Sunday, November 27, 2016

පොකුටු හිසට වැටුනු කළු ගල...


අසූ තුනේ ජුලි මාසයේ දවසක ජයසින්හයේ අපව, බිස්කට් බෙදන්නටත් පෙර උදළු සීනුව හඩවා රැස්වීමක් කැදවා ගෙදර යවන ලදි. මා මේ විදුහල්පතිතුමා මතක් කරගැනීමට ලොකු වෙහෙසක් දැරුවද මට තවම ඔහු මතකයට එන්නේ නැත. එහෙත් එකක් මතකය. ඔහු සතිස්චන්ද්‍ර එදිරිසින්හ රඟපෑ 'අධිෂ්ඨානය' චිත්‍රපටයේ හෝ වෙනත් චිත්‍රපටයක ගමේ කඩේ මුදලාලිගේ චරිතය රගපෑ බවය.   ඒ විදුහල්පතිතුමා පහේ පන්තිය තෙක් තිබූ අපේ ඉස්කෝලේ ලොකු වැඩක් කරන්නට හදන විටම ජුලි මාසේ ඔය කී දවස ආ අතර, ඒ රැස්වීමේදී 'මේ ඉස්කෝලේ දෙමල ලමයින් නැති වුනත්, දෙමල ගුරුවරු නැතිවුනත් ඒ සියල්ලන් අපේ සහෝදරයන් සහෝදරියන්, ගුරුවරුන්, දෙමාපියන් බවට අමතක නොකල යුතු බවත් නැවැත පාසල් පටන් ගන්නා දවසට ඒ මිනිසුන් උදෙසා ඔබ විසින් කල සුළු උපකාරයක් පිළිබදව හෝ දැනගන්නට තමන් ආසා බවත් කියා සිටියේය. එදා ඇත්තෙන්ම අපට මේ 'සුළු උපකාරය' පිළිබද හැගීමක් තිබුණේ නැත. අපට ඕනෑ වී තිබුණේ හනික දුවන්නටය. කළබල ඇතිවන්නට පුළුවන් බව කළින්ම අප වැඩිහිටියන්ගේ කතා වලින් දැන සිටියෙමු. මේ වනවිට අක්කා ශිෂ්‍යත්වය සමත්ව නුගේගොඩ බාලිකාවකට යමින් සිටියාය. මම කොල්ලන්ගෙන් මිදී ජයසිනහයේ සිට අතුරු පාර දිගේ වනාත පාරෙන් හයිලෙවල් පාරට දිව්වෙමි.

වනාත පාර වෙනදා වගේම නිසොල්මන්ය. වර්නන් තිලකරත්න මහත්තයාගේ ගෙදර පමණක් වාහන දෙක තුනක් නවතා ඇත්තේය.එතැනින් එහාට හයිලෙවල් පාර එකම කලබලයකි. එකල අද තරම් වාහන තිබුනේ නැත. ලොකු සීටීබී බස් වේගයෙන් එහා මෙහා දිව්වේය.ඒ අතරේ හමුදා වාහන වෙනදාට වඩා පාරේ ගමන් කලේය. ගෙදරින් ලැබුණු අවවාදය වුනේ 'එහේ මෙහේ රස්තියාදුවේ නොගොස් ගෙදර ඉන්නා' ලෙසය. සාමාන්‍ය ලෙස අවවාදය පැත්තක දමා මම හන්දිය පැත්තට දිව්වෙමි. හන්දිය පැත්තට ඇදෙන සෙනග මගේ කුතුහලය අවුස්සන්නේය. සමහරු රංචු ගැසී දත්මිටි කමින් පොලු මුගුරු ඇතිවය. සමහරුන් කෙළිදෙලෙන් හිනාවෙමිනි. මේ අරුම දසුන් මැද්දේ මමද තනිව දෙල්කද පැත්තට ඇදෙන්නට විමි. දෙල්කද රත්තනපිටිය ගම්සබා හන්දිය පැගිරිවත්ත මට ආගන්තුක නැත. මේ පරිසරයේ මා ඕනෑතරම් ඇවිද තිබේ. පටු මාවත් දිගේ තනිව කරක් ගසා තිබේ . එහෙත් අද අමුතුම පරිසරයකි. පාර දිගටම ගෙවල් වල ගෑනු මිනිසුන් රජයේ නිවාඩුවක් ලැබුණා මෙන් පාරවල් අයිනේ හිටගෙනද, ඉස්තෝප්පුවල පුටු තබාගෙනද, වැටවල් අයිනේද කතා බහේය. ඊයේ බොරැල්ල කනත්තේ ඇතිවූ සිද්ධිය ඉන්පස්සේ දෙමටගොඩ මරදාන පැත්තේ ඇතිවූ සිදුවීම් දෙමළ කඩසාප්පු කඩාබිද ගිනි තැබූ හැටි මේ කතාවල ප්‍රධාන මාතෘකාවය. ඒ අස්සේ වෙනදා කවමදාවත් අප දැක නැති පිරිමි කණ්ඩායම් හැදී පොලු මුගුරු රැගෙන දෙල්කද හන්දියේ සිට ඉදිරියට එන්නේය. මේ සරම් කාරයන් කුමක් හෝ සොයන්නේ මෙන් කේන්තියෙන්ද..කුතුහලයෙන්ද ..වාහන නවතා කෑ මොර දෙති.  එකවරම මේ මුළු සෙනගම කෑ ගසාගෙන දෙල්කද උඩහමුල්ල පාරට දිව්වේය. එය මහා කෑ ගැහිල්ලකි. කවුරුන් මොනවා කියන්නේද යන්න මට පැහැදිළි නැත. මම ඒ සෙනග දකින්නට දිවිමි.

