Tuesday, December 20, 2016

ඉස්පිරිතාල



කොල පාට කෙටි තාප්ප අයින දිගේ ඇවිදිමින් නොව දුවමින් එන ගැහැණියගේ සිරුරේ එහෙන් මෙහෙන් පැටලී ඇති සාරිය නිකරුනේ සුලගේ දුවන්නේය. ඇගේ කෙහෙරැළි පවා හරි හමන් ලෙස එකතු කොට බැදී නැත්තේය. එක අතක කෙටි කුඩ කබලකි. එහෙත් ඇගේ තියුණු ඇස් හරියටම සිය දරුවාගේ දුබල ඇස් දුර තියා හැදින්නාය. ඇගේ ඇසෙන් වැටෙන්නට ඔන්න මෙන්න තිබූ කදුළු බිද ඇස් කෙවෙණි මතින් අතහැරුනේ සිය දරුවාගේ හිස මතය. ඒ කදුළු බිදුව කාෂ්ඨක පොලෝතලයට වැටුණු දිය බිදක් මෙන් ඔහුගේ කෙටි කොණ්ඩා ගස් අස්සෙන් ගොස් අතුරුදහන් විය.

මේ මගේ අම්මාය.

ඇගේ ළැම මහා හය්යෙන් ගැහැන්නේ දෙල්කද සිට එක හැල්මේ බස් රථ දෙකකට නැගී කළුබෝවිල රෝහල් වාට්ටුවට දිව ආ නිසා නොවේ. ඇගේ ලැම ගැහෙන්නේ කිසිදු අනතුරක් උපද්‍රවයක් නැතිව මා මේ බංකුවේ ඉන්නා නිසාය.

උදා රැස්වීමේදී මගේ හිස බර වී කලාන්ත ගතියක් ඇතිවෙමින් තිබියදී ම පිටුපස්සේ උන් කොල්ලා මා අල්ලාගෙන තිබේ. ටික මොහොතක් යනතුරු මා අපැහැදිළි රූප දකිමින් උන්නෙමි. ඉන්පස්සේ කවුරුන් හෝ මා ඔසවාගෙන ගොස් බුදුමැදුරට මෙපිටින් පිහිටි කතෝලික මැදුරේ සීතල ලී බන්කුවක හාන්සි කල බවක් මට මතකය. වරින් වර කිහිප දෙනෙකු පැමිණ මගේ මූණ දෙසට එබෙමින් 'අනේ අපොයි..ඇයි දන්නෑ..මොකද කරන්නේ..'  ආදී වශයෙන් දුක් සහිත මුහුණු පෙන්වූවා මට යන්තමට මතකය. එහෙත් හදිසියේ යලි සියල්ල කළුවර වී ගියේය.
මා ඇස අරින විට මා සිටියේ ඇදක් උඩය. සුදු ඇද රෙදි අතරේ අතපත ගෑ මට මගේ අතට කටුවක් ගසා ලේ දෙමින් තිබුණේය. මම කෙදිරි ගාමීන් කෑ ගසන්නට තැත් කලෙමි. එහෙත් මගේ කෙදිරි ගෑම් වලින් පලක් නැත. මා වටපිට ඇදන් වල ඉන්නා වයසක අයටද මගේ ඉස්සරහා ඉන්නා තරුණ කිහිපදෙනෙක්ද මා දෙස ඇස් පිය නොගහා බලා ඉන්නේය. මට කුමක් වීදැයි නොදන්නවාට අමතරව මේ ඇස් වලින් මට මහා ප්‍රශ්න වැලක් අසන්නේය. මම යළි ඇස් පියාගතිමි. ඇස් පියාගෙන මහා හය්යෙන් ඇඩුවෙමි. අම්මා ලග නැත..මා දන්නා කෙනෙකුද නැත. මා ඉන්නේ ඉස්පිරිතාලයක බව පමණක් දනිමි. ඊට අමතරව දකුණු අතේ ගසා තිබෙන කටුවෙන්ද උදේ සිට කිසිත් නැති බඩෙන්ද මහා දැවිල්ලක් එයි.එහෙත් මා සනසන කිසිවෙකු නැත. සැනසීම කෙසේ වෙතත්  'දැන් හොදයි වගේ නේද..අපි සේලයින් එක ගලවන්නං ..අරපුටුවෙන් වාඩිවෙලා ඉන්න..' යැයි කී හෙදියගේ අකාරුණික හඩ (මෙතෙක් මට අර කටුවෙන් දී ඇත්තේ ලේ නොව සේලයින් බව දැනගත්තෙන් හිතට සනීපයක් දැනුනේය.) මට මෙතැනින් දුවන්නට හිතෙයි.  එහෙත් මා කොහේ දුවන්නද. මා ඉන්නේ කොහෙද..ඉස්කෝලෙන් මා මෙහි ගෙනත් දමා යන්නට ඇත්ද..අම්මා මා මෙහි බව දන්නවා ඇත්ද..මේ කිසිවකට මට උත්තර නැත. මා හගීමක් නැතුවම ඇස් වලින් කදුළු පෙරෙන්නට හැරියෙමි. ඒ කදුළු කඩා වැටෙන්නේ මටත් නොදැනීමය. මා මෙහි තනිවී ඇත.
  (ජීවිතයේ සමහර ඉතාමත් ආරක්ෂිත, සැපපහසුකම් සහිත, දෙනෝදාහක් ගැවසෙන ඕනෑ කරන ඕනෑම දෙයක් ලබාගතහැකි තැන්වල පවා මා මේ හැගීමෙන් තනිවී ඇත්තෙමි. ඒ හැගීම මෙහි සටහන් කල නොහැක. ඒ හැගීම අකුරු කල නොහැක. ඒ හැගීම පහල වූ විට මා අදත් සොයා යන්නේ අම්මාවය. ඇස් පියාගෙන මොහොතක් ඉන්නා විට මා අම්මාගේ සාරි පොටේ එල්ලෙමි. එවිට මා සුරක්ෂිතය. දශක   හතරකටත් පසු මා මේ හැගීමෙන් ගෙවූ දවස් තිබේ. ඉනුත් බොහෝ වෙලාවට මා උන්නේ ඉස්පිරිතාල වලය. මා අන්තිමට උන් ඉස්පිරිතාලය, ඉස්පිරිතාලයක් නොව හෝටලයකි. එහෙත් එහි මා බලන්නට ආ කෙනෙකු විදුලි සෝපානයට වැදී මැකී යනතුරු බලා ඉද මා මේ හැගීමෙන් අර සුවිසාල රෝහලේ තනිවුනෙමි. එදා මට ඇස් පියාගෙන හෝ අම්මාගේ සෙවනට යන්නට බැරි විය. ඒ හැගීම යලි මතු කරන්නට මා අදද අකමැත්තෙමි. )

