Saturday, March 11, 2017

සපත්තුවෙන් බෝවෙන පපුවෙ අමාරුව.....69


'දුවන්ඩ නං සපත්තු දෙන්ඩ බෑනේ දයා...මේ ළමයි කැමැති නෑනේ..' කීවේ මගේ හදවත පසාරු කරයන ලෙසටම විදිමිනි. අම්මා එහෙත් පින්සෙන්ඩු වූවාය. පරෙස්සම් කර ආපසු දෙන වගත පොරොන්දු වූවාය. එහෙත් අපි දෙන්නා සපත්තු ඉල්ලන්නට ගිය ගමන අන්තිම අසාර්ථක විය.

ඉන් හැරී මග එන ගමනේද අම්මා කිසිත් නොකීවාය. එහෙත් මම ඇගේ වේදනාව හැදින්නෙමි. මා කොතෙකුත් මෙවන් අසරණ අවස්ථාවලට පත්ව ඇත්තෙමි. ඒ හැම අවස්ථාවකම අම්මා කුමක් හෝ කර මා ඒ අවස්ථාවෙන් ගොඩ ගත්තාය. අඩුම තරමේ ගමනක්, පාසල් චාරිකාවක් හෝ කුමක් හෝ තැනක මට යාගන්නට බැරි තැනකදී මා නොයවා සිටීමට, මා නින්දෙන් නැගිටවන්නේ නැතිව මට නිදන්නට හැරියාය. මා අවදි වූ පසු 'දැන් ඉතින් පරක්කුය..' කියා මගේ ගමන වැලකුවාය. මා ඒ මොහොතේ දුක්වෙන මුත් පසුව අම්මාගේ තීරණය නිවැරදි බව තේරුම් ගත්තෙමි. එක දුකකින් පීඩාවට පත්ව ඇති මට තවත් දුකක් ඇතිවන්නට නොදෙන්නට අම්මා තීරනය කරන්නට ඇත.

 එය නිවැරදි තිරණයක් නොවේ යැයි කෙනෙකුට කියන්නටපුලුවන . දරුවෙකු  ඉදිරිගාමී ලෙස උනන්දු නොකරන සම්මතයක් නොවනවා යැයි කියන්නට පුළුවන. එහෙත් ඒ කිසිවෙකු මගේ සපත්තුවට බැස තිබුනේ නම්..? අම්මාගේ අර දිරාපත් පපු කුහරයට බැස ඒ අවස්ථාවේ තම කුසෙන් උපන් දරුවාට පිහිට වන්නට බැරිකම දැක තිබුනේ නම් ඒ කිසිත් නොකියනු ඇත.

 ඒ කෙසේ වෙතදු අම්මා මා මෙන් ජීවීතයේ ''විදවන'' තැන්වලින් පලා නොගියාය. ඇය අදත් ඒ විදවිල්ලේ සතුටෙන් ඉදී. විදවන අනෙක් අය සමග එකට එකතු වී විදවන්නීය. ඒ ඇය මට වඩා දහස් ගුණයක් ශක්තිමත් නිසාය. සමහර තැන්වලදී මා සමග තරහා වී දුකේම ගැලෙන්නේද ඒ ශක්තිය නිසාවෙනි. මට නැත්තේද ඒ අම්මාගේ ශක්තියයි. අදද මා ඉදහිට මා දවන දෑ වලින් පලායන්නෙමි. මට මගේ නිදහස ඕනෑය. ඉතින් ඉතා අමාරුවෙන් වුව පලායමි. මම මගේ නිදහසට අසීමිත ලෙස ආදරය කරන්නෙමි. මගේ පලායමේ ''නිහින කම '' ඇගේ හිතේ කොතනකවත් ගෑවීවත් නැත. එහෙත් ඈ මා මෙන් ජීවීතයේ පලායන්නියක වූවා නම් මා මෙන්ම අන් සියලු දෙනාද අද මෙතැන ඉන්නේ නැත. අද ගතෙන් දුබල වූවාද ඇය තවමත් සිතෙන් සටන් කරන්නීය. අදටත් අපේ වාරුවට වඩා,  ඇගෙන් දරුවෙකුට දෙන්නට වාරුවක් ඇත්නම් නොපැකිලෙන්නේය.

අම්මා සමග සංසන්දනය කලහොත් මා අගුටුමිට්ටෙකි. ආත්මාර්ථයෙකි. එහෙත් කුමක් හෝ නිසා මා මගේ ලෝකය නම් මා විසින්ම සදාගත් අර කලින් දවසකත් කී ඉබිකට්ටට ප්‍රේම කරමි.

