Tuesday, December 6, 2016

කෙල්ලො නෑනේ ....


පහේ ශිෂ්‍යත්වය සදහා ජයසින්හයේ ලොකු බලාපොරොත්තු තිබුනේ නැත. අක්කා ශිෂ්‍යත්වයට පෙනී සිටි අවුරුද්දේ නම් ඒ ගැන ලොකුවට කතා වුනාට මගේ අවුරුද්දේ ඒ ගැන කිසි 'ගෝ' එකක් තිබුනේ නැත. එකෙන්ම අපේ කෙරුවාව ගැන ගුරුවරුන්ට තිබුන දැනුම මැනගන්නට හැක. එහෙත් අපට තිබුනේ පහේ පන්තිය දක්වා පමණි. ඉන්පස්සේ වෙනත් පාසල් සොයා යාමට දෙමාපියන්ට සිදුවිය. එහෙත් අම්මා සිතා සිටියේ මා ශිෂ්‍යත්වය සමත් වනු ඇති කියාය. ' එයා හිමිජ්ජා වගේ හිටියට ඕක කරගනී..' අම්මා කිහිපදෙනෙකුටම කියනු මා දනිමි. අන්තිමේ අකලට ඉස්කෝලේ ගොස් පොතක් පාඩං නොකර කිසි පිළිවෙලක් නැතිව සිටීමේ ප්‍රතිඵලය ලැබිණ. මට ලකුණු සීයයකට අඩු ගානක් ලැබී පහේ වැඩිම ලකුණු ලාභියා වී ජයසින්හෙ උදා රැස්වීමටවත් 'චාන්ස්' එකක් නොලැබී 'විසික්' විනි. අද මට ඒ උත්සාහය නොගැනීම ගැන ඉතා දුකය. හේතුව මගේ නොසැලකිළිමත්කම නිසා අම්මාට වූ ලැජ්ජාව මිස වෙන කිසිත් නොවේ. අනෙක එදා මට ඉගෙන ගෙන තැනකට ඒමේ හැගීමක් තිබ්බේ නැත. මට නමට ඉදිරියෙන් ආචාර්ය කියා තිබුනාට, ඒක උප්පත්තියෙන් ලැබුනු දායාදයක් නිසා තව එකක් දා ගනිමි කියා ආසාවක් තිබුනාට, ඒකට අධ්‍යාපනික පසුබිමක් ඕනෑ බව මට තේරුනේ නැත. මා ගමේදී බලාගෙන සිටියේ සිල්ලර කඩයක අයිතිකාරයෙක් වෙන්නටය. දෙල්කදදී බලන් හිටියේ හයිලෙවල් පාර අයිනේ නවත්වන ලද ලොකු කාර් එකක ළමයින් නැති මහත්තයා හා කරුණාවන්ත නෝනා කෙනෙකු මා හදාගන්නට අම්මාගෙන් ඉල්ලාගන්න තුරුය. එහෙත් ඒ එකක්වත් නොවීය.

අම්මා ලෙහෙසියෙන් පසුබසින්නෙ නැති කෙනෙකි. අම්මා නුගේගොඩ පිරිමි ඉස්කෝලෙට අයදුම්පත් යැව්වාය. අද අම්මා දිහා බලන් ඉන්නා විට මට , මගේ අම්මා මේ තරම් දේවල් කලා නේදැයි සිතෙන්නේ දුක මිශ්‍ර ආඩම්බරයෙනි. එදා දහසක් වැඩ මධ්‍යයේ මා ලගපාත ඉස්කෝලෙකට නොදා අම්මා නුගේගොඩ ඉස්කෝලෙටම මා ඇතුල් කරන්නට ගත් උත්සාහය ඈ නුගේගොඩ අනුලාවේ ඉගෙනගත් එක ගැන ඇයට තිබූ අභිමානය වන්නට ඇත. ඈ හැමදාම ඒ ගැන සතුටු සිතින් කීවාය. අක්කාව ශිෂ්‍යත්වයෙන් අනුලාවට ගිය එක ඇගේ සතුට තවත් වැඩිකල බව මම දනිමි. අන්තිමේ අයදුම්පත් ලැබී මටද ඇතුලත් කරගැනීමේ විභාගය සදහා ලියුමක් ලැබිණි. අම්මා මේ ලියුම මට දී ' අතපයක් කඩා ගන්නේ නැතුව එදාට ලැහැස්ති වෙන්නයි' කීවාය. මම පුදුම වීමී. මට ඈ පාඩම් කරන්නවත්, අක්කාගෙන් අහගන්නටවත් කීවේ නැත. මම ඒ දවස් කිහිපය පොත්පත් දෙක තුනක් පෙරළා පාඩම් කලෙමි.

