Friday, January 20, 2017

මගේ ලියන්නා සහ මට හිතෙන හැටි

මට යමක් ලියන්නට පුලුවන් වන්නේ කම්මැලි, පාළු, ශෝකී හැගීමක් ආ විටය. සතුටු හැගීම් ආ විට මගේ ඔලුවේ ඉන්නා ලියන්නා පලා යයි. දුක වේදනාව දැනුනු විට මගේ හිතේ ඉන්නා ලියන්නා මොලයට පලා ගොස් 'දැන් ලියනු..දැන් ලියනු..' කියයි. ආදරය සතුටුදායක එකක් වුව ඒ  හැගීමද මා දමන්නේ මේ ශෝක  ලියන්නාටය. ඒ නිසා මා නිතර අහන, කියවන , දකින මේ අපූර්ව ගීත, ඉල්ලීමක් කල සැනින් ලියන අය, කවි ලියන අය හිතූ හිතූ විට ලියන ලියමන් මගේ විශ්මයේ කොටසකි. ඔවුන්ට ඇත්තේ හැකියාවකි. මට එහෙම එකක් තියනවා කියා මා හිතන්නේ නැත.

මා කළින් වතාවක කිව්වා සේ  මගේ 'හැටි' එහෙම නිසා අවුරුදු දෙකක් පමණ කිසිත් නොකර එක වැඩක නිරතව උන්නෙමි. ඒ නිසා මට බොහෝ දේ ගිලිහී ගියේය. නැවැත ලියන්නට  ගත් උත්සාහය  එළිපෙහෙළි කර දුන්නේ මගේ මිතුරෙකි. ඒ නිසා මම නැවැත ලියන්නාට ආරාධනය කලෙමි.

එහෙත් මගේ පළමු ප්‍රශ්නය මගෙන් නොඅසා අම්මාගෙන් අසා තිබුනේ ලොකු පුතාය. ඒ අනුව ' තාත්තා දිගටම ලියයිද..? නැත්නම් බැරි තැනක් ආවොත් නොලියා අතහරීද..!..' යනු ඔහුගේ ප්‍රශ්නය මා සිනාවෙන් බාරගතිමි. මට ලියන්නට හැකිය. මා මෙතෙක් ලියාගෙන ආ ස්වරය වෙනස් වූවත් මා දිගටම ලියමි. මගේ ජීවිතයේ සුන්දර 'පර වැඩ' හැරෙන්නට 'පාහර වැඩ' නැත්තේය කියා හිතන නිසා මට හංගාගෙන ලියන්නට දෙයක් නැත. මා සැමවිටම අනෙක් අයට කැපය කී දේ කලෙමි. එහෙම බැරි වූ විට වාද නොකර ගොස් අතුරුදන් වුනෙමි. (මේ අතුරුදන් වීමෙන් මට නැතිවූ බොහෝ දේ ගැන මම නොතැවෙමි. එහෙත් ඒ නිසා නැතිවූ මගේ ආදරණියයන් ගැන නම් තැවෙමි. )
දෙවැනි ප්‍රශ්නය මගේ ගජයෙකුගේ බිරිදකගෙනි. ඇගේ සරල නිදහස් කමට මගේ මිතුරාගේ 'සීතල' කමට වඩා මම ආසා බව මම කියා ඇත්තෙමි. ඈ මගේ බිරිද ඉදිරිපිටම ' මේ ලියන්නේ ඇත්තමද..?' කියා ඇසුවේ එහෙමත් නොවෙන්නට ඇති කියන ඇස් දෙකකිනි. එහෙත් මම ඇයට, මා මෙතෙක් ලීවේ ඇත්තම බවත්, එහෙත් ඒ හැමදෙයක්ම මා අත්විදි ආකාරයෙන් ලියා ඇති නිසා වෙනත් කෙනෙකුට එය වෙනස්ම ලෙස පෙනෙන්නට පුලුවන් බවත් කීවෙමි. . (මා සුජීව ප්‍රසන්න ආරච්චි තරම් දක්ෂයෙකු නොවන වග කී විට ඈ සිනාසුනාය.) කෙසේ වෙතත් ඇය මට හිතෙන හැටි ආසාවෙන් කියවන නිසා දිගටම ලියනවා කීමී. එවිට මා කොතැනක හෝ හිතළු ලියා ඇත්නම් ඇයට ප්‍රශ්න කල හැකි බවත් කීමී.

