Thursday, December 15, 2016

වයිස් ප්‍රින්සිබල් අයියා....


ඉරිදාපොළ ඉදිරිපිටින් පටන්ගෙන දෙල්කද පාලමත් පහුකරගෙන යන මට අද අමුතුම හැගීමකි. නුගේගොඩ පිරිමි පාසලට යන දෙවැනි දිනය මෙන්ම තනියෙන් යන පළමු දිනය අද නිසා මේ හැගීම අමුතුම එකකි. ජයසින්හෙන් මා සමග එහි යන්නට කිසිවෙකු නැත. අනෙක වෙනදා මෙන් නොව මට අලුත් කලිසමක් කමිසයක් හා සපත්තු දෙකක් ලැබී තිබේ. පොත් බෑගයක් හා ඒ ඇතුලේ පොත් දුසිමක් පමණ අලුත්ම අලුත්ය. ඒ ඔක්කොටම වඩා ප්ලාස්ටික් පෙට්ටියක බහා සීනී සම්බෝල මැදි කල පාන් කාලක් මගේ බෑග් එකේ තිබේ. ඒ දුටු අක්කා ' බලං ඉන්නවා හෙට හම්බවෙයි ඉටිගෙඩියක්...අද විතරයි තමුසෙට ඕක..' කියා සමච්චල් හිනාවක් පෑම මට ඇල්ලුවේම නැත. අක්කා 'ඉන්ටවල් එකට ' කෑම ගෙනියනු මාද දැක නැත. එහෙත් දැන් දකින හීනය හෙට දකින ඇත්තට වඩා හොදය කියා හිතා මා නිහඩ වුනෙමි. මා දැන් අලුත්ම අලුත් කෙනෙකි. එහෙම අලුත් හැගීමක් ඇති විට අලුත් ඇවිදිල්ලක්ද ඕනෑය. මම කොන්ද කෙලින් තබාගෙන වට පිට වැඩිපුර නොබලා ඇවිද්දෙමි. (එදා ඇවිදපු හැටි අද බලන්නට ක්‍රමයක් තිබ්බා නං..) මා දිහා අටේ කණුවේ සිට නුගේගොඩ දක්වාම උදෙන්ම වැඩට යන්නට ඇවිත් ඇති අයද, ඉස්කෝලවලට යන්නට ඇවිත් ඇති අයද බලා ඉන්නවා ඇත. ඔවුන් මදෙස 'ආං අර කොල්ලා අද අලුතෙන්ම ඉස්කෝලෙකට යනවා..' කියා හිනාවකින් සන්ග්‍රහ කරනු ඇත. හැබැයි එහෙම හිතන් හිටියාට එහෙම කිසි දෙයක් උනේ නැත. එකම දේ මම පයින්ම ඉස්කෝලෙටම ගිය එකය.

දෙල්කද සිට නුගෙගොඩට දුර කිලෝමීටර දෙක තුනකට වඩා නැත. මේ දුර යන්නට සීසන් එකක් මට අරන් දී තිබේ. ඊට අමතරව අම්මා මගේ අතට සත පනහක් රුපියලක් දුන්නා මතකය..එහෙත් බස් වලට නැගීමට කාල සටහනක් මා දැන සිටියේ නැත. අක්කා මට කලින් නැගිට 'ස්කූල් බස්' එක අල්ලා ගැනීමට අටේ කණුවට ගියාය. ඇයට සුදුපාට ගවුමට උඩින් කහපාට ටයි ඇදගත් කෙල්ලන් පිරුණ සීටීබී බස් එකක්ම තිබුණ නිසා ප්‍රශනයක් නැත. මටත් ඒකේම යන්නට හිතුනත් 'ඊයා අපේ බස් එකේ කොල්ලො නග්ග ගන්නේ නැතැයි කියා ' ඈ හිනාවී දිව්වාය. මම අම්මා දුන් සල්ලිත් සාක්කුවේ දමාගෙන පයින්ම ගියෙමි. ඒක ලේසි නැත. හතේ කනුව ලන්වන විට දාඩිය බින්දු කන ගාවින් බේරී ඇවිත් බෙල්ල දිගේ කලිසම ඇතුලටම බහී. ඒත් උත්සාහ කලොත් අත නාරින ගතියක් ඇති නිසා ගම්සබා හන්දියෙන් බස් එකක නගින්නට සිතුනත් දිගටම පයින්ම ගියෙමි. ඉස්කෝලේ ලං වෙත්ම කකුල් ගැහෙන්නට පටන් ගනී. මම මේ තරං ලොකු ඉස්කෝලයකට ගිහින් නැත.

