Sunday, February 5, 2017

කනේ වැලි... 62


මා විශ්වාස කරන ආකාරයට මගේ පෙර ආත්මයේ කර ඇති පවු වලින් එකක් නිසා වන්නට මගේ රාත්‍රී කාලය එහෙන් පිටින්ම වවුලෙකුගේ තත්වයට වැටී තිබේ. ලොව බොහෝ දෙනෙකු සුව නින්දේ ගෙවෙන කල මම වැඩිපුර නිදි වරන්නෙමි. ඒ නිදි වැරීමෙන් සාක්කුවට පාඩුවක් නැති වුවද ඕනෑකරන බොහෝ තැන්වල මම ඇත්තේ නැත. ඊටත් අමතරව මා දවල්ටත් නැත. ඒ දහවල සිදුවන මිතුරු සමාගම් සහ පවුලේ කටයුතු වලදීය. එහෙම වෙලාවට මා ඉහින් කනින් පෙරවාගෙන සැප නින්දෙමි.

ලොවක හැටි...

තවත් එකක් නම් පොතක් පතක් කියවන්නට පටන්ගෙන ටික වෙලවක් ගියවිට හෝ චිත්‍රපටයක් නරඹන්නට පටන් ගත් විට හිත අයාලේ යන එකය. පොතක පතක් සුන්දර අසුන්දර කියා බේදයක් නැතිව, වෙන කොහේදෝ ලෝකයක මගේ හිත වෙන කොහේදෝ යයි. ඒත් මම ඒ පොතේම් අකුරු කියවමින් සිටී. ටික වෙලාවකින් මා අර ඉන්නා තැනින් යලි මතක් වී එන විට පිටු තුන හතරක අකුරු කියවා හමාරය. එහෙත් ඒවා වචන නොවෙන නිසා යලි කියවන්නට වෙයි..
මේ දැනුත් රසවත් පොතක් පෙරලාගෙන ඉද්දී මගේ හිත අතීතයට ගියේ මටත් හොරාය..ඒ නිසා පරිගනකය පනගන්වාගෙන මෙය ලියන්නට පටන් ගත්තෙමි.

ඒ අර ලොකු අය්යා මතක් කරදුන් කනේ වැලි කතාවයි....

කනේ වැලි කතාව ම දැන් ලියමින් ඉන්නා අතීතයෙන් මදක් ඉදිරියට යන්නට සිදුවෙයි. මේ කාලයේ අප හෝමාගම නිවසේ පදින්චිව සිටියෙමු. එකල ලොකු අය්යා පිටරටක රැකියාව කරමින් උන්නේය. මම සාමාන්‍යපෙළ විභාගයට පෙර අවුරුද්දේ නිසා මගේ හෝමාගම යාලුවන් සමග අතිශය බැරෑරුම් ලෙස වගකිමක් ගනිමින් ' රස්තියාදුකාරයෙක්' වී සිටියෙමි. හෝමාගම.. මගේ ජීවිතය ඉහලට ගෙනාවේ නැත. එයට හේතුව මා ආශ්‍රය කල අයගේ වැරැද්ද නොව මගේ වැරද්දයි. මට මෙහි ආශ්‍රය කරන්නට හමුවූ අය නුගේගොඩ අයට වඩා සමාජයේ බොහෝ තැන්හී පහලින් සිටියේ මුත් මගේ ආශ්‍රය, ඔවුන්ව මා දැනසිටි ඒ වෙනස්කම පහදා ඔවුන්ව ඉහලට ගෙන යනවාට වඩා, ඔවුන් සමගම 'වලටම' ඇදී යන තැනකට ගෙනාවේය. පසුකලෙක මගේ නුගේගොඩ යාලුවන් නිසා හා තව මගේ ජීවිතයේ අතිසය වැදගත් කිහිපදෙනෙකු නිසා මා ගොඩ ගියද අර යාලුවන් ඇදගෙන යන්නට දෛවය ඉඩ දුන්නේ නැත. ඒ හෝමාගම මගේ කාලයේ මගේ පලාතේ පරිසරයේ දුෂ්ටකම බව වාගේම මගේ ජීවිතයේද අඩුවක් බව මා සිතා සිටිමි.

