Thursday, April 27, 2017

මාත් නළුවෙක් තමයි ....75



''ජයලත් ලොන්ඩරි'' බෝඩ් එක ලා නිල් පාට අකුරෙන් කලු පසුබිමක සුදු පාටද මිශ්‍රව ඇදතිබුනා මට මතකය. එය එල්ලා තිබූ උලුවස්ස යට වීදුරු අල්මාරි වල නෙක වර්ණයෙන් යුතු කමිස කලිසම් සාරි මෙන්ම මහත්වරුන්ගේ කබායනද එල්ලා තිබුණේය. ඒ අල්මාරි පාස්කර යනවිට එක පිට එක සුදු රෙදි තොගයක්ම දැමූ මේසයක, අඩියක් විතර දිග පලල පිගන් ගඩොලක් මත, බෙලෙක් පියනක් තබා ඒ මත පොල්කටු අගුරු ඉස්ත්‍රික්ක රාජයෙක් වැඩ උන්නේය. අපේ ගෙදරත් පොල්කටු ඉස්ත්‍රික්කයක් තිබ්බාට මේ රාජ ඉස්ත්‍රික්කේත් එක්ක බලන විට එය හුංජං බිජ්ජෙකි. අනෙක අපේ ඉස්ත්‍රික්කෙන් කමිසයක අතක් මදින්නට වරුවක් ගතවන විට දුමින්දගේ තාත්තා කිසිම කලබලයක් නැතිව අර ඉස්ත්‍රික්ක රාජයා එක පාරක් කමිස පලුවක් මැද්දේය. ඒ මදින කලාව මමද ඉගෙන ගත්තෙමි. කළු අගුරු රතු පාටෙන් දිලිසි දිලිසි අර ඉස්ත්‍රික්කයාගේ පස්ස පැත්තේ ඇරෙන වැහෙන රවුම අස්සෙන් හිනාවෙන විට යන්තම් තෙත්කල ඇදුම් උඩින් තැබූ විගස ''චිරිස්.. සොස්...සාස්..''  ගාගෙන සුදු මීදුමක් මෙන් ජල වාෂ්ප නගින්නේය. ඉස්තිරික්කයේ රස්නය අඩුකරගන්නට නම් අර වතුර බේසමට අත දමා වතුර බේරෙන ඇගිල්ලෙන් ගෑවෙන නොගෑවෙන තරමට තට්ටුවක් දමා අර රවුම පහලට දමා කුහරය වසන්නට ඕනාය.  රස්නය වැඩිකරගන්නට අර රවුම අරින්නේ නම්  ඉස්ත්‍රික්කේ නහය ටිකක් මේසයෙන් එලියට තියන්නට ඕනෑය. නැතිනම් හීන් දැලි කුඩු අර නහයෙන් උඩට පාවී එන්නේය.  මොන ඇදුම මැද්දත් කමිසයක් නම් කොලරය පිටුපසද, කලිසමක් නම් ඉනපටිය පිටුපසද එකවරක් මැද බලන්නට ඕනෑය. සමහර වර්ණ මෙන්ම බාල රෙදි නැත්නම් පිච්චෙන්නේය. දුමින්දගේ තාත්තා ප්ලීට්ස් තබා නැති කලිසම් වල නීට් එකට ඉර තබා මැද්දේ නැත. දැන් අවුරුදු තිහකටත් පසුව මගේ කලිසම් වල මම ප්ලීට්ස් නැති නිසා ඉර තියන්නේ නැත. එහෙත් ලංකාවේ පමනක් නොව කොයි ලෝකයේත් මගේ කලිසම් ලොන්ඩරියෙන් එන විට අර ඉර ''තිතට'' මැද එවන්නේය.
ඒ කලාවට මං ආසා කලේ ඒ නිසාවෙනි. එහෙත් දුමින්දගේ තාත්තා අර ඉස්ත්‍රික්ක රාජයා නිවුනු පසු ඇදුම් මදින කලාව කියා දුන්නේ හිනාවෙමිනි. ඒ මට අර ඉස්ත්‍රික්කේ උස්සා එහා මෙහා කරන්නට බැරි නිසාවෙනි. හාල්මැස්සෙකු මෙන් පරඩැල් මා පරදවා අර ඉස්ත්‍රික්කේ ජයගත්තේය.

මම මේ මැදිල්ල යන්තම් ඉගෙනගෙන එදා අතහැරියාට   පසු කලෙක ලොකු ප්‍රයෝජනයක් ගත්තෙමි. අදද   මගේ ඇදුම් මදින්නේ  මම පමණකි. අනෙක් සියලුම මැදිලි මගේ බිරිද කලත්, ගමනක් යන්නට ඕනෑ වූ විට ඇයත් කොල්ලන් තුන් දෙනාත් මගේ පස්සෙන් එන්නේ ඇදුම මැදගන්නටය. ඒ ඉරි.. ඒ වතුර ඉහිලි... ඒ නැවිලි... අදත් මම ප්‍රයෝජනයට ගනිමි. ඒ නිසාම වරෙක මා එංගලන්තයට රැගෙන යන්නට ලොකු වෙහෙසක් දැරූ සුදු යුවලගේ නම මතක නැතත් චාල්ස් කුමාරයාගේ ඇදුම් මැද්දා මතකය.

(චාල්ස් කුමාරයා මට මතක තිබෙන තැන් තුනක් තිබේ.  එකක් ඔහුගේ ඇද අයිනේ පැති මේසය උඩ ඔහුගේ අම්මා වූ මහ රැජිනගේත් තාත්තා වූ පිලිප් කුමාරයාගේත් පින්තූර රාමුවයි. අප බලාපොරොත්තු වූ පරිදි ඩයනාගේ හෝ කැමිලා පාකර්ගේ පින්තූර වෙනුවට ඔහු ඇදෙන් නැගිට්ටේ මහරැජිනගේ රූපය දකිමිනි. අපේ සිරිපාලටත් එංගලන්තේ චාල්ස් කුමාරයාටත් අම්මා මහාරැජිනක් බව මම එදා දැනගතිමි.  දෙවනුව 'කුමාරයා මඩ නෑ' ආකාරයයි. එය වෙනමම ලියන්නට තරම් ලොකු කතාවක් වුවත් ලංකාවේ නම් දෙකයි පනහේ දේසපාලකයන්ගේ පවා ඔලුව පීරන පනාවත් දෝතට ගන්නට තරම් නීච ඇම්බැට්ටයන් දැක ඇති මම එදා වෘත්තීය ගරුත්වය රැකෙන්නටත්, අනිකාගේ අපහසුතාව දකින්නට තරම් සමබර මනසක් ඇතිවත් රාජකාරි කල නිලධාරී මහත්වරුන් ගැන සිතා නොලියමි. තෙවැනුව, පරිවාර රථ දාසයක් පිරිවරා ගුවන්තොටුපලට යන්නට පිටත්වූ චාල්ස් කුමාරයා අපට ස්තූති කරන්නට බැරිවූ  බව මතක් වී රථපෙල යලි හරවාගෙන, මැදපෙරදිග රටක අගමැති කෙනෙකු ඇතුළු කුමාර කුමාරිකාවන් විස්සකට පමණ කන්නට දී පාන් කියාගන්නට බැරිව මේසයක් උඩ කකුල්වන වනා උන් ලංකාවේ උන් හතරදෙනෙකුටත්, විනෝද සාගරයක් බදු කේරලකාරයෙකුටත් අතට අත දී කුඩා සිහිවටනයක්ද දී ලොකු අය්යාට ''උඹ නං ඔමාර් ශෙරීෆ්' වාගේමැයි කියා විහිලුවක්ද කර පිටට තට්ටුවක්ද දමා යාමයි. )

