Sunday, January 29, 2017

ජෝතිපාල පොඩි කාසි හොරෙකි...(60)


මගේ යාළුවාගේ තාත්තාට බාල්දි කඩයක් තිබුණේය. දෙල්කද හන්දියේම දැන් සෝම හාමුදුරුවන්ගේ නෙතට වැටෙන මානයේම බාල්දි පමණක් නොව තහඩුවෙන් කරන වැඩ සදහා මගේ යාලුවාගේ තාත්තා ප්‍රසිද්ධ බාස් කෙකෙන් විය. තාත්තාගේ මේ පුතා,  තාත්තා මෙන් නොව ඇත්තටම බාල්දි කාරයෙක් නිසා ජීවිතයේ ලොකු රවුමක් ගසා දැන් කොරියාව පැත්තේ රවුමක් ගසමින් ඉන්නා බව ආරංචිය.

මමත් ඉස්කෝලේ සිට පයින් එන දවස්වල මේ බාල්දි වැඩපලේ අතින්ම හැදෙන විල්බැරැක්ක, පනිට්ටු කොකු, තහඩු කබඩ් හදනා හැටි බලන් ඉද ඇත්තෙමි. එකල මා රස්තියාදුකාරයා වුව අද ඒ උගෙනුම මගේ ජීවිතයේ හැම පැත්තකින්ම බලපා තිබේ. අද මගේ ගෙදර අනේකවිධ වඩු වැඩ ටකරං වැඩ පයිප්ප වැඩ මමම කරගන්නට එදා මා උගත්තේ මේ රස්තියාදුවෙනි. එක අතකට රස්තියාදුව හොද අතකට හැරෙන්නට පුළුවන.
එහෙම රස්තියාදු බාල්දිකාරයා සමග ඉස්කෝලේ තාප්පෙනුත් පැන මම බොහෝ තැන්වල ගියෙමි. බොහෝ අය ආශ්‍රය කලෙමි. ඒ නිසා බොහෝ දේ ලදිමි.

එක දවසක මගේ බාල්දි යාලුවා යෝජනාවක් ගෙනාවේය ඒ යෝජනාව වැල්ලවත්ත මුහුදේ නාන්නට යන්නය. එතෙක් මම මුහුද දැක තිබුනේ ගල්කිස්සේදී පමණි. මම අද මෙන් පැකැලී නොසිට එක පයින් 'හා ; කීවෙමි. හා කීවාට සත පහක්වත් අතේ නැත. ඉතින් මක් කරන්නද අපි දෙන්නා වැඩේ පසුවට කල්දාගත්තෙමු. එහෙත් ගෙවුනේ එක දවසකි මගේ බාල්දි යාලුවා පාසල් වෙලාවේ බාලදක්ෂ කාමරයේදී මට රහසක් කීය. 'මරු ප්ලෑනක් තියෙනවා අද කරමු..බඩු ෂුවර්..' කී බාල්දි යාලුවා සෙස්ස පස්සට තිබ්බේ අනික් එවුන්ට ඇහෙන නිසා වන්නට ඇත.ඉස්කෝලේ ඇරෙන්නට පෙර අපි දෙන්නා ප්ලෑන ගසා හමාරය ඒ අනුව මේ මහා මංකොල්ලය අප දෙන්නා සාර්ථක ලෙස සූදානම් කලෙමු.

එකල ප්‍රයිවට් බස් දිව්වේ එක්කෝ කොට පාන් බාග මෙන් හයිරූෆ් වෑන්ය, එහෙමත් නැත්නම් රෝසා බස්ය. මේ රෝසා බස් එකේ දොර දෙකඩ කැඩී ඇරුනු පසු නවන ලද වානේ කොක්කක් මගින් එකට අල්වා තිබේ. ඒ ඒ දොරේ එල්ලී 'ෆුඩ්බෝඩ්' යන අයගේ ආරක්ෂාවටය.

එහෙම ෆුට්බෝඩ් එකෙ එල්ලී නුගේගොඩ සිට මහරගම තෙක් එච්.ආර්.ජෝතිපාලගේ සින්දු කී අංකල් කෙනෙකු මට තවම මතකය. ඔහු සින්දු කීවේ සල්ලි හොයන්නට නොවේ. රෝසා බස් එක ඇදෙන වේගයෙන් සුළගේ විසිරෙන 'ක්‍රේල්' කොණ්ඩය අතින් උඩට පීර පීරා 'මේ නොනිමෙන දිවි ගමනේ...' සින්දුව කියද්දී බස් රථය මීක් නැතුව ඇදුනු එක අදද මගේ හිතේ ඇදී තිබේ. මේ මනුස්සයා මොන හේතුවකට සින්දු කීවද කියා නොදනිතත් කිසිවෙකු ඔහුට බාධා කලේ නැත. එහෙත් එකල සාමාන්‍ය දෙයක්  වූ , බස් රථයේ සැමන් අඩුක් කලා වාගේ දාඩිය ගද අස්සේ එකෙක් ජනේල වීදුරුව යන්තමින් පාත් කොට 'නැවිකට්' එකක් පත්තු කල සැනින් අර ෆුට්බෝඩ් ජෝතිපාල අම්මා මුත්තා නැතිවෙන්නට බයින්නට පටන් ගත්තේය. එහෙම කාලයකුත් තිබුනා නේදැයි සිතෙන විට දැන් දුකත් හිතෙන්නේය. සිගරට් බීම බස් එකෙන් නතරවුනේ තවත් අවුරුදු හත අටකට පසුය.  අන්තිමේ මේ සුළු වලි ඉවර වී ෆුට්බෝඩ් ජෝති කොන්දොස්තරට ගමනේ ගාස්තුව ගෙව්වේ සත දහය විසිපහ කාසි වලිනි. එදා එහෙම ගෙව් කාසි ටික කොන්දොස්තර අර දෙකට නවා හිරකර තිබුණු දොර පලුවේ උඩ කානුවක් බදු කොටසේ අඩුක් කලේය. ඒ එදවස ඒ කාසි වද වෙමින් පවතුන නිසා නොව සත පනහ හා රුපියල කාසි අත්ලේ එක දිගට ලස්සනට රදවා ගන්නට ඉඩ තබා ගන්නටය. පහේ දහයේ කොල දිග අතට නවා ඇගිලි කරු අස්සේ තියාගන්නවා බලන් ඉන්නටත් ආසය.

එහෙත් අපේ ආසාව තිබුනේ මංකොල්ලයටය. 'වැල්ලවත්ත බීච් මහා මංකොල්ලයේ'  ප්‍රධාන උපදේශක බාල්දි යාලුවා මේ දොර කානුවේ සල්ලි 'ඉස්සීමට ' ගත් තීරණය මම එක හෙලා ඉවත ලෑවෙමි. කාරණය ඒ සත පහ දහයෙන් වැල්ලවත්ත තියා කළුබොවිල හන්දියටවත යන්නට නොහැකි වීමයි. එහෙත් බාල්දි යාලුවා මා දිරිමත් කලේය. හරි බන් එක දිගට සුමානයක් උස්සමු..අපේ බස් ටිකට් එකේ ගානට අමතර ඔක්කොම එකතු කරමු..' මම බාල්දි යාලුවා සමග එකග වුනෙමි. පළමුවැනි දවසේ වැඩේ අති සාර්ථකය ඉරිදාපොළ හෝල්ට් එකෙන් බහින විට බාල්දි යාලුවා ලග රුපියල් දෙකකට ආසන්න ගනනක පොඩි කාසි තිබ්බේය. එහෙම  ගනන් හැදූ විට සුමානයක් ඇතුලත රුපියල් දාහතරක් එකතු වෙයි. අපි දෙන්නා මාරු සල්ලි ටික රත්නසිරි අය්යාගේ හෝටලයට දී රුපියලේ කාසි දෙකක් ගත්තෙමු.

රත්නසිරි අය්යාගේ නෝනා ශීලා අක්කා මට හරි ආදරේය. රත්නසිරි අය්යාටම ගැලපෙන්නේය. මා හෝටලයට යන හැම වෙලාවකම ' පෙන්නපිය ජුන්ඩා ..' කියා රත්නසිරි අය්යා තගක් දානා විට ' ඔන්න ඕක පෙන්නලාම වරෙන් බන් ..' කියා මට ලොකු කිරි තේ යාරයක් දමා දෙන්නේ ශීලා අක්කාය.එහෙම සල්ලිත් මාරු කරන් ගෙදර ගිය දවසට අම්මා අපි දෙන්නාටම බත් බෙදා දෙන්නේය. අර බිත්තර බාග කතාව වෙන්නේ එදාටය.
කෙසේ හෝ අපි දෙන්නා දවස් තුනක් මේ කොල්ලය කලෙමු. එහෙත් තුන්වැනි දවසේ අපි දෙන්නා බසයට නගින විට අර ජෝතිපාල උන්නේය. මම බාල්දි යාලුවාට ' අදනං මරු සින්දුත් අහන් ගියහැකි..' කීමී. එහෙත් වැඩි දුරක් යන්නට ලැබුනේ නැත. මගේ යාලුවා ගංසබා හන්දියෙන්ම බහිමි බහිමු කියා දිවෙන බස් රථයෙන් පැන්නේය. මමද සැනින් පැන ඔහු පසු පසු වැටුනෙමි.
'අර හු.. මට උගේ බඩට ගහන්න ආවොත් මා මරනවා ' කියා කී බාල්දි යාලුවා  සුසුමක් හෙළුවේය.. විස්තරේ අනුව ජෝතිපාලගේ රස්සාව ඒකය. කානුවේ සල්ලි 'උස්සන එකය.

අපි දෙන්නා ගැහි ගැහී ජෝතිපාලට කුණුහරුපෙන් බැන බැන පයින්ම ආවෙමු. එදායි එදා අප මංකොල්ල සැලසුම් කලේ නැත.
මගේ බාල්දියා පසුව කැළණියේ ඇමතිතුමා ලග 'බොඩි ගාඩ්' කෙනෙකු ලෙස සේවය කලේය. එකල මන්ත්‍රී කෙනෙකු වූ ඔහුගේ පොල්හේන්ගොඩ ගෙදර නිතර යන්නට මටත් හැකිවිය. එදවස අර තාත්තාගේම පුතා ගෙදර සැටියේ වාඩිවී 'ටින් ටින් 'කාටූන් පොත් කියවූ හැටි මට තාම මතකය. ඒ ලමයා ලොකු නොවී එහෙමම හිටියානන් කොච්චර හොදද.. ඒ රසකතා පසුවට තබමි.

අප නිත්‍ය හොරුන් වෙන්නට තිබූ එක නැතිවුනේ අර ෆුට්බෝඩ් ජෝතිපාල නිසාය. එක ගැන මට වෙනම සතුටක් තිබේ.

Friday, January 27, 2017

වල්කම මගේ නොව පත්තරවලය....(59)


නුගේගොඩ පිරිමි ඉස්කෝලේ ගෑණු ළමයි නැති එකත්, එහෙත් මිශ්‍ර පාසල්වල සිටි මට වඩා, මේ ඉස්කෝලේ එවුන් ස්ත්‍රී පාර්ශවය ගැන දන්නා දේවලුත් මගේ පුදුමයට හේතු විය. කොටින්ම කියතොත් ජයසින්හයේ ගෑනු ලමයෙක් ටික දවසක් ආවේ නැත්නම් 'කොටහළුවක්' වී ඇති බව දැනගත්තද ඊට වඩා යමක් අප දැනසිටියේ නැත. ඒ වැඩිහිටි කතා අපට එකල ඒ තරම් වැදගත් වූයේ නැත්තේ අපේ අපි ලමයින් නිසා වන්නට ඇත. එහෙත් නුගේගොඩ ඉස්කෝලේ සියළු සබ්බ සකල මනා කොල්ලන්ගේ නිරන්තර අවධානයට, අතිශය උනන්දුවට  ලක්වී අප හයේ හතේ පන්තිවලම (කතාවෙන් විතරක්) වැඩිහිටියන් බවට පත්වී සිටියෙමු.

එකල වැඩිහිටි පත්තර කියා ජාතියක් තිබුනත්  ඒවා පත්තර කඩවල දිනපතා පත්තර වලින් වසා විකුනූ බැවින්ද  ඇත්තේත් නැති, නැත්තේත් නැති ස්වයං වාරණයකට හසුවී තිබූ බැවින්ද, වැඩිහිටියන්ට කියා තිබුණාට එගොල්ලන්ට 'ඈය්යා' ජාතියේ හැගීමක් එන බැවින්ද..කියවීම තබා,  ඇහෙන්වත් වින්දනයක් ගැනීමට නොහැකි විය. හිටි අඩියේ එහෙන් මෙහෙන් අහුවෙන කියවා අතින් අත ගොස් දියවී ගිය පත්තර පිටු කලිසම අස්සේ හංගාගෙන සමුද්‍රදේවි බාලිකාව පැත්තේ වැසිකිලි පෝලිමේ එකෙක් 'සිකිරිටි කමට' තබා අර නාස් පොළු විනිවිද යන චූ ගද අස්සේ කියවූ මුත් හරි හමන් ප්‍රයෝජනයක් වුනේ නැත. එකල අද වාගේ නොව පොඩි පහේ 'අහිංසක ටච් ' එකක් දාගන්නටත් ලව් ලෙටර්ස් තුන් හාරසියයක් ලියන්නට සිදුවූ නිසා මේ පත්තර කෑලි වල වින්දනය සිතේ පමණක් නතර විය.

එහෙත් කළු වලාවේ රිදී රේඛා මෙන් මට හැමදාම පොඩි වාසි ලැබෙන්නේය. එහෙම වාසි මම ඒ තරම් ප්‍රයොජනයට නොගත්තද ඒවා මා උප්පත්තියෙන්ම මගේ පස්සෙන් එන්නේය. 

