Wednesday, April 5, 2017

තට්ට බාගයාගේ පොල් ලොවි සහ මගේ අහින්සක සියඹලාව 73


ගියවර ලියැවිල්ලේ කමෙන්ටුවක dmg podi විසින් දෙල්කද පහුකරන් යන විට, මම අර කී මාර ගස දැන් නැද්දැයි අසා  තිබුනෙන්,  මටද මම ''මං'' ගැන නොදන්නා කම ගැන දුක් වුනෙමි. ඔය මාර ගසත් අනික් ගස් ටිකත් ජීවීතයේ අතරමග හමුවූ තවත් ලොකු පොඩි ගසුත් ''මම'' ය. ඉතින් මට අමතක නොවූ එහෙත් කාලයක් දකින්නට නොලැබුණ ගස් සොයා මගේ අතීත මම සොයා දෙල්කද බලා ඉගිල ගියෙමි. එදා අපි දෙපැත්ත බලන්නේ නැතිව පැනපු මහපාරත්, බයිසිකල් රිම් හා ටයර් පැදි තාරපාරත් අද නැත. වාහන.. මිනිස්සු හා ඒ දෙකේ සම්බන්ධයක් නැති,  මලඉලව් රියදුරු නළා නැතහොත් සින්හලෙන් කියන ''හෝර්න්''  හයි කරගත් නළා කාරයන්ගේ  මහා කාලගෝට්ටියක් මැද...  මම 'මගේ ගස්' සොයා ගියෙමි.

මාර ගස එසේම හයිලෙවල් පාරට මූණ හරවාගෙන තද නින්දක වැනිව වයසට ගොස් ඇත්තේය. සියඹලා ගස එදා තිබූ තරුණ ජවයෙන් නැතිව,  පොලමැද්දේම තිබූ කොස් ගස දිහා බලාගෙන කල්පනාවකය. ඒ සියල්ලන් මැදි කරගෙන කුඩා කැලෑවක් නිර්මාණය වෙමින් තිබෙන්නේ අලුත් දළු ලමිනි. මම යලි අර කලබලයෙන් මිදෙන්නටත් ..තනිවෙන්නටත්.. නිස්කලංක වෙන්නටත්..   වාහනයේ රේඩියොවේ හඩ වැඩි කලෙමි. මට යලි මෙහි එන්නට ඕනෑය. මෙහි මතක සමග වරුවක් ගත කරන්නට ඕනෑය. තට්ට බාගයා නිසා මා 'අහින්සක සියඹලා' ගහෙන් වැටුණු හැටිත්, ජර්මනියේ සිට වැඩම කල සුදු හාමුදුරුවන් කොස් ගහ යට බාවනා කල හැටිත්, යලි දකින්නට ඕනෑය. (ඒ සියල්ල දීර්ඝ වැඩි නිසා කඩින් කඩ ලියමි. )

සියඹලා ගහේ නාකී කාලයක් තිබ්බා මට මතකය. එවිට ගහේ එක කොළයවත් නැතිව දඩු රිකිලි පමණක් වේලී පරඩල් වී ඔහේ සුළගේ වැනෙන්නේය. එහෙත් ටික කලක් ගිය තැන ඒ නාකි දඩු අගින් ලා කොල පාට දළු නගින්නට පටන් ගනී. ඒ දඩු අන්තිමේ හීන් කොල වලින් වැහී, තද කොල- ලාකොල පාට අහුරා මහා විසල් රුකක් තනන්නේය. අදත් පාට කෙරෙහි ඇති විස්මිතය මෙය බව මා දනිමි. මේ ගස් කොලන් ..ගල් බොරළු වල පාට, මා දන්නා ගෑණු මිනුසුන්ගේ කපටි පාටවල් මෙන් කවදාවත් වෙනස්වුනේ නැත. එදා මගේ හිතේ ඇදි කොල පාට අදත් ඒ කොල පාටමය. කළු ගලේ පාට ඒ පාටමය.

