Saturday, October 14, 2017

කපටිකම කලාවකි....



දෙරණ හොඳම නළු සම්මානය ලබාගෙන දස්සයා කිව්වා සේම " දෙයියන්ගෙන් ඉල්ලුවා මුකුත් හම්බවුනේ නෑ...ඉල්ලපු ඔක්කොම හම්බවුනේ අම්මා තාත්තගෙන්.." කියමන මගේ හිතේද දෙතුන් පාරක්  දෝංකාර දෙන්නට හේතුවකි. මගේ ජීවීතයේද බොහෝ දේ දී ඇත්තේද අම්මා හැරුණු කොට සැබෑ මිනිසත් කම් තිබූ මිනිසුන් විසිනි. අහිමි කර ඇත්තේද මිනිසුන් විසිනි. එලෙසම එකමුතු මුද්දර ප්‍රදර්ශණයට කමිසයක් අරන් දුන්නේද දෙවියෙකු  දේවතාවියක වන්නට ඇත. ඒත් ඒ මිනිසාගේ ගැහැණියගේ නම මට මතක නැත. (අමතක වීම පසුතැවීමට හේතුවක් බව සැබැවය.)

එහෙත් මුද්දර ප්‍රදර්ශණයට පෙර දින කවුරුන් හෝ මගේ අත රුපියල් දෙසීයයක් වැනි මුදළක් තිබ්බා මට මතකය. ඒ  දෙසීය දෙන  අතරේම හෝ පවුලේ කෙනෙකු හෝ " නුගේගොඩ නෙමෙයි කෙලින්ම  වර්ල්ඩ් මාකට් පලයං..ලාබයි.." කීවෙන් මම 138ක නැගී කොළඹ ගියෙමි. මීට පෙර එඩේරමුල්ලේ ඉන්ද්‍රා අක්කලාගේ ගෙදර යන්නට කොළඹ කොටුවට ඇවිත් පුරුදු නිසා චකිතයක් නොතිබුණත්  මේ කී වර්ල්ඩ්  මාකට් ගැන මම මෙල්ලෙ සංසාරයක් දැන සිටියේ නැත. එකම මාර්ග උපදේශය වූයේ 138න් බැස පාලම පැන්නාට පසු කෙළින්ම වැටෙන්නේ මේ කලාපයට බවය.
එහෙම කොට පාලමත් පැන කඩ පිල් වල එල්ලා ඇති නොයේක විධ ඇදුම් ආයිත්තම් විසිතුරු විච්චූර්ණ බල බලා කමිස සාප්පුවක් හොයද්දී හදිසියේම කොට කෙට්ටු මිනිහෙකු කඩං පැන්නේය.
"යකෝ ..උඹ තනියෙන්ද ආවේ..කෝ බං අයියා.." කියා මගේ අත තරයේ අල්ලා ගත්තේය. අල්ලා ගැනුම සාක්කුවේ තුන්සීය ගැන මට බයක් ඇතිකලත් මේ මිනිහා අනිවාරයෙන් අපේ අය්යා කෙනෙකු දන්නා එකෙකු වන නිසා සතුටක් ඇතිවිය. එහෙත් මේ අහන්නේ මොන අයියා ගැනද. ලොකු අයියා හෝටලයේ වැඩය. අනෙක් අයියා පංචිකාවත්තේ දයාරත්න එකේ වැඩය. අනෙක් අයියා මට මතක හැටියට මොරටුවේ සිටි ෆාමසියේ වැඩය.

" අයියා. අපේ අයියගේ යාලුවෙක්ද..?" මමත් කොට ප්‍රශ්නයකින් දමා ගැසුවෙමි.
"යකෝ..අපි දෙන්නා බොක්ක නේ බං..ඕකයි මායි එක ඉස්කෝලේ.."
"ලොකු අයියද..?"
" නෑ බං .ඊලඟ එකා.."

මට දැන් වැඩේ සියයට සීයක් විස්වාසය. ඔහු අපේ දෙවනි අයියා දනී.

" අයියා අද වැඩ.."
"අපි උට ඉස්කෝලේ යන කාලේ කිව්වේ වෙන නමක්..මොකක්ද බං උගේ හරි නම.. මටත් දැං අමතකයි.."
"ධම්මික"
" අඩෝ ධම්මිකයා...ඔව් ඔව් බං උගේ පෙනුමත් ටිකක් පැත්තට උඹ වගේ. ඒ වුණාට උඹ ඉස්කොලේ ආවා මට මතක නෑනේ.."

මට මගේ අය්යාගේ යාළුවෙක් හමුවී තිබේ. මේ වන් නොදන්නා තැනක මෙහෙම අහම්භ හමුවීම් කොයිතරම් අගනේද. මට දැන බය සැකක් නැත. සල්ලි තද කරන් අල්ලා සිටි සාක්කුවෙන් අත එළියට ගත් මම ඇදක් කුදක් නැතිව විස්තර කීමී. මා ඉස්කෝලේදී නොදකින්නට හේතුව අයියා මෙන් හන්වැල්ලේ ඉස්කෝලෙට නොව රෝමානු කතෝලිකේ  දෙකේ පන්තියෙන් පස්සේ දෙල්කද ඉස්කෝලෙකට ආ  නිසා බවත්. දැන් ඉන්නේ දෙල්කද බවත් අද අයියා වැඩ බවත් මම ආවේ වැදගත් උත්සවයකට ඇදුමක් ගන්නට බවත් එක හුස්මට කීවෙමි.

අයියාගේ යාළුවා මගේ අත තවත් තදින් අල්ලා ගත්තේය.

" බලපං මේ යකා මට කලින් කිව්වේ නෑනේ. හරි කමක් නෑ. උඹට ඕනේ සර්ට් එකක්නේ. හැබැයි කොල්ලෝ මේ වර්ල් මාකට් එකේ අයියලා ගැන උඹ දන්නේ නෑ. ලෝක ආදෝ..උඹ හොද වෙලාවට මට හම්බවුනේ. යමං ඉස්සෙල්ලා මොනවාහරි කාලා ඉම්මු. උඹට බඩගිණිත් ඇතිනේ.."

මම බෑම කීමි.

මට ඉතාම ඉක්මනින් ආපහු යන්නට ඕනෑය. විජේරාමේ යාළුවා තනියම ප්‍රදර්ශණයේ වැඩ කටයුතු වලය.  කකා ඉන්නට නොව මට මුද්දර අලවන්නට තිබේ. අනෙක මම කොළඹින් ගෙදර ගොස් අම්මාට මා ආ බව කියන්නටත් ඕනෑය. මම බෑම කීමී. එහෙත් අයියාගේ යාළුවා මගේ බෑ කීම සත පහකට ගනන් ගත්තේ නැත. මගේ අත අතහරින පාටක්ද නැත. මගේ අතෙන් අල්ලාගෙනම මේ අයියාගේ යාලුවා ස්ටේෂමත් පැන තේ කඩයකට රිංගා ගත්තේය.

"ලොක්කා මේ මගේ යාලුවෙක්ගේ මල්ලි කෙනෙක්..වර්ල් මාකට් ඇවිල්ලා..සලකන්ඩ එපැයි නේ..දාන්ඩ හොද ටී එකක් කොල්ලට. මට ප්ලේන්ටී එකක්."

ඔහු මුළු කොටුවම අදුරන අයියාගේ යාළුවෙකි. මම බයවෙන්නේ මොකටද. එහෙත් පොඩි බයක් තිබේ. සල්ලි ඇත්තේ අර දෙසීය පමණකි. බස් ගාස්තුවට දුන් තව විස්සක් ඇරෙන්නට සත පහක් වැඩිපුර නැත. අයියාගේ යාළුවා තේ බොන්නේ මගේ සල්ලි වලින්ද..? එහෙත් අපි තේ බී ඉවර වූ සැනින් අයියාගේ යාළුවා මුදළාලිට "එන්නං මං ආපහු ලොක්කා " කීය. එහෙත් බීපු තේ වලට සත පහක් දුන්නේවත් නැත. මුදළාලි කිසිත් කීවේත් නැත. මූණේවත් කිසිම වෙනසක් පෙනෙන්නට තිබ්බේත් නැත. අයියාගේ යාළුවා මෙහේ ලොක්කෙකු වන්නට ඇත. අනෙක මගෙන් සත පහක දෙයක් ඉල්ලුවෙත් නැත.  මේ වගේ යාළුවන් අයියලාට ඉන්නට ඒ අය කොයි තරම් හොද යාලුවන් වෙන්නට ඇත්ද..? ඒ නිසා උඹලගේ අයියා මගේ බොක්ක යකෝ..කීව එක ගැන මම හිතින් සතුටු වුනෙමි.

දැන අප ආපහු වැටෙන්නේ මේ  "වර්ල් මාකට්"  එකටය. ඒ මැදින් ඇතුල් වූ අප කමිස එල්ලා ඇති කඩ කිහිපයක්ම පහුකරගෙන ආවෙමු. ඒ පහුවෙන හැම කඩේකම හිටි බාල- මහළු,  කොණ්ඩ සුදු -කොණ්ඩ  කළු, කොට උස මහත කෙට්ටු හැම එකාටම අපේ අයියාගේ යාළුවා " ආ.... ලොක්කා..!!" කීය. ඒ අයත් එක්කෝ අත වැනීය. එක්කෝ අහක බලාගත් හ. (අහක බලා ගත් අය අපේ අයියාගේ යාළුවාගේ ඉරිසියාකාරයෝ වන්නට ඇත. එහෙමත් නැත්නම් කීවා මෙන්ම අපතයෝ, ආඳෝ වන්නටද ඇත.) මේ යන ගමනේ එක තැනක මා නැවැත්වූ අයියාගේ යාලුවා " උඹ සර්ට් එක තෝරගනින්..ගනං කියන්ඩ එපා...ඒක මම කතා කරලා දෙන්නං ..එච්චරයි. " කීය. මම ඔලුව වනා "හා" කිමී.

ඊළගට අප දෙන්නා කමිස කලිසම් රෙදි ඉතාම ලස්සනට පිළිවෙලට අඩුක් කොට ඇති කඩ කාමරයකට ඇතුල් වුනෙමු. අයියාගේ යාළුවා එහි සිටි අයටද ලොක්කා කීය. කීවා පමණක් නොව. " මේ අර ධම්මිකයගේ මල්ලි බං. උට සර්ට් එකක් ගන්ඩ ඇවිල්ලා " කීවේය. ඒ අයත් අපේ අයියාගේ යාළුවෝය. මගේ සතුට නිම් නැත. අපේ දෙවැනි අයියා වැඩිපුර යාළුවන් ඇසුරු කරනු මා දැක තිබුනේ නැත. මේ ඔහුගේ විස්වාසදායක සුළු කණ්ඩායමේ අය වෙන්නට ඇතිය.

මම කමිස තේරුවෙමි. කමිස විවිධාකාරය. ඉරි ඉරි, කොටු කොටු වශයෙන් පමණක් නොව මල්මල් ද ඇත්තේය. මම ඉරි අත්කොට කමිසයක් තේරුවෙමි. එහෙත් කඩේ අයිතිකරු වන්නට ඕනෑ කෙනා මගේ තේරීම ගැන සතුටු වූයේ නැත. ඔහුට අනුව එය දාඩියට ඔරොත්තු දෙන්නේ නැත. මම තව එකක් තෙරුවෙමි එහෙත් ඔහුට අනුව එය  කල් පවතින්නේ නැත. අන්තිමේ ඔහුම එකක් තෝරා මට දුන්නේ
" මේං මේක ගන්ඩ කොල්ලෝ සෝක් කමිසේ" කියමිනි. එය අළු සහ ඊට ලගින් යන  වර්ණ වලින් යුතු විය. ඔහුම ඇගට තබා " ෂා..මරු " කීවේන් මම කැමැති වුනෙමි.

මම අයියාගේ යාළුවා දෙස බැලිමි. ඔහු මගේ ඉඟිය තේරුම් ගන්නට ඇත. මම කමිස්යක් තෝරාගෙන ඇත. "හරි මල්ලි උඹ එළියේ ඉදපං." කියා මට එළියට යන්නට කීවේය. ඉන් විනාඩියක් යන්නට පෙර ආපසු ඇවිත්. "මුංගෙ අස්ප ගනං කොල්ලො ..එකසිය හැත්තෑපහයි කිව්වා. ඒම කෝමද ..එකසිය පනාක් දීපන්. මං දෙන්ඩ කීය." මේ වගේ අයියාගේ යාළුවන් සිටීම කොයිතරම් හොදද. මම සාක්කුවෙන් ඇද එකසිය පනහක් දුන්නෙමි. අයියාගේ යාළුවා දැන් මා සමග නැවැත පාරේය. ඔහු ඒ එන අතරේම අර කඩ හිමියාට නොසෑහෙන්න බැන වැදුණේය. ඔහුට අනුව කඩහිමියා වැඩියෙන් ගන්නට උත්සාහ කොට තිබේ. මා ගැලවුනේ ආශ්චර්යකින් මෙනි.

මා මේ කපටින්ගෙන් ගැලවුනේ අපේ අයියලාට මේ වන් යාළුවන් ඉන්නා එක නිසාවෙනි.
අන්තිමේ මම ආපසු බසයට නැග්ගෙමි. " අයියට කියපං මාව හම්බවුනා කියලා." ඔහු සමුගත්තේ එලෙසෙනි.මම සතුටු දහසක් මැද ගෙදර බලා පිටත් වුනෙමි.ගෙදර එනවිට මට ප්‍රීතිදායක සිදුවීම් කිහිපයක් සිදුවී තිබේ. එකක් නම් එකසිය හැත්තෑපහක කමිසයක් විසිපහක් අඩුවෙන් ගන්නට ලැබීමයි. එහෙම වාසි ලේසියෙන් වෙන්නේ නැත. අනෙක මගේ මුද්දර වැඩ වලට හැත්තෑපහක් ඉතිරි විමයි. අනෙක අපේ අයියාගේ බොක්කේ යාළුවෙක් හමුවීමයි.  ඒ නිසාම මා කවදත් කැමති ටින්කිරි දැමූ තේ එකක් නොමිලයේම බොන්නට ලැබීමයි.

මා ගෙදර විත් අම්මාටසම්පූර්ණ විස්තරයද කියා  කමිසය ඇද පෙන්වීමී. අම්මාගේද සතුට වැඩිවී ඇස්  ලොකු වනවා මා දුටිමි. එහෙත් ඈ කිසිත් නොකීවා මට මතකය. ඈ නොකී දේ හවස ගෙදර ආ අයියා කීය.

" ගොං මැට්ටා..කපටි හොරෙක්ට අහුවෙලා...යකෝ මේක රුපියල් එකසිය විසිපහක් වටිනවද...යකෝ දෙකක් ගන්ඩ පුළුවන් සල්ලි දීලා මූ අරන් තියන එක....!!තොට මොලයක් නැද්ද.."

බැනිල්ල නම් මට ඉවසා ගත හැක. එහෙත් ටොකු දෙක තුනක් ඉවසා ගත නොහැක. මමද යුධ වැදුණෙමි.

"තොගෙ යාළුවෙක්නේ අරන් දුන්නෙ.."

එදා එතැනින් එහාට බොහෝ දේ සිද්ධ විය. අම්මා අපේ රණ්ඩුව නිසා අඩන්නට විය. මගේ පොඩි එකාට තමයි ඔක්කෝම මුන්ගේ ගෙරවිළි කියා මැසිවිළි කීවාය. සැමදාම මෙන් අප හවස් වරුවේ වචන පිට නොකර නිස්සබදව ගෙවා දැමුවෙමු. රණ්ඩුවක් ඇති වී ගිනිගෙන පසුව ඇතිවෙන නිහඩ කම දඩුවමක් මෙනි. කවුරුවත් කතා කරන්නේ නැත.

මම පසුදා මුද්දර ප්‍රදර්ශණයට අර කමිසය ඇදගෙන ගියෙමි. එහි වැරද්දක් නැත. එකම වරද එක අතක් වැලමිට ලගටද අනෙක් අත වැලමිටෙන් බාගයක් උඩටද ප්‍රමාණ දෙකකින් උස වීමයි. වැඩිපුර දාඩිය  වැටෙන එකත් දාඩිය උරාගන්නේ නැතිව කලිස්ම දිගේ බහින එකත් ඇරෙන්නට වෙන කිසිම වැරද්දක් එහි නැත. මට තේරුම් ගන්නට බැරි අයියා විසින්  අයියාගේ යාළුවා මා රවටා ඇති බවටත් "මං දන්න  එහෙම එකෙක් නෑ " කියා පරසක්වල ගැසීමත්ය.

ඒ කමිසය මේ උඩ පින්තූරයේ තිබේ.

එදා සිට අද දක්වාම මට තවමත් "අයියාගේ යාළුවා" ජාතියේ අය හමුවෙමින් තිබේ. සමහර අය ඒ තරම් දක්ෂ නැති නිසා මට හිත යටින් හිනා ගොස්ද තිබේ. සමහර අයට මා සම්පූර්ණයෙන් රැවටී තිබේ. දැන් දැන් ඒ ගැන මතක් වී හිනාවෙන්නටද හිත හැදී තිබේ.

Monday, October 9, 2017

මාර ගහේ රෝස මල්...



මුද්දර ප්‍රදර්ශනය ගැන සටහන පලවූ වහාම මගේ මිත්‍රයා මා ඇමතීය. ආගිය තොරතුරු වලින් පස්සේ හවස් වරුවේ කතාබහකට එකඟ වී දුරකතනය තැබූ අපි හවස හමුවී සමුගන්නා විට පාන්දර එකත් පහුවී තිබිණ. මගේ "හමුනොවීමේ" දුක්ගැනවිල්ලට එහෙම හමුවීමක් අහම්භයෙන් හෝ යොදාගැනීමට හැකිවීම සතුටකි.
මේ අහම්භය අතරතුර මුද්දර ප්‍රදර්ශණ, චිත්‍ර ප්‍රදර්ශණ, දුප්පත් පාසල් වලට පොත් බෙදාදීම ආදී ව්‍යාපෘති වලට  "මෙව්වාට අපිට සල්ලි තිබ්බේ කොහෙන්ද බං.." කියා මා ඇසූ ප්‍රශ්නය නතරවුනේ අතීතයෙනි.

(උත්තරය වුනේ " ඇයි බං අර මාර ගහ යට කඩේ ලාච්චුවේ සල්ලිවලින්නේ.." කීමය.)

ඒ අතීත කතාව නතරවෙන්නේ දෙල්කද ඉරිදාපොල පැත්තේ කොල්වින් ආර් ද සිල්වා මහත්තයා හැපුණු මාර ගහෙනි. මාර ගහ එක එල්ලේ තිබ්බේ සිසිර අය්යලාගේ ගෙදරට ඉදිරිපසිනි. අද ඒ ගේ නැතත් ඒ අය ඉදිති.

මේ ගෙදර පරණ තාලේට ඉස්තෝප්පුවක් තිබුණු අතර ඒ ඉස්තෝප්පුව ඉදිරිපස කඩා බිද දමා ලෑලී දොරවල් දැම්මේ හදිසියෙනි. හදිසිය වුනේ ඒ පාරට මුහුණලා ඇති " කෑල්ලේ " කඩ කෑල්ලක් දැමීමටය. මෙහෙම යෝජනාවක් ආවේ කොහොමදැයිවත්, එවා කලේ කාගේ වුවනාවටදැයි වත් මම නොදන්නා වුව සිසිර අය්යාට විවිධාකාර ලෙස ඊට උදව් දුන්නෙමි. අන්තිමේ අපි ඉදිරිපස පමණක් ඉතුරු කොට අනෙක් බිත්ති අලලා පොත් රාක්ක මෙන් විවිධ ප්‍රමාණයේ රාක්ක සවි කලෙමු.  ගෙදර ශීතකරණය කඩේට ආ අතර. කැෂියර් මේසයක් හා පුටුවක්ද මුළින්ම ගෙනවිත් තිබ්බේ මුත් කිසිදු බඩු භාණ්ඩයක් තිබුනේ නැත.

අන්තිමේ එක දවසක පරණ ලොරි භාගයක් පුරා ගෙන ආ නොයේක විධ බඩු බාණ්ඩ ලොරියේ සිට කෙළින්ම බෑවේ කඩ කාමරය ඇතුළටය. ඒවා වෙන අයට නොපෙන්වෙන සේ ලොරිය ගෑවෙන නොගෑවෙන සේ කඩ කාමරයේ කට ලගටම හේත්තු කොට නවතා තිබුණේ ඇයිදැයි මම නොදනිමි. එහෙත් මගේ අදහස වුණේ ඒ කොස් ගහ යට ගාමිණි අය්යාගේ කඩේට නොපෙනෙන්නටය. "අපේ කඩේට" ගාමිණි අයියාගේ ඉරිසියා බැල්ම වැටේ යැයි සිතා එහෙම කල බව මම සිතා සිටියෙමි. එහෙත් බඩු බෑ විගස ගාමිණි අයියා පැමිණි තොග ගනන් ගන්නා හැටි, ගනන් හිලව් ලියන හැටි, මාරු තියාගන්නා හැටි, සල්ලි කොල රෝල් කොට වෙන වෙනම තියාගන්නා හැටි, විකිණෙන බඩු වෙනම ලිස්ට් එකක් හදන හැටි, ගණුදෙනුකරුවන් පැමිණ කඩේ නැති බඩුවක් ඉල්ලු විට නෑ නොකියා හදිසියක් නැත්නං හෙට දෙන්නං කියන හැටි. කියාදුන්නේ මගේ ගොං අදහස සුණු විසුණු කරමිනි.

එහෙව් තබා කඩේ අරින්නට පෙර මෙහි කඩයක් කෙරෙනා බවට කිසිදු සැකයක් නොවෙන්නට තබා විවෘත කෙරෙන දවසට ලොකු  පුදුමයක් එක්ක කළ එළි බහින හැටි කීවේද ගාමිණි අයියාය. අද කාලේ නම් අයියලාට නම් අලුතෙන් කඩයක් දාන  එකාට "කොන්ත්‍රාත් එකක්" දෙන විදිය ගැන දහ අතේ කල්පනා කලොත් මිස වෙන කල්පනාවක් එන්නේ නැත.
අන්තිමේ "අපේ කඩේ" කිරිබත් -කැවුම්- කෙසෙල්ගෙඩි කා තේ බී විවෘත කෙරිණ. විවෘත කෙරුණේ මා නොදන්නා දේශපාලක මහත්තයෙක් අතින් බව නම් මට මතක වුව ඔහු කවුදැයි මට එදා දැනගෙන හිටියේත් නැත. අද දන්නේත් නැත. නමුත් පළමු ගණුදෙනුව කලේ සිසිර අයියලා ඉතා ආදරය කල දෙලකද පැත්තේ ඉද පුස් බයිසිකලයක් පැදගෙන ආ "බාප්පා" කෙනෙකු බව මට හොදටම මතකය.

(ඔහුව මට මතක කිරිටොපි ගෙනන නිසාය. ඔහු එන හැමවෙලාවේම වාගේ මා එහි යන නිසා සිසිර අයියලාගේ ලමයින්ට ගෙනෙන චොක්ලට් වෙනුවට මට කිරිටොෆි දෙකක් හම්බවිය. මේ බෙදිල්ල ගැන එදා මගේ හිතේ කුකුසක් තිබ්බද ඒ බයිසිකල් බාප්පාගෙන් මම චොකලට් ඉල්ලන්නට ගියේ නැත. අපේ අම්මාටත් චොකලට් හම්බවුනානම් ඔය කාටවත් නොදී දෙන්නේ තමන්ගේ එකාට බව මම දැන සිටියෙමි. ඒ නිසා ඒ ගැන ලොකු හැගීමක් ඇතිවුනේ නැත.)

ඔහු ඉතා නිවුණු කෙනෙකු විය. සිගරට් අරක්කු පාවිච්චි කලේද නැත. එහෙම හොදට මතක පළමු ගණුදෙනුව කරද්දී ලාච්චුවේ සිගරට් දමන රවුම සිසිර අයියා විසින් නොපෙනෙන්නට හැංගූ නිසාත්, කවුරුන් හෝ එය දැක සිසිර අයියා රතුවෙනතුරු විහිළු කල නිසාත්ය. කෙසේ හෝ ගාමිණි අයියා කීවා සේම එදා කඩේට සෙනඟ ආවේ රැස්කකා තොරණ් බලන්නට මෙනි. හාල් සීනී පරිප්පු මෙන්ම අල ලූණු විකුණුනේ බලන් ඉද්දීය. පොල්තෙල් භූමිතෙල් කිරන්නට "කරාඬි" තිබ්බා මට මතකය. අනෙක්වා ග්‍රෑම් ගානට කිරන්නට අමුතුම භාණ්ඩයක් ගෙනවිත් තිබිණ. එය පැතළි තහඩුවක් සහිත මතුපිටක් තිබු එකකි. එහි ඕනෑම දෙයක් තිබූ පමණින් ඒ හා සම්බන්ධ පොඩි කණුවක වැනි එකක සවිකර තිබූ හතරැස් කොටුවක කොලපාටින් ග්‍රෑම් ගනන දිස්වෙයි. අත තබා තද කල විට බින්දුවේ සිට සටපට ගා අර අංක උඩ යන හැටි බලන්නටත් ආසාය.
ඉන්පස්සේ කැල්කියුලේටරය ඔබා අපේ ගාන සාදා ගත හැක. එහෙත් දිනෙන් දින කඩේ බලන්නට ආ අය අඩුවී වෙළදාමත් සාමාන්‍ය තත්වයට පත්විය. එකල අද විකිණෙන දෑ කලින් කියන්නට හැකි තරම් සීමිත වෙළදාමක් තිබ්බේය. කඩේ රාක්ක වල අද මෙන් මහා බඩු කන්දරාවක් තිබ්බේද නැත.
මුළින් මුළින් සිසිර අයියා කඩේ පැය දහයක් දොළහක් හිටියත් පසුව මේ කඩේ ලාබයෙන් අමාරු නිසා ගෙදරම වැල්ඩිං වැඩපලක් පටන්ගත්තේය. මා ඉස්කෝලේ ගොස් ආවිට වැඩිපුර නිදැල්ලේ නිසා මට කඩේ වැඩ ටික ටික ඉබේම බාර විය
ඒ අස්සේ ගෙට සම්භන්ධ ලෑලි තට්ටුවේ දනහිස ලගට වෙන්නට ඉවත් කල විවරයක් හරහා අපට තේ බිස්කට් ලැබෙයි. ඒ ගේ ඇතුළෙනි. ගේ ඇතුළේ සාලය කොටස වෙන්වී තිබුණු නිසා සාලයේ තිබූ පුටු සෙටිය අර කුඩා කැබැල්ලේ දමා අඟල් දහහතරේ වර්ණ රූපවාහිණිය තිබ්බේ කැබිනට් එක උඩය. වීදුරු පිඟන් පුස්කකා අර කැබිනෙට්ටුවේම සදාකල් තිබෙනු මිස ඉන් එළියට එනු මා දැකලා නම් නැත.

