Thursday, November 24, 2016

මනුස්සකම සහ ආනන්දසිරිය 02 (දොර පලුව )

එදා රෑ මහා වැස්සක් වැස්සාද, ග්‍රීස්මේ හැදි ඉහ මුණින් දහදිය දමන්නට පෑයුවාදැයි, මා නොදනිමි. ඉරිදාපොළ ඉස්සරහාම ගෙදරත්, ඊට ගෙවල් හතරකට මෙහායින් අඹ ගහ තිබූ වලේ ගෙදරත් අය, කෑවා බිව්වාදැයි මා නොදනිමි. මේ ගෙවල් දෙක ඇරෙන්නට ඉන් අවට ගෙවල් හත අටක මෙපමණ පාන්දරින් වුව එක ලාම්පුවක්වත් පත්තු නොවන්නේ, එක බල්බයකවත් එළියක් නැත්තේ ඇයිදැයි මා නොදනිමි. වෙනදාට ඇහෙන කනට හුරු කුණුහරුපයක්වත් පමණක්ම නොව, කලාමැදිරියෙකුගේ කරච්චලයක්වත් ඇහෙන්නේ නැත්තේ ඇයිදැයි මා නොදනිමි.සමහරදාට ඩග්ලස් අය්යා උදේ පාන්දර නොවරදවා කාක්කන්ට කන්නට පරණ පාන් බාග විසිකරන්නේ මේ වෙලාවටය. ලී මඩුවේ යකඩ මැෂින් උඩ හදුන්කූරු පත්තු වී සිගරට් දුමක් මෙන් අපේ ජනෙල අස්සෙන් විත් හමා යන්නේද මේ වෙලාවටය. මේ මොකවත්ම නැතත් පාන්දර වැඩට යන කෙනෙක් සිය කර්තව්‍ය නිමවා වතුර බාල්දියක් හිස් කල සැනින් උඩ නගින, පිරී උතුරන කක්කුස්සි වලේ ගද නහැ පුඩු විනිවිද යන්නේද මේ වෙලාවටමය. ඒ මොකක්වත් අද නැත.

අපේ ගේ මූසලය. අම්මා, තාත්තා, ආච්චී තුන්දෙනාම ගෙයි නැත. දෙවැනි අය්යා තුන්වැනි අය්යා මේසය යට කුසු කුසුවකි. අක්කාද ඇහැරලාය ..කවදාවත්ම නැතුව මාද කූද්දා තිබේ. මම ඈණුමක් ඇරියේ මා මෙහි ඉන්නවා කීමට නොවේ. එහෙත් පටස් ගා කනට පාරක් වැදුනේය. 'කෑ නොගහ ඉන්නවා..ආනන්ද අය්යා අරං ගිහින්..' මම මේ වචන ස්වල්පය තේරුම් ගන්නට උත්සාහ කලෙමි. මීට සතියකට පමණ පෙර ආනන්ද අය්යා තවත් කෙනෙකු සමග ඇවිත් ලොකු කඩදාසි පාර්සලයක් ඉටිකවර වල බහා වල දැම්මේ අපේ ගෙයි පිළිකන්නේය. එවෙලාවේත් ඔහු සිටියේ අර වෙනදා මෙන් ප්‍රසන්න මුහුණෙනි. ඔහුට පඩි ලැබෙන්නට තිබුනේද අද හෙටය. එහෙත් වෙනදා මෙන් ආප්ප කෑමට ලොකු වෙලාවක් වෙන්කිරීමට ආනන්ද අය්යාට ඉඩක් තිබ්බේ නැත. මීට දවස් දෙක තුනකට පෙර උස මහත කිළුටු ඇදුම් ඇදි එහෙත් ලොකු අක්කා විසින් 'මූ නම් හිගන්නෙකු නොවන බව' කිළිටු බිදක් නැති කකුල් දෙකෙන් අදුරාගත් කෙනෙකු අපේ ගෙදර හිගාකන්නට ආවේත් ඇස් දෙකක් නැති එකෙකු ලෙසය. අපේ තත්වය ඒ මිනිහාටත් වඩා අවුලක තිබ්බා ඒ මිනිහා දකින්නට නැත. එක්කෝ ඒ මිනිහා ආවේ හිගන්නටම නොවෙන්නට ඇත. ඊටත් කලින් දවසක කනේ මලක් ගසා ගත් කොට මිනිහෙකු මේ ලෝකෙ නැති නමක් අසාගෙන ඇවිත් ගේ දිහාම බලන් හිටියෙත් අමුතු විදියටය.මේ සියල්ල හා ආනන්ද අය්යා අතර සම්බන්ධය කුමක්ද..? මට තේරුම් ගත නොහැක.