 දෙල්කද පොඩි පාලමත් උඩහමුල්ල පාරත් අතරමග එකම හිස් පොදියකි. ඒ අස්සෙන් රින්ගීම මට ඉතා පහසුය. සෙනග අස්සෙන් මිරිකි මිරිකී මම සිදුවීමේ මුලටම ගියෙමි. කලුම කළු කොණ්ඩය බොකුටු මිනිහෙක් තාර පාර මැද අමු නිරුවස්තරව අත්දොහොත් මුදුන් තියා කාටදෝ වදින්නේය. 'කතා කරපිය බල්ලා..පන්සල කියපිය' පරාලයක් බදු ලී මුගුරක් රැගෙන සරමක් හැදි උඩ කය නිරුවත් මිනිහෙක් අර සමාව ඉල්ලා බයාදුවෙන් හඬන මිනිහාගේ කොදු නාරටිය මැද්දට පයින් ගහන්නේය. ඒ අසරණයාගේ කදුළු බේරෙන්නේ නැත. අවුරුදු හතලිහක් පනහක්වත් ඇති මේ මිනිහා දෙමළෙකු බව අදුනාගන්නට මේ මැරයා බොහෝ උත්සාහ ගන්නේය. මේ අහින්සකයා දෙමළෙකු නොව සින්හලයෙකු වුව මේ මැරයාගේ පා පහරවල් නිසා දැනටමත් බාගෙට මැරී හමාරය. එහෙත් එකවරම මගේ හද අදද කකියවන මහා පොලු පහරක් මේ මිනිහාගේ ඔලුව මුදුනටම වැදුණේය. මේ මිනිහා සිංහලෙන් 'අම්මේ..' කීය. ඒ ගමන්ම තවත් කෙනෙකු දෙසට හැරී           ' මහත්තයා මා මතක නැද්දැයි'  ඇසුවේ කාගෙන්දැයි මා දැක්කේ නැත. තමා කුඩා කාලේ සිටම මෙහි ජීවත් වුනා මතක නැද්දැයි මේ දෙමළාය කියන මිනිහා කිහිපදෙනෙකුගෙන්ම ඇසුවා මට මතකය. ඒ අසන අසන වාරයක් පාසා ඒ මින්හාගේ පොකුටු කොණ්ඩය මැදට අර මුගුර පාත්වූයේය. කළුම කළු මුහුණ තෙත් කරමින් රතුම රතු ලේ දහරා පනින්නට විය.  එහෙත් මේ මිනිහා කදුළු වගුරවමින් ඇඩුවා මිස, අම්මේ....  කියා කෑ ගැසුවා මිස කිසිත් කරන්නට ගියේ නැත. වටවී බලාසිටි ගැහැණියක ' දන් ඔය ඇති ඔය මිනිහා දෙමළ වුනත් අහින්සකයා..අපේ පොඩි පොඩි වැඩක් කරලා කුළියක් අරන් ජීවත් වෙච්ච එකා' කියද්දී අර මුගුර ඇති මිනිහා 'පල වේසී අපේ කොල්ලන් අරහේ මැරෙනවා ..තොගේ අනුකම්පාව' කියා එලවා දැමුයේය. මේ ගැහැණිය තරහකින් හෝ අමනාපයකින් තවත් මොනවාදෝ කියන්නට තැත් කරද්දී ඇගේ සැමියා විය හැකි කෙනෙකු ඇය බලෙන් මෙන් ඇදගෙන යද්දී. 'මේවා සහගහන අපරාද..තොපිලට බලන් ඉන්නට ලැජ්ජ නැද්ද යකෝ ..' කියා බැන වැදුනේ මහා හය්යෙනි. ඇගේ බැනුම උදේ හවා පන්සිල් ගන්නා කිහිපදෙනෙක්ගේ මුහුණු අදුරු කල නමුත් තව බොහෝ අය මේ  දෙමලාගේ ජීවත්වීමට අයදින කරුම ආයාචනය 'බලන්නට ' පොදි කෑහ. අන්තිමේ සිහිසුන්ව තාර පාරේ ඇද වැටුනු මේ අහින්සකයා ලගටම ආ ප්‍රේක්ෂකයෝ 'ඉවරයි වගේ..' කීහ. එකෙක් දෙන්නෙක් 'පවු අනේ ' කීහ. එහෙත් මුගුර අත ඇති මැරයා පිළිගන්නට කැමැති වූයේ නැත. මගේ ජීවිතයේ අදත් ඉදහිට මැවෙන අදුරු සිදුවීම එදා මගේ ඇස් පනාපිටම සිදුවින. මැරයා මුගුර අතහැර ලොකු කළු ගලක් උස්සාගෙන විත් මේ සිහිසුන් අහින්සකයාගේ ඔලුවට උඩින් අතහැරියේය. මේ අහින්සකයා කිසිත් නොකියා තම ඉරණම බාරගත්තේය. මම එතැනින් දිව්වෙමි. එකෙකු 'දැන් ඉවරයි' කියනු මට හීනීයට ඇසුණා මතකය.

