Thursday, October 27, 2016

පුත්තලං මිස් vs බඩා නිමල්



උපන් දින තෑග්ගක් කියා මට මතක මුල්ම කාලේ හම්බ වුනේ ජයසින්හෙ මගෙ යාලුවෙකුගෙනි. මේ යාලුවා මම වැනිම දුප්පත් එකෙක් වුනේය. මා මේ කියන නිමල්ගේ හිත දුප්පත් නැත. එහෙම අය මට මගේ ජීවිත කාලය පුරාම මුන ගැසී තිබේ. යමක් කරන්නට උදව් කරන්නට කවදාවත් වාසියක් බලාපොරොත්තුවෙන් වැඩ නොකල මේ මිනිසුන් ගැහැනුන් මට කිසිදා අමතක නොවේ. ඒ අතරද නිමල් මට බෝසත් චරිතයකි. නිමල්ගේ තාත්තා සතිපොලවල් ඉරිදා පොලවල් වල බඩු වික්කේය. ඒ මහ ලොකු බිස්නස් කාරයෙක් ලෙස නොව ගස්ලබු අඹ අන්නාසි ටිකක් ගෝනියක එලාගෙනය. මේ තාත්තා මට ඉරිදා පොලේදී ඕනෑතරම් හමු වී  තිබේ. ඒ හමුවූ හැමවිටම නිමල්ගේ තාත්තා 'ආ පුතේ' කියා මට් කීයක්ම හරි අර ගෝනිය අස්සෙන්ම අරන් දෙන්නේය. ඒ තාත්තාගේ පුතාගේ හිතද ඒ තරං හොදය.
කෙසේ හෝ නිමල් මගේ පන්තියේ නිසා අපි ආවේ ගියේද කෑවේ බිව්වේද සෙල්ලං කරේද එකටය. නිමල් ගේ නෙරා තිබූ බඩ නිසා අපි හැමෝගේම විහිලු වලට ලක්වුනත් නිමල් ඒ වෙලාවට බඩ තවත් දික් කරමින් අපව හිනාගැස්සුවා මිස තරහා ගත්තේ නැත. අනෙක ඔහු මට පුදුමාකාර ලෙස ආදරය කලේය. එකලද අප උඹ බං බොලං කීවාට නිමල් මට හැමවිටම මගේ මුල් නමින්ද,  ඔයා එන්න යන්න ආදී වශයෙන් ශිෂ්ට බාෂාවෙන් කතා කලේය.  නිමල්ව මට අමතක නොවන සිද්දියට අර දවසක කී 'පුත්තලන් මිස්' ද සම්බන්ධය.

