Wednesday, November 2, 2016

ජම්ඹු ගහෙන් වැටී



මාත් කිහිපවාරයක්ම ජම්ඹු ගහෙන් වැටී තිබේ. ජම්ඹු ගහට අමතරව ඉරිදාපොලේ හරි මැද තිබූ කොස් ගහෙන්ද, මගේ කන්‍යාරාමයේ ගෑනු ලමයා හිටි ගෙවල් පැත්තේ සියඹලා ගහෙන්ද, මට නම් මතක නැති මෙන්ඩිස් ලේන් එකේ ඉරිදාපොල මායිමේ ගෙදර තිබූ කටුලොවි ගහෙන්ද බිම පතබෑ වී තිබේ. ඒ මොන 'කෙහෙල්මල් ' ගහකින් වැටුනත් ආනන්ද අය්යලාගේ ජම්ඹු ගහෙන් වැටෙන්නට ඇත්තේ මං විතරය. ඒ ගහ මට අයිතිව තිබ්බේය. ඒ ගහේ සිට අද ඉන්නා තැනක් ඇත්නම් එතැන දක්වා මගේම 'ලෝකයක් ' තිබ්බේය. අදටත් මගේ ඒ ලෝකය ඉඩ විවර කර ඇත්තේ ඉතාමත් අල්පයකට පමණි.

 (මේ ආනන්දසිරි අය්යා ගැන නොවේ. ඔහු ගැන වෙනමම ලිවිය යුතු නිසා දැනට අතහරිමි. එහෙත් ඔහු මගේ ජීවිතය හා බැදී ඇත්තේය. ඔහු 'මනුස්සයෙකි'. පසු කාලීනව ඔහු දැරූ දේශපාලන මතවාදය මට තිත්ත වීමට මේ ආනන්දසිරි අය්යාගේ මට කියා දුන් මනුස්සකම බලපෑවේය. ඇත්තටම ඔහු එදා මිරිහානෙන් පැන ගිය එක හෝ 'පන්නලා' දාපු එක හොදය. ඒ මනුස්සයා වැනි අය නැවැත අප සමග ඉපදිය යුතු කාලය දැන් ඇවිත් වගේ කියා හිතෙන්නේ ඒ නිසාය.)

කෙසේ හෝ මටත් පවුලේ අනෙක් අයටත් මේ හයිලෙවල් පාර අයිනේම ගෙදර අමුත්තන්ට මෙන් සැලැකුණේ නැත. ඒ ගෙදර ඉරිදාපොල 'කටේ' ම කඩපේලිය ඉස්සරහා පිහිටා තිබුණේය. ඒ ගෙට ආරක්ෂාවට නොව මායිම පෙන්වීමට මෙන් කොට තාප්පයයක් තිබුනේය. මේ කොට තාප්පය මත වාඩි වී කතා කෙරූ අයද, කල්පනා කෙරූ අයද, ප්ලෑන් කෙරූ අයද, ඒවා සියල්ල දමා ගිය අයද කප්පරකි. ලොකු අය්යා මට හිතෙන හැටියට මේ කොට තාප්පේ ලොකු සාමාජිකයෙකි. කොට තාප්පේ අලලා අපේ අම්මාට 'අක්කා' කෙනෙකු වූ මේ ඥාතියාගේ ගේ පිහිටා තිබුනේය. මා දන්නා කාලය වනවිට මේ මහප්පා මියගොස් තිබුණු අතර ඒ නැන්දා අති සාම්ප්‍රදායික, කිමෝනාවක් වැනි දිගු ගවුම් ඇදි 'හොද' කෙනෙකු වූවාය. ඒ නැන්දාට අපි නැන්දා කීවාට අපේ නෑදෑකම වෙන එකක් බව මා අසා තිබේ. මේ ඔක්කොම අය අපේ අම්මාගේ ඥාතීන් විය.