එහෙත් එදා ජයලත් ලොන්ඩරි රගහලේ කුමාරයා වූයේ මමය. මන්ද ඒ ලොන්ඩරි කාමරය පසුකර ඊලගට තිබෙන නිදන කාමරය සෑම ඉරිදාම අපේ රගහල වන නිසාවෙනි. එහි එක ඇදක් පරණ වියන් ඇදක් විය. මේ වියන් ඇද වටා දුමින්දගේ අම්මාගේ සාරි එල්ලා රගහල තනන්නට එදාට දුමින්දගේ අක්කලා දෙන්නාද එකතු වෙති. එදාට අපට නිදහස වැඩිය. ඒ කාමරය පසුකර කුස්සියද පසුකර ගිය විට ඉරිදාපොලට මුහුණලාගෙන වැටෙන තහඩු වහලය සහිත කුඩා මඩුවේ දුමින්දලාගේ අම්මා තාත්තා හාල් විකිණීමේ අමතර ව්‍යාපාරයක් ඉරිදාට පමණක් කලේය. ඒ නිසා අම්මා තාත්තා හවස්වනතුරු ගෙට එන්නේ නැත. දුමින්දගේ අම්මා දවල් බත් කා කකුල් කෙඩෙත්තුව නිසා අපේ රගහල ඉදිරිපිට බිම වාඩිවී 'එහෙනන් පෙන්නපල්ලකො මටත් උඹලගේ නාට්ටිය '' කියන සැනින් ගොරවමින් නින්දකට වැටෙයි. ගෙරවිල්ලට හිනාවෙමින් නාට්‍ය රගපාන්නෙමු. ඒ විනාඩි දහයකටය. ඉන්පස්සේ හදිසියේ අවදිවන ඇය. ''අර මනුස්සයා තනියෙන් ..බොලා මාව නැගිට්ටුවේ නැත්තේ ඇයි'' කියා දුවන්නේය. පිටපතක් නැතත් නාට්‍ය එකදිගට ගලා යයි. ඒ ඇද උඩ රගහලේ වෙන ඕනෑම දෙයක් අපේ නාට්‍යයයේ කොටසක් වන්නේ නිතැතිනි. දුමින්දගේ නහය හෑරිල්ලද..මගේ සදාතනික බඩගින්නද..දුමින්දගේ ලොකු අක්කාගේ ඉක්මන් කේන්තියද අපේ නාට්‍යයයේ කොටස් වෙති. කුමාරයා ලී කඩු වනමින් කොට කලිසමේ කිනිසි හිරකරගනිමින් රගති.  දුෂ්ටයා දුමින්දගේ අය්යාය. ඒ දුෂ්ටයා 'තොපේ මලකරදරේ මට නිදාගන්ඩත් නෑ..' කියමින් හාල් කන්ද සමග හැප්පෙන අම්මාට කේලම් කියති. දුමින්දගේ අම්මා හාල් සේරුවක් මැන ගණුදෙනුකාරයාගේ මල්ලට  හලන ගමන් එහා කොනේ අපට කෑ ගසති. ''ඔන්න ඔය කොල්ලට ගෙදර යන්ද කියපන් ..දැන් ඇති ඔය මගුල..''

මට හිත රිදෙන බව දන්නා නිසා ලොකු අක්කා සහ දෙවැනියා නාට්‍ය පිටපත වෙනස් කරති.  ඒ අනුව එය ගොළු රගහලකි. කටින් කියන්නට ඕනෑ දේ අතින් පයින් කියන්නට වීම එක අතකට ලොකු අභ්‍යාසයකි.  සමහර දාට දුමින්දගේ අම්මා පැමිණ මා එලවා දමන්නේය. මම අඩ අඩා දුවන්නේ හිතේ අමාරුවටය. එහෙත් දවල් වන විට දුමින්ද මා සොයා එන්නේය. ' අම්මා උඹව බත් කන්න එක්ක එන්න කිව්වා..'

කෑමත් ලැජ්ජාවත් අතර මගේ සම්බන්ධයක් නැත.

ඉතින් මම දුමින්දයාගේ පස්සේ වැටී රතු හාල් සමග අලි බත් පිගානක් ගිල හාල් වෙලදාම ඉවර වන තුරු සිට ගෙදර එන්නෙමි. ඒ මතකයන් කොයිතරම් සුන්දරද..අදත් මට ඒ ගේදොර සිතෙන් මවාගත හැක. ඒ වටපිටාවේ ජීවත්විය හැකිය. ඒ බැනුම් ඇසිය හැකිය. අර බෙලෙක් බත්පිගානේ රතුහාල් බත්ගෙඩිය ගිලින්නට හැකිය. එහෙත් ඒ සියල්ල පසුකොට මා සෑහෙන දුරක් පැමිණ ඇත. එදා මට හමුවූ  මේ අහිංසක මිනිසුන් සමග සසදන විට අද හමුවෙන කපටින් දුෂ්ටයන් සහ මුල අමතක වුන් අහසට පොලොව මෙනි.

එහෙත් ජීවීතය එයමය. නතර නොවී ගලා යන්නට දිය යුතුය. මමද නතර නොවෙන්නෙක්මි. ඉදහිට අපූර්ව වෙස්මුහුණු පළදාගත් කපටින් සමග නතරවුවද නතර නොවෙන්නෙක්මි.