මම කෙළින්ම දිව්වේ වනාත පාරටය. කවදාවත් කතා නොකල, කවදාවත් මා නොදන්නා, එහෙත් අඹ පේර ගස්වලට අපට නගින්නට ඉඩදී, බල්ලන් කූඩු කල දෙමළාට අත්ව ඇති ඉරණම කුමක් වීදැයි හොයන්නට මම වර්නන් තිලකරත්න මහත්තයාගේ ගෙදර දෙසට දිව්වෙමි. ඒ ගෙදර ලොකු කළබලයකි. වාහන හතර පහක් නවතා ඇත්තේය. ගේට්ටුව මුරට හමුදාවේ දෙදෙනෙකු තුවක්කු මානාගෙනය. ගේට්ටුව මෙපිට අප දන්නා හදුනන අයය.  'එකෙක් හරි ආවොත් වෙඩි තියන්න ඕර්ඩර්ස් දීලා තියෙන්නෙ. ඈතට වෙලා ඉන්න' හමුදා සෙබළා කීවේ අප හැමෝටම ඇහෙන්න‍ය. 'මෙහෙට දෙමළ පවුලක් එක්ක ඇවිත් එගොල්ලන්ගේ ආරක්ෂාවට තමයි මේ ආමි එකෙන් ඇවිත් ඉන්නේ. කොල්ලො දුවපන් ගෙදර..නැත්තං උඹටත් වෙඩි තියයි' කීවේ අපේ අසල්වැසියෙකි. ඒ දුවන අතරේ  මට අර මුගුර අත ගත් මැරයා මේ දොරකඩම  එක්කාගෙන එන්නට සිතිවිල්ලක් පහල විනි. , මගේ අවාසනාවට මට ජීවිතයේ කවදා හෝ සතුටු විය හැකි සිතිවිල්ල ක්‍රියාත්මක උනේ නැත.