මේ කියන අවුරුද්දේ ඉස්කෝලේ නිවාඩු කාලය පානදුරේ පුන්චිලාගේ ගෙදර යන්නට ' දාගෙන ' හිටියත් අපේ අම්මා අදුරන කට්ටියක් නිසා වෙන මගකට හැරුනේය. මේ කට්ටිය ආනන්ද අය්යලාගේ තාප්පයට මෙහා පැත්තේ නැව් කප්පිත්තෙකු වූ සීමන් සරත් යැයි මට මතක අය්යා කෙනෙකුගේ ගොඩනැගිල්ලක සිල්ලර කඩයක් පටන් ගත්තේය. මේ කට්ටියසැමියා හා බිරිද  බව මට මතක ඇතත් නම් ගම් නම් මට දැන් මතක නැත. එහෙත් මා හොදටම දන්නා කරුණ නම් ඔවුන් මේ ව්‍යාපාර පිළිබද මෙලෝ හසරක් දැන සිටියේ නැති බවය. එහෙත් ගාමිණි අය්යාගේ කඩේ ඉදීමෙන් මම යම් තරමක බිස්නස් පකීර් කෙනෙකු නිසා නිවාඩු කාලේ කඩේ ඇවිත් ඉන්නටය කියා ඔවුන් අම්මාගෙන් ඉල්ලීමක් කලේය.

අපේ අම්මා අනුන්ගේ හිත් රිදවීමට අකැමැති කෙනෙකු වුවත් එක සැරයෙන්ම ඒ ඉල්ලීම ඉවත ලෑවාය. ඇගේ බාලම පුතා සිල්ලර කඩයක බඩු කිරන්නෙකු නොව ලොකු මහත්තයෙකු වනු දැකීම ඇගේ එකම ප්‍රාර්ථනාව වන්නට ඇත. 'ඔය කඩේ ඉන්නටය කියන්නේ කඩේ බඩු කිරීමට නෙවේදැයි..' අසා අම්මා කෙලින්ම බෑ කීවාය. එහෙත් මම මේ ලැබෙන්නට යන රස්සාව ගැන ආසා වුනෙමි. ඒ නිසා දෙවැනී වරටත් ඔවුන් පැමිණ ඇවිටිලි කරද්දී 'නිවාඩු මාසයනේ අම්මේ...මං යන්නං'  කීමී. අම්මා   ඔවුන්ගේ ඇවිටිල්ලට වඩා මගේ ඕනෑ කම සලකා 'හා' කීවෙන් සිල්ලර කඩය පටන් ගත් දවසට පසු දින සිට මම මගේ අලුත් රස්සාව පටන් ගත්තෙමි.

නුපුරුදු ව්‍යාපාරිකයන් නිසා ඕනෑ කරන දෙවල් වන සීනී, තේකොළ, පරිප්පු, ළුණු, අඩුවෙන්ද..නානාවිධ බිස්කට්, කිරිපිටි වැඩියෙන්ද ගොඩගසා තිබීමත්.. මිල ගනන් වටපිටාවේ කඩ සමග සන්සන්දනය නොකොට 'වෙන්ඩ ඇති' න්‍යායෙන් නිසාත්.. ගාමිණි අය්යාගේ කොස්ගහ යට කඩේ ඉස්සරහම තිබූ මේ 'ස්ටෝර්ස් එක' එහෙම පිටින්ම පාඩු ලබන තත්වයක් උදා එන බව ටක්කෙටම පෙනෙන්නට තිබිණි.. අනෙක කඩයේ මට අමතරව උදේ වරුවට වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකු වූ සැමියාද, හවසට ගුරුවරියෙකු වූ බිරිදද වශයෙන් අයිතිකරුවන් පැමිණ සිටියත් කඩෙන් බඩුගන්නට ආ අය 'මුදලාලි හෝ ඇන්ටි හෝ එයා.. මෙයා' කීම මේ දෙන්නාටම ඇල්ලුවේ නැත. ඒ නිසා කඩේට එක වරක් ආ අය දෙවනි වර ආයේ අවශ්‍යම වුනොත් පමණකි. අන්තිමේ මේ ඉලව් බිස්නස් එක අපේ රස්සාවලටද පාඩුවක් කියා කඩේ බලාගන්නට අවුරුදු හැට හැත්තෑවක විශ්‍රාමිකයෙකු  හොයාගන්නට ඔවුන් සමත් විය.

මට නම මතක ඇත්තේ රංජන් අංකල් ලෙස නමුත් මම ඔහුට නිකන්ම අංකල් කීමී. ඔහු ඉතා හොදට ඇද පැලදගෙන උදෙන කඩේට ආ මුත්,  ආ විගස සරමකට බැස්සේය. සරම හා අත්කොට කමිසයක් ඇදගත් පසු පත්තරයක් බෑගයෙන් ගන්නා ඔහු කැෂියර් කූඩුවේ වාඩිවෙයි. බුදු පහනද පත්තු කර සුවද අල්ලා..හදුන් කූරුදෙකක් .ලක්ෂ්මී දේවියට පත්තුකර නමෝ විත්තියෙන් හැමදාම වැඩ පටන් ගන්න්නේය. මේ කෙසේ ලක ලෑස්ති වුව අපට වෙළදාමක් නම් ඇත්තේම නැත. ඉදහිට කෙනෙක් පැමිණ තෙල් කාලක් සීනී සීයක් තේකොල විස්සක් අරන් යතත් අර ගොඩගසාගෙන තිබූ බිස්කට්කෝඩියල් හා ජෑම් බෝතල් තොගයෙන් එකක් ගියේ කලාතුරකිනි.  එහෙමත් වෙලාවක ක්‍රිස්කො ටින් එකක් විකුණුනත් අනෙක් ඒවා හෙල්ලුනේවත් නැත. එහෙම වුනත් අංකල් නම් අර පත්තරේ ඔලුව ඔබා ගත් ගමන්මය. මා හාල් ගෝනියක වාඩිවී පාර දෙස බලා ඉන්නා අතරේ අංකල් මට උපදෙසයක් දෙයි. ' ළමයෝ කා හරි එනවනම් මට කලින්ම කියපන් ' යනුවෙන් කී දේ මට තේරුනේ නැතත්. මම කෙනෙකු ආවිට 'අංකල් ..' කියද්දී මේ වයසක මනුස්සයා දනි පනි ගා හනික ලාච්චුව වැසුවේත් , අර පත්තරේ ඒ අස්සට දැම්මේත් ඇයි කියා මා හට තිබූ කුතුහලය නතරවුනේ නැත. ඒ අතරේ කවුරුන් ආවත් ඔහු කැෂියර් කූඩුවෙන් නොබැස්ස නිසා අම්මා කීවා වාගේම මා කඩේ කොලුවා බවට ඉබේම පත්විය.

අන්තිමේ ඒ වාඩුව ගැනුනේ අර අහිංසක ව්‍යාපාරයෙනි. ලොකු අම්මා බූමිතෙල් ගෙනෙන්නට එන්නේ ලොකු ප්ලාස්ටික් බෝතලයකිනි. මට බූමිතෙල් මනින්නට ' කරඬි' එක එක පරිමාවෙන් තිබුනද මම අර ප්ලාස්ටික් බෝතලය පිරෙන්නට බූමිතෙල් පිරෙව්වෙමි. සීනී සීය කිරන විට අහුරක් අතින් දැම්මෙමි. තේකොල හොද එකෙන් කිරා බාල එකේ ගානට දුන්නෙමි. සබන් බාර් එකේ කෑල්ලක් වෙනුවට එකහමාරක් වන්නට දොරේ එල්ලා තිබූ සිහින් කම්බියෙන් කපා දුන්නෙමි.මේවා හොරකම් ය. එහෙත් එදා මට එහෙම හිතුනේ නැත. එහෙත් අම්මා හෝ ලොකු අම්මා හෝ මට දැනගත් දවසක 'හොරා' කියා බනිනු වලක්වාගන්නට ඔවුනටද නොදැනෙන්නනට මේ හොර වැඩේ කලෙමි. අනෙක මේ කඩේට එන දහ දොලොස් දෙනෙකුට මෙහෙම දුන්නාට හෙට අනිද්දාට වැහෙන්නට තිබෙන එකට වෙන පාඩුවක් නැතැයි එදා මම සිතුවෙමි.

එහෙත් මේ ඔක්කොටම මත්තෙන් මගේ කුතුහලය සන්සිදවා ගත යුතුය. එහෙත් අංකල් කූඩුවෙන් එළියට බහින්නේද නැත. කරන්නට දේකුත් නැත. එහෙත් මගේ වාසනාව යලි එළි බැස්සේය. ඉහල රාක්කයක තිබූ කෝඩියල් බෝතල් පිහිදාන්නට ගොස් එකක් මහ සද්දෙන් බිම වැටුනි. අංකල් 'හපොයි.'.කියා කැෂියර් කූඩුවෙන් එළියට පැන්නේය. මම ඒ ක්ෂණයෙන් කැෂියර් කූඩුවට පැන අර පත්තරෙන් මැද පිටුවක් ඇද හතරට පහට නවා කලිසමේ රුවා ගත්තෙමි.

එදා අංකල්ගේ මූණ බැලීමට මට චකිතයක් තිබුනද ඔහු අර නැතිවූ පත්තර පිටුව ගැන ලොකු අවුලක උන්නා බව මට මතක නැත.. අන්තිමේ මම හවස වැඩත් නිමවී ගෙදර නොයා කෙලින්ම කොට තාප්පෙන් ආනන්ද අය්යලාගේ කොන්ක්‍රීට් වහලට නැග වටපිට බලා මද අදුරේ අර පත්තර කෑල්ල එලියට ගතිමි.

එදායින් පසු ඒ කඩේ නොයාකාර අනතුරු සිදුවිය. බෝතල් බිම වැටෙන්නත් , මියන් දුවන්නටත් , බූමිතෙල් ඉහිරෙන්නටත් , ආදී වශයෙන් අවුරුදු දොලහක දහතුනක කොල්ලෙකුගේ නිර්මාණශීලී අදහස් ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේය. ඒ හැම වරකම අර ලාච්චුවෙන් පත්තර කොලයක් අතුරුදහන් විය. ඒ ගැන අංකල් දැන ඉන්නටත් ඇත. එහෙත් නිවාඩුව ඉවර වී ඉස්කෝලේ ගිය පසුඒ කොල්ලා සතුව 'දැනුම් බාණ්ඩාගාරයක් බදු' පතිනි, ප්‍රීතී, සුරගන, මධුරස, සුවය පත්තර වල සම්පූර්නයෙන්ම නැතත් කොටස් හෝ තිබීම හොරකමක ප්‍රතිපලයක් බව විප්ලවයක් මෙන් කියවීම හුරු කරගත් කොල්ලන් නොදැන ඉන්නට ඇත. අද මා සතුටු වන්නේ මා උන්ට කියවීම හුරු කල නිසාවෙනි.

ඒකම මදිද...!

Tuesday, January 24, 2017

සපත්තු නැවැත කියවීම (58)


මගේ කතා  (මගේ ජීවිතය ) කියවන ඔබ හිතා ඉන්නේ මේ තරම් අවාසනාවන්ත කොල්ලෙකු ගත කල ඇති ජීවිතය පිළිබද කතාවක් බව මා නිකමට  සිතමි. එහෙත් මගේ ජීවිතය මගෙ 'නම' තරම් ම වාසනාවන්තය. මගේ ඒ නමින් මට කතා කරන්නට පටන් ගත්තේ  කවුදැයි මා නොදනිමි. සමහර විට මගේ ජීවිතය වෙනත්ම අතකට යොමු කල ලොකු අය්යා දන්නවා ඇත. (එහෙම බව මම ඔහුට කිසිදාකියා නැත. ඔහුට එහෙම ගානකුත් නැති බව මම නිකමට හිතමි.)
මේ කියන්නට යන කතාවත් එහෙමය. ජීවිතයේ ඕනෑම දුෂ්කර අවධියකදී මට ආදරේ කල අය සිටියේය. සමහර අය මට මගෙන් කිසිත් ඕනෑකමක් බලාපොරොත්තුවක් නැතිව මට ආදරය කලේය. සමහර අය විවිධ හේතු නිසා ආදරය කලෝය. ඒ හේතු තමන්ගේ වාසියට පමනක් නිසා ආදරය කලා වූ අයද වූහ. එහෙත් එහෙම අය මා අසරණ වූ විට පැනගියේ මා ඉන්නවාද මලාදවත් දන්නේ නැතිවය. එහෙත් අරුමය මේ හැමට මම තවමත් ආදරය කිරීමය. මගේ බිරිද මගේ මේ අඩුපාඩුව හොදින් දනී. ඒ නිසා ඇයට අනුව  කිසි එකෙකුට තේරුම් ගන්නට බැරි, කවදාවත් පාඩමක් ඉගෙන නොගන්නා 'මිනිහා' මමය.
එහෙත් ඒ මිනිහාට මා තනිවම ආදරය කරමි. වෙන අය ආදරය කරනු සතුටෙන් බලා හිදිමි. ඒ නිසා 'ඒ' මා නමින් අමතන මෙන්ම මා නොදන්නා හැමට මා 'වාසනාවන්තයා' බව මින් ලියා තබමි.
මම මේ ලියමනට එකතු වුනේ මට ජීවිතය වාසනාවන්ත කල මිනිසෙකු ගැන කීමටය. ඔහුගේ නම කියන්නේ
නැත්නම් එය මගේ අවාසනාවක්  නිසා මෙහි ඉතා ගෞරවයෙන් ලියමි.

මීට කලෙකට පෙර මගේ කතාව ඇතුළු බොහෝ දේ ලියා තැබිය යුතුය සිතූ මම 'සොදුරු මතක' නමින්   බ්ලොග් අඩවියක් පටන් ගත්තෙමි. ඒ 2012  නොවැම්බරයේය. එහෙත් ලියැවුනේ එකම එක කතාවකි. ඉන්පස්සේ එය අර කලින් කී මගේ හිතවත්කම් මා හැරගිය වේගයෙන්ම සොදුරු මතකද මගෙන් ගිලිහී ගීයේය. ඒ කතාව යළි කියවන්නට ඔබට මෙහි තබමි.


