Saturday, December 24, 2016

දොස්තරවරු සහ දොස්තර මහත්තුරු...


මහරගම දැන් කැල්බෝ බේකරිය ඇති තැන 'සිල්වා මහත්තයා' මහත්තයෙකි. අපේ සියලුම රෝග කාරක වලට බෙහෙත් ගන්නට අම්මා අපව එක්කාගෙන ගියේ සිල්වා දොස්තර මහත්තයා කියා නොව සිල්වා මහත්තයා කියා කතා කල ඩොක්ටර් සිල්වා ලගටය. ඒ දොස්තර මහත්තයා වටකරගෙන ඇති නිල් රතු කොළ පාට ලොකු බෙහෙත් බෝතල්වල ඇති බෙහෙත් ඇත්තටම රසය. අප ගැන දැනගෙනද කොහෙදෝ සිල්වා මහත්තයා මූණ බලා හිනාවී අර ලොකු බෝතලයෙන් බෙහෙත් අපි ගෙනා කුප්පිවලට වක්කර දුන්නේය. ඒ බෙහෙත් සාප්පුව වටේටම විසිතුරු මාලු ඇතිකරන ටැංකි තිබ්බේය. මේ ටැංකිවල පාවී පාවී උන් ගෝල්ඩ්ෆිෂ් මාලුවන්ඟේ බඩවල්  ලොකුය. ඒ බඩවල් ලොකුවෙන්නේ ලෙඩ වී කී නිසා  මා බෙහෙත් අරන් එන ගමන් අර නිල්පාට බෙහෙතෙන් ටිකක් අර ටැංකියට දැම්මෙමි. මාලුවාගේ ලෙඩේ හොද වන්නට ඇත. ..මේ පාට පාට බෙහෙත් වලට අමතරව සිල්වා මහත්තයා  සුදු පාට  කඩදාසි කැබැල්ලක ලොකු අකුරෙන් ලියා පෙති දෙකකට වඩා නොදුන්නේය. බෙහෙත් වලට වත් හිලව් වන්නේ නැති සල්ලි ගත්තේද මූණ බලාය. මට නං මතක ඇති දවසක අපෙන් සල්ලි ගත්තේ නැත. ' අඩුවක් නැත්නං විතරක් ආපහු එන්න‍ය ' කියා අර පුරුදු හිනාවෙන්ම 'ටිං..'  ගා අර  සීනුවට ගැහුවේය.

  ඒ දොස්තර මහත්තයෙකි.

නිමල් ගුණසෙකර වගේ රැවුලත් මූණත් තිබුණු මට නම මතක නැති තුවාල වලට බෙහෙත් දැමූ තව කෙනෙකු ආනන්ද අය්යලාගේ ගෙවල් පහුකරගෙන දෙල්කද පැත්තට යන විට හමුවන කඩ පේලියේ උන්නේය. මේ මනුස්සයාද අනේක විධ තුවාල වූ අපේ දද, කුෂ්ට, වන, හොරි වලට මෙන්ම කැපුම්, වැටීම් වලටද බෙහෙත් දැම්මේය. (ලොකු අය්යා මේ කෙනාව දන්නවා නිසැකය.) අම්මා මා එක්කාගෙන යන හැම දාම  ' මෙයාගේ කකුල් බැදලා තිබ්බොත් නන් තුවාල හොදවෙයි, නැත්නං අර සියඹලා ගහ කපන්නට වෙයි'  කියා අර ඉරිදාපොළේ මායිමක තිබූ ලොකු සියඹලා ගහ පෙන්නා කීවේය. මා සියඹලා ගහේ අතුවල වාඩිවී 'සීනී සියඹලා' කනු ඔහු දකිනවා වන්නට ඇත. මට මේ මනුස්සයා මතක තව කාරණයක් වෙයි. ඒ කොල්වින් ආර් ද සිල්වා නැමැති ඒ දවස්වල '' කාර් එකක යන කන්නාඩි දාන ලොක්කෙකු ''බවට පමණක් දන්නා කොණ්ඩය අවුල් කළුම කළු කෙනෙකුගේ වාහනය බ්‍රේක් නැතිව මාර ගහේ හැප්පුනදා 'සර් කොහෙවත් තුවාල ඇද්දැයිද මා ලග බෙහෙත් තියනවා..'  අහපු කෙනා නිසාය. වාහන හැපෙන එක ඒ දවස්වල  ලොකු සිදුවීමක් විය.  ඒ අස්සේ මේ කන්නාඩි  මහත්තයාගෙ වාහනය හැපීම ලොකුම ලොකු සිදුවීමක් වුනේය. (දැන් මට ඒ සිදුවීම නැවැත වෙන්නේ නම් කියා හිතේ.)  ඒත් එ දවස මට අර බිදුණු වීදුරුවේ කුඩා වීදුරු කැට අර මහත්ත‍යාගේ සිදුවීමට වඩා වටිනාකමක් ගෙනවිත් දුන්නේය. බෙහෙත් දාපු නිමල් ගුණසේකර වෙඩිතබා මරා දැමුණු බවට මට මතකයක් තිබේ. එහෙම වුනා නම් ඒ වෙඩි තිබ්බේ  තව මනුස්සයෙකු වන්නට බැරිය.