අපි සපත්තු සොයන්නට ගියේ බාලදක්ෂ කදවුරකට සහබාගී වන්නට අවශ්‍ය කලමනා අතර උදෑසන ව්‍යායම් කට්ටලයේ සපත්තු සදහන් කොට තිබුණ නිසාය. මට තිබුණු කළු සපත්තු කුට්ටම ඒ සදහා කිසිත් සුදුසු නොවීය.  මේ කළු සපත්තු කුට්ටම දුවන්නට පනින්නට හපනෙකි. තාප්පවලින් පනින්නට හපනෙකි. එහෙත් ලිස්ට් එකේ මේ කළු සපත්තුවට තැනක් නැත.

අම්මා කිවූ පරිදි ඇගේ මිතුරියගෙන් අපට ලැබෙන උදව්වක්ද නැත. මම පසුදා ඉස්කෝලේ ගොස් ඇවිත් අම්මාට මගේ බොරු මල්ලෙන් එකක් අතහැරියෙමි.
'ජයසේකර සර් කිව්වා හැමෝටම කළු සපත්තු විතරක් අරන් එන්න, වැස්ස නිසා දුවන්න වෙන්නේ නෑ කියලා..''
අම්මා මගේ බොරුවෙන් සතුටුවන්නට ඇත. මගේ බොරුවෙන් මමද සතුටු වුනෙමි.

පසු දවසක අප මහ පාන්දරක ඉස්කෝලේ සිට ගම්පහ මීගහතැන්නේ බාලදක්ෂ කදවුර සදහා පිටත් වුනෙමු. ඒ උදෑසන ජයසේකර සර් අවශ්‍ය කළමනා ලැයිස්තුව නැවැත පරීක්ෂාකිරීම සදහා මහ හයියෙන් කියෙවුවේය. ඒ සමග ඒ ලැයිස්තුවේ අදාල දේ නැති අය, අත උස්සන ලෙසද අණ කෙරුණේය. එහෙත් ඉදහිට සුළු දෙයක් වෙනුවෙන් අත ඉස්සුනද 'රනින් ෂූස්' වලට අත උස්සන කෙනෙක් මා දැක්කේ නැත. මම 'ඒක වෙන්නේ පස්සෙනේ..'  කියා අත්දෙකම තදින් පස්සට බැද සිටියෙමි.

අන්තිමේ අපේ ගමන උදෑසන අටට කළින් මීගහතැන්න පන්සල භූමියෙන් අවසන් විය. එහි පසුපස කැලෑ භූමිය අපේ කදවුරු භූමියට අගේට ගැලපුනේය. ලොකු ගස් සහිත පිට්ටනියේ කණ්ඩායම් දෙකකට බෙදා අපව වෙන්කලේ අපටම නිදන්නට, උයන්නට, ඇදුම් වේලාගන්නට, හා වැසිකිලි සාදාගන්නට ඉඩ වෙන්කරමිනි. එහි පළමු කටයුත්තේ අපේ ජේෂ්ඨ බාලදක්ෂයෝ වැසිකිලි වලවල් නොහොත් ''කයිබොව'' කපා ඒ මැදින් ලී දඩු දෙකක් දමා සැදූ අතර, අපට අවශ්‍ය ප්‍රමාණයට ලීදඩු කපා හමුදා ටෙන්ට් රෙදි ආවරණය කොට නවාතැන සදාගැනීමට අපටම සිදුවිය. මේ සියල්ල කෙරුනේ කපාගත් ලීදඩු සහ කොහුලණු අධාරයෙනි. අන්තිමේ විසාල ගල්තලාවක් පාමුළ අපේ කදවුරු භූමිය ඉතා අගනේව දකින්නට ලැබුනේය. අපි ''පළමුවෙනි නුගේගොඩ''   ''පනස්වන කොළඹ''  ලෙස අපේ බාලදක්ෂ ව්‍යපාරයේ අපට හිමි තැන ලියූ ලොකු ලෑලි කැබැල්ල සවිකරන විට ඊට පිටුපසින් අපටම නිදාගන්නට ලී මැස්සක් වැනි ඇදන් සමූහයක්ද, කුස්සියට අවශ්‍ය කළමණා තබන තැනක්ද, ඇදුම් වේලන මකුළුදැලක් වැනි යමක්ද. හවස්වරුව සදහා ගිණිමැලැයක්ද යන කරණා සදහා ලකලැහැස්ති වී සිටියෙමු.