මගේ පාසල් හැඳිසපත්තු විවිධාකාරයේ ඒවා වීම මට සතුටක් ගෙන නොදුන්නද ( ඒවා එක්කො කකුලට වඩා කුඩා වූ අතර සමහර විටෙක ලොකු සපත්තුව ගැලවී ඒම නවත්තන්නට සපත්තුවේ ඉදිරිපසට පත්තර ගුලිකොට ඔබන්නට සිදුවිය.මගේ සමකාලීන මිත්‍රයනට ඒවා අරුමයන් වියසමහර සපත්තු විවිධ වර්ණයන්ගෙන්ද හැඩවලින්ද අරුමෝසම් හැඩවලින්ද අනූන වීම තනි කලු සපත්තු පැලැද පාසල් ආ මගේ මිතුරන් අතරේ තරමක "ගතියක්තිබුනද සමහර ගුරුවරුන්ගේ නොරිස්සුම් නිසා ප්‍රසිද්ධියේ අගය කරන්නට ඔවුන් එඩිතර වූයේ නැතමේ සපත්තු වෙනස් ආකාරයක ඒවා වීමට හේතුව මා සපත්තු ගැන විශාරදයෙකු හෝ අලුත් මෝස්තර සොයන්නෙකු වීම නොවමගේ වැඩිහිටි ඥාතී සහෝදරයන් පාවිච්චි කර පසෙකලූ ඒවා වීමයිඒවා සොයන්නට මගේ අම්මා කකුල් කෙඩෙත්තුව හැදෙනතුරු ඇවිදි හැටි හා ඒවා ඉල්ලාගන්නට බයාදු ගති පෙන්වූ හැටි මට තාම මතකයඒ මතකයන් තාමත් මගේ මතක චිත්‍ර පොතේ නොසැලී පවතී.කෙසේ වුවත් අවසානයේ මගේ ලා කොළ පැහැති ඉරීගිය තැන් මසා විකෘති වී පෙනුන සපත්තු කුට්ටම ශිෂ්‍ය නායකයෙකුට  පින්සිදු වන්නට විදුහල්පතිවරයා දක්වා ඇදී ගියේයඑහි අවසන පන්තිය භාර ගුරුවරයා හමුවේ උත්තර බදින්නට සිදුවූයේ මගෙ අහින්සක අම්මාටමයජීවිතයේ නොයේකුත් දුක් කම්කටොලු ඇතත් ඒවා නිරතුරු විදගෙන තම ජීවිත වල නිරන්තර පීඩා වලට සැලුනේ නැති ඇය අවසානයේ පන්තිභාර ගුරුවරයා හමුවේ සිය මැසිවිල්ල කියද්දී මට මගේ ලෝකය කඩා වැටෙනු ඇස් පනා පිටම පෙනිනහෙට සිට මට මගේ පාසල් ගමන නතර කරන්නටත් ගේ ඉදිරිපිටින් පාසල් යනෙන මගේ පාසල් මිතුරන්ගෙන් වහන් වන සැටිත් මගේ මනසේ චිත්‍රපටයක් මෙන් ඇදෙන්නේයමගේ ජීවිතේ පාසල් ගමන නැමැති දුක්ඛ පරිශ්‍රමයෙන් මිදෙන්නට දැන් පුලුවනදෙල්කද ප්‍රාථමික පාසලේ හොදම ශිෂ්‍යයන් අතර කිසිදා සපත්තුපැළැද නොසිටි   මට අගනුවර මේ පාසලේ සපත්තුවල පාට ප්‍රශ්නයක් වීමම  සිත රිදුම් දෙයි. ඊටත් වඩා පාසල් ඇරී ගෙදර යන අපට පිගාන පිරෙන්නට "මොකක්හෝ හදාතියන්නට වෙන අම්මාගේ කාලය දැන් මෙහි ගෙවී ගොස් තිබේඉස්කෝලෙටත්සපත්තු ලැජ්ජාවටත් වඩා මගේ බඩේ ගින්දර ගැන අම්මාගේ පපුව ගිනි ගෙන ඇතැයි මම හොදාකාරවම දනිමිඅන්තිමේ අම්මා පන්තිකාමරයෙන් එලියට ආවේ සාරි කොනකින් කදුලු පිසදාගනිමිනිඇයට දෙන්නට උත්තරයක් හෝ මට සපත්තුව වෙනස් කල හැකි ක්‍රමයක් අප දෙදෙනාටම නැති බව හොදාකාර දනිමිඑහෙත් දැන් ජීවිතයේ මැදි වයස පසුකල  මටත් වඩා -එකල තරුණ -අම්මාට තිබුනේ මහා ආත්ම ශක්තියකි.

"මේ වාරේ ඕකම දාලා..ලබන පාර අලුත් දෙකක් අරන් දෙනවා කියලා මපොරොන්දු වුනා..""ලබන පාර ගන්නේ කොහෙන්ද..""මමනෙ ඒක බලාගන්නේ..දැන් ඉස්කෝලේ දන්න නිසා ඔහොම යo"ඉස්කෝලේ සියල්ලන්ම දැනගැනීම මගේ සිත තවත් අවුල් කරයිඑහෙත් මින් පිට මට අම්මා සමග වාදයක් නැත.මගේ සිත රිදී ඇතැත් අම්මාගේ සිත රිදවීමට  බැරි නිසා මට ඉස්කෝලේ යන්නම වෙයි පසුදා වුවද මට ඉස්කෝලය පැත්ත පලාතේ යන්නට සිත නොදෙයි. මගෙ මුලු ලෝකයම කොහෙන් හෝ ඉරී,ගැලැවීසෝදාපාලුවට ගොස් ඇත්තේය.

"මගෙ ඔලුව කැක්කුමයි..""ආ... එක පාරටම.." අම්මාට මගේ සිත ගැන සැකයක් නැත. ඔලුව කැක්කුමට වඩා සපත්තු කැක්කුම ලොකු බව ඈ දනී..එහෙනං ඔන්න ඔහේ මේ සුමානෙ ගෙදර ඉන්න.. මං කොහොමහරි සපත්තු දෙකක් අරන්දෙන්නං..එතකොට ඔය ප්‍රශ්නේ හරියයිනේ...

ගෙදර ඉන්නා දවස් ගෙවෙන්නෙ පුදුම අපහසුතාවෙනි. ඉස්කෝලේ මා ගැන මොනවා කතා වෙනවා ඇත්ද..සපත්තු ගැන..සපත්තු ගන්නට සල්ලි නැත්තේ ඇයි.. තාත්තා කෙනෙක් නැද්ද..උදව් කරන්නට  කෙනෙක් නැද්ද..  ආයේ ඉස්කෝළේ  එන එකක් නැද්ද...වෙන ඉස්කෝලෙකට යයිද..අනේක විධ ප්‍රශ්නත් කුතුහලයත් ලැජ්ජාවත් මගේ එදිනෙදා පුරුදු පවා අමතක කර ඇත්තේය. ජම්බු ගහේ රතු පාටින් ගෙඩි පිරී ඇතත්යාපනේ බට් අඹගහේ "ඇහැගහගෙන " සිටි හොදම ගෙඩි වවුලන් කා යතත් මට වෙනදා මෙන් ඒවා රස -ප්‍රිය නැත්තේය.ඉස්කෝලේ නොගිහින් ගෙවී ඇත්තේ තවමත් දෙදිනකි. අම්මාගේ සපත්තු ගැනිල්ලේ සේයාවකුද නැත්තේය. මමද දැන් දැන් ඉරිදාපොලේ රස්තියාදුවටත් බෝල ගහන්නටත් පුරුදුවෙමින් සිටිමි..."අන්න තමුසෙව හොයන්න ඉස්කෝලෙන් ඇවිත්...." හදිසියේම අසල්වැසියෙකුගෙන් පණිවිඩයකි.ඉක්මනින් ගෙදර දුවන විට ගෙයි ඉස්තෝප්පුවේ කැඩුනු පුටුවේ වාඩිවී සිටින්නේ ශ්‍රේණී භාර ගුරුවරයාය. ඔහු අප දන්නා දරුණුම එහෙත් හිත හොදඉගෙනුමට ඉගැන්වීමට ආදරය කල ගුරුවරයාය. නුගේගොඩ හන්දියේ  රස්තියාදු ගහන කොල්ලන් ලගටම ගොස් කන් අඩි වලට ගසාකොල්ලන් ඉස්සර කරගෙන එන මේ ගුරුවරයා පිළිබද රසවත් කතා මගේ සමකාලීනයන් ඉතා ආදරයෙන් දැනුදු මතක් කරයි.

"ආ...උඹත් දැන් රස්තියාදු ගහන්න පුරුදුවුනා නේද... යකො බලපන් මේ ගෙදරක හැටි..ඉගෙන්ගන්ඩ බැරිනන් අඩුම ගානේ ගේ- ම්දුලවත් අස්කරගෙන..තොපිට කන්ඩ අදින්ඩ දෙන මේ මනුස්සයාට උදව්වක්වත් කරපන්කො.." 

ඔහුගේ ස්වර තියුණුය එය මාගේ පපුව විනිවිද යයි. අම්මා කවදත් මෙන් මගේ පැත්තමය.

"නෑ ..සර්..මෙයා මට උදව් කරනවා..මමයි කිව්වෙ ගිහින් ටිකක් සෙල්ලන් කරන්න..." 

අම්මා කීවේ බොරුවක් නොවේ.. දවල් කෑම වේල පිළිබද විස්වාසයක් නැතිකම අම්මාගෙන් රස්තියාදුවට මට රුකුලක් විය.

"ආ හරි..ඒ මොක වුනත් උඹ හෙට ඉදලා ඉස්කෝලේ එන්ඩ ඕනේ...ප්‍රශ්නේ සපත්තු දෙකනේ...එකත් ම0 හරිගස්සලා තියෙන්නේ.. උඹ අදම අම්මත් එක්ක ගිහින් සපත්තු දෙකක් ගනින්...හෙට උදේම ඉස්කෝලේ...නාවොත්..මම එකත් බලාගන්නන්..." 

ඔහු   තර්ජනාත්මකව මදෙස බලන ගමන්ම අම්මා වෙත ලියුම් කවරයක් දික් කලේය. ..වතුර වීදුරුවක් පමණක් හිස්කල ඔහු ගෙදරින් යන තුරු මට ඉස්පාසුවක් නැත. අන්තිමේ ඔහු නික්ම ගියෙන් මම දඩි බිඩියේ ලියුම් කවරය ඉරා බැලුවෙමි... කිසිදු සටහනක් නැතුවම එහි රුපියල් දෙසීයකි. එකල සපත්තු ජෝඩුවක් ඕනෑනම් රුපියල් 120-150 පමන විය.එදා නුගේගොඩ ගොස් අම්මාත් මමත් ආවේ ලොතරැයියක් ඇදුනා ලෙසිනි. මට අලුත් "කලු සපත්තු කුට්ටමක්" එළවලු කිහිපයක් මාලු 250ක් අපේ බඩුමලු අතර විය. එපමනක්ම නොවේ තැපැල් කන්තෝරුව පාමුල බීම කඩෙන් මට සරුවත් එකකි. එදාත් අම්මාගේ බඩ හොදටම පිරී තිබෙන  බැවින් ඈ මගෙ සරුවත් වීදුරුවෙන් උගුරක් බීවාය. මේ අම්මාගේ "බඩ පිරිල්ල" හොද කෑමක්- බීමක් "අපට" ලැබෙන හැම විටම තිබුනාය. ඒ බඩ පිරිල්ල මගේ දරුවන් රස කර කනබොන හැමවිටම මට මතක් වෙයි. දැන් සමහර වෙලාවට මටත් මේ බඩ පිරිල්ලේ රෝගය ඇතිවෙයි. එත් මගේ දරුවන් ඒ ගැන මොනවා හිතනවා ඇද්ද...පසුදා ඉස්කෝලේ ගමන මට මහා රාජකාරියකි. කලිසමත්කමිසයත් හේදී දුර්වර්ණ වුව මගේ සපත්තු දෙක අලුත්ය. කිහිප විටක්ම සපත්තු දෙකත් ..ලේස් ගැටේත් ලිහ ලිහා ගැටගැහුවද මට වෙන කිසිවෙකුගේ අවධානය යොමු නොවෙයි. කාටවත් මගේ අලුත් සපත්තු දෙක ගැන උනන්දුවක් නැත. අඩුම තරමේ සපත්තු  ගැනීමට මුදල් දුන් ගුරුවරයාද මා දුටුවත් කතා කලේවත් නැත. අතපසු වූ පාඩම් විවෙක කාලයේ ලියාගනු මිස සෙල්ලමට යනු නැතැයි තර්ජනාංගුලියක් දැමුවා පමණි. සියල්ලන්ටම මා පාසල් නොආ කාරණය ලෙස උණ සෑදී සිටීම ජීරණය විය. වෙනදාට දවසක් හෝ නොආවොත් පිටු ගනන් පිටපත් කිරීමේ දඩුවමද නැත. සියල්ල සාමාන්‍ය ලෙස ගෙවී ගොස් තිබේ.
සපත්තු දෙක ගැන ඔහුට තුති පුදන ලෙස අම්මා කිහිපවරක්ම කියා සිටියත් ඒ හැම විටම ඔහු මා මගහැරියෙය. එදා සිට පාසලෙන් අස්වනතුරු කිසිදිනෙක මට සපත්තු ප්‍රශ්නයක් ආවේ නැත. අවුරුදු පතා නැතත් මගේ සපත්තු ගෙවී කැඩී තිබෙන හැම විටම අම්මාට ලියුම් කවරයක බහා ආ ඔහුගෙ "දයාභරිත මනුස්සකම" ලැබී තිබුනේය.මගේ ජීවිතයේ මා තවමත් ඔහුට නයගැතියඒ කෙසේවෙතත් ඒ නය ගෙවීමට තබා ඒ උදාර මනුශ්‍යා බැලීමටවත් යාමට මට මගේ  ජීවිතය තවමත් ඉඩ දුන්නේ නැතඒ කරුමක්කාර හැගීම ජීවිතයේ අවසාන මොහොත දක්වා මා සමගම සැරි සරනු ඇත

2012 Nov 05

මේ කතාව මට අලුතෙන් ලියන්නට සිතුනත් එකම කතාව කොහොම ලීවද එකම නිසා අතහැරියෙමි. වෙනදා මෙන් මගේ කතාවට ඔබට සංවේගයක් ඇති නොවනු ඇත. මා එදා ගෙදර සිටියානම් ජයවර්ධන සර් එදා නොඅවානම් මම අද කොහේදයි මමවත් නොදනිමි. ජයවර්ධන සර් තම විශ්‍රාම වියේදී පොතක් ලීවේය. එය 'ජීවිත ආලෝකයට බුදු දහම සංක්ෂිප්තව ' නම් විය. ඒ පොත එළිදැක්වීමේදී මම කෙටි කතාවක් කලෙමි. ඒ කතාවේදී මේ සිද්ධිය මතක් කලෙමි. ජයවර්ධන සර් මගේ ජීවිතය ආලෝක කල හැටි කීවෙමි. මට වේදිකාවේදීම කදුළු වැටෙන්නට විය. උත්සව සභාවේ ගැහැණුන් සාරි පොටවල්වලින් කදුළු පිස්සේය.  ඒත් මට ‍යලිත් ඇඩුනේ මා වේදිකාවෙන් බැස ගොස් ඒ දෙවියාගේ දෙපා නමදිද්දී ' ඇයි කොල්ලෝ මේවා මතක් කලේ...වැදගත්කමක් නැති දේවල්..' කියද්දීය. 

