Tuesday, February 14, 2017

මම බාල යක්ෂයෙක් මි...63


මා බාලදක්ෂයෙක්මි.

 බාලදක්ෂයෙකු වීමට මගේ හිතේ කොනකවත් ආසාවක් තිබ්බේ නැත.. එහෙත් හවස් වරුවේ ඉස්කෝලේ නැවැතී කොල්ලන් සමග විනෝදයෙන් ගත කිරීම මගේ හිතට අල්ලා තිබිනි. එහෙත් හේතුවක් නැතිව නතර වීම  ජයසින්හයේ මෙන්, මෙහි ලෙහෙසි කාරනයක් නොවේ.

 ජයසින්හයේ නම් ගේට්ටු තිබුනේ නැත. 'කකුල් හතරේත් හරක් එන නිසා'  වහන බව කියමින් ප්‍රින්සිපල් සර් උනබම්බු ගේට්ටු දැම්මේය. පරක්කු වී ආවාට ගුටි මුරයක් වැදුනද ඉස්කෝලෙන් යන වෙලාවක් තීරනය කිරීම අප සතුව තිබුනේය. එහෙත් කලුවර වැටෙන විට කිසිවෙකු රැදුනේ නැත. එදා බැනුම් ඇසීම- ගුටිකෑම මෙන්ම බැනීමද-ගුටිදීමද අප දෙගොල්ලන්ටම ජීරණය වී තිබුනේය. අද මෙන් ඒ බැනුම් ගුටි අංගොඩ යවන තරම් ලොකු දෙයක් නොවී අපව යහමගටම යැව්වේය. අද නම් එහි අනෙක් පැත්තය.

අනෙක මට පොත් බෑගයද කරේ පටවාගෙන මහ දවාලේ බස්වල හිරවී ගෙදර යන එකද එපා වී තිබුනේය. ජයසිනහයේ නම් මගේ පොත් දවස් දෙක තුනක් මේසේ යට ලාච්චුව වැනි කොටසේ දමා එන්නේය. ඒ ගස් නැග හදිසියේවත් දුවන්නට උනොත් බෑග් ගන්නට වෙලාවක් නැති නිසාය. අනෙක අර පංති මේ පන්ති, අර ප්‍රැක්ටිස් මේ ප්‍රැක්ටිස් කියා නතරවන කොල්ලන් ගෙදරින් ඔතාගෙන එන බත්මුල් වල සුවදය. උන් සියල්ලෝ අප 'රෝමනු ජේසු' කියා ගාථාව කියද්දී අර බත්මුල් මේසේ උඩ තබා ලකලෑස්ති වෙති. මේ බත් මුල් මගේ සිතේ කොනක තිබ්බ හීනයකි. ජීවිතේ කොයිතරම් දුර ගමන් කරන්නේද..එදා මට තිබුනේ බත්මුල් හීනයකි, ක්‍රීම්සෝඩා හීනයකි. කෙසෙල් කොලේක සුවද හමමින් අත හතරවටේ ඉදුල් ගාගෙන අලි බත්මුලක් කා කැන්ටිමෙන් ක්‍රීම්සෝඩා එකක් බී සෙනග මැද්දේ මහ හය්යෙන් 'ගුඩුස්' එකක් යවන්නට තිබූ ආසාව අද වෙනම ලෝකයක හැදි ගෑරුප්පු සමග නතර වී ඇත්තේය.  මා ආසා සුන්දර දේ  අද නම් නැත්තේය. මතක පොත්වල පමණක් ඔහේ පාවී පාවී ඇත්තේය.

තවත් වැදගත්ම දෙයක් වුනේ එකල ගෙදර වටපිටාවෙන් ඉවත්වෙන්නට තිබූ කැමැත්තයි. එය ආත්මාර්ථකාමී හැගීමක් බව මට අද සිතෙයි. එහෙත් එදා නොයේකුත් හේතු නිසා මට වැඩිකලක් ගෙදරින් පිටව සිටීමේ කැමැත්තක් ඇතිවී තිබුනේය. මේ සියල්ලම අතරේ ඉස්කෝලේ නැවතීමේ මුල්ම උත්සාහය ලෙස මම කැඩෙට් කණ්ඩායමට බැදීමට තීරනය කලෙමි. ඒ තීරනය ඉතා ලෙහෙසි එකක් විය. අම්මා කැමැත්තෙන් පෝරමය පුරවා දුන්නාය.