මේ ගෙට අල්ලා තිබුනේ ලූවර් ජනෙලය. මේ ලූවර් ජනේල එකල හැම මධ්‍යම පන්තික ගෙයකටම අයිති වූ කලාවක් දැයි මම නොදනිමි. මේ නැන්දාගේ අක්කා පදිංචිව සිටි ජම්බුගස්මුල්ලේ ගෙදරද, සුසිල් ප්‍රෙමජයන්ත නම් අපි එකල 'අය්යා' කියූ කෙනාගේ ගෙදරද, ඉස්කෝල හාමිනේගේ ගෙදරද, ඇග පුරාම ලොකු තෙල් ගෙඩි හැදෙන රෝගයක් තිබූ  ඉරිදාපොලේ බාගයක් අයිතිව තිබූ මට නම මතක නැති අයගේ ගෙදරද, වර්නන් තිලකරත්න මහත්තයාලාගේ' ගෙදරද, හැරෙන්නට වෙන කොහේවත් මා ඒ දවස්වල මේ ලූවර් ජනේල දැක්කේ නැත. එහෙත් මෙන්ඩිස් ලේන් එකේ මුලම හිටි කලා ඔස්තාර් කෙනෙකු වූ හෙන්රි අය්යාගේ ගෙදර ඉස්සරහා ජනේල දෙකක් මට මතකය. එහෙත් ඒවා කරගහගෙන ආවේ රත්තනපිටිය පැත්තේ ගෙදරකින් ගලවාගෙන බව මට මතක, මම කාලයක් හෙන්රි අය්යාගේ කඩදාසි කැටයං හා සරුන්ගල් කලාවට වහ වැටී එහිම වැටීගෙන හිටි නිසාය. (පහු කාලයක මම තනියම කැටයම් කපා දෙල්කද කූඩුවට සමාන කොපියක් හෝමාගම ගෙදර ලග හැදූ විට, මේ උඹේ වැඩක් වෙන්නට නම් බෑ, කවුද කැටයං කැපුවේ කියා ' ගොඩ දෙනෙක් දාන ලද කැටැයම මම හිනාවෙන් බාරගත්තේ මේ කී හෙන් රි අය්යාවද සිහිපත් කරමිනි.) ඒ කාලයේ ආනන්ද අය්යාගේ   ලොකු අය්යා මේ ලූවර් රෙපෙයාර් කරන හැටි මට කියාදුන්නේය. සමහර වීදුරු ඉරිතැලුනු විට ඒවා වීදුරු කපා ගෙනවිත් සීරුවට සවි කලේ මමය. 