ජයවර්ධන සර් මගේ අර ''ලිස්ට්'' එකේ එක්කෙනෙකි. සර් ඉතාම හොදින් ජීවත්ව ඉද්දීත් එහෙම කියන්නට මම බය නැත. 

ඉතින් මා අවාසනාවන්තයෙකු බව ඔබ සිතන්නේද...!!

Sunday, January 22, 2017

බුදුන් එන තෙක්....(57)



ලස්සන සාදු කෙනෙක් අපේ ගෙදරට පල්ලමේ වඩිනු දුටු අම්මා කලබල විය. එහෙම පන්සල් , දාන , හාමුදුරුවරු අපට අද මෙන් 'සාමාන්‍ය' වී තිබුනේ නැත.
අඩුම තරමේ මම දහම්පාසලකට හෝ ගිහින් තිබුනේ නැත. එහෙත් අම්මා අපට කටින් නොකියා එක දහමක් කියා දුන්නාය. ඒ අනෙක් මිනිසුන්ගේ හිත් නොරිදන හැටි හා අනිත් අයගෙන් රිදෙන හිත අමතක කරන හැටිය. මේ දෙකම  අඩු වැඩි වශයෙන් මට අදත් තිබේ. එහෙත් මගේ හිතට ලගම අයට මා නිරන්තර වද දෙන්නෙමි. ඒ උන් 'මගේ' නිසාය. මා මගේ වැඩ නිසා හිත් රිදවා ගන්නා මගේ එවුන්ට කියන්නේ 'මගේ හැටි මෙහෙමය..උබලාට නලුවෙක් ඕනෑ නම් මට ඒකත් යහමට පුළුවන් බවය'.

මහ දවාලේ වැඩි නිසා දාන වේලක් ඕනෑ නැතත් අම්මා ගිලන්පස ලැහැස්ති කලාය. නෑදෑයන්ගේ මල ගෙවල්වල අදින සුදු සාරිය කබල් පුටුවේ එලුවාය. එහෙත් මේ හාමුදුරුවන් ඇවිත් තිබුනේ ලොකු අය්යාව හොයාගෙනය. මේ හාමුදුරුවන් ලොකු අය්යාගේ යාළුවෙක් බව කීවා මට මතකය. ඒ කොහොම යාළු කමක්දැයි මට දැන් මතක නැතත් ඉස්කෝලේ කතාවක් මට යන්තමට මතකය.  හාමුදුරුවන් තලපත්පිටිය පැත්තේ අලුතෙන් පන්සලක් හැදූ බවත් එය ඉතා ඉකමනින් දියුනු වන බවත් කියමින් ලොකු අය්යා හමුවී එහි එන්නට ආරාධනා කිරීමට ආ බවත් හාමුදුරුවන් කියා සිට්යෙන් ආධාරයක් බලාපොරොත්තුවෙන් නොආ බව අපට සුබ පණිවිඩයක් විය. (ඒ වාගේ අය ආ විට 'හවස එන්නැයි ' කියා  පිටත් කිරීමට අපි සැදී පැහැදී සිටියෙමු. ඒ තාත්තා එන්නේ හවස නිසාවෙනි. එහෙත් එහෙම ආපහු කෙනෙක් එන්නේ නැත. ආවත් අපේ තාත්තාගේ දේශපාලන පන්තියේ හඩ ඇසෙන තෙක් මානයෙන්ම පලායන්නේය.) අන්තිමේ හාමුදුරුවන් ටික වෙලාවක් ගතකොට පවුලේ සියළු වතගොත අසාගෙන ආයා කටුවකින් බිත්තියේ හුණු හූරමින් චිත්‍ර ඇද සිටි මට ' යන් පන්සල පැත්තේ..' කීවේ මා අන්දමන්ද කරමිනි.
හන්වැල්ලේ පොඩි පන්සලේ ඇරෙන්නට වෙන පන්සලක කාලය ගතකොට නැති මට මෙය අමුතුම අත්දැකීමකි. මා දන්නා තරමට පන්සල්වලට විසිතුරු ලෙස සැප පහසු ජීවිත තිබේ. නිදහස් ශාන්ත බවින් පිරුණු අමුතුම ලෝකයකි.අනේක විධ කෑම බීම ඇති දානය ලැබෙන්නේය.
(ආනන්ද අය්යලාගේ දාන පිංකං වලදී කජු මාලුව බෙදන්නට ලැබුනොත් මගේ අතින් කන්හැන්දක්වත් බෙදෙන්නේ නැත. එහෙත් නැන්දා නම් දුක් වන්නේය. 'අනේ අගේ ඇති කජු මාලුව උන්නාන්සෙලා වලදලා නෑනේ..' කියන විට මා උත්තර දෙන්නට පැත්ත පලාතක ඉන්නේ නැත.  නැත්නම් දානෙන් පසුව අපට බත් බෙදෙන විට කජු මාලුව වාෂ්ප වී ඇත්තේය.සමහර හාමුදුරුවරු අර කහපාටට කිරට උයා තිබෙන කජු මාලුව දිහා බලනු මට පෙනුනාට මගේ වයසේ  හාමුදුරුවරුන්ට ලැබෙන්නේ හොදි විතරය.  එහෙම බලනු විට මම පිං වලට වඩා කර  ඇත්තේ පවු මය. එහෙත් ලොකු හාමුදුරුවන් ඒ සියල්ල අමතක කොට පින් වඩන්නේය. මටත් මේ තරං අනේකවිධ කෑම ලැබෙනවා ඇත්තේ ඒ නිසාය.)

කෙසේ හෝ අම්මා මා නොයවා ඉන්නට බැරි තැන 'එහෙනන් ගිහින් හවස අය්යා ආ විට එන්නැයි.' කියා අවසර දුන්නාය. ඉන්පස්සේ මම ඒ සිවුර පස්සෙන් වැටී බස් එකකද නැග පන්සලට යන ගමන පටන් ගත්තෙමි. එහෙත් මා වෙනදා මෙන් සිතිවිළි ලෝකයේ අතරමං වෙන්නට නොඇර හාමුදුරුවන් දිගින් දිගටම විවිධාකාර ප්‍රශ්න ඇසුවේය. සමහර ඒවා ගෙදරදී ඇසූ දේම නැවැත ඇසීමක් බැවින් මට ගමන එපා වෙන තැනක්ට ආ විට ජනේලයෙන් අත නොව බෙල්ලද එලියට දමාගෙන අවට සිරි බලමින් ගියෙමි. බස් රථයට නැගුනු අපට අසුනක් හමුවුනා පමනක් නොව ටිකට්වත් නොකැඩූ කොන්දොස්තර ඒ මදිවාට දෙකට නැමී වැදීම මට අලුත් අත්දැකීමක් විය. ඒ අත්දැකීම මගේ සිතිවිළි  ලෝකයේ කනපින්දන් ගසා අලුත් මාතෘකාවක් සපයා දුන්නේය.

මා දැන් හිස මුඩුකරගත් මහනෙකි. මා අර වටාපතෙන් මුහුණ වසාගෙන පයට සෙරෙප්පුවක්වත් නැතිව හිමින් ගමනේය. ඈතින් මා දකින්නෝ මා ලගට විත් පය අල්ලා වදිති. මම ඔවුනට සුවපත් වේවා කියමි. ඔවුන් මට බනකට දානයකට ආරාධනා කරන්නේය. බනක් නම් ඉතා චතුර ලෙස විව්ධ ජාතක කතා කියමින් දේශනා කරමි. ඉන්පස්සේ ලැබෙන සියළු පිරිකරද ගෙන යලි සාන්ත ගමනින් වඩින්නෙමි. කිසිවෙකු මා මගහැර යන්නේ නැත. කිසිවෙකු මා නොතකන්නේද නැත..සියළුම දෙනා 'පොඩි හාමුදුරුවනේ  කියමින් මා පසු පස එන්නේය..
එහෙම වැඩි වෙලාවක් හීනබලන්නට අවසර නොදෙමින් අපි බසයෙන් බැස්සෙමු. ඉන්පස්සේ දීර්ඝ පයින් ගමනකින් පසු ඉතාම මනරම් වෙල් යායකට පසුබිම් කොට තැනෙන අලුත් පන්සලකට ඇතුල්වුනෙමු. එහෙත් එ පන්සල තනිකර වැඩ  බිමකි. සිමෙන්ති වැලි ගල් ගොඩ ගසා ඇති බිමෙහි මගේ අර සාන්ත පන්සල් හීනය බොදව යන්නට පටන් ගත්තේ ඉතා ඉකමණනි. උඩට  ඇදුමක් නැති බාස් උන්නැහෙලා සරම් කෙටි ඇදගෙන බදාම අනති, එකෙකු විල්බැරොවක පුරවාගත් කළුගල් තොගයක් වැරෙන් තල්ලු කරමින් එහා මෙහා යන්නේය . ලපටි බෝ ගසේ හතරවට යකඩ කම්බි කූරු හේත්තු  කොට ඇත්තේය.
මම හාමුදුරුවන්ට මෑත්ව කතා බහට සවන් දුන්නෙමි.හාමුදුරුවන් ලොකු බාස්ට පොඩි පහේ ඝර්ජනාවක් කරන්නේය. ඒ හාමුදුරුවන් ගිය පසු වැඩක් කෙරී නැති බව පෙනෙන්නට තිබෙන නිසාය. එහෙත් මම බලාපොරොත්තු වූ ගෞරවය ලැබෙන්නේ නැත. හාමුදුරුවන් මා අඩ ගසාගෙන මදක් ඈතින් තිබූ බාගෙට නිමකල ගෙයක් වැනි තැනකට ගොඩ වී  'මා  නැති විට කිසි වැඩක් කෙරෙන්නේ නැති'  බව මට කලකිරීමෙන් කීවෙන් මටද හාමුදුරුවන් ගැන සෝකයක් ඇතිවිනි.
හාමුදුරුවන් ඒ සැනින් ඒ ලොකු යතුරු කැරැල්ලකින් අර දොර හැරියේය. ඒ දොර ඇර 'මේ තමා මගේ නිදන කාමරේ' කීවේය. මම ඔලුව දමා බැලුවෙමි. එය නිදන කාමරයක් නොවේ. එහි එක බිත්තියක් වැහෙන්නට බ්‍රවුන්පේපර් බෑග් වල දැමූ පිටි ටින්, සීනී , තේකොල කන්දකි. අනෙක් පැත්තේ අටපිරිකර කන්දකි. ඒ මැදින් කළු සහ කහ පාටෙන් කුඩ කන්දකි. නිදන ඇද ලග මේසයක් තබා එහි උඩින් අල්ලා තිබූ ලෑලි තට්ටුවක බුදුපිළිම දුසිමකට වැඩිය. ඒවා ඉටිකොල වලින් වසා ඇත්තේය.හාමුදුරුවන්ට මගේ ලොකු ඇස් පෙනෙන්නට ඇත. 'ඔය ඔක්කොම පිරිකරට ලැබිච්චා. හොද බුදු පිළිමයක් තෝරාගන්ඩ. ගෙදර ගෙනියන්න..'.
එහෙත් මම ඒ කාමරයට යන්නට මැලි උනෙමි. හාමුදුරුවන් පස්සේ වැටී යලි කුස්සියක් වැනි එකක් දෙසට පියමැන්නෙමි. එහෙත් එහි මාගේ සිහින ලෝකයේ තිබූ පන්සල් කුස්සියට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. එහි ලිපක්, කේතලයක් හා හට්ටි වලන් කිහිපයක්ද වීදුරු කිහිපයක්ද අඩු කෝප්ප කිහිපයකින්ද පාළු වී ගොස් තිබුනේය. මා සිතා සිටි පලතුරු බන්දේසියද, කැවිළි බන්දේසියද එහි නැත. හාමුදුරුවන් දර ලිපට දර අඩුක් කොට ගිණි ලෑවේය.  බදාම අනමින් සිටි කාටදෝ කතා කොට 'තේ ටිකක් බොමු නේදැයි..' ඇසුවේය.

