Wednesday, March 29, 2017

ජීවිතේ රවුං රවුං එකකි....72


ඉරිදාපොලට ඇතුළුවන්නට කටවල් දෙකක් තිබිණි. ඒ හයිලෙවල් පාරට මුහුණලාය. ඒ ඉස්සරහින් සිටගත්විට දකුණු පැත්තේ උඩහමුල්ල පැත්තටත්, පරන පාරටත්, යන හරස් පාර මායිම්ව ඉස්කෝල හාමිනේගේ ඉඩමද.. ඊට මායිම්ව සිසිර අය්යලාගේ ඉඩමද පසුකල විටම එකල ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සේවය කල  මද්දුමබණ්ඩාර සර්ගේ තට්ටු දෙකේ ගේද ... කොස්ගහ යට සිල්ලර කඩේ ගාමිණි අය්යාටද ඊට අල්ලපු හොදිමාළු හෝටලය රත්නසිරි ශීලා යුවලටද අයිතිව තිබුනේය.

(එහිම පිටුපස්සේ රත්නසිරි හා චන්ද්‍රා අක්කාගේ තාත්තා අසනීප තත්වයකින් පෙලෙමින් ලේන්සුවකින් මූණ වසාගෙන පොඩි කාමර කෑල්ලක සිටියා මට මතකය. අප ඉරිදාපොලේ ඉරිදා හැර ක්‍රිකට් ගහන සැම වෙලාවකම අර කොට තාප්පේ උඩින් බලා සිටි ඇඩ්ඩිං මාමා මියගිය වකවානුව හෝ මලගේ මට මතක නැතත් ඒ මූණ මට හොදහැටි මතකය. )

ඊලගට හෝටලයත් කඩපේලියත් වෙන්වන සේ ඉරිදාපොල බිමට ඇතුල්වන කොටසට මෙහා පැත්තේ පටන් ගත් තැනම කඩය කාගේදැයි මට මතක නැතත් කාලයක් තිස්සේ වසා තිබ්බා නම්  මතකය.(ඒ වහපු කඩේ බුළත් පුවක් දුංකොල තිබ්බා වාගේ යන්තම් මතකයක් තිබේ.) ඊලග කඩයේ ඩයස් බඩාගේ හෝටලයද ඊටත් එහායින් ටයර් කඩේද ටයර් කඩයට අල්ලපු කඩේ ජයලත් ලොන්ඩරියද තිබ්බේය. මේ කඩ පෙලිය  ඉස්සරහා මුහුණත හයිලෙවල් පාරටද, පසුපසු ඉරිදාපොලේ වෙළදාම පිණිස තහඩු වහලයක් සහිතවද සාදා තිබිණ. ඉන්පස්සේ පතාක මාර ගසත් මගේ කන්‍යාරාමයේ මිතුරිය සිටි ගෙදර ගේට්ටුවත් අතරේ ඊලග ඉරිදාපොල පිවිසුම තිබුණේය. මේ ඉරිදාපොළ පිවිසුම අසලින්ම පටන්ගෙන ඉරිදාපොල මායිම දිගේම අඩි හතරක් පහක් පලල  තහඩු මඩුව එකින් එක පුරුද්දා පරණ පාර මායිම දක්වා දිග බද පටියක් මෙන් සාදා තිබුණේය. ඒ  පෙලිය අවසානයේ පරණ පාරත්, පොළ බූමියත් වෙන්කර කම්බි වැටක් ගසා තිබුණු අතර ඉන්පස්සේ පොලේ අඩක් හිමිව තිබූ රාලහාමිගේ නිවසද.. ඊලග මායිම ඉස්කෝල හාමිනේගේ ඉඩමක කොටසක්ද... අන්තිමට සිසිර අය්යාගේ ඉඩමේ කොටසක්ද... මද්දුම බණ්ඩාරසර්ගේ තට්ටු දෙකෙ ගෙයත් යලිත් දකින්නට හැකි විය. ඒ ගේ මායිම් වුනේ අර රවුමේ අන්තිම කොටස වූ ගාමිණි අය්යාගේ කඩේ ලගිනි.

