Monday, November 7, 2016

ඉරිදා පොල






කාලය ගලා යන්නේ හෙමිනි. සතිය පුරාම නිසොල්මනේ ගලා යන අපේ ගෙවල් හා අවට සෙනසුරාදාට කලබල වෙන්නට පටන් ගනී. සෙනසුරාදා හවස වන විට පරන ලොරිබාග වලින් එළවලු පළතුරු පටවාගෙන ගමේ සිට එන ගෑණු පිරිමි කඩි මුඩියේ වැඩය. තමන්ටය කියා ස්ථීර කඩ කෑල්ලක් හිමිව තිබූ වෙළෙන්දෝ ඒ අඩි හතරේ දිග පලලේ, විකුනන බඩු ටිකත්, තමන්ගේ කළමනා ටිකත් අස්පස් කරගන නිදන්නටද තැනක් හදාගෙන ඉවරය.ඒ අතරේ තාවකාලික වෙළන්දන් ඒ අවට ගෙවල් වල අනුග්‍රහයෙන් බඩු මුට්ටු ටික පරෙස්සමට තබා කතාබහේය. මේ වෙලන්දන් බඩු මුට්ටු පරෙස්සම් කරන තැන්වලින් මට හොදටම මතක තැන සිසිර අය්යාගේ ගෙදරය. හැමෝම සිසිර අය්යාට 'මල්ලී' කීවේය. ඒ අය්යා හිත හොද මනුස්සයෙකි. ඉතා ප්‍රියමනාප මුහුණක් තිබූ සිසිර අය්යා හරිහමන් ඉගෙනගත්තේ නැති නිසා නෝබට් අය්යා ලග 'වෑල්ඩිං ' වැඩ ඉගෙනගත්තේය. පසු කාලෙක සිසිර අය්යා තමන්ගේම ගෙදර කොටහක් වෙන් කරවාගෙන පොඩියට වෑල්ඩිං වැඩ පටන් ගත්තේය.

(මගේ ජීවිතයේ පසු කලෙක 'හැම ලබ්බක්ම ටික ටික දන්නා- එක ලබ්බක්වත් හරියට නොදන්නා' ජාතියේ කෙනෙකු වීමට මේ අයද බලපෑවේය. ඒවායේ රැදී සිටිමින් සිසිර අය්යාට අත් උදව් දීමෙන් ලී මෝලෙන් ඉගෙනගත් ලී වැඩ වලට අමතරව (මම නුගේගොඩ ඉස්කෝලේ ටික දවසක් ලී වැඩ විෂයක් ලෙස ඉගෙනගත්තෙමි.)පට්ටං නවන දිග අරින, බොර කඩන සුළු සුළු දේවල සිසිර අය්යාගෙන් ඉගෙනගත්තෙමි. මේවා මට මැත කාලයේ බාස්ලා සමග ගේ හදද්දී මහා ප්‍රයෝජන විය. වඩු බාස් මා තම්බන්නට බැරි බව දැනගෙන මා සමග හොද මිතුරු විය. 'මහත්තයා සද්ද නැතුව හිටියට වැඩේ දන්නවනේ' කියා මේ අහිංසකයා සැමවිටම මා මගේ ගෙදර වැඩ කටයුතු වල වඩු කුසලතාව පෙනවද්දී කියා හිටියේය. )

එහෙත් මේ සිසිර අය්යා මා වෑල්ඩිං වැඩපලේ 'කාල්' ගානා එක ගැන ඒ තරං සතුටු බවක් දැක්වුවේ නැත. අන්තිමේ ඔහු ඔහුගේ නිදන කාමරය දෙකට බෙදා වෙන්කොට මට මේසයක් හා පුටුවක් හදා දී ඉස්කෝලේ ඇරී ගෙදර විත් එහි පැමිණ පාඩම් කරන මෙන් 'තර්ජනය' කලේය. ඒත් මගේ හිත රස්තියාදුවටමය. අන්තිමේ බැරිම තැන සිසිර අය්යා මගේ කනෙන් අල්ලා වෑල්ඩිං වැඩපලට එන එක නතර කෙරුවේය. මම ලැජ්ජාවට අර මේසේ වාඩිවී පැයක් දෙකක් බලිකුරුටු ඇන්දෙමි. අවසානයේ බලිකුරුටු එපා වී පුංචි පහේ රචනා ලීවෙමි. මේ රචනා ඉනුත් කලකට පසු 'මිහිර 'පත්තරේ පලවිය.