ජයසින්හෙ අපට තිබු එකම 'අවුල 'උනේ පුත්තලං මිස් පමණකි. සින්හල උගන්නන්නට ආ ඇය එකල යකෙක් මෙන් විය. ඒ කාලෙ අප වගේ උන් ආංබාන් කරන්නට එහෙම බැරිවෙන්නට ඇත. එහෙත් මිස් ගහනවාට වඩා සැරෙන් බැන්නේය. ඒ බැනුං ගුටි පාරවල් වලට වඩා සැරට හිතේ පැලපදියන් වූ යේය. පුත්තලන් මිස්ගේ අතේ හැමවිටම ලී අඩිරූලක් තිබුනාය. ටිකක් කේන්ති ගිය විට අඩිරූලේ පැතැලි පැත්තෙන්දඊට වඩා ටිකක් කේන්ති ගිය දවසට අඩි රූලේ දාරේ පැත්තෙන්ද කේශාන්තයේ සිට පාදානතය දක්වා තැලුවේය. එහෙත් හොදටම කේන්ති ගියවිට අර ගැහිල්ලට අමතරව බැනගෙන බැනගෙන ගියේය.  ඒ බැනිල්ලට ලමයින්ගේ 'පෙඩිගිරිය' අහුවෙලා තිබීම පුත්තලන් මිස්ව එපා වීමට හේතු වුනේය. අනෙක අක්කා ශිෂ්‍යත්වේ සමත් වී නුගෙගොඩ ඉස්කෝලෙකට යාම නිසා මගේ මට තිබූ සැලකිල්ලද අන්තිම අඩු වී තිබුනෙන් මාද පුත්තලන් මිස්ගේ ගොදුරක් වී තිබුනේය. මිස්ට ඒ නම ආවේ ලොකු සිද්දියකිනි. ඒ දවස්වල පුත්තලමේ සර් කෙනෙක් අපේ ඉස්කෝලේ හිටියේය. සර් හැම සිකුරාදාකමගමේ ගිහින් එනවිට පත කරවල පාර්සලයක් ගෙන ආවේය. ඒ නිසා සදුදා ඉස්කෝලේ ඇරුනායින් පසු ජයසින්හේ කරවල කඩයකි. අම්මලා ටීචර්ලා පොරකකා කරවල ගත්තෝය. ඒ නිසා සර්ට අමතර වාසි ගොඩක් සිද්ධ වුනේය. එහෙම අමතර වාසියක් සිද්ධ වී සර්ගේ නෝනා දවල්  වෙලාවක ඉස්කෝලෙට ඇවිත් දෙවනත් වෙන්නට සර්ගේත් අපේ සිංහල මිස්ගේත් පටි රෝල් කල දවසේ වෙලාවට මම ඉස්කෝලේගිහින් තිබුනේ නැත. එදායින් පසු සර් වෙන ඉස්කෝලෙකට මාරු වී ගිය අතර මිස් එදා සිට පුත්තලන් මිස් විය. මේ මිස්ගේ එක අතක කබර රෝගය හැදී සුදුවී තිබුනු අතර කකුල් දෙකම සුදුම සුදු පාටට හැරී තිබුනේය. සමහර විට ඒ නිසා ලමයින්ගෙන් පලිගත්බවක් අපි අපි අතර කතාවුනෙමු.

මේ කී සිද්දිය වන දවසේ උදේම තිබූ සින්හල පාඩමට මා යනවිට පැන්සල අමතක වී තිබුනේය. මිස්ද පන්තිය ඇතුලේය.  ගුටි කන්නට වෙන එක අහන්නට දෙයක් නැත. නිමල්ට මම කාරනේ හොරෙන් කීවෙමි. අනෙක් ලමයින් පැන්සලක් තිබුනත් දෙන්නට බයය. එහෙම දී ගුටි කෑ ලමුන් අනන්තය. මට රට පැන්සල් දෙන ලමයාද මගේ ජයසින්හේ අවසාන අවුරුද්දේ හිටියේ වෙන පන්තියකය. වැඩේ අන්තිම අවුල්ය. එක පාරටම නිමල් මට පැන්සල් බාගයක්දුන්නේය. එ  නිමල්ගෙ පැන්සල දෙකට කඩා බව මම දැක්කේ නිමල් අනෙක් බාගේ උල් කරනා විටය.   'දැන් හරිනේ..ඔයා දැන් බය නැතිව ඉන්න...' නිමල් හොරෙන් ඒ අස්සේ කියන්නේය. කෑලි පැන්සල් එකල මහලොකු දෙයක් නොවේ, අපි ලොකු අයගේ පෑන්වල 'විල්ලේ' ගසා අන්තිම දසමය දක්වා පැන්සල් පාවිච්චි කලෙමු.
කෙසේ හෝ එදා මා මිස්ගෙන් බේරුනෙමි. එහෙත් පහුවෙනිදා නිමල් ආවේ මැලවුනු මුහුනකිනි. ඇයි කියා අහද්දී නිමල් මට සිය දෑත පෙන්නුවේය. මට පැන්සල කඩා දී ගෙදර ගිය නිමල්ට අම්මා කෝටුවකින් හොදටම පහරදී ඇත්තේය. එකල පැන්සලක් ගන්නේත් හරිම අමාරුවෙනි. පැන්සලට උනු දේ කියද්දීත් අම්මාට කේන්තිය නිවී නැත. ඒ දුප්පත් අම්මා මොනවා කරන්නද. ඒ කේන්තිය සාධාරණය. එහෙත් මටත් හිතට දුකය. 'නිමල් මට සමාවෙන්න , මම නිසා ඔයා ගුටිකෑවා 'යැයි මම මගේදුක ප්‍රකාශ කලෙමි. නිමල් එදා ඔහුගේ ලොකු බඩට උඩින්  ලොකු හදවතක්ද තිබෙන බව මට පෙන්නා දුන්නේය. ඒ හීනියට හිනාවී' ඊයෙ ඔයා පැන්සලක් නැතුව තව ටිකෙන්  ගුටිකනවා...මම පැන්සල් දෙකක් තිබිලත් ගුටි කෑවා... ඒත් මට දුක නෑ මගේ යාලුවා බේරුනානේ...කියමිනි. නිමල් ඒ තරම් අවන්කව තම මිතුරන්ට ආදරය කලේය. මෙවැනි දේ නිමල් හා මා අතර ඕනෑතරම් සිද්ධ වීතිබේ. ඒ හැමවිටම නිමල් මා බේරා ඔහු බෙල්ල දුන්නේය. එහෙත් මගේ අවාසනාවකට පහේ පන්තියෙන් පසු ජයසින්හෙ ඉහලට නැති නිසා අප වෙන පාසල් දෙකකට ගියෙන් අපේ මිතුරුකමද නැතිවිය. මිතුරුකම පමණක් නොව ඉන් අවුරුදු දහයකට පමණ පසු පලමු රැකියාවටද ගොස් සිටියදී හමුවූ ජයසින්හෙට ගිය ලමයකුගෙන් නිමල් උදරය ආශ්‍රිත පිලිකාවකට බදුන්වී මියගිය බව අසන්නට ලැබී සදහටම නිමල් මට අහිමි විය. එදා සිට හිත හොද එවුන් දෙස මා බලන්නේ අසුබ නිමිත්තක් හිතේ තියාගෙනය. හැමදාම හිත හොද අය ඉක්මනින් අප හැර යන්නේ ඇයි කියා හිතෙන අසුබ සිතිවිල්ල එයය. එහෙත් ඒක හැමදාම එහෙමය.