එකල මට කැමරාවක් තියා ඒ මොකක්දැයිවත් නොදැන හිටියාට මගේ හිතේ ඇදි චිත්‍රයට අමතරව පැස්ටල් කූරු දෙකකින් මේ ගහ ඇන්දෙමි. ඒ ජයසින්හයේ ඉද්දීය. ඒ චිත්‍රය නිසා ජයසින්හයේ මැද බිල්ඩිම නොහොත් වේදිකාගාරය තිබූ තැන පිට බිත්තිවල ''අපේ පාසල හොදම පාසල'' ලෙස ලොකුවට අදිමින් අර සියඹලා ගස තීන්තෙන් ප්‍රතිනිර්මාණය කලෙමි. බිත්ති චිත්‍රයක් ඇන්දෙමි. ඒ ඇන්දේ හතර පන්තියේදීය. මට එය මතක  සතිස්චන්ද්‍ර එදිරිසින්හ අධ්‍යකෂණය කල චිත්‍රපටයක කඩේ මුදළාලිගේ චරිතය රගපෑ හොද මනුස්සයෙකු වූ අපේ ප්‍රන්සිබල් සර්  මාව උදා රැස්වීමේ කොඩිකණුව ලග පකිස්පෙට්ටි වේදිකාවේ නංවාගෙන ඔලුව අතගගා මා වර්ණනා කල නිසාය.

එහෙත් සියඹලා ගහ ප්‍රසිද්ධ වුනේ වෙන හේතුවකටය. ලොකු අය්යාට මතක ඇති වෙන්නට ඕනෑ පොල පිටුපස්ස වැටේ උඩහමුල්ල පාරට මුහුණලා තිබූ ගෙදර මාමා නැන්දා හා එකම පිරිමි දරුවාගේ නම් මට මතක නැත. එහෙත් ඒ ගෙට අයිනේ වහලය ලගටම හැදුණු ලොකු ලොවි ගහ හැමදාම  රතු ටීක් බෝල වැස්සක් සේ පොල් සයිස් ගෙඩි හැදෙමින් අපව බඩගිනිකාරයන් කලා නම් මතකය.   ඒ මාමාට අප නලලත් හිස මුදුනත් කෙස් නැති නිසා ''තට්ට බාගයා'' කිව් වග නම් නිට්ටාවට මතකය. එහෙත් ඒ මාමා අපට වැටුණු ගෙඩියක්වත් අල්ලන්නට දුන්නේ නැත. අප එකතු වී සාප කරමින් හූල්ලමින් කෙල හලමින් ඔය ගහ මහ හුළගක් ඇවිත්වත් කඩා වැටියන් කියා  ගහ දිහා පෙරේත බැල්ම හෙලුවෙමු. එහෙත් අපේ සාපයන් ආශිර්වාදයන් වීදෝ අවුරුදු පතා ගසත් ලොකුවී ගෙඩිත් ලොකුවී බැබලුනේය. එහෙත් කොකා තිත්තයා මෙන්  අපටද වාරයක් ආවේය. ඒ වෙනදා ගහ පරෙස්සන් කරන නැන්දා,  මාමා සමග අමනාප වී වෙන කොහේදෝ පදිංචියටම ගිය නිසා බව මට මතකය.  එක දවසක මේ තට්ට බාගේ මාමා අප සෙල්ලම් කර කර හුන් තැනට විත් අලුත් යෝජනාවක් කලේය. එනම් ලොවි ගහේ ගෙඩි කඩන ඕනෑම කොල්ලෙකුට ඉන් අඩක් දෙන බවයි. අපේ සෙල්ලම නැවතී කටවල් ඇරී එකග වූවද ගහට නගින්නට එකෙකුවත් කමැති වූයේ නැත. අන්තිමේ හැමදාම මෙන් මම නැමැති පණ්ඩිතයා දුකට කරගැසුවෙමි. කොල්ලන් ගහ යට ඉද්දී මම අත්තෙන් අත්ත නැග ගෙඩි අතු පිටින් කඩා පහල කොල්ලන් දෙපැත්තෙන් අල්ලන් සිටි තට්ට බාගයාගේ සරමකට අතහැරියෙමි. තට්ට බාගයා ඒවා එකතුකොට කූඩයකට පිරවූයේය. එහෙත් හොදම ගෙඩි ඇති පොකුරක් හමුවූ විට මගේ සාක්කුවේ ඔබාගතිමි. දැන් ගහේ හොදම ගෙඩි කඩා අවසන් මුත් මට නගින්නට අමාරු අත්තක තව තද කුණු ලේ පාට පොකුරක්ම දැක තට්ට බාගයා මා දිරිගැන්වූයේය.''ඕං කොල්ලො ඔය අත්ත  උඩම වල්ලත් බිමට දාලා බැහැපන්..කීවේය.