අන්තිමේ වෙනදාට වෙලාවක් කලාවක් නැතිව පාරේ ඇවිදින මට ආනන්ද අය්යලාගේ ගෙදර යාමට හැකිවුනේ ඉරෑළිය වැටී බොහෝ වෙලාවක් ගිය පසුවය. වෙනදාට අක්කා මගේ කරදරයෙන් බේරෙන්නට ම එලවා දැමුවත් අද මගේ අතින් අල්ලාගෙන නිසා මට පැනයන්නටත් බැරිවිය. ම එහි යනවිට ආනන්ද අය්යලාගේ වෙනදා වැහී තිබෙන යකඩ ගේට්ටුව සම්පූර්ණයෙන්ම ඇර තිබ්බේය. ගෙයි දොරපලුද ඇර තිබ්බේය. නැන්දා වටකරගෙන අපේ ගෙදර අයත්, වටපිටාවේ අයත් සනසවති. ඈ සනසන්නට තරම් ලොකු කරදරයක් වී ඇත්ද..වෙනදාට කෙනෙකු මල පසුවත් 'බුදුන් වදාල දේ නේ ලමයෝ...' කියා සැනසෙන නැන්දාව අද වටවී සනසන්නට වී ඇත්තේ ඇයි.. මගේ කුතුහලය නිව්වේ අපේ අක්කාය. 'ඊයේ රෑ දොරට තට්ටු කරල ..ආනන්දසිරි ඉන්නවද අහල ජීප් එකෙන් අරන් ගිහින්..නැන්දයි අය්යයි මිරිහානේ ගිහින් දන් ආවේ..ගෙනාවේ නෑ කියනවලු.. අරන් යන්න ආපු කට්ටියගෙන් කෙනෙක් නැන්දා දැකලා පුරුදු කෙනෙක්ලු..දැන් දන්න හැම තැනටම කිය කියා හොයනවා..'

 (ඉන් එහා කතාව කියන්නට මට උවමනා නැත. ඉන් එහා වූ බොහෝ දේ දශක කිහිපයක් තිස්සේ කියවා අප විද ඇත්තෙමු. එකම දේ අද වනතුරු ආනන්ද අය්යා නැවැත ආ නැති එකය.)

මගේ ජීවිතයේ බොහෝ තැන්හි දරුවන් අතුරුදහන් වූ දරුවන් මැරුනා කියා නොදන්නා දරුවන් අද එතැයි හෙට එතැයි කියා මග බලන අම්මලා හමුවී තිබේ. එහෙත් ඒ මේ සිද්ධියෙන් පසුවය. මේ සිද්ධිය මගේ හිත බොහෝ කලබල කරනා ලද්දේය. ඒ නැන්දාගේ තනි නොතනියට දහවල් වරුවේ මා නවත්වා යන ලදින් මා හා ඒ නැන්දා ඒ ගෙදර සාලයේ තනිවී ඇත්තෙමු. නැන්දාටම උරුම වූ හාන්සි පුටුවේ සිට බාගෙට අරින ලද දොරෙන් දැන් එතැයි දැන් එතැයි කියා, එක ක්ෂණයකින් මග හැරෙන්නට වෙතැයි බයට, ඇස්පිල්ලන් නොගහා බලන නැන්දාගේ ඇස් කෙවනි මත්තෙන් නැගෙන කදුලු නවතන්නට මට කිසිදා නොහැකි විය.  ඒවා කිසිදා සිදී නොගියේය. මට ඒ නැන්දා අදත් මතකයට නැගේ ..අදත් ඇගේ ඇස් අර දොර පලුව මෑත්වන මොහතක් මොහොතක් පාසා විසාල වී ආනන්ද අය්යා මතුවේ යැයි බලාපොරොත්තුවෙන් එකවර දීප්තිමත් වී, නැවැත හැකිලී යන හැටි මට මැවී පෙනේ.

ආනන්ද අය්යා එක්කාගෙන යන්නට ආවේ මහ පාන්දරක 'දන්නා කියන' කෙනෙකි. දෙල්කද හන්දියේ ලොකු බිල්ඩිමක අපිත් දන්නා අක්කා කෙනෙකු හා විවාවී සිටි කෙනෙකු වූ මේ අමුනුස්සයා ඊට පසු කලෙක රත්තනපිටියේදී මහමග මරා දැමුයේ පෞද්ගලික වෛරයකට බව මතකය. ඔහු කෙරූ අපරාදය 'රාජකාරිය' ලෙස හදුන්වා දුන් බව මම දනිමි. එහෙත් ආනන්ද අය්යා වැනි කෙනෙකු පමණක් නොව තව සිය දහස් ගනනක් රාජකාරිය නිසා අතුරුදහන් කිරීමට හිත දීම  ඔවුන්ගේ හිත් ඇතුලේ සිය දහස් වාරයක් පෑරි පෑරී තුවාල වී ඕජස් ගලන්නට ඕනෑය. අඩුම ගනනේ අපේ නැන්දා මෙන් බාගෙට ඇරුණු දොර පලුවක් සමග මුලු ජීවිතයම පීඩා විදින්නට නොසලස්වා ' අම්මේ නුඹේ පුතා අපේ අතින් මැරුණා..'කියන්නට තිබිනි. අඩුම තරමේ ' මේ දැන් උඹේ පුතා හන්දියේ මැද දැවෙන්නේ යැයි ..'කියන්නට තිබිනි. ඒ වෙනුවට ඔවුන් කලේ ආනන්ද අය්යා අල්ලාගෙන ගොස් මැරෙනතුරු පොලුවලින් පහරදී දසවධ බන්ධනයට යටත් කොට මරා දමා කොහේ හෝ පුච්චා දැමීමය. අපේ නැන්දාගේ ගේ ඉදිරිපිට ඕනෑ තරම් ඉඩ තිබිණි. ආනන්ද අය්යාගේ නිසල සිරුර එහි ගෙනවිත් දමන්නට තරම්වත් සිහියක් තිබුනානම්..ඒ අම්මාගේ ඇස් මැරෙනතුරු අර දොර පලුව දෙස බලා ඉන්නේ නැත.