ඒ සැණින් මා දෙසට හැරී ' අනේ ලමයෝ අර බදාම ටික බාසුන්නැහෙට ගිහින් දෙන්නැයි..' කීවේය. මම ඉන් දෙපැයක් ගතවීත් අර බදාම උදලු දෙක බැගින් තාච්චියේ දමාගෙන පලමුව බඩේද, දෙවනුව උරහිසේද, තෙවනුව ඔලුවේද තබාගෙන විහාරගෙයි  බිත්ති බදිනා බාස් වෙත ගෙනගියෙමි. මේ බදාම තාච්චියක් තාච්චියක් පාසා මගේ අත්වලද, ඇග හැම තැනමද සිමෙන්ති වැක්කෙරෙනට පටන් ගනී. ටික වෙලාවක් යන විට දැවිල්ලක් එයි. එහෙත් බාස් ගේ ගෙරවිල්ල අමුතුය. අප එනවිට අලසකමෙන් සිටි මිනිසා දැන් හනි හනික වැඩය. මගේ උදලු දෙකේ තාච්චිය දැන් මදී වේගෙන තිබේ. ඔහුගේ ගර්ජනාවත් ඒ එක්කම වැඩි වන්නේය. වරෙක ඔහු මට කුණුහරුපයක් කියා බැන්නේය. මට ඒ කුණුහරුපයට වඩා මේ පන්සල් බිමේ කුණුහරුපය කීම මහා අවුලකි. අනෙක මා ඇදගෙන ආ ඇදුම දැන් සිමෙන්තියෙන් පෙගී ඇත.සෙරෙප්පු දෙක පෙන තෙක් මානයක  නැත. මට දූව්ලි මඩ පුරුදු වූවාට සිමෙන්ති පුරුදු නැත. කකුල් කරු අස්සේ සිමෙන්ති ගොස් පැලී ඇත්තාක් මෙනි.
මම ඒ වැඩ බිමේ තනිවීමී. මා ගෙදර යන්නට ඕනෑ කරන පාළුවකින් පෙලුනෙමි. එහෙත් මා තනිවම ගෙදර යන්නට දන්නේ නැත. දැනගත්තාද අතේ සතයක්වත් නැති නිසා යන්නට වෙන්නේ පයින්මය. මා සිතාගෙන ආවේ බෝධිය වටේ නිදහසේ ඇවිදින්නටය, විහාර  ගෙයි සිතුවම් බලන්නටය, සිලි සිලි ගානා බෝධියේ යට සිනිදු වැලි පොලවේ අසිරිය විදින්නටය. මා ගොස් ඇති පන්සල් වල අම්මාගෙන් මිදී මා කලේම මෙලෙස මගෙම ලෝකයක් හදාගැනීමය. එහෙත් මේ වැඩබිමකි. මට ගෙදර යන්නට ඕනෑය, අනෙක කළුවරද වැටෙමින් තිබේ.  එහෙත් ඒ කිසිවක් සිදුවන පාටක් නැත. අම්මාට මා අමතකව ගොස් ඇත්තේය. අය්යා තවම ගෙදර නොආ ඉන්නට විදියක් නැත.එසේත් නැත්නම් මෙය ඔවුන්ගේ කුමන්ත්‍රණයකි. මා මෙහි එවා සදාකාලික ලෙස මා තනිකරන්නට ඔවුන්ට ඕනෑ වී ඇත. මා ඉපදුනු දා සිට ගෙදර කරදර බව සිටි ගමන් අය්යලා අක්කලා තරහාවූ විට කීවේ ඇත්තක් බව මට තේරේ. දැන් ඔවුන්ට ඕනෑ මගෙන් නිදහස් වන්නටය. මම හිත ඇතුලෙන් කෑ ගගා ඇඩුවෙමි. මේ අපායේ මට ඉන්නට ඕනෑ නැත. මා අම්මාට ආයාචනා කලෙමි. මා ගෙන්නා ගන්න කීවෙමි, මා ගෙන්නා ගතහොත් අම්මා කියන විදියටම ඉන්නා බවට පොරොන්දු වුනෙමි. ඉරිදාපොළේවත්, දෙල්කද ඇලේවත් රස්තියාදු නොගසනබවට පොරොන්දු වූවෙමි. කන්නට අඩුපාඩු වූ විට මදුරාවතී නැන්දලාගේ වත්තට ඇසෙන්නට කදුළු පෙරාගෙන කෑමොර දෙන්නේ නති බවට දිවුරා කීමී.

එහෙත් මගේ හිත ඇතුලේ  කෑගහන අඩන විදවන කොල්ලා පේන්නේ නැති කවුරුත් තම තමන්ගේ වැඩය. හාමුදුරුවන් එලව්ළු මල්ලක් දිගඇරගෙන සද්දයක් නැතිවම වැඩය. ලිපේ බත් මුට්ටියකි. බදාම ඇනූ ගෝලයා පරිප්පු හෝදන්නේය. එසැනින් රෑ කළුවර වැටුනේය. වැඩ බිම නිසල විය. හාමුදුරුවන් මවෙත සරමක් දිගු කොට නාගෙන එන්නැයි කීවේය. මම බියෙන්ද, කලකිරීමෙන්ද, ශෝකයෙන්ද පෙලෙමින් නෑවෙමි. වතුර උස ටැන්කියක සිට බටයක් ඔස්සේ ඇද හැලුනේය. මම ඒ වතුර අස්සේ මගේ කදුළු වැටෙන්නට අතහැරියෙමි. ඇස් වසාගෙන කදුළු වටෙන විට කදුළු වල රස්නයක් දැනෙන්නේය. මම ඒ රස්නයෙන් උණුසුමක් වින්දෙමි. අවුරුදු දොලහක විතර වන කෙට්ටු තලෙළු කොල්ලෙකුට වැටෙන කදුළු ඒ පන්සල් බිමේ ලොකු වතුර පහරක් සමග බිම ඇද වැටී නොපෙනී ගියේය.

එහෙත් බුදුහාමුදුරුවන් හිමින් හිමින් අදුරේ එනු මට පෙනින.
ඒ මගේ අම්මාය.

මේ රෑ බෝ වීත් අය්යා ආවේ නැති නිසා අම්මා මා ගෙන යන්නට පැමින තිබේ. මගේ බුදුන් සමග ඒ වැඩ බිමෙන් එනවිට අපට ලොකු මල්ලක් පිරෙන්නට බඩු බාහිරාදිය ලැබී තිබුනත් හාමුදුරුවන් මැටියෙන් තැනූ බුදු  පිළිම අරන් යන ලෙස මතක් කලත් මගේ මම එය උපේක්ෂාවෙන් අමතක කොට අම්මාගේ අත තදින් අල්ලා ගතිමි.
මගේ ගෙදර බුදුන් සමග මම ඒ වැඩබිමෙන් සදහටම එන්නට ආවෙමි.එන අතරතුර අම්මා විස්තර ඇසුවිට කිසිත් නොකියා 'මුකුත් නෑ..'කීමී. අම්මා කියා දුන් පාඩම අනුව ඇගේ හිත නොරිද්දුවෙමි.   මගේ රිදුනු හිත අමතක කලෙමි.

Friday, January 20, 2017

මගේ ලියන්නා සහ මට හිතෙන හැටි

මට යමක් ලියන්නට පුලුවන් වන්නේ කම්මැලි, පාළු, ශෝකී හැගීමක් ආ විටය. සතුටු හැගීම් ආ විට මගේ ඔලුවේ ඉන්නා ලියන්නා පලා යයි. දුක වේදනාව දැනුනු විට මගේ හිතේ ඉන්නා ලියන්නා මොලයට පලා ගොස් 'දැන් ලියනු..දැන් ලියනු..' කියයි. ආදරය සතුටුදායක එකක් වුව ඒ  හැගීමද මා දමන්නේ මේ ශෝක  ලියන්නාටය. ඒ නිසා මා නිතර අහන, කියවන , දකින මේ අපූර්ව ගීත, ඉල්ලීමක් කල සැනින් ලියන අය, කවි ලියන අය හිතූ හිතූ විට ලියන ලියමන් මගේ විශ්මයේ කොටසකි. ඔවුන්ට ඇත්තේ හැකියාවකි. මට එහෙම එකක් තියනවා කියා මා හිතන්නේ නැත.

මා කළින් වතාවක කිව්වා සේ  මගේ 'හැටි' එහෙම නිසා අවුරුදු දෙකක් පමණ කිසිත් නොකර එක වැඩක නිරතව උන්නෙමි. ඒ නිසා මට බොහෝ දේ ගිලිහී ගියේය. නැවැත ලියන්නට  ගත් උත්සාහය  එළිපෙහෙළි කර දුන්නේ මගේ මිතුරෙකි. ඒ නිසා මම නැවැත ලියන්නාට ආරාධනය කලෙමි.

එහෙත් මගේ පළමු ප්‍රශ්නය මගෙන් නොඅසා අම්මාගෙන් අසා තිබුනේ ලොකු පුතාය. ඒ අනුව ' තාත්තා දිගටම ලියයිද..? නැත්නම් බැරි තැනක් ආවොත් නොලියා අතහරීද..!..' යනු ඔහුගේ ප්‍රශ්නය මා සිනාවෙන් බාරගතිමි. මට ලියන්නට හැකිය. මා මෙතෙක් ලියාගෙන ආ ස්වරය වෙනස් වූවත් මා දිගටම ලියමි. මගේ ජීවිතයේ සුන්දර 'පර වැඩ' හැරෙන්නට 'පාහර වැඩ' නැත්තේය කියා හිතන නිසා මට හංගාගෙන ලියන්නට දෙයක් නැත. මා සැමවිටම අනෙක් අයට කැපය කී දේ කලෙමි. එහෙම බැරි වූ විට වාද නොකර ගොස් අතුරුදන් වුනෙමි. (මේ අතුරුදන් වීමෙන් මට නැතිවූ බොහෝ දේ ගැන මම නොතැවෙමි. එහෙත් ඒ නිසා නැතිවූ මගේ ආදරණියයන් ගැන නම් තැවෙමි. )
දෙවැනි ප්‍රශ්නය මගේ ගජයෙකුගේ බිරිදකගෙනි. ඇගේ සරල නිදහස් කමට මගේ මිතුරාගේ 'සීතල' කමට වඩා මම ආසා බව මම කියා ඇත්තෙමි. ඈ මගේ බිරිද ඉදිරිපිටම ' මේ ලියන්නේ ඇත්තමද..?' කියා ඇසුවේ එහෙමත් නොවෙන්නට ඇති කියන ඇස් දෙකකිනි. එහෙත් මම ඇයට, මා මෙතෙක් ලීවේ ඇත්තම බවත්, එහෙත් ඒ හැමදෙයක්ම මා අත්විදි ආකාරයෙන් ලියා ඇති නිසා වෙනත් කෙනෙකුට එය වෙනස්ම ලෙස පෙනෙන්නට පුලුවන් බවත් කීවෙමි. . (මා සුජීව ප්‍රසන්න ආරච්චි තරම් දක්ෂයෙකු නොවන වග කී විට ඈ සිනාසුනාය.) කෙසේ වෙතත් ඇය මට හිතෙන හැටි ආසාවෙන් කියවන නිසා දිගටම ලියනවා කීමී. එවිට මා කොතැනක හෝ හිතළු ලියා ඇත්නම් ඇයට ප්‍රශ්න කල හැකි බවත් කීමී.

තෙවැන්න මගේ තවත් මගේ මිතුරියකගෙනි. ඇයට අනුව ''ශේක්ස්පියර්ටත් කියාගන්නට බැරි ආදර කතා, අර කතා මේ කතා තිබුණාලු, ඒ නිසා දන්නෝ දනිති..අපි නොදනිති.." කියා ඇය මතයක් ඉදිරිපත් කලාය. මම ඇයට කිසිත් නොකියමි. මන්ද මට කියාගන්නට බැරි කතා නැත. මගේ කතා සියල්ලම මම දනිමි. හොදින් දනිමි. අවාසනාවකට මගේ ලගම අය දන්නේ හරි අඩුවෙනි. ඒ මම අඩුවෙන් කතා කරන නිසාවෙනි. ඒ නිසා ඇගේ අභියෝගය බාරගනිමි. මගේ ලියන්නා හුස්ම ගන්නට අමතක කරන තුරු ලියමි. ..මගේ ජීවිතයෙ උන් අය, නැති අය, හිටි අය, දන්නා අය, දන්නා බව හිතා හිටි මුත් මෙලෝ දෙයක් නොදන්නා අය ගැන ලියමි.

එහෙත් මා අතින් කිසිදා නොලියවෙන මගේ දෙවැනි අක්කා ගැන නොඅසා සිටින්නටයැයි මම අයදිමි. ඇය කුඩා දරුවෙකි. මා ගෙදර යන හැමදාම මගේ අත අල්ලාගෙන මගේ ඔලුවට ඔලුව තබාගෙන 'මගේ මල්ලී..' කියන්නීය. මහගෙදර නමිනං ගහේ ගෙඩි ටිකද, පොල්ගස්වල හොදම පොල් ටිකද පේර ගස් දෙකෙන් රතු පේර ගහේ ගෙඩි ටිකද, තැඹිලි ගහේ තැඹිලි ටිකද ' මල්ලී එනකං' කැඩෙන්නේ නැත. පොල් ලෙලි ගසා ගෝනිවල එක්කාසු කොට වෙන කාටවත් දෙන්නේද නැත. ''ඔන්න මං ඔයා ගැන ලිව්වා..'' කියා අඩුම තරමේ කියවා තේරුම් කරදෙන්නටවත් හැකියාවක් තිබුනානම් ඈ ගැන මට මාගලක් දිගට ලියන්නට දේ ඇත.

මගේ ලියන්නා ඔය විදියට සීරුමාරුවේ නැවැතුනු තැන සිට ලියන්නට තීරණය කොට ඇත්තේය.

එහෙත් මගේ කතාවෙන් කිසිම කෙනෙකුට හානියක් වන්නට නොදෙමි. මා ආදරය කල ගැහැණුන්ට මිනිසුන්ට මෙන්ම , මා විසින් වෛර නොකරන එහෙත් අතහැරදමන ලද මිනිසුන් ගැහැණුන්ට හානියක් වන කිසිදු දෙයක් නොලියමි. මා හිතන්නේ ගෙවුණු ජීවිතය සුන්දර එකක් බවය. ගෙවුනු ජීවිතයේ හමුවූ සියලුම දෙනා සුන්දර බවය. ඒ ඒ මොහොතේ මා විවිධ භූමිකා රගපෑවද පසුපසු හැරී බලන්නට තරම් සුන්දර අතීතයක් මට හිමි බව මට හිතෙන්නේය. ඉදින් හෙටින් පසු නැවැත මගේ ලියන්නා වැඩ පටන් ගනු ඇත. ඔහුට සිත්සේ ලියන්නට ඉඩ හරිමි.