මේ මගේ ප්‍රිය මිතුරු සමාජ ගැන්සියේ උන් කඩවසම් කොල්ලා මගේ 'බොක්කේ' යාලුවෙක් විය. මේ යාලුවා ඉගෙනීමටද අතිදක්ෂයෙකු විය. එහෙත් ඔහුගේ ජීවිතය වැඩි ඉගෙනීමක් නැතිව ගුවන් හමුදාවේ රාජකාරියටද, ඉන්පස්සේ බීමත්කමටද සින්න විය. එහෙම බීගත් කල ඔහුව පාලනය කල හැකිව තිබුනු එකම එකා වූ මට ඔහු  මා ඉතා පරිනත යාලුවෙකු ලෙස හන්වඩු ගසා තිබුනේ, මා මේ රස්තියාදු කල්ලියේ එකම එක පොත් කියවන්නා වීම නිසාවෙනි. ඒ නිසාම බීගත් කල 'රාජකාරී' කරන්නට යන හැම විටම මා ඔහු ඉන් ගලවා ගත්තෙමි. එහෙත් එක දිනක නහයෙනුත් උඩට බීගෙන තව 'කාලක්' ගන්නට පැදි මෝටර් සයිකලය ඔහුව කෙලින්ම මාරයා වෙත රැගෙන ගියේය. එවිට ඔහුට වයස තිස් ගනනකි.

මරණින් මතු ලෝකයක් ඇත්නම් ඔහුද එදා මෙන් මා ලොකු මිනිහෙකු ලෙස සලකා මේ ලියමන කියවනු ඇත. ඒ බව සහතිකය.

ඉතින් මගේ මේ යාලුවා මට වඩා අවුරුද්දක් බාලය. ඒ බාලයා මට එකදිනෙක මරු යෝජනාවක් කලේය.
'යන්ද මූදේ නාන්ඩ...'
මම බෑ නොකියන නිසා ඔහු මූදූ නෑම කළමණාකරණය කලේය. එහි මුල්ම අංගය මුදල් සොයාගැනීමයි. අපට එකල රුපියල් දහ පහලොවක් තිබ්බාට  අරක්කු බාගයකටත්, සිගරට් දෙක තුනකටත් බයිට් පැකට් එකකටත් සල්ලි තිබ්බේ නැත.
(ඔව්..නවය පන්තියේ වුව අපි ඉදහිට කාලකට සෙට් වී.. සිගරට්ටුවක් උරන්නට පුරුදු වී සිටියෙමු.) ඉතින් මුදල් සොයාගැනීම ඇරඹුනේ මගේ බාලදක්ෂ 'වැඩ සතියේ' කාඩ් එකෙනි. බාලදක්ෂයන් සදහා සමූහ වශයෙන් සුළු සුළු වැඩවල නිරතවී මුදල් එකතු කර බාලදක්ෂ සංගමයට යැවීම සදහා අවුරුද්දකට එක සතියක් වෙන්කර තිබුනේය. මෙහි කාඩ්පත් ලැබෙන්නේ සතිය ඇරඹෙන්නට කලිනි. ඒ කාඩ්පත් මා නායක බාලදක්ෂයෙකු වූ නිසා මගෙ බාරයේ තිබුනෙන් අප දෙන්නා බාලදකෂ නිලඇදුම නැතිව කර පළදනාව පමනක් දමාගෙන ගෙයින් ගෙට ගියෙමු. නිල ඇදුම් තිබුනේ එකක් නිසා අප දෙන්නා පාසල් නිල ඇදුමෙන් මගේ කර පළදනාවත් දමාගෙන ගිය හැටි මතක් වන විටත් අද එදා නැති බයක් දැනෙන්නේය. ලැජ්ජාවක් හිතෙන්නේය. ඒත් එදා එහෙම නැත. අප ගෙන්ගෙට ගොස් වැඩ ඇත්දැයි අහද්දී වැඩක් පලක් කරවාගෙන ලොකු ගානක් දෙනවාට වඩා 'ආ මේක තියාගන්න...' කීම බොහෝ දෙනෙකුට වාසියක් විය. එදා අප දෙන්නා ගියේ එක දවසක් එක හවසක් පමණක් වීත් හිතුවාටත් වඩා එකතු වීම අප දෙන්නාට ඊටත් වඩා ජොලි කාරණයක් විය.