එහෙත් මා ඉගෙනගත්තේ නැතිනම් ආමි එකටවත් යතැයි වැනි  බලාපොරොත්තුවක් අම්මාගේ තිබුනේම නැත. එක දවසක වීරරත්න ඇන්ටී 'දයා මූ ඉගෙනගන්න පාටක් නැං නෑ ..ඔය ආමි එකටවත් දාපං ..' කියද්දී අම්මා මා නොසිතූ ලෙස පරල වූවාය. මා සිතුවේ අම්මා වීරරත්න ඇන්ටීගේ අනෙක් කට කැඩිච්චි කතා මෙන් මේකත් හිනාවෙන් අතහරී කියා වුව  ' ඔයාගේ ලමයි ඉගෙනගන්ඩයි ලොකු රස්සාවල් කරන්ඩයි..අපේ කොල්ලෝ ආමි එකට යන්ඩයි තිබ්බාම හරිද..' කියා ඇගට කඩා පැන්නාය. වීරරත්න ඇන්ටී අපේ අම්මාගේ ගජ යාලුවාය. ඒ වාගේම අම්මා ඇයගේ කතා වලට සද්ද නොකර හූ මිටි තිබීම සාමාන්‍ය දෙයක් විය.

එහෙත් අපේ අම්මා අපේය. අපි අම්මාගේය.

එහෙයින් වීරරත්න ඇන්ටී  අම්මාට පෙරලා කිසිත් නොකීය. ඇයගේ දරුවන් එකල ඇයව අතහැරියාක් මෙන් නිසා ඇයට දුකට සැපට සිටියේ අප විතරක් වෙන්නට ඇත. මුදල් තිබුනාට තනිකම දැනුනවිට මෙතෙක් කල් ලග හිටි අය නැතිව ගිය විට දැනෙන හැගීම සල්ලි  වලින් ගන්නට බැරිය.