පොළ ඉස්සරහින් හිටගෙන අනෙක් පැත්ත බැලූ විට, වනාත පාරද ඊට අල්ලා ඩග්ලස් අය්යාගේ කඩේද.. ඊට අල්ලපු වත්ත පුරා ලී මඩුවද... ලී මඩුවේ වැටෙන් මෙහා අපේ ගේද.. ඊට අල්ලපු ඉඩමේ රත්නසිරි අය්යාගේ ගේද.. ඊටත් එහා මෝටර් රංජි අය්යාගේ මෝටර් ඔතන චන්ද්‍රා මෝටර්ස්ද ඊට අල්ලපු ඉඩමේ නැවෙන් එහා මෙහා ගිය සරත් අය්යාගේ ගේද.. ඊට අලලා හැදූ,  මම ඉස්කෝල නිවාඩුවක් හාල්- සීනී -තේකොළ- බූමිතෙල් කිරූ කඩ කෑල්ලද.. ඊටත් අල්ලපු වත්තේ ආනන්දසිරි අය්යලාගේ කොට තාප්පය සහිත ඉඩමද එක පෙළට තිබූ අතර, ඊලග වත්තේ තිබ්බේ මැනිං මාකට්ටුවේ ජයවර්ධන අය්යලාගේ තට්ටු දෙකේ ගෙදරය. ඊට එහා පැත්තේ පල්ලමට ඇති පාරේ නම මට දැන් මතක නැතත් ඊලගට ආයෙත් කඩ පේලියක් තිබ්බා මතකය. එහි තුවාල වලට බෙහෙත් දැමූ මොන්ටි පදිංචිව සිටියේය.

මේ රවුම මට මගේ ජීවීතයේ දුෂ්කරම එහෙත් සුන්දරම සිදුවීම් වටා බැදී තිබුණේය. ඒ නිසාවෙන් මගේ ලියමනේ තව දුර යන්නට පෙර මට මේ රවුම යළි මතක් කරගන්නට සිත් විය. මා මේ රවුමේම කරක් ගැසීම ගැන ඔබෙන් සමාව ඉල්ලන්නේ ඉන්පස්සේ මගේ ජීවීතය වෙනම රවුමකට වැටෙන නිසාවෙන් හා මේ තරම් සුන්දර  යලි යලි මතක් කිරීමට තරම් සොදුරු දේවල් නොලැබෙන නිසාවෙනි.

කීවා මෙන්ම මේ රවුම මගේ ජීවීතයේ බාගයකටත් වඩා වසාගෙන ඇත්තේය. අදත් මට මේ ප්‍රදේශය පසුකරගෙන යන විට විවිධාකාර මතක මැවෙයි. ඒ අතරේ ජෝරිස් මහින්ද අය්යා අඩි දහයකටත් වඩා උස, අඩුම තරමේ මීටර් දෙතුන් සීයක් දිග 'නයා සරුන්ගලයක්' සාදා හයිලෙවල් පාරේ එක කොනක සිට, නූල් පන්දුව පාර හරහා ඇද තිබුනු වයර් කම්බි උඩි විසිකර කර  ලී මඩුව තිබුණු තැන සිට මොන්ටිගේ තුවාල සාප්පුව ලගට නූල හදාගෙන, අර පත සරුන්ගලය උඩ යවන්නට දිවූ හැටි මතක් වෙයි. ඒ සරුංගලය අපට එකල අල්ලන්නටවත් දෙන්නේ නැත්තේ එහි බරට අපවත් පෙරළාගෙන වැටෙන නිසාය.
සරුංගලය උඩ යන්නේ අර රෝල්කර තිබූ නයි නැට්ට දිග හැරෙන ගමනේය. එය බලන්නට ලස්සන දර්ශනයකි. අන්තිමේ මේ අලි පත නයා අහසේ උඩින් උඩටම ගොස් තිතක් නැතහොත් අපේ බාසාවෙන් ඩොටේ වෙන්නේ අපේ ඇස් ගෙඩි බෙල්ල රිදෙන තුරු අර අහස දෙස බලා ඉද්දීය.  සමහර දාට මහ රෑ වනතුරුත් අර සරුන්ගලය බිමට බහින්නේ නැත. වරෙක දෙවරක ඉටිපන්දම් එල්ලූ බකට් අර නූල දිගේ යැව්වා මට මතකය. මේ ලඟදීද අපේ ගෙවල් ලග LED බල්බ එල්ලූ සරුන්ගලයක් දැක මම එක පිම්මේ දෙල්කද දිව්වෙමි. ඒ හිතෙනි. එහෙත් අද එහෙම කරන්නට කළබලයක් නැතුව තියා පාර පැනගන්නටවත් ඉඩක් නැත.මේ සරුන්ගල් කතාවේ මට ඉඩක් නැතත් එක සරුන්ගලය බාන වෙලාවට නූල් ඔතන්නට මහින්ද අය්යා මට අඩගසන්නේය. ඒ මගේ සකසුරුවම් වැඩ නිසාවෙනි. ඒ හැම පාරකම මගේ 'පුක්මූණ' දැක 'හරි බං ඊලග පාර උඹට දෙන්නං නග්ගන්ඩ..' කීවාට එහෙම දෙයක් උනේ නැති එක හොදය. එහෙම වුනා නන් අර කෙසග මම  අර පත නයා සමග තාම අහස උඩය.