දිනය සතියේ දවසකය..

අපි දෙන්නා අමතර පන්ති යන මුවාවෙන් වැල්ලවත්ත මුහුදු තීරයට යන විට මාරු කරගන්නට ඇදුමක්, පිහදාගන්නට තුවා කෑල්ලක්, ගල් අරක්කු බාගයක්, සිගරට් තුන හතරක්, ගිනිපෙට්ටියක්, වීදුරු දෙකක්, බයිට් එකට කඩල ආදී ඕනෑකරන හැම දේම පොත් බෑග් දෙකෙ තිබ්බේය. අපි දෙන්නාගේ සතුට නිමක් නැත. අපි දෙන්නා ඒ සතුටෙන්ම වෙරල තීරය වසා සිටි වැටකෙය්යා පදුරු අස්සෙන් ' අක්කලා අය්යලා' ප්‍රේම නොකරනා තැනක් සොයාගත්තේද අමාරුවෙනි. ඒ සැනින් ඇදුම් මාරු කරගත් අප කොට කලිසම් වලට බැස්සෙමු. මේ කොට කලිසම අදත් මට මතකය. ඒක ගෙනාවේ ලොකු අය්යා ඕමානයේ සිට එන විටය. දෙපැත්තෙන් සාක්කු දෙකක් තිබූ අතර ඒ දෙපැත්තේම පෙප්සිකෝලා කියා නිල් රතු පාට දෙකෙන් ලොකුවට මුද්‍රණය කර තිබුනේය.  ඉතින් මේ පෙප්සි කලිසමට බැස. අරක්කු බාගේ බෝතලය මූඩිය කඩා වීදුරු දෙකට හීනී අඩියක් දමා සෝඩා සමග කලවම් කර කඩල ඇටයක් අතට ගත්තා පමණි...මා කුණුහරුප දනිතත් මෙතෙක් නොඇසූ තඩි කුණුහරුප වැලක් ඇදබාමින් කොහේදෝ සිට මහා මරුමුස් පෙනුමක් ඇති මිනිහෙක් කඩා පාත්විය.

'තොපි දෙන්නා ඇටෙන් පොත්තෙන් පයින්ඩ ඉස්සෙල්ලා, මෙතැන අරක්කුත් අරගෙන ....හිටපිය වේ පුතාලා පොලීසියට අල්ලල දෙන්ඩ..'

කියන විටම අපි දෙන්නා හිටගෙනම වැන්දෙමු. නොවදිනා වැදුම් වැන්දෙමු. අන්තිමේ චණ්ඩියා කූල් විය. එහෙත් අපේ අරක්කු බාගයත් සිගරට් තුනත් බයිට් එකත් අර මිනිහා සතු කරගත්තේය. එහෙත් අපේ පෙනුම නිසාදෝ ඔහු ..

'හරි ගිහින් නාපල්ලා මං ඇදුං ටික බලාගන්නං..'

 කියා අර පදුරේ ගලක් උඩ වාඩි විය. එහෙත් අප නොවේ හෙල්ලුනේවත්..අන්තිමේ ඔහු අපට බැනවැදුනේය..
'
නාන්ඩනේ ආවේ..නාපල්ලා ඉතින් ..නැත්නන් අරිනවා හෙලුවෙන් ගෙදර..'