ඒ නතර නොවීමෙන් මට රගපෑමේ උණක් හැදුනේය. ඒ උණ හොදකරගන්නට ඉස්කෝලේ යන ගමන් සෙනසුරාදා දවස්වල බෞද්ධාලෝක මාවතේ සරණ පාරේ ෆිලීක්ස් ප්‍රෙමවර්ධනගේ ජාතික කතෝලික මණ්ඩලයේ නාට්‍ය හා රංගකලා පාඨමාලාවක් හැදෑරුවෙමි. එය නොමිලයේමය. එකල ෆිලීක්ස්ට කොහෙන් හෝ මුදල් ලැබෙමින් තිබුණේය. අපට එකල මාධ්‍ය ලෝකයේ රංග කලාවේ පතාකයෝ පැමිණ ඉගැන්වූයේය. නිහාල් සිල්වා සමග පාලිත ආවේ පොඩි ගැට කොල්ලෙකු ලෙසය. සුනිල් අය්යා  (සුනිල් මාධව ) කල දේශන වලට අපි කුඩු ගැහුවා සේ ආශක්තව සිටියෙමු. සුනිල් අය්යා සම්ප්‍රදායක ලෙස මේසය පිටුපස පුටුවේ ඉදගන්නේ නැතිව මේසය උඩ ඉදගෙන අපට වරෙක හිමින් මුමුණමින්ද වරෙක කේන්තියෙන් කාටදෝ බනිමින්ද ලෝකය ගෙන අප පාමුළ දිග හැරියේය. සෑම පත්තරයකම වගේ කතෘවරුන් පැමිණ දේශන කලේය. මගේ මතකය නිවැරදි නම් සිංහ රත්නතුංග සමග වූ දේශනය විවාදයකට ගොස් කාලගෝට්ටියක් විය. පසුකලෙක සිංහ මට තැන් දෙක තුනකදීම හමුවිය. ඔහුව හිරේ දැමූ දවසේ මගේ ලොකු පුතා උපන්නේය. මතක අලුත් වන්නට ඒ ඉපදීම අඩිතාලමක් විය.
එක දවසක අප වැඩමුළුවට යන විට විදුලිය තිබ්බේ නැත. ජෙනරේටරයක් ගෙන්වාගත් ෆිලීක්ස් සර් ''අද හොදම දවස'' කියා වීඩියෝ කැසට් යන්ත්‍රයක් හා ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් 'කළුවරේ ජරමරේ ' පෙන්නුවේය. පහුවෙනිදා අපි යනවිට කොල්ලන් රහස එලිකරගෙන සිටියෝය. ෆිලීක්ස් සර් පහුගිය අවුරුදු කීපයේම ලයිට් යවා ඇත්තේ හරියටම 'කළුවරේ ජරමරේ ' පෙන්නන්නටය. ඒ අපි නාට්‍ය පටන් ගන්නට පෙර ලයිට් නැතිවීමේ ජරමරය ගැන හිත හදාගන්නා නිසාය.

ඒ කාලයේ මාත් සමග ගිය එවුන් පවා මට මතක නැතත්, ගියා කියා මතක එකෙකුගෙන් ඇසූ විට '' ඇයි බං අපි ගියේ බිස්කට් කාලා තේ බීලා එන්ඩනේ..'' කීය. දේශකයනට සිගරට් සමග තේ ලැබෙන විට අපට ඕනෑතරම් බිස්කට් සමග තේ දුන්නා මට මතක් වුනේ එවිටය.

කෙසේ වෙතත් මේ රගපෑමේ හැකියාව නිසා මම මා ලගින්ම ඇසුරු කරන අයටත්, මට ආදරය කරන අයටත්, මා ආදරය කරන අයටත් මගේ බැනුම්- කේන්තිය සහ වුවමනාවෙන් කරන මගහැරීම් ''මගේ සැබෑ හැටි'' කියා සිතාගන්නා ලෙස කියා ඇත්තෙමි. මම රගන්නට දක්ෂයෙකු නිසා ''සුකුමාර- සීතල- ඉතා හොද..'' මගේ සැබෑ සැටි ලෙස නොගන්නා ලෙස අවවාද කර ඇත්තෙමි. ''උඹලාට ඕනෑ නම් මට උඹලාට ඕනෑ විදියටම රගන්නට ලොකු හැකියාවක් ඇති බව''  මම කියා ඇත්තෙමි.

ඒ නිසා මට ආදරේ නම් මට ''රඟන්නට ඉඩ නොදෙන ලෙස'' මා අදද කියමි.

Tuesday, April 11, 2017

මමත් ජනපති කෙනෙකි...74


අපි ඉරිදාපොලේ සෙල්ලම් කරන විටත් ගස් නගින විටත් පොලේ වැට අයිනේම ගෙදර ගෑණු ළමයින් දෙන්නා බලා සිටියේය. අක්කා නගෝ දෙන්නා අප කරන කියන හැම වැඩක් දෙසම බලා හිනාවී හෝ තරහා වී හෝ බලා සිටියා මිස වචනයකදු දෙඩුවේ නැත. එහෙත් ඒ දෙන්නා අප එකිනෙකා පෙන්වමින් මොන මොනවදෝ කුටු කුටු ගෑවේය. එහෙත් ඒ එකක්වත් අපට තෙරුණේ නැත..

හේතුව සරලය...

ඒදෙන්නා කතා කලේඉංග්‍රීසියෙනි.

ඉතින් අපි නොතේරෙන මංගල්ලෙට ගොස් වරිගේ නහගන්නා ජාතියේ වැඩ  කොට ඒගොල්ලන්ගේ හිනා වී කියන කතා වලට පෙරළා හිනා වුනෙමු. එවිට ඔවුන් දෙන්නා අත් අල්ලාගෙන බක බක ගා හිනාවුනු තැන් ඕනෑ තරම් විය. මම පහුකලෙක මගේ හොදම මිතුරිය බවට පත්වුණු ඒ දෙන්නාගෙන් බාලයාගෙන් උත්තරය ලදිමි.
''අක්කා හිනාවෙන්ඩ තමයි ඔයාලට එක එක ඒවා කියන්නේ...ඒත් ඔයලත් ඒකට ඔව් කියනවා වගේ හිනාවෙනකොට අපිට ඉතින් හිනාකාලා මැරෙනෙවා.''.

