Tuesday, April 11, 2017

මමත් ජනපති කෙනෙකි...74


අපි ඉරිදාපොලේ සෙල්ලම් කරන විටත් ගස් නගින විටත් පොලේ වැට අයිනේම ගෙදර ගෑණු ළමයින් දෙන්නා බලා සිටියේය. අක්කා නගෝ දෙන්නා අප කරන කියන හැම වැඩක් දෙසම බලා හිනාවී හෝ තරහා වී හෝ බලා සිටියා මිස වචනයකදු දෙඩුවේ නැත. එහෙත් ඒ දෙන්නා අප එකිනෙකා පෙන්වමින් මොන මොනවදෝ කුටු කුටු ගෑවේය. එහෙත් ඒ එකක්වත් අපට තෙරුණේ නැත..

හේතුව සරලය...

ඒදෙන්නා කතා කලේඉංග්‍රීසියෙනි.

ඉතින් අපි නොතේරෙන මංගල්ලෙට ගොස් වරිගේ නහගන්නා ජාතියේ වැඩ  කොට ඒගොල්ලන්ගේ හිනා වී කියන කතා වලට පෙරළා හිනා වුනෙමු. එවිට ඔවුන් දෙන්නා අත් අල්ලාගෙන බක බක ගා හිනාවුනු තැන් ඕනෑ තරම් විය. මම පහුකලෙක මගේ හොදම මිතුරිය බවට පත්වුණු ඒ දෙන්නාගෙන් බාලයාගෙන් උත්තරය ලදිමි.
''අක්කා හිනාවෙන්ඩ තමයි ඔයාලට එක එක ඒවා කියන්නේ...ඒත් ඔයලත් ඒකට ඔව් කියනවා වගේ හිනාවෙනකොට අපිට ඉතින් හිනාකාලා මැරෙනෙවා.''.

 ඒ ගෙදර ගෑනු ලමයින් දෙන්නා ඉස්කෝලේ ගියේ කොළඹ කන්‍යාරමයකටය. ඒ ගෙදර අය නුවර පැත්තේ බවත්, තාත්තා හදිසියේ මියගිය පසු කොළඹ ආ බවත් අප වැඩිහිටියන්ගේ කතා වළින් දැන සිටියෙමු.  මා පසුකලෙක  ඒ ගෙදර යාවජීව සාමාජිකයෙකු වූ කල, ඒ තාත්තාගේ කළුසුදු ඡායාරූපයක් දිටිමි. මැද සාලයේ රූපවාහිනිය තිබූ තැනට ඉහලින් එල්ලා තිබූ රාමු කල පින්තූරයට උඩින් සුදු ප්ලාස්ටික් මල් මාලයක් දමා තිබ්බාද මට මතකය. කුඩා කාලයේ නොවුනත් පියෙකු අහිමිවීම දරුවන් කෙරෙහි බලපා තිබූ අසරණකම කෙතරම්දැයි මට අද දැනේ.
එදා මම අපේ තාත්තාගේ බීමත්කම ගැන වචනයක් හෝ පිට කල සැනින් ඒ ළමයින් දෙන්නාම කීවේ . ''ඔයාට අඩුම තරමේ කෑගහන්න හරි, බයින්න හරි  තාත්තා කෙනෙකු ඉන්නවානේ..'' කියාය. ඒ ස්වරයේ දුක සහිත හැගීම මට එදා තේරුණේ නැතත් අද දැනෙයි. විශේෂයෙන් ගැහැණු දරුවෙකුට පියෙකුගේ අඩුපාඩුව දැනීමේ ලොකු වේදනාත්මක පැත්තක් ඇතැයි මම අත්දැකීමෙන් දන්නා අය සිටිති. ඔවුන් වේදනාව පිටකරගන්නට විදින දහසකුත් දුක්බර හැගීම් මම අද දනිමි. එහෙත් එදා කාලය ඒ මාතෘකාව පිටමං කරමින් අමතක කරමින් ඇදී ගියේ මා ඒ ගෙදර පිරිමි දරුවෙකුගේ අඩුවවත් පුරවමිනි.

