Saturday, November 19, 2016

මනුස්සකම සහ ආනන්දසිරිය..- 01


දෙල්කද ඉරිදාපොල ඉස්සරහින්ම කොට තාප්පේ පුංචි මිනිහෙක් වාඩිවී හිටියා මට මතකය. හීන් දිගැටි පැහැපත් මුහුණ වසාගෙන හිටි හැටියේකඩා වැටෙන අවුල් වුණු අකීකරු කෙස් කළඹ මේ පුංචි මිනිහාට නිරතුරු වද දුන්නේය. ඒ කෙස් රොදක් අතින් එහා මෙහා කොට කෙනෙක් වෙත මහා හිනාවක් පැවේද මේ මිනිහාමය. ගෙදර ඉන්නා බොහෝමයක් වෙලාවල්වල මේ මිනිහා සිය උඩුකය නිරාවරණව සරමක් ඇද උන්නේය. මේ මිනිහා 'මනුස්සයෙක්' බව මා දැනගෙන ලගින් ආශ්‍රය කරන්නට හමුවුනේ නැත. ඒ අවාසනාවට හේතුව, මා පොඩි එකෙකු වීමය. එහෙත් මා ඔහු දන්නා විදිය ලියා තබමි. මට වෙන කරන්නට දෙයක් නැත.

ආනන්ද අය්යා මා හොර ගස්ගෙඩි හන්ගන තැන දැන සිටියේය. එහෙත් කවමදාවත් ඒ බව මට දැනගන්නට තිබ්බේ නැත. සමහර දවස්වල අකාරුණික වැහි වහින වෙලාවල මගේ දැල් පෙට්ටිය වැස්සට නොතෙමෙන්නට වහලයත් කොන්ක්‍රීට් ලෑල්ලත් අතර එල්ලා තිබ්බේ කවුදැයි මම දැන් දනිමි. මේ දැල් කූඩුවේ හොද අඹ ගෙඩියක් පුස්ඹ දෙමින් ඉදෙන විට මම ආනන්ද අය්යාට දෙන්නට අහන්නෙමි. 'තමුසෙට කොහෙන්ද..කාගේ ගහේද..' වෙනුවට ආනන්ද අය්යා, 'තව ටිකක් තියල කනවා... ඔය ගහේ අඹ ඔයිට වැඩිය ඉදෙන්න ඕනේ..' කීමම මේ මනුස්ස‍යාට හදවතක් ඇති බව දැනෙන කාරණාවකි. ඒ හදවතට පෙම්බැදි අක්කා කෙනෙකුද වූවාය. ඈ තලෙළු බව මට මතකය. යන්තම් ඡායාවක් මෙන් ඈ මට මතකය. ආනන්ද අය්යා මේ අක්කාට හදවතින්ම ආදරය කරන්නට ඇත. එහෙත් ආනන්ද අය්යා ආදරය අපටත් එකසේ බෙදා දුන්නේය. එක දිනක මාද ආනන්ද අය්යා සමග ඒ අක්කා බලන්නට රත්තනපිටිය පැත්තේ කියා මට මතක, ගෙදරකට ගියෙමි. ඒ අක්කා මාද ලග හිදුවාගෙන නොයේකුත් ප්‍රශ්න ඇසුවාය. ඒ අතරේ 'ඔයාගේ අර අඹ කූඩෙන් මටත් එකක් එවන්නකෝ 'යැයි කීවාය. ආනන්ද අය්යා වෙනුවෙන් මට ඈට සලකන්නට ලැබීම සතුටකි. මම 'හා.. මම දැන් යන්නද' ඇසුවෙමි. අක්කා 'හා' කීවාය. මම අඩියක් ඉදිරියට තිබ්බා පමණි. අක්කා මා අල්ලා ගත්තාය. ''මේ මේ ඉන්න..යන්න එපා..මට අඹත් එපා..ඕං ඕගොල්ලන්ගේ අය්යට ඩෝං ගිහින් මම අඹ ඉල්ලුවා කියල..' කියා ඈ මා අල්ලාගෙන ගෙට ගියාය. ඒ මේ මනුස්සයාගේ හැටිය. ඉන්පස්සේ ඒ ගිය ගමන සතුටුදායක එකක් නොවන තැනකට පත්වී ආනන්ද අය්යා මා කැටුව යලි ආවේය. ඒ එන අතරේ 'ඔයාට වැඩිපුර තියනවානම් පස්සේ එකක් දෙන්න අක්කට..' කීවේය. ඔහුට දුක හිතෙන්නට ඇත. අප දෙදෙනා ගැනම දුක හිතෙන්නට ඇත.