මේවා මෙහෙම මතක හිටින්නේ කොහොමදැයි අහන්නට වුවමනා නැත. මගේ මතකය විතරක් නොව බොහෝ අයගේ මතකය බැදී පවතින්නේ ඉතා කුඩා සිදුවීම් -පින්තූර-කතාබහ සමඟ වන්නට ඕනෑය.

ඉතින් වීදුරු පිඟන් පුස්කන කැබිනට්ටුවත් ඊට උඩින් හිටි වර්ණ රූපවාහිණියත් මතක "රෝස මලක්" නිසාවෙනි. රෝස මල මතක සිසිර අයියා මා කඩේ නවත්වා අර සාල කෑල්ලේ තව ඒ වයසේ අයත් එක්ක රෝසමල් "කැසට් එක" බලන නිසාවෙනි. එදාට සිසිර අයියලාගේ අක්කලා දෙන්නා ගෙදර නැති වෙලාවල් වීමත් මට තේරුණේ නැත. ඒ කෙසේ වෙත ඒ අය අර රෝසමල් වීඩීයෝ කැසට් එක බලන වෙලාවට මම කොයිතරම් උත්සාහ කලත් ඒ පැත්තට ඔලුව දාන්නට ලැබෙන්නේම නැත. එකම අවස්ථාව වූ අර තේ කෝපි එන විවරයත් මොකක් හරි පෙට්ටියකින් ගෝනියකින් වැසිලාය.

කෙසේ හෝ මා කඩයේ තනිකර සිසිර අයියාත් ඇතුලට ගිය වේලේ මම බිම දිගාවී දූවිලි කමින් අර රූපවාහිණි තිරය දිහා බැලුවෙමි. එහි සුලගට වැනෙන රෝස මලකි. ලා තැඹිළි පාටය.  එහෙත් මෙච්චර හැංගී බලන්නේ ඇයි.

එහෙම වුනාම කුතුහලය වැඩි වන්නේ නැද්ද..?

අන්තිමේ කුතුහලය උත්සන්න වී මම දවසක සිසිර අයියා බඩු ගෙනෙන්නට එළියට ගිය වෙලේ අර සාලේ කොටසට පැනගත්තෙමි. පැන අතට අහුවෙන සියළුම විඩීයෝ කැසට් එකෙන් එක ප්ලේයරයට ඔබා බොත්තම තදකලෙමි. ඒවා බහුතරයක් බෲස් ලීගේ ඒවා විය. අනෙක් ඒවා හින්දි චිත්‍රපට විය. ඒත් කොහේ නැතත් හිටපු ගමන් එන වාසනාව මට ඒ වෙලාවේත් කඩන් වැටුණේය. අර රෝස මල් වීඩියෝව තිබේ.
මම විනාඩි දෙකක්...බලං හිටියෙමි...රෝසමලක් විතරය. පහක් බලං හිටියෙමි...රෝස මලක් විතරය. තව පහක් විතර බැලුවත් ඒකමය. ඒත් මේ එකම දේ දහපාරක් විතර පෙන්වන රෝසමල් වීඩියෝවේ මොනවා බලන්නද..? අන්තිමේ මේ රෝසමල් ගැන මුන් ටික මොකක් හරි උද්භිද විද්‍යාත්මක මංගල්ල්‍යයක් හොයනවා ඇත කියා සිතන විටම සත්ව විද්‍යා මංගල්‍ය එළි පැන්නේය. ඒ මිදි වල්ලක් අතින් ගත්සුදු අක්කා කෙනෙකු ඇඟේ නූල් පටක් නැතිව  ඒ වගේම තව සුදු අයියා කෙනෙකුට මිදි ගෙඩිය ගෙඩිය පරෙස්සෙමෙන් කවන හැටිය.  ඒ දෙන්නාගේ මිදි කෙසේ වෙතත් මට නම් හීන් දාඩිය දමා චූ බරක් ඇතිවිය. පත්තර කෑලි වලින් කියවා ඇතත් මෙහෙම " ලයිව්" දැක්කේ එදාමය. මම දනි පනි ගා විදුලිය විසන්ධි කොට කඩේට පැන්නෙමි.

සිසිර අයියා දිගින් දිගටම මා විස්වාස කලේය. මට එහෙම හිතුනේ කඩේට ආ වෙලාවක අර රෝසමල් කල්ලියේ එකෙකුට සිසිර අයියා " යකෝ බැලුවනං හංගලා පලයං අර පොඩි එකා විතරයි සමහර දාට, ඌ නිකමට හරි බැලුවනං" කියා කෙන්තියෙන් කියනු බලා හිදය.

ඒ විස්වාසයට අමතරව මම මුද්දර ප්‍රදර්ශණයට " ආධාර " එකතු කලේද සිසිර අයියාගේ ලාච්චුවෙනි. ඒවා බරපතල සොරකම් නොවීය. බොහෝ විට කොල කැබල්ලක මා ඉතුරු ලබා නොදුන් හෝ අඩුවෙන් ලබාදුන් ගනන සටහන් කොට හවසට ඒ කාසි ටික සාක්කුවේ ඔබාගතිමි. නැත්නම් බැරිම තැනක පොඩි ගානක් සාක්කුවේ දා ගතිමි. ඒවා අපේ මුද්දර ප්‍රදර්ශනයට සුළුවෙන් දායක විය.

එදා එහි හරි වැරද්ද මට තෙරුණේ නැතත් අදත් මා හිතන්නේ මා ලොකු වැරද්දක් නොකල බවය. ඒවා අපේ අහින්සක ප්‍රොජෙක්ට් වලට යටවී දියවී ගියේය. අපට ඒ වෙනුවට ලැබුණේ ආත්ම තෘප්තිය පමණකි.
සිසිර අයියාගේ සිල්ලර කඩේද වැසී ගියේය. ඒ, ඒ මනුස්සයාගේ හිත හොද කම නිසා බව මම හොදින් දනිමි. සමහර දාට නයට බඩු ගෙනයන අයගේ නමක් ගමක් වත් සිසිර අයියා දන්නේ නැත.  " ගෙනත් දෙයි බං" කියනු මිස නහයෙන් අඩන්නේ නැත. එක දවසක බයිසිකලයක් නවත්වා සෝඩා බෝතලයක් ඉල්ලාගෙන යන්නට ආ මනුස්සයා මුදළ් ගෙනවිත් තිබුණේ නැත. හැරෙන තැපෑලෙන් එමි කියා පපුවේ අත ගසා දිවුරූ   මේ නාන්නාදුනන මනුස්සයාට සෝඩා එකත් සිගරට් දෙකකුත් කිසිත් නොකියාම අරන් යන්නට දුන් සිසිර අයියාට මා දන්නා කාලෙක නම් ආපහු එවාට මුදළ් ලැබුනේ නැත. (අඩුම තරමේ හිස් බෝතලයවත්)

මෙවා නිසා සිසිර අයියාටද, අපට මෙන් අද ගොඩක් අයට දැනෙන්නේ නැති ආත්ම තෘප්තිය ලැබෙන්නට ඇත.
මට මේවා මතක් කර කර ආයේමත් අර කී ආත්ම තෘප්තිය ලබන්නට හැක.

ඒ මදිද..?

Friday, September 29, 2017

වෙන රත්නසිරි කෙනෙක් ගැන...





 මහර මතක එළියට එන්නේ අහම්බෙනි. අදත් ඒ වන් අහම්බයක් සිදුවිය. ඒ හන්දියේ පොත්කඩේ ලඟ ඉද්දී පොඩි එකෙකු අර පොත් කඩේ ෂෝකේස් එකේ තිබූ කුඩා මුද්දර කාඩ්පතක් අරන්දෙන්නටය කියා අම්මා කෙනෙකුගේ අතේ එල්ලී මූණත් රතු කරගෙන පස්සෙන් ගිය එකය.

 පොඩි එකා නිසා මට "එකමුතු මුද්දර දැක්ම" මතක් විය.

මුද්දර ගැන මට ඒ තරම් ලොකු වුවමනාවක් තිබ්බේ නැතත් කොපි පොත් හත අටක් පිරෙන්නට ලංකාවේ මුද්දරද - පිටරට මුද්දරද අලවාගෙන සිටියෙමි. මේ මුද්දර වල සැඟවී ගත් කතාන්දර රාශියක්ම විය. ලංකාවේ නම් දැති හැදෙන සේ කපා නොතිබුණ හරි හතරැස් "රැජිනගේ පැන්ස මුද්දරය" ලොකු වටිනාකමක් ඇති එකක් ලෙස එදාත් මුද්දර එකතු කරන්නෝ දැන සිටියහ. ඊලඟට මුද්‍රණයේදී වැරදි - අඩුපාඩු ඇති මුද්දර වලටද ලොකු මිලක් නියම විය. එහෙත් ඒවා තැපැල් දෙපාර්තමේන්තුවෙන් එළියට ආවේ කොහොමදැයි කියන්නට මම දන්නේ නැත. උදාහරනයක් විදියට එහෙම වැරදුණු මුද්දරයක් වූ තැඹිළි වල්ලේ මුද්දරයේ ගෙඩි ගනන පිළිබද කතාවක් තිබුණාට ඒ ගැන මම දන්නේත් නැත. එහෙත් ලෝකයේ රට රටවල මුද්දර වල විවිධ හැඩතල, ප්‍රමාණ මෙන්ම තොරතුරු මගේ පමණක් නොව මුද්දර එකතු කරන්නන්ගේ දිහින පාරාදීසය ලොකු මහත් කර අපූර්ව කර දුන්නෝය.

මා මේ ලියන්නට යන්නේ මුද්දර ගැන නොවේ. එහෙත් මුද්දර ගැනම ඈදෙන කතාවක් නිසා විශේෂයෙන් මුද්දර ගැන නොළියා කතාව ලියන්නට තැත් කරමි.


මේ 1989 අවුරුද්දේ මැද හරියේ පමණ දීය. ඒ අප එකල අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අප්‍රේළ් මාසයකදී පෙනී සිට  මගේ අතුරු නවාතැන්පල වූ මහරගම "181" හී තවත් කීපදෙනෙකු සමඟ කල්ලි ගැසෙන කාලයයි. 181 අපට ජීවීතයේ වැදගත්ම නවාතැන්පලක් විය. මගේ කියවීමේ ඇබ්බැහියට අළුත් පාරක් කපාදුන්නේද මේ නවාතැනම වීම මට ඊට විශේෂ ඇඟළුම් කමක් ඇතිවීමට බලපෑවේය. 


181 අයිතිව තිබ්බේ මගේ නිහඩ මිත්‍රයාගේ තාත්තාටය. එහෙත් එය අයිතිවීමක් නොව නැතිවීමක් බව පසුකාලීනව යම් යම් දෑ නිසා ඔප්පු විය. මඟේ යාළුවාට තාත්තා නැතිවුණේද මේ 181 දීමය. මඟේ යාළුවා අම්මා වුව හදවතෙන් ඟලවා දැම්මේ මේ 181 දීය. එහෙත් මා දුටු "හොඳ තාත්තා" කෙනෙකු වූ මේ නීතී ලිපිකරුගේ මුහුණේද කතාවේද ඇවිදීමේද අමුතුම ශාන්ත ගතියක් තිබ්බේය. ඔහු උඩුකයට ඇදුමක් නැතිව සරමක් පිටින්ම ගෙදර ඉස්තෝප්පු කෑල්ලේ පත්තර බලන හැටි මට තවමත් මතකයේ චිත්‍රයට නගා ගත හැක.
(ඔහු නිසාත් ඔහුගේ පුතා නිසාත් මම අළුත්කඩේ අධිකරණ පරිසරය අත්වින්දෙමි. එහිදී "අනුකම්පාව, රිදෙන හිත් සහ මානව දයාව " පැත්ත පළාතක නැති අමුතුම සත්ව විශේෂයක් ඒ අනුකම්පාව දයාව ගැනම වරු ගනන් තර්ක කරන හැටි දුටුවෙමි. )


කෙසේ හෝ අපි 181 ගෙදර අම්මාගේ ප්ලේන්ටි බොමින් බත්කමින් ප්‍රේමදාස ගැනද විජේවීර ගැනද අළුත් පොත් ගැනද කවි ගැනද කියව කියවා ඉද කළුවර වැටුනු පසු ගෙදර යන්නෙමු. බොහෝ විට ලංගමයේ සීසන් එක ප්‍රයෝජන ගෙන ගියද සමහර දාට වත්තේගෙදර සිට මගේ යාලුවා ඉන්නා විජේරාම හන්දියටත් දෙල්කද අපේ ගෙදරටත් පයින්ම යන සිරිතක් තිබුනෙන් අද වාගේ හතිළන්නේ නැතිව ගෙදරට යනකම් පයින් ගියෙමු.
මෙහෙම දවසක මුද්දර ප්‍රදර්ශනය ගැන කතිකාවක් ආවේය. අපි කතිකාව ස්ථිර කළෙමු. ඊළගට ඒ ගැන තොරතුරු සෙව්වෙමු. 


(අපේ මුද්දර කතාව එන්නේ මේ 181 හරහා මුත් ඒ අදහසේ මුල් අයිතිකරු කවුරුන්දැයි කියන්නට මට මතක නැත. එය මා දැන් හිතන විදියට නම් විජේරාමේ සුභද්‍රාරාම විහාරයට ඉදිරිපිට වංගුවේ මගේ කැත කළු මිත්‍රයාගේය. ඔහු මුද්දර ගැන පකීර් කෙනෙකු විය. ලොකු මුද්දර එකතුවක්ද ඔහු සතුව තිබ්බේය.)


අප දැනගත් පරිදි ලංකාවේ නම් මුද්දරයේ ඔස්තාර් වූයේ ෆ්‍රැන්සිස් .පී.ගුණසේකර   මහත්තයාය. ඔහු එකල සිළුමිණේ මුද්දර ගැන තීරු ළිපියක් ලියමින් මුද්දර ළෝලියන්ගේ පිපාසාව නිමනවා වෙනුවට ගිණි ඇවිළුවේ ලෝකයේ විවිධ මුද්දර ගැන වර්න පින්තූරද පළකරමිණි. ඒ ලිපියම Sunday Observer පත්තරයේද පලවූවා මෙන් මට මතකය.ඒ නිසා මූලිකවම ඔහු හමුවී මේ ගැන දැනගන්නට - උපදෙස් ගන්නට අපි තීරනය කළෙමු. අවාසනාවකට අපි ඔහු හමුවීමට දෙවතාවක්ම ලේක් හවුස් කාර්යාළයට ගියමුත් හමුවෙන්නට අවස්ථාවක් නොළද්දෙමු. ඔහුට යැවූ ලිපි කීපයකටද ලේක් හවුසියේ තබා ආ පණිවිඩ කිහිපයකටද පිළිතුරු ළැබුණේ නැත. ඒවා සමහර විට ඔහුට නොලැඹෙන්නට ඇත.


අපි අපේ විදියට වැඩේ කරන්නට තීරනය කළෙමු.

ඊළගට ප්‍රදර්ශණයක් පැවත්වීමට සුදුසු තැනක් සොයා කොළඹ පීරුවෙමු. අද නම් වෙබ් පිටුවකට පිවිස බොත්තම් කිහිපයක් එබූ සැණින් තොරතුරු ආවත් එදා අප තැන් දෙක තුනකටම ගොස් අවසානයේ කොළඹ ජාතික පුස්තකාළයේ "කුඩා ශාලාව" තෝරා ගත්තෙමු. කුඩා ශාලාව දැනටත් තිබෙන "මහ ශාලාවට" කෙළවර තිබුණු  ලොකු එළියක් නැති එකක් වුවත් එහි ගාස්තුව රුපියල් හැත්තෑ පහක් නිසා අපි එක පයින් එකඟ වුනෙමු. ශාලාව වෙන්කරවාගන්නට උඩුමහලට ගියවිට එහි අදාල කාර්යය භාරව සිටි තළතුනා කාන්තාව අපව තඹ සතේකට ගණන් ගත්තේ නැති එක නම් මට අදත් මතකය. "  මෙව්වා බරපතළ වැඩනේ..ඔය ඉස්කෝළෙක ශාලාවක් අරං කළොත් මොකෝ ළමයිනේ.." කියා ඇසුවාද මට මතකය. 
(එහි වැරද්දකුදු නැත. අද ඒ ජයාරූප බළද්දී මට මාව අදුනාගන්නටත් බැරිය. මගේ කැත කළු යාළුවා අජ කැත කෙට්ටු එකෙකි. මෙහෙම එව්වෝ කොළඹ ඇවිත් මෙහෙව් එකක් කරන්නට තරම් පන ඇති එවුන්දැයි ඈ හිතන්නට ඇත.)
ශාලාව වෙන්කලාට පසු ඇගේ ප්‍රශ්න වැලේ තව එකක් වූයේ " කවුද ඉතින් ආරාධිත අමුත්තෝ...? " යනුයි. අපි එහෙම කෙංගෙඩියක් ගැන හිතා හිටියේ නැත. අපි ගත් කටටම "අපේ ප්‍රින්සිබල් සර්" කීවෙමු. ඒ වෙළාවේ හැටියට එය ගැලවීමේ මාර්ගයකි.

පසුව අපි ආරාධිත අමුත්තනගේ ලැයිස්තුවක් සකස් කළෙමු. අංක එක අපේ ඉස්කෝළේ විදුහල්පති වූ ජයසුන්දර සර්ය. දෙවැනියා 181 මිත්‍රයාගේ තාත්තා සේවය කල "නීතී පිළිසරණ සේවයේ " ආරම්භකයෙකු මෙන්ම 89 මැතිවරනයෙන් පාර්ලිමේන්තුවට ආ  නීතීඥ නිමල් සිරිපාල සිල්වාය. රාජකාරී හෝ අධික වැඩ නිසා ප්‍රින්සිපල් සර් ආවේ නැතත් සිරිපාල මන්ත්‍රීතුමා එන බව අපට ටක්කෙටම ෂුවර් විය. එතුමාට එකළ එහෙමට වැඩක් තිබ්බේ නැත. 

 (මේ ළඟදී නම් එතුමා රෙදි කඩයක් විවෘත කරන්නට මාලඹේ හන්දියට ආ වෙලේ මට වැඩ ඇරී ගෙදර එන්නට අඩ පැයකට වඩා බලා සිටින්නට සිදුවුනේ පාර වසා තිබූ නිසාවෙනි.)

ඉස්කෝළේදී ආරාධනාව කල හැටියේ ප්‍රින්සිල් සර් එන්නට කැමැති විය. 
නිමල් සිරිපාල මන්ත්‍රීතුමා ආරාධනාව පිළිගත් බව 181 යාළුවාගේ තාත්තා තහවුරු කලේය. 

එහෙත් අඩුපාඩුවක් තිබේ. ඒ මහන්සිය අපේ වුව මේක නිමල් මන්ත්‍රීතුමාගේ නමට වැටෙන එකය. අපි ඊට "හරහට" කෙනෙක් ගෙනෙන්නට යෝජනා කළෙමු. ඒ අනුව වැඩේ කොළඹ නිසා එකල කොළඹ නගර සභාවේ පුරපති වෙන්නට විකල්ප මාධ්‍ය විසින් ඉඟිකරමින් සිටි හා ප්‍රේමදාස මහත්තයාගේ ලඟින් යන පෙනුමකුත් තිබූ රත්නසිරි රාජපක්ෂ ගෙනෙන්නට අපි කතිකා කරගත්තෙමු.
එහෙත් අපි ඔහුව දැනහිටියාට ඔහු අපිව දන්නේ නැත. ඉන්නා තැනක් දන්නේත් නැත. අනෙක ඔහු එකල නැගී එන දේශපාලකයෙකි. මේ ඉස්කෝලේ යන කොල්ලො කුරුට්ටන්ගේ වැඩක් කියා අපව ගනන් නොගනීදෝ කියා සැකයකුත් තිබුණෙන් අපි ඔහු මුණගැහෙන මඟක් සෙව්වෙමු. අන්තිමේ අපේ වෙලාවට කෙනෙක්  නැදිමාලේ බෝ ගස අසළින් දෙහිවල පැත්තට දිවෙන පාරේ තුන්වෙනි ගෙදර හිටි සෝමදාස අයියාව අපට අදුන්වා දුන්නේය.
ඔහු සෝමදාස අයියා  "පතාර් යූ ඇන් පී ඉත්තෙකු" බව කීවත් අප මේ වචන වල තේරුම වත් දැන නොසිටියෙමු. 
එහෙත් ඔහු අහිංසක සරල මිනිසෙක් විය. ජීවත් වූයේද තනිවම බව ඒ ගෙදරට ගිය පළමු අවස්ථාවේම අපට තෙරුම් ගන්නට පුළුවන් වුවත් ඔහුගේ රැකියාව හෝ ජීවත්වීමට කුමක් කරන්නේදැයි අප නොදැන සිටියෙමු. එහෙත් ඔහු සාමාදාන විනිසුරුවරයෙකු බව දොර එළිපත්තේ එල්ලා තිබුණු කුඩා බෝඩ් ලෑල්ලකින් දැකගන්නට පුළුවන් විය.
මේ
සෝමදාස අයියා අපේ අවශ්‍යතාව අසා අනාගත පුරපති රත්නසිරි රාජපක්ෂව අපේ උත්සවයට "සෙට්" කරදෙන්නට පොරොන්දු විය. ඕනෑ නම් ප්‍රේමදාස ජනපතිවරයා වුව "මේ දැන්" ගෙන්විය හැකි බව ඔහුගේ කතා වළින් " පැහැදිළි" වුවත් අපි අනාගත පුරපති කෙරෙහී විස්වාසය තැබුවෙමු. 

ඊළග දවසේ ඔහු අපට අරාධනාවක් සකසාගෙන ඔහුත් එක්කම
න්නට වෙලාවක් දුන්නේය. ඒ වෙලාවට අප ඔහුව හමුවුනේ නැදිමාලේදීද නැත්නම් මහරගමදීද කියා මතක නැතත් ඔහුට බස් එකට ටිකට් ගත්තේත්, මාළිගාවත්තේ මහල් සංකීර්ණය ළග තේ කඩේකින් ප්ලේන්ටි බීවේත් අප ගානේ කියා මට මතකය. එහෙම මතක ආපහු එන්නට හරි බස් ගාස්තුව එක සාක්කුවක තබාගෙන අනෙක් සාක්කුවෙන් පොඩි සල්ලි වගයක් එහා මෙහා කල මගේ යාලුවා දහ වතාවකට වඩා " මේක හරියන්නේ නෑ බං..මූ තේ බීලා වඩේ එකකුත් 
කෑවා .." කීම නිසාවෙනි.
අන්තිමේ අපි වෙලාව බලමින් මාළිගාවත්තේ තට්ටු නිවාස පෙලේ එක පඩි නගිමින් තට්ටු පහ හයක් තරණය කළෙමු. එක තැනකදී නතරවූ ගෙදර දොරේ "රත්නසිරි රාජපක්ෂ " කියා බෝඩ් ලෑල්ලක් අලවා තිබිණ. අපි එහි සීනුව නාද කළෙමු. දොර කඩන්නට සයිස් එකෙන් දොරට ගැහැවෙමු. එහෙත් ප්‍රතිචාරයක් නැති තැන පල්ලම් බැස්සෙමු. අන්තිම පඩි ටික බහින විට සුදු කොට කළිසමක් සහ 
"දුවන සපත්තු " දාගෙන දාඩිය පෙරාගෙන ආ කළුම කළු සුදුම සුදු දත් දෙපළක් තිබූ මිනිසා සෝමදාස අයියා හදුනාගෙන "යං යං " කීය. අපි ආපහු අර පඩිපෙල නැග්ගෙමු. සාක්කුවේ යතුරකින් දොර ඇරගත් කොළඹ අනාගත පුරපති අපට ඉදගන්නට සන් කොට " තේ එක බොමු නේද..?" ඇසූ සැණින් මගේ යාලුවා " නෑ අපි මේ දැන් බිව්වේ " කීවේ තව කීයකට හරි තට්ටු වෙයි කියා හිතපු නිසා වන්නට ඇත. කෙසේ හෝ අප ආරාධනාව දික් කලෙමු.
ඔහු විස්තර අසාගේ ඇතුළෙන් පොතක් ගෙනවිත් එය ළියාගත්තේය. "ඉන්ඩ තේ එකක් බීලම යමු... තේ බොන්නට වතුර ලිපේ තියන්ඩද..? " යි ඇසුවේය.
සෝමදාස මෙන් ඔහුද  තනිකඩයෙකු වන්නට ඇත. අපි ස්තූති කොට පල්ලම් බැස්සෙමු. 

ඒ පල්ලම බැස
සෝමදාස අයියා යන්නට කියා පිටකොටුව බලා ඇදුනෙමු. ඒ මුද්දර ඇලවීමට කළු ඩිමයි ගන්නටය. පිටකොටුව දෙවනි හරස් වීදියේ කාඩදාසි කඩ පිරමින් ලාබම කළු ඩිමයි කඩදාසි සෙව්වෙමු. අන්තිමේ ගණන් ඇසූ විට "රීමම ගන්න මල්ලි යේක ලාබයි" කියා කඩේ මුදළාලි කීවද අපට මේ රීම ගැන තේරුණේ නැත. පෝළිමේ සෙනඟ බලන් ඉද්දී "රීම" ගැන අනේක ප්‍රශ්න ඇසූ අපට මුදළාලි " ගන්නවනං ගන්ඩ අයිෂෙ" කියා සත්තමක් දාද්දී කඩෙ කොළුවා අපට එය තොග ගනන බවත් ලාබ බවත් කීවෙන් හනික මුදල් ගෙව්වෙමු.

 ඒ කොළ බණ්ඩලයත් තව කාඩ්බෝඩ් තොගයකුත් මිලදීගෙන 138 බස් එකක පටවාගෙන  විජේරාමේ යාළුවාගේ ගෙදර ආවෙමු. එහිදී මූලිකා කාරණා ලෙස අඩි තුනක් උස දෙකහමාරක් පමණ පලල ඩිමයි කොලේ උඩින්ම රටවල් අනුව වර්ගකල ලේබලය අලවා පැත්තකට කලෙමු. ඉන්පස්සේ ඒ ඒ රටවල් වලට අදාල මුද්දර ඇලවූවෙමු. මුද්දර කවර වලට වෙනමම ඩිමයි කොල විය. සමහර මුද්දර ලැබී තිබුණේ මගේ විජේරාමේ යාළුවාගේ හිතවත්කමක් උඩ පරෙස්සම් කර දෙන පොරොන්දුව පිටය. ඒවා අලවන්නට තහනම් විය. ඒ සදහා අඟලේ ඉටිකොල ගෙන දෙකට පලා කාඩ්බෝඩ් වල රදවා දැන් විකුණන්නට තිබෙන " මුද්දර ඇල්බම් " විදියට හදන්නට විය. ඊට අමතරව කීයක් හරි හොයාගෙන වියදම් පියවාගන්නට අගල් හයේ හතරේ කඩ්බෝඩ් වල ඇලවූ වැඩිපුර මුද්දර පිහිට විය. 

