Thursday, February 2, 2017

හෙලුබැල්ලෙන් නෑම ප්‍රීතිජනකය (61)


'ඉතින් නාන්ට ගියේ නැද්දැයි...'  අසා මහේෂ් රත්නායකගෙන් කමෙන්ටුවක් තිබුනෙන් මගේ මතක පොත යලි පෙරළුවෙමි. එහෙත් මා නාන්නට ගිය අවස්තා විසි තිස් ගානක් අතරේ 'ඇදගෙන නෑ ' අවස්තා හැරෙන්නට මේත් එක නෑමකි.
මගේ පන්තියේ මට සෙට් වෙන ජාතියේ එවුන් තිස් ගානක්ම සිටියේය. (පන්තියේ සිටියේත් තිස් ගානකි.) මෙයින් බාගයක් බාලදක්ෂයෝ නිසා අප තවත් ලගින් ආශ්‍රය කලෙමු.  එයිනුත් අපේ ගෙවල් පාස් කරගෙන මහරගම- හෝමාගම- පාදුක්ක- කලුඅග්ගල පැත්තට ගිය එවුන් මගේ ලග මිත්‍රයෝ ලෙස මට දැනී තිබුනේය. එහෙත් පසු කලෙක මගෙ මහරගම මිත්‍රයෙකුත් විජෙරරාමේ මිත්‍රයෙකුහ් කට්ටිය හන්දියේ මිත්‍රයෙකුත්  ජීවිතයේ හොද මිතුරන් බවට පත්වීය. එයිනුත් මහරගම එකා දැන් දිනපතා මුහුණු පොතේ අරක්කු බෝතලයක පින්තූරයක් දාන්නේ 'අපි බොනවා; කියන්නට වෙන්නට ඇතිය. ඌ මට සෙට් වුනොත් දිනක බෝතලයක් බී බිම පෙරලාගෙන ගුටි ඇන පස්සේ බෙලි බදාගෙන ආගිය කතා කරන්නට ආසය. ඒ තරං 'මිස් වූ ' දේවල් අපේ ජීවිත වල තිබේ.

මේ ජිවිතයේ මට මිස් වූ තවත් කෙනෙකු නම් මගේ පාදුක්කේ යාලුවාය. ඔහු පාදුක්කත් පහුකරගෙන ඉන්ගිරිය පාරේ ඉතාමත් ලස්සන පෙදෙසක ලස්සන අක්කා කෙනෙකු සමග සිටියා මට මතකය. මේ අක්කාව පරෙස්සම් කරන්නට ඈ සමග යනෙන හැමතැන ගියේ මගේ යාලුවාය. ඉතින් ඒ නිසා අක්කාගේ වුවමනාවන් වෙනුවෙන් 'වෙන්ඩ මස්සිනාලා' අපේ එකාට හොදට ගෙවීම් කලේය. ඒ නිසා මගේ යාලුවා ලග
 'අපේ හිත් '  පිරෙන්නට සල්ලි තිබ්බේය. ඒ සල්ලි වලින් ඉස්කෝලේ කැන්ටිමේ මාළු පාන් රෝල්ස් වලට වග කීවේ අපය. මගේ යාලුවාට නැති වෙලාවට අප කලෙක්ෂන් දා අර ගල්ගෙඩි වාගේ ගල්බනිස් දෙකතුනක් ගෙන කා බඩවල් පිම්බෙන තුරු  වතුර බීවෙමු.
මේ කෙටි කතා අතරේ මගේ යාලුවා හැමදාම ඔහුගේ ගම් පලාතේ ලස්සන ගැනත්, නාන්නට තියෙන සීතල දිය පාරවල් ගැනත් වර්නනා කලෙන් දිනක අප බාලයක්ෂයන් කිහිපදෙනෙකු 'නෑමකට'  සැරසෙසුනෙමු.

