Tuesday, January 10, 2017

ගිරා පුතා.. (55)


ගිරා පැටියෙක් වැටුනේ යාපනේ බට් අඹ ගහේ උස්ම අත්තක සිටය.

මම ගිරා කූඩු හොයන්නට ගහේ කරටියටම නැග්ගෙමි. අපෙ ගෙදර නවාතැන් ගෙන උන් 'පොඩි අය්යා' මට කොචොක් හිනාවක් දා කොසුපොලු හැරමිටිය උළුක් කලේය. ඒ 'ගිරා කූඩු කොහෙද බන් ගස් මුදුන් වල..' කියන්නා මෙනි.

මට එකල පොඩි අය්යා පෙන්නන්නට බැරිය. ඊටත් වඩා මාව පොඩි අය්යාට වහකදුරු මෙනි. පොඩි අය්යා අපේ ගෙදර නේවාසිකයෙකි. කොන්ඩේ සුදුම සුදුවී කර ගාවට වැවී හැරමිටියකින් යනකාලේ පවා අර කොසුපොලු හැරමිට්ටෙන් මා බයකර උන්නා මතකය. ඒ නිසා අවුරුද් හැත්තෑවකටත් වඩා වයස මේ මනුස්සයා ඇවිස්සීම මගේ දිනපතා රාජකාරී වලින් එකක් විය. ඒ හැම වාරයකම පොඩි අය්යා 'දයා..මේ වසවර්තියා මගේ අතින්  මැරෙණවාමයි..!' කියා අම්මාට දොස් කිව්වේය. (තාත්තා අම්මාට කතා කලේ දයා කියාය. දයා , පුන්චී.. අක්කා.. ඇන්ටී ලෙස බෙදාගත් අය වූහ.)
ඉතින් මා ගසෙන් බැස පොඩි අය්යාට ලගට එන්නට බැරි දුරකින් සිට  'නෑ මං හෙව්ව උඹේ බොම්බමොටයි කොණ්ඩේ අස්සේ ඉන්නවාදැයි' කියා දිව්වෙමි.
අම්මා මා සොයා විත් තරවටු කලේ පොඩි අය්යාගේ හිත හදන්නටය. එහෙත් එවිටත් ඈ අර ගිරා පැටියා ගැන දුක්වෙමින් උන්නාය. ඉගිල්ලෙන්නට ඔන්න මෙන්න කියා තිබියදි පොඩි වැරදීමකින් බිම වැටෙන්නට ඇති, ගිරා පැටියාගේ අම්මා අනිවාරයෙන්ම පැටවා සොයා එනු ඇතැයි අම්මාගේ තර්කය විය. එහෙත් මගේ හිත ඇතුලේ වෙන තර්කයක් වැඩ කලේය. ආනන්ද අය්යාගේ 'දාන මඩුවේ' ලොකු දැල් කූඩුවක් තිබේ. එය අනිවාරයෙන්ම මට ඉල්ලා ගත හැක. ආනන්ද අය්යලාගේ වත්තේ  මගේ අඹ ගහේ අඹත් ඒ වත්තේම පේර ගස් වල පේරත් ඉදුණු කෙසෙලුත් තිබේ. තවත් මොන අඩුපාඩුවක්ද....! මා මගේ තීරණය අම්මාට කීවෙමි. එහෙත් අම්මා තවත් අම්මා කෙනෙකුගේ දුක දැනෙන්නට ඇත. 'පවු ලමයෝ... ඔය සතාව හොයාගෙන කිරිල්ලි එයි' කීවාය. මම ඇගේ කීම ඇසුවෙමි.
