Friday, January 13, 2017

පොඩි අය්යා (56)


වැල් කැඩුණු හාන්සි පුටුවට වෙලා කළු සුරුට්ටු දුමින් හිත කය මත්කරගන්ඩ හදන මොහොතක මගේ පරණ යාළුවන් ටික මතක අස්සෙන් ඇවිත් මාව වටකරගන්නවා. කිසි බැරැ හැබැරක් නැති සිතින්, කයින් , සැහැල්ලු සිනාවෙන් ඔවුන්ගේ තරුන මුහුණු ආනන්දනීය ජවයකින් ඔප් නැංවිලා. උන් මට නිදැල්ලේ අලස සුව විදින්නට දෙන්නේ නෑ. කිසිදාක අමතක නොවන උකුළු මුකුළු වලින් කූද්දලා මාව ඇදගෙන යනවා ඈතට. ඈතින් ඈතට ම ඇදගෙන ගිහිල්ල මාව තල්ලු කරනවා මගේ පරණ ගුහාවට.

සුමන ආලෝකබණ්ඩාර - සුමන මතක - දුෂ්ටයා

එක පාරක් කියවපු 'සුමන මතක' ආයෙත් කියවනකොට මාවත්, මගේ යාළුවෝ.. නෑදෑයෝ... ආයෙත් මගේ ගුහාවට ඇදගෙන ඇදගෙන යන එක නවත්තනනම බෑනේ. මට කළු සුරුට්ටු මිස් වෙනවා වගේ ගතියකුත් තියනවා. බියර් එකක් තිබ්බා නන් කියලත් හිතෙනවා. ඒත්  ඒ පුරුදු ඈත් කරපු එක ගැන, 'සතුටු වෙන අය' දැක්කම එක අතකට හොදයි කියලත් හිතෙනවා.

රොමානිස් අය්යා නැත්නන් කාටත් 'පොඩි අය්යා' වෙච්ච කෙනා මට මතක කාලෙත්, අවුරුදු හැට හැත්තෑව පැනැලා. එතකොටත් කකුලක් නොන්ඩි ගහ ගහ කොසුපොල්ලකින් හදාගත්ත හැරමිටිය උලුක් කරන් මගේ පස්සෙන් පන්නන්නේ මම හොදම ගතිගුණ තිබිච්ච අහින්සකයෙක් නිසා වෙන්න ඇති. 'පොඩි අය්යා' අපේ සීයගේ අක්කා කෙනෙක් වෙච්ච කෙනෙක් හදාගත්ත ළමයෙක්. ඒ ලමයා අන්තිම කාලේ අපේ සීයලට සින්න වෙච්ච එක ගැන මට  තියෙන්නේ අපේ සීයල ආච්චිලාගේ හිත හොද ගති ඇතිකම ගැන ආඩම්බරයක් මිස දුකක් නෙමෙයි. අපේ ගෙදර ඔහොම ගොදක් අය හිටියා මට මතකයි. ටේච්චි, ටේච්චිගෙ දුව ඉන්ද්‍ර අක්කා ඒ අතර අපේ ජීවිත වල කවමදාවත් අහක දාන්න බැරිවෙන්න හිර වුනු ඇත්තම 'මිනිස්සු'. ඒ මිනිස්සුන්ට අපට යමක් කරන්න බැරිවුන එකට හේතුව එගොල්ලො මැරෙනකමුත් අපි පුන්චි දුප්පත් මිනිස්සු හින්දා. අපේ සීයලට ආච්චිලට තිබුනේ ලොකු හදවත්... අපට වගේ මේ මල ඉලව් පොඩි දේවල් වලට නෙමෙයි ජීවිතේ මහා පරිමාන දේවල් වලට ගැහෙන හදවත් තිබුණු නිසා කියල හිතන එකත් සැපක්.  ඒ හිත හොදකම ගොඩාක් ක්ෂය වෙලා තමයි අපට ලැබිලා තියෙන්නේ.