ඒ ලොකු ඉස්කෝලවල මොනවා වෙනවාදැයි දැනගන්නට කෙනෙක් හිටියෙත් නැත. ලොකු අම්මාගේ දුවද ගියේ ගෑනු ඉස්කෝලෙකට නිසා පිරිමි ඉස්කෝල ගැන අහගන්නට කෙනෙක් නැත. ලොකු අක්කා දෙවැනි අය්යා මේ වන විට පාසල් හමාර කොට තිබිණ. තුන්වෙනි අය්යා ගියේ මිශ්‍ර පාසලකටය. ලොකු අය්යා ගෙදර සිටියේත් නැත. මේ කාලයේ බොහෝ දේ සිදුවුනේ මම ම තනිවම කල්පනා කොට තීන්දු කොට  හිතා ගත් හැටියටය. එහෙම වෙන එකේ හොදකුත් තිබේ. එවිට නිදහස් තීරණ ගත හැක.

කෙසේ හෝ ඉස්කෝලයට ලං වෙද්දී මට පොඩි නොව ලොකු ගැම්මකුත් ආවේය. ඒ එකෙක් දෙන්නෙක් නොව ලක්සයක් විතර කොල්ලන් මේ ගේට්ටු පළු දෙක මැදින් මහා ඝෝෂාවක් සමග ඉස්කෝලේ ඇතුලට යනු දැකීමෙනි.  සමහරුන් හතරපස් දෙනෙකුගෙන් බැදි කල්ලි ගැසීය. සමහරුන් පොත් බෑග් වලට අමතරව පාට පාටෙන් විසාල කාඩ්බෝඩ් රෝල් බදාගෙනය. මටත් එහෙම ලොකු ලිස්ට් එකක් තිබ්බාට අම්මා කීවේ 'ඔය ලිස්ට් එකේ තියෙන ඔක්කොම අදම ඕනේ වෙන්නේ නෑනේ..අද ගිහින් එනවකො..'කියාය. මම මේ එකී නොකී සිතිවිලි ගෝනියක්ම කරේ තබාගෙන අර කොලු රැලට එකතු වීමී. ගේට්ටුවෙන් ඇතුල් වන කොල්ලන් එකල 'මේන් බිල්ඩිම' මැදින්  ඇති ආරුක්කුවෙන් සද්ද නැතුව යති. ඒක හරි පුදුමයකි. ගේට්ටුව ලගට එන විටත්  මාසයක් කට ඇරගන්නට බැරිව හිටියා සේ කියවන එව්වෝ  ආරුක්කුව 'මීක්' නැතුව පසු කරති. (ඒකට හේතුව ආරුක්කුවට දකුණු පැත්තේ කලු අකුරෙන් 'ද ප්‍රින්සිපල්ස් ඔෆිස්' කියා ලියා ඇති බෝඩ් ලෑල්ල බව මා දැනගත්තේ ගොඩ දවසක් ගිය පසුවය.) ආයෙත් අර තණකොල ගහක් නැති පිට්ටනියට වැද..ධූලි කන්දක් නගමින් අර වැහුණු කටවල් යලි අරිමින් කොට තාප්ප ඇති පන්තිවලට ඇදෙති. ඒත් දවසේ පලමු සීනුව වදින තුරු මේ ඝෝෂාවේ  අඩුවක් නම් නැත.

(පසුකාලීනව රස්සාවල් කරන සමයේ මේ සද්දය ගැන මට මතක් වන තැන් තිබේ. ඒ නුගේගොඩ පුබුදු එකත්, මහරගම නම මතක නැති එකත්, බොරැල්ලේ ඊ ඒ පී එකත්, ඒපෙක්ස් එකත්; හෝමාගම හිල්ටොප් එකත් ගම්පහ මෙමෙන්ටෝ ආදී නොයේකුත් තැන්වල බාර් රෙස්ටුරන්ට්ය . මේවාට ගොඩ වදින විට මේස අරක් ගෙන සිගරට් පත්තු කරගෙන මහ උස් හඩවලින් කතා කරන මිනිසුන්ගේ හඩ, මට ඉස්කෝලේ මතක් වෙයි. එහෙත් බාර්වල මා කැමැතිම දේ මේ කන්දොස්කිරියාව ඉවසාගෙන දෙකක් දා ගත්විට අර සද්ද කිසිත් නොඇසීමට පටන් ගැනීමය. ඒ වෙලාවට මා වටපිට බලමි. අත්පා වීසී කරමින්, වාද විවාද නගමින් කෙරෙන කතා බහ මට ඇහෙන්නේ නැත. අල්ලපු මේසයේ කෙරෙන කතා බහ පවා මට ඇහෙන්නේ නැත.දෙකක් දා ගන්නට පෙර මට නෑහෙන අපේ මේසයේ හඩ නූලට ඇහෙන්නේය. හරිම පුදුම ආශ්වාදයකි. )

