Tuesday, November 1, 2016

බේකරි රස්සාව


ඩග්ලස් අය්යාගේ කඩේට පාන් බනිස් ගෙනා බේකරිය අටේ කනුවත් ජයසින්හෙත් හයිලෙවල් පාරට යා කරන පටු මගේ පිහිටා තිබිණි. මේ බේකරිය දරපෝරණු බේකරියක් වූ අතර සමහරදාට වැඩිපුර බනිස් හා පාන් ඕනෑ වූ විට ඩග්ලස් අය්යා මා අත එහි පණිවිඩයක් යවන්නේය. මේ බේකරියට අල්ලපු ඉඩමේ ලොකු ගෙයක් තිබූ බව මතකය. ඒ ගෙදර අය සමග මගේ හිතවත්කමක්ද තිබූ බව මතක වූවත්, ඒ අය කවුදැයි මට දැන් මතක නැත.

කෙසේ හෝ මම පෝරණුවේ පිච්චී තාර කලුවුණු පාන් තැටි , බනිස් තැටි, මාජරින් කදු මැන්දෙන් බාස් අය්යා සොයා ගියෙමි.  බාස් අය්යා කිසි දවසක උඩ ඇදුමක් ඇන්දේ නැත. කම්මුල දිගේ පෙරෙන දාදිය පපුව දිගේ විත් සරමේ බදපටියද තෙමාගෙන දෙපරැන්ද අස්සෙන් ගලා යන්නට ඇත. ඒ නිසාම එක අතකින් 'මෝලිය අල්ලනා' අතරේ ඉනෙන් පල්ලෙහා තව මොකක්දෝ අල්ලා සැරෙන් සැරේ එහා මෙහා එකලාසයක් කලේය. මේ ඇල්ලිල්ල ඔහුටම වදයක් වන්නට ඇත. ඒ නිසා හැම තිස්සේම ඔහු කතා කලේ නොරිස්සන සුළු ලෙසය. '
ඇයි මොකෝ..' ' මල මගුලක්නෙ ..එක පාර කියන්ඩ කියපන්කො..' මේක ලේසි කෙළියක් කියලද හිතන් ඉන්නේ ..' කියා මහා ඝර්ජනාවකින් පසු' හ්ම් හ්ම්..එහෙනං ගිහින් කියපන් වැඩේ හරි කියලා..'
කියා බාස් අය්යා ටිකක් සීතල වෙන්නේය. ඒ සීතල අස්සේ මම උණු උණු බනිස් වලට සීනී 'අල්ලන' හැටිද, කිඹුලා බනිස් දුං දාන හැටිද, මාලුපාන් වලට පාට එන්නට බුරුසුවෙන් මාජරින් 'අල්ලන' හැටිද බල බලා හතර වටේ කැරකෙන්නෙමි. මේ බනිස් එන්නේ පාන් පුච්චා ඉවරවූ හැටියේ නිසා බේකරියේ සුවද මගේ ඉහමොල අස්සෙන් ගොස් බඩට පණිවිඩයක් දෙයි. එදාද මා හිතුවේ බඩගිනි එන්නේ බඩෙන් කියාය.එහෙත් මෙතැන කිසිවෙකු නිකං නං පාන් වාටියක්වත් දෙන්නේ නැත. එහෙත් කොයි මොන ලෝකේ හිටියත් මට මොකෙක් හෝ 'සෙට්' වෙන ජාතියේ එකෙක් හම්බවෙයි. එහෙම එකා ඩග්ලස් අය්යාගේ කඩේට පාන් ගෙනා එකාය. ලෑලි පෙට්ටිය බයිසිකලේ 'ලගේජේ' බැද, පෙට්ටිය වැහෙන්නට ඉටි කොලයක් තබා පරන බයිසිකල් ටියුබ් එකක් දමා හිරකරගන්නා මේ මනුස්සයා වැඩි කතා බහක් නැතිවම උදේ හවස බයිසිකල් පැද කඩ දහයකට දොලහකට පාන් බෙදුවේය.  මා පණිවිඩ අරන් යන හැමදාම මේ මනුස්සයා මට අර කලින් රවුමක් ගොස් විත් බේකරියේ බිත්තියට හේත්තු කර තිබූ පෙට්ටියෙන් සීනී බනිසක් හෝ කිඹුලෙක් අරන් දෙන්නේය. ආපසු මග දිගට මම අර බනිසේ වහ වැටිලාය. එහෙමත් දවසක මැදට ජෑම් දැමූ පාන් එකක් ලැබුනේය. එවා වැඩිය හදන්නේ නැත. කෙසේ හෝ ටික දවසක් යනවිට මම උවමනාවට වඩා නුවුමනාවේම බේකරියේ කරක් ගැහැවෙමි. අන්තිමේ මා එන්නේ ලාබයක් නොව අලාබයක් කරන්නට බව මේ මනුස්සයාටම තේරුණෙන් එක දවසක ''අදින් පස්සෙ බනිස් කන්ඩ සල්ලි අරන් වරෙන් ..' කීවෙන් මගෙ නිකං බනිස් කෑම එහෙම් පිටින්ම හබක් විය. අන්තිමේ ඒවාට සල්ලි ලැබුනේ අසරන අම්මාගෙන්ද, ලී මෝලේ 'ඇගිලි හපන' ප්‍රේමසිරි අය්යාගෙන්ද, මා කිසිදා නිවන නොපතන 89 මිරිහානෙන් 'පැන' යන්නට සැලැස්වූ ආනන්දසිරි අය්යාගෙන් වැනි 'හිත ලොකු' ගෑණු මිනුස්සුන්ගෙනි. එහෙත් මේ බනිස් ජාති ඩග්ලස් අය්යාගේ කඩේ රුපියලක් හෝ දෙකක් වන විට මට ලැබුණේ සත විසිපහ ගනනේය. මේ ලාබය මා තේරුම් ගන්නා විට මා මේ බනිස්වලට ඇබ්බැහි වී සිටියෙමි. මා පමනක් නොව අක්කලාද ඇබ්බැහි වී සිටියා මට හොදට මතකය.

