Tuesday, February 14, 2017

මම බාල යක්ෂයෙක් මි...63


මා බාලදක්ෂයෙක්මි.

 බාලදක්ෂයෙකු වීමට මගේ හිතේ කොනකවත් ආසාවක් තිබ්බේ නැත.. එහෙත් හවස් වරුවේ ඉස්කෝලේ නැවැතී කොල්ලන් සමග විනෝදයෙන් ගත කිරීම මගේ හිතට අල්ලා තිබිනි. එහෙත් හේතුවක් නැතිව නතර වීම  ජයසින්හයේ මෙන්, මෙහි ලෙහෙසි කාරනයක් නොවේ.

 ජයසින්හයේ නම් ගේට්ටු තිබුනේ නැත. 'කකුල් හතරේත් හරක් එන නිසා'  වහන බව කියමින් ප්‍රින්සිපල් සර් උනබම්බු ගේට්ටු දැම්මේය. පරක්කු වී ආවාට ගුටි මුරයක් වැදුනද ඉස්කෝලෙන් යන වෙලාවක් තීරනය කිරීම අප සතුව තිබුනේය. එහෙත් කලුවර වැටෙන විට කිසිවෙකු රැදුනේ නැත. එදා බැනුම් ඇසීම- ගුටිකෑම මෙන්ම බැනීමද-ගුටිදීමද අප දෙගොල්ලන්ටම ජීරණය වී තිබුනේය. අද මෙන් ඒ බැනුම් ගුටි අංගොඩ යවන තරම් ලොකු දෙයක් නොවී අපව යහමගටම යැව්වේය. අද නම් එහි අනෙක් පැත්තය.

අනෙක මට පොත් බෑගයද කරේ පටවාගෙන මහ දවාලේ බස්වල හිරවී ගෙදර යන එකද එපා වී තිබුනේය. ජයසිනහයේ නම් මගේ පොත් දවස් දෙක තුනක් මේසේ යට ලාච්චුව වැනි කොටසේ දමා එන්නේය. ඒ ගස් නැග හදිසියේවත් දුවන්නට උනොත් බෑග් ගන්නට වෙලාවක් නැති නිසාය. අනෙක අර පංති මේ පන්ති, අර ප්‍රැක්ටිස් මේ ප්‍රැක්ටිස් කියා නතරවන කොල්ලන් ගෙදරින් ඔතාගෙන එන බත්මුල් වල සුවදය. උන් සියල්ලෝ අප 'රෝමනු ජේසු' කියා ගාථාව කියද්දී අර බත්මුල් මේසේ උඩ තබා ලකලෑස්ති වෙති. මේ බත් මුල් මගේ සිතේ කොනක තිබ්බ හීනයකි. ජීවිතේ කොයිතරම් දුර ගමන් කරන්නේද..එදා මට තිබුනේ බත්මුල් හීනයකි, ක්‍රීම්සෝඩා හීනයකි. කෙසෙල් කොලේක සුවද හමමින් අත හතරවටේ ඉදුල් ගාගෙන අලි බත්මුලක් කා කැන්ටිමෙන් ක්‍රීම්සෝඩා එකක් බී සෙනග මැද්දේ මහ හය්යෙන් 'ගුඩුස්' එකක් යවන්නට තිබූ ආසාව අද වෙනම ලෝකයක හැදි ගෑරුප්පු සමග නතර වී ඇත්තේය.  මා ආසා සුන්දර දේ  අද නම් නැත්තේය. මතක පොත්වල පමණක් ඔහේ පාවී පාවී ඇත්තේය.