 ඊට අමතරව කුඩා පොතක් ලෙස සැකසුණු සමරු කලාපයක්ද නිමා කෙරිණි. අද මෙන් කොම්පියුටරයෙන් නොව 181 යාළුවාගේ අතින් ඇදුනු" එකමුතු " අකුරු කොටස් සහ වෙනත් චිත්‍ර සදහා බ්ලොක් කැපුණේ බොරලැස්ගමුවේ තැනකින් බව මට මතකය. ඇළුමිනියම් අච්චුවක කැපුණු හැඩතළ මුද්‍රණය කලේ මහරගම වැව පාරේ තැනකය. මේ සමරු කළාපයට මුද්දර ගැන ලොකු විස්තරයක් අයිති විය. රටවල් අනුව මුද්දර වර්ග කෙරෙන හැටි, නම නැතිව මුද්දර නිකුත් කරන රටවල් ගැන විශේෂ සටහනක් විය. විස්තර සොයා අප කොළඹ මුද්දර කාර්යාංශයට පවා ගිය මතකයක් ඇති මුත්, එකළ එය කොළඹ සුපිරි ගොඩනැගිල්ලක් වූ සෙලින්කෝ මන්දිරයේ තිබීම ගැන විවේචනයක්ද මේ ළිපියට ඇතුල් කලා වාගේ මතකය. මුද්දර එකතු කලෝ මේ මන්දිරයේ හතරවෙනි තට්ටුවේ මුද්දර කාර්යාංශයට ඒම තබා එහි අසලින් යාමද නොකල බව නම් සැබෑවය.

ඊළගට ප්‍රදර්ශණය සදහා ප්‍රචාරණයක් ලබාගැනීමට පුවත්පත් වලට ලීවෙමු, බැනර් දෙක තුනක් (මහරගම, නුගේගොඩ, කොළඹ හන්දි වලට ) ඇන්දෙමු. මේ වැඩ සදහා 
181 යාළුවා රෑ නිදිමරාගෙන වැඩ කලේය. අන්තිමේ අප බැනර් එල්ලන්නට යද්දී පාරේ අනෙක් පැත්තේ ලොරියක බැනර් කපන අය දැක තුෂ්නිම්භූත වූයෙමු. පසුව දැනගත් පරිදි ඒ බැනර සදහා නගර සභාවට ගෙවීමක් කොට යම් අංකයක් ලබාගත යුතුව තිබිණ. ඒ අංකය අර බැනරයේ යටින් සදහන් කල විට බැනරය කපන්නේ නැත. ඒත් ඕවාට රස්තියාදු වෙන්නට වෙලාවක් නැත. නෙක මුදළ් ද නැත. ඊට එහා පැත්තේ නාට්‍යයක බැනරයක් තිබ්බේ හොද වෙලාවටය. ඒ අංකය අපේ බැනරයේ තිබ්බාට 'කපන " අයට එක දැනී තිබුණේ නැත. අපට අමතරව වියදම් වූයේ "පර්මනන්ට් මාකරයක" ගාන පමණ.

අප සියළු දෙනා ප්‍රදර්ශනය දාට කළින්දා හවස ගොස් සියල්ල ලක ලැහැස්ති කොට ගෙවල් වලට ගියත් මම විජේරාමේ යාළුවාගේ ගෙදර  නැවතුණෙමි. පහුවෙනිදා 181 යාළුවා තාත්තා සමග නිල් ඕපල් කාර් එකෙන් අප එක්කගෙන යන්නට එනවා කියා ආවේ නැත. ඒ නිසා අප බස් එකක නැගී කොළඹ ආවෙමු. ඇවිත් සියල්ල සකසාගෙන උත්සවයට සූදානම් වෙද්දි  අපේ යාළුවා හැන්ඩි පහට ඇද පැලැදගෙන ආ විට අප කියූ ද මෙහි ළියන්නට බැරිය. 

ජයසුන්දර විදුහල්පතිතුමා මුළින්ම වෙළාවට ආවේය. 
දෙවනුව  නිමල් සිරිපාල සිල්වා  මන්ත්‍රීතුමා ආයේය. 
තෙවැනුව රත්නසිරි රාජපක්ෂ අනාගත පුරපතිතුමා ආවේය. 

එහෙත් ඔහුගේ මුහුණේ ලොකු එළියක් තිබ්බේ නැත. හේතුව දැනගත්තේ පසුවය.

හේතුව එදා මහ ශාලාවේ " කොළඹ පුරපතිගේ නොසැකිළිමත් පාලනයට එරෙහිවෙමු " නමින් වූ වෘත්තිය සමිති රැස්වීමය. එහෙම එකක් තියෙනවා කියා අප
ත් දැන සිටියේ නැත. රත්නසිරි රාජපක්ෂ අනාගත පුරපතිතුමා කුඩා ශාලාවේ පීත්ත පටිය කපද්දී එක බිත්තියකින් එහා පැත්තේ මහ ශාලාවේ  එතුමාගේ පදවියේ සිටි පුරපති මොහොමඩ් මහතාට දෝෂාරෝපණය කරමින් උද්වේගකර කතාවකි. එහෙත් ඔහු නිහතමානී ලෙස ප්‍රදර්ශණය විවෘත කොට "මුද්දර පැකට්" දෙක තුනක්ද මිළදී ගෙන නික්ම ගියේය. 

අද වගේ දවසක නම් " අපේ ඒවා පැකට් ' කරනු නොඅනුමානය. (ඔහු ඒ ගැන ලොකුවට හිතන්නට නැතිව ඇත. පසුව ඔහු සැබැවින්ම පුරපති තනතුරට පත්විය.)

අන්තිමේ  අපි ප්‍රදර්ශණය සාර්ථකව නිම කළෙමු. බොහෝ දෙනා එය බලන්නට ආහ. මා දන්නා තරමින් එය ලංකාවේ පැවත්වූ පළමු මුද්දර ප්‍රදර්ශණයය. එකම එක වන්නටත් පුළුවන. 


අද මගේ පින්තූර ඇල්බමයේ මගේ පින්තූර, අනුන්ගේ පින්තූර සහ සොරකම් කල පින්තූර අතරේ මේ

 " එකමුතු මුද්දර දැක්මේ " පින්තූර තිබේ. (මා සොරකම් කළ නිසා තාම ඒවා සුරකිව තිබේ.)  ඒ ගැන ආඩම්බරය. 

එහෙත් පොඩි දුකකුත් තිබේ. 

ඒවායේ ඉන්නා රත්නසිරි රාජපක්ෂ, ජයසුන්දර සර් වැනි අය ජීවතුන් අතර නැති එකය. 
නූල් වගේ කෙට්ටුවට හිටි අපට තඩි බඩවල් ඇවිත් තිබීමය. 
අම්මා ලස්සණ සාරියකින් සැරසී ලොකු අයියාගේ අක්කා සමග මුද්දර බලන නිරෝගිකමය. 
තරුණකමය. 
181 යාළුවා තවදුරටත් යාළුවෙක් නොවන එකය. 
දැන් මේ පින්තූර වලට අවුරුදු විසි අටකට වඩා වැඩි විමය. 

ඒ අතරේ තව දුකක් තිබේ. ඒ නම්

ගොඩ දවසකින් මෙව්වා ගැන කතා කරමින් හිනාවෙන්නට, අඩියක් ගහන්නට මම ඒ වෙලාවට දුමක් අදින්නට උත්සාහ කළ විට අම්මා මෝ නැතුව බනින්නට බැරි තරම් එදා එකට සිටි මිත්‍රයයෝ "බිසි " ජිවීත ගතකිරීමය. (මා ඇතුළුව.)


ප.ලි.
අර කළු ඩිමයි වල මුද්දර ගලවන්නට නම් අපි එකෙක්වත් ගියේ නැත. මගේ යාළුවා ඒ කළු ඩිමයි කන්ද කොහොම ඉවරයක් කරගත්තාදැයි මම දන්නේ නැත. එහෙත් මේ වැඩ සියල්ලෙන් පසු දවසක් චිත්‍ර ප්‍රදර්ශණයක් පවත්වන්නට යෝජනාවක් ගෙන විජෙරාමේ ගෙදර ගියවෙලේ ගෙයි පිටුපස වතුර ටැංකියක මුද්දර තොගයක් අර කළු කඩදාසි පිටින් පෙගෙන්නට දමා ඇති අයුරු නම් දිටිමි. එහෙත් ඌත් අද වෙනතුරුත් මේ වන් මංගල්ල වලට කරගැහීම අතහරින්නේ නැත.

Sunday, September 24, 2017

දැං මං උපාලිට බය නැත.....



ලී වැඩ ගැන මට දැනුමක් ආවේ, මං නවන්දන්න එකෙක් නිසාවත් මගේ පරම්පරාවේ එකෙක්වත් ලීවැඩ කළ නිසාවත් නොවේ. එහි දශමකයක හෝ ගෞරවයක් ඇත්නම් යායුත්තේ අල්ලපු වැටේ ජෝරිස් සහෝදරයන්ගේ ලී මෝලටත්, ඒ සහෝදරයන් වූ රංජි, ආනන්ද, නිහාල් සහ මහින්ද අයියලාටත්ය. ඒ අස්සේම ප්‍රේමසිරිටත් ඒ ගෞරවය හිමිවිය යුතුමය. මන්ද මගේ "පොඩි පොඩි" බරපතල වැඩ වලට කන මිරිකා හෝ ටොකු ඇන හෝ උදව් කලේ ඔහු බැවිනි.
මට මතක ඇති වරෙක මම කුඩා කොපි පොතක කොලයක් පුරා චිත්‍රයක් ඇන්දෙමි. ඒ චිත්‍රයේ තිබුනේ දිගු බටයක් සහිත තුවක්කුවකි. සීනී අක්කාගේ මහත්තයා වූ ලක්ෂ්මන් අයියා විසින් ගෙනෙන VHS චිත්‍රපට වල තිබ්බේ මේ ජාතියේ තුවක්කුය. මම ඒ උන්මාදයෙන් තුවක්කුව කොපි පොතේ ඇන්දාට එය ලීයෙන් හදාගන්නා ක්‍රමයක් ගැන දහ අතේ කල්පනා කලෙමි. කල්පනා කරන්නට හේතුව "ජෝරිස් ලී මඩුවේ " කාට කිව්වත් මෙය නොකෙරෙන නිසාය. ඒකට හේතුව තුවක්කු බට උස්සාගෙන එහේ මෙහේ දගලන එක ඒ කාලයේ ඒ තරම් සුබදායක නොවන නිසාවෙනි. අන්තිමේ තුවක්කු බටයට කොසුපොල්ලක්  හොයාගත් මම තුවක්කු බදේ චිත්‍රයක් ඇද බයෙන් ගැහි ගැහී ප්‍රේමසිරි අයියාට දුන්නෙමි. ප්‍රේමසිරි අයියා මා සිතුවා සේම පළමු ප්‍රශ්නයෙන්ම දමා ගැසුවේය.

"මේ මොකක්ද බං.."
"මේකක්.."
"මේකක්..? මොකක්ද බිජ්ජෝ මේක කියන්නේ.."
"මේ මේකක්...ඔයා හදලා දෙන්නකො.."
"හදන්න යකෝ කියහංකො මොකක් කියලා උබේ මේක.."

මම අර කී බිජ්ජෙන් හුජ්ජ යන සයිස් එකෙන් බයවී

"තුවක්කුවක්.."

කීමී. ප්‍රේමසිරි අයියා මට ලෙන්ගතු හිනාවක් පෑවෙන් අර චූ බර ගතිය පහවී ගියේය.

"මට තේරුණා උඹ නැලවෙනකොට..හා හා..වරෙන් වරෙන්"

මම ප්ලෑන් බී නැතහොත් "එහෙම වුනොත් මෙහෙම" තියරියෙන් මල් හිනාවක් දා වීසීකරන, ළිපේ දාන ලී ගොඩට වැටුණෙමි. එහි මගේ තුවක්කු බදට ඕනෑ වෙන කෑල්ලක් මම කළින්ම හංගා තිබ්බෙමි. එයත් ගෙන ප්‍රේමසිරි අ‍යියාගේ වඩු බංකුවට ගිය විට එතැන හිටි ජෝරිස් නිහාල් අයියා මගේ තුවක්කු ප්ලෑන් එක අතට ගෙන ඇස් ලොවිගෙඩි දෙකක් මෙන් රතු කරගෙන මට කඩා පැන්නේය.
නිහාල් අයියා "හොදට බොන" කෙනෙකි. ඒ වෙලාවේත් එහෙම හොදට බී ඉන්නට ඇත. ඒ බීමේත් මගේ තුවක්කු ප්ලෑනේත් අවසානය එයම විය.

"වෙන ඕන කෙහෙල්මලක් කරගනින් මඟුල් තුවක්කු හදන්නේ නැතුව..."

ඒ අවසාන වාක්‍ය විය. මට අර කළින් ලෙන්ගතු පාටට හිටි ප්‍රේමසිරියාට දික් යත්තෙන් ඔළුවට එකක් දෙන්නට හිතෙන ළමා සිතිවිල්ලක් පහළ වුනත් ඒ වයසට අපට ඉවසන්නට වීම සාමාන්‍ය නිසාත් ඔහේ කරබාගෙන හිටියෙමි. එහෙත් ප්‍රේමසිරි අයියා මෙහෙම යෝජනාවක් කළේය.

" හරි උඹට මං ශෝක් බඩ්ඩක් දෙන්නං ..ඒක උඹ හදාගනින් .."

කියා ලොකු සුදු කොලදෙකක ඇද තිබුණු චිත්‍රයක් දුන්නේය. එහි තිබුණේ බොක්ස් ගිටාරයක සැලසුමකි. එය කාගේදෝ යැයි මා දන්නේ නැත. එහෙත් එය මගේ හිත අස්සෙන් ගොස් ඔළුවේ කොනක (මෂ්තිස්කයේ වෙන්නට ඇති.) සටහන් වුණේය.
එදා සිට සතියක් ඇතුලත මම මගේ ලී ගිටාරය හදා වයර් කම්බි දෙකකුත්, තංගුස් කම්බි දෙකකුත් සවි කළෙමි. වැඩේ ඉවර වී පහුවෙනිදාක ඉස්කෝළේ යන ගමන් උපාලි කන්නංගර හිටි දිපානි ප්‍රෙස් එකට මෙහා පැත්තේ බිල්ඩිම උඩ බළාගෙන ගමන්කළෙමි. මට ඕනෑ වී තිබුණේ උපාලි කන්නංගරට මගේ ගිටාරය ගැන කියා (මට මතක ඇති විදියට) "සුපර්ස්ටාර්ස්" බෑන්ඩ් එකට බැදෙන්නටය. එහෙත් උපාළි මා සත පහකට ගනන් ගත්තේ නැත.

හේතුව

සමහර දාට උපාලි කන්නංගර බැල්කනියේ ඉද හිනාවක් දැම්මාට මම අහක බලාගැනීමය. (මොන මංගල්ලයකට මම උපාලිට බයවුනාදැයි මම දන්නේ නැත.)
කෙසේ හෝ අන්තිමේ ගිටාරයගෙයි මුල්ලකට හේත්තු විය. ආපහු ගිටාරය ඔනෑ වුනේ ජීවීතයක් බේරාගන්නටය. ජීවිත එකක් නොව දෙකක්ම බේරාගන්නටය.

ඒ අපේ පූසිගේ පැටව් දෙන්නාය.

මහපූසි වැදුවාට බැලුවේ නැත. බලනවා තියා කිරි ටිකක්වත් දුන්නේ නැත. ඌ කළේ යළි අවලමේ යාමයි. අන්තිමේ මම අපේ අල්මාරියත් බිත්තියත් අතර ගෙයක් හදා අල්මාරි කකුලේ පූසිගේ එක කකුළක් ගැට ගැහුවෙමි. දැන් පූසිට යන්නට බැරිය. මුළින් මුළින් දැඟළුවාට පස්සේ පූසි තම උත්සාහය අතහැරියේය. ඌ බිම පෙරළි නිදද්දී පැටව් දෙන්නා කිරි උරා බොන්නට පුරුදු විය.
උන් ඉතා ඉකමනින් හැදි ආවේය. පූසිගේ කකුළ ලග තුවාලයක් හැදුනත් ඒවා අප ගනන් ගත්තේ නැත. "අප" කීවේ මේ වෙනකොට ලොකු අම්මා, අම්මා, අක්කලා වස බාප්පා ඇතුළු සියල්ලන් මගේ පරිශ්‍රමයට උදව් කරන්නට ආ හෙයිනි. කීප වතාවක්ම මේ පූසිය පැටව් දැම්මාට කිරි නොදීමෙන් මියගොස් තිබුණේය.
කෙසේ හෝ මම පූසිට එන්නට එළියට බැරිවෙන්නට තිබ්බේ අර ලී ගිටාරයය. ඒ ගිටාරය මහ බර එකකි. පූසිය ඒ බර ගිටාරය අස්සෙන් පැනගන්නට දැඟළු දවසක අර ගිටාරය පැටව් දෙන්නා අතරට වැටී තිබුණේය. ඒ බරට එකෙක් මියගොස් අනෙකා ඉතුරු වී තිබුණෙන් වස බාප්පා ගිටාරය වෙනුවට ලෑල්ලක් ඇණ ගසා හේත්තු කොට තිබුණේය.
අන්තිමේ ඉතුරු වූ එකා සැපට හැදුණෙන් ඌ පුළුන් ගොඩක් මෙන් මහත් විය.

අන්තිමේ දෙල්කදින් ලොරියක පටවා ගත් ලට්ට ලොට්ට අස්සේ ගිටාරයද අර පූස් පැටවාද හෝමාගම ගෙදර ආයේය. බස් එකෙ ආ අය අතර ආච්චි, ලොකු අම්මා ඇගේ දියණිය මෙන්ම ජෝරිස් පවුලේ අයද විය.
මම අළුත් ගෙදර පූසාට කූඩුවක් හැදුවෙමි. ඌ එහි ඉන්නට බලවත් ලෙස අකමැත්ත පළ කලෙන් මුදා හැරියෙමි. දවස් දෙකක් විතර නැතිවී සිටි පූසා යළි ආයේ මුත් ඉදහිට කකුළ් වලට පැන සපාකන පුරුද්දක් විය.
උට මේ පරිසරය ගැන කළකිරෙන්නට ඇත. එහි වසර පහක් විතර සිටි මටද ඒ පරිසරය එපා විය.
එහෙත් අවාසනාවකට අපේ බඩවල් පිරෙන්නට මුළු ජීවීතයම කැප කල, පැන්ෂන් පඩිය මරනයෙන් මතුද මාස දෙක තුනක් ගන්නට පුළුවන් වූ,  තාත්තාගේ ඇහෙන් මරණයක් වෙනුවෙන් කඳුළක් හෙලන්නට ඇති එකම කෙනා වූද, අම්මා සමග නොවිදිනා දුක් ගැහැට විදි ආච්චී  මනස වියවුල් කරගත්තාය.
ඈ ඟංගොඩවිළ යන්නට ඕනෑ කියා පාර දිගේ ඇවිද්දාය. සිහි විකල්ලෙන් දෙඩෙව්වාය. අන්තිමේ අසනීප වී එකතැන් වී අපත් සමගම තවත් දුක්විද මියගියාය.

ගිටාරය මුළ්ලක තිබී වේ හුඹස් බැද දිරාපත් විය.

මම අද වෙනතුරු ගිටාරයක් තබා තාලයකට සින්දුවක් කියන්නටවත් දැනගත්තේ නැත.

ජීවීතය එහෙම පුදුම එකකි.

මගේ පුදුමය නම් මේ සරල, ලොකු  කියවීමක් නැති වචන, අකුරු, සිදුවිම්, මිනිසුන්, සතුන්, ගහකොළ, ඟද සුවඳ,   සියළු දේ අතර ලොකු ගැඹුරු බැදීමක් තිබීමයි. මගේ තුවක්කු චිත්‍රය දීර්ඝ කතාවක් එකට ඇමුණුවේය. දීර්ඝ කාලයක් එකතු කළේය. ජීවීත බේරාගත්තේය. මරා දැම්මේය. මතක ලොරි බාගයකට සෑහෙන්න එකතු කොට ගිටාරයක් බවට පත්වෙමින් දිරාපත්ව නැතිවී, ශුන්‍ය වී ගියේය.

දිනෙක මමද එසේම මගේ මතක ලොරියද රැගෙන පල්ලම් බහිනු ඇත. ඊට කළින් මගේ මතක මා දන්නා, නොදන්නා, ආදරය කරන අය අතර කියවෙන්නට දෙන්නට වුවමනාවක් ඇති වී තිබේ. ඒ නිසා යළි ලියන්නට සිත්විය.

ජීවීතය නම් අපූර්වමය.

Monday, May 15, 2017

තුවාල හොදවන තුරු නවතිමි..... (අවසාන කොටස )




















කිසිම විශේෂ හේතුවක් නැතුවත් ..සරල හා අහඹු ලෙසත්...
බොහෝමයක් අය මට ආදරය කලෝය...

එහෙත්  ගිණිය හැකි තරමේ අල්පයකට මම ආදරය කලෙමි...

ඒ අතරේ...


මා වැටෙද්දී...ඕනෑකමින් ගිලෙද්දී...මා වෙනුවෙන් දිගු කල දෑතක් තිබිණි...
මට එය නොපෙනී තිබුනේ ඇයි කියා මා දහස්වර කල්පනා කලෙමි...

එහෙත් ඇත්ත නම් මා කිසි විටෙක ඒ දෑත ගැන කල්පනා නොකල බවයි...


ඇගේ හදවතේ මා වෙනුවෙන් වූ තුවාලය මා විටින් විට පාරන්නේ යැයි මට දැනෙන විටත්..ඒ තුවාලය කුඩා සියුම් එකක් බව දැනෙන විටත් මා පරක්කු වැඩි බව දනිමි...

ලොකු තුවාල වලට වඩා සියුම් තුවාල රිදෙන්නේ යැයි මා දැනගත්තේ අද ඊයේය...

ඒ තුවාල ඔහොම තියෙද්දෙන්....

Tuesday, May 9, 2017

කුරුළු තොරණ් වල මතක..


වෙසක් නිවාඩුවට පානදුරේ පුංචිලාගේ ගෙදර යන්නට එවර නියමිත විය. අපි නිවාඩු යන්නේ ඒ ගෙවල්වල අයට වෙන වැඩ තිබේදෝ හෝ වෙන ගමන් යෙදී තිබේදෝ සිතා නොවේ. ගමන් මල්ල ලහැස්ති කරන්නේ මමය. අම්මා ගමන යන්නට ඕනෑ කරන වියදම සපයාගෙන දෙල්කදින් කොටුවටත් එතැනින් පානදුරටත් පානදුරෙන් දිබ්බැද්දටත් ගමන් මල්ලත් කොට කලිසං කොල්ලාත් අල්ලාගෙන ගමන් කරනීය.

එදා සීටීබී බස් වල ජනෙල් කවුළුවලින් හඹා ආ සුලං වලින් අම්මාගේ හිසකේ අවුල් වන්නේය. සිගරට් දුම එක ජනේලයක අයිනේ සිට ගැහැණු පිරිමි ළමයි ආදී හුස්ම ගන්නා සියල්ලන් හඹා අප වෙතද එන්නේය. විටෙක ඉදිරිපස ජනේලයකින් ගැසූ බුලත් කෙල පිඩක් චිරිස් ගා බිදී විත් අපේ මුහුණවල් වල කුඩා රත්පැහැති හැඩ කරන්නේය. බස් රථවලට ආගන්තුක කුඩා දරුවෙක් වමනයට ආ සැනින් දෙමාපියන් වහාම ජනේලයෙන් පිටට හරවන්නේය. ඉන් පිටුපස්සේ ජනේල දඩි බිඩියේ වැහෙන්නේය. වැහෙන්නේ නැති ජනෙල ලග ඉන්නා වුන් දනිපනි ගා නැගිටුවන්නට සමත් හඩ නම් මට තවමත් මතකය. අදත් සමහර බස් රථ වල අර ලොකු වමනය පැල්ලම ඇද්දැයි මා බලමි. එහෙත් කාලය විසින් සියල්ල නිරාකරණය කොට ඇත්තේය. අද බස් වල ජනේල වලින් වමනය කරන වුන් නැත්තටම නැතිවී ඇත්තේ මෙනි.

කොටුවේදී කොට කලිසම් කොල්ලාට අම්මා අරන් දෙන්නේ ෆලූඩා එකකි. ඒ කොටුවෙන් බැස පානදුර බස් එකට යන අතරවාරයේය. කොට කලිසම් කොල්ලා අර සරුවත් වීදුරුවේ උඩ පාවේන අයිස්ක්‍රීම් ගුලිය කන්නේවත් දියකරන්නේවත් නැත. කසකසා ඇටත් රෝස පාට කිරි මුසු ෆලූඩාවත් ඉක්මණින්ම බී ඉවරකරන කොල්ලා අර අයිස්ක්‍රීම් ගුළිය කන්නේ අන්තිමටය. ඒ කොල්ලාගේ අයිස්ක්‍රීම් පිළිබද වූ බඩජහරිකම අදටත් නැතිවී නැත්තේය.  අම්මා ක්‍රීම් සෝඩාවක් බී ගුඩුස් අරින්නේය. එහෙම කොට යළිත් කොට කලිසම් කොල්ලා සමග පානදුර බසයට නැග නින්දක් නිදන්නේය. එය අපූරව නින්දකි. අප දෙන්නා දහදිය පෙරාගෙන ඔලු හැප්පී හැප්පී පානදුර ලගාවනතෙක් නිදන්නෙමු. අතරමග මා ඇහුරුණහොත් මා හැරී බලන මිනිත්තුවෙන් අම්මාද නැගිටින්නේය. අදද මට පුදුමය මා නැගිට බව, අම්මා දන්නේ කෙසේදැයි යන්නයි.

පිටකොටුවෙන් පටන්ගත් විට ''තව සෑහෙන දුරයි'' කියන අම්මා පානදුර ලංවන විට ''තව ටිකයි..'' කියන්නීය. අන්තිමේ අපි දෙන්නා පානදුරෙන් බැස දිබ්බැද්ද බලා යන කොට පාන් බාග බස් එකක නැගගන්නෙමු. මට නම මතක නැති දිබ්බැද්ද පන්සල ලගින් බැස ඉතුරු ටික පයින් යන්නෙමු.