 (මිහිර මට ලන්ක්ලේ මගේ ලොකු අම්මාගේ දුවය. ඈ මිහිර සතිපතා ගත්තාය. මට ගමේ සිට ආ පසු ඇගේ මිහිර පත්තර එකතුවෙන් බන්ඩලය ගානේ කියවන්නට දුන්නාය. එයින් මා මිහිරේ ඇබ්බැහියෙකු විමී. )

කෙසේ හෝ මේ වෙලන්දන් මෙවන් තැන්  'අල්ලාගෙන ' සෙනසුරාදා බඩු ටික ගෙනවිත් තබා ගන්නා අතරේ තව කණ්ඩායමක් ඉරිදා පාන්දරම ලොකු ලොරිවලින් අවෝය. මේ අය අර කලින් කී පොඩි පොඩි 'ගමේ බඩු' ගෙනා අය නොව එකපාර 'කෑලි' ගෙනා අය විය. සෙනසුරාදා ආ අය ලග, පලතුරු වෙලන්දන් නම් වත්තේ ගස්ලබු, කෙසෙල් ඇවරි හත අටක්, අඹ ,ලොවි ගැට, වෙරළු ආදී නානාප්‍රකාර දේ තිබුනද උදේ ආ අය 'කෙසේල් කෑල්ලක්, අඹ කෑල්ලක්  අන්නාසි කෑල්ලක්, ගස්ලඹු කෑල්ලක්' ආදී වශයෙන් 'තොග' බඩු ගෙනා අය වූහ. අර පොඩි වෙලෙන්දෝ එකල කඩපේලී අස්සේ යන අපටද තැළුණු ගෙඩියක් කපා ගස්ලබු කෑල්ලක් පැත්තක් තැලුණු අඹ ගෙඩියක්, ඉදී වැඩිවී හැළුණු කෝලිකුට්ටු ගෙඩියක් දුන්නේ හිතේ කැමැන්තෙනි. මේ තාවකාලික වෙලන්දන් ආරක්ෂාවට බඩු තිබ්බේ සිසිර අය්යාගේ ගෙදර ඉස්තෝප්පුවේ හා දර මඩුවේය. සෙනසුරාදා හවස වන විට මට මේ වෙලන්දන්ගෙන් රාජකාරී පැවරෙයි. 'ලමයෝ ප්ලේන්ටියක් ගෙනත් දීපන්කෝ..ලමයෝ බල්ලො ටික එලවපන්කො..(රස්තියාදු බල්ලන් ඉටිකොල වලින් වසා තිබූ පලතුරු ගෝනි වලට 'ඒරියා මාක්' දදා යාම මීට හේතුව විය.) ලමයෝ බේකරියට ගිහින් වරෙන්කො'  ආදී වශයෙන් අනේක විධ රාජකාරී මගෙන් පිරිමහා ගත්තේය. එහෙත් ඒ සියල්ලම කරදුන්නත් බල්ලන් එලවීම මම කලේ නැත. මේ බල්ලන් සිසිර අය්යාගේ හිතවතුන් විය. උන්ට කන්නට බොන්නට දුන්නේ සිසිර අය්යාය.

(අනෙක මාද සත්තුන්ට ආදරේය. හෝමාගම ගෙදරදී මේ සත්ව කරුනාව වැඩි වී පරෙවියන්, කුකුලන්, බල්ලන් ,පූසන් ඇතිකලෙමි. මට මතක හැටිඅයට එදා ලෝකයේ 'මිල අධිකම බිත්තරය' ගත්තේ මගේ කිකිළියකගෙනි. ඒ අපේ ලොකු අය්යාය. ඒ දවස්වල ඔහු හිටියේ පිටරටය. නිවාඩුවට ගෙදර ආ විට මගේ කුකුල් කොටුවට ලොකු අය්යා විසින් ටවුමෙන් ගෙනා පලා මිටි, පරිප්පු ඇට, කඩල ඇට, විටමින් පෙති දමා  කෑමවේලක් හදන්නේය. එ වෙනුවට බිත්තර දහයක් ලෙහෙසියෙන්ම කඩෙන් ගන්නට තිබිණි.)

 කෙසේ වෙතත් මේ උදව් නම් නිකං වෙන්නේ නැත. බඩු පරෙස්සමට තබාගන්නවාට සිසිර අය්යාලාට කොටහක් ගමෙන්ම ගේන මේ වෙලෙන්දෝ මට ගෙදර ගෙනයාමට කෙසෙල් ඇවරියක්, ගස්ලබු ගෙඩියක් දෙන්නේ හිතේ සතුටෙනි. අන්තිමේ බඩු සියල්ල විකිණී නොගියොත් තවත් වැඩිපුර ලැබේ. මා දුටු මේ මිනිසුන් බඩුගන්නට එන අය සමග එක සීරුවට 'හෙට්ටිකං' කරත් කුණු කොල්ලෙට ඉල්ලන අය සමග මරාගන්නට ගියත්, අන්තිමේ ඉතුරු දේවල් කිසි ලොබකමක් නැතුව බෙදන හැටි අපූරුය. මේ මිනිසුන් මතුපිටින් හැඩි දැඩි, කලබල, නපුරු ,කපටි මිනිසුන් බවට ඉරිදා උදේ සිට හවස වෙනතුරුත්, ඉන්පස්සේ  සරල, විනෝදකාමී, අහිංසක ගෑනු මිනිසුන් බවට පත්වන හැටිත් මා විශ්මයෙන් බලා සිටියෙමි. මූන බලා  මහත්තයා, සර්, මල්ලී ,නෝනා, අක්කේ,  පුතේ ආදී වශයෙන් මිල නියම කරන මේ මිනිසුන්ගේ 'හැකියාව'  අද මා මගේ රැකියාව උදෙසා පාවිච්චියට ගන්නේ  නොවේදැයි මට වෙලාවකට හිතෙයි.