මුළින් වැටෙන් බලා සිටියාට අප හා කතාබහට නොආ ඔවුන් දෙදෙනා අම්මාගේ එක කෑගැසීමකින් ගෙදර දිව්වේ ඉතා හදිසියෙනි. පොලේ සෙල්ලම් කරන අපට නම් අම්මලා දහ දොලොස් වතාවක් කතා කරන තුරු ගෙදර යාමක් නොවුණු ඒ කාලයේ මේ ලමයින් දෙදෙනා එක වචනයෙන් ගෙදර දුවන හැටි අපට පුදුමයක් විය.
කෙසේ හෝ ටිකෙන් ටික මුලින් ගොළු බාෂාවෙන්ද පසුව හිනාවෙන් හා අත වැනීමෙන්ද අවසානයේ හත් අට වතාවක් ට්‍රයිකොට බෝලය ඒළමයින්ගේ වත්තට යැවීමෙන්ද ඒ ලමයින් දෙන්න අපේ බෝලයට අහුවී යාළු විය. එහෙත් යාළු කම හොද මිත්‍රකමක් වී අපි දෙල්කදින් එනතුරු පැවැතුනේ මගේ පමණි. හේතුව මගේ ඉවසීම මෙන්ම රස්තියාදුවද, දන්නා නොදන්නා හොද නරකසැම සමග ආශ්‍රයද මෙන්ම තොරතෝංචියක් නැතිව අහුවෙන හැම කඩදාසි කැබල්ලක්ම කියවීමද විය. ඒ අනුව මගේ ජීවීතයේ කොහේ හෝ තැනක වැදගත් වන යමක් තිබිණි. කියවීමෙන් ලද දැනුම තිබිණි. චිත්‍ර අදින්නට කවි ලියන්නට පුලුවන් පොඩි පහේ හැකියාවක් තිබිණි. මම ඒ දැනීම ඔවුනට බෙදා දුන්නෙමි. ඔවුන් මට ඉතා ඕනෑකමින් මට අඩුව තිබූ ඉන්ග්‍රීසිය බෙදා දුන්නෝය. මම ඒ ඉන්ග්‍රීසිය පුදුම ලෝබ කමකින් බෙදා ගත්තෙමි. විටෙක ඔවුනට මගේ 'මොට කඩුව' එපා වී හිනාවෙන්නටත් බැරිව කටවල් අතින් වසාගෙන සිනාසෙන විටත් මම කඩුව අත නොහැරියෙමි. ඒ බෙදිල්ල මට පසු කලෙක බොහෝ ප්‍රයෝජනවත් විය. ටික දවසක් ගතවන විට ඒ දෙන්නාට මාවද මට ඒ දෙන්නාවද නැතිව බැරිවිය. එහෙත් එකම පන්තිවල උගෙනමින් සිටි බාලයා හා මා අතර මිතුදම සමීප එකක් විය.
මම දවසෙන් වැඩි කාලයක් මේ ගෙදර ගත කලෙමි. ඔවුන්ගේ අම්මා නුවර කෙනෙකු නිසා පෙනුමෙන් ආඩම්බර ගතියක් තිබුණත් මගේ යාලුවන් නපුරු කුඩම්මා ලෙස නම් පට බැද තිබුණත් ඉතා ඉක්මනින් තෙත්වන හදවතක් තිබුනේය. වරෙක වාර විභාගයකදී මගේ මිතුරිය අඩුවෙන් ලකුණු ගත් විට මා ගේට්ටුව ලගදීම එලවා දැමූ ඒ අම්මා නැවැත එහි නො එන ලෙස කීවාය. තදින් බිදුණු හිතක් ඇතිව  හයිලෙවල් පාරත් පැන අපේ ගෙට ඇතුල්වන කොන්ක්‍රීට් ලෑලි පාලම පනිද්දී කවුදෝ මගේ අතින් අල්ලාගත්තේය. මම කදුළු වැටෙන මූණ හරවා බලද්දී ඒ ඇගේ අම්මාය. ඈ කිසිත් නොකියා මා අල්ලාගෙන ආපසු එක්කාගෙන ගියාය. ඒ ගමනේදී කිසිත් නොකී ඇය ඒ ගෙදරදී ''මට කෙන්ති ගියා පුතේ ..''කීවේය. ඒ කේන්තිය සාධාරණය. විභාග වල ලකුණු අඩු වෙද්දී දෙමාපියනට කේන්ති යාම මා ඕනැතරම් දැක ඇත්තෙමි. එය අම්මලා මහන්සිවෙන තරම දන්නා මට නම් ලොකු දෙයක් නොවේ.

කෙසේ වුව එදත් කවදත් මට ඒ ගෙදරින් සැලකිලි තිබ්බේ මගේ අසරණ කමට නම් නොවේ. මගේ දැනීමේ තරමට බව මම සිතමි. ඒ දැනීම ආවේ රස්තියාදුවෙනි, පාරවල් ගානේ ඇවිදිමෙනි, පොඩි එවුන් හට අකැප දේ දැකීමෙනි, කුණු බරට විසී කරන පොත් පත්තර කියවීමෙනි. ලොකු අම්මාගේ දියණියගේ මිහිර කියවීමෙනි. අටේ කණුවේ මහප්පාගේ ඉංග්‍රීසී පත්තරය කියවීමෙනි. ඒ නිසා මා කටපුරා ලොකු අක්කේ කී මගේ මිතුරියගේ අක්කාගේත් මගේ මිතුරියගේත් දහසක් ප්‍රශ්ණ හා විචිකිච්චා වලට උත්තර ලැබුණේ මගෙනි. ඒ නිසා මා ආශ්‍රයකල යුතු හොද ලමයෙකු සේ ඔවුන් මට සැලකුවේය.

