Thursday, December 8, 2016

ඉස්කෝලෙත් ගියා ඉතිං..


නුගේගොඩ ඉස්කෝලෙන් විභාග ප්‍රතිඵල ආවේ කොහොමදැයිද, ලකුනු කීයක්දැයිද, ලියුම ආවේ කවදාද කාටද කියා මා නොදනිමි. එහෙත් මා දෙසීය ගනනකින් දාසය වෙනියාට තේරී තිබුනේය. පොත් දෙක තුනක් පාඩං කිරීමෙන් එහෙම කරන්නට මොලයක් තිබීම සතුටකි. අනෙක පසු කලෙක දැනගත් පරිදි මගේ පන්තියේ ගොඩක් එව්වෝ අමතරව ඉගෙනීමට ගුරුවරු ලගට ගොස් සමත් වූවෝ වූහ. කෙසේ වේතත් මම ආඩම්බරය ඉහ මුදුනටම ගතිමි. සමහර නෑයො මා ශිෂ්‍යත්වය සමත් වී නුගේගොඩ ඉස්කෝලෙන් 'කතාකර' ගෙන්නා ගත් බවට සිතා ඇතැයි පෙනෙන්නට මම ලොකු කතන්දර කීමී. ඒ ආඩම්බරකම අම්මා වෙනුවෙනි.

එහෙත් තව ගැටළුවක් තිබේ අලුත් ඉස්කෝල වලට යනවිට මුල ඉදන් ලෑස්ති වන්නට සිදුවෙයි. අලුත් ඇදුම් ගන්නට සිදුවෙයි. අක්කා මෙන් අගුරු ඉස්ත්‍රික්කෙන් මදින්නට සිදුවෙයි. ඉස්ත්‍රික්කේ පරක්කු වූ දාට පොල්කටු පුච්ච පුච්චා ඉන්නට වෙලාවක් නැත. ඉස්ත්‍රික්කේ පරක්කුය කියන්නේ ලොකු අම්මාගේ නිසාය. සමහර දාට ඈට අප සමග කේන්ති යයි. එය සාධාරණය. අපේ අමන වැඩ වලට කේන්ති නොගෙන පුළුවන්ද...එදාට අක්කා හිස් අරක්කු බෝතලයකට උණුවතුර පුරවා ඇදුම උඩින් රෝල් කරනීය..මට මේ සෙල්ලං අරහංය. මට මේ කෙළි කර කර ඉන්නවාට වඩා තව බොහෝ දේ තිබේ..

ගස් දෙක තුනක් බලාකියා ගත යුතුය. ආනන්ද අය්යලාගේ වහලය උඩ මගේ 'ස්ටෝරුව' ගැන බලාගත යුතුය.ටයර් එක පැදගෙන 'උස ළමයාගේ' ගෙවල් පැත්තෙන් රවුම්ක් යා යුතුය. උස ළමයා ගෙවල් පේළියේ කොටු දැල් අස්සෙන් බලා හිටියේ නැත්නම්ද..(එ ගෙවල් වල ආලින්දය වසා කොටු දැලක් ගසා තිබුනේය.) එහෙම බලා ඉද කෝල හිනාවක් පා ගේ ඇතුලට ගියෙ නැත්නම්ද කිසි ගතියක් නැත. එක දිගටම දැලේ එල්ලී බලා සිටියොත් කිසි ගතියක් නැතිය. ලී මඩුවේද ටික වෙලාවකට වැඩ තිබේ. අනෙක ඩග්ලස් අය්යාගෙන් ඉදහිට ලැබෙන රාජකාරී පණිවිඩ අත හරින්නටද බැරිය. අන්තිමේ මේ ඔක්කොම ඉවර වන විට මට ඇදුං අයන් කරන්නට, අක්කාට මෙන් කැන්වස් සපත්තු සෝදා හංසයා ලකුන..? සුදුහුණු කැටය දියකර ගා වේලන්නට, මැලිබන් බිස්කට් පැකට්වල කවරයෙන්  පොත්වල 'පිටකවර' දමන්නට වෙලාවක් නැත.(මැලිබන් කවර, සිමෙන්තිකොල කවර, ඝනකම මදින කොලයේ සගරා  කවර දැමූ විට හය්ය වැඩිය. පස්සේ කාලෙක ආ බ්‍රවුන් පේපර් වැදගැම්ම්මකට නැත.)  එහෙව් එකේ පාඩමට මොන වෙලාවක්ද..ඒත් කොහොමහරි මේවා සිද්ද වුනේය. මගේ වාසනාවට ගෙදරම අය්යලා දෙන්නෙක්ද අක්කලා දෙන්නෙක්ද උන්නේය. අම්මා බැන බැන ' මේ කොල්ලා හෙට ඉස්කෝලේ යන්නේ කොහොමද..' කියා මේ හතර දෙනාටම බනින්නේ ඒක උන්ගේ වරද වගේය. අයියලා අක්කලා මට රව රවා, බැන බැන මගේ වැඩ කරදෙති.  බඩපිස්සෙක් වීමේ වාසනා ගුණය ඒකය.