තෙවැන්න මගේ තවත් මගේ මිතුරියකගෙනි. ඇයට අනුව ''ශේක්ස්පියර්ටත් කියාගන්නට බැරි ආදර කතා, අර කතා මේ කතා තිබුණාලු, ඒ නිසා දන්නෝ දනිති..අපි නොදනිති.." කියා ඇය මතයක් ඉදිරිපත් කලාය. මම ඇයට කිසිත් නොකියමි. මන්ද මට කියාගන්නට බැරි කතා නැත. මගේ කතා සියල්ලම මම දනිමි. හොදින් දනිමි. අවාසනාවකට මගේ ලගම අය දන්නේ හරි අඩුවෙනි. ඒ මම අඩුවෙන් කතා කරන නිසාවෙනි. ඒ නිසා ඇගේ අභියෝගය බාරගනිමි. මගේ ලියන්නා හුස්ම ගන්නට අමතක කරන තුරු ලියමි. ..මගේ ජීවිතයෙ උන් අය, නැති අය, හිටි අය, දන්නා අය, දන්නා බව හිතා හිටි මුත් මෙලෝ දෙයක් නොදන්නා අය ගැන ලියමි.

එහෙත් මා අතින් කිසිදා නොලියවෙන මගේ දෙවැනි අක්කා ගැන නොඅසා සිටින්නටයැයි මම අයදිමි. ඇය කුඩා දරුවෙකි. මා ගෙදර යන හැමදාම මගේ අත අල්ලාගෙන මගේ ඔලුවට ඔලුව තබාගෙන 'මගේ මල්ලී..' කියන්නීය. මහගෙදර නමිනං ගහේ ගෙඩි ටිකද, පොල්ගස්වල හොදම පොල් ටිකද පේර ගස් දෙකෙන් රතු පේර ගහේ ගෙඩි ටිකද, තැඹිලි ගහේ තැඹිලි ටිකද ' මල්ලී එනකං' කැඩෙන්නේ නැත. පොල් ලෙලි ගසා ගෝනිවල එක්කාසු කොට වෙන කාටවත් දෙන්නේද නැත. ''ඔන්න මං ඔයා ගැන ලිව්වා..'' කියා අඩුම තරමේ කියවා තේරුම් කරදෙන්නටවත් හැකියාවක් තිබුනානම් ඈ ගැන මට මාගලක් දිගට ලියන්නට දේ ඇත.

මගේ ලියන්නා ඔය විදියට සීරුමාරුවේ නැවැතුනු තැන සිට ලියන්නට තීරණය කොට ඇත්තේය.

එහෙත් මගේ කතාවෙන් කිසිම කෙනෙකුට හානියක් වන්නට නොදෙමි. මා ආදරය කල ගැහැණුන්ට මිනිසුන්ට මෙන්ම , මා විසින් වෛර නොකරන එහෙත් අතහැරදමන ලද මිනිසුන් ගැහැණුන්ට හානියක් වන කිසිදු දෙයක් නොලියමි. මා හිතන්නේ ගෙවුණු ජීවිතය සුන්දර එකක් බවය. ගෙවුනු ජීවිතයේ හමුවූ සියලුම දෙනා සුන්දර බවය. ඒ ඒ මොහොතේ මා විවිධ භූමිකා රගපෑවද පසුපසු හැරී බලන්නට තරම් සුන්දර අතීතයක් මට හිමි බව මට හිතෙන්නේය. ඉදින් හෙටින් පසු නැවැත මගේ ලියන්නා වැඩ පටන් ගනු ඇත. ඔහුට සිත්සේ ලියන්නට ඉඩ හරිමි.

ඒ මට හිතෙන හැටිය...

