Tuesday, December 6, 2016

කෙල්ලො නෑනේ ....


පහේ ශිෂ්‍යත්වය සදහා ජයසින්හයේ ලොකු බලාපොරොත්තු තිබුනේ නැත. අක්කා ශිෂ්‍යත්වයට පෙනී සිටි අවුරුද්දේ නම් ඒ ගැන ලොකුවට කතා වුනාට මගේ අවුරුද්දේ ඒ ගැන කිසි 'ගෝ' එකක් තිබුනේ නැත. එකෙන්ම අපේ කෙරුවාව ගැන ගුරුවරුන්ට තිබුන දැනුම මැනගන්නට හැක. එහෙත් අපට තිබුනේ පහේ පන්තිය දක්වා පමණි. ඉන්පස්සේ වෙනත් පාසල් සොයා යාමට දෙමාපියන්ට සිදුවිය. එහෙත් අම්මා සිතා සිටියේ මා ශිෂ්‍යත්වය සමත් වනු ඇති කියාය. ' එයා හිමිජ්ජා වගේ හිටියට ඕක කරගනී..' අම්මා කිහිපදෙනෙකුටම කියනු මා දනිමි. අන්තිමේ අකලට ඉස්කෝලේ ගොස් පොතක් පාඩං නොකර කිසි පිළිවෙලක් නැතිව සිටීමේ ප්‍රතිඵලය ලැබිණ. මට ලකුණු සීයයකට අඩු ගානක් ලැබී පහේ වැඩිම ලකුණු ලාභියා වී ජයසින්හෙ උදා රැස්වීමටවත් 'චාන්ස්' එකක් නොලැබී 'විසික්' විනි. අද මට ඒ උත්සාහය නොගැනීම ගැන ඉතා දුකය. හේතුව මගේ නොසැලකිළිමත්කම නිසා අම්මාට වූ ලැජ්ජාව මිස වෙන කිසිත් නොවේ. අනෙක එදා මට ඉගෙන ගෙන තැනකට ඒමේ හැගීමක් තිබ්බේ නැත. මට නමට ඉදිරියෙන් ආචාර්ය කියා තිබුනාට, ඒක උප්පත්තියෙන් ලැබුනු දායාදයක් නිසා තව එකක් දා ගනිමි කියා ආසාවක් තිබුනාට, ඒකට අධ්‍යාපනික පසුබිමක් ඕනෑ බව මට තේරුනේ නැත. මා ගමේදී බලාගෙන සිටියේ සිල්ලර කඩයක අයිතිකාරයෙක් වෙන්නටය. දෙල්කදදී බලන් හිටියේ හයිලෙවල් පාර අයිනේ නවත්වන ලද ලොකු කාර් එකක ළමයින් නැති මහත්තයා හා කරුණාවන්ත නෝනා කෙනෙකු මා හදාගන්නට අම්මාගෙන් ඉල්ලාගන්න තුරුය. එහෙත් ඒ එකක්වත් නොවීය.

අම්මා ලෙහෙසියෙන් පසුබසින්නෙ නැති කෙනෙකි. අම්මා නුගේගොඩ පිරිමි ඉස්කෝලෙට අයදුම්පත් යැව්වාය. අද අම්මා දිහා බලන් ඉන්නා විට මට , මගේ අම්මා මේ තරම් දේවල් කලා නේදැයි සිතෙන්නේ දුක මිශ්‍ර ආඩම්බරයෙනි. එදා දහසක් වැඩ මධ්‍යයේ මා ලගපාත ඉස්කෝලෙකට නොදා අම්මා නුගේගොඩ ඉස්කෝලෙටම මා ඇතුල් කරන්නට ගත් උත්සාහය ඈ නුගේගොඩ අනුලාවේ ඉගෙනගත් එක ගැන ඇයට තිබූ අභිමානය වන්නට ඇත. ඈ හැමදාම ඒ ගැන සතුටු සිතින් කීවාය. අක්කාව ශිෂ්‍යත්වයෙන් අනුලාවට ගිය එක ඇගේ සතුට තවත් වැඩිකල බව මම දනිමි. අන්තිමේ අයදුම්පත් ලැබී මටද ඇතුලත් කරගැනීමේ විභාගය සදහා ලියුමක් ලැබිණි. අම්මා මේ ලියුම මට දී ' අතපයක් කඩා ගන්නේ නැතුව එදාට ලැහැස්ති වෙන්නයි' කීවාය. මම පුදුම වීමී. මට ඈ පාඩම් කරන්නවත්, අක්කාගෙන් අහගන්නටවත් කීවේ නැත. මම ඒ දවස් කිහිපය පොත්පත් දෙක තුනක් පෙරළා පාඩම් කලෙමි.