ඉතින් මේ ලූවර් ජනේල වලට උඩින් ලොකු කොන්ක්‍රීට් වහලයක් තිබිනි. මේ වහල කෑල්ල ආනන්දසිරි අය්යාගේ කාමරයද, ඉස්තෝප්පුවේ කාලක් විතරද වසා පැතිරුනේය. ඒ වහලෙට උඩින් ඇස්බැස්ටොස් වහල මේ ලොකු ගෙය පුරාම පැතිර දිවුනේය. කොට තාප්පයෙන් මේ කොන්ක්‍රීට් වහලටද ඒ වහලයෙන් ලොකු වහලටද නැග ගත් පසු මෙලෝ යකෙකුට මා හොයන්නට බැරිය. මෙහි අනෙක් පැත්ත පාතාලය වාගේ පල්ලමට පිහිටා තිබුනේය. ඒ නිසා ඒ දවස්වල ඒ ගෙයි කුස්සිය පැත්තෙන් කක්කුස්සිය පැත්තට යන්නට පඩිපේලී හත අටක්ම බහින්නට තිබුනේය. ඒ පඩිපේලි අද්දරම මා මේ කියන ලොකු ජම්ඹු ගහ සහ 'පොල් අඹ' ගහ තිබුනේය. ඒ දෙවියන් විසින් මටත් මගේ බඩජහරි බඩටත් මවා තිබූ 'බත්ගස්' දෙකය. මේ ජම්ඹු ගහට නැගීම එසේ මෙසේ සෙල්ලමක් නොවේ. ඒ ගෙදර අය්යා අපේ අය්යා මෙන් ඇගපත හොල්ලන්නට කම්මැලි එකෙකි. (මා මේ කියන්නේ ගෙදරදීය..අය්යා සමග වැඩ කිරීම ලේසි නැත. මා ඔහු සමග එකතැන අවුරුදු පහක් පමණ වැඩ කිරීම මා ඊලගට තෝරාගත් රස්සාවට මහා පිටිවහලක් විය.) මේ ගෙදර අය්යා කලේ කෙක්කක් හදාගෙන අතුපිටින් ජම්ඹු කැඩීමය. ඒ ගෙදර පොඩි අක්කා තොදොල් බබෙකි. එයාට හොදම රතු පොල් ජම්ඹු කඩාදෙන්නට මා ඉදිරිපත් විය. ඒ නිසා අර අය්යා පසු බැස්සේය. අන්තිමේ තුන්පාරක් ඒ අක්කා ඉදිරිපිට දෙරිගසා බිම ඇද වැටුණු මම අක්කාට හොරෙන් දහ දොලොස් සැරයක් ඇදවැටී මගේ උත්සාහය ජයගතිමි.
 (මා පොල්ගස් නගින්නට උගත්තේ හෝමාගමදීය. ඒ කතා දැන් මතක් වුනත් පසුව කියමි. දැනට මෙහෙම චිත්‍රයක් මවා තබාගන්න. එක කෙසග තලෙලු කොල්ලකු ගැඹුරු ලිදක් අයිනේ පොල් ගහක මැද හරියේ අමු හෙලුවෙන් පොල්ගහ බදාගෙන සිටී. ඔහුගේ සරම හා ගස් වලල්ල කකුලේ විළුඹ ලග රැදී ඇත. ඊට අල්ලපු ගෙදර සුදු අක්කා කෙනෙකු මේ කොල්ලාගේ අම්මාට මූ බේරාගන්නා ලෙස බෙරිහන් දෙයි. ' එ ඇතිය. ඒ කොල්ලා ලොකු මහත් වී දැන් අඩි තිස් හතලිස් දාහක් උඩින් යන්නේය. ජීවිතයක හැටි.)
 අන්තිමේ මම දැන් ජම්ඹු ගහේය. ඉදුණු ලොකු ජම්බු පොකුරු මගේ අතේ, කටේ හා කලන්තය එනතෙක් ගිල බඩ ඇතුලේය. මෙහම කාලය ගතවනවිට කාටත් හොරා මම ජම්බු ගහට නැග්ගෙමි. ඒ ගහ මගේ ගෙදර මෙනි. පැය ගනන් ගහේ අතුවල කල් ගතකලෙමි. ඒ කාලේ අපව    හොයන්නේ වැඩක් ගන්නට නැතහොත් රෑ බතට ආවේ නැත්නම් නිසා කිසි කරදරයක් නැත. අනෙක මම ඉස්කෝලේ පාඩමක් කලා යැයි මටත් මතක නැත. දැන් මම ජම්ඹු ගහේ අධිපතිය. එහෙම ඉන්න වෙලාවක අර කී අඹ ගහේ ගෙඩි හැදෙන්නට පටන් ගත්තේය. ඒ ගෙඩි පොල්ගෙඩි මෙන් ලොකුය. අඹ කාලෙට පල්ලෙහා සිට්න නැන්දාට හා අක්කාට 'පෙනෙන' අඹ ටික කඩා පෝර මලු වල දමා 'බාන්නෙමි'. නොපෙනෙන ටික හොදට පැහැනු පසු අඹ ගහ දිගේ මහ වහලෙට පැන අර කී කොන්ක්‍රීට් වහලයේ අගුව යට හංගන්නෙමි. මට මා ගැන දැනුත් හිනාය. ඒවා මීයන්ගෙන් හා ලේනුන්ගෙන් ආරක්ෂා කිරීමට මමම දැල් කැබැල්ලක් නවා හදාගත් හතරැස් පෙට්ටියක් තිබුනේය.