ඒ ගෙදර තිබුනේ ලොකු වත්තක් මැදය. වත්තක් කීවාට පලලින් අඩු, දිගින් වැඩි ඉඩමක හරි මැද ලොකු ගෙයක් සදා තිබුනේ ඉතා නිස්කලංක ලෙසය. එකල පුංචීගේ අය්යා වැඩ කලේ ඕමානයේ රජ්ජුරුවන්ගේ සත්තු වත්තේ බව මට මතකය. අපි නැදෑකම් පසෙකලා  'පෙරේරා අය්යා' කී බාප්පා ඉතා හොද කෙනෙකු මෙන්ම සරල මනුස්සයෙකුද විය. පුංචී අතිශය විනෝදකාමී සැහැල්ලු ජීවීතයක් ගතකලාය. කෑමට බීමට ලෝබ නොවුවාය. ඇගේ කුඩා දරුවන් දෙදෙනා එකල අවුරුදු අට දහය තරම් විය. මට ඔවුන් මට අය්යේ කීවේන් මම ලොක්කෙකු ලෙස හැසිරුනෙමි. ඒ ගෙට එක වැටක් වමට වන්නට ලොකු ළමයින් සිටි 'ටියුෂන් ඇන්ටි' ලෙස මට මතක නැන්දා කෙනෙකු පුංචීගේ ලගම හිතවතිය විය. ඒ ගෙදර අය්යලා අක්කලා සියළුදෙනාම විශ්වවිද්‍යාල වලට ගිය බව මට මතකය. එ අය්යලා විසින් ගමේ ළමයිනට අමතර පන්ති පැවැත්වීම නිසා ටියුෂන් ගෙදර ලෙසත්, නැන්දා ටියුෂන් ඇන්ටී ලෙසත් හැදින්වූවා  කියා මට යන්තමට මතකය.

කෙසේ හෝ අම්මා එදා රෑ එහි නතර වී පහුවෙනිදා ගෙදර යන විට ඇරලවන්නට අපි සියල්ලෝ පයින් යනු මට හොදට මතකය. අම්මාත් පුංචිත් නතර නොවන කතාවෙන් ඉදිරියෙන් යද්දී අපි කානුවලට බහිමින් ගස්ගෙඩි කඩමින් ගස්වල අතු කඩමින් පස්සෙන්ම යන්නෙමු. අම්මා බස් එකක නැගී නොපෙනී යනතුරු සිට යලි අර ගස් ගානේ කානු ගානේ බැස එන්නෙමු. අප ඒ තරම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ ඉන් පස්සේ එලඹෙන මාසයකින් පසු අම්මා මා එක්කා යන්නට එනතුරු අර ඉඩමේ වැටෙන් එලියට අඩිය තැබීම අපට තහනම් වන නිසාවෙනි.

අම්මා ගිය පසු දින දෙක තුනක් පාළුවක් දැනුනද මල්ලිලාගේ අලුත් අලුත් වර්ගයේ සෙල්ලම් බඩුත්, පුංචීගේ අළුත් අළුත් කෑමත්, බිස්කට් කේක් සහ පලතුරුත් නිසා මට ගෙදරට වඩා පානදුරය ලං වන්නේය. අන්තිමේ මම ඒ ගෙදර එකෙක් වන්නේය.

වෙසක් එන්නේත් ඒ එක නිවාඩුවක මා ඒ ගෙදර එකෙකු වී සිටි කාලයකය. මල්ලිලා සමග එකතුවී කූඩු සැදීම ඇලවීම ආදී සියල්ල පිරිමැස්මෙන් හා අපූරුවට කරන මා දකින වාරයක් පාසා පුංචී ගේ කටින් පිටවන වචන කිහිපයක් තිබේ. ඒ '' උඹට නං තාත්තගේ අත් හම්බවෙලා තියෙන්නේ කොල්ලෝ..'' යනුවෙනි. ඈ උඹ කීවේත් කොල්ලෝ කීවේත් ආදරයටය. මම ලැජ්ජාව මිශ්‍ර කුමක්දෝ හැගීමකින් සිනාවෙන් පමනක් ඇයට උත්තර දෙමි. මන්ද තාත්තා කූඩු හැදූ හැටි මට මතක නැති නිසාවෙනි.

ඒ කෙසේ වුව එවර ඈ අලුත් යෝජනාවක් කලාය. ඒ  ගෙයි මිදුලේ තොරණක් සැදීමයි. මම එක පයින් කැමැති වුනෙමි. ඇය කොහේදෝ කාමරයක සිට වයර් බල්බ් හෝල්ඩර් ආදී නොයේක විධ කළමණා තොගයක් කාඩ්බෝඩ් පෙට්ටියක තිබී සාලයේ හැලුවාය. ඒවා ඕමානයේ සිට පෙරේරා අය්යා ගෙනවිත් තිබූ දෑ වන්නට ඕනෑය. තොරණට සැකිල්ල සදා දුන්නේ ටියුෂන් ගෙදර ලොකු අය්යා හෝ අනෙක් වත්තේ කෙනෙකු බව මට අපැහැදිලි මතකයක් තිබේ. තොරණට ''සත්සතිය'' ඇන්දේ මමය. සත් සතිය පැන්සලෙන් ඇද පාට කරන්නට පාට හදා දුන් විට මල්ලිලා පාට කලේය. මම අර තොරන් සැකිල්ලේ ප්‍රමාණයට සත්සතිය තැන් තැන් වල අලවා පිළිවෙලක් කලෙමු.  එහෙත් ලයිට් එල්ලන්නට මට පුළුවන් වෙතැයි මා සිතා සිටියෙන් අර බල්බ සහ වයර් එකෙන් එක අමුණා අන්තිම කොන් දෙක දිග වයරයකට ඇමුණුවෙමි. වෙසක් දිනට පෙරදින රෑ වනතෙක් තොරණේ වැඩ කටයුතු සිදුවෙමින් පැවතිනි. ඒ අතරේ අපේ තොරණ අඩි දොලහක්වත් උස නිසා කෙලින් සිටුවන්නට වැඩිහිටි සහය අවශ්‍ය විය. තොරන උස්සා කෙලින් කලපසු එය දැවැන්ත විය. අඩි තුනක් හතරක් උස අපට පමණක් නොව වැඩිහිටි අයටත් තොරණ දැවැන්ත විය. ඒ අනුව පුංචීගේ වියදමෙන් බීම දන්සැලක්ද...ටියුෂන් අය්යා කෙනෙකුගේ මැදිහත්වීමෙන් සත් සතිය විස්තර කෙරෙන කැසට් පටයක් පුංචිලාගේ ලොකු කැසට් යන්ත්‍රයේ උදව්වෙන් විකාශය කිරීමටත් තොරන් රාජයා විවෘත කිරීමට උත්සවයකුත් සංවිධානය කරගැනීමට හැකිවිය. එහෙත් අවසාන මොහොත දක්වා මගේ අවාසනාවට කවුරුවත් තොරණේ ලයිට් දමා බැලීමට උත්සුක වුනේ නැත. මමද නොදන්නාකම පෙන්වීමට ''බැරි බැරියාව '' නමැති රෝගයෙන් පෙලී අවසාන මොහොත දක්වා සියල්ල හොදින් කෙරී ඇතැයි සිතා කල් හැරියෙමි.

 වෙසක් සද උදා විය.

සත්සතිය විරාජමානව බැබැලෙන්නේය. කැසට් යන්ත්‍රය මෙන්ම  විසාල ප්ලාස්ටික් බදුනකට පිරවූ  අන්නාසි බීම සහ කෝප්පද ලැහැස්තිය. එදා ආරාධිත අමුත්තා වූයේ  ටියුෂන් ගෙදර මාමාය. ඔහු කොළඹ නැවැතී රස්සාවක් කල කෙනෙකු නිසා මට පමණක් නොව හැමෝටම අමුත්තෙකු විය. ඒ මාමා මා දැක ඇත්තේද දෙතුන්වාරයකි.  අන්තිමේ පුංචි විසින් ගෙදර සියලුම ලාම්පු නිවාදමා අප කළුවරේ තබමින්  ආරාධිත අමුත්තාට තොරණ විවෘත කරන්නට ආරධනා කලේය. අමුත්තා  විදිලි ස්විචය එබුවා පමණි තොරණ පිටුපස්සෙන් මල් වෙඩිල්ලක් පත්තුවී ගියේය. අපේ තොරණේ එකම එක විදුලි බුබුලක් පත්තු  වී නිවී යන සැනින් ''පට පටස් '' ගා ගෙයි ඇතුලෙන් සද්දයක් ආවේය.

යලි සියල්ල ඝනදුරේය.

මගේ විදුලි කාර්මික පට්ටම ගැලවෙන්නට ප්‍රධාන පූවරුව පිච්චී ගොසිනි. පුංචි විනාඩි කිහිපයක් යන්නට පෙර ඉටිපන්දම් කිහිපයක් රැගෙන ආවාය. තොරණ පාමුළ අරාධිත අමුත්තා විසින් ඒවා පත්තුකොට විවෘත කරන ලද්දේය. සියල්ලෝඅ අත්පුඩි ගැසූහ. දන්සැලද විවෘත කෙරුණේය. සියල්ල ඝන අදුරේ නිසොල්මනේ සිදුවිය. මා කලකිරිමෙන් සහ ලැජ්ජාවෙන් අදුරේම සැගවී මල්ලිලා සමග කදුළු පෙරමින් ඇඩුවෙමි. ඒ අතරේ අන්නාසි දැමූ සරුවත් කෝප්ප දහයක් දොලහක් හිස් කලෙමි. මට අන්නාසි විස වීමේ ලෙඩක් තිබෙන බව දැන දැනත් කුඩාවට කැපූ අන්නාසි සහිත සරුවත් කෝප්ප හිස් කලෙමි. පැයක් යන්නට මත්තෙන්  ඉදිමී කසමින් පළු දමමින් හුස්ම ගන්නට බැරිවෙමින් දගලන මා,  කෙනෙකු විසින් සොයාගන්නා ලදුව කාගේදෝ බයිසිකලයකින් දොස්තර කෙනෙකු ලගට එක්කාගෙන යනු මට මතකය.
 (ඒ අතරේ පසු කලෙක තවත් කෙනෙකුගේ හිත හදන්නට, අන්නාසි බීමක් බෑ නොකියා බැරිකමට බී අලි පළු දෙකතුනක් මූනේ හදාගෙන හිනාවෙවී සිටි හැටි මට අදත් මතකය. ඒ අයට මතක නැති බව මට විශ්වාසය.)

එහෙත් ජීවිතය හැමදාම පරාද වෙමින් පවතින්නේ නැත. අප එනවිට පුංචිලාගේ ගේට්ටුව ලග සිට මහා එලියකි. ඒ එළියේ දිගු පෝලිමක් මෙන් ගැහැණු මිනිසුන් සහ ළමෝ සරුවත් බොන්නේය. ගේට්ටුව ලගට යන විට මහ හඩින් අර කැසට් යන්ත්‍රයෙන් සත්සතිය පිළිබද වර්ණනා කොට විරුදු පෙලකි. මා බයිසිකලයෙන් බැස හිස උස්සා බලන විට මගේ තොරණ් රාජයා නිමෙන පත්තුවෙන බල්බ වලින් එලිය වැටී විරාජමානය. ඒ ඉදිරිපිට පුටු තබාගෙන අරාධිත අමුත්තා ඇතුළු පිරිස කතා බහකය. මා දුටු සැනින් ඔවුන් නැගිට විත් මගේ අමාරුව අඩුවී ඇති බව දැන මගේ ඔළුව අතගා මා පැසසුමට ලක්කලේය. අරාධිත අමුත්තා මා අත මට දැන් මතක නැති යම් මුදලක් තැබුවේය. ලොකු ලොකු තොරණ් හදන්නට හැකියාව ලැබේවා කියා සුබ පැතුවේය. මගේ සිත පිරී ඇත්තේය. ඊලග වතාවේ කැරකෙන කූඩුවක් හදමි යැයි සිතා ගත්තා පමණි පුංචි පැමිණ අර මුදල් ඉල්ලාගන්නා ගමන් '' උඹලගේ අම්මා අච්චර මැරෙන්නේ උඹ ලොකුවෙලා තොරං ගහනවා බලන්ඩ නෙමෙයි..''  කියා මගේ හිත බින්දාය.  ඈ මා දොස්තර ලගට ගිය වෙලේ කවුරුන් හෝ ගෙන්වාගෙන විදුලි දෝෂය හදවාගෙන තිබේ.

සමහර රිදවීම් කෙරෙහි මා බලන්නේ ඉතා හැගීම්බරවය. සමහරුන් කෙරෙහී රිදවාගන්නා හා ඔවුන් ජීවීතයෙන් ඈත්කර තබන නොමනා කමක් මා ලග ඇත්තේය. එහෙත් එදා පුංචී මා රිදවූ රිදවිල්ල මා වෙනස්ම කෙනෙකු කලේය. අදටත් පවතින පුංචී පිළිබද ආදරණිය හැගීමක් ඇතිකර  දුන්නේය. නිවාඩුව ඉවර වී අම්මා ආ කල ඇය අර මුදල් වලට අමතරව තවත් මුදල් ප්‍රමාණයක් අම්මා අත තබා ඒ මගේ මුදල් බවත් ''කොල්ලා තොරනක් සදා ගමම හෙල්ලු..''  බව කියා කීවාය. මා හෙල්ලූ ගමක් නැතත් ඇය එදා පටන් ''අපේ එවුං වැඩ්ඩෝ..''කියා ආඩම්බරයෙන් කියනු මා හොරෙන් කිහිප වතාවක්ම අසා තිබුණෙමි.

එදාත් අප බස් එකට නගින්නට යන ගමනේ අර කානු වල බැස්සෙමු. ගස් කොල වැල් කඩා පාර පුරා දැමුවෙමු. කොළඹ කොටුවෙන් බැස ගෙදර අයට මිදි කිලෝවක් ගෙන නිදන්නේ නැතිව ගෙදර ආවෙමු. නොනිදා එන්නට මගේ නහරයක් නහරයක් පාසා දුවන ආඩම්බරකම හේතුවන්නට ඇති බව සිතමි.

ප.ලි.
තව ලියන්නට බොහෝ දේ ඇතත් මගේ කොල්ලන් හට ගෙදර එල්ලීම සදහා වෙසක් කූඩු මිලදී ගන්නට ටවුමට යන්නට ඇති හෙයින් නවතිමි.

(මේ ලියමනේ, හදිසිය නිසා ඇතිවූ ජරමරයක් නිසා පානදුරේට යන ගමන කොටුවෙන් ගියා කියා ලියවුණි. එය ඇනෝ කෙනෙකු ඇන පෙන්නා දෙන තුරු මමද දැක්කෙ නැත. එය නුගේගොඩ ලෙස නිවැරදි විය යුතුය...)

Thursday, May 4, 2017

උස මහත මිනිහාගේ කෙටි හෘද සාක්ෂිය... 76


බිත්තර මදර්ගෙන් පටන් ගෙන සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ මිතුරියටත් ඇන්ටන් සර්ටත් පින්සිදුවන්නට අතපත ගගා ඉද   කොලොන්නාවේ සෝමා ඇන්ටීගේ ආදර බලහත්කාරය නිසා 'ඉංග්‍රීසි' ඉගෙනගත් මම පිළිවෙලකට ඉංග්‍රීසි ඉගෙනගන්නට බොරැල්ලේ මරදාන පාරේ ඇක්වයිනාස් ඩිප්ලෝමාවට ඉල්ලුම් කලේ කාගේ හෝ කීමකට නොවන වග මට මතකය. '
ඒ පත්තර පිස්සෙකු වූ මම, මරණ දැන්වීමේ සිට මෙලෝදෙයක් තේරෙන්නේ නැති කලා විචාර දේශපාලන විචාර කියවීමේ උන්මාදයෙනි. ඒ උන්මාදය දැන්වීම් කියවීම දක්වාද ඇදී ගියේ නිරායාසයෙනි. සිංහල පත්තරයක ඉංග්‍රීසියෙන් පලකර තිබූ දැන්වීම සදහා පිළිතුරු හා අයදුම් පත් ලබාගැනීමට දිගු ලියුම් කවරයක් එවන් ලෙස එකල හැම ඇබෑර්තුවකම පාහේ තිබුනේය. අද මෙන් නොව ඊමේල් ගනුදෙනු ගැන දැන් නොසිටි අප හැමෝම වාගේ දිග ලියුම් කවරයේ නම ලියා මුද්දරයක් ගසා පොඩි ලියුම් කවරයක බහා අදාල ලිපිනයට තැපැල් කලෙමු.

ආදර ලියුම්.. ප්‍රේම ලියුම්.. අර ලියුම්.. මේ ලියුම් අතරේ මගේ තව විනෝදාංශයක් වූ ගෙදරට ලියුම් ගෙන්වාගැනීමේ මොලේ අමාරුව නිසා නිකං කොල කෑලි එවන ඕනෑම තැනකට මගේ නම ලිපිනය යැවීම අසාමන්‍ය ලෙස වර්ධනය වී තිබුනේය.
ඒ අනුව පෙන්තකොස්ත සබාවේ සිට යොහෝවාගේ පටන් මම දන්නා නොදන්නා හැම මංගල්ලෙකටමද ඉස්ලාම් ධර්මය පිළිබද කුඩා පත පොත  එවු කොළඹ පල්ලියකටද මෙන්ම ජනාධිපති කාර්යාලයටද මම  යැවූ ලියුම් සාර්ථක වී සතිපතා මට ගෙදරට මුද්‍රිත පොතපත ආවේ අපේ 'ලියුං අය්යාද' පුදුම කරවමිනි. එදා ලියුං බෙදූ අප අය්යා කී මනුස්සයා අද අප සමගම වයසට ගොසිනි. මේ ලගදීත් ඔහු මා දැක සිනා වී 'එන්නං..'' කීය. ඔහු කවරදාකවත් වචන දෙක තුනකට වඩා කතා කලේ නැත. හැමදාම කීවේ 'එන්නං..' කියා පමණි. මීට අවුරුදු විසිපහකටත් කලින් බයිසිකල් පැදි ලියුං අය්යා අදත් බයිසිකල් පදී. එදත් ලැජ්ජාවෙන් කතා නොකල ඔහු අදත් එහෙමය.

බයිබලය පිළිබද පාඨමාලා නිසා මට තැපැල් මාර්ගික ඩිප්ලෝමාවක්ද හිමිවී තිබේ. ඒකත් අපූරුය. සතිපතා උත්තර ලියන්නට ආ ප්‍රශ්න පත්තරය එක්ක පිළිතුරු පත්‍රයද එවා තිබුනේ, 'හෘද සාක්ෂියට එකගව ප්‍රශ්න වලට පිළිතුරු ලියා පසුව උත්තර පත්‍රය මගින් නිවැරදි කරගන්නා' ලෙසය. මම එකල අවුරුදු පහලවක දාසයක කොල්ලෙකු නිසා ඔය කී හර්ද සාක්කිය ගැන හාංකවිසියක් දැන සිටියේ නැත. පස්සේ කාලෙක දැනගත්තාට.. අදත් දන්නේ නෑ වගේ ඉන්නා බහුතරයක් මෙන් මමද එදා උත්තර පත්‍රය බලාගෙන ඉතාමත් ලස්සනට දැකුම්කළුව ප්‍රශ්ණ පත්‍රය පුරවා යලි තැපැල් කලෙමි. උත්තර පත්තර කොළඹ යැව්වාට සහතිකය සහ කුඩා බයිබලය ආවේ අමරිකාවේ සිට තැපැලෙනි. එහෙම රට රාජ්ජ වලින් තැපැල් පාර්සල් ආවේ එහෙමත් කෙනෙකුට නිසා මම කොහොමත් ලොකු ඔලුව තව ටිකක් පලල් කර ගත්තෙමි. දෙවියන් මට මේ සියල්ලට කමා කරන්නට ඇති බව මම සිතමි.
ඒ කෙසේ වෙතත් මුස්ලිම් ආගමෙන් ප්‍රශ්ණ පත්තර ආවේ නැත. ඒ කියවීම් ඉතා සරල විය. පෙන්තකොස්ත සබාවේ අය මා හමුවීමට අවශ්‍යයය කියා එවා තිබූ කිසිදු ලියුමකට මම උත්තර ලීවේ නැත. එහෙත් නුගේගොඩ සබාවේ දින කිහිපයකම වැඩමුළු වලට ගියෙමි. හැම දෙයක්ම වාගේ මට ඉක්මණින් එපාවෙන නිසා මම 'ආගං' පස්සෙන් යාම අතහැරියාට ඒ ලිපි, පොතපත කියවීම  නිසා මෙන්ම මේ 'යුනිෆෝම්' යට ඉන්නා මිනිසුන් ගැන දන්නා නිසා ආගං පිළිබදව යන්තං ටිකක් දනිමි.

ඒ නිසාම  පොලොව මත සියළුම ආගම් වලින් ඈත්ව සිටිමි.

එහෙත් ජනපති කාර්යාලයට යවන ලද ලිපිය අති සාර්ථක විය. ජයවර්ධන ජනාධිපතිතුමා, ප්‍රේමදාස ජනපතිතුමා පවත්වනු ලබන සියලුම නිල දේශන, සාකච්චා සහ ප්‍රසිද්ධ කතාවල මුද්‍රිත පිටපත් මගේ ලිපිනයට නොවරදාවම ලැබිනි. ජනාධිපති කාර්යාලයේ මුද්‍රාව සහිත ලොකු සුදු ලියුං කවර අපේ ගෙදරට එන  එකත්  ගැම්මක් එන වැඩක් බව කියන්නට ඕනෑ නැත. දැනුත් ඒ ක්‍රමය ක්‍රියාත්මක ව්නවා ඇතැයි මා සිතමි.

එහෙත් මගේ අතින් සිදුවූ යම් ලියුම් ලිවීමක් නිසා මට හොද මිතුරියක් නැතිවිය. දෙවියන් වෙනත් වැරැදි වලට සමාව දෙන්නට ඇතැයි සිතා සිටියද මේ වැරැද්දට සමාවක් ලැබෙනු නැතැයි මම අදත් සිතමි. ඒ සිද්ධිය මරදානේ බිෂොප් නිවසට  තාප්පයේ මෙහා පැත්තේ සිදුවූ නිසා ටක්කෙටම සමාවක් නම් නැතැයි සිතමි.

එය සිදුවුනේ මා ඇක්වයිනාස් හී ඩිප්ලෝමාවට ගිය පසුය. අපව විවිධ කාණ්ඩ වලට තෝරාගැනීමේ පරීක්ෂණය අනුව මා වැටී තිබුනේ ද්විතීය කාණ්ඩයටය. ඒ කාණ්ඩයේත් පළමු තැන මට පලාත මතක නැති මගේ කතා නායිකාව වන ප්‍රින්සිට හිමිව තිබුනේය. දෙවැනියා මමය. ඒ අනුව පන්තියේ මොනිටර් ප්‍රින්සිය. මම ඇසිස්ටන්ට්ය. ප්‍රින්සිගේ ගතිගුණ සාමාන්‍ය වුව පන්තියේ කොල්ලන්ට අමුතුය. ඇය වෙලාවට එන්නේය. පන්තිය පටන් ගන්නා විට ලේඛන ලකුණු කොට හමාරය. පරක්කු වී එන එවුන්.. සිගරට් බාග ඇද බොරැල්ලේ සිට දුවන එවුන්.. ගෑණු ළමයා ගෙදර සිට කිලෝමීටර් සීයක් තනියෙන් ආවත් බොරැල්ලේ සිට අඩි දෙක තුනක් දුර පන්තියට කවදාවත් තනියෙන් නොයවන ආරක්ෂක ප්‍රේමවන්තයන්ගේ ප්‍රමාදවීම්.. වෙනමම කොලයක ලියා එකල අපව බාරව සිටි ෆාදර් මොරිස්ට දෙන්නේය. පන්තියේ ගුරුවරයා වශයෙන් සිටි රාජකීය විද්‍යාලයේ විශ්‍රාමික රාජපක්ෂ සර් හරි හොද කෙනෙක් නිසා ෆාදර් මොරිස් දෙන කොලේ හැමදාම සර්ගේ ලොකු ඉංග්‍රීසී පොත අස්සේ හිරවෙනවා මිස මුකුත් වෙන්නේ නැත. මුකුත් වුනොත් වෙන්නේ ප්‍රින්සි රාජපක්ෂ සර්ටත් ' සර්රුත් කිසි පිළිවෙලක් නෑනේ..!' කියමින් මූණ නොරොක් කරගන්නා එක විතරය. සර් ඒකටත් හිනාවෙයි. (මගේ මතකය නිවැරදි නම් සර්ගේ නමත් මොරිස්ය.) සමහර විභාග වලින් පසුව පොත් මාරුකරගෙන ලකුණු කරන්නට වෙන අවස්ථා වල ප්‍රින්සිට පොත නොලැබෙන්නට අපි හැකි සෑම වෙරක්ම දරන්නෙමු.  එකල රාජපක්ෂ සර්ගෙන් ලකුණු ලැබුණාට ප්‍රින්සිගෙන් ලකුණු ගන්නට ඇත්තේ පුදුම අමාරුවකි. සින්හලෙන් කතා කලොත් වදින සත පනහේ හෝ රුපියලේ දඩේ ප්‍රින්සි ඇරෙන්නට අපි හැමෝම ගෙව්වේ මට ඩග්ලස් අය්යාගේ නය පොත සිහි කරවමිනි.
එහෙත් ප්‍රින්සි මගේ මිතුරියය. ඇය මට  කියා ලස්සනට බෝඩ්, පෝස්ටර් ඇදගෙන පන්තියේ ප්‍රදර්ශනය කලාය. හොද ඉන්ග්‍රීසී පොත් ගෙනවිත් මටද කියවන්නට දුන්නාය. විටෙක මම ' මේක බං සෙනසුරාදා ඉරිදා විතරයි...! උඹ සුමානෙම ජීවත්වෙන්නේ මේකෙදැයි..?' ඇසූ විට, ඇගේ හීනය මට කීවාය. ඇයගේ දෙමාපියන් දුප්පත්ය. ඇයට ඕනෑ වී තිබුනේ ඇගේ අම්මාගේ හීනය වූ 'ඉංගිරිස් ටීචර්' කෙනෙක් වෙන්නටය. මම ඉන්පසු කිසිත් නොකීමී. මගේ යාලුවා වූ නිසා ඇය මට ඒ අතරේ රහසක්ද කීවාය. ''ඔයාට තියෙන්නේ අමුතුම හිනාවක්..මම මාර ආසයි..'' මම එකල ඒවා ගැන ඒ තරම් හිතුවේ නැති නිසා කැන්ටිමේ මා එනකං ප්ලේන්ටී දෙකක් ගෙන බලා සිටින මගේ මිතුරියගෙන් සෑහීමකට පත්වීමී.