ඒ මට හිතෙන හැටිය...

Friday, January 13, 2017

පොඩි අය්යා (56)


වැල් කැඩුණු හාන්සි පුටුවට වෙලා කළු සුරුට්ටු දුමින් හිත කය මත්කරගන්ඩ හදන මොහොතක මගේ පරණ යාළුවන් ටික මතක අස්සෙන් ඇවිත් මාව වටකරගන්නවා. කිසි බැරැ හැබැරක් නැති සිතින්, කයින් , සැහැල්ලු සිනාවෙන් ඔවුන්ගේ තරුන මුහුණු ආනන්දනීය ජවයකින් ඔප් නැංවිලා. උන් මට නිදැල්ලේ අලස සුව විදින්නට දෙන්නේ නෑ. කිසිදාක අමතක නොවන උකුළු මුකුළු වලින් කූද්දලා මාව ඇදගෙන යනවා ඈතට. ඈතින් ඈතට ම ඇදගෙන ගිහිල්ල මාව තල්ලු කරනවා මගේ පරණ ගුහාවට.

සුමන ආලෝකබණ්ඩාර - සුමන මතක - දුෂ්ටයා

එක පාරක් කියවපු 'සුමන මතක' ආයෙත් කියවනකොට මාවත්, මගේ යාළුවෝ.. නෑදෑයෝ... ආයෙත් මගේ ගුහාවට ඇදගෙන ඇදගෙන යන එක නවත්තනනම බෑනේ. මට කළු සුරුට්ටු මිස් වෙනවා වගේ ගතියකුත් තියනවා. බියර් එකක් තිබ්බා නන් කියලත් හිතෙනවා. ඒත්  ඒ පුරුදු ඈත් කරපු එක ගැන, 'සතුටු වෙන අය' දැක්කම එක අතකට හොදයි කියලත් හිතෙනවා.

රොමානිස් අය්යා නැත්නන් කාටත් 'පොඩි අය්යා' වෙච්ච කෙනා මට මතක කාලෙත්, අවුරුදු හැට හැත්තෑව පැනැලා. එතකොටත් කකුලක් නොන්ඩි ගහ ගහ කොසුපොල්ලකින් හදාගත්ත හැරමිටිය උලුක් කරන් මගේ පස්සෙන් පන්නන්නේ මම හොදම ගතිගුණ තිබිච්ච අහින්සකයෙක් නිසා වෙන්න ඇති. 'පොඩි අය්යා' අපේ සීයගේ අක්කා කෙනෙක් වෙච්ච කෙනෙක් හදාගත්ත ළමයෙක්. ඒ ලමයා අන්තිම කාලේ අපේ සීයලට සින්න වෙච්ච එක ගැන මට  තියෙන්නේ අපේ සීයල ආච්චිලාගේ හිත හොද ගති ඇතිකම ගැන ආඩම්බරයක් මිස දුකක් නෙමෙයි. අපේ ගෙදර ඔහොම ගොදක් අය හිටියා මට මතකයි. ටේච්චි, ටේච්චිගෙ දුව ඉන්ද්‍ර අක්කා ඒ අතර අපේ ජීවිත වල කවමදාවත් අහක දාන්න බැරිවෙන්න හිර වුනු ඇත්තම 'මිනිස්සු'. ඒ මිනිස්සුන්ට අපට යමක් කරන්න බැරිවුන එකට හේතුව එගොල්ලො මැරෙනකමුත් අපි පුන්චි දුප්පත් මිනිස්සු හින්දා. අපේ සීයලට ආච්චිලට තිබුනේ ලොකු හදවත්... අපට වගේ මේ මල ඉලව් පොඩි දේවල් වලට නෙමෙයි ජීවිතේ මහා පරිමාන දේවල් වලට ගැහෙන හදවත් තිබුණු නිසා කියල හිතන එකත් සැපක්.  ඒ හිත හොදකම ගොඩාක් ක්ෂය වෙලා තමයි අපට ලැබිලා තියෙන්නේ.

පොඩි අය්යාගේ කොණ්ඩේ මාර පිළිවෙලයි. පස්සට පීරලා බෙල්ල ගාවට හැම තිස්සෙම පනාවකින් පීරනවා මට මතකයි. ඒ මනුස්සයගේ ඇස් පෙනීමත් අඩු අන්තිම කාලේ ඒ පනාවට තීන්ත කූඩුවෙන් තීන්ත හලල  පොඩි අය්යා කොණ්ඩෙ පීරණකොට පේන්නේ නැති නිල් පාට.... වතුර ගාලා ස්ටයිල් කරනකොට මතුවෙලා සුදු කොණ්ඩේ නිල සුදු කොම්බිනේෂන් එකක් වෙද්දි ' දයා උබට ඉන්නේ කොල්ලො නෙවෙයි කොලු පියාලා..වේසිගේ පුතාල...' කියද්දිත් අපේ අම්මා හ්ම් කියන්නේ නැතුව නිස්සද්ද ඉන්න එක අපේ අම්මා අපට ඉගෙන්නපු පාඩමක්.
සමහර වෙලාවට  පොඩි අය්යා ඉවසන් ඉන්න බැරිම තැන තාත්තට කියල තාත්තා පළු යන්න බනිද්දි,  'හා.. හා.. ඔය කොල්ලන්ගේ කොලුකම'  කියන්නත් පොඩි අය්යට ලොකු පපුවක් තිබ්බ එක අද බලනකොට හීනයක් වගේ.
පොඩි අය්යට මොකක්දෝ විහිළුවක් කරල අපේ දෙවැනි අය්යා අඹ ගහට නැග්ගලු. පොඩි අය්යත් අත අරින්නේ නැතුව අඹ ගහ යට අර පොල්ලත් තියාගෙන වාඩිවුනා විතරයි අපේ අය්ය ඔලුවටම සුලුදිය අතහැරියලු. ඉතින් මේ කතාව අද අම්මා කියන්නේ පොතේ ලියලා ඒකත් තුරුළු කරන් විනාඩි දෙක තුනක් හිනාවෙලා ඉවර වෙලා. ඒත් අපට අම්මට ඊට වඩා හිනාවෙන්න ඉඩදෙන්න බෑ. එයාට හිනාවෙලා හිර වුනොත් ලොකු අමාරුවක්. ඒ අමාරුව එයාට වඩා අපට දැනෙන එක ඊටත් වඩා කරුමයක්. අවුරුදු හැත්තෑපහකට වඩා කතා කර කර ඉදලා හිනාවෙලා අද පෑනක් කොලයක් නැතුව හැගීමක් කියාගන්න බැරි එක ඒ මනුස්සයගේ කිළුටු ගවුමේ හේත්තු වෙලා මාර උණුහුමට නිදාගත්ත අපට, අපේ ජීවිත වල කරපු පව් ගෙවීමක්.

පොඩි අය්යා බයිසිකල් රෙපෙයාර් කරන වින්කලයක් දාගෙන හිටියාලු කාලයක් . මට  නං මතක නෑ. හැබැයි ලොකු අය්යාට මතක ඇති. අපේ අම්මා ඒ දවස්වල අපේ පිගන් හතටයි, පොඩි අය්යටයි, ටේච්චිටයි ,ඉන්දා අක්කටයි බෙදල තාත්තට වෙනම බෙදලා එයාටත් බෙදා ගත්ත  කියලා හිතනකොටත් මට නිකන් මහ මෙරක් වගේ. ඔය මනුස්සය සමහර විට කන්නත් නැතුව ඇති.
(මම කවමදවත් බිත්තර බාග කාල නෑ. අපේ මුළු පවුලම කෑවේ බිත්තර බාග. ඒත් අම්ම මට විශේෂයෙන් සැලකුවා. ඒක මගේ ජීවිතේ කවර කිසිම දාක ගෙවාගන්ඩ බැරිවේවි. ඒක  පුදුම දෙයක්.)

ඉතින් පොඩි අය්යා කවමදවත් පිගාන හම්බවෙච්ච ගමන් අපි වාගේ ගිල දානවා මම නන් දැකලා නෑ. හැමදාම ඉස්තෝප්පුවෙ ඉදන්  'දයා....උඹ කෑවද...' අහනවා. අපේ අම්මගේ උත්තරේ 'පිස්සුද පොඩි අය්යේ මං බෙදාගන්නේ නැතුව ඔයාට බෙදනවද...'

ඒ උත්තරේ ලොකු බොරුවක් ...

පොඩි අය්යට කාගේ කාගෙත් සල්ලි හම්බවුනා. පොඩි පොඩි සල්ලි. එයත් තාත්තා වගේ අත්දිග කමිසෙ අත නවලා ඒක අස්සෙ හන්ගන් හිටියා. තාත්තට කියල අස්සයෙක් අල්ලගන්ඩ කීයක් හරි දුන්නොත් මිසක අම්මටයි ආච්චිටයි විතරයි ඒකෙන් ලෝන් පාස්වුනේ. අපිව අරහන්.

පොඩි අය්යා අසනීප උනා මට මතකයි. අපි කළුබොවිල එයාව නතර කලත් ගොඩ දාගන්න බැරි උනා.එයා මැරෙනකොට එයා ගෙනත් ඉතුරු කරල තිබුනේ රෝල් කරපු පැදුරකුයි, වතුර ගගා කොණ්ඩේ හදලා කලු වෙච්ච කොට්ටෙකුයි ඇදුම් කඩමාලු දෙකකුයි විතරයි. ගෙදර ලොකු අයත් අසල්වැසි අයත් අපේ එදා තත්වෙ දැකල අය එයාව එහෙමම බූමිදාන කරමු කිව්වම අපේ දෙවනි අය්යා ලොකු නාඩගමක් නැටුවා මට අද වාගේ මතකයි. 'උබල ඔක්කොම ඒ මිනිහව  ඉස්පිර්තාලේ පිට්ටනියේ වල දාන්ඩ ලෑස්ති වුනත් මම තනියෙන් හරි පොඩි අය්යගේ මිනිය ගේනවා ගෙදරට......'  කියලා මහ හය්යෙන් ඒ අදහස ගෙනාපු අයව සරෙන්ඩර් කරා මට දැනුත් ඇහෙනවා වගේ.

අන්තිමේ මම දන්න  පලමු මලගේ අපේ ගෙදර සිද්ද වුනා.

එදා පොඩි අය්යගේ ඔලුවට හුජ්ජ කරලා වේසිගෙපුතා කියල බැනුන් අහපු අය්යාත් ඩග්ලස් අය්යාත් පොඩි අය්යගේ දෙන උස්සගෙන උඩහමුල්ල කනත්තට යනකොට සෙනග ගොඩක් හිටියා. ඒත් මට මතක සිදුවීම් දෙක තුනයි. එකක් අපේ ආච්චි, අපේ අම්ම, 'පොඩි අය්යේ..' කියල ඇඩුවා. අය්යලා ඇස් පිහද පිහද දෙන උස්සන් ගියා. මම හරකෙක් බැදපු කරත්ත බාගෙක පොරියි වැලියි කලවන්කරපු සත පහේ දහයෙ ඒවා හොය හොය වැලි ඉහ ඉහ ගියා මතකයි.

අන්තිමේ ගෙදර හරි මූසල ගතියක් තිබ්බා..අපි හැමෝම ඉස්තෝප්පුවෙ පරණ ආගිය කතා අහ අහ රෑ දෙක තුනක් ගත කලා...

සුමන කියනවා වගේ ඒ ගුහාව ගුහාවක්ම නෙමෙයි...

Tuesday, January 10, 2017

ගිරා පුතා.. (55)


ගිරා පැටියෙක් වැටුනේ යාපනේ බට් අඹ ගහේ උස්ම අත්තක සිටය.

මම ගිරා කූඩු හොයන්නට ගහේ කරටියටම නැග්ගෙමි. අපෙ ගෙදර නවාතැන් ගෙන උන් 'පොඩි අය්යා' මට කොචොක් හිනාවක් දා කොසුපොලු හැරමිටිය උළුක් කලේය. ඒ 'ගිරා කූඩු කොහෙද බන් ගස් මුදුන් වල..' කියන්නා මෙනි.