එය කොතරම් ආශ්වාදජනක දර්ශණයක්ද කිවහොත් පන්සලේ හාමුදුරුවනද, ගමේ අයද පැමිණ කදවුරු බූමියෙන් පිටට වී බලාසිටීම අමුතු ගතියක් ගෙන ආයේය. ඊටත් අමතරව ජයසේකර සර් සහ බණ්ඩාර අය්යලා එකතු වී ලොකු කඹයක් ගස් දෙකක් අතර බැන්දේ අපේ ශාරිරික අභ්‍යාස වලට බව දැනීමෙන් මගේ කොන්ද දිගේ හීන් විදුලියක් කෙටීය. මේ තරම් සුන්දර අත්දැකීමක් විදගන්නට මගේ හිතේ තිබුන ආසාවන් හෙට උදෑසණ වන විට පහව යන බව මා දනිමි. එහෙත් එතෙක් මම ඒ සියළුදේ විදගනිමි යැයි සිතුවෙමි. ඒ අනුව කැලේ අතමං වූ විට මග සොයාගැනීමට කෙරෙන පුහුණුවීම්, ගෙනයන සීමීත අහාර ප්‍රවේශමෙන් පරිහරණය කරණ හැටි, කළමනා නැතිවිට අහාර සපයාගන්නා හැටි, උයන බාජන නැතිවූ විට පොල්ගෙඩියයක ''පිරිමි පැත්තේ''  ඇහැක් හාරා  හාල් දමා මැටියෙන් වසා ගිණිමැලයකින් පිසගන්නා හැටි, වතුර සොයාගන්නා හැටි, ගිණි අව්වෙන් බේරෙන්නට ගස්කොලන් නැති තැන අපේ කමිස එකෙන් එක බොත්තම් වලින් අමුණා කූඩාරමක් තනන හැටි. අතපයක් කැඩුණු විට අපේ කරපලදන ත්‍රිකෝණාකාර රෙදිකඩ පාවිච්චිකරනා විදිහ  ආදී සියල්ල ඉගෙනගත්තෙමි.

එය ළමයෙකුට ලැබෙන්නට ඕනෑ සුන්දරම දැනීමක් බව මම අදද සිතමි. අද මට පවා මගේ රැකියාවේ ස්වභාවය නිසා ඉගෙනගන්නට සිදුව වායුසමීකරණය කරන ලද කාමරයක් ඇතුලේ, ප්‍රොජෙක්ටර් ඔස්සේ ඉන්ග්‍රීසියෙන් ඉගෙනගන්නේ මේ එදා ලද අත්දැකීමමය. මම අදද මේ පන්තිකාමර අත්දැකීම විදින විට අර මීගහතැන්නේ සැරිසරමි. ඒ ගහකොළ ඒ කදවුරු බූමිය පමණක්ම නොව අර මහා ගල්කන්ද හඹා එන දහවලේ ගිණිසුලගද රාත්‍රියේ සීත මදපවනද විදිමි. හිටිවනම ඉංග්‍රීසියෙන් විදින ඊතලයකට ගොදුරුවන්නට පෙර සීතකල කාමරයට යලි එමි.

අවසානයේ එදා රෑ මා නිදාගත්තේ නැත. ඒ... අප විසින්ම දරලිපේ උයාගත් බත් සහ පරිප්පු සමග සම්බෝලයක් කා, ගිණි මැලය වටේ වාඩිවී ගීත ගයමින් නාට්‍ය රඟදක්වමින් ලැබූ ආශ්වාදය නිසා නොවේ. විමල් කුමාරද කොස්තා දැක්කානම් ලැජ්ජාවට  හිනායන්නට ඕනා මගේ අභිරූපණ රංගනය සැමගේ සිත් ගත් නිසා නොවේ. පසුදා උදෑසන හතරට අවධි වී ''රනින් කිට් එකට බහින්නට'' ජයසෙකර සර්ගෙන් ලැබුණු අන නිසාය.

පහුවෙනිදා හතරට කලින් කොල්ලෝ අවධි විය. උන් දත් මදින්නට, ඇදුම් ඇදගන්නට, සපත්තු දාන්නට පටන් ගන්නා විට මට මගේ ''පපුවේ කැක්කුම පිළිබද පණිවිඩය''  ජයසේකර සර්ට යවන්නට පුළුවන් විය. ජයසේකර සර් ඇතුළු ජේෂ්ඨයෝ මගේ ලණුඇද වටා රොක්වූයේ මට රගපාන්නට නොව හුස්ම ගන්නටවත් ඉඩක් නොතබාමය. අන්තිමේ සර් රැවුල කරකවා ' මේ ළමයාව මම බලාගන්නං බණ්ඩාර එහෙනන් අනික් කට්ටිය පී.ටී  එක්ක යන්නැයි''  කීය.

