Saturday, December 31, 2016

78 ක් වටින රුපියල් සියය..(53)



29 වෙනිදා හවස අම්මා අපේ ගෙට ගොඩවුනේ ලොකු අක්කාගේ උදව්වෙනි. වෙනදාට හිතු හිතූ වෙලාවට සාරියක් පටලවාගෙන අපේ ගෙදරට එන අම්මා දැන් අවුරුදු කිහිපයක සිට ටික දුරක් අවිදින්නටත් කාගේ හෝ පිළිසරනක් පතයි. යමක් කියන්නට ඇගේ සටහන් පොත හා පෑන අතට ගනී. එහෙත් එදා අම්මා මීට වඩා බොහෝ සවිමත්ව හිටියාය. ඈ කන්දක් තරම් වූ දුක්ඛ දෝමනස්ස හමුවේනොසැළී සිටියාය. අපට දුක නැමැති සුළිසුලගේ ගසා යන්නට ඉඩ නොදී ඇගේ දෑතින් අප රැක්කාය. ඈ බොහෝ දුරක් ගෙවා මේ විසිනව වෙනිදා 78 වන වියට පා තැබුවාය.
අම්මා මේ කල වික්‍රමය කරන්නට මට නම් මේ කල්පයේ බැරිවනු ඇත. මා අම්මා සමග තැබූ විට අහස පොළොව වැනිය. අදටත් මා එක වචනයකින් එක හැගීමකින් එක සියුම් සිදුවීමකින් සැලී යන්නේය. එහෙත් අම්මා මා වැනි සියයක් දුර්වල මිනිසුන්ට වඩා ශක්තිමත් වූවාය. ඒ ගැන සතුට ඇත්තේ අපට බව මා සිතමි. අවුරුදු හැත්තෑ අටක කාලයෙන් වැඩි හරියක්  ඈ විදි කටුක බව මා වින්දා නම් මා අනිවාරයෙන් පිස්සෙකු වන ඇත. අදටත් මා සමහරුන් පිළිබද සිතමින් දුක්වන්නෙමි. ඔවුන් මා සිතා මතා පෙලන්නේ යැයි  කල්පනා කරමින් දුක්වන්නෙමි. ඒ අයගෙන් ඈත් වන්නට කල්පනා කරමින් විදින්නෙමි. මා කොතරම් දුරවලදැයි හිතෙන්නේ එවිටය. ඒ දුර්වලකම කාගේ දැයි මා නොදනිමි. එහෙත් අම්මාගේ නම් නොවන බව දනිමි.

කෙසේ හෝ මගේ ගෙට ගොඩවුනු අම්මා එන්ගලන්තයේ සිට ලොකු අය්යා එවූ පතරංග කේක් ගෙඩියවත්, විටමින් බෝතල්වත්, පොඩි අය්යා කිසිදු වචනයක් කතා නොකරන අම්මා සමග පැය ගනනක් ඈත රටක සිට කතා කල දුරකතන  ඇමතුමවත්, ලොකු අක්කා හදා ගෙන ආ මිහිරිතම බිස්කට් පුඩිමත්, පොඩි අක්කා වියදම් කොට සංවිධානය කල කෑම වේලවවත් පිළිබද ඒ තරම් උනන්දුවක් දැක්වූවේ නැත. ඈ ආ විගස කලේ මගේ අතින් අල්ලාගෙන මගේ ගෙදර බිත්තියේඑල්ලා තිබූ පොඩි අය්යාගේ පින්තූරය පෙන්නා ඔහුගේ දරුවන් එන්නේ නැත්දැයි ඇසීමයි. මට ඒ වෙලාවට කියන්නට දෙයක් තිබුනේ නැතත් මම රෑ බෝ වී හෝ ඔවුන් එතැයි බොරුවක් කීමී.(ඔවුන් පසුදින අම්මා බලන්නට ගොස් තිබුණේය.)
ඇයට ලෝකයම දෙකට කඩා පාමුල තැබුවද සත පහක වටිනාකමක් නැත. ඇයට ඕනෑ ඈ දුක් කන්දක් විද හැදූ ඇගේ දරුවන් සමග ඉන්නටය. ඔවුන්ගේ දරුවන් සමග ඉන්නටය. අපේ අම්මා ආදරය කලේ තමන්ගේ එවුන්ට පලමුවෙනියෙනි. හැම මවක්ම එසේ වනු ඇතැයි මම සිතමි. ඒ අතරේත් අම්මා අපේ පවුලේ පිරිමි දරුවන්ට වැඩිපුර සෙනෙහස දැක්වූවාය. විටෙක  අක්කා ඇයට විහිළු කරන්නීය.'අපි ඉතිං බඩ බැදන් සැලකුවත් අම්මට පුතාල දැක්කමනේ හිනාවක් එන්නේ...' ඈ අප සැම හිනස්සා කියන්නීය. අම්මා එහෙම කියනවාටත් කැමැතිය. එහෙත් ලොකු අක්කා ඇගේ මිතුරියය. විටෙක දෙන්නා රන්ඩු වී මට දුක කියන්නීය. 'අම්මා මාත් එක්ක රන්ඩු අල්ලනවා ..ටිකකට එන්න මේ පැත්තේ..එතකොට ඔක්කොම හරිය කියන්නීය. එහෙම ගිය විටක අම්මා අක්කාවත් අපත් වටකරගෙන සිනා සෙන්නීය. ඇයට ඕනෑ එපමනය.