මම දන්නේ එපමණකි. සිහිය එනවිට මම අර සියඹලා ගහ යට පොල පැත්තේ නොව කන්‍යාරාමයේ ලමයාගේ වත්ත පැත්තේ බිම දිගා වී සිටියෙමි. මා වටකරගෙන තට්ට බාගයා ජයලත් ලොන්ඩරියේ දුමින්දගේ අම්මා ඇතුළු වැඩිහිටි කිහිපදෙනෙකු සිටියත් මා සමග ලොවි කැඩූ කිසිවෙකු සිටියේ නැත. මා ඇස්පිය හෙලූ සැනින් තට්ට බාගයා බේත්තෙල් වෙදෙක් මෙන් කියවනවා මට ඇහුණත් මට ඊට උත්තර තිබ්බේ නැත.

''මං මේ ලොවි ටිකක් කඩන්ඩ කෙක්ක ගත්තා විතරයි දඩස් ගාලා සද්දයක් ආවා බැලින්නං ...මේං මේ කොල්ලා සියඹලා ගහෙන් වැටිලා..හොද වෙලාවට මං හිටියේ නැත්නං කොල්ලා මෙතන කවුරුත් දන්නේ නෑ... ''

මම ඇස් ඇර කවුරුත් අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර දී ගස් නැග්ගාට බැනුම් අසා ගෙදර ඇවිද්දේද හරි අමාරුවෙනි. එදාම තට්ට බාගයා ලොකු ලොවි මල්ලක් අරන් මා බලන්නට ඇවිත් අම්මාට මා රස්තියාදුවේ යන එක පාලනය කරන ලෙස උපදෙස්ද දුන්නේය. මම තට්ට බාගයාත් තට්ට බාගයාගේ හත්මුතු පරම්පරාවත් එකසැනෙන් කුඩුපට්ටම් කර දැමුවෙමි. (ඒ හිතෙනි.) ඒ හිතම කටක් ඇර කිසිත් නොකියන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. එහෙත් හිත එහෙම තිබුණාට පහුවෙනිදා නැගිටගන්නට බැරිව මම එකතැන් වුනෙමි. අම්මා මා රැගෙන සිල්වා මහත්තයා ලගට ගියෙන්, කොන්දේ ගාන්නට ඉටිකොලයක එතූ යමක් සහ පෙති කිහිපයක් දුන්නා මට මතකය. එහෙත් එන ගමනේ අම්මාට මා එක්කාගෙන සිංහල බෙහෙතක් කරන ලෙස සිල්වා මහත්තයා උපදෙස් දුන්නද අම්මා පුරුදු පරිද ඉංග්‍රීසි බෙහෙත විස්වාස කලාය. මට දින දෙක තුනකින් සුව විය. (අම්මා අදද විස්වාස කරන්නේ ඉන්ග්‍රීසි බෙහෙත්මය. සමහර ලෙඩරෝග දොස්තර මහත්වරු බෙහෙත් මෙන්ම ඒ ඒ ලෙඩ වලට යායුතු දොස්තරලා ගැන අම්මාගේ තිබූ දැනුම එකල  බොහෝදෙනා පුදුම කලේය. )

ලෙඩ සුවවූ විගස අම්මා මා මුදාහැරියාය. ඒ එක කොන්දේසියක් සමගිනි. ''එක එකාගේ ගස් නැගලා ආයෙත් වැටියං පුලුවන්නං...ඊට පස්සේ උන්ගේ බොරු අහන් ඉන්ඩත් වෙන්නේ මට.....''