4 comments:

  1. //මට යමක් ලියන්නට පුලුවන් වන්නේ කම්මැලි, පාළු, ශෝකී හැගීමක් ආ විටය. සතුටු හැගීම් ආ විට මගේ ඔලුවේ ඉන්නා ලියන්නා පලා යයි. දුක වේදනාව දැනුනු විට මගේ හිතේ ඉන්නා ලියන්නා මොලයට පලා ගොස් 'දැන් ලියනු..දැන් ලියනු..' කියයි. ආදරය සතුටුදායක එකක් වුව ඒ හැගීමද මා දමන්නේ මේ ශෝක ලියන්නාටය. ඒ නිසා මා නිතර අහන, කියවන , දකින මේ අපූර්ව ගීත, ඉල්ලීමක් කල සැනින් ලියන අය, කවි ලියන අය හිතූ හිතූ විට ලියන ලියමන් මගේ විශ්මයේ කොටසකි. ඔවුන්ට ඇත්තේ හැකියාවකි. මට එහෙම එකක් තියනවා කියා මා හිතන්නේ නැත//

    ඔහේ තරං දක්ෂයෙක් නොවුනට මට වෙන්නෙත් ඒකමයි

    ReplyDelete
  2. ආපහු රිද්ම් එකට වැටෙන බවක් පේනවා. මේක තමයි තමුසෙගේ, මම කැමති ලිවීමේ රටාව. මෙතන හොඳ අන්න්‍යතාවයක් පේනවා, ඒක මරු. තම තමන්ට ලියන්න විතරක් නෙමේ, ජීවත්වෙන්නත් වෙන රටා තියෙනවා. ඒක හරි. එතන තමයි ඇත්ත මිනිහා ඉන්නේ.

    /////එහෙත් මා අතින් කිසිදා නොලියවෙන මගේ දෙවැනි අක්කා ගැන නොඅසා සිටින්නටයැයි මම අයදිමි. ඇය කුඩා දරුවෙකි. මා ගෙදර යන හැමදාම මගේ අත අල්ලාගෙන මගේ ඔලුවට ඔලුව තබාගෙන 'මගේ මල්ලී..' කියන්නීය. මහගෙදර නමිනං ගහේ ගෙඩි ටිකද, පොල්ගස්වල හොදම පොල් ටිකද පේර ගස් දෙකෙන් රතු පේර ගහේ ගෙඩි ටිකද, තැඹිලි ගහේ තැඹිලි ටිකද ' මල්ලී එනකං' කැඩෙන්නේ නැත. පොල් ලෙලි ගසා ගෝනිවල එක්කාසු කොට වෙන කාටවත් දෙන්නේද නැත. ''ඔන්න මං ඔයා ගැන ලිව්වා..'' කියා අඩුම තරමේ කියවා තේරුම් කරදෙන්නටවත් හැකියාවක් තිබුනානම් ඈ ගැන මට මාගලක් දිගට ලියන්නට දේ ඇත.////////

    හැමෝටම අම්මලා හිටියට, හැමෝටම ලොකු අයියලා නැහැ. මටත් හෙන ආසයි, මට වඩා වැඩිමල් එකෙක් හිටියානම්. ඔයාගේ දෙවැනි අක්කා සහ මම අතර ලොකු සම්බන්දයක් තියෙනවා. ඒ ලිවීම මම කරනවා. ඒ වෙලාව සහ කතාවට පිවිසෙන්න, හරිම වෙලාව හෙමීට එයි. ඒ බැඳීම මට තවත් චරිතයක් හෝ සහෝදරියක් පමනක් නොවේ. මම එයා ගැන ලියන්නම්. ඔහොම යං.

    ReplyDelete
  3. ඔබ නොලියනවා කියන දෙවෙනි අක්කාගේ කතාව අප කලින් කියවා ඇත. පරිපූර්ණ සටහනක් නොවුනද ඒ තුළින් අප ඇයව දනිමු.
    ආදරය කියන්නේ ඔබ නොකියනවා යැයි කියා ඒ ලියපු කෙටි සටහන යැයි විශ්වාස කරන්නෙමු.

    මොන හේතුවක් නිසාවත් නොලියනවා යැයි කියා පොර ටෝක් දුන් බොහෝ අය නොලියාම යන්නට ගිය නිසා ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්නේ නම් මැනවී.

    ReplyDelete
  4. ඔබේ ලියන්නා අවදි වනතුරු අප බලා සිටිමු.

    ReplyDelete