එහෙත් මගේ මිතුරු කොල්ලන් ප්‍රින්සීට බඩ බැදගෙන වෛර කලේය. ඔවුනට ප්‍රින්සීව පෙන්නන්ට බැරි විය. අද මා කල්පනා කරන්නේ කිසිම හේතුවක් නැතිවත් කෙනෙක් පිළිබද වෛරයක් තබාගන්නට පුළුවන් බවකි. එහෙත් එදා එහෙම නොවේ කීවත් ඔවුන් පිළිගත්තේ නැත. ඩිප්ලෝමාව මාස හයකි. මාස තුනක් ගිය තැන මට මගේ 'සිගරට් බාග කණ්ඩායමෙන්' යෝජනාවක් කෙරිණි. මම එක වරම බෑ කීවෙමි. ඊලග මාසයේත් යෝජනාව කෙරිණි. ''උඹත් ප්‍රින්සිට පු* දෙනවා..'' යැයි කීවෙන් මම කැමැති වුනෙමි. ඒ අනුව ප්‍රින්සිට දීර්ඝ ලිපියක් ලීවෙමි. ලීවෙ 'මු' කියා කියන්නට බැරි මා ලියූ නිසාවෙනි. ඉන්ග්‍රීසි ඉගෙනගන්නට ආවාට රීතියක් බාෂා විලාසයක් ව්‍යාකරනයක් දැන නොසිටියාට සියළුම කුණුහරුප  ලියා ඇයට මාස හය ඉවරවන විට යන්නට වන්නේ අල්ලපු වැටේ කාසල් එකේ වාට්ටුවකට බවත් ලීවෙමි. අකුරු හදුනාගන්නා නිසා අප කිහිපදෙනෙක් වාක්‍යයෙන් වාක්‍ය කඩින් කඩ වෙනස් අකුරු වලින් නැවැත ලීවෙමු. ලියූ ලිපිය සෙනසුරාදා යනවිට ඇගේ ඩෙස් බංකුවේ ලාච්චුවේ දැමුවෙමු. පහුවෙනිදා අප එනවිට ප්‍රින්සි ඩෙස් බංකුවේ ඔලුව ගසාගෙන මහ හඩින් අඩන්නේය. වෙනදා අර පොත් මේ පොත් පෙරලමින් ෆාදර්ට නම් ලියමින් සිටි ප්‍රින්සිගේ කම්මුල් තෙමමින් කදුළු වැටෙන්නේය. කෙල්ලන් ඇය අස්වසන්නට හැදුවද ඇය කුමක් වීදැයි කියන්නේ නැත.  පසුව ඈ නැගිට පන්තියෙන් පිටව ගියාය. මට මහා 'අමන කමක' කළුවර හැගීමක් ඇතිවී හරස් පාරේ මුස්ලිම් පල්ලිය ලග කරත්ත කඩෙන් සිගරට්ටුවක් බී ගෙදර ගියෙමි. ඊලග සෙනසුරාදා ඈ සුපුරුදු විලස ආවාය. රාජපක්ෂ සර් වෙත කල ඉල්ලීමෙන් මොනිටර් කමෙන් ඉවත් වූවාය. අපේ මිතුරුකමද දුරස් වී ප්ලේන්ටී දෙක වෙනුවට ඈ එකක් ගන්නා හැටි මා කෙරෙහීම  වූ අපමණ කලකිරීමෙන් බලා සිටියෙමි.

ඊලග මාස දෙක නිමාවී අවසාන පරීකෂණයටද මුහුණ දී ප්‍රතිපල අනුව ඈ පළමුවැනියා විය. මම අටවැනියා හෝ දොලොස්වැනියා විය.  ලියුම් යෝජනා කල එවුන්ද තුන හතර පහ ස්ථාන ගත්තෝය.  මා දොලොස්වැනියා වීමට අර කළුවර හැගීම බලපාන්නට ඇත. අන්තිම දවසේ අප හැමදෙනාම කුඩා කතාවක් කර ඇක්වයිනාස් ආයතනයටත් ගුරුවරුන්ටත් ස්තූති කලෙමු. අන්තිම කතාව කලේ ප්‍රින්සීය. ඈ කතා කරමින් ඇගේ ගමනට ශක්තිය දුන් සැමටම ස්තූති කලාය. ඈ නිල්වලා අධ්‍යාපන පීඨයේ ගුරු පුහුණුවක් සදහා තේරී පත් වී ඇති බව කීවාය. ඇගේ ගමනට උදව් කල විශේෂ කෙනෙක් සිටී යැයි කියමින් මගේ නම කීවාය. සියල්ලෝ අත්පුඩි ගැසුවෝය. ඒ අත්පුඩි ගැසීම් මධ්‍යයේ ඈ මගේ ලගටම විත් ලියුම් කවරයක් දුන්නාය. මම අර සිදුවීම අමතක කොට සිටි නිසා වෙනසක් නොදැනුනෙන් කවරය දිගහැරියෙමි. මා ඇයට බැනවදිමින් ලියා දුන් ලියුම කුඩා කෑලි වලට ඉරා සීසීකඩ කොට තිබුණේය. මම ඉන්නේ කොතැනදැයි නොදැන සිතිවිළි ලෝකයක පාවී දුවන්නට තැනක් නැතිව අතරමං වෙද්දී මට ලියුම ලියන්නට යෝජනා කල එවුන් ප්‍රින්සීට සුබ පතා වැලදගනිමින් සිටිනු දුටුවෙමි.

මගේ වයසැති ප්‍රින්සි අද ලංකාවේ ඉන්නේ නම් කොහේ හෝ පාසලක විශිෂ්ඨ ඉංග්‍රීසී ගුරුවරියක් වන්නට ඕනෑය. ඇය ඒ තර,මට දක්ෂය. කැපවීමෙන් කටයුතු කරන්නීය. අවංකය. අහිංසකය.

මා කලින් කී පරිදි දෙවියන් සමාව දීම හෝ දඩුවම් දිම තීරණය කරනු ඇත. එහෙත් ඔහු එකක් කලේය. මට අද වනතුරු ප්‍රින්සීව මුණ නොගස්වා, ඇගෙන් සමාව නොගැනීමේ පවුකාර හැගීම පහව යන්නට නොදුන්නේය.

ඒ කෙසේ වුව මම දිගින් දිගටම නොයේක විධ ලියුම් ලීවෙමි. පසුකලෙකද ලීවෙමි. එහෙත් ඒවායින් කිසිවෙකුට බැන වැදුනේ නැත. සමහරුන් ආසාවෙන්ද.. සමහරුන් බෑ කියන්නට බැරිකමෙන්ද.. මගේ ලියුම් කියවීය. සමහරුන්ට අති දීර්ඝ ලියුම් ලීවෙමි. ඒවා මාගල් වැනි යැයි කියා හිනාවුණු අයද සිටියේය.

අද මා ලියුම් ලියන්නේ නැති තරම්ය. රාජකාරී ලියුමක්වත් ලියන්නේ වචන දෙක තුනකිනි.

මා ඒ තරම් කෙටි මිනිසෙකු වී ඇත්තේය.ජීවීතයේ සමහර කළුවර පැල්ලම් කොතරම් උස මහත මිනිහෙකු වුව කෙටි කරන්නේ යැයි කියා මම සිතමි.

Thursday, April 27, 2017

මාත් නළුවෙක් තමයි ....75



''ජයලත් ලොන්ඩරි'' බෝඩ් එක ලා නිල් පාට අකුරෙන් කලු පසුබිමක සුදු පාටද මිශ්‍රව ඇදතිබුනා මට මතකය. එය එල්ලා තිබූ උලුවස්ස යට වීදුරු අල්මාරි වල නෙක වර්ණයෙන් යුතු කමිස කලිසම් සාරි මෙන්ම මහත්වරුන්ගේ කබායනද එල්ලා තිබුණේය. ඒ අල්මාරි පාස්කර යනවිට එක පිට එක සුදු රෙදි තොගයක්ම දැමූ මේසයක, අඩියක් විතර දිග පලල පිගන් ගඩොලක් මත, බෙලෙක් පියනක් තබා ඒ මත පොල්කටු අගුරු ඉස්ත්‍රික්ක රාජයෙක් වැඩ උන්නේය. අපේ ගෙදරත් පොල්කටු ඉස්ත්‍රික්කයක් තිබ්බාට මේ රාජ ඉස්ත්‍රික්කේත් එක්ක බලන විට එය හුංජං බිජ්ජෙකි. අනෙක අපේ ඉස්ත්‍රික්කෙන් කමිසයක අතක් මදින්නට වරුවක් ගතවන විට දුමින්දගේ තාත්තා කිසිම කලබලයක් නැතිව අර ඉස්ත්‍රික්ක රාජයා එක පාරක් කමිස පලුවක් මැද්දේය. ඒ මදින කලාව මමද ඉගෙන ගත්තෙමි. කළු අගුරු රතු පාටෙන් දිලිසි දිලිසි අර ඉස්ත්‍රික්කයාගේ පස්ස පැත්තේ ඇරෙන වැහෙන රවුම අස්සෙන් හිනාවෙන විට යන්තම් තෙත්කල ඇදුම් උඩින් තැබූ විගස ''චිරිස්.. සොස්...සාස්..''  ගාගෙන සුදු මීදුමක් මෙන් ජල වාෂ්ප නගින්නේය. ඉස්තිරික්කයේ රස්නය අඩුකරගන්නට නම් අර වතුර බේසමට අත දමා වතුර බේරෙන ඇගිල්ලෙන් ගෑවෙන නොගෑවෙන තරමට තට්ටුවක් දමා අර රවුම පහලට දමා කුහරය වසන්නට ඕනාය.  රස්නය වැඩිකරගන්නට අර රවුම අරින්නේ නම්  ඉස්ත්‍රික්කේ නහය ටිකක් මේසයෙන් එලියට තියන්නට ඕනෑය. නැතිනම් හීන් දැලි කුඩු අර නහයෙන් උඩට පාවී එන්නේය.  මොන ඇදුම මැද්දත් කමිසයක් නම් කොලරය පිටුපසද, කලිසමක් නම් ඉනපටිය පිටුපසද එකවරක් මැද බලන්නට ඕනෑය. සමහර වර්ණ මෙන්ම බාල රෙදි නැත්නම් පිච්චෙන්නේය. දුමින්දගේ තාත්තා ප්ලීට්ස් තබා නැති කලිසම් වල නීට් එකට ඉර තබා මැද්දේ නැත. දැන් අවුරුදු තිහකටත් පසුව මගේ කලිසම් වල මම ප්ලීට්ස් නැති නිසා ඉර තියන්නේ නැත. එහෙත් ලංකාවේ පමනක් නොව කොයි ලෝකයේත් මගේ කලිසම් ලොන්ඩරියෙන් එන විට අර ඉර ''තිතට'' මැද එවන්නේය.
ඒ කලාවට මං ආසා කලේ ඒ නිසාවෙනි. එහෙත් දුමින්දගේ තාත්තා අර ඉස්ත්‍රික්ක රාජයා නිවුනු පසු ඇදුම් මදින කලාව කියා දුන්නේ හිනාවෙමිනි. ඒ මට අර ඉස්ත්‍රික්කේ උස්සා එහා මෙහා කරන්නට බැරි නිසාවෙනි. හාල්මැස්සෙකු මෙන් පරඩැල් මා පරදවා අර ඉස්ත්‍රික්කේ ජයගත්තේය.

මම මේ මැදිල්ල යන්තම් ඉගෙනගෙන එදා අතහැරියාට   පසු කලෙක ලොකු ප්‍රයෝජනයක් ගත්තෙමි. අදද   මගේ ඇදුම් මදින්නේ  මම පමණකි. අනෙක් සියලුම මැදිලි මගේ බිරිද කලත්, ගමනක් යන්නට ඕනෑ වූ විට ඇයත් කොල්ලන් තුන් දෙනාත් මගේ පස්සෙන් එන්නේ ඇදුම මැදගන්නටය. ඒ ඉරි.. ඒ වතුර ඉහිලි... ඒ නැවිලි... අදත් මම ප්‍රයෝජනයට ගනිමි. ඒ නිසාම වරෙක මා එංගලන්තයට රැගෙන යන්නට ලොකු වෙහෙසක් දැරූ සුදු යුවලගේ නම මතක නැතත් චාල්ස් කුමාරයාගේ ඇදුම් මැද්දා මතකය.

(චාල්ස් කුමාරයා මට මතක තිබෙන තැන් තුනක් තිබේ.  එකක් ඔහුගේ ඇද අයිනේ පැති මේසය උඩ ඔහුගේ අම්මා වූ මහ රැජිනගේත් තාත්තා වූ පිලිප් කුමාරයාගේත් පින්තූර රාමුවයි. අප බලාපොරොත්තු වූ පරිදි ඩයනාගේ හෝ කැමිලා පාකර්ගේ පින්තූර වෙනුවට ඔහු ඇදෙන් නැගිට්ටේ මහරැජිනගේ රූපය දකිමිනි. අපේ සිරිපාලටත් එංගලන්තේ චාල්ස් කුමාරයාටත් අම්මා මහාරැජිනක් බව මම එදා දැනගතිමි.  දෙවනුව 'කුමාරයා මඩ නෑ' ආකාරයයි. එය වෙනමම ලියන්නට තරම් ලොකු කතාවක් වුවත් ලංකාවේ නම් දෙකයි පනහේ දේසපාලකයන්ගේ පවා ඔලුව පීරන පනාවත් දෝතට ගන්නට තරම් නීච ඇම්බැට්ටයන් දැක ඇති මම එදා වෘත්තීය ගරුත්වය රැකෙන්නටත්, අනිකාගේ අපහසුතාව දකින්නට තරම් සමබර මනසක් ඇතිවත් රාජකාරි කල නිලධාරී මහත්වරුන් ගැන සිතා නොලියමි. තෙවැනුව, පරිවාර රථ දාසයක් පිරිවරා ගුවන්තොටුපලට යන්නට පිටත්වූ චාල්ස් කුමාරයා අපට ස්තූති කරන්නට බැරිවූ  බව මතක් වී රථපෙල යලි හරවාගෙන, මැදපෙරදිග රටක අගමැති කෙනෙකු ඇතුළු කුමාර කුමාරිකාවන් විස්සකට පමණ කන්නට දී පාන් කියාගන්නට බැරිව මේසයක් උඩ කකුල්වන වනා උන් ලංකාවේ උන් හතරදෙනෙකුටත්, විනෝද සාගරයක් බදු කේරලකාරයෙකුටත් අතට අත දී කුඩා සිහිවටනයක්ද දී ලොකු අය්යාට ''උඹ නං ඔමාර් ශෙරීෆ්' වාගේමැයි කියා විහිලුවක්ද කර පිටට තට්ටුවක්ද දමා යාමයි. )

එහෙත් එදා ජයලත් ලොන්ඩරි රගහලේ කුමාරයා වූයේ මමය. මන්ද ඒ ලොන්ඩරි කාමරය පසුකර ඊලගට තිබෙන නිදන කාමරය සෑම ඉරිදාම අපේ රගහල වන නිසාවෙනි. එහි එක ඇදක් පරණ වියන් ඇදක් විය. මේ වියන් ඇද වටා දුමින්දගේ අම්මාගේ සාරි එල්ලා රගහල තනන්නට එදාට දුමින්දගේ අක්කලා දෙන්නාද එකතු වෙති. එදාට අපට නිදහස වැඩිය. ඒ කාමරය පසුකර කුස්සියද පසුකර ගිය විට ඉරිදාපොලට මුහුණලාගෙන වැටෙන තහඩු වහලය සහිත කුඩා මඩුවේ දුමින්දලාගේ අම්මා තාත්තා හාල් විකිණීමේ අමතර ව්‍යාපාරයක් ඉරිදාට පමණක් කලේය. ඒ නිසා අම්මා තාත්තා හවස්වනතුරු ගෙට එන්නේ නැත. දුමින්දගේ අම්මා දවල් බත් කා කකුල් කෙඩෙත්තුව නිසා අපේ රගහල ඉදිරිපිට බිම වාඩිවී 'එහෙනන් පෙන්නපල්ලකො මටත් උඹලගේ නාට්ටිය '' කියන සැනින් ගොරවමින් නින්දකට වැටෙයි. ගෙරවිල්ලට හිනාවෙමින් නාට්‍ය රගපාන්නෙමු. ඒ විනාඩි දහයකටය. ඉන්පස්සේ හදිසියේ අවදිවන ඇය. ''අර මනුස්සයා තනියෙන් ..බොලා මාව නැගිට්ටුවේ නැත්තේ ඇයි'' කියා දුවන්නේය. පිටපතක් නැතත් නාට්‍ය එකදිගට ගලා යයි. ඒ ඇද උඩ රගහලේ වෙන ඕනෑම දෙයක් අපේ නාට්‍යයයේ කොටසක් වන්නේ නිතැතිනි. දුමින්දගේ නහය හෑරිල්ලද..මගේ සදාතනික බඩගින්නද..දුමින්දගේ ලොකු අක්කාගේ ඉක්මන් කේන්තියද අපේ නාට්‍යයයේ කොටස් වෙති. කුමාරයා ලී කඩු වනමින් කොට කලිසමේ කිනිසි හිරකරගනිමින් රගති.  දුෂ්ටයා දුමින්දගේ අය්යාය. ඒ දුෂ්ටයා 'තොපේ මලකරදරේ මට නිදාගන්ඩත් නෑ..' කියමින් හාල් කන්ද සමග හැප්පෙන අම්මාට කේලම් කියති. දුමින්දගේ අම්මා හාල් සේරුවක් මැන ගණුදෙනුකාරයාගේ මල්ලට  හලන ගමන් එහා කොනේ අපට කෑ ගසති. ''ඔන්න ඔය කොල්ලට ගෙදර යන්ද කියපන් ..දැන් ඇති ඔය මගුල..''

මට හිත රිදෙන බව දන්නා නිසා ලොකු අක්කා සහ දෙවැනියා නාට්‍ය පිටපත වෙනස් කරති.  ඒ අනුව එය ගොළු රගහලකි. කටින් කියන්නට ඕනෑ දේ අතින් පයින් කියන්නට වීම එක අතකට ලොකු අභ්‍යාසයකි.  සමහර දාට දුමින්දගේ අම්මා පැමිණ මා එලවා දමන්නේය. මම අඩ අඩා දුවන්නේ හිතේ අමාරුවටය. එහෙත් දවල් වන විට දුමින්ද මා සොයා එන්නේය. ' අම්මා උඹව බත් කන්න එක්ක එන්න කිව්වා..'

කෑමත් ලැජ්ජාවත් අතර මගේ සම්බන්ධයක් නැත.

ඉතින් මම දුමින්දයාගේ පස්සේ වැටී රතු හාල් සමග අලි බත් පිගානක් ගිල හාල් වෙලදාම ඉවර වන තුරු සිට ගෙදර එන්නෙමි. ඒ මතකයන් කොයිතරම් සුන්දරද..අදත් මට ඒ ගේදොර සිතෙන් මවාගත හැක. ඒ වටපිටාවේ ජීවත්විය හැකිය. ඒ බැනුම් ඇසිය හැකිය. අර බෙලෙක් බත්පිගානේ රතුහාල් බත්ගෙඩිය ගිලින්නට හැකිය. එහෙත් ඒ සියල්ල පසුකොට මා සෑහෙන දුරක් පැමිණ ඇත. එදා මට හමුවූ  මේ අහිංසක මිනිසුන් සමග සසදන විට අද හමුවෙන කපටින් දුෂ්ටයන් සහ මුල අමතක වුන් අහසට පොලොව මෙනි.

එහෙත් ජීවීතය එයමය. නතර නොවී ගලා යන්නට දිය යුතුය. මමද නතර නොවෙන්නෙක්මි. ඉදහිට අපූර්ව වෙස්මුහුණු පළදාගත් කපටින් සමග නතරවුවද නතර නොවෙන්නෙක්මි.

ඒ නතර නොවීමෙන් මට රගපෑමේ උණක් හැදුනේය. ඒ උණ හොදකරගන්නට ඉස්කෝලේ යන ගමන් සෙනසුරාදා දවස්වල බෞද්ධාලෝක මාවතේ සරණ පාරේ ෆිලීක්ස් ප්‍රෙමවර්ධනගේ ජාතික කතෝලික මණ්ඩලයේ නාට්‍ය හා රංගකලා පාඨමාලාවක් හැදෑරුවෙමි. එය නොමිලයේමය. එකල ෆිලීක්ස්ට කොහෙන් හෝ මුදල් ලැබෙමින් තිබුණේය. අපට එකල මාධ්‍ය ලෝකයේ රංග කලාවේ පතාකයෝ පැමිණ ඉගැන්වූයේය. නිහාල් සිල්වා සමග පාලිත ආවේ පොඩි ගැට කොල්ලෙකු ලෙසය. සුනිල් අය්යා  (සුනිල් මාධව ) කල දේශන වලට අපි කුඩු ගැහුවා සේ ආශක්තව සිටියෙමු. සුනිල් අය්යා සම්ප්‍රදායක ලෙස මේසය පිටුපස පුටුවේ ඉදගන්නේ නැතිව මේසය උඩ ඉදගෙන අපට වරෙක හිමින් මුමුණමින්ද වරෙක කේන්තියෙන් කාටදෝ බනිමින්ද ලෝකය ගෙන අප පාමුළ දිග හැරියේය. සෑම පත්තරයකම වගේ කතෘවරුන් පැමිණ දේශන කලේය. මගේ මතකය නිවැරදි නම් සිංහ රත්නතුංග සමග වූ දේශනය විවාදයකට ගොස් කාලගෝට්ටියක් විය. පසුකලෙක සිංහ මට තැන් දෙක තුනකදීම හමුවිය. ඔහුව හිරේ දැමූ දවසේ මගේ ලොකු පුතා උපන්නේය. මතක අලුත් වන්නට ඒ ඉපදීම අඩිතාලමක් විය.
එක දවසක අප වැඩමුළුවට යන විට විදුලිය තිබ්බේ නැත. ජෙනරේටරයක් ගෙන්වාගත් ෆිලීක්ස් සර් ''අද හොදම දවස'' කියා වීඩියෝ කැසට් යන්ත්‍රයක් හා ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් 'කළුවරේ ජරමරේ ' පෙන්නුවේය. පහුවෙනිදා අපි යනවිට කොල්ලන් රහස එලිකරගෙන සිටියෝය. ෆිලීක්ස් සර් පහුගිය අවුරුදු කීපයේම ලයිට් යවා ඇත්තේ හරියටම 'කළුවරේ ජරමරේ ' පෙන්නන්නටය. ඒ අපි නාට්‍ය පටන් ගන්නට පෙර ලයිට් නැතිවීමේ ජරමරය ගැන හිත හදාගන්නා නිසාය.

ඒ කාලයේ මාත් සමග ගිය එවුන් පවා මට මතක නැතත්, ගියා කියා මතක එකෙකුගෙන් ඇසූ විට '' ඇයි බං අපි ගියේ බිස්කට් කාලා තේ බීලා එන්ඩනේ..'' කීය. දේශකයනට සිගරට් සමග තේ ලැබෙන විට අපට ඕනෑතරම් බිස්කට් සමග තේ දුන්නා මට මතක් වුනේ එවිටය.

කෙසේ වෙතත් මේ රගපෑමේ හැකියාව නිසා මම මා ලගින්ම ඇසුරු කරන අයටත්, මට ආදරය කරන අයටත්, මා ආදරය කරන අයටත් මගේ බැනුම්- කේන්තිය සහ වුවමනාවෙන් කරන මගහැරීම් ''මගේ සැබෑ හැටි'' කියා සිතාගන්නා ලෙස කියා ඇත්තෙමි. මම රගන්නට දක්ෂයෙකු නිසා ''සුකුමාර- සීතල- ඉතා හොද..'' මගේ සැබෑ සැටි ලෙස නොගන්නා ලෙස අවවාද කර ඇත්තෙමි. ''උඹලාට ඕනෑ නම් මට උඹලාට ඕනෑ විදියටම රගන්නට ලොකු හැකියාවක් ඇති බව''  මම කියා ඇත්තෙමි.

ඒ නිසා මට ආදරේ නම් මට ''රඟන්නට ඉඩ නොදෙන ලෙස'' මා අදද කියමි.

Tuesday, April 11, 2017

මමත් ජනපති කෙනෙකි...74


අපි ඉරිදාපොලේ සෙල්ලම් කරන විටත් ගස් නගින විටත් පොලේ වැට අයිනේම ගෙදර ගෑණු ළමයින් දෙන්නා බලා සිටියේය. අක්කා නගෝ දෙන්නා අප කරන කියන හැම වැඩක් දෙසම බලා හිනාවී හෝ තරහා වී හෝ බලා සිටියා මිස වචනයකදු දෙඩුවේ නැත. එහෙත් ඒ දෙන්නා අප එකිනෙකා පෙන්වමින් මොන මොනවදෝ කුටු කුටු ගෑවේය. එහෙත් ඒ එකක්වත් අපට තෙරුණේ නැත..

හේතුව සරලය...

ඒදෙන්නා කතා කලේඉංග්‍රීසියෙනි.

ඉතින් අපි නොතේරෙන මංගල්ලෙට ගොස් වරිගේ නහගන්නා ජාතියේ වැඩ  කොට ඒගොල්ලන්ගේ හිනා වී කියන කතා වලට පෙරළා හිනා වුනෙමු. එවිට ඔවුන් දෙන්නා අත් අල්ලාගෙන බක බක ගා හිනාවුනු තැන් ඕනෑ තරම් විය. මම පහුකලෙක මගේ හොදම මිතුරිය බවට පත්වුණු ඒ දෙන්නාගෙන් බාලයාගෙන් උත්තරය ලදිමි.
''අක්කා හිනාවෙන්ඩ තමයි ඔයාලට එක එක ඒවා කියන්නේ...ඒත් ඔයලත් ඒකට ඔව් කියනවා වගේ හිනාවෙනකොට අපිට ඉතින් හිනාකාලා මැරෙනෙවා.''.