මේ කාලයේමදො කොහෙදෝ 'ෂොපින් බෑග්' ආ යුගය විය. එකල අපේ ගෙදර 'ෂොපින් බෑග්' දෙක තුනක් තිබුනා මත මතකය. අපේ ගේ ලග සිට බේකරිය දක්වා ෂොපින් බෑගය දබරගිල්ලේ රුවාගෙන මම ඊට හුලන් පිරෙන සේ දුවන්නේ එක හැල්මේය. සමහරදාට බනිස් සමග ඩග්ලස් අය්යාගේ සත පනහක කහට අපේ වේලක් සරි කරන ලද්දේය. එහෙත් මේ බනිස් පාන් කඩවල විකුනගන්නට බැරිව ඉතිරිවී ආපසු බේකරියට ගෙනෙන ඒවා බව පසුව දැනගත්තද මම ඒවා හෙලි නොකෙලෙමි. එක්කෝ අක්කලා ඒ බව දැන ඉන්නට ඇත. අද මම සමහර තැන්වලදී ' ඇගටත් හොදයිනේ..' කියා දුඹුරු පාන් කනවිට මට අර පරණ බනිස් රස දැනේ. ඒ රහට මම තාම ආසාය.

පාන් කතාව මෙහෙම නතර වෙන්නේ නැත. එක වකවානුවක මේ කී බේකරිය වසා දැමුණේය. ඉන් පස්සේ පාන් ගෙනාවේ කට්ටිය හන්දියේ දැනුත් තිබෙන බේකරියෙනි. මේ බේකරියෙන්ද අර පරණ බනිස් කෑමේ සෙල්ලම පටන් ගත්තෙමි. එහෙත් ටික දවසකින් මේ බාස් උන්නැහේ මට රස්සාවක් දුන්නේ ඒ හිලව්වට පරණ බනිස්ද, දවසකට රුපියලක්ද වසයෙනි.  බාස් උන්නැහේ පරන පාන් කෑලි කඩා පෝරණුවේ දමා කෑලි කරන්නේය. ඉන් පස්සේ දුඹුරු පාට පාන් කුඩු වලට සව් ඇට හා සීනී කලවන් කර තඩි ගුලියක් හදන්නේය. මේ ගුලිය මේසය මත රවුම් 'පිං' එකෙන් තුනී කරන්නේය. (පිං එක කීවේ රෝලින් පින් එකට වන්නට ඕනෑය.) තුනී කල මේ ගුලිය ජෑම් බෝතල් මූඩියකින් රවුම් රවුම් කපා බනිස් තැටියක දමා එකක් හරහට තව එකක් තබා තැටි කන්දක් හැදීම මගේ රස්සාවය. මේ  'සව්බොර' හැදිල්ල මා ඉතාම ආසාවෙන් කලෙමි. රස්සාව ඉතා හොදය. අනෙක මට අම්මා විසින් නොකඩා හදා දුන් 'සියුම් දෑතක් ' තිබේ. ඒ දෑතෙන් මම ඕනෑම වල්පල් දෙයක් නිර්මාණයක් බවට පත් කලෙමි. ඒ දැකද කොහෙදො බාස් උන්නැහේ අනික් එවුන්ට මා පෙන්වා..' උගේ අත හොදයි ..බලපන් ''පිං'' එක අල්ලන ලස්සන' යැයි කීවේය. රස්සාව පැය දෙක තුනක් වූවත් මගේ හිත දවසම මේ උද්යොගයෙන් පිරී තිබේ.එහෙත් හදිසියේ දවසක බාස් උන්නැහේ මට සව්බොර රස්සාවට අමතරව ' වෙන සෙල්ලමක් ' කරන්නට ලොකු ට්‍රයි එකක් දුන්නේය. කීවාක් මෙන් මම පෙනෙන හුරුබුහුටි එකා නොවන වග 'ගෙදර ගිහින් උබෙ අම්මට..' කියා සව්බොර අතපයේ ගාගෙන පස්ස හැරි හැරී ගෙදරම දුවා මගේ පස්ස බේරා ගත්තෙමි .ඒ මගේ අවසාන බේකරි රස්සාවත් පරණ බනිස් සෙල්ලමත් විය. මම මේ ලියන්නේ සතුටෙනි. මට යලි පැගිරිවත්ත පාරේ සිට මේ කොල්ලා දුවන හැටි බලන්නට ආසාය. ගෙදර ගොස් ' තෝ කුණුහරුප කියන්නත් පුරුදුවුනාදැයි' කන මිරිකා කවුරුන් හෝ අහයි යන බයෙන් පුටු නැති මේසේ යටට වී හති ලෑ කොල්ලා බලන්නට ආසාය.

