Sunday, October 23, 2016

ඉස්කෝල හාමිනෙ..


උඩහමුල්ල හරස් පාර පටන් ගෙන පරණ පාරට වැටෙන තෙක් දිවෙන ඉඩමේ අයිතිකරුවන් වූයේ 'ඉස්කෝල මහත්තයෙකු හා හාමිනේ ' කෙනෙකි. මේ ඉස්කෝල මහත්තයා රජයේ පාසලක විදුහල්පති කෙනෙක් විය. ගෙදරට සරම හැදි  ' ඉස්කෝලේ මහත්තයා' ගානට ඉතුරු කෙරූ වැඩි වියදමක් නැති කෙනෙකි. අම්මා මා හා අනෙක් අයියලා කැටුව මෙහි යයි. අනෙක අපට ඇත්තේ ලී මඩුව ඉස්සරහින් පාර පයින්නට පමණි. ඒ ගෙදර හතර වටේටම තාප්ප දමා තිබුනේය. එකල හතරෙ පන්තියේ මට පයින්නට හැකි ලෙස 'ලොකු' ගේට්ටුද දමා තිබුණේය. ඉස්කෝල මහත්තයාගේ වැඩි 'ඉතුරුව' ගැන ලොකු අය එක එක කතා කීවද, තම දරුවන්ගෙන් කෙනෙකු ජනපති ලේකම් කෙනෙකු කිරීමටද තවත් කෙනෙකු රුසියාවේ යවා අධ්‍යාපනය ලබාදීමටද ඔහුගේ මේ 'ලෝබකම ' ට හැකිව තිබිණි. එහෙත් මේ ඉතුරුම් සමහර ඒවා ඔහුටම ආවේනික විය. ඉරිදා හවස වන විට 'ඉරිදාපොල' බූමියේ තැඹිලි, කුරුම්බා කෝම්බ එකතු කරන ඉස්කෝල මහත්තයා හවස් රෑ වන තෙක් මේවා හීනියට පතුරු ගහයි. ඉන්පසේ කරවල වාඩියක මෙන් එකපෙලට මේවා අව්ව දමා වේලයි. ඊටත් පස්සේ ලොකු පෝර ගෝනි වල එකතු කර ගෙට පිටිපස්සේ ගොඩගහයි. මට මතක ඇති කාලේ මේ ගෝනි 'චීන මහා ප්‍රාකාරය' වාගේ ගොඩ ගසා තිබුනේය.  

 මේ චීන මහා ප්‍රාකාරය සම්බන්ධ අතුරු කතාවක්ද ඇත. මේ කාලයේම මම අධික ලෙස 'වීරයාට' ඇබ්බැහි වී සිටියෙමි. 'ඩෙක් පීස්' දදා බලන වීඩියෝ යන්ත්‍රයක් ලී මෝලේ අක්කා කෙනෙකු කසාද බැද හිටපු අය්යා කෙනෙක් ගෙනෙවිත් තිබූ අතර, ඉන් චිත්‍රපට බැලීමෙන් මේ වීරයා මට බෝවී තිබුනේය. මේ වීරයා වෙඩි තබන්නේ දිග තුවක්කුවකිනි.  කොට පිස්තෝලයක් සාක්කුවේ ඇත. ඔහුට කිසිදා වෙඩි වදින්නේ නැත. ඔහු පෙරෙලි පෙරලී වෙඩි තබා අන්තිමේ කෙල්ලවද සතු කරගන්නේය. ඉතින් මා ලී මඩුවෙන් කුඩා පිස්තෝලයක් හදා ගතිමි. ඉන්පස්සේ ඉන් බේරුනු ගස් ගල් තාප්ප කිසිවක් නොවීය. ගස්වලට තාප්ප වලට මුවා වී වෙඩිතබා හත අටක් එකවර බිම දැමුවෙමි. මගේ යාලුවන්දෙතුන් දෙනා මේවායේ වීරයාට වඩා අඩු වටිනාකමක් ඇති චරිත රගපානු ලද්දේය. යාලුවන් නැති දවසට මම තනියෙන්ම රගපැම් කලෙමි. එහෙත් එක දවසක මම මේ ඉස්කෝල මහත්තයාගේ චීන මහා