 ඊලගට 'සීසන්' එකය. මාසෙටම සීසන් එකක් ගන්නට එක්කෝ උඩහමුල්ලට යා යුතුය නැත්නම් මාසේ අන්තිම දව්සක ඉස්කෝලෙට එන සීටීබී එකේ නිලධාරියාගෙන් ගත යුතුය. මේ සීසන් එක ගැනුමට පරන සීසන් එක දිය යුතුය. පසු කලෙක සීසන් එක කපා නොගෙන 'ක්ලීන් සීසන්' එකක් තබාගැනීමේ තරගයක්ද අපේ එව්වෝ අතර විය. එහෙමත් දවසක 'කොන්දා අංකල්' පර කමට සීසන් එක, අර හෙලවී හෙලවී ඇදෙන බස් එකෙ කනුවකට හේත්තු වී කපා දමන්නේය. මේ කැපිල්ල ලේසි පහසු නැත. අගල් තුනෙ තුනේ කාඩ්බෝඩ් කැබැල්ලක දවස් තිහටම කොටු සලකුණු කොට ඒ කොටුවකුත් යන-එන ගමන් සදහා දෙකට බෙදු පසු ඇහැට අහු නොවෙන තරමේය. ඒත් සමහර 'කොන්දෝ' තරහට මෙන් මේ කොටු කපන විට හිත පුපුරු ගහන්නේය. එහෙත් මේ කොන්දෝ කිසිදා ළමයින් අතැරමග දා ගියේ නැත. නහර පුප්පාගෙන ඇස් ගෙඩි එළියට දමාගෙන සීනුවේන් එල්ලී 'බස් බාසාවෙන්' අපව එතෙර කලෝය. එච්චර අමාරුවක් නැතුව අපව මග දමා යන්නතද තිබිනි.එහෙත් ඔවුන් මේ 'යක්ස ලමයින් ' මග දා ගියේ නැත. කලින් කී  'ක්ලීන් සීසන් ගේම්' එක සදහා මා නුගේගොඩ සිට පයින්ම ඇවිත් තිබේ. ඒ අමාරුව ඉතා ප්‍රියජනකය, සුන්දරය. ඒ වටා බැදුනු මහා ලෝකයක් තිබේ. අපේ දරුවන්ට නැත්තේත් ඒ ලෝකයමය.

ඒ අතරේම  කොටස් දහ පහලොවකට වඩා කඩාගෙන 'බෙදාගත්' ස්කූල් බස් අපට තිබ්බෙය. චණ්ඩිකං, සල්ලිකාරකං, ලව් හුටපට වලට බෙදුනු බස් එකේ අපට නිශ්චිත තැනක් තිබිණි.   අපේ ඉස්කෝලෙට නැති 'ස්කූල් බස් ' ගැන අපට හැමදාම වෛරයක් තිබ්බේය. අප ඒ නිසාම නුගේගොඩින් පටන් ගන්නා සීටීබී බස් එකක් පාදුක්ක දක්වාම අපේ කොට අරක් ගෙන සිටියෙමු. අපි කුඩා එවුන් කල ලොකු අය්යලා මාසෙකට සැරයක් කීයක් හෝ එකතු කොට මේ රියදුරාටත් කොන්දොස්තරටත් දුන්නේය. මම සාමාන්‍ය පෙල කරද්දී ඒ මුදල් එකතු කිරීමේ වැඩ පැවැරී තිබුනේ උසස් පෙල අය්යලාගෙනි. ඒ කාලය කොතරම් සුන්දරද...! ෆාතුමා එකේ තෝසේ කන්නට අය්යලා රොතු පිටින් යන එකේ රහස මා දැනගත්තේද මේ සල්ලි එකතු කිරීමට ලැබීමෙනි. ඒත් ඒවා හොරකම් වලට වැටෙන්නේ නැත. අය්යලා විසින් අපට එකතු කර දෙන්නට කියූ ගානට වඩා හැමදාම කීයක් හෝ වැඩියෙන් තිබිණි. ඒ වාගේම අඩුවෙන් තිබූ දවසට එහෙම ෆාතුමා 'නොගිය' බවක් මට මතක නැත.