මේ අතරේ එක දවසක් කලු මිටි තරබාරු ගැහැනියක් අපේ ගෙදරට ආවාය. ඇය කුඩා සව්කැද තම්බා විකිණීමේ ව්‍යාපාරයක් ආරම්බ කිරිමට අදහස් කර සිටින අතර, ලිපක් හදාගෙන සව් තැම්බීමට, පොල්කිරි හදාගැනීමට, අනෙක් කළමනා එකලාසයක් කරගැනීමට අම්මාගෙන් හා ලොකු අම්මාගෙන් අව්සර පැතුවේ 'නෝනා ලමයි දෙන්නෙක් හදාගෙන අමාරුවෙන් ජීවත්වෙන්නේ'  කියමිනි. මේ ගැහැණිය මතක් කරගන්නට මා සිහියට ගන්නේ කෝපි කඩේ රගපෑ සුසිලා කූරගමය. අන්තිමේ 'නෝනලා' ඇයට ඉඩක් දුන්නාය.ඇය 'පුන්චි මහත්තයා' කියා මා ඇමතුවාය. ගමේ ආච්චී ඇරෙන්නට කවුරුවත් එහෙම කියා නැති නිසා මට හෙන ගැම්මක් ආ එක පුදුමයක් නැත. හැම ඉරිදාම ඈ පළමු කැද කෝප්පය අම්මාටත් ආච්චීටත් මටත් දුන්නාය. 'අනේ පුන්චි මහත්තයා මං රවුමක් ගිහින් එනකං මේක බලාගන්ටැයි' කියා සව්කැද මුට්ටිය ලග මා හිදවා වීදුරු හයහතක පිරවූ කැදත් ගෙන පොලේ නොපෙනී ගියාය. එන්න එන්නම ඇගේ වෙලදාම සරුවිය. එක කැද මුට්ටිය දෙක විය. දර ලිප ලී කුඩු ලිපට මාරු විය. වැඩි කතා බහ නොතිබූ ඇගේ කට ටික ටික ඇරෙන්නට විය. නෝනා 'ඒයි -මේයි'  විය ඒයි මේයි 'බං -බොලං' විය. පුන්චි මහත්තයා 'කොල්ලෝ' විය. 'වාසනාවයි' කියා අම්මාට දුන් කැද වීදුරුව 'මිස්' විය. වෙලාවක් අවේලාවක් නැතිව අපේ ගේ මැදින් කුස්සියට එහා මෙහා ගියාය. අන්තිමේ ලොකු අම්මා වහං හිටි කට ඇරියේය. බාප්පා අපේ වත්තට ගොඩවන්නට තිබූ කොන්ක්‍රීට් ලෑල්ල හරස් කොට උන බම්බු ගේට්ටුවක් දා සරම කැහැපට ගහගෙන එක ඉරිදාවක සුද්ද සින්හලෙන් ලොකු 'සංදර්ෂනයක්' දැම්මේය. ඈ පිටව ගියේ ඊටත් වඩා ලොකු කුණුහරුප කියමිනි. එතැනින් සියල්ල නිමවිය. එහෙත් මේ සියල්ලටම වඩා ඈ මා නවතා පොලට ගිය පසු ලොකු අසෝක වීදුරු දෙකක් විතර එක හුස්මට හිස්කරන මගේ උදේ 'හොර කැද' පංගුව අහිමි විය.

ජීවිතය හා මිනිස් ගති එහෙමය. හොද නරක බෙදීමක් නොව කාලය අනුව බෙදාගන්නකි.

එකල ඉරිදා පොල එකම හිස් ගොඩක් වූ පසු මා එහි තෙරපී තෙරපී ඇවිද යන්නෙමි. අදද සිතෙන් එහි ඇවිදිමි. රතු ලූණු රටලූණූ විකුණන තැන්වල රතුපාට ඉටිකොලද, කෙසෙල් ගස්ලඹු අල සුදූ ලූණූ විකුනන් තැන්වල කහපාට ඉටිරෙදිද, හාල් කඩල ඇට ජාති විකුනන තැන්වල සුදු ඉටිරෙදිද හෙවනට දමන්නේ හේතුවක් ඇතිව බව කියාදුන්, සරං කැහැපට ගසාගෙන උඩුකය දාඩිය පෙරාගෙන එක සීරුවට කෑ ගහන මිනිසුන් අතර මම අදද  පියමං කරමි. ඉරිදා පොල මගේ මතක ලෝකයේ ස්ථීර නවාතැනය. එහි මිනිසුන්ට ගහැණුන්ට මගේ මතකයේ මෙන්ම හිතේද ලොකු ඉඩක් තිබේ. සව්කැද හදා විකුණු තරබාරු මිටි ගැහැණියද ඇතුලුව මගේ මතකය නැතිවී යනතෙක් ඔවුන් සියලු දෙනාම මගේ මතක ලෝකයේ සැරිසරණු ඇත.