 වරෙක ඇගේ පාසලේ යම්කිසි උවමනාවක් සදහා එක ප්‍රමාණයට කපන ලද කඩදාසි තොගයක් වුවමනා වී ඇගේ අම්මාත් පුන්චි අම්මාත් එකතු වී දහ අතේ කල්පනා කල බව මට ඈ කීවාය. ඒ වෙලාවේ මට කීවානම් මොකක් හෝ පිළිතුරක් ලැබෙයි කියා ඈ ඇගේ අම්මාට කිවූ විට මා පොඩි කොල්ලෙකු නිසා මොනවා දන්නවාදැයි අම්මා කිවූ බව ඈ මට දුකෙන් කීවාය. මම ඒ කොල කැබැල්ලත් තිබේ නම් අම්මාගෙන් යම් මුදලකුත් රැගෙන එන ලෙස කියා යැව්වෙමි. අම්මා ඈ විස්වාස නොකලත්..මා කෙරෙහි වූ ඇගේ දඩබ්බර විස්වාසය නිසා එවා තිබුනාය. මම ඇයත් සමග හනි හනික පොල පිටුපස්සේ පරන පාරෙන් දෙල්කදට විත් හරස් පාරෙන් පැන ඇල උඩ පාලම පසුකොට ''වික්‍රමාරච්චි ඇස් කණ්නාඩිය'' පසු කොට මුද්‍රණාල වලින් ඉවත දමන කොල එකතුකරන දෙමළ මනුස්සයාගේ කඩයට ගියෙමි.

ඒ යනවිටත් එකල දැන තරම් ජනාකීර්ණ නැති වාහනත් අඩු තැන්වල පවා පාර පනිද්දී ඇගේ අත අල්ලාගෙන සිටියෙමි. මා අත අල්ලාගන්නට ලැජ්ජාවුනු තැන්හී ඈ මගේ අත අල්ලාගත්තාය.  අපි මේ අත් ඇල්ලීමේ ප්‍රීතියෙන් කොල කඩේට වැද ඕනෑකරන ප්‍රමාණයෙන් කොල තොගයක්ම මිලදී ගත්තෙමු. ඒ සදහා ගිය වියදම ඇගේ අම්මා පසුව 'අදහාගන්නටත් බැරි' තරම් බව කීවාය. ඒ තොගයම ඒ කොල කඩේ කොල්ලා අර ගිලටිනයේ තබා 'සයිස්' කර දුන්නේ හිනාවෙමිනි. අපේ හිනාව ඔහුගේ ගාස්තුව විය. ඒ අතරේත් මා වීරයා සේ අර කොල ලොකු හතරැස් යකඩ පෙට්ටියකට බහා යකඩ මෝලකින් කොටන අයුරු ඇයට පෙන්වා විස්තර කලෙමි. කොල හොණ්ඩරයක්වත් පමණ  ඒ අඩි දෙකයි දෙකේ කොටුවේ නොපෙනී යන හැටි,  ඈ කෙසේ වෙතත් මම නම් සියවන වතාවටත් බලා සිටියෙමි. අප දෙන්නා එන අතරේ ඉතුරු මුදල් වලින් ටොෆි වර්ගයක් කෑවා මට මතකය. ඒ සමග කුඩා එකතු කරන   වීරයන්, ක්‍රීඩකයන් හා විවිධ ස්ථාන වල කාඩ්බෝඩ් පින්තූර ලැබුණාද මට මතකය. එදා කොල තොගයම මටත් නොදී දෑතින්ම බදාගෙන ආ ඇයව මට තාම මතකය. ඊටත් වඩා ඇගේ අම්මා ඉදිරිපිට මා වීරයෙකු කිරීම සදහා ' අම්මලා කොල ගෙනල්ල කප කප හිටියනම් මට ලබන අවුරුද්දේ තමා...' කියූ හැටි මතකය.