මගේ පපුවේ අමාරුව හොද විය.

ජයසේකර සර් මට අමාරුවක් නැති බව දැනගෙන එළිය වැටෙනතුරු සිට ලග ගෙදරක කෙනෙකු එක්කාගෙන ආවා මට මතකය. ඒ ඉස්පිරිතාලෙක නර්ස් කෙනෙකි. ඔහු මා පරීක්ෂාකොට බඩදැවිල්ලත්, පපුවේ අමාරුව ලෙස දැනෙන්නට පුළුවන් බව කියා මා එක්කාගෙන ගම්පහ ඉස්පිරිතාලෙට ගොස් ආපසු එක්කා ආවේය. එහෙත් ශාරීරික ව්‍යායාම සදහා මා සහබාගී නොකරගන්නා ලෙස උපදෙස් දී තිබුණේය.  මම උදෑසණ අවධි වී තේ හැදීමේ වැඩට උදව් දුන්නද අනෙක් කොල්ලන් පැයක්දෙකක් මීගහතැන්න ගම වටා දුවන අභ්‍යාසයෙන් බේරුනෙමි.

ජයසේකර සර්ද, අනෙක් කොල්ලන්ද මා හොදින් බලාගත්තේය. මගේ පපුවේ අමාරුව ගැන කතා කලේ නැත. මට ව්‍යායාම වලට සහබාගී වන්නට නොවීම ගැන සතුටෙන් කතාකලේය. කොල්ලන්ට උදෑසන නැගිට මේ දුවන දිවිල්ල එපා වී තිබුණේය. ඊටත් වඩා මා සමග ගිය තිහ හතළික් පමණ වූ එකෙකුවත් අද වන තුරුත් මගේ පපුවේ අමාරුවට හේතුව දන්නේ නැත.

හෙට මේ කියවන එදා මීගහතැන්නේ ගිය එකෙක් කතා කර ' යකෝ තෝ එදා අපිටත් කියලදුන්නනං අපිත් අර මගුල් දිවිල්ලෙන් බේරෙනවානේ..' කිව්වාට මට පපුවේ අමාරුව හැදුනේ ඇයි කියා කියාදෙන්නට බැරිය.

41 comments:

  1. සුපිරියි ..ජිවිතයේ යම් දවසක අපි ඉගෙන ගත දේවල් ඕනා වෙනවය කියනවනේ..ඒක නිසා ඉගෙන ගන්න කිසිම දෙයක් අපතේ යන්නේ නැත ..

    ReplyDelete
    Replies
    1. බාලදක්ෂයෙකු වීමෙන් ලීවැඩ ගෙවතුවැඩ මැහුම් ගෙතුම් ගැට ගැසීම් සහ වෙනත් සියලුම දේ අදත් මගේ ජීවිතයේ පහසුවට උපකාරි වෙනවා....

      Delete
  2. ඒක සහතික අැත්ත

    ReplyDelete
    Replies
    1. සහතිකවම මම මගේ ජීවීතයේ අද යමක් ආසාවෙන් විදින්නේ නම් ඒ මේ බාලදක්ෂයෙකු වීමෙන් ලද අත්දැකීම්ද එකතුවයි

      Delete
  3. බාලදක්‍ෂයෙකු ලෙස මම වාර්ශික විහාර මහ දේවී උද්‍යානයේ පවත්වන කඳවුරු වලට මෙන්ම අතුරුගිරිය (1979) හැටන් (1981) ගාල්ල (1982) කඳවුරු මෙන්ම 1983 අනුරාධපුරයේ පැවති ලෝක බාලදක්‍ෂ ජම්බෝරියටද සහභාගී වූයෙමි.

    1979 අතුරුගිරිය කඳවුර පවත්වන ලද්දේ ජනාධිපති බාලදක්‍ෂයෙකු වූ මිලින්ද පීරිස් ගේ නායකත්වයෙනි. ඔහු වර්තමානයේ යුද හමුදාවේ ජෙනරාල්වරයෙකි.