මම ජයසින්හෙන් රස්තියාදුව පටන් ගෙන ගෙදර විත් පොත් විසීකර ඇදුම් ගලවා කොට කලිසමට බැස කෙලින්ම දුවන්නේ මේ ජම්බු ගහටය. එතැනින් කොන්ක්‍රීට් එක උඩටය. එතැන ඉදගත් විට හයිලෙවල් පාර හා වටපිටාව හොදින් පෙනෙයි. එහෙත් උඩ ඉදින මා කිසිවෙකුට හොදින් බැලුවෝත් මිස පෙනෙන්නේ නැත. ජම්ඹු කා ඉදිමුණු බඩට අර පොල් අඹයක් පැනි බේරී කනවිට මොන සැපක්ද. එහෙම ඉන්නා විට අර කොට තාප්පේ ඉන්න සමහර අයගේ කතා අහගන්නටද පුලුවන. සමහර ඒවා මට තේරෙන්නේ නැත. සමහර ඒවා 'ඇඩංස් ඔන්ලි' ඒවාය. සමහර ඒවා ඒ වටේ හිටපු අක්කලාගේ කකුල් සහ කුක්කු ගැනය. ලොකු අය්යාට නං මෙවා මතක ඇත කියා හිතමි. ඉතින් මගේ පැකේජ් එක හොදය. බඩත් පිරේ..හිතත් පිරේ. එහෙත් හැම කොට්ටොරුවාම ඇන ගන්නා දවසක් එයි. මගේ ෂර්ලොක් හෝම්ස් ක්‍රියාන්විතය ඒ ගෙදර ලොකු ඇම්බුං කැනක ලොකුම ඇවරියට විදීමෙන් හබක් විය. නැන්දා වදුරන්ටත් රිලවුන්ටත් දෙස් තැබුවාය. අන්තිමේ වහලේ  වැස්ස දවසට වතුර බේරීමක් නිසා ආනන්ද අය්යාට වහලයට නගින ලෙස අන කලාය. ආනන්ද අය්යා ඉණිමං තියාගෙන ලොකු ගේමක් දී  වහලයට නැග ආපසු බහින විට නැගි කම්මැලි මූණ වෙනුවට මහා හිනාවක් තිබුනේය. නැන්දා ' හරිදැයි' අහනවිට, ' මහ ලොකු දෙයක් නැතැයි ' කියා මගඇරියේය. මගේ අත අල්ලාගෙන 'යං ගෙදර ' කියා අපේ ගෙවල් පැත්තට ඇවිද්දේය. අනිවාරයෙම් අම්මා මට ගහන්නේ නම් නැත. එහෙත් ලැජ්ජාවක් නොවැ. ඒත් ආනන්ද අය්යා අපේ ගේ ලගදී ' මීට පස්සේ අහුවෙන හොරකං නොකර ඉදිං..වහලේ ඇවිදින කොට පරිස්සමෙන් පලයං..තනියම නොකා අම්මටයි අක්කලටයි දීපං..' කියා මා ගේ ලග තනිකොට විජේරාම පැත්තට ගියේය. මේ යාම දැනුත් මට මතක් කල හැකිය. ඒ මනුස්සයාගේ සුදෝසුදු ඇගපතට, හිනාවට, සාන්ත කමට වඩා ලොකු ලේ මස් නහර වලින් හැදුනු හදවතක් තිබිණි. ඔහු ඒ හදවතත් රැගෙන යන්නට ගියේය.

ඒ කාලයේ රට පාලනය කල අයටත් මේ අහිංසකයාව 'පැන ' ගිය ලිස්ට් එකට දමන්නට එක්කාසු වූ හැමටත්  නිවන් සුව අත්වේවා.!!!