මට එකල පොඩි අය්යා පෙන්නන්නට බැරිය. ඊටත් වඩා මාව පොඩි අය්යාට වහකදුරු මෙනි. පොඩි අය්යා අපේ ගෙදර නේවාසිකයෙකි. කොන්ඩේ සුදුම සුදුවී කර ගාවට වැවී හැරමිටියකින් යනකාලේ පවා අර කොසුපොලු හැරමිට්ටෙන් මා බයකර උන්නා මතකය. ඒ නිසා අවුරුද් හැත්තෑවකටත් වඩා වයස මේ මනුස්සයා ඇවිස්සීම මගේ දිනපතා රාජකාරී වලින් එකක් විය. ඒ හැම වාරයකම පොඩි අය්යා 'දයා..මේ වසවර්තියා මගේ අතින්  මැරෙණවාමයි..!' කියා අම්මාට දොස් කිව්වේය. (තාත්තා අම්මාට කතා කලේ දයා කියාය. දයා , පුන්චී.. අක්කා.. ඇන්ටී ලෙස බෙදාගත් අය වූහ.)
ඉතින් මා ගසෙන් බැස පොඩි අය්යාට ලගට එන්නට බැරි දුරකින් සිට  'නෑ මං හෙව්ව උඹේ බොම්බමොටයි කොණ්ඩේ අස්සේ ඉන්නවාදැයි' කියා දිව්වෙමි.
අම්මා මා සොයා විත් තරවටු කලේ පොඩි අය්යාගේ හිත හදන්නටය. එහෙත් එවිටත් ඈ අර ගිරා පැටියා ගැන දුක්වෙමින් උන්නාය. ඉගිල්ලෙන්නට ඔන්න මෙන්න කියා තිබියදි පොඩි වැරදීමකින් බිම වැටෙන්නට ඇති, ගිරා පැටියාගේ අම්මා අනිවාරයෙන්ම පැටවා සොයා එනු ඇතැයි අම්මාගේ තර්කය විය. එහෙත් මගේ හිත ඇතුලේ වෙන තර්කයක් වැඩ කලේය. ආනන්ද අය්යාගේ 'දාන මඩුවේ' ලොකු දැල් කූඩුවක් තිබේ. එය අනිවාරයෙන්ම මට ඉල්ලා ගත හැක. ආනන්ද අය්යලාගේ වත්තේ  මගේ අඹ ගහේ අඹත් ඒ වත්තේම පේර ගස් වල පේරත් ඉදුණු කෙසෙලුත් තිබේ. තවත් මොන අඩුපාඩුවක්ද....! මා මගේ තීරණය අම්මාට කීවෙමි. එහෙත් අම්මා තවත් අම්මා කෙනෙකුගේ දුක දැනෙන්නට ඇත. 'පවු ලමයෝ... ඔය සතාව හොයාගෙන කිරිල්ලි එයි' කීවාය. මම ඇගේ කීම ඇසුවෙමි.
මේ ගිරා පැටියා ගෙල වට කොට ලා රතෙන් වැටුනු මාලයක් ඇත්තේය. සිහින් වකුටු ගිරා හොටෙන් මගේ ඇගිලිතුඩු අල්ලාසිටින විට මට දැනෙන්නෙ මා අතැර නොයන වගට කෙරෙන ආයාචනයක් මෙනි. අනෙක මගේ අත්ලේ හරිබරි ගැහී වාඩි වී අර සියුම් නියපොතු තදකරමින් උණුසුම සොයන්නේ මේ මගේ නවාතැන මෙනි.
අප තීරණ ගනු ලබන සීමාව තීරනය කරන්නේ බුද්ධිය දැනුම හා වටපිටාව මෙන්ම  කිසිම වැදකට නැති හැගීම් බව එදාද මට පසක් වූයේ නැත. එහෙත් මම ගල්කැට කිහිපයක් ගෙන මධුරාවති නැන්දාගේ ගෙයි වත්තේ පොල්ගහක බෙනයක් අස්සේ කෑ ගසමින් උන් ගිරවෙකු පන්නා දමුයෙමි. උගේ තිබුනේ මහා කන්කරච්චල හඩකි. අනෙක නොනවත්වාම ඌ කැ ගසමින් මා හිසට උඩින්ද පියඹා යනු මට ඇල්ලුවේම නැත. අන්තිමේ ඌ මා හා සටන ඇතැර පලාගියේය. මම ගිරා පෝතකයා කුඩා පෙට්ටියක බහා අම්මාට බලාගන්නට දී ආනන්ද අය්යාගේ දැල්කූඩුව ඉල්ලාගෙන විත් අපේ ගෙදර කුඩා ඉස්තෝප්පුවේ කණුවේ එල්ලූවෙමි. අර ගිරා පෝතකයාගේ නවාතැන එය විය. එහෙත් මේ ගිරා පෝතකයා ටික වෙලාවක් යන්නට පෙර නොන්වත්වා කැගසන්නට විය. ඉන් ඇහුරුණේ පොඩි අය්යාය. එවරද මා ගැන අම්මාට අවනඩුවකි. මෙවර නම් මා ඉවරයක්ම කරන බවට පොඩි අය්යාගෙන් ප්‍රතිඤාවකි. අම්මා ඒවෙලාවෙත් මා සහයට ආවාය. අප පෝතකයා එලිඅයට ගෙන අම්මාගේ ඔඩොක්කුවේ තබාගෙන කෙසෙල් ගෙඩියක් අතින් පොඩිකර කැව්වෙමු. ඌද බඩගින්නේ ඉන්නට ඇත.
අන්තිමේ අම්මාගෙන් පටන් ගත් ගිරා ආදරය මුලු පවුලටම බෝ විය. තාත්තා වැනි වැනී වුව කෙසෙල් ගෙඩියක් අඹ ගෙඩියක් අරන් ආවා මට හොදට මතකය. ඉන් කෑල්ලක් කපා කූඩුවේ දැල් අතරින් ඔබා ඉතුරු ටික මගේ අත තබන්නේය. එහෙම තබා කූඩුව අස්සේ එහා මෙහා පනින ගිරා පෝතකයාට ඔහුගේ ප්‍රියතම ගීතය වන  ' අය්යා මල්ලී වාගේ' මහ හඩින් ගයන්නේය. දෙවැනි අය්යා මටත් බැන බැන හත්දවසකින් මේ කූඩුව සුද්ද කර නැතැයි කියමින් ඉරිදා දවස්වල පෝතකයා පෙට්ටියක දමා කූඩුව මදුරාවතී නැන්දාගේ ලිං මිදුලේ දමා සුද්ද කරන්නේය. අක්කලා පමණක් නොව වයසක  පොඩි අය්යාද දවස පුරාම මේ පෝතකයා සමග කතා කරන්නේය . උරුවම් බාන්නේය.

අන්තිමේ ඌ අපේ පවුලේ එකෙක් වුනේය.
අම්මා නිසා පෙත්තා 'පුතා' විය. ඌ පුතා කීවොත් මිස පැත්ත හැරී බැලුවේ නැත. ඒ තරමට මහා ආඩම්බරකාර  පුතෙකු විය.
පවුලේ එකෙක් වී කෙසෙල් නොකා අඹ විතරක් කන්නට පුරුදු වූයේය. වෙනදා ලොකු හයිකාරකං පාන බාප්පා පවා ඌට කරතකොලොම්බන් ගෙනවිත් දුන්නේය. ඒ ගෙඩියේ ඉතුරු කෑලි ලොකු අම්මාගේ දුව හොර පාරේ මටත් එවන්නීය.  මෙහෙම කාලයක ගිය විට මේ පෝතකයා හොදින් හදී වැඩී අම්මා එහා මෙහා වන විට ..දයා..දයා.. කියන්නටත් පෙත්තා බත් කෑවා නොකියා 'පුතා බත් කෑවා 'කියන්නටත් පුරුදු වී සිටියේය. අම්මා කූඩුවෙන් ඇගිල්ලක් දිග් කල විට ඌ හිසෙන් පිරිමදින්නට තරම් අම්මාට ආදරය කලේය.

ඒ සියල්ල අතරේ කොහෙන්දෝ වැටුණු ගිරා පෝතකයෙක් නිසා අපේ ගෙදර නිදහස් වටපිටාවක් ඇතිවෙමින් තිබුණේය. තාත්තා ගෙදර විත් අර ගිරවාට දේශපාලන පන්තියක් කරන්නේය. එහෙම කරන ගමන් ' තෝ අහන් හිටියාට මුන් එකෙක්වත් මේවා අහන්නේ නැතය' කියා අපට බයින්නේය. 'මේ ගිරවුන් දෙන්නාගේ ජෝගි..!;  කියමින් සරං කොට ඇදගෙන, ඇදන් උඩ නැගගෙන හිනාවෙන අපේ ගෙදර අය මට මැවී පෙනේ. එහෙම කාලයක් අපටත් තිබුනා නේදැයි මට දැන් මතක් වන විට දුකක් දැනෙන්නය. එහෙමම තිබුණානන් එක්කෝ හොදය කියා වෙලාවකට හිතෙන්නේය.
එහෙත් එක දව්සක මේ සියලු සතුටු  නිමා විය. තාත්තා ගෙදර ආවේ සින්දුවක් කියමිනි. අන්තිමේ කූඩුවේ දොර හැර 'පුතා' ගන්නට ඇත්තේ හිස අතගාන්නට වෙන්නට ඕනෑය. එහෙත් පුතා එසැණින් පියඹා අඹ ගහේ වැහුවේය. අම්මා පුතා.. පුතා.. කියද්දීත් අසුරු සැණින් කලුවර අහසට නැග අතුරුදහන් විය.
තාත්තා එවැන්නක් බලාපොරොත්තු වූවා යැයි මා නොසිතමි. එහෙත් එය සිදුවිය.
අපේ ගේ මල ගෙයක් විය. ඇරුණු කූඩුව සති ගනනක් එහෙමම තිබුණේය. අම්මා කදුලු පෙරමින් ඇඩුවාය. තාත්තාටද බැනවැදුනාය. අන්තිමේ මදුරාවති නැන්දා පැමිණ  අප සැමටම බැන වැදුනාය. ගිරවෙක් වෙනුවෙන් මෙහෙම ගෙයක්,  මල ගෙයක් කරන්නට එපා යැයි දොස් කීවාය.
ඉන් සතියකට පසු අපේ පූසි  පැටවුන් දෙන්නෙකු දැම්මාය. අම්මා මේ පූසියගේ හැටි දනී. ඌ පැටවුන්ට කිරි දෙන්නේ නැත. මම ඊලග රාජකාරිය පටන් ගත්තෙමි.
ගිරවා ආපසු ආවේ නැත. අහම්බයකින් ඇරෙන්නට මට යලි ඌ මතක් වුනේද නැත.

Tuesday, January 3, 2017

නිල් ඕපල් (54)



මගේ ජීවිතයේ මිතුරන් බොහෝ දෙනෙකු ඉන්නේ යැයි කියා මා සිතමි. එහෙත් මගේ ජීවිතයට 'සමීපතමයන් ' ඇත්තේ අතලොස්සකි. ඒ අතලොස්ස මා වෙනුවෙන් කර ඇති අප්‍රමාණ කැපකිරීම් පිළිබද මගේ සිතේ වෙනමම තැනක සටහන් තබා තිබේ. මේ මගේ පවුලේ අය මා වෙනුවෙන් කර ඇති අපිරිමිත සෙනෙහසට අමතරවය.
ඇත්තෙන්ම අද මා සටහනක් තබන්නට අදහස් කර සිටියේ නැත. එකක් නම් මෙහි දේශගුණය අතිශයයෙන්ම මා ඇදට කොටුකර තබන නිසාවෙනි. අනෙක අන්තර්ජාල සබදතාවේ අතිශය දුර්වල කමයි.
(ඇත්තෙන්ම මා ලියන්නට පටන් ගත්තේ අටංපහුරේ අටංගේ පෝස්ටුවකට දීර්ඝ කමෙන්ටුවෙකි. එහෙත් හදිසියේ මගේ ෆේස්බුක් පිටුවට ආ පණිවිඩයක් මා කොටුකර තිබූ දැහැනෙන් මුදවාලීය.)

 පණිවිඩය එවා තිබුනේ පිටරටක ඉන්නා මගේ මිතුරෙකි. ඔහුගේ කීමේ හැටියට මගේ ලියමන 'මාරය'. මට ඔහු මතක් වී මගේ ජීවිතයේ 'මාරම'  කාලයකට හිත ඇදී ගියේය. ඔහු වෙනුවෙන් මා 'මාර' කට්ටක් කෑවෙමි. එහෙත් අවසාන මොහොතේ ඔහුට මා 'මාර' නොවීය. ඒ ගැන මට දුකක් අතිවීම සාධාරණද නැද්ද යනුද මා නොදනිමි. ඔහු ජීවිතය ගොඩදාගන්නට කට්ටක් කන්නෙකි.  ඒ සියල්ල නිමවී නිදහසේ සිතන්නට පුලුවන් වූ දවසක ඔහුට මට ඇතිවූ 'මාර' හැගීම මතු නොවේවා යයි පතමි. මන්ද ඒ හැගීම හිතට වදයකි.

එහෙත් මේ වෙලාවේ මගේ යාලුවන් කවුදැයි මට මතක් කරදීමෙන් ඔහු කල වැරද්දක් නැත.

මේ මගේ එක යාලුවෙක් ගැනය.