    1981 හැටන් කඳවුරට අප බාලදක්‍ෂයන් පස් දෙනෙකු දුම්‍ රියෙන් හැටන් වෙත ගොස් තේ වත්තක කඳවුරු ගැසුවෙමු. තනිව ඉවීම් කරන ලද්දේ අප විසිනි. තනිව තමන් ගේ වැඩ කර ගැනීමට අප පුහුණු වූයෙමු. එසේම අප පා ගමනින් නෝටන් බ්‍රිජ් වෙතද ගියෙමු. එකල අට වසරේ සිටි අප නන්නාඳුන පළාතකට ගොස් කඳවුරු දිවිය ගත කිරීම අද කාලයේ ළමුන්ට කල හැකිද කියා මම සිතමි.

    1982 ගාල්ල කඳවුර පවත්වන ලද්දේ රිච්මන්ඩ් විද්‍යාලයට අයත් වූ රජෙස්කන්ද නම් ස්ථානයේ ය​. අපට උපකර සඳහා රිච්මන්ඩ් විද්‍යාල බාලදක්‍ෂයන් ද ආහ​. මින් එක් බාලදක්‍ෂයෙකු වූ නීලාංග ලියනගේ අද දිනයේ ඇමරිකාවේ ප්‍රකට විශේෂඥවරයෙකි. මෙම කඳවුරෙන් පසුව අප පිලියන්දල මධ්‍ය මහා විදුහලේ තිබූ කඳවුරකටද සහභාගි වී කඳවුරු දෙකකට සහභාගි වීමේ වාර්තාවක් තැබුවෙමු.
    1983 අනුරාධපුරයේ පැවති ලෝක බාලදක්‍ෂ ජම්බෝරියට චීනයෙන් , නේපාලයෙන් , ඉන්දියාවෙන් බාලදක්‍ෂයන් සහභාගි වූහ​.

    ReplyDelete
    Replies
    1. මමත් අනුරාධපුර විහාරමහාදේවී දෙවරක්ද...පාසල් කදවුරු කිහිපයකටද සහබාගීව තියෙනවා. ඒවා අද ළමයින්ට කොයිතරම් හොදද... අද ළමයි තාක්ෂණය එක්ක මුළු ලෝකයම අත ලගට අරන්..ඒත් තනිවෙලා...
      දෙවනුව ඔබේ කමෙන්ටු වලට ස්තූතියි...විහාරමහාදේවී පාක් එක ලගින් අදත් යනකොට මට අර පොල්කොටන් කයිබොවේ ඉදගෙන ඉටිකොළ හිල් අස්සෙන් මහපාර දිහා බලාගෙන කක්ක දාපු එක මතක් වෙලා හිනා යනවා...(ඔහොම වෙලාවක මගේ නෝනා දවසක් අහපි..මොකෝ වික්ටෝරියා එකෙත් මතක තියෙනවද කියලා...)

      Delete
  4. බාලදස්සයො නෙවෙයි බාල යස්සයො... ඉස්කෝලෙ බාලයස්සයන් එක්ක නොගැවසුනාට මම පල්ලෙකැලේ එලිමහන් හිරකඳවුරේ බාලයස්සයො එක්ක ලඟින් හිටිය . උදේට උන් වියායාම කොරනකොට සෝක් සින්දුවක් කියනව. මම ලංඟදි දවසක මතක් කරන්න ට්‍රයි කොලා ... එන්නෙම නෑ.. එලවලු වලනම් කියන්නෙ. උං ඕක කිවුවෙ නෑ ගායනා කොලේ දුහනකොට. එලිවැටේ වචනයක් තියෙනව ප‍තෝලා.. කියල . අන්න පුලුහංනං මතක් කොරල දියං අරුන අය්යෙ....ආ.. එක නෙවේ... දේල්කඳ සැට් එකේ හිටිය අශෝක, අනුර, භාතිය එහෙම බොලා අඳුනනවද.. අනුර ගේ සුරතල් මසුන් කඩයක් තිබ්බ පස්සෙ කාලෙ පොලට ජුන්ඩක් පල්ලෙහා තිබ්බ බිල්ඩින් එකේ...

    ReplyDelete
    Replies
    1. එක්ස්පෝ........මම අශෝක. අනුර ආශ්‍රය කරලා තියෙනවා. අනුර ජස්ටින් මුදලාලිගේ පුතෙක්. අතුලගෙ අයියා. කෙල්ලො දෙතුන් දෙනෙකුත් හිටියා ඒ පවුලේ. මගේ යාලුවෝ. කරු මතකද. මාළු මාර්කට් එකේ තාත්තාට බිසනස් එකක් තිබුනා. පිස්සු පොරවල්.