මේ ගිරා පැටියා ගෙල වට කොට ලා රතෙන් වැටුනු මාලයක් ඇත්තේය. සිහින් වකුටු ගිරා හොටෙන් මගේ ඇගිලිතුඩු අල්ලාසිටින විට මට දැනෙන්නෙ මා අතැර නොයන වගට කෙරෙන ආයාචනයක් මෙනි. අනෙක මගේ අත්ලේ හරිබරි ගැහී වාඩි වී අර සියුම් නියපොතු තදකරමින් උණුසුම සොයන්නේ මේ මගේ නවාතැන මෙනි.
අප තීරණ ගනු ලබන සීමාව තීරනය කරන්නේ බුද්ධිය දැනුම හා වටපිටාව මෙන්ම  කිසිම වැදකට නැති හැගීම් බව එදාද මට පසක් වූයේ නැත. එහෙත් මම ගල්කැට කිහිපයක් ගෙන මධුරාවති නැන්දාගේ ගෙයි වත්තේ පොල්ගහක බෙනයක් අස්සේ කෑ ගසමින් උන් ගිරවෙකු පන්නා දමුයෙමි. උගේ තිබුනේ මහා කන්කරච්චල හඩකි. අනෙක නොනවත්වාම ඌ කැ ගසමින් මා හිසට උඩින්ද පියඹා යනු මට ඇල්ලුවේම නැත. අන්තිමේ ඌ මා හා සටන ඇතැර පලාගියේය. මම ගිරා පෝතකයා කුඩා පෙට්ටියක බහා අම්මාට බලාගන්නට දී ආනන්ද අය්යාගේ දැල්කූඩුව ඉල්ලාගෙන විත් අපේ ගෙදර කුඩා ඉස්තෝප්පුවේ කණුවේ එල්ලූවෙමි. අර ගිරා පෝතකයාගේ නවාතැන එය විය. එහෙත් මේ ගිරා පෝතකයා ටික වෙලාවක් යන්නට පෙර නොන්වත්වා කැගසන්නට විය. ඉන් ඇහුරුණේ පොඩි අය්යාය. එවරද මා ගැන අම්මාට අවනඩුවකි. මෙවර නම් මා ඉවරයක්ම කරන බවට පොඩි අය්යාගෙන් ප්‍රතිඤාවකි. අම්මා ඒවෙලාවෙත් මා සහයට ආවාය. අප පෝතකයා එලිඅයට ගෙන අම්මාගේ ඔඩොක්කුවේ තබාගෙන කෙසෙල් ගෙඩියක් අතින් පොඩිකර කැව්වෙමු. ඌද බඩගින්නේ ඉන්නට ඇත.
අන්තිමේ අම්මාගෙන් පටන් ගත් ගිරා ආදරය මුලු පවුලටම බෝ විය. තාත්තා වැනි වැනී වුව කෙසෙල් ගෙඩියක් අඹ ගෙඩියක් අරන් ආවා මට හොදට මතකය. ඉන් කෑල්ලක් කපා කූඩුවේ දැල් අතරින් ඔබා ඉතුරු ටික මගේ අත තබන්නේය. එහෙම තබා කූඩුව අස්සේ එහා මෙහා පනින ගිරා පෝතකයාට ඔහුගේ ප්‍රියතම ගීතය වන  ' අය්යා මල්ලී වාගේ' මහ හඩින් ගයන්නේය. දෙවැනි අය්යා මටත් බැන බැන හත්දවසකින් මේ කූඩුව සුද්ද කර නැතැයි කියමින් ඉරිදා දවස්වල පෝතකයා පෙට්ටියක දමා කූඩුව මදුරාවතී නැන්දාගේ ලිං මිදුලේ දමා සුද්ද කරන්නේය. අක්කලා පමණක් නොව වයසක  පොඩි අය්යාද දවස පුරාම මේ පෝතකයා සමග කතා කරන්නේය . උරුවම් බාන්නේය.

