Thursday, October 20, 2016

Chocolate 15

සුදු අක්කා එකල මා දන්නා තරමින් අවිස්සාවේල්ල පැත්තේ වැඩකරන අය්යා කෙනෙකු හා 'යාලු වී' සිටියාය. මේ අය්යා සෙනසුරාදා ඉරිදා තේ කඩේට පැමිණ සුදු අක්කා හා කතා කර කර සිටියේය. එදාට පොලීසියේ අය වෙනදා මෙන් වන්ඩු ආප්පයක් කන්නට වරුවක් ගත කලේ නැත.වෙනදා විහිලු කතා කීවෙද නැත. තේ වෙලදාමද අඩු බවක් පොඩි එකෙක් වන මටද තේරුනේ ඉතා ලෙහෙසියෙනි. මන්ද එදාට සුදු අක්කාගේ කරුණාව දෙගුන වෙයි.වෙනදාට ඉතුරු නොවන වන්ඩු ආප්ප,ලැවරියා එවන් දවසක පත්තර කොලයක ඔතා මට ලැබෙයි.එහෙත් වෙනදා මෙන් ඇගේ හිතේවෙලදාම ගැන දුකක් නැති වගක් දකින්නට හැකිය. ඒ වෙනසට හේතුව අය්යා ආ හැම වෙලාවලකම වාගේ සුදු අක්කා මා ගෙදර අමතක වූ දෙයක් ගෙනෙන්නට අනිවාරයෙන් යවන නිසා බව මට තේරුනද හැමදාම අය්යා ආ දවසට විතරක් සුදු අක්කාට මේඅමතක වීම ඇතිවන හේතුව නම් මට දැනුනේ නැත. කෙසේ හෝ ඇය සතියපුරාම සතුටින් සිටියාය. සතියේ දිනවල අය්යා කොහේ හෝ සිට අවිස්සාවේල්ල දෙසට පිඹගෙන යන බස් එකක එල්ලී සුදුඅක්කාට අත වැනුවේය. මේ වෙලාව දවසේ කලබලම වෙලාව වුවත් සුදු අක්කා කෙසේ හෝ ඒ අවස්ථාවට පාර අද්දරට අවාය. මෙහෙම එන්නටබැරිවූ දවසක මොකක් හෝ හෙතුවකට මා පාර අද්දරට ආ වේලාවේ පාරේ පිඹගෙන ගිය බස් එකකින් තේකඩය පැත්තට වන්නට කුඩා පාර්සලයක් වීසි උනේය. අද මෙන් එහෙම නාදුනන පාරසල් ගැන බියක් නැති හෙයින් මම පාරසලය අහුලාගෙන දිග හැරියෙමි. බ්‍රවුන්පේපර බෑගයක දමා විසීකර තිබුනේ ලොකු චොකලට් එකකි. මගේ හිත ගැහෙයි...කවුරුන්දෝ කියා දන්නේ නැත. චොකලට් එකල සුලබ කෑමකුදු නොවෙයි. කිසිවෙකුට කියන්නටත් බැරිය. කීවොත් ප්‍රශ්නයකි..ඒ චොලකලටය මට නැතිවනු ඇත. නොකීවොත් මා හොරෙකු වනු ඇත. එහෙත් මේ අවස්ථාව මගහරිනුද බැරිය. තේ කඩය අල්ලපු ඉඩමේ ඇත්තේ දර මඩුවකි. මේ දරමඩුවේ පලන ලද දරවිකිණිමට එක පැත්තක ගොඩ ගසා තිබේ.ඉන් තේකඩය පැත්තටත් දරමඩුව අයිනටත්වන්නට අගුවේ පාරසලය හැංගුවෙමි. ඉන්පසු සුදු අක්කාටවත් නොකියාම පාසල ට ගියෙමි. පාසලට යන්නටත් එන්නටත් වෙන්නේ පයින්ය. වෙනදා පල්ලියෙන් බත් ද කාඑන මම එහි නොගොස් හැල්මේ ආවේ තේ කඩයටය. මගේ හිත තුල ප්‍රශ්න වැලකි. දර හොන්ඩර දෙක තුනක්වත් විකිනී නම් මගේ බෑගය හමුවනු නොඅනුමානය. එක්කෝ බෑගයේ අයිතිකරු පැමිණ එය සොයාගන්නට ඇත. එහෙත් මගේ හිතේ තිබූ කලබලය කාටවත් නැත.බෑගයද එලෙසම තිබේ.සුදු අක්කාටත් මොකක් හෝ කියා මම එදා ගෙදර ආවෙමි. ඒ එන අතරතුර බෑගයෙන් චොකලට කෑල්ලක් කඩා ගත්තෙමි. මෙලෙස සතියම ගෙවෙන විට නානාප්‍රකාර හේතු කියා තේකඩේ සිට දරමඩුවටත් ඉන් පසුව ගෙදර යන පාර දිගටත් එකල මගෙ වයසේ කොල්ලෙකුට කිසිදා නොලැබෙන 'තඩි චොකලට්ටුවක' රසවින්දෙමි. මේ සතියේම අය්යා දිගින්දිගටම බස් එකේ සිට අතවැනුවේය. මා දෙස බලා මොකක්දෝ කීවේය. සුදු අක්කා වේගයෙන් යන බසය දෙස බලා අය්යා කියූ දෙය තෙරුම් ගන්නට බැරිව සුසුම් ලෑවාය. සෙනසුරාදා හවස වන විට අය්යා ආයේය. අක්කා මලක් මෙන් පිබිදුනාය. මා බලා හිටියේ අක්කාට 'අමතක' වන දේ ගෙන ඒමට ලෑස්තිවෙමිනි. ඒ අතරේ චොකලට් කෑල්ලක රසවිදින්නටය. අය්යා සුදු අක්කාගේ අත අල්ලාගත්තේය....’චොකලට එක කෑවද....කෝ මට පොඩි කෑල්ලක්වත් තිබ්බේ නැද්ද...මම මේ සුමානෙමබස් එකෙ යන ගමන් කියන්න හැදුවෙ ඒක...’ අය්යා තොදොල්වෙයි. ඒ තොදොල්වීම මගෙ කකුල් පන නැතිකරවයි. 'ඇයි.....මම සදුදා බස් එකෙ යනගමන් විසික්කලානේ ඒක ..ඇයි අර ඔයාලගේ ගෙදර කුලියට ඉන්න කොල්ලා දැක්කනේ ලමයෝ...ඒ කොල්ලා අහුලනවත් මම දැක්කනේ........’ කතාවේ ඉතුරු ටික කියන්නටවත් ඉතුරු චොකලට් කෑල්ල කන්නටවත් අහුලාගත් 'කොල්ලා'පැත්ත පලාතක හිටියේ නැත. පුදුමය සුදු අක්කා ඒ ගැන මගෙන් කිසිදා නොඅසන ලද එක නොව ඉන් පස්සේවත් බ්‍රවුන්පේපර් බෑගය පෙනි පෙනී මා කිසිදා එය යලි අතටනොගත් එකය.

No comments:

Post a Comment