තවත් වැදගත්ම දෙයක් වුනේ එකල ගෙදර වටපිටාවෙන් ඉවත්වෙන්නට තිබූ කැමැත්තයි. එය ආත්මාර්ථකාමී හැගීමක් බව මට අද සිතෙයි. එහෙත් එදා නොයේකුත් හේතු නිසා මට වැඩිකලක් ගෙදරින් පිටව සිටීමේ කැමැත්තක් ඇතිවී තිබුනේය. මේ සියල්ලම අතරේ ඉස්කෝලේ නැවතීමේ මුල්ම උත්සාහය ලෙස මම කැඩෙට් කණ්ඩායමට බැදීමට තීරනය කලෙමි. ඒ තීරනය ඉතා ලෙහෙසි එකක් විය. අම්මා කැමැත්තෙන් පෝරමය පුරවා දුන්නාය.

එහෙත් මා ඉගෙනගත්තේ නැතිනම් ආමි එකටවත් යතැයි වැනි  බලාපොරොත්තුවක් අම්මාගේ තිබුනේම නැත. එක දවසක වීරරත්න ඇන්ටී 'දයා මූ ඉගෙනගන්න පාටක් නැං නෑ ..ඔය ආමි එකටවත් දාපං ..' කියද්දී අම්මා මා නොසිතූ ලෙස පරල වූවාය. මා සිතුවේ අම්මා වීරරත්න ඇන්ටීගේ අනෙක් කට කැඩිච්චි කතා මෙන් මේකත් හිනාවෙන් අතහරී කියා වුව  ' ඔයාගේ ලමයි ඉගෙනගන්ඩයි ලොකු රස්සාවල් කරන්ඩයි..අපේ කොල්ලෝ ආමි එකට යන්ඩයි තිබ්බාම හරිද..' කියා ඇගට කඩා පැන්නාය. වීරරත්න ඇන්ටී අපේ අම්මාගේ ගජ යාලුවාය. ඒ වාගේම අම්මා ඇයගේ කතා වලට සද්ද නොකර හූ මිටි තිබීම සාමාන්‍ය දෙයක් විය.

එහෙත් අපේ අම්මා අපේය. අපි අම්මාගේය.

එහෙයින් වීරරත්න ඇන්ටී  අම්මාට පෙරලා කිසිත් නොකීය. ඇයගේ දරුවන් එකල ඇයව අතහැරියාක් මෙන් නිසා ඇයට දුකට සැපට සිටියේ අප විතරක් වෙන්නට ඇත. මුදල් තිබුනාට තනිකම දැනුනවිට මෙතෙක් කල් ලග හිටි අය නැතිව ගිය විට දැනෙන හැගීම සල්ලි  වලින් ගන්නට බැරිය.