ඒ දොස්තර නොවුනු දොස්තර - අහින්සකයෙකි.

ඊලග දොස්තර මහත්තයා විශේෂයෙන් කන සම්බන්ධ අයෙකු විය. ඔහුව මුණ ගැහෙන්නට දෙල්කද හන්දිය පහුකරගෙන වික්‍රමාරච්චි කන්නාඩි සාප්පුවත් පහුකරගෙන යන්නට ඕනෑය.  කනේ කලාදුරු පිරීම එදවස සාමාන්‍ය දෙයකි. එහෙම වී කන රිදෙන්නට ගැනීම, කන වටේ රතුවීම,  උණ වගේ හැදීම නිසා මේ දොස්තර මහත්තයා ලගට යාමත් සාමාන්‍ය දෙයකි එහෙත් අර කලාදුරු සුද්ද කරන්නට බැරිවුනු දාට මොකක්දෝ බටයකින් කනහරහා වතුර යැවීම මගින් කරන ප්‍රතිකාරය අසාමාන්‍ය එකකි. ඒ ප්‍රතිකාරයෙන් පසුව ටික දවසක් යනකන් ඉදිකටුවක් වැටුනත් ඇහෙන තරමට කන සුද්ද වන්නේය. එහෙම දේවල් හොදද කියා මා දන්නේ නැත. දැනගත්තද කරන්නට දෙයක් තිබුනේ නැත.


එහෙත් කල්පෙකට අර කනේ ලෙඩේ එන්නේ නැත.

ඒත්
එදා අම්මා කළුබෝවිල සිට  පැමිණ මා සමග නැවැතුනු තැන සොයිසා නර්සින් හෝම් එක 'අපේය'. ඒ ලොකු තට්ටු දෙකේ ගෙදර පවත්වාගෙන ගිය පෞද්ගලික රෝහල අපේ තාත්තාගේය. නැත්නම් තාත්තා වැඩට නොගිහින් මේ ඉස්පිරිතාලේ සති ගනන් නවතින්නේ කොහොමද.. ලොකු බන්දේසියක කෑම පමනක් නොව අතුරුපසද, දොඩං වීදුරුවක්ද එන්නේ කොහොමද. ..තාත්තා ලෙඩෙක් නන් එයාට ඕන ඕන වෙලාවට එළියට ගිහින් එන්නේ කොහොමද ...එහෙම ගිහින් ඇවිත් කන්නෙත් නැතිව නිදාගන්නේ ලෙඩ වී ඇවිත්ද...මේ මා මෙහි පැමිණි පලමු වතාව නොවේ.  මේ සා විසල් සිතිවිලි අතරේ මම අම්මා සමග ඒ ඉස්පිරිතාලෙට පල්ලම බැස්සෙමු.
කළුබොවිල මිසීලා ඝන සැරේට වැඩය. නිදහසක් නැතිව වැඩය. මෙතැන එහෙම හදිසියක් නැත. කළුබොවිල මල් පෝච්චි..තිර රෙදි..ලස්සන බබාලාගේ පින්තූර නැත. මෙහෙ ඒ ඔක්කොම තිබේ. අම්මා මේ ඉස්පිරිතාලේ 'අපේ නිසා' කෙලින්ම ගොස් පඩිපෙල නැග්ගාය. පඩිපෙලින් වමට හැරී නොම්මරයක් ගසා තිබුණු දොරක් ඇරියාය. ඒ කාමරේ දිව්‍යලෝකයකි. සිවිලිමේ ෆෑන් ඒකක් කැරකෙන්නේය. ඇද පිරෙන්නට සුදු ඇදරෙදි පිරවී ඇත. කොට්ටා අපේ වගේ ගල්වී දාර අයින්වල මකුනන් රජවී නැත. ඒ දිව්‍යලෝකයටම අල්ලා කක්කුස්සියක් ඇත. මූණ හෝදන තැන 'මං සයිස් ' කන්නාඩියකි. නාන තැන මල් මල් ඉටි රෙද්දක් එල්ලා ඇත්තේය. ඒ කක්කුස්සියේ මා ගමෙන් ආ පසු  ප්‍රථම වරට හෙලුවෙන් නෑවෙමි. එහෙත් සබන් කැටේ නම් හූණු බිජ්ජක්වත් තරම්  නැත. නා ගත් සැනින් ඉස්කෝලේ ඇදන් ගිය ඇදුන් ගලවා අම්මා ගෙනා ඇදුම් ඇදගත් කෂණයෙන් මට බඩගිණි හැදිණි.   ඇද ලගම කුඩා මේසය උඩ මා අර කලින් කී විසාල කෑම බන්දේසිය දැල් කූඩයකින් වසා ඇත්තේය. තාත්තා ඇද උඩට වී පත්තරේ බලන්නේය. අම්මා තාත්තාට මට වෙච්ච දේ විස්තර කරන්නීය.. ඒ අතරේම අර බන්දෙසිය වසා තිබුණු කූඩය ඇර,  අර වෙන වෙනම තිබුණු හොදි කලවම් කොට  අනා 'පතරංග මාලු කෑල්ල ' කඩා අනමින් මට කැව්වාය.