එහෙත් අම්මා මා සොයා ආවාය. ඇගේ කටහඩේ ඇත්තේ වෙහෙසක් පමණි. ඈ මා සිඹ අර අකාරුණික හෙදිය ලගට ගියාය. හෙදිය ඈ සමග මා ලගට ආවාය. 'දැන් මුකුත් නෑනේ පුතේ..ඔයා උදේට කෑවෙත් නෑනේ නේද..ඔය ඇගට ශක්තිය නැතිකම..උදේට හොදට කන්න..'  මා ඇදෙන් පන්නා දමා මේ මකුණු බන්කුවේ වාඩිකරලූ ඇය අම්මා සමග විත් මා සනසන්නේය. මා කිසිත් හැගීමක් පිට නොකර අම්මාගේ අත තදින් අල්ලාගෙන සිටියෙමි. ඉන්පස්සේ අම්මා තවත් වෙලාවක් ගතකොට මොනවාදෝ අත්සන් කරමින් ලොකු කොල තොගයක් රැගෙන මා ලගට විත් 'යං' කීවාය. මා බන්කුවෙන් පැන්නෙමි. මට මෙතැනින් පලා යන්නට වුවමනාවක් තිබූ බව අම්මා දැනගන්නට ඇත. ඒ නිසා ඇය අර හෙදියට 'යන්නං කියා' එන්නටයි කීවාය. මම ඈ ලගට ගොස් මා යනවා කී විට ඈ මගේ ඔලුව අතගා ඇගේ ලග තිබූ පෑනක් මට දුන්නාය. 'ඕක ඔයාට..' ඈ ඇස් ලොකු කරන් බලා ඉන්නා මට කීවාය..මා එයටනම් කිසිත් නොකියා අම්මා දෙසට දීවෙමි.

අප දෙන්නා කොල පාට කෙටි තාප්ප අයිනෙන් දිගු කොරිඩෝව මැදින් එළියට අවෙමු. ඒ හැමතැනම ඇත්තේ එකම සුවදය. එය ඉස්පිරිතාල ගද ලෙස මා දැන සිටියෙමි. මගේ ජීවිතය පුරාම වරින් වර මේ සුවද අත්විද තිබේ. ඒ සුවද මැකී යන මොහොතේ හැරී බලන විට, කළුබොවිල ශික්ෂණ රෝහල ලෙස කලුපාටෙන් ඇද තිබූ සුදු බිල්ඩිම මගේ ඇස ගැසුණේය. ඉන්පස්සේ  මා දුටුවේ 'පෙරේරා බේක් හවුස් ' බෝඩ් ලෑල්ලයි. අම්මා මා කැටුව එහි ගොස් මේසයක වාඩිවූ සැණින් තලතුනා මනුස්සයෙකු මාලුපාන්, බිත්තර පාන්. ජෑම් පාන් නිකං බනිස් කිඹුලන් ආදී කැම තොගයක් බහාලු බන්දේසියක් ගෙනාවේය. අම්මා මට කන්නැයි කීවාය. මෙහෙම කන්නට ලැබෙන්නේ ආච්චීගේ පෙන්ෂන් දවසට විතරය. එහෙමත් නැත්නම් ආනන්ද අය්යාගේ පඩි දවසට විතරය. මම ඈ දිහා බලා සිටියෙමි. අම්මා සිනාසුනාය..'කන්න...සල්ලි තියෙනවා..' කීවාය. මම අර බන්දේසියේ තනිවුනෙමි. අම්මා කිසිත් නොකැවාය. මා බනිස් කැබැල්ලක් දිගු කල හැම විටම ඈ ' මට බඩගිනි නෑ' කීවාය.
(ඇගේ මේ මැජික් වචනය මා හදුනමි. අපේ අම්මාට කවරදාමකවත් බඩගිනි වෙන්නේ නැත. මට බඩගිනි කියා කියන එක දවසක්වත් මා දැක නැත. ගෙදරදී මුළින්ම තාත්තාටද ඉන්පස්සේ අපේ බෙලෙක් පිගන් හතටද බත් බෙදන අම්මා ඉතුරු වූ වලදක බත් කනු මා දැක ඇත. ඒ හැම වෙලාවකම අම්මාගේ ඇතිළියට බත් හොදි යලි බෙදන්නේ අපේ තුන්වෙනි අය්යාය. සමහර දාට ඒ අය්යා අම්මාට බැන වදින්නේය. ' ඔයා දන්කුඩ නේද කන්නේ ...ඇයි හැමෝටම එක වගේ බෙදන්න බැරි...' අය්යා සමහර දාට ඔහුගේ පිගාන සැරෙන් කුස්සියේ මේසය උඩ තබා යන්නේය. ඒ නිසාම අම්මා අය්යාගේ පිගානෙන් හොදි මාළු ටිකක් ගනී. ඒ අය්යා අදටත් වෙනස් වී නැත. )