මේ නෑම සදහා සති අග දිනක මමත් දැන් හමුදාවේ ලොකු නිලයක් දරන කෙනෙකුත්. මහරගම යාලුවාත්, මට මතක නැති තව කෙනෙකුත් ගියා මතකය. අප  උදෙන්ම නුගේගොඩදී හමුවී,  ආපිට අපේ ගෙවලුත් පහු කරගෙන ඉංගිරිය බස් එකක ගියා මතකය. යාලුවා කී කතාව ඇත්තය. පාදුක්කෙන් පසු ඒ පලාත වෙනමම ලෝකයකි. ඒ ලෝකයේ මගේ සිත හතරවටේ ඇවිද්දේය. එදා දැනුනු සැහැල්ලුව අදත් මට සිතෙන් විදිය හැකිය.ඒ තරම් සුන්දර දේවල් මගේ ජීවිතයට තවමත් අලුත් හීන මෙනි. අද මා දකින විදින කුහක හීන වලට වඩා ඒ හීනවල මිනිසුන්- ගැහැණුන්- ගම්දොර- සතා සරපයා පවා සුන්දරය.

එහෙම සුන්දරකමකින් ඒ ගෙදර අම්මා රතු හාලේ බත්ද මැල්ලුමක් සහ මිරිස් මාලුවක්ද උයා උදේවේල හදා දී නෙක විනෝද කතා කියමින් ගිලදමන හැටි ඒ අම්මා බලාඉදින්නට ඇති කියා මා සිතමි. අවාසනාවකට මට ඇයව මතකයට එන්නේ නැත.

කෑමෙන් පසු අප යාලුවාගේ වත්තේ තිබූ පේර හා අඹ ගස්වල පලදාව ගැට පිටින් කෑවෙමු. එය තනිකරම ' වතු-සුද්දයකි'. ගැට පෙර වල පොත්ත දත්වලින් විකා ඉවත දමා මැද ඇට සහිත කොටස කිරි රහට  කෑ අපි, අඹ යන්තම් පැහීගෙන එන ගැට පවා කිසි හිරිකිතයක් නැතුව ගිල දැම්මෙමු. ඉන්පස්සේ අපේ නෑමේ සැලසුම ක්‍රියාත්මක විය. අප කම්බි වැටක් පැන පෙරදා වැස්සට හේදී ගොස් තිබුණ අඩිපාර දිගේ කූඩැල්ලන් ගලවමින්  රබර් යායක් දිගේ හතැම්මයකට වඩාඇවිදගෙන ගොස් ගල් තලාවක් සමග කුඩා පොකුණක් වැනි තැනකට ආවෙමු. ඒපොකුණ ගැඹුරු බව කියන්නට එහි වතුර ගුප්ත අදුරු පාටක් ගෙන තිබ්බේය. 'නාමු නාමු'  අපේ ඒකමතික තීරනය විය. එහෙත් අපි නාන්නේ හොරෙනි. මෙච්චර දුර ආවේත් ඒ නිසාමය.ඉතින් නාන්නට අදින්නට ඒවා නැත. එදා එයින් නොසැලී නිර්වස්ත්‍ර වී රබර් කොල වලින් 'ගැජෙට්ටුව' වසා ගත් අප එකිනෙකාගේ දිහා බලමින් බඩවල් අල්ලාගෙන සිනාසුනෙමු.

සිනාසීම මගේ යාලුවා අර වතුරට පැන්නේය. ජබුස් ගා වතුරට පැන යට ගිය යාලුවා ආවේ තත්පර ගානකට පසුය. ' ටිකක් ජඹුරයි ..පීනන්න බැරිනන් පයින්නට එපා'  කියා ඔහු යලි යට ගියේය. මගේ ඉවසීමේ සීමාව පැන තිබේ වතුර ටික රත්තරන් මෙන් උදා අව්වෙන් දිලිසෙයි, මගේ යාලුවන් එකිනෙකා පනිමින් ජබු ගහයි, පීනයි, උඩබැලි අතට පාවෙයි. දිය යටි ගොස් අනෙකාගේ ගැජට් අතගා වතුරේම හූ තලති. එහෙත් කරුමය මට පීනන්නට බැරි බව උන් නොදැනීමය. අනෙක මේ තරම් වෙලා හෙලුවැල්ලෙන් ගොඩ ඉන්නට බැරි කමය. අන්තිමේ මම බැරියාව කීවෙමි. එහෙත් මගේ යාලුවෝ හොද එවුන්ය. 'උඹ පැනපන් අපි බලාගන්නං' කීය. එලෙසම යටට ගිලෙන විට කලබල නොවී උඩ ආ විගස අප අල්ලාගන්නා තෙක් කලබල නොවී ඉන්නා ලෙසද අවවාදයක්ද කෙරිණි. මම අද  නම් කිසිදා නොපනින පිම්ම පැන්නෙමි. ඇස් පියාගත්තෙමි.  සීතල වතුරක් සමහ මට සුසුමක් පැන නැන්ගේය. ඒ එක්කම අර කළු පාට ගුප්ත අදුරේ ගිලෙන්නට විය. එහෙත් එකවරම මගේ දනිස් අර පොකුණ පතුලේ ඇනී යලි මා උඩට තල්ලු කලේ රබර් බෝලයක් මෙනි. මා උඩ එන විට මගේ යාලුවෝ නැත.එහෙත් කවුරුන්දෝ මා අල්ලා එකසැරෙන් උඩට ඇද්දේය.  මා කුමක් වීදෝ කුමක් වන්නේදෝ නොදැන වට පිට බැලුවෙමි. කාකි කොට කලිසමක් හා බඩ දක්වා ඇරුණු කාකි කමිසයක් ඇදි වයසක කෙනෙකු හනි හනික කලිසන් ඇදගන්නා අපේ එවුන්ට ගජරාමෙට බනින්නේය.