      Delete
    2. අනුර අතුලගේ මල්ලි. ඒ පවුලේ දරුවෝ ගොඩක් හිටියා.

      Delete
    3. ඇත්තටම මේ සෙට් එක මගෙ මාමගෙ යාලුවො. මාම කිවුවට එච්චර ලොකු වයස් පරතරයක් නෑ. අපි එකට ඉස්කෝලෙත් ගියා. පොරගෙ නම ලකී (ලක්ශ්මන්).අපේ ගේ පිටිපස්සෙ තිබ්බ බැට්මින්ටන් කෝර්ට් එකක්. ටයර් පත්තුකොරං රෑට සෙට් එක බැඩ්මින්ටන් ගහනව. සුන්දර අතීතයක්. අරූ අය්ය කිවුව වගේම උන් ඔක්කොම පිස්සු බුවාල.

      Delete
    4. අපි දවසක හම්බවුනොත් එක්ස්පො බොහෝ දේ කතා කල හැකියි. මම දෙල්කඳට ආදරෙයි, දෙල්ගෙඩිවලට වඩා. ජීවිතයක ආරම්භය සහ ජීවිතය පත්තියං කරගත්ත ගමක්. ඒක දැන් නගරයක්. සොඳුරු මිනිසුන් රාශියක් හිටියා. මේ එකෙක්.
      Upali Kannangara

      මේ සින්දුව මෙහෙමත් අහපන්.

      Delete
    5. හෙහ්...හෙහ්... දෙල් කිව්වත් ඇඟ හිරිවැටෙනවනේ... මේ සින්දුව අපි මෙහෙ ගැහුව. මම තබ්ල & percussion play කරනව යාංතමට.. චමිල මල්ලි මේ කොන ගාටපුවෙලාවක අපි මේක play කරා... මගෙත් ජීවිතේ ගොඩක් දේවල් කියල දුන්න තැන් තමයි දෙල්කඳ, උඩහමුල්ල සහ කිරුලපනේ නුගගහවත්ත සහ ඊට පල්ලෙහා කෑම්ප් එකවත්ත. මටත් සුඳර මිනිස්සු මුනගස්සපු තැන්. බඩට කන්න නැතත් මනුස්සකං බේරිච්ච අවංක සුන්දර මිනිස්සු මුන ගැහුන. පිටස්තර ලෝකෙට පොකට් කාරයො කසිප්පු කාරයො පාදඩයො වෙච්ච උන්ගෙ ඇතුල දැක්ක. ඒ පාදඩයො එක්ක පාං කාලයි අර පොඩි හකුරු පෙත්තයි දෙකට කඩං ප්ලේන්ටියත් බෙදාගන බීල ගෝනිපඩංගුවෙ නිදාගත්ත. කෑම්ප්එක වත්තෙදි ඩොල්කි ගගහ ඉන්නෙද්දි මට ලයනල් එදිරිසිංහ සර් ගෙ , අමිතා වැදිසිංග මිස්ගෙ, වික්ටර් දලුගමගෙ ආශ්‍රය ලැබුන. ඒ හරහා විජේරත්න රනතුංග ගුරුපියාගෙන් තබ්ලා ටිකක් ඉගෙන ගත්ත. ලයනල් එදිරිසිංහ සර්ගෙන් දේවගේ සර් මුනගැහිල සිතාර් ගැන පොඩ්ඩක් ඉගෙන ගත්ත. මරියකඩේ ඉස්කෝලෙං ගන්ජ ගැන ඉගෙනගත්ත. නයි නටවල වැලිකඩින්පටන් අරන් පල්ලෙ කැලෙන් එලියට ආව. දැන් මෙහෙට්ට වෙලා අයිනක් අල්ලං මයිනෙක් වගේ ඉන්නව. බොලාලගෙ රවියගෙ ලියවිලි දැක්කම ලියන්න හිතෙනව මම දැක්ක දේවලුත්. ඒත් බොලාලට වගේ ලිවීමෙ කෞශල්‍යය නෑ බං අරුන අයියෙ. නොදන්න දේ කොරන්න ගොහිං වරිගෙ නහගන්න ඕන්නෑනෙ. අනිකතට නහගන්න ඇති වරිගෙකුත් නැහැ. අපායෙයි දිව්‍යලෝකෙයි දෙකේම කරග්ගහල පැත්තක් අල්ලං පෙත්තෙක් වගේ ඉන්නව දැං.

