Sunday, January 29, 2017

ජෝතිපාල පොඩි කාසි හොරෙකි...(60)


මගේ යාළුවාගේ තාත්තාට බාල්දි කඩයක් තිබුණේය. දෙල්කද හන්දියේම දැන් සෝම හාමුදුරුවන්ගේ නෙතට වැටෙන මානයේම බාල්දි පමණක් නොව තහඩුවෙන් කරන වැඩ සදහා මගේ යාලුවාගේ තාත්තා ප්‍රසිද්ධ බාස් කෙකෙන් විය. තාත්තාගේ මේ පුතා,  තාත්තා මෙන් නොව ඇත්තටම බාල්දි කාරයෙක් නිසා ජීවිතයේ ලොකු රවුමක් ගසා දැන් කොරියාව පැත්තේ රවුමක් ගසමින් ඉන්නා බව ආරංචිය.

මමත් ඉස්කෝලේ සිට පයින් එන දවස්වල මේ බාල්දි වැඩපලේ අතින්ම හැදෙන විල්බැරැක්ක, පනිට්ටු කොකු, තහඩු කබඩ් හදනා හැටි බලන් ඉද ඇත්තෙමි. එකල මා රස්තියාදුකාරයා වුව අද ඒ උගෙනුම මගේ ජීවිතයේ හැම පැත්තකින්ම බලපා තිබේ. අද මගේ ගෙදර අනේකවිධ වඩු වැඩ ටකරං වැඩ පයිප්ප වැඩ මමම කරගන්නට එදා මා උගත්තේ මේ රස්තියාදුවෙනි. එක අතකට රස්තියාදුව හොද අතකට හැරෙන්නට පුළුවන.
එහෙම රස්තියාදු බාල්දිකාරයා සමග ඉස්කෝලේ තාප්පෙනුත් පැන මම බොහෝ තැන්වල ගියෙමි. බොහෝ අය ආශ්‍රය කලෙමි. ඒ නිසා බොහෝ දේ ලදිමි.

එක දවසක මගේ බාල්දි යාලුවා යෝජනාවක් ගෙනාවේය ඒ යෝජනාව වැල්ලවත්ත මුහුදේ නාන්නට යන්නය. එතෙක් මම මුහුද දැක තිබුනේ ගල්කිස්සේදී පමණි. මම අද මෙන් පැකැලී නොසිට එක පයින් 'හා ; කීවෙමි. හා කීවාට සත පහක්වත් අතේ නැත. ඉතින් මක් කරන්නද අපි දෙන්නා වැඩේ පසුවට කල්දාගත්තෙමු. එහෙත් ගෙවුනේ එක දවසකි මගේ බාල්දි යාලුවා පාසල් වෙලාවේ බාලදක්ෂ කාමරයේදී මට රහසක් කීය. 'මරු ප්ලෑනක් තියෙනවා අද කරමු..බඩු ෂුවර්..' කී බාල්දි යාලුවා සෙස්ස පස්සට තිබ්බේ අනික් එවුන්ට ඇහෙන නිසා වන්නට ඇත.ඉස්කෝලේ ඇරෙන්නට පෙර අපි දෙන්නා ප්ලෑන ගසා හමාරය ඒ අනුව මේ මහා මංකොල්ලය අප දෙන්නා සාර්ථක ලෙස සූදානම් කලෙමු.

එකල ප්‍රයිවට් බස් දිව්වේ එක්කෝ කොට පාන් බාග මෙන් හයිරූෆ් වෑන්ය, එහෙමත් නැත්නම් රෝසා බස්ය. මේ රෝසා බස් එකේ දොර දෙකඩ කැඩී ඇරුනු පසු නවන ලද වානේ කොක්කක් මගින් එකට අල්වා තිබේ. ඒ ඒ දොරේ එල්ලී 'ෆුඩ්බෝඩ්' යන අයගේ ආරක්ෂාවටය.