11 comments:

  1. කතාව සම්පූර්ණයෙන් ඇත්ත. හිතහොඳ එවුන් ඉක්මනින් අපිව අතෑරලා යනවා..

    ReplyDelete
  2. නියම යාලුවෙක්.

    ReplyDelete
  3. හිත හොද උන් ඉක්මනට බඩ වෙනවාවාගේ ම තමා ඉක්මනට යන්න යනවා

    ReplyDelete
  4. පට්ට රහයි... හැම තැනම ෂෙයාර් කරනවා හිටන්...

    ReplyDelete
  5. මේ කතා කියවනකොට මොකක්දෝ අමුතු කනගාටුවක් එක්ක අතීතේ සිදුවීම් මතක් වෙනවා. අර හොඳ මිනිසුන් ඉතා ඉක්මනින් අප හැර යන බව මාත් හිතනවා.

    ReplyDelete
  6. නිමල් ගේ සැබෑ මිතුරුබව දැනිලා ඇහැට කඳුලක් ආවා...

    ReplyDelete
  7. මගෙත් බඩ ලොකුවෙලා.....සොහොන් ලකුණු වගේ....

    නිමල්ලා හරි අඩුයි ලෝකේ.

    ReplyDelete
  8. //හැමදාම හිත හොද අය ඉක්මනින් අප හැර යන්නේ ඇයි කියා හිතෙන අසුබ සිතිවිල්ල එයය//

    ඔය අසුබ සිතුවිල්ල මගේ හිතෙත් හැම වෙලාවෙම තියනවා.

    ReplyDelete
  9. නියමම යාලුවෙක්..ඒත් එහෙම උන් ජීවත් උනත් ඉන්නෙ ප්‍රශ්න කෝටියක් මැද්දෙ.

    ReplyDelete
  10. හොඳ මිනිස්සුන්ගෙ නම් කවදාවත් ඉතිහාස පොත්වල ලියවෙන්නෙ නෑ

    ReplyDelete