 ඒ ගෙදර ගෑනු ලමයින් දෙන්නා ඉස්කෝලේ ගියේ කොළඹ කන්‍යාරමයකටය. ඒ ගෙදර අය නුවර පැත්තේ බවත්, තාත්තා හදිසියේ මියගිය පසු කොළඹ ආ බවත් අප වැඩිහිටියන්ගේ කතා වළින් දැන සිටියෙමු.  මා පසුකලෙක  ඒ ගෙදර යාවජීව සාමාජිකයෙකු වූ කල, ඒ තාත්තාගේ කළුසුදු ඡායාරූපයක් දිටිමි. මැද සාලයේ රූපවාහිනිය තිබූ තැනට ඉහලින් එල්ලා තිබූ රාමු කල පින්තූරයට උඩින් සුදු ප්ලාස්ටික් මල් මාලයක් දමා තිබ්බාද මට මතකය. කුඩා කාලයේ නොවුනත් පියෙකු අහිමිවීම දරුවන් කෙරෙහි බලපා තිබූ අසරණකම කෙතරම්දැයි මට අද දැනේ.
එදා මම අපේ තාත්තාගේ බීමත්කම ගැන වචනයක් හෝ පිට කල සැනින් ඒ ළමයින් දෙන්නාම කීවේ . ''ඔයාට අඩුම තරමේ කෑගහන්න හරි, බයින්න හරි  තාත්තා කෙනෙකු ඉන්නවානේ..'' කියාය. ඒ ස්වරයේ දුක සහිත හැගීම මට එදා තේරුණේ නැතත් අද දැනෙයි. විශේෂයෙන් ගැහැණු දරුවෙකුට පියෙකුගේ අඩුපාඩුව දැනීමේ ලොකු වේදනාත්මක පැත්තක් ඇතැයි මම අත්දැකීමෙන් දන්නා අය සිටිති. ඔවුන් වේදනාව පිටකරගන්නට විදින දහසකුත් දුක්බර හැගීම් මම අද දනිමි. එහෙත් එදා කාලය ඒ මාතෘකාව පිටමං කරමින් අමතක කරමින් ඇදී ගියේ මා ඒ ගෙදර පිරිමි දරුවෙකුගේ අඩුවවත් පුරවමිනි.

මුළින් වැටෙන් බලා සිටියාට අප හා කතාබහට නොආ ඔවුන් දෙදෙනා අම්මාගේ එක කෑගැසීමකින් ගෙදර දිව්වේ ඉතා හදිසියෙනි. පොලේ සෙල්ලම් කරන අපට නම් අම්මලා දහ දොලොස් වතාවක් කතා කරන තුරු ගෙදර යාමක් නොවුණු ඒ කාලයේ මේ ලමයින් දෙදෙනා එක වචනයෙන් ගෙදර දුවන හැටි අපට පුදුමයක් විය.
කෙසේ හෝ ටිකෙන් ටික මුලින් ගොළු බාෂාවෙන්ද පසුව හිනාවෙන් හා අත වැනීමෙන්ද අවසානයේ හත් අට වතාවක් ට්‍රයිකොට බෝලය ඒළමයින්ගේ වත්තට යැවීමෙන්ද ඒ ලමයින් දෙන්න අපේ බෝලයට අහුවී යාළු විය. එහෙත් යාළු කම හොද මිත්‍රකමක් වී අපි දෙල්කදින් එනතුරු පැවැතුනේ මගේ පමණි. හේතුව මගේ ඉවසීම මෙන්ම රස්තියාදුවද, දන්නා නොදන්නා හොද නරකසැම සමග ආශ්‍රයද මෙන්ම තොරතෝංචියක් නැතිව අහුවෙන හැම කඩදාසි කැබල්ලක්ම කියවීමද විය. ඒ අනුව මගේ ජීවීතයේ කොහේ හෝ තැනක වැදගත් වන යමක් තිබිණි. කියවීමෙන් ලද දැනුම තිබිණි. චිත්‍ර අදින්නට කවි ලියන්නට පුලුවන් පොඩි පහේ හැකියාවක් තිබිණි. මම ඒ දැනීම ඔවුනට බෙදා දුන්නෙමි. ඔවුන් මට ඉතා ඕනෑකමින් මට අඩුව තිබූ ඉන්ග්‍රීසිය බෙදා දුන්නෝය. මම ඒ ඉන්ග්‍රීසිය පුදුම ලෝබ කමකින් බෙදා ගත්තෙමි. විටෙක ඔවුනට මගේ 'මොට කඩුව' එපා වී හිනාවෙන්නටත් බැරිව කටවල් අතින් වසාගෙන සිනාසෙන විටත් මම කඩුව අත නොහැරියෙමි. ඒ බෙදිල්ල මට පසු කලෙක බොහෝ ප්‍රයෝජනවත් විය. ටික දවසක් ගතවන විට ඒ දෙන්නාට මාවද මට ඒ දෙන්නාවද නැතිව බැරිවිය. එහෙත් එකම පන්තිවල උගෙනමින් සිටි බාලයා හා මා අතර මිතුදම සමීප එකක් විය.
මම දවසෙන් වැඩි කාලයක් මේ ගෙදර ගත කලෙමි. ඔවුන්ගේ අම්මා නුවර කෙනෙකු නිසා පෙනුමෙන් ආඩම්බර ගතියක් තිබුණත් මගේ යාලුවන් නපුරු කුඩම්මා ලෙස නම් පට බැද තිබුණත් ඉතා ඉක්මනින් තෙත්වන හදවතක් තිබුනේය. වරෙක වාර විභාගයකදී මගේ මිතුරිය අඩුවෙන් ලකුණු ගත් විට මා ගේට්ටුව ලගදීම එලවා දැමූ ඒ අම්මා නැවැත එහි නො එන ලෙස කීවාය. තදින් බිදුණු හිතක් ඇතිව  හයිලෙවල් පාරත් පැන අපේ ගෙට ඇතුල්වන කොන්ක්‍රීට් ලෑලි පාලම පනිද්දී කවුදෝ මගේ අතින් අල්ලාගත්තේය. මම කදුළු වැටෙන මූණ හරවා බලද්දී ඒ ඇගේ අම්මාය. ඈ කිසිත් නොකියා මා අල්ලාගෙන ආපසු එක්කාගෙන ගියාය. ඒ ගමනේදී කිසිත් නොකී ඇය ඒ ගෙදරදී ''මට කෙන්ති ගියා පුතේ ..''කීවේය. ඒ කේන්තිය සාධාරණය. විභාග වල ලකුණු අඩු වෙද්දී දෙමාපියනට කේන්ති යාම මා ඕනැතරම් දැක ඇත්තෙමි. එය අම්මලා මහන්සිවෙන තරම දන්නා මට නම් ලොකු දෙයක් නොවේ.

කෙසේ වුව එදත් කවදත් මට ඒ ගෙදරින් සැලකිලි තිබ්බේ මගේ අසරණ කමට නම් නොවේ. මගේ දැනීමේ තරමට බව මම සිතමි. ඒ දැනීම ආවේ රස්තියාදුවෙනි, පාරවල් ගානේ ඇවිදිමෙනි, පොඩි එවුන් හට අකැප දේ දැකීමෙනි, කුණු බරට විසී කරන පොත් පත්තර කියවීමෙනි. ලොකු අම්මාගේ දියණියගේ මිහිර කියවීමෙනි. අටේ කණුවේ මහප්පාගේ ඉංග්‍රීසී පත්තරය කියවීමෙනි. ඒ නිසා මා කටපුරා ලොකු අක්කේ කී මගේ මිතුරියගේ අක්කාගේත් මගේ මිතුරියගේත් දහසක් ප්‍රශ්ණ හා විචිකිච්චා වලට උත්තර ලැබුණේ මගෙනි. ඒ නිසා මා ආශ්‍රයකල යුතු හොද ලමයෙකු සේ ඔවුන් මට සැලකුවේය.

 වරෙක ඇගේ පාසලේ යම්කිසි උවමනාවක් සදහා එක ප්‍රමාණයට කපන ලද කඩදාසි තොගයක් වුවමනා වී ඇගේ අම්මාත් පුන්චි අම්මාත් එකතු වී දහ අතේ කල්පනා කල බව මට ඈ කීවාය. ඒ වෙලාවේ මට කීවානම් මොකක් හෝ පිළිතුරක් ලැබෙයි කියා ඈ ඇගේ අම්මාට කිවූ විට මා පොඩි කොල්ලෙකු නිසා මොනවා දන්නවාදැයි අම්මා කිවූ බව ඈ මට දුකෙන් කීවාය. මම ඒ කොල කැබැල්ලත් තිබේ නම් අම්මාගෙන් යම් මුදලකුත් රැගෙන එන ලෙස කියා යැව්වෙමි. අම්මා ඈ විස්වාස නොකලත්..මා කෙරෙහි වූ ඇගේ දඩබ්බර විස්වාසය නිසා එවා තිබුනාය. මම ඇයත් සමග හනි හනික පොල පිටුපස්සේ පරන පාරෙන් දෙල්කදට විත් හරස් පාරෙන් පැන ඇල උඩ පාලම පසුකොට ''වික්‍රමාරච්චි ඇස් කණ්නාඩිය'' පසු කොට මුද්‍රණාල වලින් ඉවත දමන කොල එකතුකරන දෙමළ මනුස්සයාගේ කඩයට ගියෙමි.

ඒ යනවිටත් එකල දැන තරම් ජනාකීර්ණ නැති වාහනත් අඩු තැන්වල පවා පාර පනිද්දී ඇගේ අත අල්ලාගෙන සිටියෙමි. මා අත අල්ලාගන්නට ලැජ්ජාවුනු තැන්හී ඈ මගේ අත අල්ලාගත්තාය.  අපි මේ අත් ඇල්ලීමේ ප්‍රීතියෙන් කොල කඩේට වැද ඕනෑකරන ප්‍රමාණයෙන් කොල තොගයක්ම මිලදී ගත්තෙමු. ඒ සදහා ගිය වියදම ඇගේ අම්මා පසුව 'අදහාගන්නටත් බැරි' තරම් බව කීවාය. ඒ තොගයම ඒ කොල කඩේ කොල්ලා අර ගිලටිනයේ තබා 'සයිස්' කර දුන්නේ හිනාවෙමිනි. අපේ හිනාව ඔහුගේ ගාස්තුව විය. ඒ අතරේත් මා වීරයා සේ අර කොල ලොකු හතරැස් යකඩ පෙට්ටියකට බහා යකඩ මෝලකින් කොටන අයුරු ඇයට පෙන්වා විස්තර කලෙමි. කොල හොණ්ඩරයක්වත් පමණ  ඒ අඩි දෙකයි දෙකේ කොටුවේ නොපෙනී යන හැටි,  ඈ කෙසේ වෙතත් මම නම් සියවන වතාවටත් බලා සිටියෙමි. අප දෙන්නා එන අතරේ ඉතුරු මුදල් වලින් ටොෆි වර්ගයක් කෑවා මට මතකය. ඒ සමග කුඩා එකතු කරන   වීරයන්, ක්‍රීඩකයන් හා විවිධ ස්ථාන වල කාඩ්බෝඩ් පින්තූර ලැබුණාද මට මතකය. එදා කොල තොගයම මටත් නොදී දෑතින්ම බදාගෙන ආ ඇයව මට තාම මතකය. ඊටත් වඩා ඇගේ අම්මා ඉදිරිපිට මා වීරයෙකු කිරීම සදහා ' අම්මලා කොල ගෙනල්ල කප කප හිටියනම් මට ලබන අවුරුද්දේ තමා...' කියූ හැටි මතකය.

නවවන ශ්‍රේණියට එන්නට කලින් එකල මම උදේ වරුව ඉස්කෝලේද, හවස්වරුව පොල පිට්ටනියේද, රෑ වනතුරු ඒ ගෙදරද  කාලය කෑවෙමි. ඒ රෑ ගතවුනේ ටී වී බලන්නටය. ඇගේ අම්මා අපට රූපවාහිනිය බලන්නට කාලයක් වෙන්කර තිබුණාය. ඒ වෙලාවේ 'නයිට් රයිඩර්' ටෙලි මාලාවද, පොලිස් යතුරුපැදි තිබුණු Supercop හෝ එවැනි නමක් තිබුණු ටෙලි මාලාවක් නැරඹුවෙමි. විබාග දාට අක්කාට සහ ඇයට හිමි නොවුණු නයිට් රයිඩර් බලන්නට මට අවස්ථාව හිමිව තිබිණි. ඒ මම ඉස්කෝලේ ඇරී අවුත් පාඩම් කලෙමි.. කියන පතාක නාගරාජයා ඒ අම්මා ලග අතහැරීමෙනි. මා නයිට් රයිඩර් ඔය තරම් ආසාවෙන් බැලුවේ මට ඕනෑ නිසා නොවේ. ඒ පහුවෙනිදා  ඈ මගෙන් ඒ සතියේ කතාව සම්පූර්‍ණයෙන් අහන නිසාවෙනි. මගේ කතාවට සංගීතය තිබේ..ඇක්ෂන් තිබේ...ඒ අස්සේ තේරුම් ගැනීමට බැරිවූ තැන්වලට මගේම කොටස් බද්ද කර තිබේ. ඒ ගෙදර ලොකු පෝටිකෝවේ වේවැල් පුටු මත ඉදගෙන පොඩි මල්ගවුමේ වාටිය අල්ලාගෙන මගේ ඇක්ෂන් සහ සංගීතය පිරුණු කතා ඈ අසා සිටියා මට තාම මතකය. නයිට් ර‍යිඩර් එනවිට ඇහෙන සංගීතය මගේ කටෙන් පිටවන්නේ ඒ හුරුවෙනි. මයිකල් දුෂ්ටයාගේ මූණ පුරා ගහන පාරක් ගානේ ඩිම්..ඩිෂුම් ටෑංං ගාන්නේ කතාව සජීවී වෙන්නටය. අවසානයේ කතාව ඉවරයක් වීගෙන එන විට මගේ රසිකයා නැගිටින්නට සූදානම් වන විට මට දුක හිතෙයි. ඊලග සතියේත් ඇගේ අම්මාට කේන්ති ගොස් ටී වී බලන්නට නොදෙන්නේ නම් කියා කුපාඩි පහේ කල්පනාවක් එයි. එහෙත් ඒ සැමදා සැබෑවන හීන නොවේ.

 ඒ හීන වුව.. ඒ මතකයන් නැවැත එන්නේ නැත. මා ඈට පමණක් ලියා දුන් කෙටිකතාවක් සම්පූර්ණයෙන්ම දුප්පත් දරුවෙකු ලොකු වී රටේ ජනපතිවරයා වී කුඩා කල මේ ජනපතිවරයාට උදව් කල අයට ඇමැතිකම් දෙන හැටි පිළිබද විය. ඒ කතාව කියවූ ඇය ඇයට අගමැතිකම ඉල්ලුවාය. ''එතකොට මට ඔයාගේ ලගම ඉදන් වැඩ ඔක්කොම කරලා දෙන්නට පුළුවන් '' කීවාය. මේ කතාපොත ඇගේ අක්කාද දැක තව ලියන්නට කියා ඇයට අධ්‍යාපන ඇමතිකම දෙන ලෙස ඉල්ලුවාය. ඇගේ ඉස්කෝලේ ගුරුවරු දෙදෙනෙක් ලංකාවෙන්ම පිට ඉස්කෝලෙකට පලවාහරින්නට ඕනෑ බව කීවාය. ඉන්පසු ඒ කතාව කවුරුන් හෝ දැක්කේ නැත.

මේ වන් විකාර කතා සැබෑ වී ඇති බව දැන් ලංකාවේ හෝ වෙන කොහේ හෝ හොද ජීවිත ගත කරන ඔවුන් දකිනවා ඇත. ඔවුනට මා මතක් වෙනවා ඇතැයි මම නිතර සිතමි. ඔවුන් මට දෙල්කදින් ගොස් වැඩිකාලයක් යන්නට පෙර අහිමි විය. ඒ ගෙදර ඔවුන්ගේ කුලී ගෙයක් වීමෙනි. ඔවුන් අප දෙල්කදින් ගිය පසු වෙන කොහේ හෝ කුලී ගෙයකට පදිංචියට යන්නට ගොස් ඇත. 
ඈ මට බෙහෙවින් හිතෛශී වූවාය. මගේ පොත්වල අඩුපාඩු පිරවූවාය. මා සාමාන්‍යපෙල විභාගයට කලින් දෙල්කදින් යන්නට පෙර ඇගේ පිහිටෙන් හොද ලකුණු ගනිමින් සිටියෙමි. මට බැරිම විෂයයන් වූ ගණිතය හා විද්‍යාව ඈ මට කියාදුන්නාය. ඇගේ අම්මා අප තුන්දෙනාටම කුඩා මේස තුනක් සාදවා ඒ ගෙයි වටේටම තිබුණු කොරිඩොවේ පහසුකම් සැලසුවාය. පාඩම් කරන වෙලාවට තේ සදා බිස්කට් සමග ගෙනවිත් දුන්නාය. මගේ මිතුරිය අක්කාට හොරෙන් මගේ කවකටු පෙට්ටියේ අර බිස්කට් සැගවූවාය.  මගේ ජීවීතයේ මට එසේ ආදරය කල අය හමුව ඇත්තේ අල්පයක් පමණය. එහෙත් කිසිදිනෙක මට ඒ ආදරයන් මට සමීප ලෙස හමුවුනේ නැත. කොහේදෝ සිට ආ සුලං රොදක් සේ ඒවා මා සිහිල් කොට හමා ගොස් අතුරුදන් වූයේය. මා දෙලකදින්යන බව පැවසූ දා ඈ මා තදින් බදාගෙන කදුළු පෙරමින් ඇඩුවාය.වැඩි වෙලාවක් එසේ ඉන්නට බැරි බව දැන මගේ කනට කොට 'ඉක්මනින් ජනාධිපති වෙනවා නේදැයි...' ඇසුවාය. මම ඔලුව වැනුවෙමි.
ඈ හිනාවී ' නැත්නම් මට වෙන ජනාධිපති කෙනෙක් හම්බවෙයි ..'කීවාය.

ඒ ඉන් දශක කිහිපයකට පසු මා අත්විදි ආදරය හෝ ප්‍රේමය නම් සරුව පිත්තල බොරුව නොවේ.. එය අපගේ මිතුරුදමේ බැදීමයි. අවංකව ලෙන්ගතු වීමේ හැගීමයි.

මගේ ජීවීතයට සමීප කිසිවෙකු.. කිසිදෙයක්...සිදුවීමක් අමතකව යන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒවා මගේ හිතේ පුදුමාකාර බැදිමකින් තැන්පත්ව ඇත්තේය. සමහර දේ ඉතාම නොවටිනා ඉතාම කෙටි සරල සිදුවීමක් වන්නට පුළුවන එහෙත් ඒවා මගේ මතක ගබඩාවේ තැන්පත්ව තිබේ. එහෙත් ඒ සමහර සිදුවීම් අසාමාන්‍ය ලෙස වේදනාකාරීය. මතකයට නැගෙන නැගෙන වාරයක් පාසා මා ඒ මොහොත ගත නොකලානම් කියා සිතෙන්නේය.

මගේ ජීවීතයේ මා තේරුම් ගත් එක දෙයක් නම් මේ කිසිවක් මට බලෙන් අමතක කරන්නට බැරි බවයි. ඒ නිසා මා දැන් අමතක කරන්නට උත්සාහ කරන බොහෝ දේ ..අමිහිරි මතක..අමිහිරි මිනිසුන් හා ගැහැනු පිළිබද මතක් කරමින් සිටිමි. ඔවුනට මා මතක් වේ යැයි සිතමින් සිටිමි. අය අපූර්ව අභ්‍යාසයකි. මා මතක් කරමින් එකේන් එක පැටලුම් සහිත මිනිසුන් ගැහැණුන් ලෙහා දමමි. එවිට මට ඉතිරිවන මගේ මතකයේ තබාගත යුතු දේ තවත් ගුලිකොට හදවත සමීපයේ තබමි. (එසේ ගුලිකොට තබාගන්නා චරිතයක් බවට  කන්‍යාරාමයේ යෙහෙළිය පත්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. )

එය අමතක කරන්නට උත්සාහ කරමින් දුක්විදිනවාට වඩා ලෙහෙසිය...සරලය...
ජනපති කෙනෙක් වනවාට වඩානම් අමාරුය...

Wednesday, April 5, 2017

තට්ට බාගයාගේ පොල් ලොවි සහ මගේ අහින්සක සියඹලාව 73


ගියවර ලියැවිල්ලේ කමෙන්ටුවක dmg podi විසින් දෙල්කද පහුකරන් යන විට, මම අර කී මාර ගස දැන් නැද්දැයි අසා  තිබුනෙන්,  මටද මම ''මං'' ගැන නොදන්නා කම ගැන දුක් වුනෙමි. ඔය මාර ගසත් අනික් ගස් ටිකත් ජීවීතයේ අතරමග හමුවූ තවත් ලොකු පොඩි ගසුත් ''මම'' ය. ඉතින් මට අමතක නොවූ එහෙත් කාලයක් දකින්නට නොලැබුණ ගස් සොයා මගේ අතීත මම සොයා දෙල්කද බලා ඉගිල ගියෙමි. එදා අපි දෙපැත්ත බලන්නේ නැතිව පැනපු මහපාරත්, බයිසිකල් රිම් හා ටයර් පැදි තාරපාරත් අද නැත. වාහන.. මිනිස්සු හා ඒ දෙකේ සම්බන්ධයක් නැති,  මලඉලව් රියදුරු නළා නැතහොත් සින්හලෙන් කියන ''හෝර්න්''  හයි කරගත් නළා කාරයන්ගේ  මහා කාලගෝට්ටියක් මැද...  මම 'මගේ ගස්' සොයා ගියෙමි.

මාර ගස එසේම හයිලෙවල් පාරට මූණ හරවාගෙන තද නින්දක වැනිව වයසට ගොස් ඇත්තේය. සියඹලා ගස එදා තිබූ තරුණ ජවයෙන් නැතිව,  පොලමැද්දේම තිබූ කොස් ගස දිහා බලාගෙන කල්පනාවකය. ඒ සියල්ලන් මැදි කරගෙන කුඩා කැලෑවක් නිර්මාණය වෙමින් තිබෙන්නේ අලුත් දළු ලමිනි. මම යලි අර කලබලයෙන් මිදෙන්නටත් ..තනිවෙන්නටත්.. නිස්කලංක වෙන්නටත්..   වාහනයේ රේඩියොවේ හඩ වැඩි කලෙමි. මට යලි මෙහි එන්නට ඕනෑය. මෙහි මතක සමග වරුවක් ගත කරන්නට ඕනෑය. තට්ට බාගයා නිසා මා 'අහින්සක සියඹලා' ගහෙන් වැටුණු හැටිත්, ජර්මනියේ සිට වැඩම කල සුදු හාමුදුරුවන් කොස් ගහ යට බාවනා කල හැටිත්, යලි දකින්නට ඕනෑය. (ඒ සියල්ල දීර්ඝ වැඩි නිසා කඩින් කඩ ලියමි. )

සියඹලා ගහේ නාකී කාලයක් තිබ්බා මට මතකය. එවිට ගහේ එක කොළයවත් නැතිව දඩු රිකිලි පමණක් වේලී පරඩල් වී ඔහේ සුළගේ වැනෙන්නේය. එහෙත් ටික කලක් ගිය තැන ඒ නාකි දඩු අගින් ලා කොල පාට දළු නගින්නට පටන් ගනී. ඒ දඩු අන්තිමේ හීන් කොල වලින් වැහී, තද කොල- ලාකොල පාට අහුරා මහා විසල් රුකක් තනන්නේය. අදත් පාට කෙරෙහි ඇති විස්මිතය මෙය බව මා දනිමි. මේ ගස් කොලන් ..ගල් බොරළු වල පාට, මා දන්නා ගෑණු මිනුසුන්ගේ කපටි පාටවල් මෙන් කවදාවත් වෙනස්වුනේ නැත. එදා මගේ හිතේ ඇදි කොල පාට අදත් ඒ කොල පාටමය. කළු ගලේ පාට ඒ පාටමය.

එකල මට කැමරාවක් තියා ඒ මොකක්දැයිවත් නොදැන හිටියාට මගේ හිතේ ඇදි චිත්‍රයට අමතරව පැස්ටල් කූරු දෙකකින් මේ ගහ ඇන්දෙමි. ඒ ජයසින්හයේ ඉද්දීය. ඒ චිත්‍රය නිසා ජයසින්හයේ මැද බිල්ඩිම නොහොත් වේදිකාගාරය තිබූ තැන පිට බිත්තිවල ''අපේ පාසල හොදම පාසල'' ලෙස ලොකුවට අදිමින් අර සියඹලා ගස තීන්තෙන් ප්‍රතිනිර්මාණය කලෙමි. බිත්ති චිත්‍රයක් ඇන්දෙමි. ඒ ඇන්දේ හතර පන්තියේදීය. මට එය මතක  සතිස්චන්ද්‍ර එදිරිසින්හ අධ්‍යකෂණය කල චිත්‍රපටයක කඩේ මුදළාලිගේ චරිතය රගපෑ හොද මනුස්සයෙකු වූ අපේ ප්‍රන්සිබල් සර්  මාව උදා රැස්වීමේ කොඩිකණුව ලග පකිස්පෙට්ටි වේදිකාවේ නංවාගෙන ඔලුව අතගගා මා වර්ණනා කල නිසාය.

එහෙත් සියඹලා ගහ ප්‍රසිද්ධ වුනේ වෙන හේතුවකටය. ලොකු අය්යාට මතක ඇති වෙන්නට ඕනෑ පොල පිටුපස්ස වැටේ උඩහමුල්ල පාරට මුහුණලා තිබූ ගෙදර මාමා නැන්දා හා එකම පිරිමි දරුවාගේ නම් මට මතක නැත. එහෙත් ඒ ගෙට අයිනේ වහලය ලගටම හැදුණු ලොකු ලොවි ගහ හැමදාම  රතු ටීක් බෝල වැස්සක් සේ පොල් සයිස් ගෙඩි හැදෙමින් අපව බඩගිනිකාරයන් කලා නම් මතකය.   ඒ මාමාට අප නලලත් හිස මුදුනත් කෙස් නැති නිසා ''තට්ට බාගයා'' කිව් වග නම් නිට්ටාවට මතකය. එහෙත් ඒ මාමා අපට වැටුණු ගෙඩියක්වත් අල්ලන්නට දුන්නේ නැත. අප එකතු වී සාප කරමින් හූල්ලමින් කෙල හලමින් ඔය ගහ මහ හුළගක් ඇවිත්වත් කඩා වැටියන් කියා  ගහ දිහා පෙරේත බැල්ම හෙලුවෙමු. එහෙත් අපේ සාපයන් ආශිර්වාදයන් වීදෝ අවුරුදු පතා ගසත් ලොකුවී ගෙඩිත් ලොකුවී බැබලුනේය. එහෙත් කොකා තිත්තයා මෙන්  අපටද වාරයක් ආවේය. ඒ වෙනදා ගහ පරෙස්සන් කරන නැන්දා,  මාමා සමග අමනාප වී වෙන කොහේදෝ පදිංචියටම ගිය නිසා බව මට මතකය.  එක දවසක මේ තට්ට බාගේ මාමා අප සෙල්ලම් කර කර හුන් තැනට විත් අලුත් යෝජනාවක් කලේය. එනම් ලොවි ගහේ ගෙඩි කඩන ඕනෑම කොල්ලෙකුට ඉන් අඩක් දෙන බවයි. අපේ සෙල්ලම නැවතී කටවල් ඇරී එකග වූවද ගහට නගින්නට එකෙකුවත් කමැති වූයේ නැත. අන්තිමේ හැමදාම මෙන් මම නැමැති පණ්ඩිතයා දුකට කරගැසුවෙමි. කොල්ලන් ගහ යට ඉද්දී මම අත්තෙන් අත්ත නැග ගෙඩි අතු පිටින් කඩා පහල කොල්ලන් දෙපැත්තෙන් අල්ලන් සිටි තට්ට බාගයාගේ සරමකට අතහැරියෙමි. තට්ට බාගයා ඒවා එකතුකොට කූඩයකට පිරවූයේය. එහෙත් හොදම ගෙඩි ඇති පොකුරක් හමුවූ විට මගේ සාක්කුවේ ඔබාගතිමි. දැන් ගහේ හොදම ගෙඩි කඩා අවසන් මුත් මට නගින්නට අමාරු අත්තක තව තද කුණු ලේ පාට පොකුරක්ම දැක තට්ට බාගයා මා දිරිගැන්වූයේය.''ඕං කොල්ලො ඔය අත්ත  උඩම වල්ලත් බිමට දාලා බැහැපන්..කීවේය.