      Delete
    6. එක්ස්පෝ උඹ මාව නටවනවා. නයි නැටවිල්ල කියන එක හොඳ යෙදුමක්. උඹ තමයි ඒක රවීගේ බ්ලොග් එකේ කමෙන්ට් එකකින් ඉස්සෙල්ලාම ගෙනාවේ. මගේ නයි නැටවිල්ල ඉවරවුනේ නයා පෙට්ටියට දාලා, වෙනම විදිහකට. මම ඒ ගැන පස්සේ කියන්නම්. මට අමුතු මිනිස්සු හම්බවුනා. මට නයි නටවන එවුන් හම්බවුනා ඊට පස්සෙත්. මට උන් ගැන දුකට වඩා එන්නේ කේන්තියක්. ඒ කේන්තිය ආදරයක් කරගෙන නයි නැටවිල්ලෙන් ගලවගත්තා. ශේප් එකේ කතා කරන්න සහ විසඳා දිය යුතු සබ්ජෙක්ට් එකක්. මේවා එක්ස්පෝ මිනිස්සු කතා නොකරන සබ්ජෙක්ට් වෙන තාක් කල්, වඩා දුර දිග යයි. අපි කතා කරමු. මම මේ ගැන ලියනවා හෙමිහිට.

      Delete
    7. අනිවා අපි කතා කරමු.. මේ වගේ හෘදයාංගම විදිහට. මේව මිනිස්සු කතානොකරන නමුත් කතාකලයුතු දේවල් අරුන අයියා.ඔයැයි හිමිහිට ලියං යන්නකො. අපිත් පොල්කට්ටට ඉටිපංදම ගහං පස්සෙන් එන්නං..

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. මම පොඩි ශොට් එකක් ගහං මේං මේ සින්දුව අහනව..

      https://www.youtube.com/watch?v=pT4d13AZ-vw

      Delete
    10. මේකෙ සිතාර් පාට් එකට ඇඟ හිරිවැටෙනව

      Delete
    11. මට නං මතක නෑ Xporto.. ජුන්ඩි කොල්ලනේ මම ඒ කාලේ..දෙල්කදින් ආවේ 89 එතකොට මම 10 වසරෙ

      Delete
    12. බාසි බලං ගියහම අපි දෙන්නම වයසිං ඔහොම මෙහෙම. මම 89 නමය වසරෙ.ඒත් ආස්සරේ බොහොම ඉහලයි

      Delete
    13. අරුන අයිය චූං වෙලාලියාගෙන යන කොට ආරලු බූරලු නෙල්ලි එකතුවෙයි

      Delete
  5. ghin an ghuli ghuli ghin an ghin an go ....?

    ReplyDelete
  6. සතුටක් මැද්දේ දාපු අලිම අලි දුක් කන්දක්නේ!

    මටත් මේවා මෙහෙම ලියාගන්න පුළුවන්කම ලැබුනානම්!!!! මට තියෙන්නේ මීට වඩා 'වෙනස්' පපුවේ අමාර හැදුනු හේතු, නමුත් පපුවේ අමාරු හැදිලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ලියන්ඩ අප්පා...මැලවෙලා යන්ඩ කියලා....

      Delete
    2. මේ තියෙන කොලේ ලියලා, තියෙන දෙකයි පනහත් නැතිවෙන එකක්! මට ඔබට වගේ ලස්සනට ලියන්න බැහැ , හිර වෙනවා

      Delete
  7. කියව්වා ....එල ද බ්‍රා ...මම කිව්වේ ලියවිල්ල

    ReplyDelete
    Replies
    1. සතුටුයි ....බොහොම ස්තූතියි

      Delete
  8. Studying in a mix school gave so many interested and not interested incidents in my life.but everything is very enjoyable when reminding with friends .
    Though want to write .......bit......

    ReplyDelete
    Replies
    1. hope you will start writing soon...and let us know as well...

