Saturday, November 5, 2016

පානදුර පටන් ගන්නේ දෙහිවලිනි.











 පානදුර පටන් ගන්නේ දෙහිවලිනි.

දෙහිවල කීවාට හරියටම සත්තුවත්තේ පිටුපසය. මේ පාරවල් ගැන මට ඒ තරම් මතකයක් නැත. එහෙත් දෙහිවලින් පානදුරට යන කාලේ මට මතකය. දෙහිවල ගෙදර, සත්තුවත්තේ ලැබ් එකේ වැඩ කල අය්යා කෙනෙකු බැදගත් අපේ අම්මාගේ ඥාති දුවක් උන්නාය. ඈ අපේ අම්මාට 'පුංචි' යැයි කීවාය. එහෙත් 'ලොකුවට' අපේ අම්මාට හා අපට ආදරය පෙන්වූවාය. පෙන්වූවා නොව දැනෙන්නටම ආදරය කලාය. මගේ ඉස්කෝලේ නිවාඩුව එහිද ගතවී ඇති බව මම කලින් කියා ඇත. වෙනදා මෙන්ම අම්මා එක්ක ඇවිත් හොටු හූරාගෙන ආපහු යන්නට ඕනෑ කීවාට නිවාඩුව අන්තිමේ තව දවසක් ඉන්නං යයි අඩන්නේද මමමය. මේ ඥාතී දුවට අපි අක්කා කීවෙමු. ඇයට 'බරපතල' කටක් තිබ්බාය.මොනවා හරි කියන්නට ඕනෑ වූ විට ඈ ඉනටත් අත්දෙක බැදගෙන ලොකු පොඩි බේදයක් නැතුව 'දුවන්නට ' දුන්නාය. ඈ වැඩිපුරම ආදරේ අපේ තුන්වැනි අය්යාටය. ඒ අය්යාගේ නිත්‍ය නවාතැන ඒ ගෙදර විය. පස්සේ කාලෙක අයියා වෙනුවට පානදුරේදී මා එහි 'රෙජිස්ටර් මෙම්බර්' කෙනෙක් වුනෙමි.

සත්තුවත්තේ පිටුපස්සේ මේ තිබුනේ ක්වාටර්ස් යැයි මම සිතමි. කෙසේ හෝ සත්තුවත්තේ නිදහස් කලාපේ මායිමේ ලොකු කන්ද කැපූ තැන මේ ගෙදර තිබුනා මට මතකය. මම බොහොම පොඩි කාලේ නිසා මට දෙහිවල මතක අඩුය. එහෙත් ඒ ගෙදර කුස්සියට මෙහායින් ලොකු වතුර පුරවන ටැංකියක් තිබුනා මතකය. ඒ දවස්වල මගේ ඉනේ ගානට උසට තිබූ මේ ටැංකියේ වතුර නොකඩවා ගලා එන කරාමයක්ද තිබුනා මතකය. මේ ටැංකියෙන් නෑමට, මූන කට අධෝබාග හේදීමට සහ ගස්වැල් වලට වතුර ගත්තා මතක ඇතත් ඉවුම් පිහුම් වලට ගත්තා නම් මට මතක නැත. කෙසේ හෝ මේ ගෙදර හොදට කන්නට බොන්නට තිබුනා නං ඉරහද වගේ මතකය. ඒ අතරේ හැම නිවාඩුවකම මේ ටැංකිය සුද්ද කරන ' රජ මගුලක් ' එයි. එකල මේ අක්කාට හිටියේ එක ලමයෙක් වෙන්නට ඕනෑය. ඔහුද මට වඩා බාලය. අපි දෙන්නා එදාට 'ලමයින් ' වාගේ හැසිරෙන්නෙමු. කොට කලිසං ඇදගෙන අක්කාගේ සුපරීක්ෂාව මැද අපි මේ අඩි දහයක් විතර දිග හතරක් විතර පලල ටැංකියේ දියබුං ගහන්නෙමු. එහා මෙහා පිහිනන්නෙමු. වැඩි වෙලාවක් දිය යට ඉන්නේ කවුදැයි නහයවල් වසාගෙන පෙනහලු රිදෙනකං ඉල්ලං කන්නෙමු. ගමේ බන්ට් එකේ හා ඇලවල් වල දගලපු දැගලිලි වලින් හැමදාම මෙහිදී ජයගත්තාට පහුවෙනිදා දනිස් අතපය සිමෙන්තියට හීරී 'දන්නට' ගන්න එක ඉවසන්න බැරිය. එහෙත් ඉවසීම ඕනෑමය. නැත්නම් ඊලග නිවාඩුවේ මේ සෙල්ලම නතර වෙන්නට පුලුවන. අන්තිමේ අපි දෙන්නාට පාන් කියාගන්නට බැරි වෙලාවට අක්කා ලස්සනට එක කොනක් කපා කෙදි බුරුල් කල පොල් ලෙලි බ්‍රෂ් එකක් දෙන්නේය. මාස දෙක තුනක් තිස්සේ බැදි දියසෙවල අතුල්ලන්නට ලේසි නැත. කොහොම හරි මේ සෙල්ලම ඉවරවී නාගෙන කලිසමක් කමිසයක් දාගෙන බත් පිගාන අතට ගන්නවා පමණය. සවල් ගැහුවා සේ අපේ බඩවලට තත්පර තුනකට අඩුවෙන් හිස්වෙයි