අන්තිමේ මා ඉස්කෝලේ ගියෙමි. පළමු දවස අද වාගේ මට මතකය. මන්ද දෙවැනි දවසේ සිදුවූ සිදුවීම් දෙකක් නිසාය.(මෙස් සිදුවීම් දෙක ඊලගට ලියමි. ලොකු පුතා මෙවර විබාගයට පෙනී සිටින නිසා මට රියදුරු වැඩැ අධිකය.) ඉස්කෝලෙන් ආ ලියුමට අනුව සියල්ල ලැහැස්ති කරගෙන  පළමු දවසේ අම්මාත් සමග ගියෙමි. එදා අප දෙල්කද හන්දියේ බස් නැවැතුමේ ඉදිද්දී නිල්පාට ඕපල් කාර් එකක නැගී අප දෙස බලාගෙන ගිය මගේ විබාගයට ආ ලමයා මට අදත් මතකය. ඔවුන් අප දැක නවත්වා අම්මාවත් මාත් එහි නංවාගෙන ගියෝය. කාර් එකකින් බහින එක ලේසි පාසු දෙයක්ද කියා මාත් කාර් එක අනුන්ගේ වුව, මගෙ වගේ බැස්සෙමි. අප දෙන්නා එදා සිට මීට අවුරුදු හතකට මෙහා වනතෙක් ගජ මිතුරෝ වීමු. දැන් ඔහු ලංකාවේ ප්‍රධාන ඉරිදා පුවත්පතක කතු තුමෙකි. ඔහු හොද මිනිහෙකි. එහෙත් මගහැරී ගිය එක තැනක් නිසා මා ඔහුවත්- ඔහු මාවත් අතහැර දැමුවේය. කවදාහෝ ඔහු යලි මේ අතපසු වූ තැන දකින බව මට සහතිකය. මීට අවුරුදු කිහිපයකට පෙර මේ මිතුරාගේ දරුවන් බලන්නට ගොස් එන අතරතුර   මම ලියූ කවක් මෙහි තබමි. මම කව් පැබැදීමේ අසමත් වෙමි.
මේ මගේ හිත කියූ කවයි.

තාත්තෙක් ඕනෑය මට...
 
තුනේ පන්තියට මට ලැබුණු
ලොකුම ලොකු තාරකාවට
දිළිසෙන ඇස් දෙකෙන් බලන
තාත්තෙක් ඕනෑය මට...

තාත්තා ගැන හිත හිතා මං ඇදපු චිත්‍රයේ
සිහින් පාට ඇද- ඉරි හදන
ජීවිතේ ලොකු සිතුවමක් උන
තාත්තෙක් ඕනෑය මට..

මගේ පොඩි හිත කියන
පුංචි කවි පන්තියට
බිත්තියේ තනිවෙන්ට නොතියන්න
නළලත උණුසුමට සිඹින
තාත්තෙක් ඕනැය මට..

මං නොදන්නා මුළු ලෝකෙටම
මහා ලොකු කතාවක් කියන
මං නොදන්නා   මහා ලොකු හිනාවක් තියෙන
මහා ලොකු කෙනෙක් බව දන්න
ඒත්  ඒ මගේ පුංචි ලෝකය වටින්නේ නැති
තාත්තෙක් නොව
පුංචි මිනිහෙක් වුනත්- මහා ලොකු හදවතක් තුයෙන
තාත්තෙක් ඕනැය මට ..

(මට වඩා නංගිගේ හිතට..)

14 comments:

  1. Replies
    1. දෙපාරක් සුපිරි එක ගැන තව සතුටුයි..;-)

      Delete
  2. අනේ මන්ද මචෝ, ඇස්දෙක බර උනා...