මම අම්මා දෙස කට ඇරගෙන බලා සිට,  ප්‍රශ්න කෝට්යක්ද ඊට උත්තරද සොයා එදා ලොවි කැඩූ කොල්ලන් සොයා ගියෙමි. අඩුම තරමේ මගේ සාක්කුවේ ඔබාගත් ලොකු ලොවි ගෙඩි වලට කුමක්වීදැයි අහන්නට මට උවමනා වී තිබුනේය. ලොන්ඩරියේ දුමින්දගේ කට වටා තුවාල ඇවිත්ය. අනෙකාගේ කිහිල්ලේ ලොකු ගෙඩියකි. තුවාලේ කැක්කුමට අතත් උස්සාගෙන උන්දෙන්නා මට රහසින් කීවේ..

''උඹ එනකං තට්ට බාගයා අපිට ඕනතරං ලොවි කඩාගන්න කිව්වා බං ..''කියාය.

කටවල් වන වෙනකං කිහිලි වන වෙනකං උන් ලොවි කා ඇත. මම අමුතුම සතුටක් වින්දෙමි. අර ලොවි ගහ දෙස නොබැලුවෙමි. එහෙත් මම නිසා අර සියඹලා ගහ වටකොට ලොකු කටුකම්බි වටයක්ම ගසා තිබුනේය. ඒ ජයලත් ලොන්ඩරියේ දුමින්දගේ අම්මා විසිනි. ඒ අපව රැකගැනීමටය. ඒ අම්මලාගේ හැටිය. ...

ඒ අම්මලා මෙන්ම සියඹලා ගසද අහින්සකය.

26 comments:

  1. Replies
    1. ලොවි මල්ලක් හොයාගන්න බැරුවද අර තක්කාලි මලු ටිකක් එක්ක පොඩි එකෙක් ඈනුම් ඇර ඇර ඉන්නේ??

      Delete
    2. මේන් උත්තර ළමයෝ

      1. ලොවි මල්ලක් හොයන්ඩ කම්මැලිකම
      2. මේ තක්කාලි මට පේන්නේ ඇපල් වගේ වීම
      3. ඇපල් මොකද ලොවී මොකද කියලා හිතුනු එක

      Delete
    3. මට මතක් උනේ අර ඒකාංගි ටෙලියක් ගියා බොරු කියන ළමයෙක් ගැන. ඒ කතාවෙත් ගෙදර වැඩට ඉන්න ළමයව වරකා ගහට යවනවා. ළමයා බිමට පත බෑවිච්ච ගමන් නෝනා දුවනවා. ඊට පස්සේ ළමයට වෙන්නේ මේ 'වගේ' සන්තෑසියක්. මම අත්තේ උඩ ඇවිදිනවා වගේ බයෙන් කියෙව්වේ. අමතක උනානේ බාසි තාම පණපිටින් කියල!

      1, 2 වගේම 3 යන්නත් ඉතාම කම්මැලි මම වගේ ඉබ්බෙකු විසින් ඉතා ලස්සනට ගොතපු එක්සලන්ට් කෙබරයක් බව වැටහුණි!

      Delete
    4. මෙව්වා සුළුමුණ්ඩදෙයියන්ටම පේන්ඩ ඕන

      Delete
    5. සියඹලා ගස්වල තියෙන ඔය කොලපාටේ වෙනස මමත් ඉස්සර 'විඳිනවා'

      ලොවි ගස් නැගීම කියන්නේ නියම වැඩක්. මේ වගේ බඩජහරියෙක් මගේ බඩෙත් ඉන්නවා. ඌ පව්

      Delete
  2. Replies
    1. ඉලක්කමෙන් උත්තර දුන්නාම reply eka දෙන්නේ කොහොමද පුතේ ....

      Delete
    2. මකරෙක්නේ..... කට ඇරියොත් සුන්!

      Delete
    3. ඉලක්කමෙන් උත්තර දුන්නාම reply eka දෙන්නේ කොහොමද පුතේ ....

      දවසේ නෙමෙයි කාලයේ පුරස්නේ

      Delete
    4. දැන් එතකොට මේවද මෙතන දැවෙන ප්‍රශ්න වෙලා තියෙන්නෙ?

      Delete
  3. හැමදාම වගේ අදත් හිත බර වෙලා...