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. දුක කියන්නේ ලෝකේට අමුතු දෙයක් නෙමේ. සැප කියන්නෙත් එහෙම දෙයක්. අපේ ගෙදර කෙනා හැම තිස්සෙම කියනවා ඔය දෙන්නා දරුවන්ට ලබා දෙන උපරිම සතුට පිලිබඳව. ඇය ඒ ගැන මහා ඉහලින් වර්ණනා කරනවා. එහෙම තමයි වෙන්න ඕන. දරුවන්ට අමුතුවෙන් දුක සහ සැප පිලිබඳව ටියුශන් අවශ්‍ය නැහැ. ඔවුන් සමාජයෙන් එය අහුලාගන්නවා. මම අපේ දුවගෙන් එය වටහාගෙන තියෙනවා. අපේ පවුලේ අයගේ දරුවන්, අපි නොදැකපු බොහෝ දේ අපිට වඩා අත් විඳිනවා. ලොකු අයියා සහ ඔහුගේ බිරිඳ ලෙස ඇයත්, මේ සියලු දේ ආදරයෙන් රස විඳිනවා. මා ලබා නොගත් සහ නොදැනුවත්ව මා ඉවත දැමු අධ්‍යාපනය දරුවන්ට ලබාදීම පිලිබඳව මම අපේ පවුලේ විතරක් නෙමේ සියලුම සහෘදයන් පිලිබඳව මහා ගෞරවයක් ලෙස මෙලෙස ලියා තබනවා. හොඳම දේ දරුවන්ට!! අපේ දෙමව්පියන් එදා හරි අසරණයි. කරන්න දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අපේ දෙමාපියන් එදා අසරණයි...අම්මා අන්ත අසරණයි....ඒක පාඩමක් විදියටයි ගන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.....

      Delete
  11. Man Podi kale baladakshayek vdhata asa kale gewal wala weda karala dila salli tikak hoyaganna API a salli walin bagayakma kewa.a athithaya Nam kawasawath amataka karanna be

    "ammala duk ganne puthun hadanna puthun rajun karanna"

    ReplyDelete
    Replies
    1. ''වැඩ සතියේ'' අපි සුද්දො වගේ වියදං කලේ...සමහර ගෙවල්වලට ගියාම කන්න බොන්නත් දීලා සල්ලිත් දීලා වැඩ කරගන්නෙත් නෑ...නුගේගොඩ ෆාතුමා එකේ අපි ඒ දවස්වල ''සල්ලි දීලා කන්නේ...'' දුවන්ඩ හදිසියකුත් නෑනේ..අතේ සල්ලි තියනවනේ...

      Delete
  12. පපුවෙ අමාරු වගේම බාලදක්ස ජීවිතෙත් විඳලා තියනවා.. අමාරුව කොච්චර දරුණුද කියනවා නම් මේ ඊයෙ පෙරේදා ගියා ආරුගම්බේ බීච් එකට කෑම්පිං කරන්න.වරක් බාලදක්ශයා සැමදා බාලදක්ශයෙකි.
    ජයවේවා..!!

    ReplyDelete
  13. පපුවේ අමාරුව හදාගෙන හරි එතනින් ගොඩ ගිය එක ගැන සතුටුයි...

    මගේ බාලයක්ෂ ජීවිතේ අත්හරින්න උනේ මට කටපාඩම් කරන්න බැරි නිසා...
    අර මොනවද මන්ද එව්වා වගයක් තියෙන්නේ ගිරව් වගේ කියෝගෙන කියෝගෙන යන්න ඕනේ පොරොන්දු වර්ග, අන්න ඒවා...
    උපරිම මාස දෙක තුනක් බාලයස්සයෙක් වෙලා ඉන්න ඇති. හැබැයි ඒ කාලේ ඒක ගොඩක් ආසාවෙන් කලා. කෑම්පින්, වැඩ සතිය(?), ඉස්කෝලේ දවස් තුනක් නතරවෙලා උයා පිහාගෙන කාල කරපු මොකක්ද මන්ද වැඩමුළුව...
    මම ඒ වෙද්දී හතේ නැත්තන් අට වසරේ...

    හරිහැටි බාලයස්සයෙක් නොවුනත් මම පොඩි කාලේ ඉඳලම ගෙදරින් ගත්තු අත්දැකීම් එක්ක අදටත් ඕනේ ගේමක් ගහගන්න පුළුවන්...
    9, 10 වසර වසර වලදී ගේ ඉස්සරහ අඹ ගැහෙ හදපු අට්ටාලේ ඉඳගෙන තමයි මම දවල් බත් එක කන්නෙත්...
    පට්ට ගේමක් දෙනවා බත් පිඟාන අරගෙන ගහට නගින්න...

    ReplyDelete
  14. ලියවිල්ල හරිම ලස්සනයි. හිතට ගොඩක් දැනුන ඔය කියන විදියේ පපුවෙඅමාරු මටත් හැදිලා තියෙන නිසා.

    ජය වේවා...

    ReplyDelete