ප්‍රකාරය අස්සේ සෙල්ලන් කරන්නට ගොස් මගේ කෙහෙටු ඇගේ හැපී ප්‍රාකාරය ඇද වැටිණි. ඉස්කෝල මහත්තයා වැඩි කතාවක් නැතත් එදා මට 'හොදවැයින් දෙකක්' කතා කලේය. එහෙත් ඒ වෙලාවේ ඔහුගේ දෙවැනි පුතා හා මගේ දෙවැනි අය්යා වාහනයක් 'කුරුටු ගගා' සිට ඇවිත් මා බේරාගත්තේය. ඒ එක්කම ඒ පුතා ' තාත්තාගේ මේ නොවුමනා එකතු කිරිල්ල තමයි මේ සේරටම මුල' කියා හීනී සද්දයක් දැමීම මගේ කොන්දට වැටුණු පොල්ලෙලි ගෝනියේ වේදනාවට බෙහෙතක් මෙන් විය.

 එහෙත් මේ තාත්තා මලේ එලෙසම පොල් කෝම්බ එකතු කරන්නට ගොස් කලුවරේ පාත්වී ගෝනියත් සමග වාහනයකට යට වීමෙනි. එකල මේ තාත්තාගේ ලොකු පුතා අගමැති ලේකම් කෙනෙක් වුවත් තාත්තා හප්පාගෙන ගිය මිනිහා අල්ලා 'අනවශ්‍ය තැන් මිරිකා ඇට වර්ග තැලුවේ ' නැත. ඒ අය්යා අපටද ආගන්තුක විය. ඔහු කිසිදා අප සමග කතාකලේ නැත.  ඔහුගේ මල්ලී පිටරට ඉගෙනගෙන උපාධියට අමතරව 'පෝලන්ත නෝනා' කෙනෙකුද එක්කාවිත් තිබුනේය. මේ සුදු හම ඇති නෝනා අපට මැජික් වන් විය. මා එහි ගිය විට කට ඇරගෙන මේ සුදු ගැහැණිය දිහා බලන් උන්නෙමි. ' එක යාලුවෙක් ' ඒ ගෑනිට නං ලෙඩක් බං' කීවේ ඒ හමේ පාටටය. ජයසින්හේ අපට ඉගැන්වූ 'පුත්තලං මිස්' ට සුදුකබර නිසා මේ වැනිම හමක් තිබීම ඊට හේතු විය. (පුත්තලං මිස් ගැනත් පස්සේ ලියමි.) 

එක දසක මගේ අක්කා කෙනෙකුගේ කොටහළු මංගල්ලයක් වී කෑම පිගානක් රැගෙන එහි ගියවිට ඇය යලි පිගාන මට දුන්නේ අම්මා වසා දුන් රෙද්ද සමග පමනි. එහෙත් මම ඒ රෙද්ද යට තිබී රුපියල් දහයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සාක්කුවේ දාගත්තෙමි. අම්මා හා ලොකු අම්මා ' ඒ මනුස්සයා මොන චාරිත්‍ර දන්නවද...ගෙදර ඉන්න එවුන් එපැයි කියන්න..'  කතාවෙනු මම අසා සිටියෙමි. හිස් පිගන් එවන්නේ නැති චාරිත්‍රය තවම තිබේ කියා සිතමි.එහෙත් ඉස්කෝලේ හාමිනේ වෙනමම අම්මා අතට කීයක් හෝ දුන්නා මට මතකය. අනෙක ඇය අප එහි ගිය විට ඉතා හොදින් සැලකුවාය. විවිධ අමුතු කෑම කන්නට පුරුදු වූයේ ඒ ගෙදරිනි. ඒ ගෙදර අක්කා කෙනෙකු උන් අතර ඇය විවා වී පරණ පාරේම අලුත් විසාල ගෙයක් හදාගෙන පදිංචි වූවාය. අය පිලිබද මට මතකය ඉතා අඩුය. එහෙත් ඈ මට ඉතා ආදරයෙන් සැලකුවාය. 