    ///''මං මේ ලොවි ටිකක් කඩන්ඩ කෙක්ක ගත්තා විතරයි දඩස් ගාලා සද්දයක් ආවා බැලින්නං ...මේං මේ කොල්ලා සියඹලා ගහෙන් වැටිලා..හොද වෙලාවට මං හිටියේ නැත්නං කොල්ලා මෙතන කවුරුත් දන්නේ නෑ... '' ///

    මේ වගේ උන් මහ මිනිස්සුද, අපතයෝ...

    ReplyDelete
    Replies
    1. නෑ ලොක්කෝ මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු ....එක එක පරිසර වලදී වෙනස් වෙන මනුස්ස ස්වභාව ...

      Delete
    2. නැ බං ඔය බරිකැල්ලෝ

      Delete
  4. //අදත් පාට කෙරෙහි ඇති විස්මිතය මෙය බව මා දනිමි.//

    වියලි කලාපයේ ගස්වල කොලපාට හරි ලස්සනයි. සියඹලාත් වැඩියෙන් තියෙන්නෙ එහෙනෙ.

    ඒත් ලොකුම ස්පෙක්ට්‍රම් එක තියෙන්නෙ හෝර්ට්න් තැන්න හා අනෙකුත් කඳු (montane) වනාන්තරවල . කහ සිට තද කොල දක්වාත් රෝස සිට දුඹුරු දක්වාත් ගස්වල කොල වෙනස් වෙනවා. සමහර කාලවල ඔක්කොම පාටවල් වගේ එකට දකින්න පුලුවන්.

    ඒක නෙමෙයි just out of curiosity සිංහල /ආයුර්වේද ඩෙන්ටිස්ට්ලා ඉන්නවද කියලා අපේ යාලුවගෙන් අහන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. මට පාට පිළිබඳ පිස්සුවක් තියෙන්නේ ....කාලයකට පස්සෙ කැමරාවක් හම්බ වේලා පිස්සුව තද වෙලා ....
      මට නම් ඔය සිංහල දෙමළ මොක වුනත් හොඳ දත් බල බල ගලවන dentists la අරහං .....

      Delete
  5. තරුණ සිරි ගෙන එදා හොද හැටි හැඩවෙලා සිටි සියඹලා
    මැරුණ මතකය යළිත් සිහිවෙයි දකින විට ගස සියඹලා
    පිරුණ ලොවි ගෙඩි කඩා බිම වැටි මදෙස බැලු ඒ සියඹලා
    කරුණ එකමයි මහළු වන විට තනිකමයි හිමි සියඹලා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජීවිතය තමා දුමි..

      Delete
  6. /'එක එකාගේ ගස් නැගලා ආයෙත් වැටියං පුලුවන්නං...ඊට පස්සේ උන්ගේ බොරු අහන් ඉන්ඩත් වෙන්නේ මට../
    අපි හැරුණත් අම්මලාට දැනෙයි :)

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔවු..අපි ලොකු scene හිටියට....ඒගොල්ලන් අපිව කියවලා ඉවරයි ...

      Delete
  7. බොලාගේ ලොකු අයියා හම්බෙච්ච දවසක මං කරනදේ ගර්ර්ර්ර් ...... මට අහුවෙන්ඩ එපා කියහං

    ReplyDelete
  8. එදා වගේම දැනුත් කස්ටිය ගස් නග්ගනව. දැං නග්ගන්නෙ මුරුංඟ ගස්. පරිස්සමින් හිටිං

    ReplyDelete
  9. ගහකට බඩගාන්ඩ බැරි එවුන් මෙලෝ රහක් නෑ ඒ කාලෙ

    ReplyDelete
  10. මරු කතාව
    ජය වේවා ...!!!

    ReplyDelete
  11. Hmm a kiyanne Mara gaha tinawa Mata oya hariya mataka mn game edan mehe(Maharagama) awa dawas wala class gihin enakota magin bus eken bahinawa eta passe tika durak awidagena enawa ekai. A kale adurana kawruwath hitiyet nane walak bahinna para thota Bala gatte ehemai.... 😊

    ReplyDelete