 ඒ ගෙදර ගෑනු ලමයින් දෙන්නා ඉස්කෝලේ ගියේ කොළඹ කන්‍යාරමයකටය. ඒ ගෙදර අය නුවර පැත්තේ බවත්, තාත්තා හදිසියේ මියගිය පසු කොළඹ ආ බවත් අප වැඩිහිටියන්ගේ කතා වළින් දැන සිටියෙමු.  මා පසුකලෙක  ඒ ගෙදර යාවජීව සාමාජිකයෙකු වූ කල, ඒ තාත්තාගේ කළුසුදු ඡායාරූපයක් දිටිමි. මැද සාලයේ රූපවාහිනිය තිබූ තැනට ඉහලින් එල්ලා තිබූ රාමු කල පින්තූරයට උඩින් සුදු ප්ලාස්ටික් මල් මාලයක් දමා තිබ්බාද මට මතකය. කුඩා කාලයේ නොවුනත් පියෙකු අහිමිවීම දරුවන් කෙරෙහි බලපා තිබූ අසරණකම කෙතරම්දැයි මට අද දැනේ.
එදා මම අපේ තාත්තාගේ බීමත්කම ගැන වචනයක් හෝ පිට කල සැනින් ඒ ළමයින් දෙන්නාම කීවේ . ''ඔයාට අඩුම තරමේ කෑගහන්න හරි, බයින්න හරි  තාත්තා කෙනෙකු ඉන්නවානේ..'' කියාය. ඒ ස්වරයේ දුක සහිත හැගීම මට එදා තේරුණේ නැතත් අද දැනෙයි. විශේෂයෙන් ගැහැණු දරුවෙකුට පියෙකුගේ අඩුපාඩුව දැනීමේ ලොකු වේදනාත්මක පැත්තක් ඇතැයි මම අත්දැකීමෙන් දන්නා අය සිටිති. ඔවුන් වේදනාව පිටකරගන්නට විදින දහසකුත් දුක්බර හැගීම් මම අද දනිමි. එහෙත් එදා කාලය ඒ මාතෘකාව පිටමං කරමින් අමතක කරමින් ඇදී ගියේ මා ඒ ගෙදර පිරිමි දරුවෙකුගේ අඩුවවත් පුරවමිනි.

මුළින් වැටෙන් බලා සිටියාට අප හා කතාබහට නොආ ඔවුන් දෙදෙනා අම්මාගේ එක කෑගැසීමකින් ගෙදර දිව්වේ ඉතා හදිසියෙනි. පොලේ සෙල්ලම් කරන අපට නම් අම්මලා දහ දොලොස් වතාවක් කතා කරන තුරු ගෙදර යාමක් නොවුණු ඒ කාලයේ මේ ලමයින් දෙදෙනා එක වචනයෙන් ගෙදර දුවන හැටි අපට පුදුමයක් විය.
කෙසේ හෝ ටිකෙන් ටික මුලින් ගොළු බාෂාවෙන්ද පසුව හිනාවෙන් හා අත වැනීමෙන්ද අවසානයේ හත් අට වතාවක් ට්‍රයිකොට බෝලය ඒළමයින්ගේ වත්තට යැවීමෙන්ද ඒ ලමයින් දෙන්න අපේ බෝලයට අහුවී යාළු විය. එහෙත් යාළු කම හොද මිත්‍රකමක් වී අපි දෙල්කදින් එනතුරු පැවැතුනේ මගේ පමණි. හේතුව මගේ ඉවසීම මෙන්ම රස්තියාදුවද, දන්නා නොදන්නා හොද නරකසැම සමග ආශ්‍රයද මෙන්ම තොරතෝංචියක් නැතිව අහුවෙන හැම කඩදාසි කැබල්ලක්ම කියවීමද විය. ඒ අනුව මගේ ජීවීතයේ කොහේ හෝ තැනක වැදගත් වන යමක් තිබිණි. කියවීමෙන් ලද දැනුම තිබිණි. චිත්‍ර අදින්නට කවි ලියන්නට පුලුවන් පොඩි පහේ හැකියාවක් තිබිණි. මම ඒ දැනීම ඔවුනට බෙදා දුන්නෙමි. ඔවුන් මට ඉතා ඕනෑකමින් මට අඩුව තිබූ ඉන්ග්‍රීසිය බෙදා දුන්නෝය. මම ඒ ඉන්ග්‍රීසිය පුදුම ලෝබ කමකින් බෙදා ගත්තෙමි. විටෙක ඔවුනට මගේ 'මොට කඩුව' එපා වී හිනාවෙන්නටත් බැරිව කටවල් අතින් වසාගෙන සිනාසෙන විටත් මම කඩුව අත නොහැරියෙමි. ඒ බෙදිල්ල මට පසු කලෙක බොහෝ ප්‍රයෝජනවත් විය. ටික දවසක් ගතවන විට ඒ දෙන්නාට මාවද මට ඒ දෙන්නාවද නැතිව බැරිවිය. එහෙත් එකම පන්තිවල උගෙනමින් සිටි බාලයා හා මා අතර මිතුදම සමීප එකක් විය.
මම දවසෙන් වැඩි කාලයක් මේ ගෙදර ගත කලෙමි. ඔවුන්ගේ අම්මා නුවර කෙනෙකු නිසා පෙනුමෙන් ආඩම්බර ගතියක් තිබුණත් මගේ යාලුවන් නපුරු කුඩම්මා ලෙස නම් පට බැද තිබුණත් ඉතා ඉක්මනින් තෙත්වන හදවතක් තිබුනේය. වරෙක වාර විභාගයකදී මගේ මිතුරිය අඩුවෙන් ලකුණු ගත් විට මා ගේට්ටුව ලගදීම එලවා දැමූ ඒ අම්මා නැවැත එහි නො එන ලෙස කීවාය. තදින් බිදුණු හිතක් ඇතිව  හයිලෙවල් පාරත් පැන අපේ ගෙට ඇතුල්වන කොන්ක්‍රීට් ලෑලි පාලම පනිද්දී කවුදෝ මගේ අතින් අල්ලාගත්තේය. මම කදුළු වැටෙන මූණ හරවා බලද්දී ඒ ඇගේ අම්මාය. ඈ කිසිත් නොකියා මා අල්ලාගෙන ආපසු එක්කාගෙන ගියාය. ඒ ගමනේදී කිසිත් නොකී ඇය ඒ ගෙදරදී ''මට කෙන්ති ගියා පුතේ ..''කීවේය. ඒ කේන්තිය සාධාරණය. විභාග වල ලකුණු අඩු වෙද්දී දෙමාපියනට කේන්ති යාම මා ඕනැතරම් දැක ඇත්තෙමි. එය අම්මලා මහන්සිවෙන තරම දන්නා මට නම් ලොකු දෙයක් නොවේ.

කෙසේ වුව එදත් කවදත් මට ඒ ගෙදරින් සැලකිලි තිබ්බේ මගේ අසරණ කමට නම් නොවේ. මගේ දැනීමේ තරමට බව මම සිතමි. ඒ දැනීම ආවේ රස්තියාදුවෙනි, පාරවල් ගානේ ඇවිදිමෙනි, පොඩි එවුන් හට අකැප දේ දැකීමෙනි, කුණු බරට විසී කරන පොත් පත්තර කියවීමෙනි. ලොකු අම්මාගේ දියණියගේ මිහිර කියවීමෙනි. අටේ කණුවේ මහප්පාගේ ඉංග්‍රීසී පත්තරය කියවීමෙනි. ඒ නිසා මා කටපුරා ලොකු අක්කේ කී මගේ මිතුරියගේ අක්කාගේත් මගේ මිතුරියගේත් දහසක් ප්‍රශ්ණ හා විචිකිච්චා වලට උත්තර ලැබුණේ මගෙනි. ඒ නිසා මා ආශ්‍රයකල යුතු හොද ලමයෙකු සේ ඔවුන් මට සැලකුවේය.