එහෙම ෆුට්බෝඩ් එකෙ එල්ලී නුගේගොඩ සිට මහරගම තෙක් එච්.ආර්.ජෝතිපාලගේ සින්දු කී අංකල් කෙනෙකු මට තවම මතකය. ඔහු සින්දු කීවේ සල්ලි හොයන්නට නොවේ. රෝසා බස් එක ඇදෙන වේගයෙන් සුළගේ විසිරෙන 'ක්‍රේල්' කොණ්ඩය අතින් උඩට පීර පීරා 'මේ නොනිමෙන දිවි ගමනේ...' සින්දුව කියද්දී බස් රථය මීක් නැතුව ඇදුනු එක අදද මගේ හිතේ ඇදී තිබේ. මේ මනුස්සයා මොන හේතුවකට සින්දු කීවද කියා නොදනිතත් කිසිවෙකු ඔහුට බාධා කලේ නැත. එහෙත් එකල සාමාන්‍ය දෙයක්  වූ , බස් රථයේ සැමන් අඩුක් කලා වාගේ දාඩිය ගද අස්සේ එකෙක් ජනේල වීදුරුව යන්තමින් පාත් කොට 'නැවිකට්' එකක් පත්තු කල සැනින් අර ෆුට්බෝඩ් ජෝතිපාල අම්මා මුත්තා නැතිවෙන්නට බයින්නට පටන් ගත්තේය. එහෙම කාලයකුත් තිබුනා නේදැයි සිතෙන විට දැන් දුකත් හිතෙන්නේය. සිගරට් බීම බස් එකෙන් නතරවුනේ තවත් අවුරුදු හත අටකට පසුය.  අන්තිමේ මේ සුළු වලි ඉවර වී ෆුට්බෝඩ් ජෝති කොන්දොස්තරට ගමනේ ගාස්තුව ගෙව්වේ සත දහය විසිපහ කාසි වලිනි. එදා එහෙම ගෙව් කාසි ටික කොන්දොස්තර අර දෙකට නවා හිරකර තිබුණු දොර පලුවේ උඩ කානුවක් බදු කොටසේ අඩුක් කලේය. ඒ එදවස ඒ කාසි වද වෙමින් පවතුන නිසා නොව සත පනහ හා රුපියල කාසි අත්ලේ එක දිගට ලස්සනට රදවා ගන්නට ඉඩ තබා ගන්නටය. පහේ දහයේ කොල දිග අතට නවා ඇගිලි කරු අස්සේ තියාගන්නවා බලන් ඉන්නටත් ආසය.

එහෙත් අපේ ආසාව තිබුනේ මංකොල්ලයටය. 'වැල්ලවත්ත බීච් මහා මංකොල්ලයේ'  ප්‍රධාන උපදේශක බාල්දි යාලුවා මේ දොර කානුවේ සල්ලි 'ඉස්සීමට ' ගත් තීරණය මම එක හෙලා ඉවත ලෑවෙමි. කාරණය ඒ සත පහ දහයෙන් වැල්ලවත්ත තියා කළුබොවිල හන්දියටවත යන්නට නොහැකි වීමයි. එහෙත් බාල්දි යාලුවා මා දිරිමත් කලේය. හරි බන් එක දිගට සුමානයක් උස්සමු..අපේ බස් ටිකට් එකේ ගානට අමතර ඔක්කොම එකතු කරමු..' මම බාල්දි යාලුවා සමග එකග වුනෙමි. පළමුවැනි දවසේ වැඩේ අති සාර්ථකය ඉරිදාපොළ හෝල්ට් එකෙන් බහින විට බාල්දි යාලුවා ලග රුපියල් දෙකකට ආසන්න ගනනක පොඩි කාසි තිබ්බේය. එහෙම  ගනන් හැදූ විට සුමානයක් ඇතුලත රුපියල් දාහතරක් එකතු වෙයි. අපි දෙන්නා මාරු සල්ලි ටික රත්නසිරි අය්යාගේ හෝටලයට දී රුපියලේ කාසි දෙකක් ගත්තෙමු.

රත්නසිරි අය්යාගේ නෝනා ශීලා අක්කා මට හරි ආදරේය. රත්නසිරි අය්යාටම ගැලපෙන්නේය. මා හෝටලයට යන හැම වෙලාවකම ' පෙන්නපිය ජුන්ඩා ..' කියා රත්නසිරි අය්යා තගක් දානා විට ' ඔන්න ඕක පෙන්නලාම වරෙන් බන් ..' කියා මට ලොකු කිරි තේ යාරයක් දමා දෙන්නේ ශීලා අක්කාය.එහෙම සල්ලිත් මාරු කරන් ගෙදර ගිය දවසට අම්මා අපි දෙන්නාටම බත් බෙදා දෙන්නේය. අර බිත්තර බාග කතාව වෙන්නේ එදාටය.
කෙසේ හෝ අපි දෙන්නා දවස් තුනක් මේ කොල්ලය කලෙමු. එහෙත් තුන්වැනි දවසේ අපි දෙන්නා බසයට නගින විට අර ජෝතිපාල උන්නේය. මම බාල්දි යාලුවාට ' අදනං මරු සින්දුත් අහන් ගියහැකි..' කීමී. එහෙත් වැඩි දුරක් යන්නට ලැබුනේ නැත. මගේ යාලුවා ගංසබා හන්දියෙන්ම බහිමි බහිමු කියා දිවෙන බස් රථයෙන් පැන්නේය. මමද සැනින් පැන ඔහු පසු පසු වැටුනෙමි.
'අර හු.. මට උගේ බඩට ගහන්න ආවොත් මා මරනවා ' කියා කී බාල්දි යාලුවා  සුසුමක් හෙළුවේය.. විස්තරේ අනුව ජෝතිපාලගේ රස්සාව ඒකය. කානුවේ සල්ලි 'උස්සන එකය.