පළමුදවසේ පාන්දර පහට ඉස්කෝලේ පිට්ටනියට එන  ලෙස දුන් හැදින්වීම සමග මම ඇතුළු අලුතෙන් ආ කොල්ලන් තිහක් පමණ ඝන අදුරේ මහ පාන්දර සීතලේ පෝලිමේ සිටියෙමු. මුලින්ම කලේ අපට කලු සපත්තු ගලවන්නට කීමය. ඉන්පස්සේ 'දුවන සපත්තු' දාගන්නටය කීවෙන් මම වටපිටාව බැලීම. බාගයක් කොල්ලන්ගේ කකුල් හෙලුවෙනි. අපට එහෙම සපත්තු ගෙනෙන්නටැයි කලින් කියා තිබුනේ නැත. සපත්තු ප්‍රශ්නේ තිබුනේ අපටය. මෙතෙක් කැඩෙට් පුහුණු වූ අය්යලා ජේෂ්ඨයෝ නිසා අපට ප්‍රශ්න කරන්නටද බැරිය. ඒ අතරේ සියල්ලන්ටම රවුමකට හැදී ව්‍යායාම දුන්නේ ලොකු පන්තියක අය්යා කෙනෙකි.  ඊලගට කමිස ගලවා මේස් බැනියම පිටින් පිට්ටනිය වටේ දුවන්නැයි නියෝගයකි. ලොකු අය්යා කෙනෙකු පැමිණ සපත්තු නොදා දුවන්ඩ බැරි අය පැත්තකට වෙන්ඩ කීය. මම එහෙත් ධෛර්ය ගතිමි.  එක වටයක් නොව වට පහක් දිව්වෙමි. කිසිම මහන්සියක් නැත. එහෙත් පලමු වටයෙන් දෙවැනි වටයෙන් ආදී වශයෙන් එක එක කොල්ලන් හැලී යන්නේය..අන්තිමේ ඉතුරු වුනේ විස්සක් විතරය. එහෙත් කැඩෙට් බාර සර්ගේ මූනේ කිසි එළියක් නැත. සර් අපව ගනන් කලේය. ' දහනමය.. විස්ස.. විසි එක...'  කී සර්..' බණ්ඩාර තව පහක්වත්..' කීවෙන් මම පුදුම උනෙමි. මාත් එක්ක වට පහ දුවාගන්නට බැරි එවුන් පස්දෙනෙක් ආයේ ගන්නේ මොකටද...මම කල්පනාවේම ඉන්නා අතරේ ආයෙත් අර ගනන් කල විසි එක්දෙනාට වට දෙකක් දුවන ලෙස අන ලැබිණ. අප ආයේ හැල්මේ දිව්වෙමු. එවර නම් ඉතා ඉකමනින් පහ හයක් හැළුනේය. සර්ගේ මූන එලිය වැටුනේය. අන්තිමේ හය හයාමාර වන විට එලිය වැටී අප මූන සෝදාගෙන පන්තිවලට ගියෙමු. ඒ යනවිට අපේ කණ්ඩායම දහයකට හෝ දොලහකට අඩු වී තිබිණ. අප ' යන්නං සර් ..' කියන විට කැඩෙට් සර් බණ්ඩාර අය්යාට ' හෙට තුන්හතර දෙනෙක් අඩුවෙයි එතකොට අපේ ගාන හරි බණ්ඩාර... ' කීවද මට තේරුනේ නැත.

එහෙත් එහි තේරුම පසුදා මට පසක් විය. අම්මා මා නැගිට්ටුවාගන්නට දැරූ සෑම උත්සාහයක්ම වතුරේ ගියාය. මගේ ඇග රිදෙන්නේ කවුරුන් හෝ පොල්ලකින් ගැහුවා හා සමානවමය. හිටගන්නට තියා කෙලින් වන්නටවත් බැරි තරමේ හන්දියක් හන්දියක් ඇටයක් ඇටයක් ගානේ රිදුම් දෙන්නේය. අඩුම තරමේ වැසිකිළියට ගොස් ඉදගන්නටවත් බැරි කැක්කුමකි. මෙවර් නම් මම අම්මාට ඇත්තම කීමී. අම්මා මා සැනසුවාය.
'කැඩෙටිං හරියන්නේ නෑ ඔයාට ..ඔන්න ඔහේ ගෙදර ඉන්නැයි'  කීය.

සර්ගේ ගාන හරිගියේය. ඒ අතරේ මගේ ගජයෙකුත් උන්නේය.  ගජයා පහුදාක හමුවූ විට මම ඇත්තම කීමී. 'අම්මා බයයි බං මම ආමි එකට යයි කියල ..' ගජයා හිනා වී ' එහෙනන් වරෙන් ස්කවුටිං කරන්ඩ..' කීය.

 මා බාලදක්ෂයෙකු වූයේ එහෙමය.

මගේ මේ යාලුවා අද හමුදාවේ උසස් නිලයක් දරමින් පෙරදා මෙන්ම අදත් සැහැල්ලුවෙන් ජීවිතය ගතකරයි. උගේ වාහනයේ දොර අරින තරුණ හමුද සෙබලා දිහා බලා මම සැනසෙමි.

බාලදක්ෂයෙකු වී  ජීවිතයට ඕනෑම කරනා දක්ෂකම් උගත්තෙමි. ඕනෑ නොකරන පරකම් ජඩකම් හා කපටිකම් ඒ ඇසුරෙන් ඉගෙන ගෙන ඇත්තෙමි. සමහරුන් ඒ දේවල් 'පාවිච්චි'  කරද්දී උපේක්ෂාවෙන් බලන්නට හැකි ඒ නිසාය.