 එහෙත් හැමදෙයකටම අවසානයක් තිබේ. මහින්ද අය්යා දැන් අපි මෙන් හැම මංගල්ලේකම එල්ලී.. 'අපේ' කරගන්නට දුක් විදින්නේ නැතිව අන්තිම දවසේ අර නයාගේ නූල කඩා නිදහස් කලේය. නයා පාවී පාවී ගොස් අතුරුදහන් වුනේය. මහින්ද අය්යා සියල්ල අතහැර කිසි දුකක් නැතිව ඊලග අවුරුද්දේ හුලං එනතුරු සිටියේය. එහෙත් පසුගිය අවුරුද්දක දෙකකට කලින් මට හමුවූ මහින්ද අය්යා ජෝරිස් පරම්පරාවේ ඔලුව හෙලවිල්ල වැඩිකරගෙන තිබ්බේය. ඒ පරම්පරාවේ හැමෝම 'දෙකක් දා ගත් විට' වැඩිපුර ඔලුව හොල්ලන්නේය. මෙවන් දක්ෂයෙකු එසේ හොල්ලන්නට පටන් ගැනීම දුකකි. එහෙත් එය සාපයක් මෙන් ඒ පවුලේ ඒ පරම්පරාවේ පිරිමි දරුවන් අතරේ බෝවුනේ ඇයිදැයි මා නොදනිමි. එහෙත් ඔවුන්ගේ  දහසක් හොද ගතිගුණ අතරේ ''බීවද- නොබීවද ''වෙනස් නොවනා මනුස්ස ගතිගුණ තිබ්බේය.

එහෙත් සරුන්ගල් කලාවේ රජා සිටියේ පොල පිටුපස්සේ පරණ පාරේය. හෙන්රි අය්යා සරුන්ගල් කූඩු කැටයං චිත්‍ර කලාවේ මම දුටු රජ්ජුරුවන් විය. ඔහුගේ අතිශය කදිම නිමාව නැතහොත් සින්හලෙන් මාර නීට් ගතිය මම කවදාවත් කොහේවත් දැක තිබුනේ නැත. ඉන්ග්‍රීසී කොඩිය මොණර සරුන්ගලේ ඇලවූ පසු පිල් රැළ්ල තනිකරම නිල් රතු සුදු පාටෙන් කෙස් කැරැල්ලක් මෙන් සැලෙන්නේය. හෙන්රි අය්යා සරුන්ගල් කාලයට සරුන්ගල්ද වෙසක් පොසොන් කාලයට කූඩුද හදා කීයක් හරි හොයාගත්තේය.