 'තොපි මැරෙන්ඩද පැන්නේ නැත්නන් පොට්ට වෙන්ඩද පැන්නේ..යකෝ මේ දවස් ටිකේම රබර් එකේ බෙහෙත් ගහලා හෝදගෙන ඇවිත් මේ වලේ තමයි එකතු වුනේ. තොපි ගිලිලා නොමැරුනත් කුණුවෙලා මැරෙයි..දුවපිය වේ..පුතාලා ගිහින් ලිදකින් නාපියව්..' කියා යන්නට අවසර දීමම අපේ කකුල්වලට පන එන්නට හේතුවක් විය.අපි දිව්වා නොව ඉගිල්ලෙනෙමු. ඉගිල්ලී ගොස් ආයෙත් නාන්නට බැරි නිසා යාලුවාගේ ගෙදරින් මූන කට සෝදාගෙන දවල් බතද කා අර කාකි ඇදුම ඇදන් ආ වත්තේ මුරකරුගේ අම්මා මුත්තා ඇතුළු සකලවිධ ඥාතීන් මතක් කරමින් ගෙදර ආවෙමු.

ගෙදර විත් නෑවා මට මතකය. රෑ නින්දට යද්දී කකුල් කසන්නට පටන් ගත්තද ඒ තරම් ගනන් නොගත්තත් එළිවන විට රතු පාට කුඩා බිබිලි ඇග හැම තැනම විත්, නින්දේදී කසා වනවී, දැවිල්ලක් අල්ලා තිබුනේය. අම්මා කලබල විය. මදුරාවතී නැන්දා පැමිණ මේ 'දෙය්යන්ගේ ලෙඩේ' කීය. මට එදා දෙය්යන් නිසා සතියකට වඩා ඉස්කෝලේ අහිමි විය. ඊටත් වඩා 'ලැක්ටකැලමයින්'  ගද නිසා දෙවියන් තවත් එපා විය. ඊටත් වඩා සතියක් තිස්සේ අම්මාට කියූ බොරුවක රගපාන්නට වීම නිසා ලැජ්ජාවක්ද ඇතිවිය. ඇත්ත කීවානම් අම්මා 'පුදුම වදයක් දෙන්නේ ඔයාලා..' කියා මා රැගෙන නර්සින් හෝම් යනු ඇත. එහෙත් මම ඒ බොරුවේම සිටියේ ලැජ්ජාව නිසා වන්නට ඕනෑය. අන්තිමේ දෙය්යන්ටම එපා වී මා හොදකර ඉස්කෝලේ යැවූ පසු නාන්නට ගිය හැම එකාටම දෙය්යන් පිහිට වී ඇති වග දැන ගැනීමෙන් බාලදක්ෂ කාමරය හෙල්ලෙන්නට අප සිනාසුනෙමු. 

මගේ යාලුවා පසුකලෙක යහපත් වේශයකින් ආ අයපත් මිනිසුන් නිසා මතට ඇබ්බැහි විය.. කිහිප වරක්ම පුනුරුත්තාපනය වී ආවත් නැවැත අර නොමිනිසුන් අතරටම එක්විය.ඔහු එහෙම වෙද්දී මම යහපත් මිනිස් කොට්ටාසයක් මැද ඈත වනෝද්‍යානයක වෙරළබඩ හෝටලයක ජීවිතයක් ගත කලෙමි.

මට ඔහුව මිස් වෙන්නට එක හේතුවක් එයම විය.