විභාගයට අම්මා මා කැටුව නුගේගොඩ ගියාය. අපි අටේ කනුවෙන් බස් එකට නැග ටිකට් එකහාමාරක් ගෙන බෝගහ ලගින් බැසගත්තෙමු. ඉස්කෝලෙට ඇතුල්වන්නට ගේට්ටුව ලග හිටගත් මගේ ඇස් හතරවටේ දුවන්නට විය. මගෙ ජීවිතයේ දැක ඇති ලොකුම ඉස්කෝලය මේකය. ඇතුල්වන්නට තිබුණු ගොඩනැගිල්ලේ ආරුක්කුව මගේ හිස උඩින් කොහොම රදවා ඇත්දැයි මම කල්පනා කලෙමි. ඊටත් එහා මහා විසාල පිට්ටනියකි. එහෙම ලොකු පිට්ටනියක් මා දැක තිබ්බේ නැත. පායන කාලෙට කට්ටෙට වේලෙන  ගමේ වෙල් යායේ දුව පැන ඇති මට මේ ගොඩනැගිළි වටකරගෙන හරි මැද පිහිටා තිබූ පිට්ටනිය මහා අමුතු එකක් වූයේය. අනෙක පන්තිකාමර වල පිරී ඇති කිරි සුදු කමිස හැදි කොල්ලන්ගේ මහා ගෝසාවද මට අමුතුය. අප එහි ඇතුල්වූ සැනින්ඉතා ලස්සන ඝාංටාරයක් වැයුණි. ජයසින්හේ උදලු තලේ ටාං ..ටාං ගෑවාට, මෙහි මහා  ගාම්භීර හඩ මගේ ඇස් නොව කන් පවා තවත් ලොකු කලේය.ඊටත් වඩා ඒ සැනින් අර ගෝසාව නැත්තටම නැතිවී ගියේය. මීක් කියා සද්දයක් නැති පන්ති කාමර අස්සෙන් ගොස් අපි විභාග ශාලාවට ආවෙමු. ඒ එන අතරේ 'අම්මේ මේ ඉස්කෝලෙට මට එන්නම ඕනෑ ' යයි තටම තටම කීවෙමි. අම්මා සිනා සී 'බලමු' කීවාය. මා විභාගෙට වාඩි කරවා රුපියල් දෙකක් අතට දී  ඔයාට තනියම  එන්නට පුලුවන් නේදැයි'  ඇසුවාය. මම හැගීමක් නැතිවම හා කීමී. ඒ තරමට මගේ ඔලුව ඉස්කෝලේ බිල්ඩිං වටේ බැදී තිබුනේය. විභාගය ලියන ගමනුත් මා කල්පනා කලේ ඒ ගැනය. මේ තරං ලොකු එක බිල්ඩිමක් ජයසින්හේ තිබ්බානං අපිට ගස් යට පන්ති තියන්නේ නැතිව කාමර වල ඉගෙනගන්නට තිබ්බා නේදැයි- ද, තට්ටු පඩිපෙලවල් වලින් ලමයින් වැටෙන්නේ නැතුව නගින්නේ කොහොමදැයි- ද, 'කැන්ටිම' කියා තිබුණු තැන පාන් කාලවල්, මාලු පාන්, බනිස්, ගල් බනිස් තොග පිටින් ගොඩ ගසා තිබෙන්නේ ඇයිදැයි- ද,  මම කල්පනා කලත් විසදුමක් ලැබුනේ නැත.