පොඩි අය්යාගේ කොණ්ඩේ මාර පිළිවෙලයි. පස්සට පීරලා බෙල්ල ගාවට හැම තිස්සෙම පනාවකින් පීරනවා මට මතකයි. ඒ මනුස්සයගේ ඇස් පෙනීමත් අඩු අන්තිම කාලේ ඒ පනාවට තීන්ත කූඩුවෙන් තීන්ත හලල  පොඩි අය්යා කොණ්ඩෙ පීරණකොට පේන්නේ නැති නිල් පාට.... වතුර ගාලා ස්ටයිල් කරනකොට මතුවෙලා සුදු කොණ්ඩේ නිල සුදු කොම්බිනේෂන් එකක් වෙද්දි ' දයා උබට ඉන්නේ කොල්ලො නෙවෙයි කොලු පියාලා..වේසිගේ පුතාල...' කියද්දිත් අපේ අම්මා හ්ම් කියන්නේ නැතුව නිස්සද්ද ඉන්න එක අපේ අම්මා අපට ඉගෙන්නපු පාඩමක්.
සමහර වෙලාවට  පොඩි අය්යා ඉවසන් ඉන්න බැරිම තැන තාත්තට කියල තාත්තා පළු යන්න බනිද්දි,  'හා.. හා.. ඔය කොල්ලන්ගේ කොලුකම'  කියන්නත් පොඩි අය්යට ලොකු පපුවක් තිබ්බ එක අද බලනකොට හීනයක් වගේ.
පොඩි අය්යට මොකක්දෝ විහිළුවක් කරල අපේ දෙවැනි අය්යා අඹ ගහට නැග්ගලු. පොඩි අය්යත් අත අරින්නේ නැතුව අඹ ගහ යට අර පොල්ලත් තියාගෙන වාඩිවුනා විතරයි අපේ අය්ය ඔලුවටම සුලුදිය අතහැරියලු. ඉතින් මේ කතාව අද අම්මා කියන්නේ පොතේ ලියලා ඒකත් තුරුළු කරන් විනාඩි දෙක තුනක් හිනාවෙලා ඉවර වෙලා. ඒත් අපට අම්මට ඊට වඩා හිනාවෙන්න ඉඩදෙන්න බෑ. එයාට හිනාවෙලා හිර වුනොත් ලොකු අමාරුවක්. ඒ අමාරුව එයාට වඩා අපට දැනෙන එක ඊටත් වඩා කරුමයක්. අවුරුදු හැත්තෑපහකට වඩා කතා කර කර ඉදලා හිනාවෙලා අද පෑනක් කොලයක් නැතුව හැගීමක් කියාගන්න බැරි එක ඒ මනුස්සයගේ කිළුටු ගවුමේ හේත්තු වෙලා මාර උණුහුමට නිදාගත්ත අපට, අපේ ජීවිත වල කරපු පව් ගෙවීමක්.

පොඩි අය්යා බයිසිකල් රෙපෙයාර් කරන වින්කලයක් දාගෙන හිටියාලු කාලයක් . මට  නං මතක නෑ. හැබැයි ලොකු අය්යාට මතක ඇති. අපේ අම්මා ඒ දවස්වල අපේ පිගන් හතටයි, පොඩි අය්යටයි, ටේච්චිටයි ,ඉන්දා අක්කටයි බෙදල තාත්තට වෙනම බෙදලා එයාටත් බෙදා ගත්ත  කියලා හිතනකොටත් මට නිකන් මහ මෙරක් වගේ. ඔය මනුස්සය සමහර විට කන්නත් නැතුව ඇති.
(මම කවමදවත් බිත්තර බාග කාල නෑ. අපේ මුළු පවුලම කෑවේ බිත්තර බාග. ඒත් අම්ම මට විශේෂයෙන් සැලකුවා. ඒක මගේ ජීවිතේ කවර කිසිම දාක ගෙවාගන්ඩ බැරිවේවි. ඒක  පුදුම දෙයක්.)

ඉතින් පොඩි අය්යා කවමදවත් පිගාන හම්බවෙච්ච ගමන් අපි වාගේ ගිල දානවා මම නන් දැකලා නෑ. හැමදාම ඉස්තෝප්පුවෙ ඉදන්  'දයා....උඹ කෑවද...' අහනවා. අපේ අම්මගේ උත්තරේ 'පිස්සුද පොඩි අය්යේ මං බෙදාගන්නේ නැතුව ඔයාට බෙදනවද...'

ඒ උත්තරේ ලොකු බොරුවක් ...

පොඩි අය්යට කාගේ කාගෙත් සල්ලි හම්බවුනා. පොඩි පොඩි සල්ලි. එයත් තාත්තා වගේ අත්දිග කමිසෙ අත නවලා ඒක අස්සෙ හන්ගන් හිටියා. තාත්තට කියල අස්සයෙක් අල්ලගන්ඩ කීයක් හරි දුන්නොත් මිසක අම්මටයි ආච්චිටයි විතරයි ඒකෙන් ලෝන් පාස්වුනේ. අපිව අරහන්.

පොඩි අය්යා අසනීප උනා මට මතකයි. අපි කළුබොවිල එයාව නතර කලත් ගොඩ දාගන්න බැරි උනා.එයා මැරෙනකොට එයා ගෙනත් ඉතුරු කරල තිබුනේ රෝල් කරපු පැදුරකුයි, වතුර ගගා කොණ්ඩේ හදලා කලු වෙච්ච කොට්ටෙකුයි ඇදුම් කඩමාලු දෙකකුයි විතරයි. ගෙදර ලොකු අයත් අසල්වැසි අයත් අපේ එදා තත්වෙ දැකල අය එයාව එහෙමම බූමිදාන කරමු කිව්වම අපේ දෙවනි අය්යා ලොකු නාඩගමක් නැටුවා මට අද වාගේ මතකයි. 'උබල ඔක්කොම ඒ මිනිහව  ඉස්පිර්තාලේ පිට්ටනියේ වල දාන්ඩ ලෑස්ති වුනත් මම තනියෙන් හරි පොඩි අය්යගේ මිනිය ගේනවා ගෙදරට......'  කියලා මහ හය්යෙන් ඒ අදහස ගෙනාපු අයව සරෙන්ඩර් කරා මට දැනුත් ඇහෙනවා වගේ.

