Sunday, January 22, 2017

බුදුන් එන තෙක්....(57)



ලස්සන සාදු කෙනෙක් අපේ ගෙදරට පල්ලමේ වඩිනු දුටු අම්මා කලබල විය. එහෙම පන්සල් , දාන , හාමුදුරුවරු අපට අද මෙන් 'සාමාන්‍ය' වී තිබුනේ නැත.
අඩුම තරමේ මම දහම්පාසලකට හෝ ගිහින් තිබුනේ නැත. එහෙත් අම්මා අපට කටින් නොකියා එක දහමක් කියා දුන්නාය. ඒ අනෙක් මිනිසුන්ගේ හිත් නොරිදන හැටි හා අනිත් අයගෙන් රිදෙන හිත අමතක කරන හැටිය. මේ දෙකම  අඩු වැඩි වශයෙන් මට අදත් තිබේ. එහෙත් මගේ හිතට ලගම අයට මා නිරන්තර වද දෙන්නෙමි. ඒ උන් 'මගේ' නිසාය. මා මගේ වැඩ නිසා හිත් රිදවා ගන්නා මගේ එවුන්ට කියන්නේ 'මගේ හැටි මෙහෙමය..උබලාට නලුවෙක් ඕනෑ නම් මට ඒකත් යහමට පුළුවන් බවය'.

මහ දවාලේ වැඩි නිසා දාන වේලක් ඕනෑ නැතත් අම්මා ගිලන්පස ලැහැස්ති කලාය. නෑදෑයන්ගේ මල ගෙවල්වල අදින සුදු සාරිය කබල් පුටුවේ එලුවාය. එහෙත් මේ හාමුදුරුවන් ඇවිත් තිබුනේ ලොකු අය්යාව හොයාගෙනය. මේ හාමුදුරුවන් ලොකු අය්යාගේ යාළුවෙක් බව කීවා මට මතකය. ඒ කොහොම යාළු කමක්දැයි මට දැන් මතක නැතත් ඉස්කෝලේ කතාවක් මට යන්තමට මතකය.  හාමුදුරුවන් තලපත්පිටිය පැත්තේ අලුතෙන් පන්සලක් හැදූ බවත් එය ඉතා ඉකමනින් දියුනු වන බවත් කියමින් ලොකු අය්යා හමුවී එහි එන්නට ආරාධනා කිරීමට ආ බවත් හාමුදුරුවන් කියා සිට්යෙන් ආධාරයක් බලාපොරොත්තුවෙන් නොආ බව අපට සුබ පණිවිඩයක් විය. (ඒ වාගේ අය ආ විට 'හවස එන්නැයි ' කියා  පිටත් කිරීමට අපි සැදී පැහැදී සිටියෙමු. ඒ තාත්තා එන්නේ හවස නිසාවෙනි. එහෙත් එහෙම ආපහු කෙනෙක් එන්නේ නැත. ආවත් අපේ තාත්තාගේ දේශපාලන පන්තියේ හඩ ඇසෙන තෙක් මානයෙන්ම පලායන්නේය.) අන්තිමේ හාමුදුරුවන් ටික වෙලාවක් ගතකොට පවුලේ සියළු වතගොත අසාගෙන ආයා කටුවකින් බිත්තියේ හුණු හූරමින් චිත්‍ර ඇද සිටි මට ' යන් පන්සල පැත්තේ..' කීවේ මා අන්දමන්ද කරමිනි.
හන්වැල්ලේ පොඩි පන්සලේ ඇරෙන්නට වෙන පන්සලක කාලය ගතකොට නැති මට මෙය අමුතුම අත්දැකීමකි. මා දන්නා තරමට පන්සල්වලට විසිතුරු ලෙස සැප පහසු ජීවිත තිබේ. නිදහස් ශාන්ත බවින් පිරුණු අමුතුම ලෝකයකි.අනේක විධ කෑම බීම ඇති දානය ලැබෙන්නේය.
(ආනන්ද අය්යලාගේ දාන පිංකං වලදී කජු මාලුව බෙදන්නට ලැබුනොත් මගේ අතින් කන්හැන්දක්වත් බෙදෙන්නේ නැත. එහෙත් නැන්දා නම් දුක් වන්නේය. 'අනේ අගේ ඇති කජු මාලුව උන්නාන්සෙලා වලදලා නෑනේ..' කියන විට මා උත්තර දෙන්නට පැත්ත පලාතක ඉන්නේ නැත.  නැත්නම් දානෙන් පසුව අපට බත් බෙදෙන විට කජු මාලුව වාෂ්ප වී ඇත්තේය.සමහර හාමුදුරුවරු අර කහපාටට කිරට උයා තිබෙන කජු මාලුව දිහා බලනු මට පෙනුනාට මගේ වයසේ  හාමුදුරුවරුන්ට ලැබෙන්නේ හොදි විතරය.  එහෙම බලනු විට මම පිං වලට වඩා කර  ඇත්තේ පවු මය. එහෙත් ලොකු හාමුදුරුවන් ඒ සියල්ල අමතක කොට පින් වඩන්නේය. මටත් මේ තරං අනේකවිධ කෑම ලැබෙනවා ඇත්තේ ඒ නිසාය.)