අන්තිමේ විභාගය ලියා ඉවර වන විටම වාගේ අර ඝාංටාරේ වැදුණේය. අර කළින් කී ඝෝසාව තවත් වැඩි වී සාගරයක් වාගේ කොල්ලන් කූඹි ගුල් වලින් පිටවන්නා සේ අමුතුම කළබලයකින් දුවන්නට පටන් ගත්තේය. පුදුමය උන් බාගයක්ම දිව්වේ අර කැන්ටිම කී තැනටය. මට යන්තම් හිතට පොඩි සහනයක් ලැබිණි. මේ ඉස්කෝලේ ඉන්නා බාගයක් එවුන්ට මට වාගේම මජරි බඩගින්නක් ඇත. මම සතුටෙන් ගෙදර එන්නට පිටත් වුනෙමි. ඉස්කෝලය ලගම හෝල්ට් එකෙන් බස් එකට නැග ඩ්‍රයිවර් ආසනය ලගට වී බෙල්ල දික්කොට ගෙන ඉරිදාපොල හෝල්ට් එක කොතැනදැයි බල බලා ආවෙමි. කොන්දොස්තර පැමිණ 'ටිකට්' කී විට 'ගත්තා' කීමී. දැන් මතක් වෙන විටත් බය ලැජ්ජාව ඇතිවෙයි. එහෙත් එදා රුපියල් දෙක ඊට වඩා වටින්නේය. අන්තිමේ ගෙදර ගොස් අම්මාට විස්තරය කියා හනික ඉරිදාපොළේ සෙල්ලමට එක්වීමී. එහිදී මට නිමල් හමුවිය. අර රුපියල් දෙකෙන් ඇඩ්ඩිං කඩෙන් මොනවා හෝ ගත්තා මතකය. ඒ කන ගමන් මට නිමල්ට කියන්න තිබුනේ එක විස්තරයකි..
 ' එහෙ කෙල්ලො නෑනේ බං..'
නිමල් අර අලි බඩ අතගගා 'අය්යෝ බං' කී හැටි මට තාම මතකය.

ප.ලි
මෑත දවසක උත්සවයක් සදහා මම වාහනය පදවාගෙන ඉස්කෝලේ ඇතුලටම ගියෙමි. අපට රථ නවත්තන්නට පිට්ටනිය සූදානම් කොට තිබුනේය. එහෙත් ඒ කුඩා පිට්ටනියේ වාහන හසුරවන්නට අමාරුය. එය ඒ තරම් කුඩාය. මට මෙහි ආ පලමු දවස සිහිවිය. අප ලොකු වෙත්ම කුඩා කල, අපට තිබූ ලොකුම ලොකු ලෝකය කුඩා වන්නේ ඇයි...!
මම පිළිතුරු සොයන්නට නොවෙහෙසෙමි.

15 comments:

  1. අප ලොකු වෙත්ම කුඩා කල, අපට තිබූ ලොකුම ලොකු ලෝකය කුඩා වන්නේ ඇයි...!

    ඔන්න මම පුංචි කාලෙ අම්මගෙ ගමේ යනව මාම එක්කලා. ඇළ හරහ ඒදන්ඩක් . අත්වැලක් නැත. මාමා හනික එගොඩවී '"ඇයි ළමයො එන්නකො'" කියා කියයි. මට නේද මේක පාතාලයක් වගේ. පස්සෙ මාම ඇවිත් අත අල්ලන් එක්ක යයි. අද බැලුවම ඒදන්ඩෙ ඉඳන් වතුරට අඩි දහයක් පහලොවක් ඇති. ඇළේ පළල වැඩිම උනොත් අඩි දොලහයි.

    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හර්ෂ ඔය වගේම තමයි ඉස්කෝලේ උස තාප්පේ..ඒත් එදා ෆ්‍රිෆෙක්ට්ල දුවගෙන එනකොට අපි නිකන් පැන්නේ නියරෙන් පැන්නා වගේ..මේ ලගදි සරසවි එකට ගිහින් ඉස්කෝලෙ අයිනේ වාහනේ නවත්තල එනකොට බුදු අම්මෝ කොහොම මේකෙන් පැන්නද කියල හිතුනා...වෙනස් රටා දෙකක්..

      Delete
  2. තව කමෙන්ට් වැටුනම එන්නම්...

    ReplyDelete
    Replies
    1. එන්ඩ ලොකු පුතේ එහනං ඈ..