නවවන ශ්‍රේණියට එන්නට කලින් එකල මම උදේ වරුව ඉස්කෝලේද, හවස්වරුව පොල පිට්ටනියේද, රෑ වනතුරු ඒ ගෙදරද  කාලය කෑවෙමි. ඒ රෑ ගතවුනේ ටී වී බලන්නටය. ඇගේ අම්මා අපට රූපවාහිනිය බලන්නට කාලයක් වෙන්කර තිබුණාය. ඒ වෙලාවේ 'නයිට් රයිඩර්' ටෙලි මාලාවද, පොලිස් යතුරුපැදි තිබුණු Supercop හෝ එවැනි නමක් තිබුණු ටෙලි මාලාවක් නැරඹුවෙමි. විබාග දාට අක්කාට සහ ඇයට හිමි නොවුණු නයිට් රයිඩර් බලන්නට මට අවස්ථාව හිමිව තිබිණි. ඒ මම ඉස්කෝලේ ඇරී අවුත් පාඩම් කලෙමි.. කියන පතාක නාගරාජයා ඒ අම්මා ලග අතහැරීමෙනි. මා නයිට් රයිඩර් ඔය තරම් ආසාවෙන් බැලුවේ මට ඕනෑ නිසා නොවේ. ඒ පහුවෙනිදා  ඈ මගෙන් ඒ සතියේ කතාව සම්පූර්‍ණයෙන් අහන නිසාවෙනි. මගේ කතාවට සංගීතය තිබේ..ඇක්ෂන් තිබේ...ඒ අස්සේ තේරුම් ගැනීමට බැරිවූ තැන්වලට මගේම කොටස් බද්ද කර තිබේ. ඒ ගෙදර ලොකු පෝටිකෝවේ වේවැල් පුටු මත ඉදගෙන පොඩි මල්ගවුමේ වාටිය අල්ලාගෙන මගේ ඇක්ෂන් සහ සංගීතය පිරුණු කතා ඈ අසා සිටියා මට තාම මතකය. නයිට් ර‍යිඩර් එනවිට ඇහෙන සංගීතය මගේ කටෙන් පිටවන්නේ ඒ හුරුවෙනි. මයිකල් දුෂ්ටයාගේ මූණ පුරා ගහන පාරක් ගානේ ඩිම්..ඩිෂුම් ටෑංං ගාන්නේ කතාව සජීවී වෙන්නටය. අවසානයේ කතාව ඉවරයක් වීගෙන එන විට මගේ රසිකයා නැගිටින්නට සූදානම් වන විට මට දුක හිතෙයි. ඊලග සතියේත් ඇගේ අම්මාට කේන්ති ගොස් ටී වී බලන්නට නොදෙන්නේ නම් කියා කුපාඩි පහේ කල්පනාවක් එයි. එහෙත් ඒ සැමදා සැබෑවන හීන නොවේ.

 ඒ හීන වුව.. ඒ මතකයන් නැවැත එන්නේ නැත. මා ඈට පමණක් ලියා දුන් කෙටිකතාවක් සම්පූර්ණයෙන්ම දුප්පත් දරුවෙකු ලොකු වී රටේ ජනපතිවරයා වී කුඩා කල මේ ජනපතිවරයාට උදව් කල අයට ඇමැතිකම් දෙන හැටි පිළිබද විය. ඒ කතාව කියවූ ඇය ඇයට අගමැතිකම ඉල්ලුවාය. ''එතකොට මට ඔයාගේ ලගම ඉදන් වැඩ ඔක්කොම කරලා දෙන්නට පුළුවන් '' කීවාය. මේ කතාපොත ඇගේ අක්කාද දැක තව ලියන්නට කියා ඇයට අධ්‍යාපන ඇමතිකම දෙන ලෙස ඉල්ලුවාය. ඇගේ ඉස්කෝලේ ගුරුවරු දෙදෙනෙක් ලංකාවෙන්ම පිට ඉස්කෝලෙකට පලවාහරින්නට ඕනෑ බව කීවාය. ඉන්පසු ඒ කතාව කවුරුන් හෝ දැක්කේ නැත.

මේ වන් විකාර කතා සැබෑ වී ඇති බව දැන් ලංකාවේ හෝ වෙන කොහේ හෝ හොද ජීවිත ගත කරන ඔවුන් දකිනවා ඇත. ඔවුනට මා මතක් වෙනවා ඇතැයි මම නිතර සිතමි. ඔවුන් මට දෙල්කදින් ගොස් වැඩිකාලයක් යන්නට පෙර අහිමි විය. ඒ ගෙදර ඔවුන්ගේ කුලී ගෙයක් වීමෙනි. ඔවුන් අප දෙල්කදින් ගිය පසු වෙන කොහේ හෝ කුලී ගෙයකට පදිංචියට යන්නට ගොස් ඇත. 
ඈ මට බෙහෙවින් හිතෛශී වූවාය. මගේ පොත්වල අඩුපාඩු පිරවූවාය. මා සාමාන්‍යපෙල විභාගයට කලින් දෙල්කදින් යන්නට පෙර ඇගේ පිහිටෙන් හොද ලකුණු ගනිමින් සිටියෙමි. මට බැරිම විෂයයන් වූ ගණිතය හා විද්‍යාව ඈ මට කියාදුන්නාය. ඇගේ අම්මා අප තුන්දෙනාටම කුඩා මේස තුනක් සාදවා ඒ ගෙයි වටේටම තිබුණු කොරිඩොවේ පහසුකම් සැලසුවාය. පාඩම් කරන වෙලාවට තේ සදා බිස්කට් සමග ගෙනවිත් දුන්නාය. මගේ මිතුරිය අක්කාට හොරෙන් මගේ කවකටු පෙට්ටියේ අර බිස්කට් සැගවූවාය.  මගේ ජීවීතයේ මට එසේ ආදරය කල අය හමුව ඇත්තේ අල්පයක් පමණය. එහෙත් කිසිදිනෙක මට ඒ ආදරයන් මට සමීප ලෙස හමුවුනේ නැත. කොහේදෝ සිට ආ සුලං රොදක් සේ ඒවා මා සිහිල් කොට හමා ගොස් අතුරුදන් වූයේය. මා දෙලකදින්යන බව පැවසූ දා ඈ මා තදින් බදාගෙන කදුළු පෙරමින් ඇඩුවාය.වැඩි වෙලාවක් එසේ ඉන්නට බැරි බව දැන මගේ කනට කොට 'ඉක්මනින් ජනාධිපති වෙනවා නේදැයි...' ඇසුවාය. මම ඔලුව වැනුවෙමි.
ඈ හිනාවී ' නැත්නම් මට වෙන ජනාධිපති කෙනෙක් හම්බවෙයි ..'කීවාය.