ආනන්ද අය්යා වැඩ කලේ රත්මලානේ බව මට මතකය. හැම පඩි දවසකටම ආනන්ද අය්යා, මගේ තුන්වැනි අය්යා සහ ඒ වෙලාවේ ඉන්නා කෙනෙකු දෙල්කද ආප්ප කඩේට යන්නෙමු. ඔහුගේ පලමුවෙනි රාජකාරිය ඒ බව මට සිතේ. බිත්තර ආප්ප, නිකං ආප්ප සහ ලුණුමිරිස් සම්බෝලය සමග අපට හොදට බඩ පිරෙන්නට කන්නට දී ප්ලේන්ටියක් සමග පැණි ආප්පයක් අරන් දීම ඔහුගේ පුරුද්දය.ඔවුන් වරු ගනන් කතා කර කර උණු උණු ආප්ප බුදිති. මම ඒ දෙතුන් දෙනා අතර බට්ටෙකු මෙන් වාඩි වී ඔවුන්ගේ කතා වලට සවන් නොදී ආප්පම බුදිමි. එක්කෝ මා රැගෙන යන්නේ මා ඒ වෙලාවට කොට තාප්පේ ලග රැදෙන නිසා බව මා සිතා සමහර දවස්වල ගෙදරට වී ඉදිමි. එහෙත් අපේ අය්යා කෙනෙකු ' වරෙන් ඉක්මනට ආනන්ද අය්යා බලන් ඉන්නවා' කියා බෙරිහන් දෙන විට මා වැරදි බව වටහා ගනිමි.

මේ මට මතක, මතකයෙන් ඈත් නොවන්නට දෙන ඡායාරූපයක කතාවකි. ඒ ගෙදර අය ගැන වෙන වෙනම ලිවිය හැකිය. ඒ හැමෝම හොද මිනිසුන් වෙයි. එහත් ඒ ගැන නොලියා මේ ඡායාරූපයේ කතාව ලියමි.
එදා උත්සවයක් හෝ දානයක් හෝ ගෙදර අය එකට එකතු වූ මොහොතකි. සියලු දෙනා අහාර ගෙන නිමවී ඡායාරූපයකට පෙනී සිටින්නට එන්නැයි තවත් 'අලංකාර' මනුස්සයෙක් වූ මේ ලගදී මියගිය ඒ පවුලේ ලොකු අක්කාගේ මහත්තයා කීවේය. මම ඒ වෙලාවේ කෑම කමින් සිටියෙමි. මේ ගෙදර කෑම මේසය වටා සියල්ලන් එකතු විය. නැන්දා, ලොකු අක්කා මහත්තයා, දෙවැනි අය්යා, ලොකු අක්කාගේ ළමයින්, පොඩි අක්කා ඇත්ලු සියලු දෙනම මේ ඡායාරූපයට එකතු වූ අතර ඡායාරූපය ගන්නට ලැහැස්ති වී සිටියේ ආනන්ද අය්යාය. මම මා පවුලේ ලගම එකෙකු නොවන නිසා වෙනත් ඡායාරූපයකට පෙනී සිටින්නට කතා කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් කෑම පිගානද අතැර ලකලෑස්ති වුනෙමි. අන්තිමේ ඇරයුම ලැබිණ. මා වම්පැත්තේ කොනට එකතු වුනෙමි. 'මෙහාට වෙන්න...' මට එකොන සිටි කෙනාගෙන් තල්ලුවකි. මම මැදට ආවෙමි. මැදින්ද තල්ලු කෙරුනෙන් දකුනේ කොනට ආමි. එහිද කෙනෙකු හරියට නොපෙනෙන නිසා මා තල්ලු විනි. මා නැතුව ඡායාරූපය ගන්නට සියලුම දෙනා ලහැස්තිය. එහෙත් කැමරාකරු රතු වී දත්මිටි කන්නේය. 'ඔය ලමයවත් ඇතුලට ගන්න..' විධානයකි. එහෙත් ගන්නා පාටක් නැත. එහි වරදක් නැත. එකල ෆොටෝ ගත්තේ දන් වගේ ආවාට ගියාට නොව කලාතුරකිනි. අනික ඒ පවුලේ අයට මා නැතුව ඡායාරූපයක් ගන්නට තිබෙන ඕනෑකම අසාධාරණ නොවේ. එහෙත් කැමරාකරු ඊට අනුමැතිය දෙන පාටක් නැත. අන්තිමේ කවුදෝ ගැටළුව නිරාකරණය කලේය.