අම්මා මගේ පෙරැත්තය නිසාම කිරිතේ එකක් බීවාය. මට කෑම අහේනියක් මිස වෙන උපද්‍රවයක් නැති එක ගැන ඈ සතුටු බව ඇගේ මුහුණෙන් පෙනේ. අප දෙන්නා එතැනින් මගට බැස නුගේගොඩට විත් දෙල්කද පැත්තට පයින්ම ඇවිද්දෙමු. මා හිතුවේ අප දෙන්නා යන්නේ ගෙදර කියාය. නමුත් අම්මා අපේ ඉස්කෝලෙත් පහුකරගෙන ටීන් ටික ඉදිරියට විත් නතරවුනේ ' බර්නාඩ් සොයිසා නර්සින් හෝම්' එක ලගය.

ප.ලි
ඉතුරු කතාව ඊලගට ලියමි. මන්ද අදත් මට කොණ්ඩෙ බැදපු එවුන්ට කන්න දෙන්නට යන්නට වී තිබෙන නිසාය.




13 comments:

  1. නර්සින් හෝම් යන්නේ මක්කටෙයි

    ReplyDelete
    Replies
    1. ඉවසන්ඩ වෙනව අටං..

      Delete
  2. හා එහෙනම් කොන්ඩේ බැඳපු උන්ට කන්න දීලා ඇවිත් ඉතුරු ටිකත් ලියන්න.

    ReplyDelete
  3. ලොකු එකා සුද්දන්ට කන්ට දෙනවා, මූ චිනුන්ට කන්ට දෙනවද.

    ReplyDelete
  4. අනේ මන්ද මචෝ, හැම අකුරක් ගානෙම හිතට දැනුන දේ...

    ReplyDelete
  5. ඔහේගේ තුන්වෙනි අයියා නම් මාර පොරක් හලෝ. ඊයේ පෙරේදා කතාකර කර හිටියා. පිස්සු පූසෙක්. හිනා කාලා පනයනවා. මාව බලන්න එන්නම් කිව්වා ඊලඟ නිවාඩුවට.

    චීනේ ගියාම ගොඩක් දවස් ඉන්නවද...

    ReplyDelete
  6. https://en.wikipedia.org/wiki/Queue_(hairstyle)

    ReplyDelete
    Replies
    1. කොන්ඩේ බැඳපු එවුන් කිව්වට අදනේ මේ විස්තරේ දන්නේ. ප්‍රා..තෑන්ක්ස් ලින්ක් එකට.

      Delete
  7. බාසී.

    හිතට දැණුනු හොඳ කතාවක්. ඊළඟ කොටසත් කියවන්න බලන් ඉන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
  8. ලොකු ඉස්කෝල වල කොහොමද දන්නෑ දැන් පොඩි පහේ ඉස්කෝල වල නම් උදේට හොඳ කෑම එකක් දෙනවා.කිරි බීල කාල එන ළමයි ඒ බත් එකේ තියන බිත්තර වලින් බෝල ගහනවා කියලා අම්ම කිව්වෙ හරි හිතේ අමාරුවකින්.ඔන්න දැන් සමහර පැති වල තත්වෙ.හැබැයි ඒ කෑම එක නිසාම ඉස්කෝලෙ එන දරුවොත් අඩු නෑ..ඒ කතාව පැත්තකින් තියමු.
    ඔයාලගෙ අම්මව දකින්න ආසයි.ඒ තරම් ආදරේ හිතෙනවා මේ නාකි කොල්ලො දෙන්නෙක් ලියන ලිවිල්ල නිසා.
    ජයවේවා..!!

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඔහේගේ ඉස්ටයිල් එක මරු

    ReplyDelete