මට මේ වෙලාවේ මතක් වන සිද්ධියක් තිබේ. එක දිනක මගේ මිතුරෙක් අපේ ගෙදර එන්නට ඕනෑ යයි කීවෙන් මම ඔහු සමග ගෙදර ආවෙමි. ඔහුගේ පියා ඇලුමිනියම් වැඩපලක හිමිකරුවෙක් වූ යමක් කමක් තිබූ කෙනෙක් විය. ගෙදර තත්වය දැනදැනත් මා ඔහු එක්කාගෙන ඒම ගැන මට එදා හැගීමක් තිබ්බේ නැත. කෙසේ හෝ අම්මා අපට දවල්ට කන්නට බත් බෙදාදුන්නාය. පිගානට බෙදූ බත්වේලේ පරිප්පු හා පොල් සම්බෝලයක් අතරට බිත්තර බාගයක් තබා තිබුනේ ය. මගේ යාලුවා රසයි රසයි කියමින් බුදිනා අතරේ මගේ පිගානේ බිත්තර බාගේ ඉවර වෙන්නේ නැත. ඒ බිත්තර බාගයක් නිසා නොව තනි බිත්තර ගෙඩියක්ම මගේ පිගානට බෙදා තිබුණු නිසාවෙනි. මම බිත්තරය දැක කුස්සියට ගොස් අම්මාට අවනඩුව කීවෙමි. එදා අම්මා 'ඒ ළමයි හොදට කනවනේ ලමයෝ ඔයා ඕක කන්න ' කීවාය. අනෙක් බාගේ අක්කාගේ පිගානේ විය. ඒ අපේ අම්මාගේ හැටිය. එදා මට ලැජ්ජා හිතුනත් අද මගේ ආඩම්බර මතක අතරේ එකක් බවට ඒ සිදුවීම පත්ව තිබේ.

එදා කේක් ගෙඩිය කපා සියල්ලන්ටම කැවූ අම්මා තාත්තාට කවන්නට බෑ කියමින් ලැජ්ජාවෙන් සිනාසුනාය. ලොකු අම්මා මැදට පැන අම්මාට බල කලෙන් ඈ තාත්තාට කැව්වාය. ලොකු අම්මාගේ දියණියගේ දරුවෝද අපේ දරුවෝද මේ සුන්දර අත්දැකිම බඩවල් අල්ලාගෙන හිනාවෙමින් සතුටින් ඉන්නා දසුන් පවා අම්මා සතුටු කරන්නට ඇත.

මේ සොදුරු දසුන් මා මියෙන තුරුම හදවතේ කොනක තැන්පත් වනු ඇතැයි මම දනිමි.

ලොකු අම්මා ඇගේ උපන්දිනයට තෑග්ගක් ගෙනවිත් තිබුනාය. අපි පවුලේ බොහොමයක් දෙනා වාගේ එදා ඡායාරූපයක් ගත්තෙමු. ඉන් පස්සේ ඈ අම්මා සිඹ  ඒ තෑග්ග දුන්නාය. අම්මා කදුළු පෙරමින් මොනවාදෝ කීවේය. ඒ තෑග්ග කුමක්දැයි අපට තිබූ කුතුහලය අම්මා බින්දාය. ඒ තුනට හතරට නැමූ රුපියල් සියයකි.

සැබෑම ආදරයට වටිනාකම දෙන්නට කිසිවකට බැරිය. ලොකු කේක්, ලොකු කෑම වේලක්, ලොකු උපන්දින තෑග්ගක්, උපන්දින කාඩ්පතක් ....මේ  සියල්ල පරයා ආදරයෙන්... අමතක නොකොට... එක වචනයක් කියන්නට හැකිනම් මුලු ලෝකයම පරයා ඒ ආදරය දැනෙනු ඇත. ලොකු අම්මාගේ රුපියල් සියය ඒ ආදරය දැනෙන මොහොතකි.

අපෙ අම්මා ඇඩුවේ ඇයිදැයි මට තේරුම් ගත හැක. එතැන නොසිටි අය්යලා තුන්දෙනාටද අක්කලා දෙන්නාටද තේරුම් ගත හැකිය යයි මට සිතේ.

matahithenahatiblogger.blogspot.com