මා ජයසින්හෙන් ආ බව කියූ විට කිසිම කෙනෙකු ඒ ඉස්කෝලේ තිබ්බේ අටේ කනුවේ කියා දැන හිටියේ නැත. සමහරුන් මා ආවේ කොහේදෝ ගම් පලාතකින් බව කියා හිනාවුනේ මටත් හිනා ගස්සවමිනි. අලුතෙන් ගත් කොල්ලන් පන්ති දෙකකට බෙදා තිබුනු අතර මේ බොහෝමයක් දෙනෙක් හතර පස්දෙනා වසයෙන් ආවේ එකම ඉස්කෝලවලින් නිසා කල්ලි ගැහී සිටියෙන් මට කල්ලියක් තිබුනේ නැත. එහෙත් ඉස්කෝලේ මගේ පළ්මු මිතුරා නිල්පාට ඕපල් කාර් එකේ තාත්තා සමග ආ කොල්ලාය. ඔහුගේ මල්ලීද ඒ සමග සිටි බව මට මතකය. අපි ඉක්මනින්ම මිතුරු වීමු. 
ඒ මිතුරුකම රදා පැවැතුනේ මා වචන තුන්සීයක් කියූ පසු එක වචනයක් පිටකරමින් එකගතාව පලකල නිසා වන්නට ඇත. ඔහු තරම් නිහඩ මිනිහෙක් මට අදද හමුවී නැත. ඒ මිනිහාගේ නිහඩකමම ඔහුගේ ජීවිතයේ සමහර දේවල් මග හැරීමට හේතුවූ බව මම සිතමි. එයට හේතුව ඔහු අදහස් වචන වලට පෙරලමින් පිට නොදා තමන් හිතන්නේ මොනවාදැයි අන් කෙනෙකුට ඇගෙන්නට නොදී තනිවම හිත ඇතුලේ විද දරා ගන්නා එකය. පිටින් බැලූ විට මාත් ඒ වගේම වුවත් මට සතුට දුක දෙකම පිටකරගන්නට සමීපතමයන් කිහිපදෙනෙකු ඉන්නේය. එහෙත් නිල්පාට කොල්ලා තනිවම හිතත් ඔලුවත් අතරේ තම දුක සතුට දෙකම ගුලිකර හන්ගා ගත්තේය. 
අප නිතර හමුවූ නුගේගොඩ බෝගහ ලග බාබර් සාප්පුවේ අපේ යාලුවන් මෙලෝ හසරක් නැතුව කියවද්දී ඔහු අත්දෙකෙන් අර සීතල යකඩ වැට අල්ලාගෙන වෙනමම ලෝකයක උන්නේය. ඒ මුහුණ තාමත් මට මතකය. එහි ඇත්තේ ශෝකයක්ද සතුටක්ද කීමට හැක්කේ දෙවියන්ට පමණකි. ඔහුගේ ලියවිලි ඇරෙන්නට අන් හැම දේකම මහා නොතේරුම්කමක් ඇති ගුප්ත හැගීමක් තිබුනේය. ඒ ගුප්තබව ඇත්තේ ඔහුගේ පවුලේ ඔහුටම පමනක් වීම මහා අරුමයකි. එහෙත් ඉන් අසරණ වූ කුඩාවුන් දෙන්නෙකු හැරෙන්නට වෙන කිසිවෙකුට අයහපතක් වනු මා දැක නැත. 
කෙසේ හෝ නිල් ඕපල් යාලුවා නිසා මගේ නින්දට තල්ලුවක් ලැබුනේය. අප කතාකරගත් පරිදි ඔහු අටේ කනුව පහුකරන විටම මා පාරේ සිටිය යුතුය. ඉන්පස්සේ රියදුරු අසුනේ ඉන්නා ඔහුගේ තාත්තා වාහනය නවතන්නේය. මම හනික එහි නගිමි. එවිට බස් වල හිරවී හෝ දාඩිය දමාගෙන පයින්ම යන්නට උදෙන්ම නැගිටින්නට වෙන්නේ නැත. 
ඔහුගේ තාත්තා හරිම ලස්සනය, හොදය. රැළි ගැහුණු කොණ්ඩය අකීකරු ලෙස ඔහේ සුළගට වැනෙන්නට දී එක අතකින් නිදහසේ හසුරවමින් එක අතකින් වාහනය එලවන ඔහු ඉතා ප්‍රියමනාප කෙනෙකි. අතෝරක් නැතිව ප්‍රශ්න අසමින් මා සමග දොඩමළු වෙමින් හිමින් සීරුවේ වාහනය පදවන්නේය. ඔහු එකල කොළඹ උසාවි සංකීර්ණයේ 'නීති පිලිසරණ සේවයේ ' රැකියාව කලේ නීතී ලිපිකරුවෙකු ලෙස බව මට මතකය. අප මේ කාර්යාල සංකීර්ණයට එක්කාගෙන යන දවස්ද තිබුණේය. එකල නිමල් සිරිපාල ද සිල්වා නම් මහත්තයෙකු අපට තේ වලට බනිස් ගන්නට මුදල් දුන්නාද මතකය. ඒ මහත්තයාට එදවස්වල ඒ තරම් වැඩ තිබුණේ කියා මට නම් දැනුනේ නැත. නීතී පිළිසරණ සේවය කාර්යාලයේ මේ මහත්තයා අපේ නිල් ඕපල් මිතුරාගේ තාත්තා සමග පැය ගනන් කතා කර කර ඉන්න අතරේ අප එහි වට පිටේ ඇවීදා මට හොදට මතකය. 
(89 අදුරු උදෑසනක මේ තාත්තාව කලුපාට ජීප් එකකින් ගෙනිච්චා මිස යලි ගෙනත් ඇරලුවේ නැත. ඒ ගැන මගේ යාලුවා කතා කරන්නේ නැති තරම්ය. ඒ නිහඩකම මම දනිමි.)

කෙසේ නමුත් කාර් එකකින් ඉස්කෝලය ලග බැස්ස ඉතා සීමිත පිරිසක් අතරට මමද එකතු වුනෙමි. අනෙක් උන් සියල්ලෝ පාහේ බස්වලින් මිරිකි මිරිකී ආ අතර, තවත් අය පයින්ම ආහ. ඉස්කෝලේ වටපිටාවේ උන් කිහිපදෙනෙක් අප යනවිටත් පැමිණ සිටියේය. ඒ අයගේ අම්මලාද ඕනැම විටක ඉස්කෝලේ පෙනෙන්නට හිටියේය. ඒ අය ගුරු සමිති, දෙගුරු සමිති, අර ප්‍රැක්ටිස්, මේ ප්‍රැක්ටිස් සදහා ළමයින් වෙනුවෙන්ම කැප වී සිටියේය. ඒ ගෙවල්වල බත් ඉදෙන්නේ කොහොමදැයි මම එදා කල්පනා කලෙමි.

එක අවුරුද්දක අප දෙන්නාම වඩුවැඩ විෂය අතැර චිත්‍ර විෂය තොරාගත්තෙමු. මටද යම් තරමක කලාත්මක හුරුවක් තිබුනාට ඕපල් මිතුරාට ඒ සදහා වූ සහජය හැකියාවක් තිබ්බේය. ඔහු ලොකු පන්තිවල ලමයින් පරයා චිත්‍ර ඇන්දේය. පහුකාලයක ප්‍රදර්ශනාත්මක රැස්වීම් සන්දර්ශණ පවත්වන පක්ෂයක දැවැන්ත වේදිකා නිර්මාණය කලේය. මගේ මතකය නිවැරදි නම් බොරැල්ලේ පුංචි තියටර් හී පිටත අලංකාරයටද ඔහු සම්බන්ධ වී සිටියේය.

 අප මේ මිතුරුදම් නිසා බොහෝ දේ කලෙමු. 
පාසලේ කලකට පසු දකින්නට ලැබුණු හොදම බිත්ති පුවත්පත කලෙමු. උදා රැස්වීමේ ගුවන්විදුලි සගරාවට කවි ලීවෙමු. විජේවීර මරා දැමූ පසු අත හිරිවැටෙනතුරු එය බොරුවක් බවත් අධෛර්‍ය නොවන ලෙසත් පොත්වල කොල ඉරා ලීයා පන්ති අතරේ යැව්වෙමු. 
එකලම අපේ සංගීත ගුරුවරිය වූ ප්‍රියා සූරියසෙන ගායකයාගේ ඉතාමත් ලස්සන ඉතාමත් අහින්සක ගුරුතුමියට 'අපි යන්නං මිස් වෙන කරන්න දෙයක් නෑ ..'කියා පන්තිය නවත්වා ගේට්ටුවේ එල්ලීගෙන පොලිසියට ගල්ගැසුවෙමු. 
නම දැන් සිහියට එන්නේ නැති නාට්‍යකරුවෙකුගේ 'ප්ලැටූන්' වේදිකා නාට්‍ය පෙන්වා, නය වී   දෙවැනි දර්ශණය නයට පෙන්වාගෙන, තවත් යාලුවෙකුගේ අම්මා කෙනෙකුගේ කරාබු දෙකක් උගස්තබා නයෙන් ගැලවී (කරාබු දෙක උගස් තබා අවශ්‍ය ගානටත් වඩා මදිවුයෙන්  ලුම්බිණියට එන්නට සල්ලි තිබ්බේ නැති නිසා) සෑහෙන දුරක් පයින්ම විත් ලුම්බිණියේ කණු වලට මුවාවී හති ලෑවෙමු.
අප ආරම්බ කල කලා කවයට වැඩසටහන් දියත් කිරීමට අධාර පිණිස, වෙනත් වෙළද වුවමනාවක් තිබු  පිරිසකගේ මැදිහත්වීමෙන්  ලන්කාවේ පලමුවරට එක පිට්ටනියක එක කොනක ජිප්සීස් සංගීත කණ්ඩායමද අනෙක් කොනේ සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමද මෙහෙයවූ සංගීත සංදර්ශණයක කොටස් කරුවෝ වීමු. (හේතුව මොකක්දෝ මතබේදයක් උඩ ඒ දෙගොල්ලන්ම එක වේදිකාවට ගොඩ වීම ප්‍රතික්ෂේප කිරීමයි. ) ඒ සංදර්ශනය සදහා නාවින්නේ රිචර්ඩ් පීරිස් ආයතනය ඉදිරිපිට එකල ඒ ප්‍රදේශයේ තිබූ විසාලතම දැන්වීම් පුවරුව අතින් ඇදි බැනර්වලින් පිරෙව්වෙමු.      
එකල පුරපතිව සිටි රත්නසිරි රාජපක්ෂ හමුවෙන්නට සති ගානක් තිස්සේ මාලිගාවත්තේ තට්ටු නිවාස වල බඩගා, කැමැති කරවා ගෙන්වාගෙන, ලංකාවේ පලමුවෙනි මුද්දර ප්‍රදර්ශනය කොලඹ මහජන පුස්තකාල ශාලාවේ දින තුනක් තිස්සේ පැවැත්වුවෙමු.  අප සූදානම් කරගත් දින දෙකේම අපේ ශාලාවට අල්ලපු විසාල ශාලාවේ නගරාධිපතිතුමාට එරෙහි වාමාංශිකයන්ගේ වෘත්තීය සමිති රැස්වීමක් තිබීම ඔහු දැන සිටියේ නැත. එහෙත් අන්තිමේ අප කලබලයක් නැතිව  අපේ වැඩේ කරගත්තෙමු. 
එයිනුත් නොනැවතී සුනිල් මාධව ප්‍රේමතිලක 'මනුස්සයාවත්' විනී හෙට්ටිගොඩ 'මහත්මයාවත්' එකතුකරගෙන දීපව්‍යාප්ත චිත්‍ර තරගයක් පැවැත්වුවෙමු. අපේ චිත්‍ර ප්‍රදර්ශනය සදහා පුස්තකාල ශාලාව වෙන්කරවා ගන්නට ගියවිට  ඒ සදහා 'චිත්‍ර අනුමණ්ඩල' අවසරය අවශ්‍ය බව කියූ විට විනී හෙට්ටිගොඩගේ අර මූණ පුරා ඇති රැවුලට වඩා මූණ කළු විය. ' එහෙම කෙහෙල්මල් මන්ඩලයක් නෑ..මුන් තව ටික දවසක් ගිහින් හුස්ම ගැනීමේ අනුමණ්ඩලය කියා එකක් හදයි ' කියා අප නැවැත ගොස් විනී කියූ දේ ශාලාව අයිතිකරුවන්ට කියූ විට..' නෑ එහෙම එකක් හදනවා එතකන් ඉන්න ' යැයි කීවෙන් ඊට එරෙහිවන ලෙස පවසා වෙන තැනක් කරමු කීවේද විනීමය. අපට මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලැබුණු නිසා බොහෝ දෙනෙක් එය ආණ්ඩුවේ වැඩක් ලෙස වරද්දාගෙන ප්‍රෙමදාස ජනාධිපතිතුමාගේ උඩුකය චිත්‍ර ඇද එව්වෝය. විනී සහ සුනිල් දෙපල තෝරාදුන් චිත්‍ර සදහා සමරු සිහිවටන අපේම අතින් හැදුවෙමු. තෑගි සදහා පොත් ප්‍රකාශයන් සොයාගෙන පයින්ම ගියෙමු. සමහරු අපව සතපහකට ගනන් ගන්නේ නැති විට සමහරුන් අපට මිල කල නොහැකි පොත පත දුන්නෝය. සුනිල් අය්යා ඒ ප්‍රදර්ශනය දා මහරගම නවමග ශාලාවේ මාක්ස්, ලෙනින්, විජේවීර අතර ඉන්නා ඡායාරූපයක් මා ලග තිබෙන්නට ඕනෑය. ඒ මතක කොයි තරම් සුන්දරද. ඊටත් වඩා ලස්සන අවුරුදු දාසයක්වත් නැති අපෙන් තෑගි ගන්නා හතලියත් පැනපු සම්මාන ලාභීන්ගේ හිනා පිරුණු මුහුණුය. 
තවත් කීපදෙනෙකු එකතුකරවාගෙන  'සතර අතේ ' අධ්‍යාපන ප්‍රකාසන මුද්‍රණය කරන තැනක කුනු ගොඩක් සති ගනනක් තිස්සේ  මහ රෑ හොරකම් කරමින් හොද පොත් බෙදා වෙන්කොට තැපැල් දුම්රියේ අනුරාධපුර පොලොන්නරුව පාසල් වලට  අම්මලාගෙන් ඉල්ලාගත් අහින්සක සල්ලි වලින් බිල් ගෙවා යැව්වෙමු.

මේ මට ලියාගන්නට හැකි වූ ටිකක් පමනය. තව කන්දක් පිරෙන්නට මෙවන් සුන්දර මතක තිබේ. ඒ හැම මතකයම මගේ ඕපල් යාලුවාත් තව මගේ ගැන හොදටම දන්නා යාලුවෙකුත් හිටියේය. අද ඔවුන් දෙදෙනාම තම ක්‍රෙෂ්ත්‍රයේ දැවන්තයන්ව ඉන්නේය. ඒ අතින් මා කුඩා හාල්මැස්සෙකි. මට දුක මගේ හාල්මැසි වැඩ වලට එකෙක් ඉද්දී, ඉදිය යුතු අනෙකා නොඉදීමය. එය කෙසේ ලියම්දැයි මා නොදනිමි. මගඇරුණු එකා උගේ ගෙදරටත් ගොඩවැදී යලී අප අතරටම එන බව මට සහතිකය. එහෙත් කාලය සිත් වෙනස් කරන්නේය. පළුදු කරන්නේය. මගේ නම් පළුදු කරන්නටවත් වෙනස් කරන්නටවත්තරම් ඉතුරු වූ සිතක් නැත. එහෙත් මගේ යාලුවාට කියමි...එහෙම හිත් දෙකක්ම ඇත. 

උඹ තාම පරක්කු නැත.

ෆේස් බුක් පණිවිඩයක් ගිය දුර.......

https://matahithenahatiblogger.blogspot.com