21 comments:

  1. //අම්මා බයයි බං මම ආමි එකට යයි කියල//

    අනේ යකෝ

    ReplyDelete
  2. ඇත්ත කියන්ඩ දස්සයා නොව

    ReplyDelete
  3. කාල බත්මුල කෙහෙල් කොලයෙ රැඳි සුවඳ මතකයෙ තව රැඳෙයි
    බීල ඉන්පසු කැන්ටිමෙන් ගෙන ක්‍රීම් සෝඩ රහ තව දැනෙයි
    ආල දැණුනද ගෙයින් පිටතට යන්න හැමදා මට හිතෙයි
    බාල දක්ෂ හැම අදත් දුටුවිට අතීතය මතකෙට නැගෙයි......

    ජයවේවා!!!

    ReplyDelete
  4. ////තවත් වැදගත්ම දෙයක් වුනේ එකල ගෙදර වටපිටාවෙන් ඉවත්වෙන්නට තිබූ කැමැත්තයි. එය ආත්මාර්ථකාමී හැගීමක් බව මට අද සිතෙයි//////

    මගේ පාසල් කාලයම ගෙදරින් පිට. ඊට පස්සේ මට ගෙදරින් පිටව ඉන්න ඕන කමක් ඇතිවුනා. නොයෙකුත් හේතු තිබුනා. ඒ සියල්ලම මගේ වාසියට හරවගත්ත ඒවා බව පස්සෙ හිතුනා.

    ලං වෙන්න වෙන්න, ඈත් වෙන්නට සිතීමත්, ඈත් වෙන්න වෙන්න, ලංවෙන්න සිතීමත් මිනිස් චර්යාවක්ද මන්දා....

    ReplyDelete
    Replies
    1. \\\ලං වෙන්න වෙන්න, ඈත් වෙන්නට සිතීමත්, ඈත් වෙන්න වෙන්න, ලංවෙන්න සිතීමත් මිනිස් චර්යාවක්ද මන්දා....///
      ++++++++++++++

      Delete
    2. ලංවෙනවා..... ඈත්වෙනවා එපාවෙනවා ඕනවෙනවා එපාවුනත් ඔනේ වගේ ඉන්නවා ඕනෙ වුනත් එපා වෙලා වගේ ඉන්නවා...මේ ඔක්කොම එක්ක ජිවිතේ බැදිලා ඉන්නේ නේද කියල හිතෙනකොට ලියන්ඩම දේවල් ආවත් ඒවා ලියන්ඩ වෙන්නේ නෑ...අපරාදේ කියල හිතුනත් ඕනෙම නෑ කියලත් හිතෙනවා...
      (ආයෙත් අර චක්‍රෙම තමයි..)

      Delete
    3. ලියපන් ලොකු අයියේ...ඒ අත්දැකීම් බෙදලා දාපන්. ඒකෙන් වැඩක් මිසක් අවැඩක් වෙන්නේ නැහැ.

      Delete
  5. මල්ලි...හරි ආගන්තුක ඇමතුමක් නේද.....

    මේ ලොක්කා අපේ අම්මගේ ජීවිතේ සොමිබර පැත්ත පොඩ්ඩක් ලියනවකෝ. එයා මහා රසකාමිනියක්..ලොකු අම්මා ඊට හපන්. අම්මා පෙන්නන් නැහැ.ඇතුලෙන් රස විඳිනවා..ඒකනේ තාත්තා එක්ක තාම ඉන්නේ. ලියපන් ලොක්කා..මම මේ දවස්වල පොඩි ෆැන්ටසි එකක ඉන්නේ :D

    ReplyDelete
    Replies
    1. යකෝ ෆැන්ටසි වල ඉන්නේ මං විතරයි කියල හිතන් හිටියේ. ඔය ලොක්කොත් ඉන්නේ