අන්තිමේ මා එහෙන් මෙහෙන් තෙරපී මගේ අලුත් පන්තිය සොයාගන්නට බැරිව අතරමං වීමී. මගේ අන්දමන්ද බාවය දැනගෙනදෝ, සුදු දිග කලිසමක් ඇදි කොල්ලෙකු විත්  'කොහෙද යන්නේ...අද නේද ආවේ..' කියා ඇසුවෙන් මම  'ඔව්' කීමී. මොකක්ද පන්තිය කියා ඇසූවත් මට එලොව මෙළොව අවුල් වාගේ නිසා 'යං..' කියා මාද රැගෙන මේ කොල්ලා ඉස්සර විය. මා ඔහු පස්සේ වැටුණෙමි. මේ කොල්ලා කලිසම කමිසය ඉතා පිළිවෙලට මැද, සුදු බදපටියක්ද පැලැද,  සුදු සපත්තු දෙකක්ද දා මා ඉදිරියෙනි.  සපත්තු දෙක දුටු හැටියේ කලු හැරෙන්නට මේ ඉස්කෝලේ දුටු පළමු සුදු සපත්තුව ගැන කුකුසක් ඇති වුනත් මම ඔහු පස්සේ වැටුනෙමි. ඒ යන ගමන් මගෙන් ප්‍රශ්න පත්තරේකට සරිලන්නට ප්‍රශ්න ඇසුවේය. අන්තිමේ එහෙම  මොකක්දෝ දෙයක් මගෙන් ඇසූ විට මේ කරදර කාරයාගෙන් බේරෙන්නට 'අය්යා යන්ඩ මං පන්තිය හොයගන්නං' යයි බයාදු ලෙස  කීමී. ඔහු එතැනින් පස්සේ කිසිත් කතා කලෙත් නැත. ගමන නැවැත්තුවේ වත් නැත. ඔහු ගියේ 'හය එෆ් ' කියා ලොකු අකුරෙන් සදහන් කල පුවරුවක් ඇති පන්තිකාමරයකටය. මේ පන්තිකාමරය තට්ටු දෙකේ එකකි. එහි යට තට්ටුවේ හය එෆ් පන්තියට මා ඇතුල් කල සැණින් පන්තිබාර ගුරුතුමිය වන්නට ඕනෑ වන 'මිස්' නැගිට්ටාය. 'සර්...ගුඩ් මෝනිං ..' කීවාය. මම හැරී බැලුවෙමි..ඕනෑම නන් මට වඩා අඩියක් උස ඇති මේ කොල්ලාට සර් කියන්නේ මන්දැයි මා හිතන්නටත් පෙර අර 'මිස්' ළමයි නැගිටලා අයුබෝවන් කියන්න....මේ අපේ ඩිපියුටි ප්‍රින්සිපල් ' කීවාය. මට කොහේදෝ නැති චූ බරක් ආවේය. ළමයින් එකසැරෙන් මහා හය්යෙන් 'ආයුබොවන් සර්'  කියා  නැගිට ඉදගත්තේය. ඒ අස්සේ එක කොල්ලෙකු මා හැදින හිස් ඩෙස් බංකුවක් පෙන්නා අතින් එන්නටැයි කීවේය. ඒ මා එදා   තාත්තාගේ කාර් එකේ එක්කා ආ කොල්ලාය. මම ඒ ඩෙස් බංකුව අයිති කරගත්තෙමි.

මේ සර් බස්නාහිර පලාත් සබාවේ ඇමැතිතුමෙකුගේ සොහොයුරෙකි. ඒ සර් ඉතා කුඩා සරීරයක් තිබීම නිසා අපේ විහිළුවට ලක්වුනද, සර් අපව කිසිදා විහිලුවට ගත්තේ නැත. සර් මා ඉස්කෝලෙන් අයින් වනතුරු තම  කාලය කැපකොට මේ  අමාරුකාර කොල්ලන් දමනය කර හරි මගට යවන 'මනුස්ස  ගුරුවරු' අතරේ උන්නේය. ඉන්පස්සෙත් එහෙම ඉන්නට ඇත.