ඒ ඉන් දශක කිහිපයකට පසු මා අත්විදි ආදරය හෝ ප්‍රේමය නම් සරුව පිත්තල බොරුව නොවේ.. එය අපගේ මිතුරුදමේ බැදීමයි. අවංකව ලෙන්ගතු වීමේ හැගීමයි.

මගේ ජීවීතයට සමීප කිසිවෙකු.. කිසිදෙයක්...සිදුවීමක් අමතකව යන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒවා මගේ හිතේ පුදුමාකාර බැදිමකින් තැන්පත්ව ඇත්තේය. සමහර දේ ඉතාම නොවටිනා ඉතාම කෙටි සරල සිදුවීමක් වන්නට පුළුවන එහෙත් ඒවා මගේ මතක ගබඩාවේ තැන්පත්ව තිබේ. එහෙත් ඒ සමහර සිදුවීම් අසාමාන්‍ය ලෙස වේදනාකාරීය. මතකයට නැගෙන නැගෙන වාරයක් පාසා මා ඒ මොහොත ගත නොකලානම් කියා සිතෙන්නේය.

මගේ ජීවීතයේ මා තේරුම් ගත් එක දෙයක් නම් මේ කිසිවක් මට බලෙන් අමතක කරන්නට බැරි බවයි. ඒ නිසා මා දැන් අමතක කරන්නට උත්සාහ කරන බොහෝ දේ ..අමිහිරි මතක..අමිහිරි මිනිසුන් හා ගැහැනු පිළිබද මතක් කරමින් සිටිමි. ඔවුනට මා මතක් වේ යැයි සිතමින් සිටිමි. අය අපූර්ව අභ්‍යාසයකි. මා මතක් කරමින් එකේන් එක පැටලුම් සහිත මිනිසුන් ගැහැණුන් ලෙහා දමමි. එවිට මට ඉතිරිවන මගේ මතකයේ තබාගත යුතු දේ තවත් ගුලිකොට හදවත සමීපයේ තබමි. (එසේ ගුලිකොට තබාගන්නා චරිතයක් බවට  කන්‍යාරාමයේ යෙහෙළිය පත්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. )

එය අමතක කරන්නට උත්සාහ කරමින් දුක්විදිනවාට වඩා ලෙහෙසිය...සරලය...
ජනපති කෙනෙක් වනවාට වඩානම් අමාරුය...

37 comments:

  1. සමහරක්විට එයා මේක කියවයි

    ReplyDelete
    Replies
    1. ඉතින්?

      Delete
    2. කියවලා ඉවර වෙච්ච ගමන් මුල් කොමෙන්ට් එකට ආපු මේ ගෝතයගෙ මූණ දකිනවා... ඔක්කොම හුටස්....

      Delete
    3. කලින් විතරක් නෙවෙයි කෙලින් ආවොත් නරකද ...නේද අටම...

      Delete
  2. දුක වැඩියි. හිතනකොට ඊටත් වැඩියි....

    ReplyDelete
    Replies
    1. සරලව අපි ඕනෑවට වැඩි ....

      Delete
  3. ඒ කාලෙ නිතරම ලයිට් යනවනෙ.
    හොඳට දෙහි ගැට මිරිකන්න ඇති නේද.

    ReplyDelete
  4. අහිමි උනත් නුඹ ලදේ
    මට හඩන්න අවසර නෑ....

    ReplyDelete
  5. අටම් අයියා කොටලා තියෙන එක මටත් හිතුනා....

    ඔක්කොටම ඔයවගේ මතයන් තිබ්බට බලෙන් අමතක කරලා මුකුත් උනේ නෑ වගේ ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. මතක ලෙහා ගන්න එක පහසුවක්....