 වරෙක ඇගේ පාසලේ යම්කිසි උවමනාවක් සදහා එක ප්‍රමාණයට කපන ලද කඩදාසි තොගයක් වුවමනා වී ඇගේ අම්මාත් පුන්චි අම්මාත් එකතු වී දහ අතේ කල්පනා කල බව මට ඈ කීවාය. ඒ වෙලාවේ මට කීවානම් මොකක් හෝ පිළිතුරක් ලැබෙයි කියා ඈ ඇගේ අම්මාට කිවූ විට මා පොඩි කොල්ලෙකු නිසා මොනවා දන්නවාදැයි අම්මා කිවූ බව ඈ මට දුකෙන් කීවාය. මම ඒ කොල කැබැල්ලත් තිබේ නම් අම්මාගෙන් යම් මුදලකුත් රැගෙන එන ලෙස කියා යැව්වෙමි. අම්මා ඈ විස්වාස නොකලත්..මා කෙරෙහි වූ ඇගේ දඩබ්බර විස්වාසය නිසා එවා තිබුනාය. මම ඇයත් සමග හනි හනික පොල පිටුපස්සේ පරන පාරෙන් දෙල්කදට විත් හරස් පාරෙන් පැන ඇල උඩ පාලම පසුකොට ''වික්‍රමාරච්චි ඇස් කණ්නාඩිය'' පසු කොට මුද්‍රණාල වලින් ඉවත දමන කොල එකතුකරන දෙමළ මනුස්සයාගේ කඩයට ගියෙමි.

ඒ යනවිටත් එකල දැන තරම් ජනාකීර්ණ නැති වාහනත් අඩු තැන්වල පවා පාර පනිද්දී ඇගේ අත අල්ලාගෙන සිටියෙමි. මා අත අල්ලාගන්නට ලැජ්ජාවුනු තැන්හී ඈ මගේ අත අල්ලාගත්තාය.  අපි මේ අත් ඇල්ලීමේ ප්‍රීතියෙන් කොල කඩේට වැද ඕනෑකරන ප්‍රමාණයෙන් කොල තොගයක්ම මිලදී ගත්තෙමු. ඒ සදහා ගිය වියදම ඇගේ අම්මා පසුව 'අදහාගන්නටත් බැරි' තරම් බව කීවාය. ඒ තොගයම ඒ කොල කඩේ කොල්ලා අර ගිලටිනයේ තබා 'සයිස්' කර දුන්නේ හිනාවෙමිනි. අපේ හිනාව ඔහුගේ ගාස්තුව විය. ඒ අතරේත් මා වීරයා සේ අර කොල ලොකු හතරැස් යකඩ පෙට්ටියකට බහා යකඩ මෝලකින් කොටන අයුරු ඇයට පෙන්වා විස්තර කලෙමි. කොල හොණ්ඩරයක්වත් පමණ  ඒ අඩි දෙකයි දෙකේ කොටුවේ නොපෙනී යන හැටි,  ඈ කෙසේ වෙතත් මම නම් සියවන වතාවටත් බලා සිටියෙමි. අප දෙන්නා එන අතරේ ඉතුරු මුදල් වලින් ටොෆි වර්ගයක් කෑවා මට මතකය. ඒ සමග කුඩා එකතු කරන   වීරයන්, ක්‍රීඩකයන් හා විවිධ ස්ථාන වල කාඩ්බෝඩ් පින්තූර ලැබුණාද මට මතකය. එදා කොල තොගයම මටත් නොදී දෑතින්ම බදාගෙන ආ ඇයව මට තාම මතකය. ඊටත් වඩා ඇගේ අම්මා ඉදිරිපිට මා වීරයෙකු කිරීම සදහා ' අම්මලා කොල ගෙනල්ල කප කප හිටියනම් මට ලබන අවුරුද්දේ තමා...' කියූ හැටි මතකය.

නවවන ශ්‍රේණියට එන්නට කලින් එකල මම උදේ වරුව ඉස්කෝලේද, හවස්වරුව පොල පිට්ටනියේද, රෑ වනතුරු ඒ ගෙදරද  කාලය කෑවෙමි. ඒ රෑ ගතවුනේ ටී වී බලන්නටය. ඇගේ අම්මා අපට රූපවාහිනිය බලන්නට කාලයක් වෙන්කර තිබුණාය. ඒ වෙලාවේ 'නයිට් රයිඩර්' ටෙලි මාලාවද, පොලිස් යතුරුපැදි තිබුණු Supercop හෝ එවැනි නමක් තිබුණු ටෙලි මාලාවක් නැරඹුවෙමි. විබාග දාට අක්කාට සහ ඇයට හිමි නොවුණු නයිට් රයිඩර් බලන්නට මට අවස්ථාව හිමිව තිබිණි. ඒ මම ඉස්කෝලේ ඇරී අවුත් පාඩම් කලෙමි.. කියන පතාක නාගරාජයා ඒ අම්මා ලග අතහැරීමෙනි. මා නයිට් රයිඩර් ඔය තරම් ආසාවෙන් බැලුවේ මට ඕනෑ නිසා නොවේ. ඒ පහුවෙනිදා  ඈ මගෙන් ඒ සතියේ කතාව සම්පූර්‍ණයෙන් අහන නිසාවෙනි. මගේ කතාවට සංගීතය තිබේ..ඇක්ෂන් තිබේ...ඒ අස්සේ තේරුම් ගැනීමට බැරිවූ තැන්වලට මගේම කොටස් බද්ද කර තිබේ. ඒ ගෙදර ලොකු පෝටිකෝවේ වේවැල් පුටු මත ඉදගෙන පොඩි මල්ගවුමේ වාටිය අල්ලාගෙන මගේ ඇක්ෂන් සහ සංගීතය පිරුණු කතා ඈ අසා සිටියා මට තාම මතකය. නයිට් ර‍යිඩර් එනවිට ඇහෙන සංගීතය මගේ කටෙන් පිටවන්නේ ඒ හුරුවෙනි. මයිකල් දුෂ්ටයාගේ මූණ පුරා ගහන පාරක් ගානේ ඩිම්..ඩිෂුම් ටෑංං ගාන්නේ කතාව සජීවී වෙන්නටය. අවසානයේ කතාව ඉවරයක් වීගෙන එන විට මගේ රසිකයා නැගිටින්නට සූදානම් වන විට මට දුක හිතෙයි. ඊලග සතියේත් ඇගේ අම්මාට කේන්ති ගොස් ටී වී බලන්නට නොදෙන්නේ නම් කියා කුපාඩි පහේ කල්පනාවක් එයි. එහෙත් ඒ සැමදා සැබෑවන හීන නොවේ.