මේ ගෙදර අපට කවදාවත් වෙනසක් උනේ නැත. ඒ අක්කා වෙලාවකට කෝටුවෙන් අරුන් දෙන්නා මරන්නේ මටද දැනෙන ලෙසය. එහෙත් ඒ උන්ගේ වැරදි වලට මිස මගේ ඒවාට නොවේ. බොහෝ වෙලාවල්වල ඈ 'මෙලෝ පාඩමක් නොකර පන්තියේ පලමුවැනියා වන මා ආදර්ශයට ගන්නා ලෙස උන්ට තරවටු කලාය. අක්කා හිතා හිටියේ මම ගෙදර ප්‍රශ්නත් කෑම බීම හා අනෙක් කළමණා අහේනියත් පාඩමකට ගෙන හොදට පාඩං කර පලමුවැනියා වෙනවා කියාය. එහෙම කෙහෙල්මලක් මට එදා තිබුනේ නැත. එහෙම තිබුණානං කටවල් ගද කොණ්ඩෙ බැදපු එවුන්ට කන්න දෙන්නට වෙන්නේ නැත. එකම දේ ජයසින්හේ මගේ පන්තියේ හිටියේ 'ජාතික මැට්ටන් විශේෂයක්' වීම‍ය. ඒ අතරේ මට හීනීයට පොඩි මොල කෑල්ලක් තියෙන්නට ඇත. හැබැයි අද තව වෙනකං පපුව හොද එවුන් දැක්කේ ජයසින්හේ විතරය. මං ජයසින්හෙට ආදරේය ඒත් ජයසින්හේ ඉගෙනගන්නට පුලුවන්කෙනෙකුට හිටියේ මගේ අක්කා විතරය. ඈ ශිෂ්‍යත්වේ සමත්ව නුගේගොඩ අම්මා ඉගෙනගත් බාලිකාවට ගිය දා ලමයි පමනක් නොව ටීචර්ලාද ඇඩුවා මට මතකය.


කෙසේ හෝ මම මගේ ජානවල තියෙන ගති අත නොහැරියෙමි. අක්කා සත්තුවත්ත පැත්තේ යන්නට එපා කියද්දී මම ඔහේ ඇවිද ගියෙමි. ටිකට් ගන්නට වුවමනාවක් තිබුනේ නැත. ඒ අය්යාගේ නුගේගොඩ ඥාතී බව සේවකයෝ දැන උන්නේය්. ඒ නිසා අලි කොටි වලස්සු නයි පොලොං ඇතුලු උඩින් බිමින් හා වතුරේ යන හැම සතාම වරු ගනන් බලං ඉද ගෙදර ආවෙමි. සමහර දාට වැඩකරන අයට පොඩි අත් උදව් දුන්නෙමි. සත්තු වත්තේ කැන්ටින් හතරක් තිබ්බා වගේ මට මතකය. ඒ හැම කැන්ටිමකම එල්ලා තිබූ පොඩි පොඩි කෑම ජාති රසවත් ඒවා බව මම දැන සිටියෙමි. එහෙත් කොණ්ඩේ පොඩ්ඩක් හා ලොකු තට්ටයක් තිබූ ඒ අය්යාට සත්තුවත්තේ සේවකයන්ගේ නම්බුව රැකෙන පරිදි 'සෙල්ලං ' නොදා ඇසෙන් හිතෙන් පමණක් රසවින්දෙමි.සුද්දෝ කන බොන, මම පැත්ත පලාතේ නොයන 'මේං සයිස්' තැනක්ද තිබ්බ මතකය.