මම දන්නේ එපමණකි. සිහිය එනවිට මම අර සියඹලා ගහ යට පොල පැත්තේ නොව කන්‍යාරාමයේ ලමයාගේ වත්ත පැත්තේ බිම දිගා වී සිටියෙමි. මා වටකරගෙන තට්ට බාගයා ජයලත් ලොන්ඩරියේ දුමින්දගේ අම්මා ඇතුළු වැඩිහිටි කිහිපදෙනෙකු සිටියත් මා සමග ලොවි කැඩූ කිසිවෙකු සිටියේ නැත. මා ඇස්පිය හෙලූ සැනින් තට්ට බාගයා බේත්තෙල් වෙදෙක් මෙන් කියවනවා මට ඇහුණත් මට ඊට උත්තර තිබ්බේ නැත.

''මං මේ ලොවි ටිකක් කඩන්ඩ කෙක්ක ගත්තා විතරයි දඩස් ගාලා සද්දයක් ආවා බැලින්නං ...මේං මේ කොල්ලා සියඹලා ගහෙන් වැටිලා..හොද වෙලාවට මං හිටියේ නැත්නං කොල්ලා මෙතන කවුරුත් දන්නේ නෑ... ''

මම ඇස් ඇර කවුරුත් අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර දී ගස් නැග්ගාට බැනුම් අසා ගෙදර ඇවිද්දේද හරි අමාරුවෙනි. එදාම තට්ට බාගයා ලොකු ලොවි මල්ලක් අරන් මා බලන්නට ඇවිත් අම්මාට මා රස්තියාදුවේ යන එක පාලනය කරන ලෙස උපදෙස්ද දුන්නේය. මම තට්ට බාගයාත් තට්ට බාගයාගේ හත්මුතු පරම්පරාවත් එකසැනෙන් කුඩුපට්ටම් කර දැමුවෙමි. (ඒ හිතෙනි.) ඒ හිතම කටක් ඇර කිසිත් නොකියන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. එහෙත් හිත එහෙම තිබුණාට පහුවෙනිදා නැගිටගන්නට බැරිව මම එකතැන් වුනෙමි. අම්මා මා රැගෙන සිල්වා මහත්තයා ලගට ගියෙන්, කොන්දේ ගාන්නට ඉටිකොලයක එතූ යමක් සහ පෙති කිහිපයක් දුන්නා මට මතකය. එහෙත් එන ගමනේ අම්මාට මා එක්කාගෙන සිංහල බෙහෙතක් කරන ලෙස සිල්වා මහත්තයා උපදෙස් දුන්නද අම්මා පුරුදු පරිද ඉංග්‍රීසි බෙහෙත විස්වාස කලාය. මට දින දෙක තුනකින් සුව විය. (අම්මා අදද විස්වාස කරන්නේ ඉන්ග්‍රීසි බෙහෙත්මය. සමහර ලෙඩරෝග දොස්තර මහත්වරු බෙහෙත් මෙන්ම ඒ ඒ ලෙඩ වලට යායුතු දොස්තරලා ගැන අම්මාගේ තිබූ දැනුම එකල  බොහෝදෙනා පුදුම කලේය. )

ලෙඩ සුවවූ විගස අම්මා මා මුදාහැරියාය. ඒ එක කොන්දේසියක් සමගිනි. ''එක එකාගේ ගස් නැගලා ආයෙත් වැටියං පුලුවන්නං...ඊට පස්සේ උන්ගේ බොරු අහන් ඉන්ඩත් වෙන්නේ මට.....''

මම අම්මා දෙස කට ඇරගෙන බලා සිට,  ප්‍රශ්න කෝට්යක්ද ඊට උත්තරද සොයා එදා ලොවි කැඩූ කොල්ලන් සොයා ගියෙමි. අඩුම තරමේ මගේ සාක්කුවේ ඔබාගත් ලොකු ලොවි ගෙඩි වලට කුමක්වීදැයි අහන්නට මට උවමනා වී තිබුනේය. ලොන්ඩරියේ දුමින්දගේ කට වටා තුවාල ඇවිත්ය. අනෙකාගේ කිහිල්ලේ ලොකු ගෙඩියකි. තුවාලේ කැක්කුමට අතත් උස්සාගෙන උන්දෙන්නා මට රහසින් කීවේ..

''උඹ එනකං තට්ට බාගයා අපිට ඕනතරං ලොවි කඩාගන්න කිව්වා බං ..''කියාය.

කටවල් වන වෙනකං කිහිලි වන වෙනකං උන් ලොවි කා ඇත. මම අමුතුම සතුටක් වින්දෙමි. අර ලොවි ගහ දෙස නොබැලුවෙමි. එහෙත් මම නිසා අර සියඹලා ගහ වටකොට ලොකු කටුකම්බි වටයක්ම ගසා තිබුනේය. ඒ ජයලත් ලොන්ඩරියේ දුමින්දගේ අම්මා විසිනි. ඒ අපව රැකගැනීමටය. ඒ අම්මලාගේ හැටිය. ...

ඒ අම්මලා මෙන්ම සියඹලා ගසද අහින්සකය.

Wednesday, March 29, 2017

ජීවිතේ රවුං රවුං එකකි....72


ඉරිදාපොලට ඇතුළුවන්නට කටවල් දෙකක් තිබිණි. ඒ හයිලෙවල් පාරට මුහුණලාය. ඒ ඉස්සරහින් සිටගත්විට දකුණු පැත්තේ උඩහමුල්ල පැත්තටත්, පරන පාරටත්, යන හරස් පාර මායිම්ව ඉස්කෝල හාමිනේගේ ඉඩමද.. ඊට මායිම්ව සිසිර අය්යලාගේ ඉඩමද පසුකල විටම එකල ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සේවය කල  මද්දුමබණ්ඩාර සර්ගේ තට්ටු දෙකේ ගේද ... කොස්ගහ යට සිල්ලර කඩේ ගාමිණි අය්යාටද ඊට අල්ලපු හොදිමාළු හෝටලය රත්නසිරි ශීලා යුවලටද අයිතිව තිබුනේය.

(එහිම පිටුපස්සේ රත්නසිරි හා චන්ද්‍රා අක්කාගේ තාත්තා අසනීප තත්වයකින් පෙලෙමින් ලේන්සුවකින් මූණ වසාගෙන පොඩි කාමර කෑල්ලක සිටියා මට මතකය. අප ඉරිදාපොලේ ඉරිදා හැර ක්‍රිකට් ගහන සැම වෙලාවකම අර කොට තාප්පේ උඩින් බලා සිටි ඇඩ්ඩිං මාමා මියගිය වකවානුව හෝ මලගේ මට මතක නැතත් ඒ මූණ මට හොදහැටි මතකය. )

ඊලගට හෝටලයත් කඩපේලියත් වෙන්වන සේ ඉරිදාපොල බිමට ඇතුල්වන කොටසට මෙහා පැත්තේ පටන් ගත් තැනම කඩය කාගේදැයි මට මතක නැතත් කාලයක් තිස්සේ වසා තිබ්බා නම්  මතකය.(ඒ වහපු කඩේ බුළත් පුවක් දුංකොල තිබ්බා වාගේ යන්තම් මතකයක් තිබේ.) ඊලග කඩයේ ඩයස් බඩාගේ හෝටලයද ඊටත් එහායින් ටයර් කඩේද ටයර් කඩයට අල්ලපු කඩේ ජයලත් ලොන්ඩරියද තිබ්බේය. මේ කඩ පෙලිය  ඉස්සරහා මුහුණත හයිලෙවල් පාරටද, පසුපසු ඉරිදාපොලේ වෙළදාම පිණිස තහඩු වහලයක් සහිතවද සාදා තිබිණ. ඉන්පස්සේ පතාක මාර ගසත් මගේ කන්‍යාරාමයේ මිතුරිය සිටි ගෙදර ගේට්ටුවත් අතරේ ඊලග ඉරිදාපොල පිවිසුම තිබුණේය. මේ ඉරිදාපොළ පිවිසුම අසලින්ම පටන්ගෙන ඉරිදාපොල මායිම දිගේම අඩි හතරක් පහක් පලල  තහඩු මඩුව එකින් එක පුරුද්දා පරණ පාර මායිම දක්වා දිග බද පටියක් මෙන් සාදා තිබුණේය. ඒ  පෙලිය අවසානයේ පරණ පාරත්, පොළ බූමියත් වෙන්කර කම්බි වැටක් ගසා තිබුණු අතර ඉන්පස්සේ පොලේ අඩක් හිමිව තිබූ රාලහාමිගේ නිවසද.. ඊලග මායිම ඉස්කෝල හාමිනේගේ ඉඩමක කොටසක්ද... අන්තිමට සිසිර අය්යාගේ ඉඩමේ කොටසක්ද... මද්දුම බණ්ඩාරසර්ගේ තට්ටු දෙකෙ ගෙයත් යලිත් දකින්නට හැකි විය. ඒ ගේ මායිම් වුනේ අර රවුමේ අන්තිම කොටස වූ ගාමිණි අය්යාගේ කඩේ ලගිනි.

පොළ ඉස්සරහින් හිටගෙන අනෙක් පැත්ත බැලූ විට, වනාත පාරද ඊට අල්ලා ඩග්ලස් අය්යාගේ කඩේද.. ඊට අල්ලපු වත්ත පුරා ලී මඩුවද... ලී මඩුවේ වැටෙන් මෙහා අපේ ගේද.. ඊට අල්ලපු ඉඩමේ රත්නසිරි අය්යාගේ ගේද.. ඊටත් එහා මෝටර් රංජි අය්යාගේ මෝටර් ඔතන චන්ද්‍රා මෝටර්ස්ද ඊට අල්ලපු ඉඩමේ නැවෙන් එහා මෙහා ගිය සරත් අය්යාගේ ගේද.. ඊට අලලා හැදූ,  මම ඉස්කෝල නිවාඩුවක් හාල්- සීනී -තේකොළ- බූමිතෙල් කිරූ කඩ කෑල්ලද.. ඊටත් අල්ලපු වත්තේ ආනන්දසිරි අය්යලාගේ කොට තාප්පය සහිත ඉඩමද එක පෙළට තිබූ අතර, ඊලග වත්තේ තිබ්බේ මැනිං මාකට්ටුවේ ජයවර්ධන අය්යලාගේ තට්ටු දෙකේ ගෙදරය. ඊට එහා පැත්තේ පල්ලමට ඇති පාරේ නම මට දැන් මතක නැතත් ඊලගට ආයෙත් කඩ පේලියක් තිබ්බා මතකය. එහි තුවාල වලට බෙහෙත් දැමූ මොන්ටි පදිංචිව සිටියේය.

මේ රවුම මට මගේ ජීවීතයේ දුෂ්කරම එහෙත් සුන්දරම සිදුවීම් වටා බැදී තිබුණේය. ඒ නිසාවෙන් මගේ ලියමනේ තව දුර යන්නට පෙර මට මේ රවුම යළි මතක් කරගන්නට සිත් විය. මා මේ රවුමේම කරක් ගැසීම ගැන ඔබෙන් සමාව ඉල්ලන්නේ ඉන්පස්සේ මගේ ජීවීතය වෙනම රවුමකට වැටෙන නිසාවෙන් හා මේ තරම් සුන්දර  යලි යලි මතක් කිරීමට තරම් සොදුරු දේවල් නොලැබෙන නිසාවෙනි.

කීවා මෙන්ම මේ රවුම මගේ ජීවීතයේ බාගයකටත් වඩා වසාගෙන ඇත්තේය. අදත් මට මේ ප්‍රදේශය පසුකරගෙන යන විට විවිධාකාර මතක මැවෙයි. ඒ අතරේ ජෝරිස් මහින්ද අය්යා අඩි දහයකටත් වඩා උස, අඩුම තරමේ මීටර් දෙතුන් සීයක් දිග 'නයා සරුන්ගලයක්' සාදා හයිලෙවල් පාරේ එක කොනක සිට, නූල් පන්දුව පාර හරහා ඇද තිබුනු වයර් කම්බි උඩි විසිකර කර  ලී මඩුව තිබුණු තැන සිට මොන්ටිගේ තුවාල සාප්පුව ලගට නූල හදාගෙන, අර පත සරුන්ගලය උඩ යවන්නට දිවූ හැටි මතක් වෙයි. ඒ සරුංගලය අපට එකල අල්ලන්නටවත් දෙන්නේ නැත්තේ එහි බරට අපවත් පෙරළාගෙන වැටෙන නිසාය.
සරුංගලය උඩ යන්නේ අර රෝල්කර තිබූ නයි නැට්ට දිග හැරෙන ගමනේය. එය බලන්නට ලස්සන දර්ශනයකි. අන්තිමේ මේ අලි පත නයා අහසේ උඩින් උඩටම ගොස් තිතක් නැතහොත් අපේ බාසාවෙන් ඩොටේ වෙන්නේ අපේ ඇස් ගෙඩි බෙල්ල රිදෙන තුරු අර අහස දෙස බලා ඉද්දීය.  සමහර දාට මහ රෑ වනතුරුත් අර සරුන්ගලය බිමට බහින්නේ නැත. වරෙක දෙවරක ඉටිපන්දම් එල්ලූ බකට් අර නූල දිගේ යැව්වා මට මතකය. මේ ලඟදීද අපේ ගෙවල් ලග LED බල්බ එල්ලූ සරුන්ගලයක් දැක මම එක පිම්මේ දෙල්කද දිව්වෙමි. ඒ හිතෙනි. එහෙත් අද එහෙම කරන්නට කළබලයක් නැතුව තියා පාර පැනගන්නටවත් ඉඩක් නැත.මේ සරුන්ගල් කතාවේ මට ඉඩක් නැතත් එක සරුන්ගලය බාන වෙලාවට නූල් ඔතන්නට මහින්ද අය්යා මට අඩගසන්නේය. ඒ මගේ සකසුරුවම් වැඩ නිසාවෙනි. ඒ හැම පාරකම මගේ 'පුක්මූණ' දැක 'හරි බං ඊලග පාර උඹට දෙන්නං නග්ගන්ඩ..' කීවාට එහෙම දෙයක් උනේ නැති එක හොදය. එහෙම වුනා නන් අර කෙසග මම  අර පත නයා සමග තාම අහස උඩය.

 එහෙත් හැමදෙයකටම අවසානයක් තිබේ. මහින්ද අය්යා දැන් අපි මෙන් හැම මංගල්ලේකම එල්ලී.. 'අපේ' කරගන්නට දුක් විදින්නේ නැතිව අන්තිම දවසේ අර නයාගේ නූල කඩා නිදහස් කලේය. නයා පාවී පාවී ගොස් අතුරුදහන් වුනේය. මහින්ද අය්යා සියල්ල අතහැර කිසි දුකක් නැතිව ඊලග අවුරුද්දේ හුලං එනතුරු සිටියේය. එහෙත් පසුගිය අවුරුද්දක දෙකකට කලින් මට හමුවූ මහින්ද අය්යා ජෝරිස් පරම්පරාවේ ඔලුව හෙලවිල්ල වැඩිකරගෙන තිබ්බේය. ඒ පරම්පරාවේ හැමෝම 'දෙකක් දා ගත් විට' වැඩිපුර ඔලුව හොල්ලන්නේය. මෙවන් දක්ෂයෙකු එසේ හොල්ලන්නට පටන් ගැනීම දුකකි. එහෙත් එය සාපයක් මෙන් ඒ පවුලේ ඒ පරම්පරාවේ පිරිමි දරුවන් අතරේ බෝවුනේ ඇයිදැයි මා නොදනිමි. එහෙත් ඔවුන්ගේ  දහසක් හොද ගතිගුණ අතරේ ''බීවද- නොබීවද ''වෙනස් නොවනා මනුස්ස ගතිගුණ තිබ්බේය.

එහෙත් සරුන්ගල් කලාවේ රජා සිටියේ පොල පිටුපස්සේ පරණ පාරේය. හෙන්රි අය්යා සරුන්ගල් කූඩු කැටයං චිත්‍ර කලාවේ මම දුටු රජ්ජුරුවන් විය. ඔහුගේ අතිශය කදිම නිමාව නැතහොත් සින්හලෙන් මාර නීට් ගතිය මම කවදාවත් කොහේවත් දැක තිබුනේ නැත. ඉන්ග්‍රීසී කොඩිය මොණර සරුන්ගලේ ඇලවූ පසු පිල් රැළ්ල තනිකරම නිල් රතු සුදු පාටෙන් කෙස් කැරැල්ලක් මෙන් සැලෙන්නේය. හෙන්රි අය්යා සරුන්ගල් කාලයට සරුන්ගල්ද වෙසක් පොසොන් කාලයට කූඩුද හදා කීයක් හරි හොයාගත්තේය.

එහෙම පුළුවන් තව කෙනෙක් අපේ ගෙදරත් සිටියේය. ඒ අපේ තාත්තාය. අපේ තාත්තා අපට නැතත් පසු කලෙක මගේ දරුවන්ට නම් අනර්ඝ සරුන්ගල් සදා... අලවා.. ගෙනවිත් දුන්නේය. තාත්තාට ඒ කාලයේ අපව අමතක වෙන්නට ඇත්තේ දේශපාලනයත්, මිතුරු හවුලත්, මෙණ්ඩිස් මහත්තයාත් නිසා වෙන්නට ඇත. තාත්තාගේ අකුරු- වෙසක් කූඩු- සරුන්ගල් හා ලියවිලි තරම් තාත්තාගේ ජීවීතයත් 'නීට්' උනා නම් වැඩි සතුට අපට නොව අපේ දරුවන්ට බව මගේ සිතිවිල්ලක්ව මගේ සිත ඇතුලේම මිය යන්නේය. ඒ ගැන තර්ක කිරීමෙන් පලක් නැත.

අඩුම තරමේ අපේ තාත්තාගේ අර නීට් කමවත් මට ලබුණු එක ගැන මම සතුටු වෙමි.

ජීවීතයේ බොහෝ දේවලට වඩා සතුට වටින්නේය.

Wednesday, March 22, 2017

හොරකම් කොට තැනූ ශිෂ්ටාචාරය71



මා සොරකම් කර ඇති සමහර දේ බලන විට මට ලොකු දුකක් දැනෙන්නේය. ඒ දුක ඒ සමහර සොරකම් කිසිවෙකු ''අල්ලාගත්තේ '' නැති එකය. මා අල්ලාගත්තේ නෑ කීවේ මගේ සොරකම් දැක මා අල්ලා ගස්බැද ගුටිදී මා හොරෙකු කිරීම ගැන නොවේ. මගේ සොරකම් වලින් මගේ මග සොයාදෙන්නට කිසිවෙකු සමත් නොවූ නිසාවෙනි. එක අතකට එහෙම හිතීම අභව්‍ය කාරනයක් වන්නටත් පුලුවන. කෙසේ වුව මගේ සොරකම් මගේ ළමා කාලයේ මගේ සිහින ලෝකයේ එසේත් නැත්නම් මගේ  මනෝමන්දිරවලම ඉපද බිහිවෙමින් යලි සදාතනිකව නැතිවී ගියේය. එහෙම මනෝමන්දිර සැබෑවටම තැනූ තැනක් වූයේ අපේ ලොකු අම්මාගේ ගෙයි මිදුලය.

මෝටර් රංජි නොහොත් රංජි අය්යාගේ මල්ලී වූ විල්සන් කරුගේ මල්ලිගේ පෙනුම කෙනෙක් මෙන් පෙනුම තිබූ රත්නසිරි අය්යාට අයිතිවූ නිවස ලොකු අම්මාගේ  ගෙට අල්ලා තනි බිත්තියකින් වෙන්කර තිබූ අතර ඉදිරිපස මිදුල වෙන්ව තිබුනේ ජම්ඹු ගහකින් හා ලොකු බෝගන්විලා පදුරු කිහිපයකිනි. අපේ වත්තේ එක පැත්තක තිබූ දැවැන්ත යාපනේ බට් අඹ ගස මුළු මිදුලම වසා සෙවන දුන්නේ අපේ හිතවත් නෑ කෙනෙකු මෙනි.
රැයද දවාලද පායන කාලේද මහ ධාරානිපාත වැස්සේද මේ ''නෑ අඹගහ''  මල් පිපි එක පොකුරක ගෙඩි විස්සක් තිහක් හැදී ගැට අඹ වල නැට්ට පැත්ත රෝස පාට වී දිලෙන විට ඉදුණු අඹ වලින් ආ සුවද මා පමණක් නොව බාප්පාවද ගහේ කරටියටම නැග්ගුවේය. මා නැග්ගේ ගහේ ඉහල අත්තක සිට රස අඹයක් කා අතද ලෙවකා බහින්නට වුව බාප්පා නැන්ගේ අඹ වලු අල්ලා පෝරමළු බදින්නටය. එවිට ලේනුන්, වවුලන්ගෙන් බේරාගතහැකි මෙන්ම ඇස්වහ කටවහ වලින්ද බේරෙන්නේ යැයි මාත් සමගම උනන්දු වී ගස් නැග පෝර මළු එල්ලන බාප්පා කීවේය. එහෙත් බාප්පා දැන නොසිටි කාරනය නම් බාප්පා නැතිවෙලාවට අවේලාවේ ගස් නගින කොල්ලෙකු අර පෝර මළු ලෙහා හොදම ගෙඩි කඩාගන්නා බවයි.  එහෙත් කොල්ලා දැන සිටි කාරනය නම් ගෙඩි කඩන දවසට පැත්ත පලාතක නොසිටින්නට වග බලාගත යුතු බවයි. කෙසේ වුව ගහ බාල වී,  හැදෙන ගෙඩි පොඩිවීමටත්, ගෙඩි දහයක් පහොලවක් එකතුකොට බැද දමන පෝර බෑගයේ ගෙඩි අටක් දහයක් ඉතිරිවන්නේත්, වෙනදාට දහයක් හැදෙන පොකුරේ පහ හයක් තියෙන්නේ ඇයිදැයිවත් බාප්පා කොල්ලාටගෙන් ඇහුවේවත්, කොල්ලා බාප්පාට කීවේවත් නැත. කොල්ලා නොකීමට හේතුව බාප්පා කට අරින්නේ කුණුහරුපයක් සමග නිසාවෙනි.

එහෙත් බාප්පා දිනක මගෙන් එක ප්‍රශ්නයක් ඇසුවේය. ඒ ''ගෙයි මිදුලේ සොහොන් වලවල් හාරන්න උඹට මොලේ අමාරුවක්දැයි..'' කියාය. එයට හේතුව එකල අපට ඉගැන්වූ   පැරණි ජනාවාස හා ශිෂ්ටාචාර පිළිබද පාඩමයි. ඉතිහාසය කියවීමට මගේ තිබූ තදබල ආසාව මතින් නැගුනු නව ශිෂ්ටාචාරයක නටඹුන් සහිත 'මොඩල් ශිෂ්ටාචාරයක්' මමත් අපේ මිදුලේ හදා තිබීමයි. අපේ ඉඩම ලොකු බෑවුමක් මෙන් පිහිටා තිබීම නිසා සෝදාගෙන ආ වැල්ලෙන් මිදුලම පිරී තිබුනෙන් පස් හා වැලි මිශ්‍ර බිමේ හැරීම, කැනීම, තැනීම ඉතා පහසු විය. ඊටත් අමතරව බෝගන්විලා පදුරු මගේ ශිෂ්ටාචාරය අනුන්ගේ ඇස්වලින් හංගාගත්තේය. මම ඒ අස්සේ බිම දිගාවී මට හැරෙන්නට පෙරෙලෙන්නට ඉඩ හදාගෙන මේස හැදි,මේසන් හැදි කියත්පටි ලී පටි යොදාගෙන නව ශිෂ්ටාචාරය ගොඩනැංගුවෙමි.

(ඒ අතරේ ''පෝතක බාලදක්ෂ ගෙවතු වගා පදක්කම'' සදහා අපට තම තමන්ගේ ගෙවතුවල කුඩා පැල තවානක් සාදා පෙන්වන්නට තිබිණ. මම ශිෂ්ටාචාරයට තබන ලද උනන්දුවෙන් දශමයක්වත් නොතියා පස් කන්දක් ගසා මිරිස් ඇට අහුරක් විසි කලෙමි. එහෙත් ඒ ඇට , පැල වී දළු ලන විට වතුර දමා රැකගතිමි.)

මගේ ශිෂ්ටාචාරය කොයිතරම් සූක්ෂමද කිවහොත් උඩින් බලන්නෙකුට හොදින් පෙනෙන පරිද වීදුරු කැබැලි යොදා තිබුණු අතර ජම්ඹු ගසට මුලට වතුර බල්දියක් හැලූ විට ගලා ආ ගංගාව මගේ ශිෂ්ටාචාරයේ කානු අස්සෙන් ගලා ගොස් දියපිරුණු පොකුණු පිරවූයේය.  ගලා එන ජලය අඩුම තරමේ පැයක්වත් රැදෙන්නට කැඩුණු පිගන් කබැලි ඇලවීම ඉතා පහසු වුවත්, ජෝරිස් අයියලාගේ ජනෙල් හදන්නට ගෙනා වීදුරු 'අතුරුදහන්' කරවීමට නම් පහසු නොවීය.
එක වරෙක ජනේලයට ගෙනා වීදුරු අඩුවී විජේරාමේ වීදුරු කඩයකට මාවත් නංගාගෙන බයිසිකල් පැද්ද ජෝරිස් ආනන්ද මට අදත් මතක් කල හැක. එදා ඒ වීදුරු කැබල්ල මට මගේ ශිෂ්ටාචාරයට ලොකු උදව්වක් වූවත් ජෝරිස් ආනන්ද අය්යාට මා කලේ 'මහ කැත වැඩක්' බව මට දැන් හිතේ. එහෙත් එකල මං දැන් තරම් හිත අමාරුකරගන්නේ නැති කෙනෙකු නිසා මට ඒ වගක් දැනුනේ නැත.