      Delete
  6. /////මල්ලි...හරි ආගන්තුක ඇමතුමක් නේද...////////
    මෙහෙම කිව්වේ මේකයි. අපේ ගෙදර ලමයි හත්දෙනා අතරේ අයියා, මල්ලි කියලා ආම්න්ත්‍රනය වුනේ නැහැ. අපි කතාකරේ අපි ගෙදරට දාගත්ත නම් වලින්. හැබැයි ඒ ඔක්කොම මට කතා කරේ ලොකු අයියා කියලා. බලපල්ලා ලොකු අයියෙක් වීමේ අභිමානය.

    ReplyDelete
  7. හමුදාවට යනවට අම්මලා කැමතිම නෑ.ගුවන් හමුදාවට බොහොම පහසුවෙන් යන්න ලැබුනු අවස්ථාවක් අන්තිම මොහොතේ අතෑරලා දැම්මා අම්මා එක දිගටම අඬන නිසා.අදටත් ජෙට් එකක් යන සද්දෙ ඇහෙනකොට ඒ ආසාව දළුදානවා.හෙහ් හෙහ් මක්කා කියල කොරන්නෙයි ඉතින්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බො මාත් ගියා නොව, එක්කං ගිය එකා එයාෆෝස් ඉදල මතට ඇබ්බැහිවෙලා අස්කරපු එකෙක් නොවැ. ඉතින් මාවත් වැලිසරදි පොඩි නක්කලයක් එක්ක ගන්ඩ බෑ කිව්වනේ...

      Delete
  8. මමත් අවුරුදු දෙකක් වගේ පොඩි කාලයක් බාලයස්සයෙක් වෙලා හිටියා...
    මම ඒ වැඩේ අත ඇරියේ මට ඒවායේ තිබ්බ අනම් මනං කට පාඩම් හිටින්නේ නැති නිසා...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතේ මං ආසාවෙන්ම කලානේ...පෝතක කාලේ අත පිරෙන්න බැජ් ගහගෙන හිටියා..අම්මෝ ඕකෙන් තමා ගොඩක් දේවල් ඉගෙනගත්තේ...ලියන්ඩම වෙනවා මේ ඔක්කොම

      Delete
  9. බාලදක්‍ෂයා

    මම මුලින්ම පෝතක බාලදක්‍ෂයෙකු වූයේ 1974 වසරේදීය​. එවකට මා සිටියේ දෙකේ පන්තියේය​. බාලදක්‍ෂ අචාර්‍යවරු අප ආකේලා ලෙස හැඳින්වූයෙමු. අපට බාලදක්‍ෂ විෂය ඉගැන්වීමට ගුණරත්න ආකේලා , ගුණපාල ආකේලා සහ විජේසිංහ ආකේලා වූහ​. මින් විජේසිංහ ආකේලා පසුව ඇමරිකාවේ පදිංචියට ගියාය​. මේ ආකේලාලාට අමතරව සෙනෙවිරත්න සර් ද වූයේය​. එසේම ප්‍රකට බාලදක්‍ෂ ආචාර්‍යවරයෙකු වූ මැල්කම් සර් ද වරක් ආවා මතකය​.

    පෝතක බාලදක්‍ෂයන් ලෙස අප මීරිගම බාලදක්‍ෂ පුහුණු කඳවුරට ගියෙමු. එසේම සර්වෝදයටද ගියා මතකය​. බාලදක්‍ෂ වැඩ සතියට අප කාණ්ඩ වශයෙන් නිවෙස් වලට ගොස් වැඩ කර මුදල් උපයා දුන්නෙමු.