පළමුදවසේ පාන්දර පහට ඉස්කෝලේ පිට්ටනියට එන  ලෙස දුන් හැදින්වීම සමග මම ඇතුළු අලුතෙන් ආ කොල්ලන් තිහක් පමණ ඝන අදුරේ මහ පාන්දර සීතලේ පෝලිමේ සිටියෙමු. මුලින්ම කලේ අපට කලු සපත්තු ගලවන්නට කීමය. ඉන්පස්සේ 'දුවන සපත්තු' දාගන්නටය කීවෙන් මම වටපිටාව බැලීම. බාගයක් කොල්ලන්ගේ කකුල් හෙලුවෙනි. අපට එහෙම සපත්තු ගෙනෙන්නටැයි කලින් කියා තිබුනේ නැත. සපත්තු ප්‍රශ්නේ තිබුනේ අපටය. මෙතෙක් කැඩෙට් පුහුණු වූ අය්යලා ජේෂ්ඨයෝ නිසා අපට ප්‍රශ්න කරන්නටද බැරිය. ඒ අතරේ සියල්ලන්ටම රවුමකට හැදී ව්‍යායාම දුන්නේ ලොකු පන්තියක අය්යා කෙනෙකි.  ඊලගට කමිස ගලවා මේස් බැනියම පිටින් පිට්ටනිය වටේ දුවන්නැයි නියෝගයකි. ලොකු අය්යා කෙනෙකු පැමිණ සපත්තු නොදා දුවන්ඩ බැරි අය පැත්තකට වෙන්ඩ කීය. මම එහෙත් ධෛර්ය ගතිමි.  එක වටයක් නොව වට පහක් දිව්වෙමි. කිසිම මහන්සියක් නැත. එහෙත් පලමු වටයෙන් දෙවැනි වටයෙන් ආදී වශයෙන් එක එක කොල්ලන් හැලී යන්නේය..අන්තිමේ ඉතුරු වුනේ විස්සක් විතරය. එහෙත් කැඩෙට් බාර සර්ගේ මූනේ කිසි එළියක් නැත. සර් අපව ගනන් කලේය. ' දහනමය.. විස්ස.. විසි එක...'  කී සර්..' බණ්ඩාර තව පහක්වත්..' කීවෙන් මම පුදුම උනෙමි. මාත් එක්ක වට පහ දුවාගන්නට බැරි එවුන් පස්දෙනෙක් ආයේ ගන්නේ මොකටද...මම කල්පනාවේම ඉන්නා අතරේ ආයෙත් අර ගනන් කල විසි එක්දෙනාට වට දෙකක් දුවන ලෙස අන ලැබිණ. අප ආයේ හැල්මේ දිව්වෙමු. එවර නම් ඉතා ඉකමනින් පහ හයක් හැළුනේය. සර්ගේ මූන එලිය වැටුනේය. අන්තිමේ හය හයාමාර වන විට එලිය වැටී අප මූන සෝදාගෙන පන්තිවලට ගියෙමු. ඒ යනවිට අපේ කණ්ඩායම දහයකට හෝ දොලහකට අඩු වී තිබිණ. අප ' යන්නං සර් ..' කියන විට කැඩෙට් සර් බණ්ඩාර අය්යාට ' හෙට තුන්හතර දෙනෙක් අඩුවෙයි එතකොට අපේ ගාන හරි බණ්ඩාර... ' කීවද මට තේරුනේ නැත.

එහෙත් එහි තේරුම පසුදා මට පසක් විය. අම්මා මා නැගිට්ටුවාගන්නට දැරූ සෑම උත්සාහයක්ම වතුරේ ගියාය. මගේ ඇග රිදෙන්නේ කවුරුන් හෝ පොල්ලකින් ගැහුවා හා සමානවමය. හිටගන්නට තියා කෙලින් වන්නටවත් බැරි තරමේ හන්දියක් හන්දියක් ඇටයක් ඇටයක් ගානේ රිදුම් දෙන්නේය. අඩුම තරමේ වැසිකිළියට ගොස් ඉදගන්නටවත් බැරි කැක්කුමකි. මෙවර් නම් මම අම්මාට ඇත්තම කීමී. අම්මා මා සැනසුවාය.
'කැඩෙටිං හරියන්නේ නෑ ඔයාට ..ඔන්න ඔහේ ගෙදර ඉන්නැයි'  කීය.

සර්ගේ ගාන හරිගියේය. ඒ අතරේ මගේ ගජයෙකුත් උන්නේය.  ගජයා පහුදාක හමුවූ විට මම ඇත්තම කීමී. 'අම්මා බයයි බං මම ආමි එකට යයි කියල ..' ගජයා හිනා වී ' එහෙනන් වරෙන් ස්කවුටිං කරන්ඩ..' කීය.

 මා බාලදක්ෂයෙකු වූයේ එහෙමය.

මගේ මේ යාලුවා අද හමුදාවේ උසස් නිලයක් දරමින් පෙරදා මෙන්ම අදත් සැහැල්ලුවෙන් ජීවිතය ගතකරයි. උගේ වාහනයේ දොර අරින තරුණ හමුද සෙබලා දිහා බලා මම සැනසෙමි.

බාලදක්ෂයෙකු වී  ජීවිතයට ඕනෑම කරනා දක්ෂකම් උගත්තෙමි. ඕනෑ නොකරන පරකම් ජඩකම් හා කපටිකම් ඒ ඇසුරෙන් ඉගෙන ගෙන ඇත්තෙමි. සමහරුන් ඒ දේවල් 'පාවිච්චි'  කරද්දී උපේක්ෂාවෙන් බලන්නට හැකි ඒ නිසාය.