එහෙම පුළුවන් තව කෙනෙක් අපේ ගෙදරත් සිටියේය. ඒ අපේ තාත්තාය. අපේ තාත්තා අපට නැතත් පසු කලෙක මගේ දරුවන්ට නම් අනර්ඝ සරුන්ගල් සදා... අලවා.. ගෙනවිත් දුන්නේය. තාත්තාට ඒ කාලයේ අපව අමතක වෙන්නට ඇත්තේ දේශපාලනයත්, මිතුරු හවුලත්, මෙණ්ඩිස් මහත්තයාත් නිසා වෙන්නට ඇත. තාත්තාගේ අකුරු- වෙසක් කූඩු- සරුන්ගල් හා ලියවිලි තරම් තාත්තාගේ ජීවීතයත් 'නීට්' උනා නම් වැඩි සතුට අපට නොව අපේ දරුවන්ට බව මගේ සිතිවිල්ලක්ව මගේ සිත ඇතුලේම මිය යන්නේය. ඒ ගැන තර්ක කිරීමෙන් පලක් නැත.

අඩුම තරමේ අපේ තාත්තාගේ අර නීට් කමවත් මට ලබුණු එක ගැන මම සතුටු වෙමි.

ජීවීතයේ බොහෝ දේවලට වඩා සතුට වටින්නේය.

13 comments:

  1. බාසී මාමේ ඔන්න මමත් ගොඩ උනා..
    -ජය බෝලී -

    ReplyDelete
  2. අපි ටෙලිෆෝන් කෝල් වලින් අපේ ජීවිතය මිසක් බ්ලොග් ගැන වචනයක්වත් කතා නොකරන සහෝදරයන් නිසා. මට මේක ලියන්නට හිතුනේ පොඩි නිවැරදි කිරීමක් කල යුතු නිසාවෙන්මය. තට්ටු දෙකේ ගෙදර හිටියේ ප්‍රොෆෙසර් චන්ද්‍රා වික්‍රම ගමගේ මිස මද්දුමාරච්චි නොවේ. මම මේ බ්ලොගයේවත් අදහස් දැක්විය යුතු යැයි ගෙදර අය කියා සිටී. ඒ නිසාම මම මේ රසවත් මතක සටහනට එක් වුනෙමි. ඔබ කියවීම තුල මට මගේ අතීතය දෙල්කඳ හා සමීපවේ. මේ සියලු චරිතයන් මට මහා ආලෝකයක් විය. මහින්දට මම දුරකතනයෙන් කතා කෙරුවෙමි. මට ඔහුගේ අංකය කෙසේ හෝ එවන්න. එය අස්තාන ගතවී ඇත. මහින්ද මට වඩා වයසින් බාල මිතුරෙකි.

    ReplyDelete
    Replies
    1. අරුන මාමේ බ්ලොග් ලෝකෙන් තාම ගියේ නැද්ද...?? අනේ ඔයා ඔන්න ඔහොම්මම ඉන්න... වෙන අය කියන එව්ව ගනන් ගන්න එපා...

      - ජෑ මා කාලී -

      Delete
    2. හරියට හරි ....සුදු පුංචි කණ්නාඩි දාන නිවුණු මනුස්සයා ....මට නම එහා මෙහා වුනා ...

      Delete
  3. ඔහොම යං.. ඔහොම යං.!
    අරූ අයියත් කමෙන්ට්ස් වලින් හරි ඉඳියි නෙ :)

    ReplyDelete
  4. mata umbe loku ayya samaga comment pamanak nowa e harahaa waada kara ganimata pawaa puluwan wuwada umbage lipiyata comment ekak damimata nohaka...
    Mokakdo awulak hithe therape...

    ReplyDelete
    Replies
    1. අවුල ලෙහා ගමු ...නැත්නම් අවුල් නේද ....

      Delete
  5. Mamath hemadama delkadin yanakota matak wenawa me basi liyana bloge delkada neda kiyala oya kiyana Mara gaha tibune nugegoda dihata yanakota right side ekeda Dan eka ne neda

    ReplyDelete
    Replies
    1. තිබේ ...තිබේ ...e ගැනත් තව ගස් ගැනත් ඊළඟ post ඒකෙන් පොඩි ...

      Delete