ ගෙදර සිට එඩේරමුල්ලේ රේල්පාර අයිනේම අය්යා කෙනෙකු විවා ගිය ගිය ඉන්ද්‍රා අක්කාගේ ගෙට උඩින් ගෙදර අය්යා කෙනෙකු වැඩ කල මරදානේ සිනමා ශාලාවක ඉන්ග්‍රීසී චිත්‍රපටයකි.) අපි එදා නුගේගොඩ මා එන්නට හිතා නොහිටි අපෙ ඉස්කෝලේ ප්‍රයිමරිය  තාප්පෙන් වෙන්කල මෙට්‍රෝවේ මට දැන් නම මතක නැති විජයගේ චිත්‍රපටය බැලුවෙමු. විජයගේ අසීමිත කඩවසම්කම හා කටහඩ හා විශේෂයෙන්ම අතපය හසුරුවන අමුතු ස්ටයිල් එක මගේ ලදරු නහර ඇතුලේ සදාතනිකව තැන්පත් විය. අදත් මා ආසා  විජයටය. විජයගේ සින්දුවලටය. එහෙත් (හින්දි සිනමාවේ නම්) ශාරුක්ට ආසා බව කවුරුත් දන්නේ නැත. ශාරුක්ට ආසා වීම ලැජ්ජාවකට කාරණයක් බව මගේ හිතේ පොඩි නොදන්නා අවුලක් තිබේ. එහෙත් මම ආසාම ශාරුක් කාන්ටය.

( මගේ රස්සාවේ ප්‍රතිලාබ කියා දෙයක් තිබේ නම් මේ වාගේ අය මුනගැසී දොඩමළුවන්නට ඇති හැකියාවය. ඒක සල්ලිවලතත් ගන්නට අමාරු දෙයක් කියා ලොකුකමට මම හිතා සිටිමි. ශාරුක් මට හමුවූ දවසේ මම වැඩි ලොකුකමට කොකා කෝලා බෝතලයකින් වීදුරුවක් වක්කර අනෙක අර බන්දේසියේම තබාගෙන ඔහු සිගරට්ටුවක් අදිමින් ඉන්නා තැනට යන්නට ගියා පමණි.  අඩි හත අටක් උස එකෙක් ඇවිදින් ' බය්යා යේ ක්යා කර්තාහේ..' කියා මා නැවැත්වීය.නවත්වා බෝතලය ගෙන වීදුරුව පමණක් ගෙනයන්නට දුන්නේය. ශාරුක් එකල පෙප්සිකෝලා දැන්වීම් වල උන්නේය. අර කොකාකෝලා බෝතලය බොනවා දැක්කානං එදා ශාරුක් මේ තරං පෝසත් වෙන්නේ නැත. ශාරුක් මා සමග කතාකල විනාඩි දෙකට සිගරට් දෙකක් ඇද්දේය. මේ කොටම කොට වයසක මූන ඇති  නළුවා ශාරුක් නොවන වග මම හිතෙන් හිතා ගත්තේ මගේ ශාරුක් උන්මාදය අවුල් නොවෙන්නටය.)

අන්තිමේ විජය කොයිතරම් අල්ලලා ගියේද කියතොත් මම අර මීටිම සොයා ගියෙමි. ඒ මීටිම මගේ මතකයේ හැටියට තිබුනේ අටේකනුවේ බලුබෙටි පාරේය, (නෙකෝ ශබ්දාගාරයට පසෙකින් දිවෙන මේ පාරට දැන් නමක් ඇතැයි සිතමි.) එහෙත් ලොකු අම්මා කියන්නේ එය තිබ්බේ මීගහවත්තේ බවයි. ලොකුඅය්යාට මතක ඇති බව සිතමි. ඒ තැන පිළිබද මගේ මතකය දුර්වල මුත් අර අපේ ගෙදර වාගේම ලොකු පොල් කොටන් තොගයක් ගොඩගසා තිබ්බා මතකය.