දැල්වල එල්ලී වෛවාරණ කුරුල්ලෝ බැලුවෙමි. ගුහා වලට එබී වලසුන් සිංහයන් එහා මෙහා යන මහා කම්මැලි ගමන නැරඹුවෙමි. අතරමං වෙයිදො බයෙන් අතෙන් බඩෙන් විතරක් නොව ලැජ්ජ හිතෙන තැන්වලින්ද අල්ලන් පරිස්සමට යන ලොකු ජෝඩු අතරේ මමද ඇවිද ගියෙමි. ගෙදරදී හොයාගන්නට බැරිවද කොහෙදෝ මල්ගස්, තාප්ප කොට,රිලා කූඩු  අස්සේ මුවාවී කොලපාට කොට කලිසං අදින සත්තුවත්තේ අයගෙන් බැනුන් අහ හා අක්කලාගේ ගවුන් අස්සේ මොනවාදෝ හොයන අය්යලා දුටුවෙමි.  හිත පිරෙන්නට බලා ඇවිදින් බඩ පිරෙන්නට අක්කාගෙන් බැනුම් ඇහුවෙමි. එයා ගැහුවනන්ං හොදය කියා ඒ දවස්වල මම හිතුවෙමි. එහෙත් අක්කා අනුන්ගේ ලමයෙක් ගැන  නිසා මං ගැන අවදානයෙන් හිටියාය. අනෙක අය්යාගේ රස්සාවට කැලලක් උනොත් යන බය තියෙන්නට ඇත. ඒ මල්ලිලා නං මං තරං සත්තුවත්ත 'වින්දේ' නැති බව සහතිකය.

මේ අක්කා අය්යාට කියා අපේ දෙවැනි අය්යාව සත්තුවත්තේ අස්සයන් බලාගන්නට රස්සාවක් කතාකරගෙන අම්මා මුනගැහෙන්නට අපේ ගෙදර ආවත්, ' අනේ ඌ ඔය සත්තු බලන්නේ කොහොමද කියා' අම්මා බෑම කීවාය. පැන්ෂන් එකකුත් තිබුණු මේ රස්සාව අතහැරීම ගැන අක්කා ඇගේ පුංචි අම්මාට දොස් කීවා මට මතකය. ජීවිතයේ වැරදි වෙයි. සමහර වැරදි හදාගන්නට බැරි ජාතියේ වැරදි වී ජීවිත විනාස වෙයි. එදා දෙවැනි අය්යා සතෙක් බලාගත්තානම් සමහරවිට මීට අවුරුදු ගනනකට පෙර 'සතෙක්' මෙන් ජීවිතය නොගෙවන්නට තිබිණි. එහෙත් මා දන්නා දෙය නම් අම්මාගේ ආදරයයි. ඈ අප හත්දෙනාට හා තාත්තාට මුලු ජීවිතයම කැප කොට ආදරය කලාය. තවමත් එහෙමය. අබ මල් රේණුවක හිතේ අමාරුවක් නැතිව තාමත් ඈට අප පුංචි එවුන්ය. මම මෙවර උපන් දිනය දා මගේ වයස කී විට..ඇස් දෙක ලොකු කරන් ඈ මට ලියා දුන්නේ මෙච්චරය.
 ' අනේ මේ බොරු නොකර ඉන්න..ඔයාට තාම 30ක් නැතුව ඇති.''

අදට මේ ඇති.. දෙහිවලින් පානදුරට යන්නට ටික වෙලාවක් දෙන්න...