    ///කලින් කී 'ක්ලීන් සීසන් ගේම්' එක සදහා මා නුගේගොඩ සිට පයින්ම ඇවිත් තිබේ. ඒ අමාරුව ඉතා ප්‍රියජනකය, සුන්දරය. ඒ වටා බැදුනු මහා ලෝකයක් තිබේ. අපේ දරුවන්ට නැත්තේත් ඒ ලෝකයමය.///

    මගේ ගාව අදටත් එහෙම එකතු කරපු සීසන් තියෙනවා. හැබැයි ඒ පයින් ඇවිල්ලනම් නෙමේ...
    කොන්දට ඒක කපන්න නොදී ඉඳලා. අපිටත් ඉස්කෝල බස් කියල වෙනම නොතිබ්බට ලේසියට අපිව මග දාල නොයන ලොකු හිත් තිබ්බ බස් ඩ්‍රයිවර් ල හිටිය...
    බැටරි පෙට්ටිය උඩ වාඩිවෙන අපිට ටොෆි අරගෙන දෙන ඩ්‍රයිවර් ල හිටිය...

    මේ සීසන් ගොඩ අතරේ එක වැදගත් සීසන් එකක් තියෙනවා, ඒ "ඒ ලෙවල්" පන්ති යන කාලේ. හරියටම මොකක්දෝ මාසෙක අන්තිම දවස. බස් එකේ හොරෙන් යන එක අපි ගොඩ දෙනෙක් ඒ දවස් වල කරපු වැඩක්. කළුතරින් බහින්න හෝල්ට් කීපෙකට කලින් කටුකුරුන්ද හරියේදී බස් එකට ටික්කො පැන්නා. ඒ එක්කම අපිට වඩා වැඩිමල් වගේ කොල්ලෝ කීප දෙනෙකුත් නැග්ගා...
    මමයි තව එකෙකුයි ටිකට් නැතුව ඇඹරෙනවා දැකපු ටික්කොත් එක්ක නැගපු එක කොල්ලෙක් ටික්කන්ට හොරෙන් උගේ සීසන් එක මට දුන්නා, දීලා ඌ ටික්කන්ට සල්ලි දීල ටිකට් එකක් ගත්තා. මම දඩෙන් බේරුනා, අනිකට දඩ වැදුනා. පස්සේ අපි ඌට පුළු පුළුවන් විදිහට සල්ලි දුන්නා දඩ ගෙවන්න...
    මට සීසන් එක දීපු කොල්ලව මම දැක්කේ එදාමයි. අඩු ගානේ අපි එක්ක පන්ති යන වෙන ඉස්කෝලෙක එකෙකුත් නෙමෙයි...
    ඒ මනුස්සකම, ඒ සැබෑ කොළුකම මාව අදටත් සංවේදී කරනවා...

    හැබැයි එදා ඉඳල මම කවදාවත් බස් වල හොරෙන් ගියේ නැහැ... :)

    ReplyDelete
    Replies
    1. ටික්කන්ට තරං අපි බය නැතුව ඇති ඒ කාලේ කාටවත්...හතේ කනුව වංගුව අනිවාරයෙන් ටික්කෝ ඉන්න තැනක් ..ඉස්සරහින් පස්සෙන් නැගලා ටිකට් ටිකට් කිය කිය යනකොට බොකු බඩවැල් තියෙන්නේ පපුව හරියෙද කියලා හිතෙනවා...හැබැයි ඒ කාලේ අපිත් ඕක කලාට අහුවෙලා තිබුනට ..දඩයක් ගැහුවෙ නෑනේ ..ඒකනේ පුදුමේ. ඉතින් හැබැයි ගමක බැනුන් ඇහුවනේ...ඒ හොදටම ඇති. රස මතක

      Delete
  3. ඉරිද පත්තර කර්තෘ අපේ කර්තෘ නෙවෙයි කියලනං සුවර්.....

    ReplyDelete
    Replies
    1. නෑ මලේ මේක් ඉරිදා පත්තරයක්...ඔයගොල්ලො තමයි ලොකේ වේගවත්ම පත්තරෙ ගේන්නෙ
      ..ඉරිදා එන්ඩ තියන එක සිකුරාදා එවනව කියන්නෙ මලෙ ලේසි පාසු කෙලියක්ද....