      Delete
  6. Replies
    1. බැලුව ...හිතූ හිතූ වේලාවට සතා වෙන්නේ මේ කාලේ ....

      Delete
  7. හැමවෙලාවෙම හැමකෙනාටම හිතන හැමදේම ලැබෙන්නෙ නෑ නෙව. සමහර දේවල් ලැබෙන්නෙ ඕනවට වඩා කලිං. එතකොට අගයක් නෑ.සමහරවෙලාවට පරක්කු වෙලා එතකොට වැඩක් නෑ. සමහර දේවල් කවදාවත් නෑ. ඒත් එතකොට හිතේ ඒ ගැන ලොකු ඉඩක් වෙන්වෙනව. ;-)

    ReplyDelete
    Replies
    1. කවදාවත් නොලැබෙන දේවල් වලට ඉඩ වැඩිද මන්ද ....

      Delete
  8. facebook එකේ ඇති හොයල බලන්න

    ReplyDelete
  9. මිහිරැති මතක සුවඳින් නිති නැහැවෙනවා
    රසඇති අතීතෙට දිවගොස් තුටුවෙනවා
    හිතඇති සහෝදර ප්‍රේමය සිහිවෙනවා
    රසඇති ඔබේ ලිපියට මම ප්‍රියවෙනවා.....

    බාසි. ඔබේ රචනා විලාශයට මම කැමතිය. එය කියවනවිට හිතේ තැන්පත් බවක් සාමකාමී බවක් ඇතිවෙන්නේ. මේ ලියවිලි නතර නොකර දිගටම ලියනු ඇතැයි සිතමි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද ...

      Delete
  10. ලස්සනයි කතාව. ඇත්තටම ඔබට පාඨක මගේ සම්මානය!

    ReplyDelete
  11. තවත් සරල කෙනෙක් නම් එපෝ ..මේ සරල හොඳටම ඇති

    ReplyDelete
  12. "පොලිස් යතුරුපැදි තිබුණු Supercop හෝ එවැනි නමක් තිබුණු ටෙලි මාලාවක් නැරඹුවෙමි."
    https://www.youtube.com/watch?v=CCItnKrXvMM

    ReplyDelete
  13. ///මා මතක් කරමින් එකේන් එක පැටලුම් සහිත මිනිසුන් ගැහැණුන් ලෙහා දමමි. එවිට මට ඉතිරිවන මගේ මතකයේ තබාගත යුතු දේ තවත් ගුලිකොට හදවත සමීපයේ තබමි. (එසේ ගුලිකොට තබාගන්නා චරිතයක් බවට කන්‍යාරාමයේ යෙහෙළිය පත්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. )

    එය අමතක කරන්නට උත්සාහ කරමින් දුක්විදිනවාට වඩා ලෙහෙසිය...සරලය...
    ජනපති කෙනෙක් වනවාට වඩානම් අමාරුය... ///

    හිතට දැනුනු සංවේදී බවක් තිබුන ලියවිල්ලක්...
    සුපිරියි බාෂි...

    ReplyDelete
  14. Always addicted to read your articles as it's very heart touching. Sometimes tears come to the eyes. Please keep up your excellent writings continuously.

    ReplyDelete
  15. 1/2

    මගේ ළබැඳි අරුණ පෙරේරාණනට සේ ම ඔබට ද අතීත මතකයන් මනා ව ලේඛනගත කරන්නට හැකි බව පෙනේ. ඔබ ලියා ඇති වියුණු සටහන අගනා ය; පාඨක රුචිකර ය; පාඨක හදමන ආසක්තකර ය. එම රස වැකි පබඳ ඔබගේ ලේඛන කුසලතාවට විශ්වසනීය සාක්‍ෂාත්කරණයකි. මම ඔබගේ මෙම වියුණු සටහන ද පෙර කල ලියවුණු වියුණු සටහන් ද කියවූයෙම් මහත් ආනන්‍දයට පත් වීමි.

    ජීවන ගමනේ සන්‍ධ්‍යා යාමය කරා එළඹෙන සඳ අතීතමතකාවර්ජනය වූ කලී වාජීකරණයකි; මලානික වූ ජීව කුසුම පුබුදුවාලන්නකි; සකලේන්‍ද්‍රීය මෝහනය කරවන්නකි; හෘදයට එක ම රසායනයකි. ඔබගේ අනුභූතීන් ඔබගේ ආදරණීය සහෝදරයාගේ අනුභූතීන් තරමට මගේ ජීවිතානුභූතීනට සමීප නැතත් ඔබ ඔබගේ සූර ලේඛන කෞශල්‍යයෙන් ප්‍රාණපුනර්ජීව කරවන අතීතය සමඟ ඒකාත්ම වන්නට, ඒකානුනාද වන්නට, ඒකනින්නාද වන්නට මම සමත් වෙමි. ඒ වූ කලී මගේ සූරකමක් නො ව ලේඛක ඔබගේ ම සූරකමකි.