මේ පවුලේ පොල්වත්තක් කොහෙදෝ හෝ ඈතක තිබුනා මට මතකය. ඒ වත්තේ 'පොල්මුරය' දාට ඉස්කෝල හාමිනේ මාද එක්කාගෙන යන්නීය. ඒ ගමනද සුන්දරය. මේ ගමන යන්නේ ලොරි බාගයකිනි. ඉතාම කලාතුරකින් රුසියාවේ පුතා වාහනයක් ගොඩදා ගත්තොත් කාර් එකක යන්නට වාසනාව ලැබෙයි. එහෙත් ඔහුගේ වාහන කවදාවත් දුවන තත්වෙට ආවේ නැත. ' ඔය ලටපට සේරම විකුණලා නරකද දුවන වාහනයක් ගත්තොත් ' කියා ඉස්කෝලේ හාමිනේ නිරතුරු අසනු මට ඇසී තිබේ. එය ඔහුගේ ආසාව විය. ඒ සදහා ඔහු ඒ වැඩවලට උපන් හපන් කමක් තිබූ අපේ දෙවැනි අය්යාව හවුල් කරගත්තේය. කෙසේ හෝ ලොරි බාගයේ ඉස්සරහා ඩ්‍රයිවර් සමග ඉස්කෝලේ හාමිනේය. ලොරිය පිටුපස්සේ තේ බෝතල්, පාන්. පරිප්පු හෝ අල හොද්දක් සහිත භාජන සමග කෙසග තලෙලු කොලුවෙකි, උගේ වැඩේම අර බෑග් මලු ටික ලොරියේ කොන්වල ගැට ගහන එකය. ඒ ඉන්පස්සේ අර ලොරි බද අයිනේ සිට වටපිටේ බල බල යන එකය. ඉනුත් ඒ කෙසගයා, ලොරියේ පිටුපසම බදේ ඔලුව තබාගෙන තාර පාර දෙස බලන්නට ආසාය. තාර පාර එකවර හීන් ඉරි මෙන් දිගට ඇදෙයි. ලොරිය සැර බාල කල විට අර කලින් දුටු තාර පාරේ ඉරි තැළුනු කඩතොලුය.අන්තිමේ ඔලුව කැරකිල්ල හැදී ලොරිය ඇතුලේම නින්දත් යන මේ කොල්ලා නැගිටෙනුයේ අර කී විසාල පොල්වත්තට ආ පසුය. 
පොල්වත්ත බලාකියාගන්නා මනුස්සයාගේ මූන අදත් මට මතකය. ඒ මනුස්සයා මුල්ම දවසේ හිතුවේ මා ඉස්කෝල හාමිනේගේ ගෙදර වැඩට ආ කොල්ලා කියාය. ඒ නිසා ඉස්කෝල හාමිනේ තේ බෝතලෙන් කෝප්පෙට තේ වක්කරගත් ඇසිල්ලේ මේ මනුස්සයා මා අමතා ' ආං කුස්සිය පැත්තේ කේතලේ ඇති..' කීවේ මටත් තේ හදාගන්නට කියන්නා මෙනි. එහෙත් ඉස්කෝල හාමිනේ ඉක්මන් විය. 'පුතේ මේං ඔයාගේ කෝප්පේ..මං පස්සේ බොන්නං..' කියා අර මනුස්සයා දෙස ඔරවා බැලුවේය. අහින්සකයා හෙල්ලිලා ගිය අතර මගේ ඔලුව යන්තමට වාගේ ඉදිමෙන්නට ඇත. 