මගේ බඩක හැටි. ...

එවර නම් අම්මාද කෑවාය. තාත්තා නිසොල්මනේ පත්තරේ කියවන්නේය. අතරින් පතර අම්මාගෙන් මොනවාදෝ ඇසුවාය. අන්තිමේ 'හෙට වැඩට යනවාදැයි' අසන විට තාත්තාට කේන්ති ගියේය. ' උන් මාව වට්ටන්න හදන්නේ..රස්සාවට ගහලා...මම බලා ගන්නං .මං ඉන්නේ ලෙඩ නිවාඩු පිට..උන්ට ඕනනං මෙතෙන්ට එයිනේ...' කියා අම්මාට සත්තමක් දැම්මේය. අම්මා ඕන එකක් රස්සාව බේරගන්න..' යැයි කියා නැගිට්ටේ යන්නටය.
මේ තාත්තාගේ රැකියා ස්ථානයේ සේවකයන් සදහා ලියාපදිංචි වී ඇති රෝහලකි. තාත්තාගේ ආයතනයේ සේවකයෝ මෙහි පැමිණ ලෙඩ සුවකරගෙන බිල 'එහෙට ' යවති. ඒ නිසා මුදල් ගණුදෙනුවක් නැත. එහෙත් මේ  සොයිසා දොස්තර කෙනෙක් නොව 'ඩොක්ටර් 'කෙනෙකි. හරිම සැහැල්ලු මනුස්සයෙකි. නෙරා ආ බඩ උඩට ටයි පටිය ඇන්දෙය. කන්නාඩි දැම්මේය. අපට විහිළු කලේය.  විටමින් ජාති, පෝෂණ අතිරේක නිකන් දුන්නේය. (මට හොදටම මතක මගේ බඩේ ලෙඩකට 'ෆයිබොජෙල්' දුන්නේය.).  තාත්තාට සැර වැර කලේය. හැබැයි ඉන්ග්‍රීසියෙන් නිසා මට තේරුනේ නැත. එහෙමත් කර තාත්තාගේ ඇදේ වාඩිවී බර බර දේවල් කතා කලේය. සුලු සුලු ගණුදෙනුද කලේය.

ඒ දොස්තර තාත්තාගෙ යාලුවෙක් විය.

අපි දෙන්නා 'එහෙනන් අපි යනවා 'කියා පිටත් වුනෙමු.

ප.ලි.
 මා අසනීප වී ඉස්පිරිතාලේ ඉන්නා දවසට  මගේ බිරිද පැමිණ මා අතගා..නලල සිඹ යන්නීය. එහෙත් අපෙ අම්මාට, තාත්තාට එහෙම තිබුනාද කියා මට මතක නැත. එහෙම නැත්නම් ඒ කාලේ එහෙම පෙන්නුවේ නැත. ඒ අය ඒ ගැන තැකීමක් කලේද නැත. තාත්තා සාමාන්‍ය ගානට දා ගත් විට අම්මාගේ නම ඈදා සින්දුවක් කියයි. අම්මා හිනාවෙයි. වැඩි දවසට 'අය්යා මල්ලී වාගේ..' සින්දුව කියයි. ඔවුනට අප නිසා සිය පෞද්ගලික ජීවිතය අහිමි වන්නට ඇත. මට දැනුත් මතක් වන්නේ අප නිදාගත් හැටිය, සාලයේ මෙහා කොනේම දෙවැනි අය්යාය,ඊලගට තුන්වෙනි අය්යාය, ඊලගට මමය. මට එහා පැත්තේ අම්මාය, අම්මාට එහා පැත්තේ ලොකු අක්කා..දෙවැනි අක්කා.තුන්වැනි අක්කා එක පෙළටය. අක්කාද මාද අම්මා අතනොහැර වෙලාගෙන නිදාගත්තෙමු. තාත්තා ඒ පෙල හරහට මේසය යටය. මට දැන් ඒ ජීවිත වල අප නිසා වියෝවුණු බැදීම් ගැන දුකක් තිබේ. අප ඒවා කවමදාවත්ම තේරුම් ගත්තේ නැත. එහෙත් එ බැදීම නැතිවූ විට පවා වෙනස් නොවී  අන් බැදීම් උත්සන්න වී අම්මා අපට මෙන්ම තාත්තාටද හැගීමෙන්  ආදරය කලාය.

ඒ අපේ අම්මාය.