    ඔබගේ මෙම වියුණු සටහන කියවන මම වරෙක සේනානායකයන්ගේ කාන්ති වෙත අතීතගමනක යෙදෙමි; තවත් වරෙක ජයලත්ගේ පෙම් පුවතක් වෙත ද එබිකම් කරමි; එහෙත් අතීතාවතරණයන් අවසන ඔබගේ ම සන්ලකුණ පසක් කර ගනිමි. අවස්ථා නිරූපණයේ ඔබගේ දක්‍ෂතාව දිගු පෙළක් හසුරුවන්නට ඔබ සතු ව ශක්‍යතාවක් ඇති බවට ඉඟියක් ලෙස මම සලකමි.

    ඔබ ලියූ රමණීය වැකි අතරින් මගේ හඳ බැඳගත් වැකියක් මෙසේ ය:

    "ඔවුන්ගේ අම්මා නුවර කෙනෙකු නිසා පෙනුමෙන් ආඩම්බර ගතියක් තිබුණත් මගේ යාලුවන් නපුරු කුඩම්මා ලෙස නම් පට බැද තිබුණත් ඉතා ඉක්මනින් තෙත්වන හදවතක් තිබුනේය."

    ඔබගේ නිරීක්‍ෂණය නිවැරදි ය යි මම සිතමි. නුවර මිනිසුන්, වඩා නිවැරදි ව පවසතොත් උඩරැටියන්, ආඩම්බරකාරයන් වෙති යි මතයක් ප්‍රචලිත ව ඇත්තේ අද ඊයේ සිට නො වේ.

    දාහත්වන ශතවර්ෂයේ දී දශක දෙකකට ආසන්න කාලයක් ලංකාවේ රැඳවියකු ලෙස ගත කළ Robert Knox ස්වකීය An Historical Relation of the Island Ceylon in the East Indies කෘතියේ ලා මෙසේ පවසයි:

    “The Inhabitants of the Mountains differ from those of the Low-Lands.The Natures of the Inhabitants of the Mountains and Low-lands are very different. They of the Low-lands are kind, pittiful, helpful, honest and plain, compassionating Strangers, which we found by our own experience among them. They of the Up-lands are ill-natured, false, unkind, though outwardly fair and seemingly courteous, and of more complaisant carriage, speech and better behaviour, than the Low-landers.”

    වර්තමානයේ මෙන් නො ව අප කුඩා කාලයේ දී ලංකාවේ ප්‍රදේශ භේදය ප්‍රබල ව තිබිණි. කාලයත් සමඟ එවැනි නිෂේධනීය ලක්‍ෂණ ගිලිහී යාම ලාංකීය සමාජයේ ප්‍රගමනයේ සාධනීය ප්‍රවණතාවකි. උඩරැටියන් උඩඟු, ආඩම්බරකාරයන් බවට පැවසෙන කතාවට එක් හේතුවක් වන්නට ඇත්තේ ඔවුන් පහසුවෙන් තවත් අයකු සමඟ හිතවත් නො වීම විය හැකි ය. එහෙත් හිතවත් වූ පසු ඔවුහු ඉතා මිත්‍රශීලී, දයාන්විත පිරිසක් වෙති.

    අසූව දශකයේ දී ලංකාවේ විකාශනය වූ ඉංගිරිසි රූපවාහිනි මාලාවන් කීපයක් ද ඔබ විසින් සිහි කෙරිණි. Super Cops ලෙස ඔබ හඳුවන්නේ Street Hawk රූපවාහිනී මාලාව විය හැකි ය. එදවස ලංකාවේ විකාශනය වූ ඉංගිරිසි රූපවාහිනී මාලාවන් අතර ඉතා ජනප්‍රිය ව තිබුණේ Knight Rider, Robin of Sherwood සහ Street Hawk ය. Robin of Sherwood වත්මන ද මෙහි ඉතා ජනප්‍රිය අතීත මතකයකි. එම රූපවාහිනි මාලාව සැමරීම වත්මන ද මෙහි සිදු වේ. බොහෝ විට එහි රග පෑ නළුනිළියන් කීප දෙනෙක් ද එම සැමරුම් සඳහා සහභාගි වෙති. එම නිර්මාණයේ දී භාවිත වූ පැරණි මාළිගා නැරඹීමට සංචාර ද එම සැමරුම්වලට සමගාමී ව සංවිධානය කෙරේ. මම වරක් එවැනි සංචාරයකට සහභාගී වීමි.

    Cont...

