Monday, October 31, 2016

මල් මසුරං!!!!.

//එකම කමෙන්ට් එක දෙසැරයක් වැටෙන්නේ දැන් අච්චර වැරදිකාරයෙක් කියන අපේ තාත්තා වගේ බොනවද. විහිලුවට ඇහුවේ, රාජකාරිය එක්ක එහෙම කරන්න වෙන්නේ ෆිට් සෙට් එකක් හම්බුවානම විතරයි කියලා මම දන්නවා.
මම මේ බ්ලොග් එක අප්ඩේට් වෙනවා දැක්කේ අහම්බෙන්. අපි කතා නොකරම ඉමු මේක ලියලා ඉවර වෙනකම්. මම ආසයි ලොක්කාගේ ජීවිතය ලොක්කාගෙ අකුරුවලින්ම විඳින්න. ඒක නිදහසේ කරන්න.
කමෙන්ට් එකක් දාපු කෙනෙකුට අඩුම ගානේ තැන්ක්යු වත් කියන්න. ඒක හොඳ පුරුද්දක්. කොහෙද අයියා හොඳ පුරුදු කියලා දෙන්න ඉස්සෙල්ලා නරක පුරුදු ගොඩේනේ හිටියේ.
ජීවිතයට ඉඩක් දෙන්න.....ඔව් ඒක කරන්න ඕන. හැබැයි සියලු වගකීම් වලින් සෑහෙන කොටසක් අවමයෙන් හරි ඉටු කරගත්තට පස්සේ. කතාව ලියන්න. මල් මසුරං!!!!. මගේ ජීවිතේ වගේ......//


මගේ බ්ලොග් එක හා මගේ ලොකු අය්යා සම්බන්ධයෙන් 'සෙට්ල්' කරගත යුතු කාරණා කිහිපයක් තිබේ.

ඉන් පළමුවැන්න. අය්යා හා මා අතර සම්බන්ධයයි.
අපේ පවුලේ හත්දෙනෙකි. ඒ ලොකු පවුලේ කිසිම සහෝදරයෙක් එකිනෙකාට අයියා, මල්ලී, අක්කා, නන්ගී, කියාගන්නේ නැත. එහෙත් අප හයදෙනාම ලොකු අය්යාට 'ලොකු අය්යේ' කීවෙමු. (ඔහු පෙරලා අපට බලු- බැල්ලියන්ගේ නම් වලින් කතා කලේය. අපට ලංසි නම් දැම්මේ කවුදැයි මම නොදනිමි. එහෙත් අය්යා හැරෙන්නට පවුලේ හතර දෙනෙකුට මේ ලංසි නම් තවමත් බාවිතා වෙයි. මට හිතාගන්නට බැරි මට මේ නමෙන් තව අවුරුදු තිහ හතලිහකදී කතා කලොත් ඒ කාලේ කොල්ලන් මොන වාගේ ප්‍රතිචාරයක් දක්වාවිදැයි කියාය.) අනෙක මා දකින ලොකු අය්යා ගෙදර නැවැතී නොසිටි, අපට නුහුරු නුපුරුදු ගති පැවැතුම් ඇති, වයසෙනුත් වැඩි, අදහස් වලින් පිම්මක් ඉදිරියෙන් හිටි, අම්මා හැමවිටම ආඩම්බරයෙන් කතා කල කෙනෙකු විය. මේ හේතුවෙන් අප දෙදෙනා අතර තිබුනේ දුරස් සම්බන්ධයකි. අදටද යම් යම් කාරණා වලදී ඇරෙන්නට අප සියලු දෙනාම 'ලොකු අය්යාට බයය.' අද මම ලොකු කොල්ලන් තුන්දෙනෙකුගේ තාත්තා කෙනෙකි. ඒත් මම ලොකු අය්යා කෙරෙහි ගෞරවනීය හා බයපක්ෂපාතී කමකින් කටයුතු කරමි. ඒ නිසාම අප අතර සිදුවන ගැටුම් වලදී මම පුරුද්දක් ලෙස කියන්නට ඇති දේත් ..නොකිය යුතු දේත් සගවාගෙන නිහඩව ඉමි.  මා අය්යා දකින්නට මෑත කාලයේ ලන්ඩන් එනවිටත්, සීතල දේශගුණයේ මිහිර විදින්නට වයින් වීදුරුවක් බොන්නටත් සිගරට් දුමක් අදින්නටත් ආසා කලත් අය්යාට ඇති බය ගෞරවය නිසා එහෙම නොකලෙමි. එහෙම කිරීම 'බය' නොව ආදරය කියා ඔහු දන්නේය.