අපි දෙන්නා ගැහි ගැහී ජෝතිපාලට කුණුහරුපෙන් බැන බැන පයින්ම ආවෙමු. එදායි එදා අප මංකොල්ල සැලසුම් කලේ නැත.
මගේ බාල්දියා පසුව කැළණියේ ඇමතිතුමා ලග 'බොඩි ගාඩ්' කෙනෙකු ලෙස සේවය කලේය. එකල මන්ත්‍රී කෙනෙකු වූ ඔහුගේ පොල්හේන්ගොඩ ගෙදර නිතර යන්නට මටත් හැකිවිය. එදවස අර තාත්තාගේම පුතා ගෙදර සැටියේ වාඩිවී 'ටින් ටින් 'කාටූන් පොත් කියවූ හැටි මට තාම මතකය. ඒ ලමයා ලොකු නොවී එහෙමම හිටියානන් කොච්චර හොදද.. ඒ රසකතා පසුවට තබමි.

අප නිත්‍ය හොරුන් වෙන්නට තිබූ එක නැතිවුනේ අර ෆුට්බෝඩ් ජෝතිපාල නිසාය. එක ගැන මට වෙනම සතුටක් තිබේ.

5 comments:

  1. මං පඩුරු හොරකං කරල තියනවා දවස් දෙකතුනක්

    ReplyDelete
    Replies
    1. මම බෝධියේ පඬුරුවලට ගේම දීලා නැහැ. ඒවා පොඩි කාසි. ඒකට දේවාලේ..ලොකු කාසි සහ නෝට්ටු. බලපන්කො ඒකෙත් වැඩේ.

      Delete
  2. අම්මගෙ බෑග් එකෙන් රුපියල් දෙකක් අරන් රටකජු පැකට් එකක් කෑවා කියල කාපු ගුටිවලටයි වින්ද නව නිංගිරාවලටයි පින්සිද්ධවෙන්න හොරකම් නං කොලේ නෑ ආයෙ...
    ජෝතිපාල බුවා නියම හීන් නූල් කාරයෙක්නෙ හිටං.පාර්ලිමේන්තුවටයි වටින්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  3. යකෝ ඌ සිරා ඩයල් එක. බස් එකෙං උස්සා බස් එකටම දුන්නා. හෙහේ.
    ඉතිං නාන්ට ගියෙ නැතෙයි

    ReplyDelete
  4. රත්නසිරි සහ ශීලා කියන්නෙත්, මහා ප්‍රේම කතන්දරයක්. උන් දෙන්නගේ ලව් එකේ මුල ඉඳලා මම දන්නවා. ඒ රත්නසිරි මට සියල්ල ඇවිත් කියන නිසා. ශීලාත් හරි එඩිතර ගෑනියෙක්. සියලු බලතල තුලින් ගමනේ ගියා....අනුන් ගැන ලියන්න හරි අමාරුයිනේ.


    මෙහෙම "ගමන්" ලියවෙන්න ඕන. මට ලොකු බයක් තියෙනවා. ඒ තමයි මේ වගේ පාරේ අත්දැකීම් නැති, පරම්පරාවක් ඇතිවෙමින් පැවතීම ගැන. මේවාට උත්තර හොයන්න කිසි ජගතෙකුට බැහැ. නැත්නම් මෙලහට මම හොයලා :D
    ලෝකය විසමයි ලොක්කා. අපි එක එකාගේ ආසාවන් සහ කැමැත්ත තමයි. ඕවගේ ඉරි නැහැ.

    ReplyDelete