ඊලගට ඇත්තේ ගස් නගින එවුන්ගේ වාරයය. ඉන් එකෙක් පැල ගහකින් අත්තක් කපාගෙන එයි. එහි අගිස්සට මෙහායින් කපා, පොල් පිත්ත පැත්තට,  අල්ලා ඇදගෙන යාම සදහා වලල්ලක් වන් යමක් පොල්කොල වලින්ම  සකසා දෙන්නේය. මේ අත්තේ පොල්කොල ගාන ගනන් කරනුයේ ඉන්පසුය. සාමාන්‍යයෙන් කොල හතලිහක් පනහක් පමණ වන මෙය ඉස්කෝලේ නෝනා ඇදගෙන යයි. මා අත කුඩා පිහියකි. එකෙක් පොල්ගහකට නැග පොල්බිම දා බැස්ස පසු මා එක පොල් කොලයක් කපා ඒ ගසේ බදින්නෙමි. එසේ පොල් අත්ත ඉවරවෙන තුරු අපි දෙන්නා ගස් නගින්නා පසු පසය,. කෙසේ හෝ අත්තේ පොල්කොල ඉවරවූ පසු අර කී කැපුණු ඉතිරි කොට ගනන් කරනු ලැබේ. ඒ ගනනට හරියන්නට ගස් නගින්නාගේ ගාස්තුවය. 
මේ හව් අස්සේ අර ගස් නගින්නාගේ පවුල, ලමයි හා එදිනෙදා ජීවිතය ගැන ඉස්කෝලේ හාමිනේගෙන් ප්‍රශ්න පත්තරයකි. එදා මා ඒවා එච්චර ගන්න ගත්තේ නැතත්, අතට වැඩි ගානක් හා ගෙදර ගෙනයාමට පොල් තොගයක් ලැබෙන්නේ දුක සහිත කතා වැඩි වූ තරමටය කියා ද වගේ දවසක නම් උන්ට කියමි.  ඉන්පස්සේ විවේකයයි. මේ සෙල්ලම ඉවර වී අතු දෙකක් හෝ තුනක් ඉවර වූ පසු වැඩ ඉවරය. අර ගෙනා කලමනා මල්ලද ඉවරය. අන්තිමේ අපි දෙන්නාම හති දාගෙන මුරකාරයාගේ පිල් කඩ උඩය.  
එයිනුත් පසු පොලුත් පටවාගෙන, මුරකාරයා බාවාදෙන තැඹිළිත් , ඔහුම මහත් ආසාවෙන් දෙන වත්තේ බව බෝගත් පටවාගෙන අර කී කොල්ලා මෙවර ඉස්කෝල හාමිනේ එහා පැත්තේය. ඇය මා අර පොල්ගොඩ උඩ යවන්නට බයය. අන්තිමේ මම ඉස්කෝල හාමිනෙගේ ඔඩොක්කුවේ නිදිය. ඉන්පස්සේ පොල් තැඹිළි සහ ඉස්කෝලේ හාමිනේ ඔලුව අතගා ' හොදට ඉගෙන ගනින් කොල්ලෝ..' කියා දෙන කොල සල්ලිත් සමග මම ගෙදරය.
(මේ මනුස්සයා ඇගේ සැමියා මියගොස් ටික කලකින් දුකෙන් මියදුනාය. ඇගේ අන්තිම කැමැති පත්‍රයෙන් පංසලක් හැදුණු අතර එය තවමත් ඇගේ නමින් තිබේ. ඇය ඊලග ආත්මයේවත් නිවන් සුව පතා ඒ දේවල් කරන්නට ඇත. ඇයට එසේ වේවා යැයි මමද පතමි. එහෙත් ඒ වගේ අයට නිවන් සුව අත්විය යුතු නැත. ඒ අය නැවැත නැවැත අප වැන්නවුන් අතරේ ඉපදිය යුතුය.)