කෙසේ හෝ අම්මා මා නොයවා ඉන්නට බැරි තැන 'එහෙනන් ගිහින් හවස අය්යා ආ විට එන්නැයි.' කියා අවසර දුන්නාය. ඉන්පස්සේ මම ඒ සිවුර පස්සෙන් වැටී බස් එකකද නැග පන්සලට යන ගමන පටන් ගත්තෙමි. එහෙත් මා වෙනදා මෙන් සිතිවිළි ලෝකයේ අතරමං වෙන්නට නොඇර හාමුදුරුවන් දිගින් දිගටම විවිධාකාර ප්‍රශ්න ඇසුවේය. සමහර ඒවා ගෙදරදී ඇසූ දේම නැවැත ඇසීමක් බැවින් මට ගමන එපා වෙන තැනක්ට ආ විට ජනේලයෙන් අත නොව බෙල්ලද එලියට දමාගෙන අවට සිරි බලමින් ගියෙමි. බස් රථයට නැගුනු අපට අසුනක් හමුවුනා පමනක් නොව ටිකට්වත් නොකැඩූ කොන්දොස්තර ඒ මදිවාට දෙකට නැමී වැදීම මට අලුත් අත්දැකීමක් විය. ඒ අත්දැකීම මගේ සිතිවිළි  ලෝකයේ කනපින්දන් ගසා අලුත් මාතෘකාවක් සපයා දුන්නේය.

මා දැන් හිස මුඩුකරගත් මහනෙකි. මා අර වටාපතෙන් මුහුණ වසාගෙන පයට සෙරෙප්පුවක්වත් නැතිව හිමින් ගමනේය. ඈතින් මා දකින්නෝ මා ලගට විත් පය අල්ලා වදිති. මම ඔවුනට සුවපත් වේවා කියමි. ඔවුන් මට බනකට දානයකට ආරාධනා කරන්නේය. බනක් නම් ඉතා චතුර ලෙස විව්ධ ජාතක කතා කියමින් දේශනා කරමි. ඉන්පස්සේ ලැබෙන සියළු පිරිකරද ගෙන යලි සාන්ත ගමනින් වඩින්නෙමි. කිසිවෙකු මා මගහැර යන්නේ නැත. කිසිවෙකු මා නොතකන්නේද නැත..සියළුම දෙනා 'පොඩි හාමුදුරුවනේ  කියමින් මා පසු පස එන්නේය..
එහෙම වැඩි වෙලාවක් හීනබලන්නට අවසර නොදෙමින් අපි බසයෙන් බැස්සෙමු. ඉන්පස්සේ දීර්ඝ පයින් ගමනකින් පසු ඉතාම මනරම් වෙල් යායකට පසුබිම් කොට තැනෙන අලුත් පන්සලකට ඇතුල්වුනෙමු. එහෙත් එ පන්සල තනිකර වැඩ  බිමකි. සිමෙන්ති වැලි ගල් ගොඩ ගසා ඇති බිමෙහි මගේ අර සාන්ත පන්සල් හීනය බොදව යන්නට පටන් ගත්තේ ඉතා ඉකමණනි. උඩට  ඇදුමක් නැති බාස් උන්නැහෙලා සරම් කෙටි ඇදගෙන බදාම අනති, එකෙකු විල්බැරොවක පුරවාගත් කළුගල් තොගයක් වැරෙන් තල්ලු කරමින් එහා මෙහා යන්නේය . ලපටි බෝ ගසේ හතරවට යකඩ කම්බි කූරු හේත්තු  කොට ඇත්තේය.
මම හාමුදුරුවන්ට මෑත්ව කතා බහට සවන් දුන්නෙමි.හාමුදුරුවන් ලොකු බාස්ට පොඩි පහේ ඝර්ජනාවක් කරන්නේය. ඒ හාමුදුරුවන් ගිය පසු වැඩක් කෙරී නැති බව පෙනෙන්නට තිබෙන නිසාය. එහෙත් මම බලාපොරොත්තු වූ ගෞරවය ලැබෙන්නේ නැත. හාමුදුරුවන් මා අඩ ගසාගෙන මදක් ඈතින් තිබූ බාගෙට නිමකල ගෙයක් වැනි තැනකට ගොඩ වී  'මා  නැති විට කිසි වැඩක් කෙරෙන්නේ නැති'  බව මට කලකිරීමෙන් කීවෙන් මටද හාමුදුරුවන් ගැන සෝකයක් ඇතිවිනි.
හාමුදුරුවන් ඒ සැනින් ඒ ලොකු යතුරු කැරැල්ලකින් අර දොර හැරියේය. ඒ දොර ඇර 'මේ තමා මගේ නිදන කාමරේ' කීවේය. මම ඔලුව දමා බැලුවෙමි. එය නිදන කාමරයක් නොවේ. එහි එක බිත්තියක් වැහෙන්නට බ්‍රවුන්පේපර් බෑග් වල දැමූ පිටි ටින්, සීනී , තේකොල කන්දකි. අනෙක් පැත්තේ අටපිරිකර කන්දකි. ඒ මැදින් කළු සහ කහ පාටෙන් කුඩ කන්දකි. නිදන ඇද ලග මේසයක් තබා එහි උඩින් අල්ලා තිබූ ලෑලි තට්ටුවක බුදුපිළිම දුසිමකට වැඩිය. ඒවා ඉටිකොල වලින් වසා ඇත්තේය.හාමුදුරුවන්ට මගේ ලොකු ඇස් පෙනෙන්නට ඇත. 'ඔය ඔක්කොම පිරිකරට ලැබිච්චා. හොද බුදු පිළිමයක් තෝරාගන්ඩ. ගෙදර ගෙනියන්න..'.
එහෙත් මම ඒ කාමරයට යන්නට මැලි උනෙමි. හාමුදුරුවන් පස්සේ වැටී යලි කුස්සියක් වැනි එකක් දෙසට පියමැන්නෙමි. එහෙත් එහි මාගේ සිහින ලෝකයේ තිබූ පන්සල් කුස්සියට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. එහි ලිපක්, කේතලයක් හා හට්ටි වලන් කිහිපයක්ද වීදුරු කිහිපයක්ද අඩු කෝප්ප කිහිපයකින්ද පාළු වී ගොස් තිබුනේය. මා සිතා සිටි පලතුරු බන්දේසියද, කැවිළි බන්දේසියද එහි නැත. හාමුදුරුවන් දර ලිපට දර අඩුක් කොට ගිණි ලෑවේය.  බදාම අනමින් සිටි කාටදෝ කතා කොට 'තේ ටිකක් බොමු නේදැයි..' ඇසුවේය.