අන්තිමේ මම දන්න  පලමු මලගේ අපේ ගෙදර සිද්ද වුනා.

එදා පොඩි අය්යගේ ඔලුවට හුජ්ජ කරලා වේසිගෙපුතා කියල බැනුන් අහපු අය්යාත් ඩග්ලස් අය්යාත් පොඩි අය්යගේ දෙන උස්සගෙන උඩහමුල්ල කනත්තට යනකොට සෙනග ගොඩක් හිටියා. ඒත් මට මතක සිදුවීම් දෙක තුනයි. එකක් අපේ ආච්චි, අපේ අම්ම, 'පොඩි අය්යේ..' කියල ඇඩුවා. අය්යලා ඇස් පිහද පිහද දෙන උස්සන් ගියා. මම හරකෙක් බැදපු කරත්ත බාගෙක පොරියි වැලියි කලවන්කරපු සත පහේ දහයෙ ඒවා හොය හොය වැලි ඉහ ඉහ ගියා මතකයි.

අන්තිමේ ගෙදර හරි මූසල ගතියක් තිබ්බා..අපි හැමෝම ඉස්තෝප්පුවෙ පරණ ආගිය කතා අහ අහ රෑ දෙක තුනක් ගත කලා...

සුමන කියනවා වගේ ඒ ගුහාව ගුහාවක්ම නෙමෙයි...

12 comments:

  1. සංවේදී අතීතයක්....

    ReplyDelete
  2. මට තේරෙන්නේ නෑ ඔබලා දෙදෙනාගේ කතා කියවලම මේ තරම් දුක් විඳපු අම්මා කෙනෙක් වෙනුවෙන් ඒ අම්මා ගැන මොන තරම් දේවල් හිතන්න පුළුවන්ද කියලා. කොටින්ම මම හිස්. මගේ අම්මා මිය ගියෙ ඇය බොහෝම තරුණ කාලේ. ඇය මුළු ජීවිතයම අපි වෙනුවෙන්ම කැප කරපු කෙනෙක්. අපි හින්දම දුක් විඳපු කෙනෙක්. ඒත් මට හිතාගන්න බෑ මේ තරම් දුක් විඳපු අම්මා කෙනෙක් ගැන. ඒ අම්මා ගැන අදටත් ඔබලාගේ ආදරේ මදි වගේ මට හිතෙනවා. එහෙම කියන එක අසාධාරන ඇති ඒත් ඒ මගේ ඇත්තම හිත.

    ReplyDelete
  3. මමත් ඔහොම මරණයකට මගේ පූර්ණ දායකත්වය දීලා තියෙනවා... මම හිතන්නේ ඒ මනුස්සයා අදත් මගේ දිහා බලනවා කියලා...

    ReplyDelete
  4. මම පොඩි අයියගේ මරණෙදි හිටියා. ලොකු මල්ලි ඒ වෙනුවෙන් කරපු කැපවීම ඉතා ඉහළයි. ගමේ කට්ටිය දීපු සපෝට් එකත් මාරයි. ජෝරිස්ලා, ඩග්ලස්ලා, තිලකෙලා, ආනන්ද අයියලා, කොන්ඩ සමන්ලා දීපු සපෝර්ට් එක කියලා වැඩක් නැහැ. මට ඒ කාලේ රස්සාවක් නැහැ. වල කැපුවේ අපි. හැමෝම කනත්තට යනකොට ගෙදර පාලු කරන්න හොඳ නැහැ කියලා, මට ඉන්න වුනා. ෂෙරුණිකාලා මාව බලන්න ගෙදර ආවා. ඒකත් ලොකු කතාවක්. මම ගත කරපු ජීවිතේ හැටියට ඒගොල්ලො හිතලා තිබුනේ මම මැරිලා කියලා. ගේ ඉස්සරහ සුදු කොඩිය දැකලා තමයි බස් එකෙන් බැහැලා ඇවිත් තිබුනේ.

    පොඩි අයියා ගැන හිනාවෙන්න කතා තියෙනවා. ලියන්න්න කම්මැලියි දැන්.

    අපේ ගෙදර ඔය වගේ අහිංසකයින් රාශියකට සෙවන දීපු තැනක්. අම්මා එක කාලෙකදි බත් පිඟන් දහ හතරක් බෙදනවා. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. //දිගටම ලියමු.//

      Delete
  5. බොහොම සංවේදී සටහනක්...අම්මා ගැන ලියවුන කොටස කියවද්දී නම් ඇහැට කඳුලක් ආවා...

    ReplyDelete
  6. කියෙව්වා.
    ජයවේවා..!!

    ReplyDelete