ඉටු නොවන ආසාවන් බලාපොරොත්තු කොයිතරම් තිබේද...




13 comments:

  1. / මට යලි පැගිරිවත්ත පාරේ සිට මේ කොල්ලා දුවන හැටි බලන්නට ආසාය./

    හෙහ්..හෙහ්..මට නං ඊට වැඩිය ආස බාසා අරකත් උරුක් කරගෙන ඔහෙගෙ පස්සෙං පන්නනව බලන්ට.ඔය වගෙ මුවෙක් පස්සෙ පන්නන නියම කතාවක් ලොකු අයියට මං කිව්ව. නිවාඩු වෙලාවක අහගං...:)

    ReplyDelete
    Replies
    1. සව් බොර පිං එක අල්ලන විදිහට මාත් හිතුවා බාසාගෙ පිං එක උරුක් වෙයි කියලා...

      Delete
  2. ජීවිතය කියන්නේ අමුතුම තාලේ චිත්‍රපටයක් කියලා හිතෙන්නේ, මේ සමහරක් චරිත මගේ ජීවිතේට සම්බන්දවෙලා තියෙන විදිහ ගත්තාම. "ඇඟිලි හපන පේමසිරි"...නම ප්‍රේමසිරි වුනාට, කවුරුත් කතාකරේ පේමසිරි කියලා. ඔය කාලෙම හංදියෙදි හම්බවුනොත් අඩියක් ගහන්න වරෙන් කියලා ගෝල්ඩන් ඇරෝස් එකට ඇදන් යනවා මාව. එකක් දාගත්ත වෙලේ ඉඳන් විනාඩියට සියපාරක්වත් ඇස්පිල්ලන් ගනවා. හොඳටම වැඩිවුනොත් කුණුහරප සහ වලි ඉල්ලනවා. හිත හොඳ මිනිස්සු. සිගරට්,අරක්කු අත පත නොගෑ අපේම ඥාතියෙක්වූ ආනන්ද අයියා..බොන තැන් වල මම ඉන්නව දැක්කොත් සද්දයක් දාලා එලවනවා. ඒ උතුම් මිනිසා ගැන මතකය මහා වේදනාවක් ගේනවා. තවමත් මට නොකඩවා පෙන හීන වල අපේ ආච්චිත්, ආනන්ද අයියාත් නිරතුරුවම ඉන්නවා. මගේ වෙලාව හොඳ කමට මිරිහානෙන් "පැන යාමට සැලසු" අවස්තාවට මා අසුවුයේ නැහැ. ඒ සිදුවීම කවදාවත් මගේ මතකයෙන් ඉවත් වෙන්නේ නැහැ.

    වනාත පාරේ බේකරිය මතක ගබඩාවක්. නයින් තර්ටි ශෝ ඉවරවෙලා රෝස් පාන් කන්න එන තැන. බේකරියට එහා පැත්තේ පොඩි ගේක හිටියා දොන් සිරිසේනයන්ගේ අක්කා. අපේ ආච්චිගේ යාලුවෙක්. ආච්චි මාව ඉස්සර එහෙ එක්කන් යනවා. ජයසිංහේ ඉස්සරහ තිබුන රතු මුදලාලිගේ කඩේ ලොකු දුවට මම හරි මනාපයි. හරිම ලස්සනයි. මුදලාලි වගේම සුදුයි. අපි ඇස්වලින් කතා කරපු කාලයක් තිබුනා. රතු මුදලාලි වස නිසා ඒ කතා ඇස් වලටම සීමා වුනා. ජයසින්හේ ගාව ගෙවල් පේලියේ ආච්චිගේ යාලුවෙක්ගේ ගෙදර ඉඳන් මම ඉස්කෝලෙත් ගියා.

    නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක ඩග්ලස්ලා ජෝරිස්ලා එක්ක කණ් රතු වෙන්න බීපුවා මතක් වෙනවා.

    ඒ මොනවා වුනත් මේ නිර්ව්‍යාජ සටහන් වලට මම හරිම ප්‍රියයි. මෙවන් අත්දැකීම් ඔයාට තියෙන බවක් මේ කියවනකම් මම දන්නේ නැහැ. ඒ කියන්නේ අපි ජීවිතේ කටුක අත්දැකීම් කතා කරලා නැහැ කියන එකයි.

    ReplyDelete
    Replies
    1. කෝ අර බ්ලොග් එකක් ඇතුලේ ලියනවයි කියපු බ්ලොග් එක ?

      Delete
  3. බ්ලොගර් ෆලෝවරය දාන හැටි මෙතන තියනවා ගිහින් බලන්න https://atampahura.blogspot.com/2016/08/how-to-write-sinhala-blog-3-blog.html මෙතන තිියවා ගිහින් බලන්න

    ReplyDelete
    Replies
    1. //මාලුපාන් වලට පාට එන්නට බුරුසුවෙන් මාජරින් 'අල්ලන' හැටිද // ඕකට බිත්තරයක් දෙකක් කලවං කරනවා මයේ හිතේ

      Delete
    2. බ්ලොගර් ෆලෝවරය එල්ලන්ඩ කලිං ඔයා ඔය ඉන්න ගුගල් ෆෝපයිල් එකෙන් බ්ලොගර් ෆෝපයිල් එකට මාරු වෙන්න ඒක කරන හැටි මෙතන තියනවා

      https://atampahura.blogspot.com/2016/08/how-to-write-sinhala-blog-3-blog.html

      Delete
    3. අම්මා ගහයි බැට් එකෙන්...ඇත්තමයි සින්හලෙන් කියනවනං තැන්ක් යූ ආ....

      Delete
  4. උණු උණු මාලු බනිස් කන්න රෑවෙනකන් ඇහැරන් ඉන්නව අපේ ලොකු තාත්තගෙ ගෙදර ගියාම එයාට තිබුන බනිස් විතරක් හදපු බේකරියක්

    ReplyDelete
  5. දීර්ඝ කාලයක් කියවා රසවිඳිය හැකි මහදිග කතාවක් වේවා! අපි කාගෙ කාගේත් කොලු ජීවිතයේ කොටස් මෙතන තියනවා.

    ReplyDelete
  6. මගේ රස්සාව නිසා කමෙන්ට් කිරිල්ල කෙසේ වෙතත් ස්තූති කිරිල්ලද ටිකක් පහුවෙන එක ගැන සමාවෙන්න. එහෙත් කමෙන්ට් කරන අයටත් කියවන අයටත් ස්තූතියි.

    ReplyDelete
  7. මේක කියෙව්වම මතක් උනේ අපිත් පොඩි කාලේ කීයක් හරි හොයා ගන්න කරපු වැඩ, තාච්චියකට රුපියල් පහක් ගන්න කොන්ක්‍රීට් ගල් කඩපුවා එහෙමත් මගේ ජීවිතේ තිබුන නේද කියල මතක් උනා...
    ඊට පස්සේ 9 වසරේ වගේ ඉන්න කාලේ මම ෆොටෝ රාමු කලා, ලොකු රාමුවකට රුපියල් 20 ක් සහ පොඩි එකකට රුපියල් 10 ක් වශයෙන්...
    ඒ සියලු රස්සා කලේ ගෙදර, ඉස්කෝලේ ඇරිලා ඇවිත්...
    ඊටත් පස්සේ ඔ ලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ මස්සිනාගේ ස්ටුඩියෝ එකේ වැඩට ගියා දවසට රුපියල් 50 පඩියට...

    අපේ තාත්ත බේකරියක් කලා, ඒකෙ විස්තර එහෙමත් මතක් උනා...
    ඔබ ඔබේ අතීතය විතරක් නෙමෙයි මේ අවුස්සන්නේ, අපේ අතීතයත් එක්කමයි ඔබ ලියන්නේ...
    ස්තුතියි...

    ReplyDelete