විභාගයට අම්මා මා කැටුව නුගේගොඩ ගියාය. අපි අටේ කනුවෙන් බස් එකට නැග ටිකට් එකහාමාරක් ගෙන බෝගහ ලගින් බැසගත්තෙමු. ඉස්කෝලෙට ඇතුල්වන්නට ගේට්ටුව ලග හිටගත් මගේ ඇස් හතරවටේ දුවන්නට විය. මගෙ ජීවිතයේ දැක ඇති ලොකුම ඉස්කෝලය මේකය. ඇතුල්වන්නට තිබුණු ගොඩනැගිල්ලේ ආරුක්කුව මගේ හිස උඩින් කොහොම රදවා ඇත්දැයි මම කල්පනා කලෙමි. ඊටත් එහා මහා විසාල පිට්ටනියකි. එහෙම ලොකු පිට්ටනියක් මා දැක තිබ්බේ නැත. පායන කාලෙට කට්ටෙට වේලෙන  ගමේ වෙල් යායේ දුව පැන ඇති මට මේ ගොඩනැගිළි වටකරගෙන හරි මැද පිහිටා තිබූ පිට්ටනිය මහා අමුතු එකක් වූයේය. අනෙක පන්තිකාමර වල පිරී ඇති කිරි සුදු කමිස හැදි කොල්ලන්ගේ මහා ගෝසාවද මට අමුතුය. අප එහි ඇතුල්වූ සැනින්ඉතා ලස්සන ඝාංටාරයක් වැයුණි. ජයසින්හේ උදලු තලේ ටාං ..ටාං ගෑවාට, මෙහි මහා  ගාම්භීර හඩ මගේ ඇස් නොව කන් පවා තවත් ලොකු කලේය.ඊටත් වඩා ඒ සැනින් අර ගෝසාව නැත්තටම නැතිවී ගියේය. මීක් කියා සද්දයක් නැති පන්ති කාමර අස්සෙන් ගොස් අපි විභාග ශාලාවට ආවෙමු. ඒ එන අතරේ 'අම්මේ මේ ඉස්කෝලෙට මට එන්නම ඕනෑ ' යයි තටම තටම කීවෙමි. අම්මා සිනා සී 'බලමු' කීවාය. මා විභාගෙට වාඩි කරවා රුපියල් දෙකක් අතට දී  ඔයාට තනියම  එන්නට පුලුවන් නේදැයි'  ඇසුවාය. මම හැගීමක් නැතිවම හා කීමී. ඒ තරමට මගේ ඔලුව ඉස්කෝලේ බිල්ඩිං වටේ බැදී තිබුනේය. විභාගය ලියන ගමනුත් මා කල්පනා කලේ ඒ ගැනය. මේ තරං ලොකු එක බිල්ඩිමක් ජයසින්හේ තිබ්බානං අපිට ගස් යට පන්ති තියන්නේ නැතිව කාමර වල ඉගෙනගන්නට තිබ්බා නේදැයි- ද, තට්ටු පඩිපෙලවල් වලින් ලමයින් වැටෙන්නේ නැතුව නගින්නේ කොහොමදැයි- ද, 'කැන්ටිම' කියා තිබුණු තැන පාන් කාලවල්, මාලු පාන්, බනිස්, ගල් බනිස් තොග පිටින් ගොඩ ගසා තිබෙන්නේ ඇයිදැයි- ද,  මම කල්පනා කලත් විසදුමක් ලැබුනේ නැත.

අන්තිමේ විභාගය ලියා ඉවර වන විටම වාගේ අර ඝාංටාරේ වැදුණේය. අර කළින් කී ඝෝසාව තවත් වැඩි වී සාගරයක් වාගේ කොල්ලන් කූඹි ගුල් වලින් පිටවන්නා සේ අමුතුම කළබලයකින් දුවන්නට පටන් ගත්තේය. පුදුමය උන් බාගයක්ම දිව්වේ අර කැන්ටිම කී තැනටය. මට යන්තම් හිතට පොඩි සහනයක් ලැබිණි. මේ ඉස්කෝලේ ඉන්නා බාගයක් එවුන්ට මට වාගේම මජරි බඩගින්නක් ඇත. මම සතුටෙන් ගෙදර එන්නට පිටත් වුනෙමි. ඉස්කෝලය ලගම හෝල්ට් එකෙන් බස් එකට නැග ඩ්‍රයිවර් ආසනය ලගට වී බෙල්ල දික්කොට ගෙන ඉරිදාපොල හෝල්ට් එක කොතැනදැයි බල බලා ආවෙමි. කොන්දොස්තර පැමිණ 'ටිකට්' කී විට 'ගත්තා' කීමී. දැන් මතක් වෙන විටත් බය ලැජ්ජාව ඇතිවෙයි. එහෙත් එදා රුපියල් දෙක ඊට වඩා වටින්නේය. අන්තිමේ ගෙදර ගොස් අම්මාට විස්තරය කියා හනික ඉරිදාපොළේ සෙල්ලමට එක්වීමී. එහිදී මට නිමල් හමුවිය. අර රුපියල් දෙකෙන් ඇඩ්ඩිං කඩෙන් මොනවා හෝ ගත්තා මතකය. ඒ කන ගමන් මට නිමල්ට කියන්න තිබුනේ එක විස්තරයකි..
 ' එහෙ කෙල්ලො නෑනේ බං..'
නිමල් අර අලි බඩ අතගගා 'අය්යෝ බං' කී හැටි මට තාම මතකය.

ප.ලි
මෑත දවසක උත්සවයක් සදහා මම වාහනය පදවාගෙන ඉස්කෝලේ ඇතුලටම ගියෙමි. අපට රථ නවත්තන්නට පිට්ටනිය සූදානම් කොට තිබුනේය. එහෙත් ඒ කුඩා පිට්ටනියේ වාහන හසුරවන්නට අමාරුය. එය ඒ තරම් කුඩාය. මට මෙහි ආ පලමු දවස සිහිවිය. අප ලොකු වෙත්ම කුඩා කල, අපට තිබූ ලොකුම ලොකු ලෝකය කුඩා වන්නේ ඇයි...!
මම පිළිතුරු සොයන්නට නොවෙහෙසෙමි.