ඒ ඡායාරූපයේ හිනාවීගෙන කරට අත දමාගෙන සතුටෙන් ඉන්නා පවුලකි. ඒ අය වටවී ඇති මේසය යට බිම ඉදගෙන  සතුටෙන් හිනාවී දත්පෙන්නන පොඩිකොල්ලෙකි. ජීවිතයක අරුම ..ආනන්ද අය්යා මා අතැර ඒ ඡායාරූපය ගන්නට අකමැති වූවේය. ඔහුට ඕනෑ වුනේ මටත් එකලෙස සලකන ගෙදරක ඒ ඡායාරූපය ගන්නටය .ඒ වාගේම ඔහු එවන් සාධාරණ සමාජයක්ද පැතුවේය. ඒ සමාජය බිහිකරගන්නට සමාජ ව්‍යාපාරයකට අතදුන්නේය. මා ඡායාරූපයේ ඉදිද්දී ආනන්ද අය්යා අතුරුදහන් වී තිබේ. අතුරුදහන් කොට තිබේ.

මා මිනිහෙකි. ආනන්ද අය්යා මනුස්සයෙකි.

17 comments:

  1. උඹ මාරයි බං..මම හිතාගෙන හිටියෙ උඹලගෙ ලොකු එකා තමයි වැඩ කාරය කියල. ඒත් උඹත් ඌට දෙවෙනි නෑ.. රයිගමයයි ගම්පළයයි වගෙ..

    රයිගමයාණනි, ගම්පළයාණනි, කම්මැලිකම පොඩ්ඩක් දුරලා..
    ලාබ ලබන්නට පාඩු නොවෙන්නට වෙළඳාමක් කරමුද දෙන්නා...
    අයියෝ වෙළඳාමක් කරමුද දෙන්නා..
    අයියෝ වෙළඳාමක් කරමුද දෙන්නා..

    ReplyDelete
    Replies
    1. //උඹ මාරයි බං..මම හිතාගෙන හිටියෙ උඹලගෙ ලොකු එකා තමයි වැඩ කාරය කියල. ඒත් උඹත් ඌට දෙවෙනි නෑ.. රයිගමයයි ගම්පළයයි වගෙ..//

      අම්මප රවියෝ මුං රහට ලියන්ඩම උපං උං.

      ඔහොම උං අපි අතරේ ඉන්නේ හරි අඩුවෙං , අතේ ඇගිලි ගානට , ඒ අතරෙනුත් සමහරක් වෙලාවට බොහෝ දෙනෙක් එහේ මෙහේ වල්මත් වෙලා ...අතරින් පතර රිදම් එක අවුට් ඇරගන්නවා

      උදාහරනෙට උඹව ගම්මුකෝ ...උම ලියන එව්වා ආසාවෙං කියෙව්වට සමහරක් වෙලාවට කොහේදෝ මන්දා ගිහිං අල වෙනවා ....මටත් ඕකම වෙලා තියනවා ...ලියන කාලේ ...

      ඒ උනාට මුං දෙන්නා එහෙම නැනේ ලොකු අයියේ

      අර මුංගේ ලොකු අයියානං තියන අනාදි කමටමයි නොලියන්නේ ...

      බලහං දාල තියන නමම අරූගේ මුගේ නෙමෙයි අරුගේ කතා ....( එහෙම නේද තියෙන්නේ) ..ඒ වාගේ එකක් හරියට මතක නැ ....

      මට දැං මෙහෙමත් හිතෙනවා ...ඔය අරුගේ කතා ලියන්ඩ උඩගෙඩි දුන්නේ මේ උන්නැහේමද කියල


      Delete
    2. කෝ බං අද බොම්බයි මොටයි සීයා , අද නං පරක්කුයි ...මොකද දන්නැ ...

      Delete
    3. මා බොහෝ උත්සාහයෙන් මේ ලියන්නෙක්. ඒ ගැන ඉගෙනගෙනත් මේ තමා තරම. ඒත් අර ගොය්යා නං නිරායාසයෙන් ..(ඔහුගේ කියවීම තමා මා හිතන්නේ.) ඔහු තරම් කියවන්නෙකු මා දැක නෑ. එහෙත් රාජකාරියේදී ඇරෙන්නට අමුම අමු ගස් කම්මැලියෙක්...

      Delete
    4. අපි නිවාඩුවට දුවගේ ගෙදර ආවා. ඉක්මනින් කමෙන්ට් දාන්න එන්නම්.