      Delete
  4. මම මේ බ්ලොග් එක කියවන්න ගත්තේ ඊයේ.අද එක කියවල ඉවර කරා එක හුස්මට.මේ වගේ ජිවන අත්දැකීමක් මට නැති උනත් ඔබට හිටිය වගේ අම්ම කෙනෙක් අදටත් ඉන්නවා මගේ බිරිදට එක නිසා වෙන්න ඇති මන් අද වෙනකොට මේ බ්ලොග් එකේ තිබුණු ඔක්කොම කතා (ජිවන අත්දැකීම් ) කියවල ඉවර කලේ.මන් මේ තරම් කාලයක් ගොඩක් බ්ලොග් කියවල තිබුනත් මේක තමය් මගේ මුල්ම comment එක බ්ලොග් එකකකට ලියන.මට ලියන්න හිතෙන්න ඇත්තේ එක මගේ හිතට ගොඩක් දැනෙන නිසා වෙන්න ඇති. දිගටම ලියන්න මන් ආසය් ඒවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නවාද..බ්ලොග් එකක් ලියන එක ලේසියි..ඒක තම්න්ගේ මතය..හිතන විදිය..සිතිවිලි..ඕනම ආකාරයකට ලියාගෙන යන්න පුලුවන්..ඒත් අමාරුම දේ එහෙම කෙනෙක් ලියන දේ කියවලා ඒ ගැම්මෙන් කමෙන්ට් එකක් දාන එක...ඒක කරන්න ලෙසි නෑ..බ්ලොග් වල කමෙන්ට දාන අයට ඔය සම්මාන උළෙලකදි සම්මානයක් වෙන් කරන්න වටිනවා..ඒ නිසා ඔබේ පැමිණිම මෙන්ම කමෙන්ටුවේ වටිනාකම ඔබම දන්නවා ඇති.
      බොහොම ස්තුති.

      Delete
  5. ටික්කො තමයි බස් ගමන් ඇඩ්වෙන්චර් කරන්නේ! අපි එක සැරයක් ටිකක් අරගන්නේ නැතිව ඇවිත් බස් එකේ ටිකට් එක වැටුනා කියලා හෙන සෙල්ලමක් දැම්ම!

    ReplyDelete
  6. අැස් දෙක තෙත් වන
    ලිපියක මහිමය !

    ReplyDelete
  7. මේ කවිය හිතට මහා බරක් එකතුකරනවා. ඔබේ මිතුරා නැවත හමුවන්න.


    ඉස්සර ඉස්කෝලෙට පාරෙන් එහා පැත්තේ දැල් ගහපු තහඩු සීටීබි මඩුවක් වගේ එකක මාසේ අන්තිමට සීසන් නිකුත්කරන සිස්ටම් එකක් තිබුනා. නුගේගොඩ, බම්බලපිටියේ, ටවුන්හෝල්, මහරගම වගේ බොහෝ නගරවල තිබුනා. පස්සේ ඒක නැවතුනා. ඒත් මම ඔය කියන යකඩ මඩු කාලයක් යනකම් ඒ තැන්වල එහෙමම තිබුනා. පස්සේ ඩිපෝ එකටම යන්න වුනා සීසන් ගන්න. ඉස්සර ඔය සීසන් එකේ දින කොටු උඩින් ඉටිපන්දමක් අතුල්ලගෙන යනවා ලාවට. කොන්දා මහත්තයට ඒ තරම් නෝටිස් වෙන්නේ නැහැ. මාට්ටු වෙන වෙලාවලුත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. මිතුරා ගැන කතාව දීර්ඝ එකක්. සම්මතය සම්ප්‍රදාය ගැටෙන තැනක්. වරු ගනන්, බෝතල් ගනන්, සිගරට් පැකට් ගනන් කතා කරල තියෙනවා..සමහර දෙවල් වලට වයස බලපානව කියල මම හිතනවා. ඒ වගෙම දවසක අර පොඩි කෙල්ලගේ නලල ඉඹලා බිත්තියේ ලියල තියපු කවිය මහ හය්යෙන් කියවයි කියල මට කැට තියන්න පුලුවන්. උගේ හිත ඒ තරන් හොදයි...

      Delete
    2. මම හිතන්නේ මම ඌව දන්නවා.

      Delete