    ReplyDelete
  16. 2/2

    අතීතයේ සොඳුරු සමයක ඔබගේ ඇසුරට පැමිණ කාලයත් සමඟ ඔබගෙන් වෙන් ව ඈතට ගිය හිතෛෂීන් පිළිබඳ මතකය ඉතා සංවේදනීය ය. බොහෝ කලකට පෙර මා ලංකාවේ උතුරු ප්‍රදේශයේ සේවය කරන කල මගේ දෙමළ භාෂා ගුරුවරිය වූයේ උගත් ශෝභමාන යෞවනියකි. මා උතුරින් දකුණට පැමිණෙන තෙක් ම වසර ගණනක් ඇය මට ඉතා සමීප ව සිටියා ය. එදවස වූ කලී මෙදවස මෙන් ජංගම දුරකථන, අන්තර්ජාල ඈ නා නා විධ සන්නිවේදන මාධ්‍ය තිබූ යුගයක් නොවුයේ ය. වසර කීපයක් ගෙවුණු කල යුද ගිනි ද දරුණුවට ඇවිළෙන්නට විණ. මට ඇය මඟ හැරිණි. යළි කෙදිනකවත් මට ඇය පිළිබඳ දැන ගන්නට ලැබුණේ නැත. ඇය දැන් ජීවතුන් අතර සිටී ද? යන්න මම නො දනිමි. ජීවත් ව සිටිය ද ඇය ද දැන් සැත්තෑ විය ද ගෙවූ වියපත් තැනැත්තියක විය යුතු ය.

    මා අටේ හෝ නමයේ හෝ පන්තියේ සිටි එක්දහස් නවසිය හැට ගණන්වල මුල දී මා දැන සිටි දක්‍ෂ තරුණියක සිටියා ය. අප ⁣⁣ජ්‍යෙෂ්ඨයට පැමිණෙන කල ඇය ද මා ද වෙනස් විෂය ධාරා වෙත යොමු වූයෙන් අපගේ හිතවත් සමීප ඇසුර ක්‍රමයෙන් නැති ව ගියේ ය. කාලය දශක ගණනින් ගෙවී ගියේ ය. මම රජයේ සේවයට සමු දී යුරෝපයට සංක්‍රමණය වූයෙමි. එම හිතවතියගෙන් දුරස්ථ වී දශක පහකට පමණ පසු මම මගේ මැණිකේ ද සමඟ පැරිසියේ කලා ප්‍රදර්ශනයක් නැරඹීමට ගොස් සිටියෙමි. ⁣එහි දී අපි අහඹු ලෙස ලාංකික ස්ත්‍රියක සමඟ කතාබහට එක් වූයෙමු. ජීවිතය ඇතැම් විට අසිරිමත් අහඹු සිදුවීම් අප වෙත කැඳවයි. ඒ ස්ත්‍රිය මා පෙර පැවසූ අතීත හිතවතිය ය.

    අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල නිසා ඇතැම් විට එවැනි ඉතා පැරණි හිතවතුන් මුණ ගැසෙන බව මා අසා ඇත. එය අසිරියකි. යම් හෙයකින් ඔබගේ ⁣යෙහෙළියට ඔබ ලියූ මෙම වියුණු සටහන කියවන්නට ලැබුණ හොත් දශක ගණනකට පසු ද ඇය තවමත් ඔබගේ මතකයේ සිටින බව දැන ගැනීමෙන් ඇය මහත් සේ ආනන්‍දයට පත්වනු නියත ය. ඔබගේ යෙහෙළිය යළි හමුවේවා යි පතමි! ඒ සඳහා ඔබට ප්‍රමාණවත් කාලයක් ඉදිරියට ඇති බව මම සිතමි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    End.

    ReplyDelete
    Replies
    1. හිතවත් කුදලා ගම මහත්මයාණෙනි ඔබගේ කියවීමට බොහෝ තුති ...

      Delete
  17. එ මුල්ම ආදරද කියලත් හිතුනා.. ඔව් එහෙමම තමයි. එත් මෙ කන්‍යාරාම කතාව මොකක්ද. පොඩ්ඩක් අපැහැදිලියි... එත් රසෙහි අඩුවක් නෑ

    ReplyDelete
    Replies
    1. වෙන්ඩත් ඇති ...ඒගොල්ලන් ගියේ කොළඹ ඉස්කෝලයකට

      Delete
  18. නියමයි!! මේ ලියන රටාව වෙනස් සහ අමුතුයි. මම ඒකට කැමතියි. ඒ විතරක් නොවේ තමුන්නාන්සේ පෝස්ට් එකට අදාල පට්ට පින්තූරයක් යොදාගන්නවා. ඒක මම දිගටම දැක්කා. ඒ ඒ පෝස්ට් එක සහ ඊට අදාල පින්තූරය හරිම එෆෙක්ටිව්. කතාව පින්තූරයක් කිරීමටත්, පින්තූරයක්, කතාවක් කිරීමටත් ඔය දරුවට හොඳ හැකියාවක් තියෙනවා. ආතල් එකේ ඉන්නේ..ටෝක් එකක් දෙන්න ආසයි.

    ReplyDelete