      Delete
    2. ඉස්සර මමත් බස් එකේ එන්න තියෙන සුපියල් 2, අයිස් කාල ඉවර කරගෙන දුක් මුණක් හදාගෙන ටිකක් වැඩිහිටි කවුරු හරි ගාවට කිට්ටු වෙලා කියනවා බස් එකට ටිකට් එකක් අරගෙන දෙන්න කියලා...
      ඒක නොවරදින ක්‍රමයක්...
      මම මේ කියන්නේ 92 දී කිලෝමීටර 15 ට ත් වඩා වැඩි දුරක් යන්න බාගේ ටිකට් එකක ගාන...

      හැබැයි මචෝ උඹට ඔය පොඩි දුර එන්න ඒ කාලේ බස් ටිකට් එක රු 2 ක් වෙන්න විදිහක් නැහැ නේද...
      මොකක් හරි මිස්පේට් එකක්ද...?

      ඒ වගේම කෙල්ලෝ නැති ඉස්කෝල මෙලෝ රහක් නැහැ...

      Delete
    3. මම ඔය ඉස්කෝලෙට යන කාලේ දෙල්කඳ ඉඳන් නුගේගොඩට බාගේ ටිකට් එක සත තුනයි. ෆුල් එක සත පහයි.

      Delete
    4. රුපියල් දෙක අම්මගෙන් ...බස් එකට සත පනහක් හෝ රුපියලක්...ඉතුරු එක අපෙ අම්මගෙ බඩපිස්සගෙ මජරි බඩට ලොකු පුතේ..

      Delete
  3. ඔය නුගේගොඩ ඉස්කොලේ මම වසර පහක් ඉගෙනගත්තා. එතනින් මම වෙන තැනකට ගිහින් එතනින්ම වෙන ලෝකයකට ඇතුල්වුනා. ඔබ ජයසිංහෙන්, නුගේගොඩට ආවා. ඔය ඉස්කෝලෙට ඉස්සර සමුද්‍රදේවි බාලිකාව පේනවා. අපි පොඩි නිසා ඒවා ලොකු අයගේ වැඩ. ජයසින්හෙයි පහත්ගම පන්සලේ ඉස්කෝලෙයි දෙකම එක වගේ නේද?

    මට ඒ ඉස්කෝලේ තිබුන බොහෝ දේවල් තාමත් මතකයි. සාන්ත ජෝන් පාසලේ ලස්සන බුදු මැදුරක් තිබුනා. හැබැයි පොඩි පල්ලියක් තිබුනේ නැහැ.

    ඔය කාලේ විදුහල්පති බන්නැහැක මහත්මයාද...
    මෙගේ සාන්ත ජෝන්...

    ReplyDelete
    Replies
    1. චැපල් එක තිබ්බෙ බුදු මැදුරෙන් වමට තිබිච්ච බිල්ඩිමේ. බුදුමැදුර පස්සෙ ආව එකක් වගෙයි මතක. චැපල් එක පුදුම තැනක්..මාර නිදහස්..ලමයි ලෙඩ උනාම හොද වෙනකන් තියාගන්නේ චැපල් එකේ පොලිෂ් කරපු බංකු උඩ. බොරු කරලත් දෙය්යො ලගට ගිහින් හොද නින්දක් දාලා තියනව මාත්....දෙය්යොත් ඉතින් සමාව දුන්නනේ ඔය වගේ පොඩි පොඩි වැඩ වලට..කතා ටික තියාගන්නන් නේද ඉස්සරහට ලියන්න

      Delete
    2. ඔව් නේන්නම් චැපල් එක දැන් මතක් වුනේ. 1968ත් බුදු මැදුර තිබුනා.

      Delete
  4. අහිංසක පෙනුමක් තියෙන්න ඇති නේ ද? අර බස් ටිකට් වැඩේ ට ඒක අනිවාර්යයි.

    ReplyDelete
    Replies
    1. තාමත් ඒන් ඒම එකක් තියෙනෙවනේ....

      Delete
  5. අපි උසස් පෙලට යනතුරු හිටියේ පිරිමි ඉස්කෝලවල. ඒ නිසා උසස්පෙළට ගිහිල්ලත් සෑහෙන කාලයක් ගියා මේ අමුතු සත්තු එක්ක ආස්සරේ කරනහැටි පුරුදුවෙන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හ්ම්... ඕලෙවල් ටියුශන් එකකින් තමයි ගස්ලබ්බටත් ඔය අමුතු සත්තු ජාතිය හම්බුනෙ..

      Delete
    2. ගස් උඹ boy's ද? Anne's ද?

      Delete