ඒ සැණින් මා දෙසට හැරී ' අනේ ලමයෝ අර බදාම ටික බාසුන්නැහෙට ගිහින් දෙන්නැයි..' කීවේය. මම ඉන් දෙපැයක් ගතවීත් අර බදාම උදලු දෙක බැගින් තාච්චියේ දමාගෙන පලමුව බඩේද, දෙවනුව උරහිසේද, තෙවනුව ඔලුවේද තබාගෙන විහාරගෙයි  බිත්ති බදිනා බාස් වෙත ගෙනගියෙමි. මේ බදාම තාච්චියක් තාච්චියක් පාසා මගේ අත්වලද, ඇග හැම තැනමද සිමෙන්ති වැක්කෙරෙනට පටන් ගනී. ටික වෙලාවක් යන විට දැවිල්ලක් එයි. එහෙත් බාස් ගේ ගෙරවිල්ල අමුතුය. අප එනවිට අලසකමෙන් සිටි මිනිසා දැන් හනි හනික වැඩය. මගේ උදලු දෙකේ තාච්චිය දැන් මදී වේගෙන තිබේ. ඔහුගේ ගර්ජනාවත් ඒ එක්කම වැඩි වන්නේය. වරෙක ඔහු මට කුණුහරුපයක් කියා බැන්නේය. මට ඒ කුණුහරුපයට වඩා මේ පන්සල් බිමේ කුණුහරුපය කීම මහා අවුලකි. අනෙක මා ඇදගෙන ආ ඇදුම දැන් සිමෙන්තියෙන් පෙගී ඇත.සෙරෙප්පු දෙක පෙන තෙක් මානයක  නැත. මට දූව්ලි මඩ පුරුදු වූවාට සිමෙන්ති පුරුදු නැත. කකුල් කරු අස්සේ සිමෙන්ති ගොස් පැලී ඇත්තාක් මෙනි.
මම ඒ වැඩ බිමේ තනිවීමී. මා ගෙදර යන්නට ඕනෑ කරන පාළුවකින් පෙලුනෙමි. එහෙත් මා තනිවම ගෙදර යන්නට දන්නේ නැත. දැනගත්තාද අතේ සතයක්වත් නැති නිසා යන්නට වෙන්නේ පයින්මය. මා සිතාගෙන ආවේ බෝධිය වටේ නිදහසේ ඇවිදින්නටය, විහාර  ගෙයි සිතුවම් බලන්නටය, සිලි සිලි ගානා බෝධියේ යට සිනිදු වැලි පොලවේ අසිරිය විදින්නටය. මා ගොස් ඇති පන්සල් වල අම්මාගෙන් මිදී මා කලේම මෙලෙස මගෙම ලෝකයක් හදාගැනීමය. එහෙත් මේ වැඩබිමකි. මට ගෙදර යන්නට ඕනෑය, අනෙක කළුවරද වැටෙමින් තිබේ.  එහෙත් ඒ කිසිවක් සිදුවන පාටක් නැත. අම්මාට මා අමතකව ගොස් ඇත්තේය. අය්යා තවම ගෙදර නොආ ඉන්නට විදියක් නැත.එසේත් නැත්නම් මෙය ඔවුන්ගේ කුමන්ත්‍රණයකි. මා මෙහි එවා සදාකාලික ලෙස මා තනිකරන්නට ඔවුන්ට ඕනෑ වී ඇත. මා ඉපදුනු දා සිට ගෙදර කරදර බව සිටි ගමන් අය්යලා අක්කලා තරහාවූ විට කීවේ ඇත්තක් බව මට තේරේ. දැන් ඔවුන්ට ඕනෑ මගෙන් නිදහස් වන්නටය. මම හිත ඇතුලෙන් කෑ ගගා ඇඩුවෙමි. මේ අපායේ මට ඉන්නට ඕනෑ නැත. මා අම්මාට ආයාචනා කලෙමි. මා ගෙන්නා ගන්න කීවෙමි, මා ගෙන්නා ගතහොත් අම්මා කියන විදියටම ඉන්නා බවට පොරොන්දු වුනෙමි. ඉරිදාපොළේවත්, දෙල්කද ඇලේවත් රස්තියාදු නොගසනබවට පොරොන්දු වූවෙමි. කන්නට අඩුපාඩු වූ විට මදුරාවතී නැන්දලාගේ වත්තට ඇසෙන්නට කදුළු පෙරාගෙන කෑමොර දෙන්නේ නති බවට දිවුරා කීමී.