 ඒ හීන වුව.. ඒ මතකයන් නැවැත එන්නේ නැත. මා ඈට පමණක් ලියා දුන් කෙටිකතාවක් සම්පූර්ණයෙන්ම දුප්පත් දරුවෙකු ලොකු වී රටේ ජනපතිවරයා වී කුඩා කල මේ ජනපතිවරයාට උදව් කල අයට ඇමැතිකම් දෙන හැටි පිළිබද විය. ඒ කතාව කියවූ ඇය ඇයට අගමැතිකම ඉල්ලුවාය. ''එතකොට මට ඔයාගේ ලගම ඉදන් වැඩ ඔක්කොම කරලා දෙන්නට පුළුවන් '' කීවාය. මේ කතාපොත ඇගේ අක්කාද දැක තව ලියන්නට කියා ඇයට අධ්‍යාපන ඇමතිකම දෙන ලෙස ඉල්ලුවාය. ඇගේ ඉස්කෝලේ ගුරුවරු දෙදෙනෙක් ලංකාවෙන්ම පිට ඉස්කෝලෙකට පලවාහරින්නට ඕනෑ බව කීවාය. ඉන්පසු ඒ කතාව කවුරුන් හෝ දැක්කේ නැත.

මේ වන් විකාර කතා සැබෑ වී ඇති බව දැන් ලංකාවේ හෝ වෙන කොහේ හෝ හොද ජීවිත ගත කරන ඔවුන් දකිනවා ඇත. ඔවුනට මා මතක් වෙනවා ඇතැයි මම නිතර සිතමි. ඔවුන් මට දෙල්කදින් ගොස් වැඩිකාලයක් යන්නට පෙර අහිමි විය. ඒ ගෙදර ඔවුන්ගේ කුලී ගෙයක් වීමෙනි. ඔවුන් අප දෙල්කදින් ගිය පසු වෙන කොහේ හෝ කුලී ගෙයකට පදිංචියට යන්නට ගොස් ඇත. 
ඈ මට බෙහෙවින් හිතෛශී වූවාය. මගේ පොත්වල අඩුපාඩු පිරවූවාය. මා සාමාන්‍යපෙල විභාගයට කලින් දෙල්කදින් යන්නට පෙර ඇගේ පිහිටෙන් හොද ලකුණු ගනිමින් සිටියෙමි. මට බැරිම විෂයයන් වූ ගණිතය හා විද්‍යාව ඈ මට කියාදුන්නාය. ඇගේ අම්මා අප තුන්දෙනාටම කුඩා මේස තුනක් සාදවා ඒ ගෙයි වටේටම තිබුණු කොරිඩොවේ පහසුකම් සැලසුවාය. පාඩම් කරන වෙලාවට තේ සදා බිස්කට් සමග ගෙනවිත් දුන්නාය. මගේ මිතුරිය අක්කාට හොරෙන් මගේ කවකටු පෙට්ටියේ අර බිස්කට් සැගවූවාය.  මගේ ජීවීතයේ මට එසේ ආදරය කල අය හමුව ඇත්තේ අල්පයක් පමණය. එහෙත් කිසිදිනෙක මට ඒ ආදරයන් මට සමීප ලෙස හමුවුනේ නැත. කොහේදෝ සිට ආ සුලං රොදක් සේ ඒවා මා සිහිල් කොට හමා ගොස් අතුරුදන් වූයේය. මා දෙලකදින්යන බව පැවසූ දා ඈ මා තදින් බදාගෙන කදුළු පෙරමින් ඇඩුවාය.වැඩි වෙලාවක් එසේ ඉන්නට බැරි බව දැන මගේ කනට කොට 'ඉක්මනින් ජනාධිපති වෙනවා නේදැයි...' ඇසුවාය. මම ඔලුව වැනුවෙමි.
ඈ හිනාවී ' නැත්නම් මට වෙන ජනාධිපති කෙනෙක් හම්බවෙයි ..'කීවාය.

ඒ ඉන් දශක කිහිපයකට පසු මා අත්විදි ආදරය හෝ ප්‍රේමය නම් සරුව පිත්තල බොරුව නොවේ.. එය අපගේ මිතුරුදමේ බැදීමයි. අවංකව ලෙන්ගතු වීමේ හැගීමයි.

මගේ ජීවීතයට සමීප කිසිවෙකු.. කිසිදෙයක්...සිදුවීමක් අමතකව යන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒවා මගේ හිතේ පුදුමාකාර බැදිමකින් තැන්පත්ව ඇත්තේය. සමහර දේ ඉතාම නොවටිනා ඉතාම කෙටි සරල සිදුවීමක් වන්නට පුළුවන එහෙත් ඒවා මගේ මතක ගබඩාවේ තැන්පත්ව තිබේ. එහෙත් ඒ සමහර සිදුවීම් අසාමාන්‍ය ලෙස වේදනාකාරීය. මතකයට නැගෙන නැගෙන වාරයක් පාසා මා ඒ මොහොත ගත නොකලානම් කියා සිතෙන්නේය.

මගේ ජීවීතයේ මා තේරුම් ගත් එක දෙයක් නම් මේ කිසිවක් මට බලෙන් අමතක කරන්නට බැරි බවයි. ඒ නිසා මා දැන් අමතක කරන්නට උත්සාහ කරන බොහෝ දේ ..අමිහිරි මතක..අමිහිරි මිනිසුන් හා ගැහැනු පිළිබද මතක් කරමින් සිටිමි. ඔවුනට මා මතක් වේ යැයි සිතමින් සිටිමි. අය අපූර්ව අභ්‍යාසයකි. මා මතක් කරමින් එකේන් එක පැටලුම් සහිත මිනිසුන් ගැහැණුන් ලෙහා දමමි. එවිට මට ඉතිරිවන මගේ මතකයේ තබාගත යුතු දේ තවත් ගුලිකොට හදවත සමීපයේ තබමි. (එසේ ගුලිකොට තබාගන්නා චරිතයක් බවට  කන්‍යාරාමයේ යෙහෙළිය පත්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. )

එය අමතක කරන්නට උත්සාහ කරමින් දුක්විදිනවාට වඩා ලෙහෙසිය...සරලය...
ජනපති කෙනෙක් වනවාට වඩානම් අමාරුය...