කියා ලොකු තගරියක් දැම්මේය. අපි දෙන්නා බයටම කරක් ගිලී ඔලුව උඩ තබාගෙන අර මිනිහා අපේ ඇදුම් ටිකත් අරන් පැනයන හැටි බලන් සිටියෙමු. එහෙත් ඔහු පැන යන පාටක් නැත. ඒ වෙනුවට ඔහු රැල්ල වදින මායිමට වරින් වර අපේ බෝතලයෙන් බී ඇවිත්

'නාපල්ලා..නාපල්ලා ..මම හොරෙක් නොවෙයි'

 කීවෙන් ඕන කෙන්ගෙඩියක් වෙන්නට කියා අපි වෙරල සීමාවේ නෑවෙමු. වැඩි ඈතකට නොගිහින් අර මිනිහා දිව්වොත් පස්සෙන් දුවන්නට හිතාගෙන අර වැලි සියලුම 'කපාට' අස්සේ යන තෙක් වතුර නොව වැලි නැවෙමු. අන්තිමේ අප ගොඩ එන විට අර මිනිහා අපේ බෝතලය ඉවර කොට බයිට් එකත් කා එකම එක සිගරට් එකක් ඉතුරුකොට තිබිනි. ඒ සීතලේ එන අප දෙන්නාට බව කියා ඉක්මනින් ගෙදර යන ලෙසද කියා ඔහු වැනී වැනී අර අපේ ආතල් එකෙන් නොපෙනී ගියේය.

අප දෙන්නා කතා කලේත් මහරගමත් පසුවී ටික දුරක් ආ විටය. (අප දෙන්නා ගිවිස ගත්තේ මේ කතාව කිසිවෙකුට නොකියා ඉන්නටය. එහෙත් රස්තියාදු කල්ලියේ සැම ඉතා ඉක්මනින් මේ කතාව දැනගත්තේ අපෙන්මය. අපි පසුව එය ජොලි කතාවක් කරගත්තෙමු. එය අප දෙන්නා උස්මහත් වී දරුමල්ලන් ඉන්නා වැඩිහිටියන්ද වූ පසු සියලුම හමුවීම් වල මතුව ආයේ සතුටු මතකයක් ලෙසය. )

එහෙත් එදා මා ගෙදර ආ පසු තත්වය වෙනස් එකක් විය. එදා ලොකු අය්යා නිවාඩුවට ගෙදර විත් තිබූ කාලයකි. අම්මා මගේ පෙප්සි කලිසමේ වැලි ඇති බව අය්යාගේ කනේ තබා තිබුණේය. අම්මා සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැත. වෙනදාට අම්මා 'හිටපං අය්යාට කියා යවන්නන් ' කීවා මිසක කිසිදා මා ගැන කීවේ නැත. මම එදා ගෙදර විත් බත් කා ගැට අඹයක් පොතු ගහමින් උන් වෙලාවේ අය්යා මට සැරෙන් කතා කලේය. ගියේ කොහේදැයි ඇසුවේය. මම හැම එකකටම කොහේවත් නැත..පන්ති ගියා මිසක කීවෙමි. එහෙත් 'මට කලින් වැල්ලවත්තේ නාන්නට ඇති'  ලොකු අය්යා මා ලගට කැදවා කන අස්සට ඇගිල්ලක් දා හීන් වැලි රොදක් පෙන්වා..'තෝ මරණවා..'  කීය. ලොකු අය්යාගේ අක්කා පැන මා හැමදාම මෙන් බේරාගත්තාය. එහෙත් ඒ විනාඩි දෙක තුනක කතාබහ අතර මම අර අඹ ගෙඩිය සහමුලින් කා තිබුනේය. මටවත් ඒක ගැන නිච්චියක් නැත.

අය්යා මට බැනවැදී මුහුණත් රතු කරගෙන ගොස් කෙන්තිය නිවෙන්නට සිගරට්ටුවක් පත්තු කරගත්තේය. හොද වෙලාවට ඒ පැකට්ටුවේ සිගරට් අඩු වුනේ කොහොමදැයි   අය්යාට තේරුනේ නැත. එහෙම වුනා නං අද මම මීට වඩා හොද තැනක, මීට කලින් ඉන්නට තිබුනේය...