(අද නම් මම මගේ ගෙදර හදන කාලේ ඇවිත් ''ඕං මාත් උදව් වුනා ජනේලයක් හදන්න..'' කියා වීදුරු කෑල්ලක් අර හදන ජනෙල් පට්ටමට තියා හිනාවුනු මගේ යාලුවෙකුගේ වියෝවෙන් මම අදද තැවෙමි. අදත් මගේ ගෙදර ජනේලයක ඇති ඒ වීදුරුවේ මතක සටහනක් ලෙස එදා තැබූ අකුරු බොදවී නැතත් මගේ යාලුවා මගෙන් සදහටම බොදවී ගොස් ඇත්තේය. ඉතිරිව ඇත්තේ මේ වන් මතක පමණි.)

 මගේ ශිෂ්ටාචාරය ඉතා පැහැදිලි එකක් විය. එය නැරැඹූ එකම ප්‍රෙක්ෂකයා වූ ලොකු අම්මාගේ දුව මගේ පැහැදිළි කිරීම් පුදුමයෙන් බලා සිටියා මට අදද මතකය. ඇතුල් ගේට්ටු.. පිට ගේට්ටු.. වහලවල් නැති නිවෙස්වල කාමර.. කුස්සි පමණක් නොව කක්කුස්සි පවා මැටි හා වැලි බිත්ති වලින් වෙන්කොට පාරවල් දිගේ ලයිට් කනු පවා ඇද තිබුනෙය. ආනන්දසිරි අය්යාගේ අය්යා වූ ඉස්කෝල මහත්තයාගේ නොයෙකුත් වැඩ සදහා ගෙනවිත් තිබූ සර්කිට් බෝඩ් වල LED බල්බ කඩා සොරාගත් මම ඒ ලයිට් කණුවල සවිකර කුඩා බැටරි මගින් එළිය කලෙමි.
එහෙත් ඒ අතරමග දවසක  ඒ අය්යා පැමිණ මගේ සුළු සොරකම් ලොකු වන්නට පෙර හදාගන්නැයි අම්මාට කියා ගියේය. (පහුවෙනිදා ආනන්දසිරි අය්යා මට පාට තුන හතරකින් ...බල්බ්ද පෑස්සීමට ගන්නා ඊයම්ද..වයර් අඩි දෙක තුනක්ද ගෙනවිත් දුන්නේ මේ කතාව කොහෙන් ආරංචි වීදැයි මා නොදනිමි. එහෙත් ඒ ''මනුස්සයා..'' මගෙන් කිසිත් ඇසුවේ නැත. අඩුම තරමේ සොරකම් කල බල්බ තබා ඒවායින් කුමක් කලේදැයිවත් ඇසුවේ නැත.)
 කොටින්ම එදා සුලබ නොවූ බීම බට වලින් කක්කුස්සියේ වතුර පිරවූ පසු ඒ බට දිගේ ගලා ගොස් එකතුවන වලක්ද මගේ නිර්මාණයට අයිතිවිය. වැල්ලෙන් සැදූ චෛත්‍යයයේ අසල බෝගස වෙනුවට සිටවූ මල්පැලය ලොකු වී වීදුරුවේ වදින විට ගලවා ඉවත්කිරීම ලෙහෙසිපහසු නොවේ. අනෙක ඒ පරිමාණ වලින් ගස් වෙනස්වූ විට සංකීර්ණය ඉතා කැතට පෙනේ. වීදුරුවලට අතපය කපාගෙන ඒවාකලේ මගේ තනි මහන්සියෙනි. ඒ මහන්සියේ ප්‍රතිපල ලැබුනේ කළුවර වැටුණ පසු ඇවිත් බැටරියට සම්බන්ධ කොට ලයිට් දැමූ පසුය.
 එදා බිම දිගා වී මේ ''මිනි සිටි කම්ප්ලෙක්ස් '' නතහොත් නගර සංකීර්නය වෙන කෙනෙකු බලා සිටියානම් මා අද මෙතැන ඉන්නේ නැත.  එහි වැරද්ද එදත් අදත් මාගේය. (මගේත් නොව මගේ ගල්බ්බාගේය.)

  ඒ වැරැද්දෙන් මා පාසල් ගිය දිනක ඉඩම බෙදාවෙන්කරන්නට ආ පිරිස අර බෝගන්විලා ගාල කපාදමා මිරිස් පාත්තියද පාගාදමා මගේ ශිෂ්ටාචාරය වනසා දමා ඒ හරහා කණු සිටවා කම්බි ගසා ගොස් තිබුනේය. මා ගෙදර ගොස් දෙවනත් වන තුරු කෑගසා ඇඩුවෙමි. එහෙත් සියල්ලන් සිතා තිබුනේ මගේ ගෙවතු වගා පදක්කම සදහා මා සිටවා තිබූ මිරිස් පාත්තිය විනාස වූ නිසා කියාවෙනි. ලොකු අම්මාද සිටියේ ඇඩූ කඳුලෙනි. ඇගේ නිදන කාමරයේ අඩක්ම කම්බි වැටේ මායිමට අසුව තිබුනේය.
මේ සියල්ල වූ පසු වැඩ ඇරී පැමිණි බාප්පා  මිදුලට බැස අල්ලපු ගෙදර දිහා බලා කුණුහරුප වැලක් කියා මා හමුවට පැමිණ ''මම හිටියනන් උඹේ සොහොන් ගෙවල්  ටික කඩන්න දෙන්නේ නෑ බං..'' කීය.

පසුදාම මම මගේ පාත්තිය යලි 'අටවා' ගත්තෙමි. පෝතක බාලදක්ෂයන් බාරව සිටි ගුරුවරිය පැමිණ පිරික්සද්දී අම්මා සිදුවීම විස්තර කලාය. මගේ පදක්කම අලුපාට බාලදක්ෂ කමිසයේ පසුවෙනිදාම විරාජමාන විය.

ශිෂ්ටාචාරය වදවී බොදවී ගියේය.

Thursday, March 16, 2017

මං නොදන්න ක්‍රිකට්........70


කාලයක්ම අපේ නවාතැන වූ ලොකු අම්මාගේ ගෙයි බෙදා වෙන්කොට පාවිච්චි කල කොටස එදා අපට ලොකු 'අපේ' කමක් නොතිබ්බාට අද මට ඒ ගැන ලොකු දුකක් තිබේ.

මගේ මතකය නිවැරදි නම් අපි හන්වැල්ල පොලීසීය ලග තේ කඩේ සුදු අක්කලාගේ කුලී ගෙයි අදුරු මුල්ලේ සිට කොළඹ එන්නට මග පෑදුවේ ලොකු අම්මාය. ඒ වෙලාවේ ඇයට අප දුන් - නොදුන් රුපියල් සියයක කුලී මුදලට වඩා දසදහස් ගුණයක් විශාල උපකාරයක් ඇය අපට ඒ ගෙය දීමෙන් ඉටුකලාය. මට අදත් මගේ ජීවීතයේ සුන්දරම - කටුක මතක ඇත්තේ එහිය. 1989 අපට (ප්‍රථම වරට මම.) කුලී ගෙදරකින් අපේම කියා තැනකට යන්නට පිහිට වූ දෙදෙනෙකු සිටියේය. ඒ තම තරුණ ජීවීතය පිටරටටම කැප කල ලොකු අය්යාත් ඒ එවන ලද මුදල් වලින් සත පහක්වත් තම ප්‍රයෝජනයට නොගෙන ලොකු පොතක ලියා, හැකි සෑම මොහොතකම තම ශ්‍රමයෙන් දාඩියෙන් අපට ඉන්නට ගෙයක් හදාදුන් දෙවැනි අය්යාත්ය. ඒ කතාව අතිශය දීර්ඝය.

ඒ කතාවට අතුරුදහන් වූ ආනන්දසිරි අය්යාත්, තමන් ගැන නොහිතා බීමත්කමෙන්ම මියගිය ජෝරිස් පවුලේ රංජි අය්යා ඇතුළු කොල්ලන්ටත් ආරාධනය කල යුතුය. ඔවුන් ඉන්නේ මගේ ලෝකයේ සදාතනිකවමය. අදත් මහගෙය දකින විටෙක, කොල්ලන් රංචුවක් පරණ හන්දියේ තෙක් බස් රථයක විත් එතැන් පටන් හරි‍යටම කිලෝමීටර දෙකක් විතර පයින්ම විත්, අපේ පාරේ අන්තිම කොනේ කැලෑඉඩම එළිපෙහෙළි කල හැටි , අත්තිවාරම් කපපු හැටි මට තාම අද වගේ මතකය. අපේ වත්තේ පොල්ගස්වල කපන ලද කුරුම්බා පමණක්ම නොව පොල්ගොබද කා අම්මා උයාගෙන එන බත් බෙදාගෙන අර පස්කණ්ඩි උඩ වාඩිවී හිනාවෙන ආනන්ද අය්යා ජෝරිස් ආනන්ද ජෝරිස් රන්ජි, මහින්ද සිසිර අය්යා මගේ ඇස් අදද බොද කරවන්නේය.

කුඩා පස් වලක් හිමින් හිමින් මහා ලොකු වලක් වී හතරැස් වී බඹයක් දෙකක් ගැඹුරට යන හැටි මා මින් පෙර අත්දැක තිබුනේ නැත. පස් කූඩයක් තබා අල්ලක්වත් නොහෑරූ මම අර මිනිස්ගති තිබූ එවුනට පිහිට වන්නට 'කළු බාසුන්නැහේ ' හැදූ කක්කුස්සියේ හරි බරි ගැහී අලුත් පෝච්චියේ ශරීරකෘත්‍ය කලෙමි.

ගෙයි වැඩ පටන්ගත් කාලයේ මා එක්කාගෙන එන්නට බැරි බව අය්යලා කීවේ උන්ගේ කොළු වැඩ හා විහිළු වලට මා බාල වැඩි නිසා වෙන්නට ඇතිය. එහෙත් මෙවන් ගමන් මගේ ආසාව පමනක්ම නොවේ. අපේ ඉඩමේ..අපේ වත්තේ..අපේ ගේ හැදුන හැටි බලන්නට මට අයිතියක් තිබේ කියා අම්මා සමග රණ්ඩු සරුවල් ඇල්ලීමෙන් අය්යලාට බෑ කියන්නට වැඩ සිද්ද කරගනිමින් 'අපෙ ගේ' හදන තැනට ආවෙමි.  අපේ අය්යලා ගජරාමෙට වැඩකලේ අපේ ඉඩම අයිතිව තිබූ කෙනාගේ ලස්සන දූවරුන් එකල තරුණ නිසා මෙන්ම කිචි බිචි ගගා ඒ ගෙදර අක්කලා බලං හිටපු නිසා බව මම කියන්නේ නැත.

එහෙත් පසුකලෙක අපේ අය්යලා සියලු දෙනාගේත් මගේත් ජීවීත වෙනස් කල පරිසරයක ජීවත් වෙන්නට සිදුවීම පිළිබද මගේ සතුටක් නැත. මා හිතන්නේ කාලය අප සියලු දෙනාවම පරීක්ෂාවකට ලක්කොට ඒ ඒ තීන්දු තීරණ අනුව වෙනස් මගවල් ඔස්සේ යැවූ බවයි.

එහෙත් මා කියන්නට ආවේ එය නොවේ. (ලියන්නට පටන් ගත් විට මතක පටුමං වලින් හැරී කොහේ හෝ ගොස් අතරමං වෙන එක මගේ ගතිය නිසා මෙහෙම වන්නට ඇත,.) මම ලියන්නට පටන් ගත්තේ මගේ ක්‍රිකට් ජීවීතය ගැනය. එහෙම අදහසක් ආවේ අපේ ගෙයි අලුත්වැඩියාවක් සදහා ආ බාසුන්නැහේ කෙනෙකු අටුවේ දූවිළි කකා තිබුනු පොඩි පුතාගේ ක්‍රිකට් බෑගය දැක ' මහත්තයාත් ක්‍රිකට් ගැහුවාදැයි'  ඇසීමෙන් පසුවය. ගෙවල් හදන එක ගැන හිත හිතා සිටි මට අපේ මහගේ හැදූ මතක පාරේ ටිකක් ඇවිදීම  සාධාරණ බව සිතමි. 

මම ක්‍රිකට් ගහන්නට පටන් ගත්තේ ඉරිදාපොලේ සතියේ දවස්වලය. 'සතියේ දවස්වල ක්‍රිකට් කණ්ඩායමට' ලොන්ඩරියේ ගෙදර ජයලත්, වනාත පාරේ නිමල්, ගෙඩි ඇඩ්ඩිං අය්යාගේ නෑදෑයකුගේ පුතෙක් සහ 'චොපර්' බයිසිකලයක් තිබූ කොල්ලෙකුද, හෙන්රි අය්යාගේ ගෙවල් පේලියෙන් පල්ලෙහා පටුමගේ කොල්ලන් හතරපස් දෙනෙකුද ඇතුලත් හය ගානේ බෙදී ගහන්නට පුලුවන් කණ්ඩායමක්ම හිටියේය.  ඒ කණ්ඩායමේ ක්‍රිකට් ගැහිල්ලේ දක්ෂයා මම වුවත්, හැමදා නායකයා මම වුවත්, කණ්ඩායම් බෙදා වෙන්කරන අයිතිය මට තිබුනත් මේ කොල්ලන්  තනිකරම මගේ අනසකට යටත්ව හිටියේ සතියේ දිනවල පමණි. හේතුව සති අන්තයේ සෙනසුරාදා හා පෝය නිවාඩුවල අපට වැඩිමල් අය්යලා සෙල්ලං කරන්නට ආ විට අප විසික් වෙන නිසාය. එදාට කණ්ඩායමට එකතු නොවී මගහරින්නටද අප කුඩා එවුන් පුරුදු වී සිටියේ අපව කණ්ඩායමට ගත්තද බැට් කරන්නට ආ විට ලොකු එවුන් එක බෝලෙන් අපව අවුට් කරන නිසාවෙනි. අපට තැනක් ලැබෙන්නේ නැතිම නිසාවෙනි. අපෙන් වැඩක් උනේ බෝල අහුලන්නට පමනක් වීම අපේ හිත් රිදෙන කාරනාවක් විය. ඒ නිසා අපි විශේෂයක් ලෙස නිවාඩු දවස්වල ලොකු අය සමග ක්‍රිකට් ගැහිල්ලේ ප්‍රෙක්ෂකයෝ වීමු. (ලොකු අය සමග ක්‍රිකට් ගහන්නට ගොස් පීචං වී මගේ 'ලොකු සීන් කැප්ටන් කම' නැතිකරගන්නට බයෙන් නිසාද වෙන්නට ඇත.)

මේ අතරේ ජයලත් ලොන්ඩරියට අල්ලපු ටයර්කඩේ අයිති අය්යාගේ පුතා කොළඹ ඉස්කෝලෙක 'ලෙදර් ටීම්' එකක සෙල්ලම් කරමින් සිටියේය. අපේ වයසේම මේ කොල්ලාගේ නම මට මතක නැතත් උඩහමුල්ල පාරේ ලොකු ගෙයක් තිබ්බා මට මතකය. ටයර් කඩේට ආ වෙලාවක අපි මිතුරු වී ඔහු මට අර 'ලෙදර් බැට්, පෑඩ්, ග්ලවුස් ..' ගැන කියව කියවා සිට මගේ කුතුහලය අවුස්සා මටද ලෙදර් බෝල් ක්‍රිකට් ගහන්නට ආසාවක් ඇති කලේය. එහෙත් ඉස්කෝලේ ක්‍රිකට් ගහන්නට මට ආසාවක් නැතිවිය. හේතුව ඒ සදහා මුල සිටම ඇදුම්, සපත්තු, අදාල බඩුබාණ්ඩ ගැනීමේ වත්කමක් අපට නොතිබූ නිසා බව මම සිතමි. එහෙම හිතන්නේ මම ඒ ගැන අම්මාට කියන්නට පවා උනන්දුවක් නොගත් නිසාවෙනි. එහෙත් ටයර් කඩේ මිතුරා මා ඔහුගේ ගෙදර එක්කාගෙන ගොස් අර බඩු භාණ්ඩ බෑගය පෙන්වා එකින් එක මට අදුන්වාදුන්නේය. ඒ අතරේ අර 'බෝල් ගාඩ්' එක මගේ සිත් ගත් නිසා ලන්කට් දෙකක් ඇද මැදට 'සෙට්' කරගන්නා හැටිද කියාදී , ග්ලවුස් දෙකක්ද මට දුන්නේ ඒවා පරන ඒවා බව කියමිනි.  මම ගෙදර විත් කලිසම අස්සේ අර බෝල්ගාඩ් එක රදවාගෙන ග්ලවුස් එකත් දාගෙන ලී මඩුවේ ජෝරිස් ආනන්ද හදා දුන්  බැට් එකෙන් ඉස්තෝප්පුවේ ක්‍රිකට් ගැහුවෙමි. එහෙත් රූපවාහිනියේ දැක ඇති ලෙස පෑඩ් දෙකක් නැතිවීම ගැන වදවෙවී ඉද්දී ටයර් කඩේ යාලුවා මට පරණ පෑඩ් දෙකකුත් දුන්නෙන් මම එකල වීරයන් වූ රෝයි ඩයස් බන්දුල වර්ණපුර  දුලිප් මෙන්ඩිස් ආදී ක්‍රීඩකයන් පරදවමින් සෙරෙප්පුවක්වත් නැතිව අර කෝටු කකුල් දෙකේ පෑඩ් බැදගෙන අතට ලොකු ග්ලවුස් කුට්ටමත් දාගෙන දැන් වැටෙයිදැන් වැටෙයි කියා  දෙපරැන්දේ හිරකරන් උන් බෝල්ගාඩ් එකත් අල්ල අල්ලා තනියෙන්ම ක්‍රිකට් ගැසුවෙමි.

ඒ ගහන අතරේ පාලිත පෙරේරා මෙන් විස්තර විචාරයක්ද දුන්නෙමි. අද මට ඒ සිදුවීම ඉස්තෝප්පුවේ තාප්ප කෑල්ලේ වාඩි වී බලන්නට ආසාය. මට මාව දකින්නට ආසාය.

එහෙත් මගේ ක්‍රිකට් උන්මාදයට වැඩි ආයුෂ තිබ්බේ නැත. ටික දිනකට පසු ටයර් කඩේ යාලුවා පැමිණ 'අම්මා බයිනවා බං..'  කියා අර අඩුම කුඩුම ටික රැගෙන ගියේය. ඉන්පස්සේ යලිත් රබර් බෝල සෙල්ලමට එකතු වූ මම  යමක් කමක් දැනගෙන ක්‍රිකට් ගැහුවෙමි. අන්තිමේ නුගේගොඩ, රත්තනපිටිය, පැගිරිවත්ත,විජේරාම, මහරගම පමණක් නොව බස් දෙකක නැගී විත් ඈත ඔරුවල වානේ සංස්ථා පිට්ටනියේද ක්‍රිකට් ගැහුවෙමි. ඒ අතරිනුත් 'ගල්පිට්ටනියේ ක්‍රිකට් ටීම් එකේ' නැතිවම බැරි එකෙක් වීමී. මේ කොල්ලන්ව මට දැන් මතක් කරගන්නට ඕනෑය. එහෙත් මේ ලියන මොහොතේ 'ගෙවල් පේලියේ මහින්දයා' ඇරෙන්නට මට මතක් වෙන කවුරුත් නැත.

අන්තිමේ මගේ ජීවන මග සහමුලින් වෙනස් කල යාල වනෝද්‍යානයේ හෝටලයේ සේවය කරද්දී අමදූව මුහුද අයිනේ මගේ ජීවීතයේ ඉමහත් ගරුකරන චරිතයක් මෙන්ම මගේ ගොන්කං- ගොන්පාට් කපා කොටා දැන් ජීවන මගේ එළියවැටී සිටින මගෙන් බාගයක් විතර ගොඩ දැමූ මගේ හෝටලයේ කළමණාකාරවරයා වූ එහෙත් මට කටක් ඇර 'සර්' කියන්නට බැරිවූ ''අජිත් අය්යා'' සමග එකතු වී ක්‍රිකට් ගැහුවෙමි. ඒ චරිතය ගැනත් අමදූව ගැනත් සුදුවැල්ලේ හා කුඩාවැල්ලේ මාළුවාඩිය ගැනත් කියන්නට මතක පිරුණු කලයක් මගේ හිස මත ඇතත් ඒ ගැන ලියන කාලය එනතුරු ඉදිමි.

ඊලගට තව ටිකක් මට්ටං කොට සුද්ද කරවා එළිපෙහෙලි කරගන්නට හැකිවූ මගෙ ශරීරය, මා කොතෙක් ලොව වටා ගොස් ඇතත් තවම එවන් නිහතමානී මනුස්ස කොට්ටාසයක් හමු නොවූ ඕමානයට රැගෙන ගියෙමි. ඒ ලොකු අය්යාට පිං සිද්ද වෙන්නටය. ඕමානයේ මගේ ජීවිතයේ සුන්දරම තැන් තිබේ ..එයටත්,  මෙහි ලියන්නට තව කල් තිබේ.

එහිදී ඕමාන ජාතික මැනුම් සහ සමීක්ෂණ අධිකාරියේ වැඩකල ජයකොඩි අය්යා හරහා එහි ක්‍රිකට් කණ්ඩායමට බැදුනෙමි. ජයකොඩි අය්යා දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වනවිට, ඔස්ට්‍රේලියානු ජාතික  ග්‍රැහැම් කණ්ඩායමේ නායකයා විය. එදා National Survey Authority  කණ්ඩායමට සෙල්ලම් කල අයගෙන් මට මතක ඉන්දියාවේ වෙන්කට්  සහ පුෂ්පකර් මට ඉතා ලැබැදිව උන්නේය. වරෙක ඔවුන් මට ඉන්දියාවෙන් අනර්ඝ ක්‍රිකට් පිත්තක් තෑගි කලේය. ජයකොඩි අය්යා පාවිච්චි කල පෑඩ් ග්ලවුස් ඇතුළු බොහෝදේ මට ලැබුනේ කණ්ඩායමට අධිකාරියෙන් ලැබුණු ඒවාට අමතරවය. එ අතරේ ග්‍රැහැම් නිවාඩු ගොස් එනහැමවිටම මට ඔස්ට්‍රේලියාවෙන් ලෙදර් බෝලයක් ගෙන ආවේය. ඔහු මගේ පන්දුයැවීම කෙරෙහි අතිශයෙන් පැහැදී සිටියේය. සැමදාම පුහුණුවීම් සදහා සවස්වරුවේ  කදවුරේ සිට ක්‍රීඩාංගනයට අප රැගෙන යාමට බස් රථයක් තිබුනේය. වේදිකාවේද රූපවාහිනියේද දැන් හඩකැවීම් ශිල්පයේ දක්ෂයෙකු වන නිමල් ජයසිංහ අය්යා යන ගමනේ සිංහල සින්දු කීවා පමණක් නොව ග්‍රැහැම් ඇතුළු සිංහල නොදන්නා අයට තේරුමද කියා දුන්නා මට අද වගේ මතකය.

අප  ඉන්දියානු පාසල් කණ්ඩායම් සමග තරග කල සෑම තරගයක්ම වාගේ ජයගත්තද පකිස්තානු ළදරු කණ්ඩායම් වලට පවා  පරාජය වුනෙමු. ඔවුන් ක්‍රීඩාවේ දක්ෂයෝ වූහ. ඊට අමතරව ඕමාන රාජකීය හමුදාවේ සෑම කණ්ඩායමක්ම සමග වාගේ තරග කලෙමු. බොහෝ තරග ජයගත්තෙමු. එකල ඕමානයේ ක්‍රිකට් පතාකයන් වූ 'ලයන්ස් ක්‍රීඩා සමාජයට' ක්‍රීඩා කරන්නට මගේ තදබල ආසාවක් තිබුණාට අපි ඉතා පහල මට්ටමේ ක්‍රීඩකයෝ වීම නිසා අවස්ථාවක් ලැබුනේ නැත. එහෙත් විනිසුරුවරයෙකු ලෙස සහතික ලත් ලොකු අය්යාගේ යාළුවෙක් වූ එරල් අය්යා මට අවස්ථාවක් දෙන්නට සැරසෙන විටම මම ඉතා හදිසි විවාහයක් කරගත්තෙමි.

 එහෙත් මම නව විවාහ ජීවිතයද ක්‍රිකට්ද අතනොහැරියෙමි

මගේ ඕමාන ක්‍රිකට් දිවිය එළිපෙහෙළි වෙමින් එද්දී පුහුණුවීම් සදහා ගොස් ගෙදර එන්නට හවස් වීම සාමාන්‍ය දෙයක් වූවත් එක දිනෙක ජනෙලයෙන් මා එනතුරු බලාසිටින මගේ බිරිදට අසභ්‍ය බැල්මක් දැමූ එකෙකු නිසා මට පුහුණුවීම් වලට නොගොස් ගෙදර නවතින්නට සිදුවිය. එහෙත් පුහුණුවීම් නොමැතිව කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ග්‍රැහැම් මට ඉඩානොදුන්නේ නරක පූර්වාදර්ශයක් වෙන්නට ඇති බව කියමිනි. ඒ කතාව කියන්නටත් මා ඔහුගේ ගෙදර එක්කාගෙන ගොස් සිය බිරිදට කියා රසවත් කෑම වේලක්ද සාදා මට තේරුම් කරදුන්නේ මගේ කලකිරීම පිළිබද දැනගෙන වන්නට ඕනෑය.

 එවර මම ක්‍රිකට් ජීවීතය අතහැරියෙමි.

ග්‍රැහැම් අද මෙල්බර්න් හී සිය සැදෑසමය ගෙවන්නේය. ඔහු ඇත්තෙන්ම මහත්මයෙකි. ඔහුට මේවා මතක් කරන්නට යන්නට මට ආසාවක් තිබේ. එය ළගදීම ඉටුවෙනවා ඇතැයි යන්න බලාපොරොත්තුවකි. මගේ බොහෝ බලාපොරොත්තු ඉටු වී තිබේ .

මා බලා ඉදිමි.