Wednesday, April 5, 2017

තට්ට බාගයාගේ පොල් ලොවි සහ මගේ අහින්සක සියඹලාව 73


ගියවර ලියැවිල්ලේ කමෙන්ටුවක dmg podi විසින් දෙල්කද පහුකරන් යන විට, මම අර කී මාර ගස දැන් නැද්දැයි අසා  තිබුනෙන්,  මටද මම ''මං'' ගැන නොදන්නා කම ගැන දුක් වුනෙමි. ඔය මාර ගසත් අනික් ගස් ටිකත් ජීවීතයේ අතරමග හමුවූ තවත් ලොකු පොඩි ගසුත් ''මම'' ය. ඉතින් මට අමතක නොවූ එහෙත් කාලයක් දකින්නට නොලැබුණ ගස් සොයා මගේ අතීත මම සොයා දෙල්කද බලා ඉගිල ගියෙමි. එදා අපි දෙපැත්ත බලන්නේ නැතිව පැනපු මහපාරත්, බයිසිකල් රිම් හා ටයර් පැදි තාරපාරත් අද නැත. වාහන.. මිනිස්සු හා ඒ දෙකේ සම්බන්ධයක් නැති,  මලඉලව් රියදුරු නළා නැතහොත් සින්හලෙන් කියන ''හෝර්න්''  හයි කරගත් නළා කාරයන්ගේ  මහා කාලගෝට්ටියක් මැද...  මම 'මගේ ගස්' සොයා ගියෙමි.

මාර ගස එසේම හයිලෙවල් පාරට මූණ හරවාගෙන තද නින්දක වැනිව වයසට ගොස් ඇත්තේය. සියඹලා ගස එදා තිබූ තරුණ ජවයෙන් නැතිව,  පොලමැද්දේම තිබූ කොස් ගස දිහා බලාගෙන කල්පනාවකය. ඒ සියල්ලන් මැදි කරගෙන කුඩා කැලෑවක් නිර්මාණය වෙමින් තිබෙන්නේ අලුත් දළු ලමිනි. මම යලි අර කලබලයෙන් මිදෙන්නටත් ..තනිවෙන්නටත්.. නිස්කලංක වෙන්නටත්..   වාහනයේ රේඩියොවේ හඩ වැඩි කලෙමි. මට යලි මෙහි එන්නට ඕනෑය. මෙහි මතක සමග වරුවක් ගත කරන්නට ඕනෑය. තට්ට බාගයා නිසා මා 'අහින්සක සියඹලා' ගහෙන් වැටුණු හැටිත්, ජර්මනියේ සිට වැඩම කල සුදු හාමුදුරුවන් කොස් ගහ යට බාවනා කල හැටිත්, යලි දකින්නට ඕනෑය. (ඒ සියල්ල දීර්ඝ වැඩි නිසා කඩින් කඩ ලියමි. )

සියඹලා ගහේ නාකී කාලයක් තිබ්බා මට මතකය. එවිට ගහේ එක කොළයවත් නැතිව දඩු රිකිලි පමණක් වේලී පරඩල් වී ඔහේ සුළගේ වැනෙන්නේය. එහෙත් ටික කලක් ගිය තැන ඒ නාකි දඩු අගින් ලා කොල පාට දළු නගින්නට පටන් ගනී. ඒ දඩු අන්තිමේ හීන් කොල වලින් වැහී, තද කොල- ලාකොල පාට අහුරා මහා විසල් රුකක් තනන්නේය. අදත් පාට කෙරෙහි ඇති විස්මිතය මෙය බව මා දනිමි. මේ ගස් කොලන් ..ගල් බොරළු වල පාට, මා දන්නා ගෑණු මිනුසුන්ගේ කපටි පාටවල් මෙන් කවදාවත් වෙනස්වුනේ නැත. එදා මගේ හිතේ ඇදි කොල පාට අදත් ඒ කොල පාටමය. කළු ගලේ පාට ඒ පාටමය.

එකල මට කැමරාවක් තියා ඒ මොකක්දැයිවත් නොදැන හිටියාට මගේ හිතේ ඇදි චිත්‍රයට අමතරව පැස්ටල් කූරු දෙකකින් මේ ගහ ඇන්දෙමි. ඒ ජයසින්හයේ ඉද්දීය. ඒ චිත්‍රය නිසා ජයසින්හයේ මැද බිල්ඩිම නොහොත් වේදිකාගාරය තිබූ තැන පිට බිත්තිවල ''අපේ පාසල හොදම පාසල'' ලෙස ලොකුවට අදිමින් අර සියඹලා ගස තීන්තෙන් ප්‍රතිනිර්මාණය කලෙමි. බිත්ති චිත්‍රයක් ඇන්දෙමි. ඒ ඇන්දේ හතර පන්තියේදීය. මට එය මතක  සතිස්චන්ද්‍ර එදිරිසින්හ අධ්‍යකෂණය කල චිත්‍රපටයක කඩේ මුදළාලිගේ චරිතය රගපෑ හොද මනුස්සයෙකු වූ අපේ ප්‍රන්සිබල් සර්  මාව උදා රැස්වීමේ කොඩිකණුව ලග පකිස්පෙට්ටි වේදිකාවේ නංවාගෙන ඔලුව අතගගා මා වර්ණනා කල නිසාය.

එහෙත් සියඹලා ගහ ප්‍රසිද්ධ වුනේ වෙන හේතුවකටය. ලොකු අය්යාට මතක ඇති වෙන්නට ඕනෑ පොල පිටුපස්ස වැටේ උඩහමුල්ල පාරට මුහුණලා තිබූ ගෙදර මාමා නැන්දා හා එකම පිරිමි දරුවාගේ නම් මට මතක නැත. එහෙත් ඒ ගෙට අයිනේ වහලය ලගටම හැදුණු ලොකු ලොවි ගහ හැමදාම  රතු ටීක් බෝල වැස්සක් සේ පොල් සයිස් ගෙඩි හැදෙමින් අපව බඩගිනිකාරයන් කලා නම් මතකය.   ඒ මාමාට අප නලලත් හිස මුදුනත් කෙස් නැති නිසා ''තට්ට බාගයා'' කිව් වග නම් නිට්ටාවට මතකය. එහෙත් ඒ මාමා අපට වැටුණු ගෙඩියක්වත් අල්ලන්නට දුන්නේ නැත. අප එකතු වී සාප කරමින් හූල්ලමින් කෙල හලමින් ඔය ගහ මහ හුළගක් ඇවිත්වත් කඩා වැටියන් කියා  ගහ දිහා පෙරේත බැල්ම හෙලුවෙමු. එහෙත් අපේ සාපයන් ආශිර්වාදයන් වීදෝ අවුරුදු පතා ගසත් ලොකුවී ගෙඩිත් ලොකුවී බැබලුනේය. එහෙත් කොකා තිත්තයා මෙන්  අපටද වාරයක් ආවේය. ඒ වෙනදා ගහ පරෙස්සන් කරන නැන්දා,  මාමා සමග අමනාප වී වෙන කොහේදෝ පදිංචියටම ගිය නිසා බව මට මතකය.  එක දවසක මේ තට්ට බාගේ මාමා අප සෙල්ලම් කර කර හුන් තැනට විත් අලුත් යෝජනාවක් කලේය. එනම් ලොවි ගහේ ගෙඩි කඩන ඕනෑම කොල්ලෙකුට ඉන් අඩක් දෙන බවයි. අපේ සෙල්ලම නැවතී කටවල් ඇරී එකග වූවද ගහට නගින්නට එකෙකුවත් කමැති වූයේ නැත. අන්තිමේ හැමදාම මෙන් මම නැමැති පණ්ඩිතයා දුකට කරගැසුවෙමි. කොල්ලන් ගහ යට ඉද්දී මම අත්තෙන් අත්ත නැග ගෙඩි අතු පිටින් කඩා පහල කොල්ලන් දෙපැත්තෙන් අල්ලන් සිටි තට්ට බාගයාගේ සරමකට අතහැරියෙමි. තට්ට බාගයා ඒවා එකතුකොට කූඩයකට පිරවූයේය. එහෙත් හොදම ගෙඩි ඇති පොකුරක් හමුවූ විට මගේ සාක්කුවේ ඔබාගතිමි. දැන් ගහේ හොදම ගෙඩි කඩා අවසන් මුත් මට නගින්නට අමාරු අත්තක තව තද කුණු ලේ පාට පොකුරක්ම දැක තට්ට බාගයා මා දිරිගැන්වූයේය.''ඕං කොල්ලො ඔය අත්ත  උඩම වල්ලත් බිමට දාලා බැහැපන්..කීවේය.