    ඉහල පන්ති වලට ගිය විට මම බාලදක්‍ෂයෙකු වූයෙමි. බාලදක්‍ෂයෙකු ලෙස මම වාර්ශික විහාර මහ දේවී උද්‍යානයේ පවත්වන කඳවුරු වලට මෙන්ම අතුරුගිරිය (1979) හැටන් (1981) ගාල්ල (1982) කඳවුරු මෙන්ම 1983 අනුරාධපුරයේ පැවති ලෝක බාලදක්‍ෂ ජම්බෝරියටද සහභාගී වූයෙමි.

    1979 අතුරුගිරිය කඳවුර පවත්වන ලද්දේ ජනාධිපති බාලදක්‍ෂයෙකු වූ මිලින්ද පීරිස් ගේ නායකත්වයෙනි. ඔහු වර්තමානයේ යුද හමුදාවේ ජෙනරාල්වරයෙකි.

    1981 හැටන් කඳවුරට අප බාලදක්‍ෂයන් පස් දෙනෙකු දුම්‍ රියෙන් හැටන් වෙත ගොස් තේ වත්තක කඳවුරු ගැසුවෙමු. තනිව ඉවීම් කරන ලද්දේ අප විසිනි. තනිව තමන් ගේ වැඩ කර ගැනීමට අප පුහුණු වූයෙමු. එසේම අප පා ගමනින් නෝටන් බ්‍රිජ් වෙතද ගියෙමු. එකල අට වසරේ සිටි අප නන්නාඳුන පළාතකට ගොස් කඳවුරු දිවිය ගත කිරීම අද කාලයේ ළමුන්ට කල හැකිද කියා මම සිතමි.

    1982 ගාල්ල කඳවුර පවත්වන ලද්දේ රිච්මන්ඩ් විද්‍යාලයට අයත් වූ රජෙස්කන්ද නම් ස්ථානයේ ය​. අපට උපකර සඳහා රිච්මන්ඩ් විද්‍යාල බාලදක්‍ෂයන් ද ආහ​. මින් එක් බාලදක්‍ෂයෙකු වූ නීලාංග ලියනගේ අද දිනයේ ඇමරිකාවේ ප්‍රකට විශේෂඥවරයෙකි. මෙම කඳවුරෙන් පසුව අප පිලියන්දල මධ්‍ය මහා විදුහලේ තිබූ කඳවුරකටද සහභාගි වී කඳවුරු දෙකකට සහභාගි වීමේ වාර්තාවක් තැබුවෙමු.


    1983 අනුරාධපුරයේ පැවති ලෝක බාලදක්‍ෂ ජම්බෝරියට චීනයෙන් , නේපාලයෙන් , ඉන්දියාවෙන් බාලදක්‍ෂයන් සහභාගි වූහ​. මෙම ජම්බෝරියේදී මට ආනන්ද විද්‍යාලයේ බාලදක්‍ෂයෙකු වූ කුසල් මෙන්ඩිස් හමු විය​. කුසල් වර්තමානයේ සම්පත් බැංකුවේ පරිගණක නිලධාරියෙකි. ඒ කාලයේ දී අප කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවෙන් පැමිණි බාලදක්‍ෂයෙකු ලෙස හඳුන්වා දුන්නෙමු. කුසල් ගේ කාල වර්ණ බවත් බොකුටු කොණ්ඩයත් නිසා ඔහු දකුණු අප්‍රිකාවෙන් කියා බොහෝ දෙනෙකු සිතූහ​. පසුව කුසල් සිංහලෙන් කතා කොට තම අනන්‍යතාව ඔප්පු කරන ලදි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කිව්ව හැමදේම වගේ මගේ ස්කවුට් ජීවිතෙත් තියෙනවා...දක්ෂයෙක්...හෙට අපට උගන්නපු ජනාධිපති බාලදක්ෂයෙක් ලොකු තැනකට පත්වීමේ උත්සවයක් තියෙනවා...මතක එක්ක ඔක්කොම ලියවෙයි.
      ඔබතුමාගේ කමෙන්ටු ඒවා ලියන්ඩ දිරියක්...

      Delete
  10. Basi, whats your email addy?

    ReplyDelete