දෙවැන්න තාත්තා පිළිබද ලොකු අය්යාගේ හැගීමයි.
ඒ හැගීම හා මගේ හැගීම දැනීම අතර ලොකු පරතරයක් ඇත්තේය. මගේ තාත්තා හා ලොකු අය්යාගේ තාත්තා එක්කෙනෙක් වුව, මා දුටු තාත්තා වෙනස්ම , දුරස්ථ, බාල, දරුවන්කෙරේ හෝ බිරිද කෙරේ ආදරයක් කෙසේ වෙතත් හැගීමක්වත් නොවූ කෙනෙක් වූවේය. එහෙත් ලොකු අය්යාට හෝ අනෙක් හය දෙනාටම එසේ නොවෙන්නට ඇත. 'තෝ ඉපදුණු දා සිට තමා මේ සේරම ' කියා අයියල අක්කලා සමග පොඩිකාලේ රණ්ඩු වෙන වෙලාවල්වල මට පොල්ලෙන් ගැහුවා සේ කියා ඇතත්, මගේ ජීවිතයේ මට තේරුම් වයසේ සිටම මට තාත්තා කෙනෙකු මෙන් දකින්නට කෙනෙකු නැති නිසාත් මගේ ලියවිල්ලේ 'බොරු තාත්තා ' කෙනෙකු මවන්නට උවමනා නැත. අපේ තාත්තා හොද කෙනෙකු හා පරමාදර්ශී චරිතයක් වූයේ පිට අයටය, කියන දේ මගේ හිතේ තිබේ. ඒ තර්කය උඩ මා ලොකු අය්යා සමග වාද කර තිබේ.

තෙවැන්න
මගේ ජීවිත කතාව මා දුටු හැටියෙන් දකින්නට උත්සාහ කරමි. ඒ නිසා දැනටමත් ජීවතුන් අතර ඉන්නා අයගෙන් පවා මා කිසිම දෙයක් අහන්නේ නැත. මා ඇහුවානම් මේ මගේ කතාව නොවී ඒ අයගේ කතා වනවා නොඅනුමානය. අනෙක මා දැනට ලියන කාලය වන වයස අවුරුදු නවය දහය යනු ලපටි සිතක් ඇති ජීවිතය පිළිබද දැනුවත් වෙමින් එන කාලයයි. ඒ කාලයේ මගේ හිතට දැනුන දේ අද දවසේ මාද දකින්නේ වෙනස්ම ආකරයකට වුවත් මේ ලියවිල්ල මා අද දකින විදියට ලියන්නට ආසා නැත.

ඉතින් මේ කී කරුනු සියල්ලම තේරුම් කරගෙන, මේ කාරණයට හොදම උපකාරය කල හැක්කේ ' ලොකු අය්යාටමය'.  මගේ රචනාව හැමදාම කියවා ඔහුගේ හැගීම කමෙන්ටු ගතකල හකිය. එවිට මගේ රචනාවටද මගේ ජීවිත අත්දැකීමටද ලොකු උදව්වක් වෙනවා නිසැකය. අනෙක මා ලියන්නේ අය්යා මෙන් නොව ඊට හාත්පසින්ම වෙනස් ආකරයකටය. ඒ නිසා අය්යාගේ දැක්ම ඉතා වටිනා එකක් වනවා නොඅනුමානය. ඒ නිසා මගේ බ්ලොගයේ ලියන්නට ආරාධනා කරමි. එය ඔහු කීවා මෙන්ම බ්ලොග් අවකාශයේ ලොකු වෙනසක් වනු ඇත.