මම දන්නේ එපමණකි. සිහිය එනවිට මම අර සියඹලා ගහ යට පොල පැත්තේ නොව කන්‍යාරාමයේ ලමයාගේ වත්ත පැත්තේ බිම දිගා වී සිටියෙමි. මා වටකරගෙන තට්ට බාගයා ජයලත් ලොන්ඩරියේ දුමින්දගේ අම්මා ඇතුළු වැඩිහිටි කිහිපදෙනෙකු සිටියත් මා සමග ලොවි කැඩූ කිසිවෙකු සිටියේ නැත. මා ඇස්පිය හෙලූ සැනින් තට්ට බාගයා බේත්තෙල් වෙදෙක් මෙන් කියවනවා මට ඇහුණත් මට ඊට උත්තර තිබ්බේ නැත.

''මං මේ ලොවි ටිකක් කඩන්ඩ කෙක්ක ගත්තා විතරයි දඩස් ගාලා සද්දයක් ආවා බැලින්නං ...මේං මේ කොල්ලා සියඹලා ගහෙන් වැටිලා..හොද වෙලාවට මං හිටියේ නැත්නං කොල්ලා මෙතන කවුරුත් දන්නේ නෑ... ''

මම ඇස් ඇර කවුරුත් අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර දී ගස් නැග්ගාට බැනුම් අසා ගෙදර ඇවිද්දේද හරි අමාරුවෙනි. එදාම තට්ට බාගයා ලොකු ලොවි මල්ලක් අරන් මා බලන්නට ඇවිත් අම්මාට මා රස්තියාදුවේ යන එක පාලනය කරන ලෙස උපදෙස්ද දුන්නේය. මම තට්ට බාගයාත් තට්ට බාගයාගේ හත්මුතු පරම්පරාවත් එකසැනෙන් කුඩුපට්ටම් කර දැමුවෙමි. (ඒ හිතෙනි.) ඒ හිතම කටක් ඇර කිසිත් නොකියන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. එහෙත් හිත එහෙම තිබුණාට පහුවෙනිදා නැගිටගන්නට බැරිව මම එකතැන් වුනෙමි. අම්මා මා රැගෙන සිල්වා මහත්තයා ලගට ගියෙන්, කොන්දේ ගාන්නට ඉටිකොලයක එතූ යමක් සහ පෙති කිහිපයක් දුන්නා මට මතකය. එහෙත් එන ගමනේ අම්මාට මා එක්කාගෙන සිංහල බෙහෙතක් කරන ලෙස සිල්වා මහත්තයා උපදෙස් දුන්නද අම්මා පුරුදු පරිද ඉංග්‍රීසි බෙහෙත විස්වාස කලාය. මට දින දෙක තුනකින් සුව විය. (අම්මා අදද විස්වාස කරන්නේ ඉන්ග්‍රීසි බෙහෙත්මය. සමහර ලෙඩරෝග දොස්තර මහත්වරු බෙහෙත් මෙන්ම ඒ ඒ ලෙඩ වලට යායුතු දොස්තරලා ගැන අම්මාගේ තිබූ දැනුම එකල  බොහෝදෙනා පුදුම කලේය. )

ලෙඩ සුවවූ විගස අම්මා මා මුදාහැරියාය. ඒ එක කොන්දේසියක් සමගිනි. ''එක එකාගේ ගස් නැගලා ආයෙත් වැටියං පුලුවන්නං...ඊට පස්සේ උන්ගේ බොරු අහන් ඉන්ඩත් වෙන්නේ මට.....''

මම අම්මා දෙස කට ඇරගෙන බලා සිට,  ප්‍රශ්න කෝට්යක්ද ඊට උත්තරද සොයා එදා ලොවි කැඩූ කොල්ලන් සොයා ගියෙමි. අඩුම තරමේ මගේ සාක්කුවේ ඔබාගත් ලොකු ලොවි ගෙඩි වලට කුමක්වීදැයි අහන්නට මට උවමනා වී තිබුනේය. ලොන්ඩරියේ දුමින්දගේ කට වටා තුවාල ඇවිත්ය. අනෙකාගේ කිහිල්ලේ ලොකු ගෙඩියකි. තුවාලේ කැක්කුමට අතත් උස්සාගෙන උන්දෙන්නා මට රහසින් කීවේ..

''උඹ එනකං තට්ට බාගයා අපිට ඕනතරං ලොවි කඩාගන්න කිව්වා බං ..''කියාය.

කටවල් වන වෙනකං කිහිලි වන වෙනකං උන් ලොවි කා ඇත. මම අමුතුම සතුටක් වින්දෙමි. අර ලොවි ගහ දෙස නොබැලුවෙමි. එහෙත් මම නිසා අර සියඹලා ගහ වටකොට ලොකු කටුකම්බි වටයක්ම ගසා තිබුනේය. ඒ ජයලත් ලොන්ඩරියේ දුමින්දගේ අම්මා විසිනි. ඒ අපව රැකගැනීමටය. ඒ අම්මලාගේ හැටිය. ...

ඒ අම්මලා මෙන්ම සියඹලා ගසද අහින්සකය.