ඉස්කෝලේ ඇරී කෙලින්ම මා දුවන්නේ මේ වේදිකාව හදන තැනටය.  ඒ වනවිට අර පොල්කොටන් බදාගෙන පිරිමි දහදොලොස් දෙනෙක් වැඩය.  ඇතුල්වන්නට තිබූ පාරද අහුරා මේ වේදිකාව තනන්නේ ඔවුන්ය. ලොකු බණ්ඩි කියත්, පොල්පරාල , ලෑලි ගෙනවිත් මේ හදන්නේ ජීවිත කාලයට තියාගන්නට පුළුවන් ජාතියේ වේදිකාවකි. එහෙත් වේදිකාව නොව අරුමය වේදිකාව යට ලෑලි ඇසිරූ පසු තට්ටුව යට කොටසය. අර වේදිකාව හදන්නට ආ කණ්ඩායමෙන් දෙදෙනෙක් ලොකු බන්ඩි කියතෙන් පොල් කොට කැබැලි හත අටක් කපා වලවල් හාරා රවුමක් වන්නට හිටවූයේය. හිටවා ඒ මැද තව කොට කෑල්ලක් තබා ලෑලී දෙකක් ගසා ටීපෝවක් තැබුයේය. මේ අනුව මෙය වටමේසයකි. එහෙත් වටමේසය හවස් වන විට බාර් එකක් විය. අර මේස ලෑල්ලට බෝතල් හා බයිට් ආවේය. කොටන්වල වාඩි වූ අර වේදිකා හදපු අයට අමතරව තව හොදට ඇදගත් අය   ලග ගෙදරකින් ඇදගත් වයර් එකකින් පත්තු කරගත් බල්බයක ආධාරයෙන් අර බෝතල් හිස් කරනා ගමන් කතා කලේම විජය ගැනය. එහෙත් මා ඒ වන විට දැන සිටියේ චන්දේ ඉල්ලන්නේ කොබ්බෑකඩුව කියා කෙනෙක් බවය. එහෙත් කොබ්බෑකඩුව මහත්තයා ගැන කතා කලේ නැති තරම්ය. එක වෙලාවක එහි ආ ලොක්කෙක් වැනි අයෙක්ට තව කෙනෙක් මේ බොන පාටියේ අය අදුන්වාදුන්නේ 'විජේගේ බොක්කේ කස්ටිය' කියාය. ඒ නිසා මේ කට්ටිය වැඩ කරන්නට ඇත්තේ සල්ලිවලට නොව බොක්කේ හේතුවකට බව මම හිතා ගතිමි.

අන්තිමේ මගේ අවස්ථාව උදා විය. එදා මහසෙනගක්  වේදිකාව පාමුළ පොරකකා බලා සිටියේය. එහෙම සෙනගක් මා මෙතෙක් දැක තිබුනේද නැත. එකින් එක කතා පවත්වන අයද ඇවිත් වේදිකාවේ ඉදගත්තේය. කොබ්බෑකඩුව මහත්තයාද ආවේය..ඒහෙත් අර බලන් ඉන් අය නිකන් ආවාට ගියාට අත්පුඩි ගැහුවා මිසක ලොකු ගතියක් තිබ්බේ නැත. එහෙත් එකවරම මහා ඝෝසාවක් ඇතිවිය.  වටේ ඉන්නා වුන් කෑ ගහන්නටත් විසිල් ගහන්නටත් රතිඤ්ඤා පත්තු කරන්නටත් විය.  ඒ එක්කම සෙනග මැද්දෙන් උස්සාගෙන මෙන් ආවේ මගේ සමණලයාය. වේදිකාවට නගින තැන මම අර පුදුමය බලාගෙන සිටියෙමි. මා අර මෙට්‍රෝවේ දුටු විජයමය. ඒ පතාක නළුවාය. කිසි වෙනසක් නැත. ඉන් අවුරුදු විස්සකට පසු දුටු ශාරුක් මෙන් මට එපා වූයේ නැත. මම ඇස් නොපියාම බලන් සිටියෙමි. නළුවා උස්සාගෙන විත් වේදිකාවට නගින තැන තියා කෙලින් වූ පසු විජය කුමාරතුංග මදෙස බලා සිනාසීය. ඒ හිනාව..ඒ හමේ පාට... ඒ උසමහත.... සියල්ල පුදුමාකාරය. කොටින්ම රත්තරං පාටය. ඒ ක්ෂණකයෙන් විජය පඩිපෙල නැග්ගේය. නගින ගමන් අර මහා කෑගැසීම ඝෝසාව මැද්දේ මගේ ඔලුව අතගාගෙන  ගියේය. ඒ අතගෑම තත්පර දෙකකට සීමාවන්නට ඇත.

 එහෙත් මගේ ජීවිතයේත් අවුරුදු හතලිස් තුනක් ගතවීත් අදත් ඒ තත්පර දෙක මාගේ හදපතුලේ ඇදී ඇත්තේය.

(එහෙත් දුක විජේ ඝාතනය කලා යැයි කියන ටාසන්ගේ සගයෙකු වූ රන්ජි මල්ලි අපේ ගෙදර ආවා ගියා කියා මගේ අය්යලා දෙන්නෙකුගේ ජීවිත කුඩුපට්ටම් කර දැමීමය. එකෙක් කකුලේ නියපොතු එකක්වත් නැතිව කෙසේ හෝ ජීවිතය ගොඩදාගත්තද අනෙකා තවමත් නියපොතු හප හපා ගොඩ නොවෙන තැනක ඉදීමය. ජීවිතය නිමක් නැති කතා පෙලක් මෙන් දුවන්නේය. එහි එක් කොනක් සුන්දර වන විට අනෙක් කොන අසුන්දරය. එයම ජීවිතයය.)