අන්තිමේ ඌ අපේ පවුලේ එකෙක් වුනේය.
අම්මා නිසා පෙත්තා 'පුතා' විය. ඌ පුතා කීවොත් මිස පැත්ත හැරී බැලුවේ නැත. ඒ තරමට මහා ආඩම්බරකාර  පුතෙකු විය.
පවුලේ එකෙක් වී කෙසෙල් නොකා අඹ විතරක් කන්නට පුරුදු වූයේය. වෙනදා ලොකු හයිකාරකං පාන බාප්පා පවා ඌට කරතකොලොම්බන් ගෙනවිත් දුන්නේය. ඒ ගෙඩියේ ඉතුරු කෑලි ලොකු අම්මාගේ දුව හොර පාරේ මටත් එවන්නීය.  මෙහෙම කාලයක ගිය විට මේ පෝතකයා හොදින් හදී වැඩී අම්මා එහා මෙහා වන විට ..දයා..දයා.. කියන්නටත් පෙත්තා බත් කෑවා නොකියා 'පුතා බත් කෑවා 'කියන්නටත් පුරුදු වී සිටියේය. අම්මා කූඩුවෙන් ඇගිල්ලක් දිග් කල විට ඌ හිසෙන් පිරිමදින්නට තරම් අම්මාට ආදරය කලේය.

ඒ සියල්ල අතරේ කොහෙන්දෝ වැටුණු ගිරා පෝතකයෙක් නිසා අපේ ගෙදර නිදහස් වටපිටාවක් ඇතිවෙමින් තිබුණේය. තාත්තා ගෙදර විත් අර ගිරවාට දේශපාලන පන්තියක් කරන්නේය. එහෙම කරන ගමන් ' තෝ අහන් හිටියාට මුන් එකෙක්වත් මේවා අහන්නේ නැතය' කියා අපට බයින්නේය. 'මේ ගිරවුන් දෙන්නාගේ ජෝගි..!;  කියමින් සරං කොට ඇදගෙන, ඇදන් උඩ නැගගෙන හිනාවෙන අපේ ගෙදර අය මට මැවී පෙනේ. එහෙම කාලයක් අපටත් තිබුනා නේදැයි මට දැන් මතක් වන විට දුකක් දැනෙන්නය. එහෙමම තිබුණානන් එක්කෝ හොදය කියා වෙලාවකට හිතෙන්නේය.
එහෙත් එක දව්සක මේ සියලු සතුටු  නිමා විය. තාත්තා ගෙදර ආවේ සින්දුවක් කියමිනි. අන්තිමේ කූඩුවේ දොර හැර 'පුතා' ගන්නට ඇත්තේ හිස අතගාන්නට වෙන්නට ඕනෑය. එහෙත් පුතා එසැණින් පියඹා අඹ ගහේ වැහුවේය. අම්මා පුතා.. පුතා.. කියද්දීත් අසුරු සැණින් කලුවර අහසට නැග අතුරුදහන් විය.
තාත්තා එවැන්නක් බලාපොරොත්තු වූවා යැයි මා නොසිතමි. එහෙත් එය සිදුවිය.
අපේ ගේ මල ගෙයක් විය. ඇරුණු කූඩුව සති ගනනක් එහෙමම තිබුණේය. අම්මා කදුලු පෙරමින් ඇඩුවාය. තාත්තාටද බැනවැදුනාය. අන්තිමේ මදුරාවති නැන්දා පැමිණ  අප සැමටම බැන වැදුනාය. ගිරවෙක් වෙනුවෙන් මෙහෙම ගෙයක්,  මල ගෙයක් කරන්නට එපා යැයි දොස් කීවාය.
ඉන් සතියකට පසු අපේ පූසි  පැටවුන් දෙන්නෙකු දැම්මාය. අම්මා මේ පූසියගේ හැටි දනී. ඌ පැටවුන්ට කිරි දෙන්නේ නැත. මම ඊලග රාජකාරිය පටන් ගත්තෙමි.
ගිරවා ආපසු ආවේ නැත. අහම්බයකින් ඇරෙන්නට මට යලි ඌ මතක් වුනේද නැත.