එහෙත් මගේ හිත ඇතුලේ  කෑගහන අඩන විදවන කොල්ලා පේන්නේ නැති කවුරුත් තම තමන්ගේ වැඩය. හාමුදුරුවන් එලව්ළු මල්ලක් දිගඇරගෙන සද්දයක් නැතිවම වැඩය. ලිපේ බත් මුට්ටියකි. බදාම ඇනූ ගෝලයා පරිප්පු හෝදන්නේය. එසැනින් රෑ කළුවර වැටුනේය. වැඩ බිම නිසල විය. හාමුදුරුවන් මවෙත සරමක් දිගු කොට නාගෙන එන්නැයි කීවේය. මම බියෙන්ද, කලකිරීමෙන්ද, ශෝකයෙන්ද පෙලෙමින් නෑවෙමි. වතුර උස ටැන්කියක සිට බටයක් ඔස්සේ ඇද හැලුනේය. මම ඒ වතුර අස්සේ මගේ කදුළු වැටෙන්නට අතහැරියෙමි. ඇස් වසාගෙන කදුළු වටෙන විට කදුළු වල රස්නයක් දැනෙන්නේය. මම ඒ රස්නයෙන් උණුසුමක් වින්දෙමි. අවුරුදු දොලහක විතර වන කෙට්ටු තලෙළු කොල්ලෙකුට වැටෙන කදුළු ඒ පන්සල් බිමේ ලොකු වතුර පහරක් සමග බිම ඇද වැටී නොපෙනී ගියේය.

එහෙත් බුදුහාමුදුරුවන් හිමින් හිමින් අදුරේ එනු මට පෙනින.
ඒ මගේ අම්මාය.

මේ රෑ බෝ වීත් අය්යා ආවේ නැති නිසා අම්මා මා ගෙන යන්නට පැමින තිබේ. මගේ බුදුන් සමග ඒ වැඩ බිමෙන් එනවිට අපට ලොකු මල්ලක් පිරෙන්නට බඩු බාහිරාදිය ලැබී තිබුනත් හාමුදුරුවන් මැටියෙන් තැනූ බුදු  පිළිම අරන් යන ලෙස මතක් කලත් මගේ මම එය උපේක්ෂාවෙන් අමතක කොට අම්මාගේ අත තදින් අල්ලා ගතිමි.
මගේ ගෙදර බුදුන් සමග මම ඒ වැඩබිමෙන් සදහටම එන්නට ආවෙමි.එන අතරතුර අම්මා විස්තර ඇසුවිට කිසිත් නොකියා 'මුකුත් නෑ..'කීමී. අම්මා කියා දුන් පාඩම අනුව ඇගේ හිත නොරිද්දුවෙමි.   මගේ රිදුනු හිත අමතක කලෙමි.