මට කියන්නට අමතක වූ දෙයක් තිබේ. ඒ ආනන්ද අය්යා ගැන ඉන් සතියකට පසු ආරංචියක් ලැබීමය.

 ඒ දිනපතා ඉන්ග්‍රීසි පුවත්පතක කෙටි ප්‍රවෘත්තියකිනි. '......නම් සදහන් කල පස් දෙනෙකු මිරිහාන පොලිස් අත්ඩංගුවෙන් පැනගොස් ඇති අතර ඒ අය සොයා මෙහෙයුම් දියත් කර ඇති බවට නිලධාරියා කියයි' යන කුඩා ප්‍රවෘත්තියේ ආනන්ද අය්යාගේ නමද තිබිනි. නැන්දලා මේ තොරතුර පස්සේ පුවත්පත් කාර්යාලයටද එය ලියුවා යැයි කියන පොලිස් වාර්තාකරුගේ ගෙදර ගියද හරි හැටි තොරතුරක් ලැබුනේ නැත. ලැබුනු එකම උත්තරය වූයේ ' දැන් ඉතින් අමතක කරලා දාන්න..' යනු පමනකි.
අම්මා කෙනෙකුට දරුවෙකු අමතක කරන්නට පුලුවන්ද...ඒ අම්මා මැරෙනතුරු දුක්වින්දාය. මැරෙනතුරු ආනන්ද අය්යා යලි එතැයි සිතා ඒ එන මග ඉක්මන් වන්නට පිංකම් කලාය. අදද දෙල්කද   මහා හතරමං හන්දියේ අතරමං වී ඇති, ඒ අම්මා ආනන්ද අය්යාට ඉක්මනින් ගෙදර එන්නට පිං තකා තැනූ චෛත්‍ය රාජයාද  ඔහේ බලා හිදී. ඒ තරම් වූ බලාපොරොත්තුවක් ඇයට ඈ මිය යන තුරුම තිබින.
එක්තරා දවසක නාදුනන කෙනෙකු විත්, 'අම්මේ ඒ මනුස්සයා අපව පාවා නොදී අප දන්නවා යැයි නොකියා..මැරෙන තුරු ගුටිකා, අන්තිමේ යකඩ කූරක් කන පසාරු කරගෙන යන තෙක් නිහඩව සිට අප බේරා අප ඉදිරිපිටම නිසොල්මන් වී යැයි' කියද්දිත් ඈ නිහඩව ආනන්ද අය්යා එනමග පහසු කරවන්නට පින්කම් කලාය.
මගේ 'නිවන් ලිස්ට් එක' ඉතා කෙටිය එහි නිවන් නොලැබෙන කොටසේ ආනන්ද අය්යා ඉන්නේය.

ප.ලි
ආනන්ද අය්යාට සමගාමීව මගේ දෙවැනි අය්යාද, තුන්වැනි අය්යාද ''දැකීම'' සදහා මම අම්මා සමග අගලවත්තේ සිට පයින්ම පැලවත්ත තෙක්ද..රාගම හන්දියේ සිට වැලිසර තෙක්ද ගොස් ඇත්තෙමි. එහිදි අම්මා 'මෙවන් දරුවන්' සදාගැනීම පිළිබද නිල ඇදුම් ලා සිටි සත්ව කොට්ඨාසයකින් බැනුම් ඇහුවාද අද වාගේ මතකය. මේ නිසා අපේ ගෙදර බොහෝ වියවුල් විය. බොහෝ අය බැනුම් ඇහුවා මට මතකය. එහෙත් අද වෙනතෙක් ආනන්ද අය්යා ගැන මතක් කරන කෙනෙකු ඇසින් කදුලක් වැටෙන්නේය. ඒ තරම් ඔහු ආදරය ලැබීය. ඔහුගේ මනුස්සකමට එයම මදිද...
ප.ලි 2
ආනන්ද අය්යා අපේ අය්යලා ජීවිත ඇගිලි අතපය හා තරුණකම පූජා කල මෙහෙවර පිළිබද මගේ තරහක් නැත. එහෙත් එක දවසක මේ ව්‍යාපාරයේ ලොක්කෙකු හමුවී මා මේ සියල්ල කියූ පසු ' අපි තාම ඒ ගැන සොයා බැලුවේ නෑ..ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක් ..මට කොල කැබැල්ලක ලියා දෙන්න ඉඩ තියන වෙලාවක බලමු..' යැයි කියූ පුද්ගලයා මට කොල කැබැල්ලක් තරම්වත් වටින්නේ නැත.