      Delete
    5. ////කියවන්නෙකු මා දැක නෑ.////////
      කියවන්නකු කෙසේ වෙතත් කියවපු කිව්වොත් හරි. මම දැන් කියවපු දේවලුත් අමතක කරමින් මගේ පොත ගැන නැවත කියවනවා. මා කවුදැයි පිටු පෙරලමින් සොයනවා. මා තුලින් මා හදාරමින් සිටිනවා.

      Delete
  2. අර දේශපාලන පොතට වඩා මේක රහයි...

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මම හිතනවා මුළු පවුලටම මේ ටැලන්ට් එක ඇතෙයි කියා..

      Delete
    2. දැනුයි දන්නේ කවුද කියල මේ ලියන්නේ. ඒ දේශපාලන පොත මාත් කියෙව්වා. මට හිතුනේ පර්යේෂණාත්මක නිබන්ධයක් කියල. විවේකයට කියවනං අමාරුයි ඒ වගේ පොත්.

      Delete
  3. ඒ පොත ගැනෙන්නේ තොරතුරු ඉදිරිපත්කිරීමේ ගනයට. දේශපාලන විෂයට නෙවෙයි. ඒක සෑහෙන්න ප්‍රාථමික අතින් තියෙන්නේ. ඒක මගේ මුද්‍රණයෙන් පළවූ පළමු පොත. දෙවැන්න ඇත්ත පත්තරේ 'ෆිදෙල් කස්ත්‍රෝ චරිතාපදානය' තුන එහිම දැන් කොටස් වශයෙන් යන 'මැන්ඩෙලා කියවීම'. මේ මගේ ළමයින්..ඒ අතරේ තුන්වැන්නා සාර්ථකයි කියා මට හිතෙනවා. ඔබ සැමගේ කියවීමට ස්තුති. එය දිරියක්.

    ReplyDelete
    Replies
    1. ෆිදෙල් සහ මැන්ඩෙලා ගැන ඔයා ලියපු ලිපි හොයාගන්න බැරුව ඉන්නවා. තමුසෙගේ තියෙන මේ නිහඬකම මට නම් හරි පුදුමයි. මේ වෙනකම් මෙහෙම දේවල් ලියනවා කියලවත් මම දැනන් හිටියේ නැහැ. පොත ගැන නම් දන්නවා.

      Delete
    2. http://aththa.lk/PaperArchive.htm

      Delete
  4. ඔබ අත්දැකීම් අකුරු කිරීම තුලින් මනුස්සයන් තනන්නෙකි.
    (අද අර අංකල් පමාවෙන්නෙ මොකද දන්නෑ..?)
    ජයවේවා..!!

    ReplyDelete
  5. ඒ කාලේ දැනට වඩා මනුස්සයෝ ඉඳල තියෙනවා...

    ReplyDelete
  6. ආනන්දසිරි අයියා ගැන මට ලියන්න වුනේ නැහැ. ඒ හරිය ලියන්න කලින් මම නැවතුනා. ඉදිරියට ලියවෙයි.

    ආනන්ද අයියාගේ ජීවිතය නැතිවීමත්, මගේ ජීවිතය බේරිමත් අතර තියෙන්නේ දිනයක හෝ දෙකක වෙනසක්. ඒ සිදුවීම තුල මහා සිදුවීම් රාශියක් වෙනවා. මේ රත්තරන් මිනිසා තාමත් මගේ හිත තුල නිරන්තරයෙන් සැරිසරනවා.

    ReplyDelete
  7. එහෙම මිනිස්සු දැන් වදවෙලා මගෙ හිතේ.

    ReplyDelete
  8. ආනන්ද අයියාගේ අහිංසක ප්‍රේමවන්තිය තමයි ලීමඩුවේ පේමානන්දගේ නංගි. මේ ආදර කතාවත් නිර්ව්‍යාජ ප්‍රේම වියෝවක්. ආනන්ද අයියලගේ පවුලට තරම් "සිවිල්" පිලිගැනීමක් පේමානන්දට තිබුනේ නැහැ. ආනන්ද සහ පේමානන්ද ඉතාම හොඳ මිත්‍රයෝ. අපි ආනන්ද අයියාට වඩා බයයි පේමානන්දට. ආනන්දගේ අවසානයත් එක්කම පේමානන්ද මහා ව්‍යාකූල තත්වයකට පත්වුනා. ඒකේ අවසානය තමයි, සියල්ල අතහැර දැමු පේමානන්ද අවට පංසලක ගිහියෙක් ලෙස ජීවිතය මුදා හැරීම. බොහෝ දේ මතකයට එනවා.

    ආනන්ද අයියා කාලයකට පෙර, ජිනදාස නියතපාල සමග ලඟින් දේශපාලනය කෙරූ කෙනෙක්.

    ReplyDelete